සෞන්දර්යයක වේදනා රිදුම්

 

දල ඇදල ම පැණි වතුර
විඩාබර බඹර තාත්තෙකු
හති අරියි රෝස පෙත්තක වාඩිව
එය මහරු සෞන්දර්යයක්
විය හැකිය ඔබට...

ළදරු පතකට ඉපදෙන්න
හළලා හළල ම කොළ
රිදෙනවා ඇති නටුවලට
ඇහෙනවද කෙඳිරිය..?

ග්‍රීස්මෙක තැවි තැවී
හඬන බිළිඳෙකු සනසන්න
සිහිල ගෙනගිය සුළඟ
අන්න හති අරිනවා
කොස් ගහක අත්තක...

ගලින් ගල හැපි හැපී
කවියන්ට නෙක රූප මැවූ දිය
ගං ඉවුරකට හේත්තු වී
නිදන හැටි දුටුවාද ඔබ?

දඩබ්බර කොලු කුරුටු රළ
මෙල්ල කරගෙන
අවැඩක් වෙන්න ඉඩ නොදී
අහස දෙස බලාගෙන
තනිවම සුසුම්ලයි මුහුද

ගෙඩි හදන්නට පාට පාටට
පිටි හලන්නට එපැයි කොළ
තුරුපතක වේදනා මිරිකුම
හඳ එළියෙ පමණිය සැනසුම

 

ළහිරු කිතලගම


© JDS