අම්මා සහ යාපනය

දෙවෙනි ඊළම් යුද්ධය ඇවිළ යන සමයේ චන්ද්‍රකුමාර වික්‍රමරත්නගේ බොහෝ සති අන්තයන් ගෙවී ගියේ මහනුවර සහ මාතලේ ය. සතිමැද කොළඹ ගෙවුණු ජීවන අරගලයේ විඩාව සති අන්තයේ දී ඔහු දියකර හැරිෙය් කොළඹින් බැහැර මිතුරන් ඇසුරේ ය. මහනුවර කලා-සංස්කෘතික ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීමෙන් ගොඩනැංවුණු මාධ්‍ය අධ්‍යයන පර්ෂදයේ කටයුතු හා චන්ද්‍රකුමාරගේ සබඳතා ගොඩනැගුණේ ඒ සමයේ ය. දකුණේ මිනිස් දඩබිම් වලින් උතුරට මාරු වූ සංහාරක සේනා අතින් ගිනිබත් යාපනය ගැන ඔහු තුළ ඇවිළ ගිය ආවේගයන් 'පර්ෂදේ' විසින් පළ කළ 'පවුර' සඟරාවේ අවසන් කලාපයේ ඔහු ලියා තැබුවේය. මුල්වරට පළවීමෙන් පසු අන් කිසි තැනෙක පළ නොවූ මේ කව, වර්ග සංහාරක රණ ඝෝෂාවෙන් පසුකාලීනව කිලිටි කර පාවා දෙනු ලැබූ දකුණේ කැරළිකාරී පරම්පරාවක සදාචාර විඥානය කැඩපත් කොට පෙන්වයි.



හිතේ දුක
ගිනිතියාගෙන මැරුණු අම්මේ
හිටියනම් උඹයි අද
යාපනය බදාගෙන හඬන්නේ

සියලූ නිංගිරහ විඳගෙන
අම්මේ උඹ කිරි දුන්නේ
මගෙ අතපය
අඟුරු ගොඩක ලේ වගුරක
ගිනි දලූවෙනු පිණිස නොවේ

ඒත් මගේ දයාබර අම්මේ
උඹ වගේම පවු විකුණාපු
පවු විකුණා දරුවන් වඩපු
අම්මලාගෙම දරුවෝ
මැරුවේ කොහොමද අම්මේ
ඒ වගේම තව දරුවෝ

උඹ වගේ අම්මලාමයි එදා
දකුණේත් මහපොළොව බදාගෙන
ඒ අම්මලාමයි අද
ගලා යන ලේ ගංගා දිගේ
මරණයට සුභ පැතුම් පතන්නේ
දරුවන් මරන්නට දරුවන්ම යවන්නේ

හිටිය නම් උඹයි අද
පළමුවෙන් යාපනය බදාගෙන හඬන්නේ
හැම තැනම මැරුණේත් දරුවෝය අම්මේ
හැම තැනම මැරුවේත් දරුවෝය අම්මේ

රත්තරන් කිරි බිවූ අය මිසක
කඳුළු කිරි බීපු උන් නැත දරුවො මරන්නේ
උඹ අපිට පෙව්වේ
මඩවලින් පෙරාගත්
රතුපාට ලේ වලින් දොවාගත් මවුකිරිය අම්මේ
මරණයට සුභ පැතුම් පතන්නට
එහෙයින්ය මගේ දිව නොනැමුණේ

උඹ වගේම අම්මේ
අම්මා කෙනෙකුගේ
දරුවෙකුගේ අතින්
හෙට මගේ මරණයත්
නියතමය අම්මේ
යාපනය නොවෙයි
විශ්වයම බදාගෙන හැඬූවත්
අම්මේ උඹ වගේම
අම්මා කෙනෙකුගේ
දරුවෙකුගේ අතින්
මිහිතලේ අවසාන දරුවාත් මැරෙන්නේ

 

චන්ද්‍රකුමාර වික්‍රමරත්න  |  1991

සිතුවම: ජර්මානු  චිත්‍ර හා මූර්ති ශීල්පිනියක වූ කේති කොල්විට්ස'ගේ 'The Mothers' සිතුවමිනි.

© JDS