කුරුප්පු සහ බියට්‍රිස්ගේ ප්‍රේම වෘතාන්තය

කුරුප්පු කියන්නේ ඩ්‍රයිවර
උදේ හවස
මගීන් එතෙර කරන.
ස්වර්ග රාජ්‍යයට යන
අධිවේගී මග අසළ
පර්චස් දෙකක
අනවසර මාලිගය හදාගෙන
රජකරන !

බසයට නැග්ගා
දවස් පහක් හයක්
කන්‍යාව බියට්‍රිස්
සඟරා විකුණන්න.
හෝල්ට් එකක් නැති තැනක
නතරකර බසය
ඇගේ අතින් ඇදගෙන ආවා
කුරුප්පු මාලිගයට
ඔටුන්න පළඳවන්න.

“මං ළාවට දෙකක් දැම්මා බියට්‍රිස්
බියට්‍රිස්
මට පාරක් නෑ බං
මට පාරක් වියන්.
මං අනාතයෙක් බියට්‍රිස්
මට නාථ දෙයියෙක් වියන්.
පෙනහළුවල
ගිනිගන්න ගංජා
නිවාපං බියට්‍රිස්
මේ අනවසර මාලිගයේ
අගරැජිණිය වියන් බියට්‍රිස්
අපට ම අයිති
පර්චස් පහක්
අරගන්න විදිහක් කියා දීපං බියට්‍රිස්
කවදාවත් අම්මෙක් නොහිටිය මට
අම්මා වියන් බියට්‍රිස්
මට පිස්සු බියට්‍රිස්
සුබාරංචිය ඇරං වරෙන් බියට්‍රිස්"

“එපා අඬන්ට කුරුප්පු
දාගන්න දැන් මේ සෙරෙප්පු
අපි පයින් ම යමු නැති තැනකට කසිප්පු
නොවී ම පරක්කු.
එපා අඬන්ට අයේ කුරුප්පු !”

 

සමිත බී. අටුවබැන්දෑල


© JDS