මඟ නොහැරීම පිණිසය

 

සිටියේ නිරුවතිනි


මහ පොළොව, දහවල ආලෝකය උරා
රාත්‍රී අඳුර අහසට මුදා හරිමින් තිබුණි
අතැති සින්තටික් බ්ලැන්කෙට්ටුවෙන්
බිඳි සිලිටි සිරුර වසා
ඔබ ඈ දෙස නොබලාම නික්ම ගියේය

ඉන්න.
ඔබ විසින් ඈ හඳුනාගත යුතු ය.
ඈ හොඳින්ම දන්නා අසල්වැසියා ඔබ ය

පිරිමි යනු ඉතිහාසයයි
ඔවුන් වෙඩි තබා දවා හළු කර දැමිණ
ගැහැණු යනු උරුමයයි
ඔවුන් දූෂණය කර මුහුදට විසිකර දැමිණ
ඔබ සිටියේ සියල්ලට පිටුපා ගෙන ය

මහ පොළොව ඇවිස්සී
පිරිමි අළු,
දළුලන පැලයට පොහොර වනු ඇත
කර දිය ගොසෙහි ඉපිලී
ගැහැණු සිරුරු
හෙටත් මේ වෙරළට පාව එනු ඇත
අනිද්දාත්
අනෙක් සෑම දවසකමත්

වෙරළ මත වැතිරුණ නිරුවත
බිඳින්නේ
සභ්‍යත්වය හා සදාචාරය පමණක් නම්
ඔබ අතැති අවසාන බ්ලැන්කෙට්ටුවෙන්
එය ද කෙළවර වනු ඇත

ලලාටයෙන් පටන් ගෙන
පාඟැලි තුඩු තෙක්ම කියවන්න
මේ රූ එකින් එක හඳුනාගත යුතු
ඇගේ අසල්වැසියා ඔබ ය

 

මහේෂ් මුණසිංහ


© JDS