සන්ධ්‍යාව ගෙවුණි

ගිගුම් දෙන කොළොම් තොට හැඩක් නැති අහස් කුස සිරිත් ලෙස අනන්තය හා ගැටුණි
තවත් එක් සැඳෑ වරුවක් සෙමෙන් අමතකව අළුත් අඳුරක් ළදලු ලා වැඩුණි
රිදුම් දුන් හදක් මාවතේ දුර ඇවිද ගිය පා ලකුණු වසත් වැස්සෙන් මැකුණි
අතින් ගත් අත් අකුරු බරින් වැඩිවූ බැවින් ලියන්නට කළින් ගිලිහී වැටුණි

තුම් මුල්ල පැන්නාම දකුණු පැත්තෙන් නැගෙන අගනගර සරසවිය මායිමේ
එක් වන්ව මල් පිපුණු ඇහැළ තුරු අත් ඇයව ඔහු දුටුව පළමු දින මෙන් නැමේ
වෙන් වෙන්ව මඟ යනෙන නන්නාඳුනන සෙනඟ, වීථියේ වට අවට, ඒ සියල්ලෙන් සැඟව,
දුර්වර්ණ නෙත් අගින් කඳුළු බිඳුවක් වැටුණි අළුත ගල් පියළි ඇල්ලූ බිමේ

ගමන් මං බොහෝ වූ ජීවිතේ එක මඟට කොහේදෝ සිට පැමිණ නතර වී
උනුන් හා ගෙවූ ඒ මාවතේ දිගු සැරිය උල් කොහොල් කටු මතින් පැන නැඟී
පුතුන් නොසැදී ගෙවුණු එක් වර්ණ යුග දිවිය, වෛවර්ණවත් සිහින මඟහැරී
ඉතින් බිම වැටී, සුණු වී, විසුණු වී ගොසිණි, හෙටක් නම් යලිත් පායනු නැතී

රතෙන් අග ලකුණු කළ මිලෙන් වැඩි කඩදහිය තැපෑලෙන් උදෑසනකදි ලැබුණි
දෙතුන් දිනකට ප්‍රථම සායනයකට පිදුන පටක සුඟ බොහෝ විසවී තිබුණි
උරෙන් ඇය දරා සිටි අසල්වැසි පොඩිත්තෙකු සුසුම් රැල්ළක හොවා බිම තැබුණි
මසින් අඩු පියවුරක නිදන්ගත වූ පිළිල දරන්නට බැරිව ඇහැරී තිබුණි

ගතින් වෙහෙසෙමින් පෙර කලක ඔහු පෑ දිරිය නැවත එක මිටට ගෙන ගැට ගැසුණි
තමන් හා පිය නැගූ එකම මිතුරිය රැගෙන මහරගම වෙත යනෙන මඟ ගෙවුණි
ගිළන් වූ සිතුම් ඈ සිනා කැල්මක හොවා සැනෙන් එළවා දමන්නට යෙදුණි
මසක් වන් දින සතක අසුන්දර ඒ මතක ගෙවන්නට රාත්‍රී දිගු නොවුණි

බස් පොළේ කැඩුණු ටකරන් සෙවිළි කෑ ගසා ඉවත යන ඉඳුල් සුළඟේ හැපුණි
රෝහලේ වහල මත ඉස්තිරව ලැග ඉන්න අළු පරෙයියන් ලයෙන් ගී ගැයුණි
මංමුලාවී තිබුණු වෙහෙසකර නෙත් යුගල අවසානයේ පියල්ලෙන් වැසුණි
එන්නතක, දෙකක මිල කපාහරුමට එදින අර්ථ සාදක මුදල බැර නොවුණි

ගිගුම් දෙන කොළොම් තොට හැඩක් නැති අහස් කුස සිරිත් ලෙස අනන්තය හා ගැටුණි
තවත් එක් සැදෑ වරුවක් සෙමෙන් අමතකව අළුත් අඳුරක් ළදලු ලා වැඩුණි
රිදුම් දුන් හදක් මාවතේ දුර ඇවිද ගිය පා ලකුණු වසත් වැස්සෙන් මැකුණි
අතින් ගත් අත් අකුරු බරින් වැඩිවූ බැවින් ලියන්නට කළින් ගිලිහී වැටුණි

 

භාතිෂ අකලංක සිල්වා


©  JDS