පෙරළූ නැවුම් පස


පාලය මත රැඳි තෙතැ'ති පස
පින්සලයකින් පිස දැමෙයි.
බොහෝ කලකට පෙර
මහා බියකරු රැයකදි
මරා වළ දැමුණු සිහිනය
දිරා ගිය ඇටකැබැලි ලෙස මතුවෙයි.

ඒ ඔබේ අවසාන කඳුළු බිඳ උරා ගත් පස්ය.
ඒ ඔබේ අවසාන සුසුම් පොද මුසු වූ  පස්ය
ඒ නොනිමි වධ විඳි ඔබේ මාංශය
දියව ගිය පසය.

අහෝ ඒ කළු කුහර තිබු තැන
පෙර දිලුණු නෙත් කොහේ සැඟවී ගියෙ ද
අහෝ ඒ හිස් කබල් මත
ජීවයෙන් පිරී ඉතිරී සිනහසුණ
මාංශල ඒ මුහුණු කෙදින දිය වී ගියෙද?

ඒ සිනහ
ඒ පැතුම්
ඒ දිරිය
ඒ එඩිය....
ලේ සුසුම් සහ කඳුළැලි ලෙසින්
රතු පසට මුසු කර
දෑත් පිටිතල බැඳී
වකගැසී
අවසාන නින්ද උරෙනුරගැටී
නිදා හුන් මා සොහොයුරනි සොයුරියනි.
කමාකල මැනව අප හට
යුක්තිය මතු  ද නොව
ඔබේ ජීවය උරාගත්
මෙතෙක් කල් තනි රැකි
මේ පස ද ඔබට දැන් අහිමිය.

තුඟු නකල්ස් කඳු සිකර සෙවණැලි
වැතිර විල්ෂයරයේ පාමුල
ඔබේ සවනට මිමිණුවෙද
ඉකුත් කාලය පුරා
සිදු වූ එ සියළු දෑ ගැන
නොමළ අපෙ ජීවිත ගෙවුණ සැටි
නොමළ අප බිඳී විසිරුණ හැටි
විප්ලවයේ උත්තුංග අරමුණු
සෙමින් අත්හැර දැමුණ සැටි
එකක් පසුපස එකක් ලෙස
සංහාරයේ රළ මාලා නැගී
මිනී කඳු ගොඩගැසෙද්දි
සතුරු කඳවුරු  රජමැදුරු තුළ
පිරුණ මදුවිත  සාද සව්දිය අතර
වරදානයේ යදමින් බැඳී
ඇවිදින කුණප ලෙස කල් ගෙවන
වරෙක සගයන්ව සිටියවුන් ගැන
ඔබේ සවනට මිමිණුවෙද

පන්ති කාමර බිත්ති මත
මිදී කැටි ගැසුණු ඔබේ ලෙය
ඔබ නැතිව උදා වූ අළුත් සැම වසරෙකම
තැවැරී නව සායම් තට්ටු යට
කෙමෙන් වියැකී ගිය අයුරු
පාසලේ ඩෙස් බංකු මත
පාවෙල් ලා චේ ලා ගැන
කවකටු තුඩින් අප කෙටු අකුරු
පරපුරෙන් පරපුරට
ලියූ නම්ගම්  මුලකුරු අතර
මැකී ගිය අයුරු
සැබැවින්ම ඔබ නොදැන සිටියාද.

පාළු කළුවර රෑ වල
තාමත්  හැපී රැව්  පිළිරැව් දෙන
ඔබෙ  මරණීය වැලපුම
ගුණසේන ශාලාවේ බිත්ති මත
කන් තබා අසා ඉන්නට රහසින්
කිසිවෙකුත් නොඑනා බව දැනී
මතුවුණි ද ඔබ මේ ලෙස
අවසාන සමු දීමට
බොහෝ කලකට පෙර මග හැරුණ.

අපරිමිත වද විඳි ඔබේ ඇටකටුවල බර
දරාගත නොහැකිව ගිලී යාදැයි සිතා
එකල්හි ඔබ අප ඇවිද ගිය  නගරය1
ඉවත්වන්නට එතැනිනුත් සිතුවෙ ද
අවසාන පරිත්‍යාගය ලෙස
සන්සුන්ව වැතිර එකිනෙකා වැළඳ
තවත් සියවස් ගණන් සීතළ පොළොව යට
නිදමින් දකින්නට සිතු සිහිනය ද කැප කොට

 

අජිත් සී. හේරත්  |  දෙසැම්බර් 2012


© JDS


1. මාතලේ නගරය යටින් වූ පාෂාණ ස්තර භූගත ගංගාවන් තුළ  දියවී යමින් පැවතීම හේතුවෙන්  මාතලේ නගරය ගිලා බැසීමේ අවදානමක් ඇති බව භූ විද්‍යාඥයෝ පවසති.

සිතුවම: සිරියානු චිත්‍ර ශිල්පි අසාම් ඛේල්දූන් ගේ 'Mass grave' සිතුවමිනි