"සෙල්වන්" මඳහස හෙවත් මළවුන්ගෙ මාසයේ එළැඹුම

 

ස්මරණයෙහි යෙදෙනු හැකි ‘මරණ’ වුව හැමෝටම
තියෙනවා මුළුමනින් මාසයක්
ඒත් එක මඳහසක් සමරන්න හිතෙනෙකත්
මැරුම්කන කාව්‍යමය දෝෂයක්

නමුදු හදවත කරා
එ මඳහස සන්සුන්ව එන තුරා
ලේ ගලන හෙළාකුර රැඳුණ මතකය ඉරා
"තමිල්මය මඳහාස" ඇද හැලෙයි කවි පුරා
ඉදින් බෑ නවතන්න
සිදුවුණත් මළවුන්ට ඉඩදෙන්න

ඒ සකල ශුද්ධවර දින අහස
හැන්දෑව නැමැද ගණඳුරු වෙච්චි
ඒත් ඇවිලෙන ඇසක
එළිය, බංකර පතුළ
විනිවිඳින බව රැයට සැ‍ළවෙච්චි
ඔත්තු දුන්නෙද කවුරු කිළිනොච්චි?

ඒ සිහින බිඳ දමා
ඉල්මහේ දෙවැනි දා
එළිවෙන්න ඉර වුණත් මැලි වුණා
පියාගෙන ඇස් දෙකම නිදාගෙන උන් මුහුණෙ
දෙතොල මත මඳහසක් හිනැහුණා

ඇස් වලින් මකාගන්නට නොහැකි  සිහින මත
ඉල් මහේ පිනි සිහිල මිඳෙනවා
සංසාරයෙන් ගෙනා වේදනා මල් පිපී
රත්-රන් වණින් දෑත් වනනවා
උදුරලා දමනු බැරි නියඟලා තලාවෙක
තවම ඔය මඳහාස පෙනෙනවා

මේ සියලු ශුද්ධවර දිනය දා
ඔබට හැකි නම් ඔබෙ ම හදවතට පිවිසෙන්න
මඳහසක් ගැන මෙහෙම ඔබ වුණත් ලියනවා
සිදුවුණත් මළවුන්ට ඉඩදෙන්න

හැකිනම් සියලු ශුද්ධ සුරුවම්වලට
ත්‍රස්ත රජය හා එක පෙළට හිටගන්න
හදවතම පිනා යන ඇස් දෙකින් හිනාවෙන
එකම එක 'ත්‍රස්තයකු' හට බැරිද
ශුද්ධවරභාවයට එසවෙන්න.

 

මංජුල වෙඩිවර්ධන


© JDS