එම්.එන්. රෝයි: 'ලෙනින් කතාවේදී අවංක ද, හැසිරීමේදී මිත්‍රශීලී ද විය'

මනබේන්ද්‍ර නාත් රෝයි (1887-1954) හෙවත් එම්.එන්. රෝයි සුපතල බෙංගාල කොමියුනිස්ට්වාදියෙකි. විසිවන සියවස මුල් දශක දෙක තුළ රුසියානු විප්ලවකාරී නැගිටීම් කේන්ද්‍ර කොටගෙන වර්ධනය වූ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ වඩාත්ම බලපෑම් සහගත මැදිහත්වීම් කළ දකුණු ආසියාතිකයා ඔහු බව අවිවාදිත ය. නමුත් රෝයි හා රුසියානු විප්ලවවාදීන් අතර සම්බන්ධතාවට 1917 මෙක්සිකෝවේදී මග පෑදුණු ආකාරය පිටුපස සිත්ගන්නා සුළු ඉතිහාස කතාවක් තිබේ. නිර්දය විජිතවාදී පිළිවෙත් හරහා ඉන්දියාව කොල්ලකෑමේ නිරත බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බලය බිඳලනු පිණිස ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩනගනු වස් රටින් රට චාරිකා කළ රෝයි, 1917දී මෙක්සිකෝවේ සමාජවාදී කම්කරු පක්ෂය පිහිටුවීමේ ලා පුරෝගාමී වීමේ කතාන්දරය අන් ලිපියකට නිමිත්තකි.

ස්වාමි විවේකානන්දගේ සමාජ ආගමික ප්‍රතිසංස්කරණයන්ගෙන් ද, බන්කිම් චන්ද්‍ර චැටර්ජීගේ ජාතිකවාදී ලේඛනයන්ගෙන් ද, බෙංගාල සටන්කාමී ජතින්ද්‍රනාත් මුඛර්ජීගේ විප්ලවකාරී අධිරාජ්‍ය විරෝධී සටන්කාමීත්වයෙන්ද පිටුබල ලැබ ජාතිකවාදියකු වශයෙන් ඉන්දියාවෙන් නැව්නැගි රෝයි, මාක්ස්වාදය දෙසට තීරණාත්මකව හරවන ලද්දේ 1919දී ඔහු හා රුසියානු බොල්ෂෙවික්වාදී මිඛායල් බොරොඩීන් අතර ගොඩනැගුණු සම්බන්ධතාව හේතුවෙනි. ඊට මග පාදන ලද්දේ, රුසියානු විප්ලවය ආපසු හැරවීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන්ගේ මූලිකත්වය ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බලයට එරෙහිව ඉන්දියානු සහයෝගිතාව ගොඩනගන මං සොයමින් සිටි බොල්ෂෙවික්වරුන් අතර මෙක්සිකානු සමාජවාදී කම්කරු පක්ෂයේ ලේකම්ධූරයට පත් බ්‍රිතාන්‍ය විරෝධී සටන්කාමී ඉන්දියානුවා පිළිබඳ වර්ධනය වූ කුතුහලය විසිනි. රුසියාවෙන් බැහැර බිහි වූ ලොව පළමු කොමියුනිස්ට් පක්ෂය ලෙස ඉතිහාසයට එක්වුණු මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂය 1919දී බිහිකිරීමට එම්.එන්. රෝයි පුරෝගාමී වූයේ ඒ අනුව ය.

1920 ජූලි - අගෝස්තු මාසවල, රුසියාවේ පෙත්‍රොග්‍රාදයේ හා මොස්කව් නුවර මුළුදුන් තුන්වැනි කොමියුනිස්ට් ජාත්‍යන්තරය හෙවත් කොමින්ටනයේ දෙවැනි සමුළුව සඳහා මනබේන්ද්‍ර නාත් රෝයිට ඇරයුම් කරන්නට වී අයි ලෙනින් තීරණය කරන ලද්දේ මෙක්සිකෝවේදී රෝයි හමු වූ බොරොඩීන් විසින් සම්පාදනය කරන ලද තොරතුරුවලින් මෙලැවුණු උනන්දුව මත ය. ජාතීන්ගේ හා යටත් විජිත පිළිබඳ ප්‍රශ්නය ගැන ලෙනින් විසින් කොමින්ටනයේ දෙවැනි සමුළුවට ඉතිරිපත් කරන ලද සුප්‍රකට තිසීසයන් විවේචනයට පාත්‍ර කරමින්, ලෙනින්ගේ ඇරයුම මත විකල්ප තිසීසයක් සම්පාදනය කිරීමටත්, තුන්වැනි ජාත්‍යන්තරයේ විධායක කමිටුවට තේරී පත් වූ පළමුවැනි ඉන්දියානුවා වශයෙන් ඉතිහාසගත වීමටත් මනබේන්ද්‍ර නාත් රෝයිට මාවත විවර කරන ලද්දේ මෙකී ඓතිහාසික හමුව විසිනි.

රෝයි හා ලෙනින් අතර පළමු හමුව සිදුවන විට බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපදය ඇතුළු රටවල 11කින් සැදුම්ලත් ජාත්‍යන්තර ප්‍රතිවිප්ලවකාරී සන්ධානයෙන් පිටුබල ලැබූ රාජාණ්ඩුවාදී ඇලෙක්සැන්ඩර් කොල්චාක් හා ඇන්ටන් ඩෙනිකින් විසින් මෙහෙයැවුණු ධවල හමුදා රුසියාව වටලා පහර දෙමින් තිබුණි. ආක්‍රමණික යුද බලයන්ට එරෙහිව විප්ලවකාරී රුසියාව පුරා ඇවිල යන සටන්කාමීත්වයේ අග්නිය මොළවමින් ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවික්වාදීන් විසින් ගෙනගිය අරගලය පිළිබඳ ස්වකීය සජීවී මතකය කළඹින් පසුකලක රෝයි විසින් ලියන ලද මතක සටහන් වැදගත් ඉතිහාස පරිච්ඡේදයක් ඇතුළතින් විමසා බැලීමට කවුළුවක් විවර කරයි.

මිනිස් ඉතිහාසය පිළිබඳ සංශෝධනවාදී කල්පනාවන් හා පුද්ගලවාදී නරුමවාදය ජීවන දහමක් බවට පෙරළුණු කාල පරිච්ඡේදයක, විප්ලවකාරී සාමූහික මිනිස් ප්‍රයත්නයන් සතු ශක්‍යතා පිළිබඳ වැදගත් පුද්ගල සාක්ෂියක් රෝයිගේ ආවර්ජනයන් විසින් ශේෂකොට තබා ගොස් තිබේ.

1937දී රෝයි විසින් ආරම්භ කළ ඉන්දීය රැඩිකල් මානවවාදී ව්‍යාපාරයේ මධ්‍යම ප්‍රකාශනය වූ The Radical Humanist සඟරාවේ 1952 ජූනි මස 8 වැනිදා කලාපයේ මුලින් පළවූ එම ලිපිය පළමුවරට සිංහල බසට පරිවර්තනය කර පළකරනු ලබන්නේ, රුසියානු ඔක්තෝබර් විප්ලවයේ නායක වී.අයි. ලෙනින්ගේ 150වැනි ජන්ම සංවත්සරය අද (22) දිනට යෙදී ඇති හෙයිනි.

පරිවර්තනය: සනත් බාලසූරිය



දු

ම්රිය අපේ ගමනාන්තයට ළඟාවන විට දහවල එළැඹ තිබිණි. එය නියමිත වෙලාවට ම පැමිණ ඇතැයි සිය ඔරලෝසුව දෙස බැලූ ලොමොනොසොව් කියා සිටියේය. සිවිල් යුද්ධය විසින් රුසියානු දුම්රිය පද්ධතිය බරපතල ලෙස අවුල්කර දමා තිබිණි. ඒ, ක්‍රමානුකූල දුම්රිය සේවයක් නැවත ස්ථාපිත කිරීමට බොහෝ කලකට පෙර වූ අතර, ඕනෑ ම කාල සටහනකට අනුව දුම්රිය ධාවනය විය. 1920 වන විටත්, මුළු දුම්රිය පද්ධතියම මිලිටරි ප්‍රවාහන කටයුතු සඳහා වෙන්කර තිබිණි. පෞද්ගලික මගී ප්‍රවාහන සේවයක් නොවිණි. ගමනක් යාම සඳහා නිකම්ම දුම්රිය ස්ථානයකට ගොස්, ටිකට් පතක් මිලදී ගෙන, දුම්රියකට ගොඩවීමේ හැකියාවක් තිබුණේ නැත. විප්ලවය විසින් මුදල් අහෝසි කර තිබූ අතර, ඒ හේතුවෙන් ධනවතුන් හා දුගියන් අතර වෙනසක් නොතිබිණි.

මොස්කව්හි පළමු දිනය

බලපත්‍රධාරීන්ට පමණක් නිල රාජකාරි සඳහා දුම්රිය භාවිතා කළ හැකි විය. අවන්හලකින් කෑමවේලක් ගැනීම හෝ සාප්පුවකින් බූට් සපත්තු ජෝඩුවක් ගැනීම හෝ නගරයෙන් ට්‍රෑම් රථයකට ගොඩවීම සඳහා වැඩකිරීමේ සහතිකයක් ඉදිරිපත් කළ යුතු විය. සාමාන්‍ය ජන ජීවිතය පාලනය කරනු ලැබුවේ විප්ලවවාදී සමාජ සාධාරණත්වය පිළිබඳ මූලධර්මය මතය. "වැඩ නැතිනම්, පාන් නැත."

සියලුම දුම්රිය මාර්ගවල සාමාන්‍ය දුම්රිය සේවයක් ක්‍රියාත්මක වීමට තව කාලයක් ගතවිය හැකියැයි කියමින් අප දුම්රිය ස්ථානයෙන් පිටතට කැඳවාගෙන යන අතර ඒ ගැන සමාව ඉල්ලූ ලොමොනොසොව්, සැතපුම් ගණනින් ගත්විට ලෝකයේ දෙවැනි විශාලතම දුම්රිය සේවය ඇත්තේ රුසියාවට බව අපට ආඩම්බරයෙන් මතක්කර දුන්නේය. එහෙත් එක් දෙයක් දැනටමත් අත්පත් කරගෙන තිබේ; ප්‍රධාන නගර දෙක එකිනෙක සම්බන්ධ කරන මාර්ගයේ දිනකට දුම්රිය තුනකට නොඅඩු ගණනක් ධාවනය වූවා පමණක් නොව, ඒවා සියල්ල නියමිත වේලාවට ධාවනය විය. අප රැගෙන ආ දුම්රියෙන් රටේ දෙවැනි වැදගත් ම මිනිසා සතියකට තුන් වතාවක් ගමන් කළ බව ඔහු අප හා රහසින් කීවේය. එහෙත් අපේ වරප්‍රසාදය, ඔහුත් සමග එක ම දුම්රියේ ගමන් කිරීමේ අවස්ථාව දක්වා දුරදිග ගියේ නැත. කිසිදු රාජකාරිමය නොවන පුද්ගලයෙකුට ඒ අවසරය නොලැබිණි.


ඒ ගරු ගාම්භීර සඳහන, ලෙනින්ග්‍රාද් සෝවියට් සංගමයේ සභාපතිවරයා ද, කොමියුනිස්ට් පක්ෂයේ මහා බලගතු දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු ද, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක මණ්ඩලයේ සභාපතිවරයා ද වූ හෙයින් සතියකට තුන් වතාවක් අගනගර දෙක අතර එහා මෙහා යන්නට සිදුවූ සිනොවියෙව් ගැන බව මම පසුකාලීනව දැනගතිමි. මහානුභාව සම්පන්න ත්‍රිත්ව කිරීටය පැළැඳ සිටි ඔහු (ඒ ගෞරවය වෙන කිසිවකුටත් නොවීය) වැදගත්කම අතින් ලෙනින්ට පමණක් දෙවැනි වන පුද්ගලයා ලෙස සැලකිණි.

ලෙනින්ග්‍රාදය ආක්‍රමණයේ අනතුරට නිරවරණය වී තිබූ බැවින් සමූහාණ්ඩුවේ දේශපාලන අගනගරය මොස්කව් වෙත මාරු කරනු ලැබිණි. බලවත් ජර්මන් හමුදාවක් දේශ සීමාවට යන්තම් සැතපුම් කිහිපයක් එපිටින් ෆින්ලන්තයේ තවමත් කඳවුරු බැඳගෙන සිටියේය. ජර්මානු බෝල්ටික් හමුදවේ පිහිටාධාර ලද, මිත්‍ර බලවේගයන්ගේ දිරිගැන්වීම් සහිත සාර් ජෙනරාල් යුදෙනිච්ගේ ධවල හමුදාව 1919 ගිම්හානය වන විට දකුණු දිග නගර ප්‍රත්‍යන්තයන් කරා ළඟාවී සිටියේය. රට අභ්‍යන්තරයට වන්නට පිහිටා තිබූ මොස්කව් එපමණට ම තර්ජනයට ලක්විය හැකිව නොතිබිණි. එහෙත් සම්ප්‍රදායිකව ම වැඩවසම් බලයේ හා ප්‍රතිගාමීත්වයේ කේන්ද්‍රය වීම හේතුවෙන්, එහි සමාජ හා සංස්කෘතික වටපිටාව නව විප්ලවවාදී ආයතනයන්ගේ නැඟීමට එතරම් හිතකර නොවීය. මධ්‍යකාලීන පවුරුවලින් සැදි ක්‍රෙම්ලින් නගරය කම්කරුවන්ගේ හා ගොවියන්ගේ සමූහාණ්ඩුවේ මූලස්ථානය සඳහා වඩාත් නොගැලපෙන ස්ථානය විය.

ඊට ප්‍රතිවිරුද්ධව ලෙනින්ග්‍රාදය, විප්ලවයේ සමාජ පදනම වූ කාර්මික වටපිටාවක් සහිත නූතන නගරයක් විය. විප්ලවය එහි ආරම්භ වී රටේ අනෙකුත් පෙදෙස් කරා පැතිරිණි. පෙත්‍රෝග්‍රාද් කම්කරු පන්තිය බලය අල්ලාගත් පළමු පිරිස වූවා පමණක් නොව, ඔවුහු දිවිහිමියෙන් නව විප්ලවවාදී ආණ්ඩුව ආරක්ෂා කළහ. එබැවින් ලෙනින්ග්‍රාද් සෝවියෙට් සභාවට හා පක්ෂ සංවිධානයට විප්ලවීය රාජ්‍යය තුළ ගෞරවාන්විත ස්ථානයක් ලැබුණු අතර, සමූහාණ්ඩුවේ දේශපාලන දිවියේ ආධිපත්‍යය ඊට හිමි විය.

...

දුම්රියපොළ ඉදිරිපිට විශාල විවෘත ඉඩකඩ, නිල ඇඳුමින් යුත් මිනිසුන්ගෙන් පිරී තිබිණි; වැහැරුණු අශ්වයන් විසින් අදින ලද වැනෙනසුළු අස්රිය, සියලු රථවාහන රෙගුලාසිවලට එරෙහිව ධාවනය වූ මෝටර් රථවලින් කුඩුපට්ටම් වී යාමේ අවදානම ඇතිව ගල් ඇතිරූ මාවත් දිග වැනි වැනී ධාවනය විය. උමතුවෙන් මෙන් එහෙ මෙහෙ දිවූ මෝටර් රථ සියල්ල හමුදා භටයන් විසින් අත්පත් කරගෙන සිටි බැවින් නොසැලකිල්ල වඩා කැපී පෙනිණි. මේ නොසැලකිල්ල, මා අත්දැකීමෙන් අවබෝධ කරගත් ආකාරයට, අනෙක් මිනිසුන්ගේ ජීවිත පිළිබඳ හැඟීම් විරහිතභාවය ඇති කළ, බලය පිළිබඳ හැඟීම පෙන්නුම් කළේයැයි මම සිතමි. විශාල කාලවර්ණ ලිමොසින් රථයක් අප ඉදිරිපිට නැවැත්වුණු කල්හි, බලාපොරොත්තු වූ හා නොවූ පළමු සංකල්පනාවන් විසින් ඇතිකරන ලද තෝන්තුවාවෙන් මම මිදුණෙමි. රියදුරා සිටියේ සොල්දාදු නිල ඇඳුමකිනි.


සඩූල් මහත්මියට ගොඩවීම සඳහා ලොමොනොසොව් රියෙහි දොර හැර දුන්නේය. ශ්ලිප්කින් ඔහුට ලිපිනයක් ලබා දුන් අතර, රිය ඉදිරියට ඇදිණි. වහල පහතට දමන ලද තවත් රියකින් අපි ඒ පසුපස ගියෙමු. ඉදිරි අසුණේ රියදුරා අසළ තුවක්කුවක් අත දරාගත් දරුණු පෙනුමක් ඇති සොල්දාදුවෙක් සිටියේය. ගල් ඇතිරූ මාවතේ අධිවේගයෙන් ඉදිරියට ඇදෙන විට බර වාහනය උඩ පනිමින් කිරි කිරි හඬ නැගීය. සියලු කඩසාප්පු කවුළු ලෑලිගසා වසා තිබූයෙන් මාවත් ජන ශුන්‍ය බවක් ඉසිලීය. කිසිවකුත් නිකරුණේ රස්‍තියාදු වන බවක් නොපෙනිණි; මග යන එන සියල්ලෝ අරමුණු සහගත බවක් මවාපෑහ.

තවත් මොහොතකින් අපි තරමක් පටු ගංගාවක් ඔස්සේ දමා තිබූ යකඩ පාලමක් පසුකළෙමු. එය මොස්කව් නදිය විය. නදී ඉවුර ඔස්සේ මද දුරක් ඇදී ගිය අපේ රථය, යකඩ ගේට්ටුවකින් හැරී යෝධ පෞද්ගලික නිවසක් මෙන් පෙනුණු විසල් ගෘහෝද්‍යානයකට පිවිසියේය. පෝටිකෝව වෙත පැමිණි බොරෝඩින්, තේජස්වී ලී පියගැට පෙළක් ඔස්සේ මා විස්මපත් කළ කාමර පෙළක් කරා කැඳවාගෙන ගියේය. එය මාළිගාවක් නොවිණි. එහෙත්, රාජකීය සුවපහසුව හා සුඛෝපභෝගය ඇති මේ සුවිසල් මන්දිරයේ ජීවත් වූයේ කවුරුන්ද? බොරෝඩින් මගේ නොවිමසන ලද පැනයට පිළිතුරු බැන්දේය. කලින් එය සිටුවර ගුච්කොව්ගේ නාගරික වාසස්ථානය විය. ව්‍යාපාරවලට නැඹුරු වූ වංශාධිපතියකු වූ ඔහු සතුව බීට් සීනි කර්මාන්තයේ විශාල කොටස්කාරීත්වයක් තිබූ අතර, රුසියාවේ 'සීනි රජු' ලෙස ඔහු හැඳින්විණි. විප්ලවය විසින් පෞද්ගලික දේපල අහෝසි කරන ලද බැවින්, "ගුච්කොව් මන්දිරය" රජයට අයත් විය. බිම් මහල විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය කොමසාරිස් කරඛාන්ගේ පෞද්ගලික වාසස්ථානය විය. උඩුමහළ වැදගත් රාජ්‍ය ආගන්තුකයන් සඳහා වෙන් විය. මා මනසට වැදුණු තවත් ප්‍රශ්න අසන්නට කලින් ම බොරෝඩින් මා උස් ජනේලයක් අසළට රැගෙන ගොස් එහි ගණ සැටින් තිර රෙද්ද පසෙකට කළේය.

මොස්කව් නදිය නිවස ඉදිරි පිටින් ගලා ගියේය. අනෙක් ඉවුර දිගට ගාම්භීර මිනාරයන්, උස් පල්ලි කොත් හා සැඳෑ හිරු එළියේ දිදුළු දුන් විසල් රන්වන් මාලිගා ගෝලාර්ධ කොත් කන්දරාවක් පසුපසින් උස් ප්‍රාකාරයක් දිවගියේය. ඒ ක්‍රෙම්ලිනයයි. මීට වසර සිය ගණනකට පෙර මාලිගාවක් ලෙස ගොඩනංවන ලද්දක් වුවත්, ආරක්ෂක විධිවිධානවලින් තර කැරුණු වඩා විසල් නගරයක් ඇතුළත වූ ප්‍රාකාරයෙන් වට නුවරක් වීමට තරම් එය විසල් විය. ඉදින්, මා මොස්කව් වෙත සැපත්ව සිටි අතර, හරියටම ක්‍රෙම්ලිනයේ තාප්පය යට විසීමි.

බොරෝඩින් යාබද කාමරය අත්පත් කරගෙන සිටියේය. කාර්යාල වේලාවෙන් පසු, සවස 5ට පිළිගැන්වෙන රාත්‍රී ආහාරයට මට සූදානම් විය හැකිවන පරිදි, ඔහු පිටව ගියේය. සවස් වරුවේ මම මගේ සත්කාරකයා වූ කරඛාන් හමුවන්නට සිටියෙමි. රාත්‍රී භෝජනය වාසස්ථාන මන්දිරයට වඩා මුළුමනින් ම වෙනස් විය. රතු දුඹුරු දැවයෙන් පනේල යොදන ලද උස් බිත්තිවලින් සැදි ඉඩකඩ ඇති කාමරයක අලංකාර මේසයක් මත පිළිගන්වන ලද භෝජනය ගෝවා සුප් එකකින්, කළු පාන් පෙත්තකින් හා පිසින ලද ඉතාම තද පැහැ ධාන්‍ය වර්ගයකින් සමන්විත විය. පසුගිය කෑමවේල සුඛෝපභෝගී එකක් වූ බවත්, සුප් එකේ ඇති කුඩා මස් කැබැල්ල හැම විටම නොපවතින්නක් බවත් බොරෝඩින් කුරිරු හාස්‍යයකින් යුතුව මට කියා දුන්නේය.

සියලුම රජ්‍ය ආයතනයන්හි ලබාදුන් සම්මත ආහාර වේල එය විය. සමානාත්මතාව ඉතාම අඩු මට්ටමකින් මුත් දැනටමත් අත්පත් කරගෙන තිබුණත්, දැන් සිවිල් යුද්ධය ප්‍රායෝගිකව අවසන් බැවින්, ඒ මට්ටම ඉහළ යනු ඇත. ප්‍රතිවිප්ලවවාදී හමුදා හැම පැත්තෙන්ම මොස්කව් කරා පැමිණෙමින් සිටි පසුගිය ශීත ඍතුවේ පැවැති කොන්දේසි හා සන්සන්දනය කර බලද්දී, තත්ත්වය ‍සැලකිය යුතු මට්ටමකින් දියුණු වී තිබේ. ආහාර හිඟයට අමතරව අධික ඉන්ධන හිඟයක් පැවති අතර, උෂ්ණත්වය හිමාංකයට වඩා ඉතා අඩු මට්ටමක පැවතිණි. දයානුකම්පාවට පත් ඇතැම් ගොවීහු, ලෙනින් සඳහා දර කරත්තයක් පුරවාගෙන ක්‍රෙම්ලිනයේ දොරටු කරා පැමිණියහ. මොස්කව්හි අත්දකින්නට සිදු වූ දුෂ්කරතාවන්ට ප්‍රධාන හේතුව වූයේ යුද කොමියුනිස්ට්වාදයට පිටිසරබදව එල්ල වූ ප්‍රතිරෝධයයි. ජනසතු කරන ලද ඉඩම්වල සම්පූර්ණ අතිරික්ත නිෂ්පාදනය රාජ්‍යයේ කොටස ලෙස ප්‍රකාශයට පත් කැරිණි. ගොවියෝ හුදෙක් තමන්ගේ යැපීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිෂ්පාදනය නොකරනු ඇත්තාහ. එහි ප්‍රතිඵලය වූයේ නාගරික පෙදෙස්වල ආහාර හිඟය හා සාගින්නයි. මොස්කව් නගරය එහි වේගයෙන් වැඩි වූ ජනගහනය සමඟින් මෙහි නරක ම පීඩිතයා විය.


ලෙනින් සමඟ පළමු හමුව

ජනතා කොමිසාර්වරුන්ගේ කවුන්සලයේ සභාපතිවරයාගේ කාර්යාලයේ පිවිසුම තරමක් වයසක කාන්තාවක විසින් මෙහෙය වූ ලේකම්වරුන්ගේ හමුදාවක් විසින් රැකවල් ලන ලදී. හැසිරීමෙන් නිහතමානී වූ, පෙනුමෙන් සාමාන්‍ය වූ හා ගෙවීගිය ඇඳුමෙන් සැරසුණු ඈ, කැපී පෙනෙන්නට උත්සාහ නොකළ සිය අධිකාරී බලයෙහි කාර්යක්ෂම බව පැහැදිළිව පෙනෙන්නට තිබිණි. පුද්ගලයන් දුසිමකින් පමණ සැදි ලෙනින්ගේ පෞද්ගලික ලේකම් කාර්යාලයට වෙන් වූ විශාල කාමරයෙහි අල්පෙනෙත්තක් බිම වැටුණත් ඇසෙන තරම් නිශ්ශබ්දතාවක් විය. පැසුණු හිසක් සහිත කාර්යාල ප්‍රධානී කත සිය සහායක සගයන්ට කතා කරන්නට ඇවැසි වූ හැම විටෙක ම නිහඬව මේසයෙන් මේසයට ගියාය. ඔවුහු සියලුදෙනාම හැකි අඩු ම මිමිණුම් හඬින් කතා කළහ. ලෙනින්ගේ කාර්යාලයට ඇතුළු වීමට වරප්‍රසාදය ලද්දේ ප්‍රධානී කාන්තාව පමණෙකි. මහත් වූ විශ්වාසයක් ඇවැසි වූ ඒ තනතුර සාමාන්‍ය පුද්ගලයකුට හෙබවිය නොහැකි විය. ශාන්ත වූ ද, මුළුමනින් පාහේ අවර්ණ වූ ද බොල්ෂෙවික් ස්වර්ගයේ ශාන්ත පීතර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක ද, මොස්කව් හි ඉතා ප්‍රසිද්ධ චරිතයක් ද, සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූවක ද විය.

ලෙනින්ගේ ලේකම් කාර්යාලයට යන මාර්ගය, හොඳින් සැලසුම් කරන ලද, හැම විටම හිස්ව තිබූ ප්‍රවේශ කාමරයක් ඔස්සේ වැටී තිබිණි. බලාපොරොත්තු වූ කිසිදු අමුත්තෙක් කිසි විට එහි පොරොත්තු නොකරන ලදී. බොල්ෂෙවිකයන් විසින් උරුම කරගන්නා ලද ජාතික ගති ලක්ෂණයක් වූ කාලය ගැන නොතැකීමේ ඉතා ප්‍රකට පුරුද්ද ලෙනින් උරුම කර නොගත්තේය. නියමිත වේලාවට වැඩකිරීම සුළු ධනේශ්වර අගතියක් ලෙස සලකා කළු ලයිස්තුගත කර තිබුණාක් මෙන් විය. කාලය ගැන නොතකා හැරීම වැඩි වන තරමට, නායකයාගේ කීර්තිය වැඩි විය. එය ඔහුගේ විවිධාකාර වූ රාජකාරි සහ අනෙකුත් යොදාගත් කටයුතු විසින් යුක්ති සහගත කැරිණි. සිනොවියව් ඒ පිළිබඳ සියලු වාර්තා බිඳ හෙළුවේය. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කොන්ග්‍රස් සැසිවාරයන්ට හෝ එහි විධායක කමිටු රැස්වීම්වලට ඔහු පැය ගණන් බලා සිටින්නට සැලැස්වූ අවස්ථා තිබිණි.

එක ම ව්‍යතිරේකය වූයේ ලෙනින් ය. වේලාව සම්බන්ධයෙන් වූ ආකල්පය සැලකූ කල්හි, ඔහු බෙහෙවින්ම රුසියානු නොවන්නෙක් විය. දිනපතාම බොහෝ අමුත්තන් හමු වූ මිනිසෙකුගේ ප්‍රවේශ කාමරයේ හිස්කම එය මොනවට පැහැදිලි කළේය. සාමාන්‍යයෙන් සම්මුඛ සාකච්ඡා කෙටි විය, විනාඩි නවයේ හෝ දහතුනේ වශයෙන් නිරතුරුවම අසාමාන්‍ය කාල අන්තරවලට බෙදී තිබිණි, කාලයේ සීමිතකම දැඩිව බලාත්මක කැරිණි. කිසියම් සම්මුඛ සාකච්ඡාවක් අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර මරියා සහෝදරිය (ලේකම් කාර්යාල ප්‍රධානී) බොත්තමක් එබූ අතර, එවිට ලෙනින්ගේ මේසය මත කුඩා විදුලි බුබුලක් දැල්විණි. එසේ වුවත්, නියමිත වේලාවට වැඩකිරීම පිළිබඳ සිය කීර්තිය අනතුරේ හෙලා ගැනීමට ලෙනින්ට කිසිදු අවස්ථාවක් නොදෙන ලදී. සංඥාව දීමෙන් අනතුරුව මරියා සහෝදරිය ඊළඟ අමුත්තාව එහි රැගෙන එන්නීය; වහාම එහි පැමිණවීමට අමුත්තකු නැතිනම්, ඇයම කිසියම් කරදාසි කිහිපයක් රැගෙන එහි පෙනී සිට, ඒවා ලෙනින් ඉදිරිපස තබන්නීය. අභ්‍යන්තර කවය තුළ ඒ ගැන විහිළුවට කියැවුණේ, මරියා සහෝදරිය ඉල්යිච්ට පාසල් ළමයකුට මෙන් සැලකූ බව ය.

හිස් ප්‍රවේශ කාමරය ඔස්සේ මා ලේකම් කාර්යාලය කරා රැගෙන යන ලදී. තම තමන් කරමින් සිටි වැඩවලට මුළු අවධානයම යොමුකර සිටි කාර්යාලයේ සේවය කළෝ, මා පිළිබඳ අවධානයක් නොගත්හ. එහෙත් බොල්ෂෙවික් ස්වර්ගයේ සාන්ත පීතර හැමවිටම සෝදිසියෙන් සිටියාය. ඇය නැඟිට, බිත්තියෙහි වූ විශාල ඔරලෝසුව දෙස බලා, මාලිගා පිවිසුමේ සිට මා කැඳවාගෙන ආ යටත් නිලධාරියාගෙන් වගකීම භාරගනු වස් නිහඬ ව ඉදිරියට පැමිණියාය. උස් රිදී හා රන්පැහැ දොරටුවක් වෙතට මා රැගෙන ගිය ඇය එක් පුද්ගලයකුට රිංගා යා හැකි තරමට දොර සෙමෙන් තල්ලු කරමින් විවර කර, ඇතුළු වන්නැ'යි මට හිසින් සංඥා කළාය. මම ඇතුළතට පා තැබීමි, දොර මා පසුපසින් නිහඬව වැසී ගියේය.

මිටි - මිත්‍රශීලී මිනිසෙක්

මාලිගයේ අනෙකුත් කොටස්වලින් වට වූ ඉඩකඩ ඇති අංගනයකට මුහුණ ලෑ උස් කවුළු පෙළකින් සැදි එය, දැවැන්ත සෘජුකෝණාශ්‍රාකාර කාමරයක් විය. අහස ස්පර්ශ කරන්නට ආසන්න වූවාක් මෙන් සීලිම බෙහෙවින් උස් විය. කාමරය මුළුමනින්ම පාහේ හිස්ය; ගන බුමුතුරුණකින් බිම පමණක් වැසිණි. කාමරයේ හරි මැද තබා තිබූ මේසය වෙත, එහි පහළටම, නැවීගත් මුඩු බුබ්බුලාකාර හිසක් විසින් මගේ අවධානය වහාම පැහැර ගැනිණි. නොසන්සුන් වූ මම, කළ හැකි අන් යමක් නොදැන, මේසය දෙසට ඇවිද ගියෙමි. මගේ උද්වේගයෙන් යන්තමට හෝ බාධාවක් ඇති නොවනු වස්, ගණ බුමුතුරුණ මගේ පා හඬ නිහඬ කරමින් මට අනුකම්පාව දැක්වීය. දොරේ සිට මේසයට සැලකිය යුතු තරමේ දුරක් විය. මම ඒ දුරෙන් යන්තම් අඩක් ගෙවා අවසන් කරන්නටත් පෙර, ඒ කැපීපෙනෙන මුඩු හිසේ හිමිකරුවා නැගී සිටිමින්, දිගුකරගත් සුරතින් යුතුව කඩිසර ගමනින් ඉදිරියට පැමිණියේය. මම ලෙනින් ඉදිරියේ සිටියෙමි.

මට වඩා මිටි වූ ඔහු, මගේ මුහුණ දෙස විපරම්කාරීව බලනු වස් සිය කුඩා රතු යටි රැවුල මුළුමනින්ම පාහේ තිරස් අතට ඇලකළේය. කුමක් කිවයුතුදැ'යි නොදැන මම අපහසුතාවට පත්වීමි. ඔහු මට සරදමකින් උපකාර කළේය: "ඔබ බොහොම තරුණයිනෙ! මං පෙරදිගින් බලාපොරොත්තු වුණේ පැහුණු රැවුලක් තියෙන බොහොම දැනමුතු මනුස්සයෙක්." ආරම්භක චකිතය ඉන් බිඳී ගිය අතර, මගේ විසි හත් වියට එරෙහි සරදමට විරෝධය දැක්වීමට සුදුසු වදන් මම සොයා ගතිමි.

නිසැකවම බිරාන්ත බැතිමතා පහසුවෙහි හෙළීමේ අදහසින් ලෙනින් සිනාසුණේය. විස්තර නිරීක්ෂණය කළ යුතු අතිශය වැදගත් අවස්ථාවක අත්දැකීමේ වුවමනාවටත් වඩා ගිලී සිටියත්, අන්ධ භක්තිකයකුගේ භාව ප්‍රකාශනයෙහි උද්වේගකර බවට නිරන්තරයෙන්ම සහනය සැලසූ දඟ සහිත බැල්ම විසින් මම යටත් කරනු ලැබීමි. ලෙනින්ගේ පෞරුෂත්වය තුළ, බලවත් හිසක අයෝමය ග්‍රහණයේ හදවත සිරවී ගියේය යි, ශ්‍රේෂ්ඨ විප්ලවවාදියා මනුෂ්‍යත්වයේ අවම ස්පර්ශයවත් නැති අත්තනෝමතික යන්ත්‍රයක් වීයැයි යන ප්‍රකටව පැතිර පවත්නා මතයන් එය විසින් බොරු කරනු ලැබිණි. දඟකාර සිනාව නර්මාලාපය පාවා නොදුන්නේය. ලෙනින් ඒකාන්ත සර්වසුභවාදියෙක් විය. මාක්ස්වාදය අවසාන සත්‍යය බව ඔහු නොසැලෙන අයුරින් ඒත්තු ගැන්වූවා පමණක් නොවේ, එහි අනිවාර්යය විජයග්‍රහණය ද ඔහු එපමණම දැඩිලෙස විශ්වාස කළේය. ඔහු ශාස්තෘවරයකුගේ දැඩි උද්‍යෝගය ඉවැන්ජලිකයකුගේ ශ්‍රද්ධාව සමඟ ඒකාබද්ධ කළේය. එසේ නොවිණි නම්, බොල්ෂෙවික්වරුන්ට දින කිහිපයකට හෝ සති කිහිපයකට වඩා බලය රඳවා ගැනීමට ඇත්තේ ඉතා අඩු අවස්ථාවක් බව පෙනෙන්නට තිබිය දී, සිය සමස්ත අනුගාමිකයන්ගේ දැඩි විරෝධයට එරෙහිව බලය අල්ලාගැනීම වෙනුවෙන් තනිවම ඔහුට කතාකරන්නට නොහැකි වනු ඇත. ඒ තීරණාත්මක අවස්ථාවේදී, ලෙනින්ට මඟ පෙන්වූයේ තර්ක බුද්ධියට වඩා විශ්වාසයයි: එය ඓතිහාසික නියතිවාදයක ලෞකික පෙරදැක්මකින් ආ එකක් නොව, ඉතිහාසය නිර්මාණය කිරීමට මිනිසාට ඇති අසීමිත ධාරිතාවෙන් පැමිණි විශ්වාසයකි. සිය ජීවිතයේ මෙන්ම සමකාලීන ඉතිහාසයේ ද අතිශය තීරණාත්මක මොහොතවලදී ලෙනින් රොමෑන්ටිකවාදියකු ලෙස කටයුතු කළේය; එසේම ඒ අසාමාන්‍ය නිර්භීතකමේ එකම ක්‍රියාව ඔහු ශ්‍රේෂ්ටත්වයේ මුදුනටම නංවාලූ අතර, ඔහුට මනුෂ්‍ය ඉතිහාසයේ අමරණීය ස්ථානයක් දිනාදුන්නේය.

ඩන්ටොන් හා ලෙනින් නූතන යුගයේ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදීන් දෙදෙනා වූ අතර, ඩන්ටොන් ද රොමෑන්ටික්වාදියෙක් විය. කුහක යුක්ති ධර්මයේ මහ පූජකයාගේ ඊර්ෂ්‍යාව ඩොන්ටොන් ගිලටීනයට යැවූ කල ශ්‍රේෂ්ඨ ප්‍රංශ විප්ලවයේ ආත්මය ඝාතනය කැරිණි. කුසලානය මණ්ඩි දක්වාම හිඳී යන්නට පෙර, අප්‍රමාදීව මධ්‍යස්ථතාවට කැඳවීමට අවශ්‍ය නිර්භීතකම ඔහුගේ ශ්‍රේෂ්ඨ පූර්වගාමියා මෙන්ම ලෙනින් සතුව ද විය. ඔහුගේ මරණින් පසු, තමන්ට අවස්ථාව ලැබිණි නම් රොබෙස්පියර්ග‍ෙ අන්තගාමීත්වය අනුකරණය කිරීමේ සූදානමක් ට්‍රොට්ස්කි අඟවා සිටියා වියහැකි වුවත්, ලෙනින්ට තරගකාරයෝ නොවූහ. එබැවින්, ස්වභාවික මරණයක කෲර හස්තය විසින් ඔහු අකාලේ ඉවත් නොකළේ නම්, ලෙනින් විප්ලවයේ ක්‍රියාවලිය වඩා ප්‍රතිඵලදායී දිශානතියකට හරවන්නට ඉඩ තිබිණි. නව ආර්ථික ප්‍රතිපත්ති ඒ පිළිබඳ සංඥාවක් විය. එහි අභිප්‍රසාරණය පසුකාලීනව කොමියුනිස්ට්වාදයේ යුතෝපියානු පරමාදර්ශය විනාශ කළ ත්‍රස්තවාදය හා බලහත්කාරීත්වය දෙසට ගමන් කළා වන්නට පිළිවන. එහෙත් ට්‍රොට්ස්කිගේ වාම විපාර්ශ්වවාදය, ලෙනින්ගේ ඩන්ටෝනියානු සාරය මරාදැමීමට ස්ටාලින්ට බලකළේය. ලෙනින්ගේ අනුප්‍රාප්තිකයන් වීමට තරග කළ දෙදෙනා එක්ව රොබෙස්පියර් ප්‍රංශ විප්ලවයට කළ දේ රුසියානු විප්ලවයට කළහ.

'විප්ලවයේ ගෘහ පාලනය'

ලෙනින්ගේ පෞරුෂත්වය සහ විප්ලවයේ ඉතිහාසය තුළ ඔහුට හිමි ස්ථානය පිළිබඳ මගේ මේ අදහස‍, මා ඔහු පළමු වතාවට හමුවීමෙන් කාලයකට පසු ක්‍රමයෙන් මා මනස තුළ හැඩගැසුණකි. එහෙත් එහි මූලයන් ආරම්භක හමුවෙන් මා තුළ ජනිත කළ හැඟීමෙහි සොයාගත හැකිය. ධනවාදී ලෝකය හරහා වැටුණු අසුබ සෙවනැල්ලක් සහිත මිනිසා, යථාර්ථයේදී කොහෙත්ම සිය බැරෑරුම් කීර්තිය උදෙසා ජීවත් නොවීය.‍ ඒකාධිපති බලයේ ඔටුන්න ඔහු හිස මත ඉතා සැහැල්ලුවෙන් වාඩිගත්තේය. ඔහුගේ භෞතික පැවැත්මේ හෝ කතාකරන විලාසයේ ඒකාධිපතියකගේ කිසිදු ලකුණක් නොතිබිණි. ඔහුගේ සුවිශේෂී නිහතමානීත්වයේ ද මවාපෑමක් නොවිණි - ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සවිඥානකත්වයේ ජුගුප්සාජනක නිරූපනයක් නොවිණි. ඔහු කතාවේදී අවංක ද, හැසිරීමේදී මිත්‍රශීලී ද විය. වසර ගණනාවක් තිස්සේ ඔහු බොල්ෂෙවික් පක්ෂයේ අවිවාදිත නායකයා විය. එකකට වඩා වැඩි වාර ගණනක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් ඔහු සමඟ එකඟ නොවූහ. එහෙත් ඔහු වෙනුවට පක්ෂයේ නායකයා වීමට කිසිවකුත් කවදාවත් සිහින නොදැක්කහ. ඔහු නායකයෙකුට වඩා වැඩි යමෙක් විය, ඔහු ආචාර්යවරයා විය - ඔහු බොල්ෂෙවික්වාදයේ‍ උත්තම පූජකයා විය. ඔහු පක්ෂයේ පැරණි සාමාජිකයිනගේ මිතුරා ද දාර්ශනිකයා ද විය. ඔවුහු ඔහුට ආදරය කළහ.


සිය දේශපාලන දිවියේ මුල් අවදියේ පටන්, ලෙනින් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා දෙවන ජාත්‍යන්තරය අභ්‍යන්තරයේ අමිහිරි කණ්ඩායම්වාදී සටන් කර තිබිණි. දක්ෂිණාංශික නායකයන්ට එරෙහිව ඔහුගේ කතා ගිනියම් විය. නිර්ධන පන්තියේ පක්ෂය වෘත්තීය විප්ලවවාදීන්ගේ අයෝමය හමුදාවක් විය යුතුය යන භයානක න්‍යාය ඔහු පැහැදිළි කළේය. එහෙත් බොල්ෂෙවික් පක්ෂය තුළ ඔහුගේ හැසිරීම හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදී විය. පක්ෂයේ මධ්‍යම කාරක සභාව සිය මතය සමඟ එකඟ කරවාගැනීමට නොහැකි වූ හැම අවස්ථාවකම ඔහු අදාළ වාද විෂයය පක්ෂයේ අනුගාමිකයන් වෙත යොමුකළේය. පක්ෂය හැසිරවීමට නිලධාරීවාදී යාන්ත්‍රණයක් හා නායකයාගේ මතයට පක්ෂයේ අනුගාමිකයන්ගේ අනුමැතිය නිෂ්පාදනය කළ හැකි ක්‍රමවේදයක් එකල නොවිණි. බලය අල්ලා ගැනීමේ සූදානමක් වශයෙන් පක්ෂය සන්නද්ධ කැරැල්ලක් කැඳවිය යුතු බවට වූ ලෙනින්ගේ යෝජනාව, 1917 ජුලි මාසයේ දී බොල්ෂෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. ෆින්ලන්තයේ සිය සැඟවුම් ස්ථානය වෙත ආපසු ගිය ඔහු සිය තිසීසය විග්‍රහ කරමින් පක්ෂයේ 'ප්‍රව්දා' පුවත්පතට ලිපි මාලාවක් ලිව්වේය. මාස කිහිපයක් ඇතුළත, "සියලු බලය සෝවියට් සභාවලට ය!" යන සටන් පාඨය ප්‍රකාශයට පත්කිරීම සඳහා සමස්ත රුසියානු සෝවියට් කම්කරුවන්ගේ, ගොවියන්ගේ හා සොල්දාදුවන්ගේ නියෝජිතයන් රැස්වූහ.

පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවන්හිදී, ලෙනින් සිය තර්ක පැහැදිළිව ඒත්තු ගැන්වීමට ඉතා කදිම තර්ක යොදාගත්තේය. සොල්දාදුවන් සාමය සඳහා සිය පාදවලින් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තර්ක කරමින් ඔහු අලුත උපන් සෝවියට් ආණ්ඩුව බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් ගිවිසුම අත්සන් කළ යුතු බවට සිය මතය අවධාරණය කළේය. කෙසේද? යුද පෙරමුණුවලින් පලා යාමෙනි. සමස්ත රුසියානු සෝවියට් කොන්ග්‍රසයේ නව ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂා කරන අතරතුර ඔහු මෙසේ කියා සිටියේය; ''අපි දැන් විප්ලවයේ ගෘහ පාලනය ඉගෙනගත යුතුයි." දෙවැනි ලෝක කොන්ග්‍රසයේ දී, නිදහස උදෙසා වූ යටත්විජිත වැසියන්ගේ ව්‍යාපාරය විප්ලවීය බලවේගයක්ය යන සිය තීසීසය පැහැදිළි කරමින් ඔහු මෙසේ අනතුරු ඇඟවීය; "ඒත් ජාතිකවාදය රතුපාටින් පාටකරන්න එපා."

සිනොවියෙව් ගැන

ආරම්භක අපහසුතාවෙන් හා නොසන්සුන්කමෙන් මිදීමට මට උපකාර කිරීමෙන් අනතුරුව, මේසය පසුපස සිය අසුනට ගිය ලෙනින් ඉදිරිපස අසුන ගන්නැයි මට කීවේය. ඔහු ආපසු සිය අසුන කරා ඇවිද යන අතර, මම ඔහු දෙස හොඳින් බලා සිටියෙමි. ඒ වන විට මම මගේ බුහුටිකම හා තැන්පත් බව යළි අත්පත් කරගෙන සිටියෙමි. කාමරයේ උස් බව මිනිසාගේ නූස් බව තවත් ප්‍රකට කළ අතර, ඔහු පෙනුණේ හරියට කුරුමිට්ටකු මෙනි. ඔහුගේ විශාල හිස, ඔහු පිළිබඳ නොමග යවන සුළු සිත්තමට හොඳින් ‍ගැලපිණි; ඔහු උසින් අඩි 5යි අඟල් 4ක් වූ බව මගේ විශ්වාසයයි. තවත් පුරුද්දක් ඔහු ඇත්තටම ඉන්නවාට වඩා මිටි කර පෙන්වීය. හිස වමට හෝ දකුණට යන දෙපසින් එකකටවත් හරවන්නේ නැතිව, ඔහු ඉදිරියට නැමුණු කුදයක් සහිතව ඇවිද්දේය; ඉදිරිය බැලීමට ඔහු සිය දෑස් එසවූවේ නැත. ඇවිදින විට පවා ඔහු මුළුමනින් කල්පනාවේ නිමග්නව සිටි බවට ඒ ඉරියව්ව ඉඟිකළේය; එසේම ඔහුගේ පියවරයන්ගේ කඩිසර බව මනසේ වේගවත් රිද්මයට සමපාත වූවක් මෙන් පෙනිණි. සිය මෙහෙවරෙහි බැරෑරුම්කම පිළිබඳවද, තමන් සතුව ඇති කාලයේ අප්‍රමාණවත් බව පිළිබඳවද ඉතා තියුණු දැනුවත් භාවයක සිටියාක් මෙන්, ඔහු හැමවිටම බලවත් හදිස්සියකින් ඉන්නා බවක් පෙනිණි. ඉක්මන් මරණයක් ගැන ඔහු තුළ පෙර දැක්මක් තිබුණාද යන්න ගැන පවා අයකු පුදුම වනු ඇත. දේවල් ඉතාම ඉක්මනින් නිමකරනු ලැබීමට බෙහෙවින්ම නොඉවසිලිමත් වූ ඔහු, පූර්ණ බලය දැරූ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන්ගේ කතා කිරීමේ නිදහස සීමා කළේය. ඔහුගේ කාලයේ එහි සිටියේ සාමාජිකයන් සත් දෙනෙකි. එහි සතිපතා රැස්වීම්වලදී දෙවතාවකට වැඩියෙන් කතාකිරීමට කිසිවකුටත් අවසර නොවූ අතර, ඒ පළමු වතාවේ විනාඩි පහළොවක් ද, දෙවැනි වතාවේ විනාඩි පහක් ද වශයෙනි. ඔහු ඉතාම වේගයෙන් සිතුවත්, ඔහුගේ දේශන කලබලයෙන් තොර වූ අතර, ඇතැම් විට මන්දගාමී ද විය. මහජනයා ඇමතූ අවස්ථාවන්හිදී හැර, ඔහු කතා කළේ සිය පන්ති කාමරයේ දේශනයක් දෙන ගුරුවරයෙක් මෙන් හෝ උසාවියේ නඩුවකදී තර්ක කරන නීතිවේදියකු මෙනි.

සිය අසුන නැවත ගැනීමෙන් අනතුරුව ලෙනින් මේසය ඔස්සේ ඉදිරියට නැවී සිය ආමන්ඩ් හැඩැති දීප්තිමත් දෑස් මා මුහුණ මත රැඳවීය. දඟකාර සිනාව ඔහුගේ මුහුණ එළිය කළේය. ශ්‍රේෂ්ඨ මිනිසකු, බලසම්පන්න ආඥාදායකයකු ඉදිරියේ නොව, පැරණි මිත්‍රයකුගේ ප්‍රසන්න සමාගමයේ ඉන්නාක් මෙන් මම මුළුමනින්ම පහසුවක් හැඟීමි. ඇත්ත වශයෙන්ම එය, හොඳ දේ කළ හා තව තවත් යහපත් දේ කරන්නට පිළිණ දුන් පුත්‍රයකුට දයාබර පියකුගේ කරුණාබර සිනා පෑමක් විය. බැලබනෝවාගේ සුභාශිංසන සිහිපත් කිරීම මා තුළ යම් ආකාරයක තෝන්තුවාවක් ඇති කළත්, ඉන් ඇගේ මාතෘ අවවාදානුශාසනාද මගේ මතකයේ යළි අලුත් විය.


ලෙනින්ගේ කටහඬ මගේ අන්තරාවලෝකනයට බාධා පැමිණවීය. බොරෝඩින් මගේ මෙක්සිකෝවේ ක්‍රියාකාරකම් වාර්තා කර තිබිණි. මා වඩා සවිස්තරාත්මක වාර්තාවක් දිය යුතු විය. එය විප්ලවීය මූලෝපායයේ අතිශයින්ම සිත්ගන්නා සුළු අත්හදාබැලීමකි. එතරම් හොඳින් ආරම්භ කරන ලද කාර්යයකින් ඉවත් වීමට මම නොකමැති වීමි. එහෙත් ප්‍රමුඛතාව දිය යුතුම වූ වඩා හදිසි විප්ලවවාදී කර්තව්‍යයන් විය. නවීන ලෝකය තුළ විප්ලවයන් සාර්ථක වීමට තව බොහෝ කාලයක් ගතවනු ඇත. නුදුරු අනාගතයේදී මෙක්සිකෝවේ හා අනෙකුත් ලතින් ඇමෙරිකානු රටවලට විප්ලවීය කොන්දේසි මෝරා යා හැක. එහෙත් අතීතයේ කළාක් මෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදය ඒවාට මැදිහත් වීම සඳහා සුපරීක්ෂාකාරීව සිටී. වර්තමානයේ අප පැරණි ලෝකය කෙරෙහි අවධානය යොමු කළ යුතුය; ‍එසේම ආසියාවේ පීඩිත හා සූරාකෑමට ලක්වූ ජනතාව දැවැන්ත විප්ලවවාදී ව්‍යාපාරයක් තුළ බලමුලු ගැන්විය යුතු ය. මේ අරමුණ සඳහා මෙක්සිකෝවේ මගේ අත්දැකීම අතිශයින් වැදගත් විය. ප්‍රායෝගිකත්වය තුළ, යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල්වල විප්ලවීය උපාය මාර්ගයේ න්‍යාය දෙවැනි සමුළුව සඳහා කෙටුම්පත් කළ තීසීසයන්හි සංක්ෂිප්තයෙන් සටහන් කර ඇතැයි මම අපේක්ෂා කළෙමි. මා ඒවා කියවා තිබේද? නැත, මම සමාව ඉල්ලීමි. මන්ද යත් ඒ ලේඛන මට ලබාදෙනු ලැබුවේ මා ඒවායේ ලේඛකයා බැහැදකින්නට මොහොතකට කලියෙනි; එහෙත් කාල වේලාවක් ලැබුණු වහාම මා ඒවා අධ්‍යයනය කරනු ඇත. අනතුරුව ඒ ගැන සාකච්ඡා කිරීමට අප නැවත මුණගැසිය යුතුය. ඒ ටික එකතු කළ ලෙනින්, යටත් විජිත රටවල තත්ත්වයන් පිළිබඳ සිය නොදැනුවත්කම කියා සිටීමට පටන් ගත්තේය. එබැවින්, විප්ලවවාදී ව්‍යාපාරයේ ඉතිහාසගත සන්ධිස්ථානයක් බවට පත් වනු ඇති ලේඛනයක් සකස් කිරීම සඳහා ඔහුට මගේ සහයෝගය අවශ්‍ය විය. මාක්ස්වාදය පිළිබඳ මගේ අවබෝධය, යටත් විජිතයන්හි ඉතිහාසය හා වත්මන් තත්ත්වයන් පිළිබඳ නව ආලෝක දහරාවක් එල්ල කිරීම නිසැක විය.

කුඩා විදුලි බුබුල, සංඥාව ලබා දුන්නේය - ලෙනින් ලිහිල් ඉරියව්වක් කරා මාරු වූ අතර, මරියාගේ නියමය මත සාකච්ඡාව අවසන් විය යුතු බව කියා සිටියේය. ඔහුගේ දෑසට දඟකාර සිනාව යළි පැමිණියේය. සමුගැනීමට නැගීසිටි මම, ලෙනින් මා පසෙක සිටිනු දුටුවෙමි. මා අතින් ගත් ඔහු, නොපීරූ කළු කෙස්සක් සහිත, සංවේදී මුහුණුවරැති, කුඩා උදරයක් සහිත මිනිසකු ඇතුළු කිරීම පිණිස විවර වූ දොර දෙසට මා කැඳවාගෙන ගියේය. ඔහු එල්ලා හැලෙන කලිසමකින් හා කොලරය ටයි පටියක් වෙනුවට කළු සේද පටියකින් එකට එක්කළ සිනිඳු සුදු කමිසයකින් සැරසී සිටියෙකි. හේ එක් කිහිල්ලක පිම්බුණු සම් ලිපිගොනුවක් දරා සිටියේය. ලෙනින් අලුතෙන් ඇතුළු වූ පුද්ගලයාට මා හඳුන්වා දුන්නේය. ලිහිල් ග්‍රහණයකින් මා අත ගත් ඔහු සිනොවීයෙව් සහෝදරයා විය. ඔහුගේ අත ස්ත්‍රියකගේ මෙන් කුඩා ද, සියුමැලි ද විය. උස් හඬින් වදන් කිහිපයක් තෙපලූ ඔහු, මා ඉක්මනින් ම නැවතත් දැකීමට කැමැති බව කීවේය.

ලේකම් කාර්යාලයෙන් පිටත යෞවනයෙක් විශාල සූට්කේස් තුනක් මුරකරමින් සිටියේ ය. පසුව මා දැනගත් පරිදි, එ් හැම එකක ම, සිනෝවියෙව් වගකීම් දැරූ භාරධූර කාර්යාල තුනෙන් එකක වැදගත් ලියකියවිලි අඩංගු විය.☐

© JDS