මුව ජාතකය

 

සිංහරාජයේ
මුව පැටියා
'කස්තුරි'.
A/L ප්‍රතිපල බලලා ඇවිදින්
ඉහින් කනින් පොරවාගෙන
හුස්ම නොගයි.
'C' තුනයි.
පරපුර සුවපත් කරන
දොස්තර හීනේ මහා ගස් සේරම බිම ඇදවැටිලා
කටු ඇඳ උඩ
දොයි!

පිය මුව රජ
පියන්.
ක්ලාස් පීස් දෙන්ට බැරි ව
අං තට්ටුව බිම වැටුණා.
බර ඇදල ම කුර ගෙවුණා.
කෙට්ටු මව් මුවදෙන
සදා ගෘහණිය
පපුවේ හරි මැදට ම
දුක් කරදර හීය වැදුණා.
ලොකු අක්කා
නැති ව දෑවැදි
ගෙදරටම තිත් මැකුණා.
පොඩි අක්කා
අනාගතේ ව්‍යාග්‍රයාට බිය වී
උන්හිටිගමං
කැලේ මැද ඇදවැටෙයි.

"අම්මා...
ඇත්තෙම නැද්ද විදිහක්
කස්තුරිව
මාලඹේවත් යවන්න...???
ඔහොම ඉඳල ම ඇඳ උඩ
මොකක්හරි කරදරයක් වෙයි වද්ද???
අපිට අපෙ පණ නැතිවෙයිද???"

"අක්කන්ඩී බිය නොවන්න
මගෙ ශක්තිය මම පෙන්වමි.
අං සොලවා නැගිටිමි.
දොස්තර මොකද
හෙට ම කොන්දොස්තර වෙමි.
උඹලාටත්
අයියා වෙමි.
මම මිගදායක් හදමී!"

 

සමිත බී. අටුවබැන්දෑල


© JDS