1971 අප්‍රේල්: හමුදා සෙබළු, කැළණි ගංගාවේ පාවූ තරුණ මළසිරුරු පුලුස්සා දමති - II


පළමු කොටස: 'ලංකාවේ බහුජන මුහුණුවර ප්‍රමෝදයේ සිට වියවුල දක්වා'

පිළිතුරු වශයෙන් ආණ්ඩුව කරන ලද්දේ පැරණි එජාප ආණ්ඩුව විසින්ම ගොතන ලද පරණ චෝදනාවන්ම යළිත් එල්ල කිරීමයි. ශ්‍රීලනිප, ලසසප සහ සෝවියට් හිතවාදී කොමියුනිස්ට් පක්ෂය විසින් එක හඬින් ප්‍රකාශ කළ ආකාරයට අනුව ජවිපෙ "සීඅයිඒ ඒජන්තයන්" විය. 1970 අගෝස්තු 1 දා පළ වූ 'විමුක්ති' කලාපයේ කතුවැකියේ මෙසේ සඳහන් විය: "....අපි ඇත්ත වශයෙන්ම එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයනුත්, ඉන්දියානු ව්‍යාප්තවාදයත්, ප්‍රතිවිප්ලවීය ධනපති කුමන්ත්‍රණත් විනාශ කිරීමේ අපේක්ෂාවෙන් යුතුවෙමු. නමුත් ආණ්ඩුව විසින් ගෙනයාමට බලපොරොත්තු වන කවර හෝ සමාජවාදී වැඩ පිළිවෙලක් විනාශ කිරීමට අපට අවශ්‍ය නැත..."

අගෝස්තු 10 ජවිපෙ මේ දක්වා වන සිය විශාලතම ජන රැළිය කොළඹදී පැවැත් වූ අතර, එහි ප්‍රධාන කථිකයා විජේවීර විය.

"....ආණ්ඩුව සමාජවාදය දෙසට ගමන් කරන්නේ නම්, අපි ආණ්ඩුවට සහාය දීම තව දුරටත් කරගෙන යන්නෙමු. ඔවුන් ඒ සඳහා අපේ සියළුම ආධාරය ලබනු ඇති නමුත් ඔවුන් සමාජවාදී ඉලක්කයට ළඟාවීමට අපොහොසත් වුවහොත්, එය අප විසින් කරනු ඇතැ"යි ඔහු කීය. (1970 අගෝස්තු 11, Ceylon Daily News)

නමුත් දේශපාලන තත්ත්වය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබිණ. ජවිපෙ ආධාරකරුවන් හමුදාව තුළට ඇතුල්වීම හා ඒ තුළ රැඳි සිටීම වැළැක්විම සඳහා තමන් විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බව අගෝස්තුවේදී හමුදාව නිවේදනය කර සිටියේය. පොලිස් හමුදාවේ ප්‍රමාණය 55%කින් වැඩි කරනු ලැබුණි. සෑම තැනකදීම ජවිපෙ රැස්වීම්වලට බාධාවන් සහ හිංසාවන් සිදුවන අතරතුරදී ග්‍රාමීය ප්‍රදේශවල තරුණයන් අත් අඩංගුවට ගනු ලැබිණ. 'කැරැළි මර්දන විශේෂ ඒ්කකයක්" හමුදාව හා පොලිසිය එක්ව ගොඩනගන ලද අතර, එහි වැඩ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා පත්කෙරුණේ මොස්කව් හිතවාදී කොමියුනිස්ට් පක්ෂයේ නායක කේනමන් ය. සැප්තැම්බරයේදී ආණ්ඩුවේ හමුදාවන් විසින් කීනගල්ල වතුයායේදී කම්කරුවන් දෙදෙනෙකු වෙඩිතබා මරාදැමූ අතර, ලංකාවේ විශාලතම කර්මාන්ත ශාලාවක් වූ වෙලෝනා කම්හලේ වැඩවර්ජනය කෘර ලෙස යටපත් කොට සටන්කාමී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් ගණනාවක් රැකියාවලින් නෙරපනු ලැබුණි. ඔක්තෝබර් මාසයේ දී ඇන් ඇම් පෙරේරා සිය ප්‍රථම අයවැය යෝජනා ඉදිරිපත් කරනු ලැබූ අතර, එය සභාගයේ මුල් ආර්ථික ප්‍රතිපත්තිවලින් හැම ආකාරයෙන්ම පසුබැසීමක් සළකුණු කළේය.

".......ආණ්ඩුවේ සමාජවාදය වනාහී විශාල කොම්පැනිකරුවන් විසින් ක්‍රියාවේ යොදවන ආකාරයේ සමාජවාදයකි. ආණ්ඩුව විසින් වැඩ වර්ජන කඩාකප්පල් කරදැමීම සඳහා පොලිසිය යොදවනු ලැබ ඇත්තේ එහෙයිනි,"යි ජවිපෙ කියා සිටියේය. (1970 නොවැම්බර් 30 - විමුක්ති)


විරෝධයේ රළ නැඟ එයි

ව්‍යාපාරයේ පදනම නාගරික සහ ග්‍රාමීය නිර්ධනීන් කරා නියමාකාර ලෙස පැතිරවීමේ ඉක්මන් අවශ්‍යතාව පිළිබඳ ජවිපෙ නායකත්වය මේ වනවිටත් වේගයෙන් අවබෝධ කරගනිමින් සිටියේය. ඒ වනවිටත් නාගරික කම්කරු පංතිය හා දෙමළ වතු කම්කරුවන් අතර පැවති විප්ලවකාරී න්‍යෂ්ටීන් සමග තාවකාලික සබඳතා ගොඩනැගී තිබේ. බලා තම්පෝගේ නායකත්වයෙන් යුතු 50-100ත් අතර ක්‍රියාධරයන් කණ්ඩායමක් වූ ලසසප (වි)යත්, ඉලන්චේලියන්ගේ නායකත්වයෙන් යුතු තරුණ සමාජවාදී පෙරමුණත් මේ අතර විය. තම්පෝ 35,000ක පමණ සාමාජිකත්වය සහිත වූ ලිපිකරු සේවක සංගමයේ සහ වෙළඳ සේවක සංගමයේ ලේකම්වරයා වූ අතර, ඔවුන් සතුව කොළඹ වරාය තුළ වූ උපායික ග්‍රහණය හේතුවෙන් විශිෂ්ඨ ආර්ථික බලයකට හිමිකම් කීය. තරුණ සමාජවාදී පෙරමුණ වතුකරය තුළ තොණ්ඩමන් සහ අසීස්ගේ නායකත්වයෙන් යුතු වූ සාම්ප්‍රදායික ජාතිභේදවාදී කම්කරු සමිතිවලට එරෙහිව ගෙනගිය අරගලය හරහා බිහි වූ දෙමළ විප්ලවවාදීන්ගෙන් සැදුම්ලත් නව කණ්ඩායමක් විය. මේ නිසාම තරුණ සමාජවාදී පෙරමුණේ බිහිවීම ලංකාව තුළ වඩාත්ම වැදගත් හා බලාපොරොත්තු ඇතිකරන වර්ධනයකි. එය ලසසප (වි) සමග සහයෝගයෙන් වැඩ කළ අතර දේශපාලනිකව ද ඊට බොහෝ සෙයින් සමීප විය.

1970 නොවැම්බරයේදී ජවිපෙ, ලසසප (වි) හා තරුණ සමාජවාදී පෙරමුණ විසින් සැප්තැම්බරයේදී පොලිස් වෙඩි තැබීම්වලින් කම්කරුවන් දෙදෙනකු මියගිය කීනගල්ල වතුයායේ මහජන රැළියක් සංවිධානය කළහ. ජවිපෙ වෙනුවෙන් විජේවීර ද, ලසසප (වි) වෙනුවෙන් තම්පෝ ද, තරුණ සමාජවාදී පෙරමුණ වෙනුවෙන් ඉලන්චේලියන් ද මෙහි කථිකයන්ට ඇතුළත් වූහ.

මර්දනය ඇරඹේ

මාර්තු වනවිට ආර්ථික තත්ත්වය විනාශයට ඇද වැටෙමින් තිබූ අතර ජවිපෙ වඩ වඩා ජන බලය දිනාගනිමින් සිටියේය. ඔවුන්ගේ සාර්ථකත්වය ශ්‍රීලනිප - ලසසප සහ කොමියුනිස්ට් පක්ෂ සභාග ආණ්ඩුවටත්, ඔවුන් නියෝජනය කළ ජාතික සහ ජාත්‍යන්තර උවමනාවන්ටත් එල්ල වූ ආසන්න තර්ජනයක් විය. එහෙයින්ම පළමු පහරදීම සඳහා ආණ්ඩුවම තීරණය කොට තිබිණ. මාර්තු 6 වැනිදා ධර්මසේකරගේ නායකත්වයෙන් යුතු අන්ත වාමාංශික සංවිධානයක් වූ මාඕවාදී තරුණ පෙරමුණ සංවිධානය කළ විරෝධතාවයක් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් පිටත පැවැත්වුණි. විරෝධතාවයේ ඵලයක් වශයෙන් පොලිස් භටයකු මරණයට පත්විය. ජවිපෙට මෙම සිදුවීම සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණු අතර, ඔවුහු වහාම එය ප්‍රසිද්ධියේ ප්‍රතික්‍ෂේප කළහ. කෙසේවුවත් ආණ්ඩුව ජවිපෙට එරෙහිව ක්‍රියාත්මක විය.

ආණ්ඩුව පෙරළා දැමීම පිණිස වූ ජවිපෙ කුමන්ත්‍රණයක් අනාවරණය වී ඇති බැව් මාර්තු 16දා නිවේදනය කර සිටි කැබිනට් මණ්ඩලය රට පුරා හදිසි නීතිය පනවනු ලැබූ අතර, හිතුමතය අනුව අත්අඩංගුවට ගැනීමටත්, පරීක්ෂණ පැවැත්වීමකින් හෝ මියගිය අයගේ ඥාතීන්ට දැනුම් දීමකින් තොරව සිරුරු විනාශ කිරීමටත් සම්පූර්ණ බලය පොලිසිය හා හමුදාව වෙත පවරනු ලැබිණ. 'ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව සුපරීක්ෂාකාරී වන්නැයි' සිරිමාවෝ බණ්ඩාරනායක ගුවන් විදුලිය ඔස්සේ ලාංකීය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය. ජවිපෙ සමග සබඳකම් පැවැත්වීයැයි සැක කළ 300ක් පමණ දෙනා අත් අඩංගුවට ගත් බව මාර්තු 26 වැනිදා රජය නිවේදනය කර සිටි අතර, සොයාගන්නා ලද ආයුද තිප්පොළවල් පිළිබඳව දිනපතා ප්‍රචාරය කෙරිණ.

1971 අප්‍රේල් 5

රජය විසින් රැගෙන ගිය අත් අඩංගුවට ගැනීමේ රැල්ලක්, හදිසි නීතිය පැනවීමත් සමගම ජවිපෙ තුළ විවාදයක් ඇරඹිණ. ප්‍රධාන වශයෙන්ම උපායයන් දෙකක් ආරක්ෂා කෙරිණ. එනම් සන්නද්ධ නැගිටීමක් හෝ දිග්ගැසුණු ගරිල්ලා යුද්ධයක් පිළිබඳ උපායයන් දෙකයි. සන්නද්ධ නැගිටීමක් වෙනුවෙන් පෙනී සිටියවුන් එම තීරණය ජවිපෙ නායකත්වය කරාම ගෙනගිය අතර, ජවිපෙ වැඩිකලක් බලා සිටියහොත් ආණ්ඩුවට එය මර්දනය කිරීමට හැකිවන බවට ඔවුහු තර්ක කළහ. ඒ තත්ත්වය තුළ ප්‍රතිප්‍රහාර එල්ල කරන මෙන් පක්ෂය සිය සටන්කාමීන් වෙත උපදෙස් සපයනු ලැබිණ.


හදිසි නීතිය පැනවීමෙන් හරියටම සති තුනකින් පසු අප්‍රේල් 5 වැනිදා සහ 6 වැනිදා රාත්‍රියේ 25ත් 30ත් අතර වූ ජවිපෙ කාඩර්වරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් විසින් රටපුරා විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානයන්ට පහර දුන්හ. මෙම ප්‍රහාරයන්හිදී යොදාගත් ජවිපෙ ආයුද මුළුමණින්ම දේශීයව තනාගත් ඒවා වූ අතර සිය පළමු නවීන අවි ආයුද ඔවුන් ලබාගත යුතුව තිබුණේ ආණ්ඩුවේ මුරපොළවලට ප්‍රහාර එල්ල කිරීමෙනි. පළමු පහරදීමේ ඉලක්කය ලෙස පෙනෙන්නට තිබුණේ නවීන අවි තොගයන් අත්පත් කරගැනීම හරහා ඇතුළතට වන්නට නිදහස් කරගත් භූමි ප්‍රදේශයන් මත බලය තහවුරු කරගනිමින් ඒ මත පදනම්ව දෙවැනි ප්‍රහාරයකට යාමයි.

පළමු රාත්‍රියේදීම පොලිස් ස්ථාන ගණනාවක් බිඳවැටුණු අතර, ආණ්ඩුව ඉක්මණින්ම තවත් පොලිස් ස්ථාන ගණනාවක් අත්හැර දමනු ලැබීය. කැරැල්ලේ උච්ඡතම මොහොත වනවිටත් 90ත් 100ත් අතර වූ පොලිස් ස්ථාන ප්‍රමාණයක් එක්කෝ අත්හැර දමනු ලැබ හෝ නැත්නම් ජවිපෙ අතට පත් වී හෝ තිබුණි. ආණ්ඩුවේ පළමු නිවේදනය මගින් පොලිස් ස්ථාන 25කට එල්ල වූ පහරදීම් ගැන කියැවුණද, මෙය එම රාත්‍රියේ සිදු වූ ප්‍රහාරයන් සංඛ්‍යාවක් අඩුකොට දැක්වීමක් වූ අතර ඊට පසුව සිදු වූ පහරදීම් ගැන ආණ්ඩුව නිහඬව සිටියේය. නමුත් අප්‍රේල් මාසය අග වනවිට සිද්ධීන් පිළිබඳ සැබෑ චිත්‍රයක් ඉස්මතු විය.

"....පොලිස් මුරපොළවල් 25කට පමණක් පහරදීම් සිදුවිණැයි මුලින් කී ආණ්ඩුව, පොලිස් ස්ථාන 30කට වඩා කැරළිකරුවන් විසින් අත්පත් කරගෙන දින ගණනාවක් පවත්වාගෙන යනු ලැබූ බවත් දැන් ප්‍රකාශ කරයි. වර්ග සැතපුම් සිය ගණනාවක් පුරා පැතිරුණු ගම්බද ප්‍රදේශයන් නමයක් තුළවත් අවම වශයෙන් සිය පාලනය ආණ්ඩුවේ හමුදා මැදිහත්වීමකින් තොරව පවත්වාගෙන යාමට කැරළිකරුවන් සමත්විණැ"යි 1971 අප්‍රේල් 25 වැනිදා නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තා කළේය.

අප්‍රේල් 6 වැනිදා ඇත්ත වශයෙන්ම ඇඳිරි නීතිය කෙටිකරන ලද අතර, හමුදාව 'මුළුමණින්ම පාලනය' සියතට ගෙන ඇති වගත්, සටන් පවතින සුලු ප්‍රදේශ කිහිපයක දැනටමත් තත්ත්වය මැඩ පවත්වමින් සිටින වගත් ඉන් දිනකට පසු ආරක්ෂක හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමතිවරයා නිවේදනය කර සිටියේය. නමුත් අප්‍රේල් 8 වැනිදා වනවිට ආණ්ඩුවේම නිවේදන මගින් වඩා පැහැදිලි චිත්‍රයක් මතුවන්නට පටන් ගත්තේය. එම නිවේදනයන්ට අනුව, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ හා කෑගල්ලේ කැරළිකරුවන් විසින් මාර්ග බාධක ගොඩනගා තිබූ අතර අලව්වේදී ජවිපෙ උපායික ස්ථානගත වීම් ඉලක්ක කරමින් ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරමින් සිටියේය. අප්‍රේල් 9 වැනිදා රජය දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි විසිහතර පැය පුරාම ඇඳිරි නීතිය පැනවූ අතර කැරළිකරුවන් 80,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් ආණ්ඩුවට අභියෝග කරමින් සිටින බව විදේශ ප්‍රවෘත්ති සේවා වාර්තා කරනු ලැබ තිබුණේය.

අප්‍රේල් 10 වැනිදා කෑගල්ල පොලිස් ස්ථානයේ සිට ඒපී පුවත් සේවය වාර්තා කරමින් සිටියේ 'ඇස්තමේන්තුවලට අනුව 80,000ක් වූ කැරළිකරුවන් විසින් ගෙන ගිය කියුබානු මාදිලියේ නැගිටීම හමුවේ සැතපුම් 700ක් පුරා විහිදුණු දිස්ත්‍රික්කය තුළ අත්හැර දමනු නොලැබූ හෝ ගිනිතබා විනාශ නොකළ එකම පොලිස් ස්ථානය" එය බව ය (Evening Standard - 1971 අප්‍රේල් 12). එම මාසයේදීම පසුව අනාවරණය වූ ආකාරයට දකුණු පළාතේ තරමක් විශාල නගර දෙකක් වූ 50,000ක පමණ ජනගහණයෙන් යුතු ඇල්පිටිය හා දෙනියාය යන ප්‍රදේශයන් ජවිපෙ විසින් අත්පත්කරගෙන පරිපාලන කටයුතුද මෙහෙයවා තිබිණ. පළමු පහරදීමේදීම ජවිපෙ විසින් නිදහස් කරගත් මෙම ප්‍රදේශ අතුරින් ඇල්පිටිය අප්‍රේල් 23 වැනිදාත්, දෙනියාය අප්‍රේල් 25 වැනිදාත්, යළි ආණ්ඩුවේ හමුදාවන් විසින් අත්පත් කරන්නා ලදී.

අපගේ එකම තොරතුරු මාර්ගය වූ බටහිර මාධ්‍යයන් විසින් ගම්වැසියන් ජවිපෙ සාමාජිකයන් පිළිගනිමින්, ඔවුන්ට අවශ්‍ය සැපයුම් හා තොරතුරු ද සැපයූ බව සිය වාර්තා මගින් අවධාරණය කළහ."ගම්මුන් තරුණ කැරළිකරුවන් කෙරෙහි සානුකම්පිතව සැළකූ බවට සැකයක් නැත. ප්‍රාදේශීයබද ජනයා විසින් ඔවුන් සියල්ලන්ම මිත්‍රශීලීව පිළිගනු ලැබිණැ'යි ප්‍රංශයේ පළවන ලෙ මොන්ද් පත්‍රය වාර්තාකර තිබුණි (Le Monde - 1971 අප්‍රේල් 30). ජවිපෙ විසින් සති තුනක් අල්ලාගෙන සිටි තේ වතුයායක් හිමි බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවකු පවා ඔවුන්ගේ දේශපාලනයේ ආකාරය හා සියුම් ප්‍රඥාව පිළිබඳව වැදගත් කොට සඳහන් කළේය (The Times - 1971 මැයි 4).

සංහාරය උත්සන්න වේ

අප්‍රේල් අර්බුදය තුළ ජවිපෙ ඒකකයන් කඳුකර ප්‍රදේශවල පිරිස් හසුරුවමින් සටන්කරන අතරතුර, කම්කරු පංතිය මත වූ ආණ්ඩුවේ අස්ථිර ග්‍රහණය ඇණටිහීම ඇරඹුනි. විශ්වාසදායක වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පොලිස් ස්ථානයන් ආරක්ෂා කිරීම සඳහා පළාත්වලට යවන ලද නමුත් ඔවුන් අතර ජවිපෙ කෙරෙහි සානුකම්පිත අනුකූලතාවයක් වර්ධනය වීම හමුවේ වහාම යළිත් ඔවුන් කැඳවාගනු ලැබුණි.

අප්‍රේල් 17-20 අතරතුර කෑගල්ල ප්‍රදේශයේදී රජයේ හමුදා ගෙනගිය මුල් ප්‍රතිප්‍රහාරවලදී සිදුකරන ලද බහිර්නීතික ඝාතන පිළිබඳ වාර්තාවන් පළමුවරට ප්‍රකාශයට පත්වන්නට විය. සිය සිරකරුවන් ඝාතනය කිරීම සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන් සෑන්ඩ්හර්ස්ට් පුහුණුව ලද ලුතිනන් කර්නල් සිරිල් රණතුංගගේ ප්‍රකාශයන් උපුටා දක්වනු ලැබුණි.

"අපට වියට්නාමයෙන් සහ මලයාසියාවෙන් උවමනාවටත් වඩා අත්දැකීම් ලැබී තිබේ. අපි ඔවුන් මුළුමණින්ම විනාශ කළ යුත්තෙමු" (International Herald Tribune, 1971 අප්‍රේල් 20)

"සිරභාරයේ පසුවන්නන් කැරැළිකරුවන් බව අපට තහවුරු වූ විට ඔවුන් සුසානභූමියට රැගෙන ගොස් අපි ඔවුන්ගෙන් නිදහස් වන්නෙමු"යි තවත් නිලධාරියකුගේ ප්‍රකාශයකින් උපුටා දැක්විණ. ආණ්ඩුව පසුව මෙය ප්‍රතික්‍ෂේප කරනු ලැබූ නමුත්, අනතුරුව එළඹුණු සතිවලදි කොළඹට ආසන්න කැළණි ගංගාවේ පහළට පාවී යන තරුණ - කරුණියන්ගේ මළ සිරුරු දක්නට ලැබුණු අතර, සොල්දාදුවන් සිරුරු එකතුකර පසුව පුළුස්සා දැමුණි. ඉන් බොහෝමයක් දෙනාගේ පිටුපසට වැදුණු වෙඩි පහරවල් දක්නට ලැබිණැයි 1971 අප්‍රේල් 25 වැනිදා නිව්යෝක් ටයිම්ස් පත්‍රය වාර්තා කළේය.☐

තුන්වැනි කොටස: කැළණි ගංගාවේ පාවූ තරුණ මළසිරුරු සෙබළුන් විසින් පුළුස්සා දැමූහ

(මතු සම්බන්ධයි)

ෆ්‍රෙඩ් හැලිඩේ


© JDS