තෛපොංගල් සහ මගේ ගම

ජයසීලන් ඇන්තනී 1974 දෙසැම්බර් 25 වෙනිදා යාපනයේ ඉපිද, 2009  පෙබරවාරියේ ලේ වැකි කිසියම් දිනක වන්නියේදී දුක් විඳ මිය ගියේය. සිය ජනයා  නිදහස්ව දිවි ගෙවනු දැකීමේ මැඩලිය නොහෙන විජීගීෂාවෙන් මෙළවුණු යෞවන දිවියෙන් වැඩි කලක් මරණය නිරන්තර අභිමුඛ වූ ගොරතර සටන් බිම් වල ගෙවා දැමූ ඔහු, ඉසිඹුවක් ලද විටක කොහේ හෝ තැනක හිඳ හිස බිමට නමාගෙන ඇවිළුනු හදින් කව් - ගී පබැඳුවේය. ඒ.පී. ගුණා, උජිරවන්, තමිල්නිලා ආදී නොනමින් ඔහු ලියූ දෑ බොහෝමයක් දමිළ බසින් ප්‍රකාශයට පත් වූ පුවත්පත් - වාර සඟරාවල නිතර පළ විය. ඒ ඉරණම්කාරී දවසේ ෂෙල් ප්‍රහාරයකින් තුවාලව, නිසි ප්‍රතිකාර හෝ ‍ඖෂධ නැති කමින් අසීමිත ලෙස රුධිර වහනය වී මිය ගිය තරුණයෙකුගේ අවසාන සිතිවිලි කෙබඳු වීදැයි අපි කිසි කලෙක නොදනිමු. නමුත් සිංහලයින්ට කොටියෙකු ද, දෙමළුන්ට කවියකු ද වූ යෞවන අනුරාගී හදවතක දිදුල නිදහස හා යුක්ති ධර්මය පිළිබඳ සිහින මේ කව් තුළින් විද්‍යාමාන නොවේ යැයි කාට නම් කිව හැකිද?


 

ළා කෙඳි පාවෙන
නිල්වන් අහස් කුස...
රෑ කල මුදුන් වීගෙන
ගමට ඉහළින් පායන
කලා පිරි රන් සඳ....
පෙන්න - පෙන්නා දිවා රෑ
පිඬුකොට අනාගත්
උණු බත් මිටෙන් මිට කැවු
මගේ දුප්පත් අම්මා...

ඇක‍යේ හොවාගෙන
නුවණින් දැනුම් පහදා
මිනිසෙක් වන්ට මග කී
මගේ පෙම්බර අප්පා....

"නිල්වන් සාර කෙත්වල
රන්වන් පැහැව දිදුලන
රන්වන් කරල් ගෙන'වුත්
අපේ ගේ දොර පුරවමු....
මුළු ගමම කැන්දා
නෑයින් හැමට දන්වා
පොංගල් බත් උයා
බෙදාගෙන තුටු වෙමු...."

කාලය ඉකුත් වී
මගේ නෑයින් කෝ අද?
කෝ අද මගේ ගම
මට අහිමි අම්මාගේ ඔඩොක්කුව....

නඟුල අල්ලා
පොළොව අස්වද්දා
වියැටෙන් - වියැට වැපිරූ
සාර කෙත්බිම් කෝ අද?
ශෝකී වැළපුමක් නැඟ එන
මළගමක් වූ හැටි මගේ ගම....

නඟුල ඇල්ලූ අත් කෝ?
නෑ සියන් සේ සිටි අය
පරවී වැටුණ මල් මෙන්
අද කොහේ හෝ තැන තැන...
අඳුරු සිව් රියනක
ඇතැමුන් සදා නින්දේ...
මව්බිම අතැ'ර පියඹා
ඇතැමුන් තනිව දුරු රට...
සිහිපත්ව රෑ මැද
ඉකිගසයි හදවත
පෑරී තුවාලව
රිදුම් දෙයි දරුණුව....

ඉපදී පය ගසා
වැටි වැටි ඇවිද ගිය
අම්මාගේ ඇකයයි - මගේ ගම
ඒ මව් තුරුළ කෝ අද?
දෑසින් දකින්නට - දෑතින් විඳින්නට
අනවසර මගේ මව්බිම...

කඳුළු වර්ෂාවක්ව වැගිරේ
සිත පිරුණු ළතැවුල

මට අහිමි කළ මගේ ගම
මා හැදූ මව් උණුසුම
ඔබ තුරුළ ලැබෙන තුරු
අලුත් පොංගල් නැහැ මට
අලුත් දිවියක් නැහැ මට....




ජයසීලන් ඇන්තනී | 2003


©  JDS