මගේ කවි රූප

 

සිත නිවන
මෘදු ස්වර සංගීතය
පඩි පෙළක
ඇද හැලෙන දිය දහරක් වැනි ය

වේළුණු සුදු හුණු
මාවතේ එන
සුදු වැලි සුවඳ දෙන
ඔහු නැගි අශ්වයාගේ කුර හඬ
අධිරාජයෙක් වැනි ය
නොසෙල්වෙන ගිරි  කුළුණු
උගුල්වා එක් අතක
යුද දිනු අසිපත අනෙක් අත
අන්න එනවා
මහා වීරයා .....

හරිත තුරු වසා ගත් මඟ දෙපස
හිම ඇතුරූ පටු මාවතේ
මගේ සිහිනයට කඩා පනින
සාවුන් දෙන්නෙක්.....

මේ හිමිදිරි සීතලේ
සිනා සෙන මල්වලට
කේලාම් කියන හැටි
නම් නොදන්නා බඹරෙක්.....

ඉතින් මොකද?
මම දනිමි.

 

අනාර් ඉසාත් රෙහානා


© JDS


පරිවර්තනය: ප්‍රියදර්ශිනි රත්නසාමි