හතලිස් වියැති මනාලිය

"මිස්, මිස්ට කැන්ඩියන්වලට වඩා ඉන්ඩියන් යන්නෙ. කැන්ඩියන් ඇන්ඳොත් වයස පෙනෙයි. වයිට් ඕකිඩ් බොකේ එකක් එක්ක ඩල් ගෝල්ඩ් ඉන්ඩියන් සාරි එකක් කරමු. කොණ්ඩෙට ඕකිඩ්ස් බඩ්ස් එක්ක රෝස් බඩ්ස් දාමු"

 - රූපලාවන්‍ය ශිල්පිනිය


නේ....
බැරිද මට
මේ ඉන්න විදියට
කළු සායකට
පොඩි නිල් මල් වැටුනු
සුදු බ්ලවුස් එක අඳින්න?

මල් පොකුරු ඕනෙමද?
බැරිද මට
පුරුදු විදියට
කළු කුඩේ අරන්
කොණ්ඩෙ තනි කරළට ගොතන්
බාටා දාගෙන ඉන්න?

අනේ....
බැරිද මට එදාට
බොරුවට හිනා නොවී ඉන්න?

ආදරෙන් හිත පුරෝගෙන
කෝලෙට හිනා වේගෙන
හීන පොකුරක් අතට අරගෙන
පෝරුවට ගොඩවෙන
කෙල්ලෙක් නෙමේ මං

පැරදිලා ආදරෙන්
වගුරලා වගුරලා
වැස්ස වාගේ කඳුළු
ගෙදරට නාකි වුණු
අම්මලට බරක් වුණු
දකින වට පිට ඇස් වල
පැටලුණු රොඩ්ඩ වුණු
තනි හිතට ඉවසගෙන
අන්තිමට මෙහෙම පැරදුණු
ගෑණියක්....

දන් දෙන්න යන ගමනක් මේ
දන්නෙ නැති වයසක මිනිහෙක්ට
දිරාගෙන යන මගෙ ඇඟ

හැළි වලං හෝදන්න
තුන් වේල බත් තම්බන්න
ගේ එළි පෙහෙලි කරගෙන
කියන විදියට ඉන්න
හිත හදං යන ගමනක් මේ
හිතේ කහටක් නැතුව
චූටි නංගී බඳී
බර බිමින් තිබ්බැයි
අපේ අම්මට හිතෙයි
මල්ලි අලුතින් ගෙනා
මනමාලි හිනා වෙයි
අඳුරු මූසල පෙනුම
මහ ගෙයින් අයින් වෙයි

ඉන්ඩියන් ඇන්ඳට
හංගන්න පුළුවන් වෙයිද
මට හිතෙන හිතුවිලි?

එ් අයට හිනා යයි
දිරපු මේ මගෙ කඳට
මල් ගහලා, සුදු කරලා
බන්දේසියක දාලා
කේක් ගෙඩියක් වගේ
පිටත් කර හරිනකොට

අනේ බැරිද මට
ඉන්න මේ විදියට
එදාට.....?


ඉසුරු චාමර සෝමවීර


© JDS