ලේන්සුව


ගිය ගමන් එහෙමද
අඹු, සැමි, ළමයි කොහොමද
වරකට එකක් අසමින
ලේන්සුව ඔබෙ දණ මත!!

නූල් ගිය කලු කොටුවක
සිනාසෙන අප මුහුණුය
රතුව කොටුවක් ඒ අස
තැලී ඇත රන් මුදුවට

සීරුවෙන් මම ඇමිණුව
පර නොවුණු මල් පෙති මත
තාම දිලිහෙන පබළු ඇටයකි
එදා ඔබෙ උර පැලඳුව

නළල උඩ සුදු කෙස් රොදේ
අන්න අර පොඩි දා බිඳත්
ගෙත්තමෙන් මල් මගහැර
පිසින්න තියා නටුවට

නේක සිත්කම් රැන්ඳුණ
කවුළු හැරදා සුළඟට
දෙමංසල රඳවා රිය
නවතන්න, මේ මගෙ මග

මේ තරම් මේ සීතලෙත්
ඒ තරමටම දාඩියද?
ඔහොම ඔය හැටි නොපිස්සත්
මටත් මතකයි ලේන්සුව

 

සංජුලා ඕෂනී පීටර්ස්


© JDS