පැදුරේ ගුලිව
අඳුරේ නැගෙන
හඬවල් අසමි
පහන් එළියක් සේ
නැගේ ඇගෙ පිරිත් හඬ
සිහින් කැස්සක් විත්
ඉඳහිට වද කළත්
අගෙයි ඒ කටහඬ
ලෙලෙන, රැව් දෙන
මදක් තෙත් බර
පිරිතේ නොවැටහෙන වචන
අඳී අඳුරෙහි සිතුවම්
තෙත සෙවල කඳ මත
කිරි පිහිය ඇඳ සීරුවට
කිරි දොවින්නී ඈ
ගසින් ගස මඟ නොහැර
කැටි කර චීත්තය
බැස ලූලා වලට
ඇනෙන කටු මඟහැර
කර උස්සා බලන
ළා කොහිල දළු තෝරා
මිටි කර එක් අතෙක
රිංගා කම්බි වැට
අසල මහ වත්තේ
අහුලා වියලි පොලයක්
වප්පිහි තුඩේ අවුනා
ගෙදර එන්නී ඈ
මද මද හඬ අඩුව
නිවුනු පසුවය ඇගෙ පිරිත
ඇසෙන්නේ අපමණ හඬ
රබර් හේඩාවේ
තනි පැහැති රෑහි හඬ
ඇතුල් හද හූරන
ලූලා වලට ඔබ්බෙන්
නරි හූවකිය රැව් දෙන
බොරළු පාරෙන් ඉඳහිට
නැගෙයි උඩු බිරුමක්
නිදිමත දුර යවන
ඉසුරු චාමර සෝමවීර
© JDS