'53 හර්තාලය හා පෑලිස් සේරසිංහ: 'මධ්‍යම රාත්‍රී 12ට දුම්රිය කම්කරුවෝත් සටනට බැස්සාහ'

එක්දහස් නවසිය පනස් තුනේ අගෝස්තු හර්තාලයට හැට තුන් වසරක් පිරෙන්නේ අද ය.

සටන්කාමී කොළඹ කම්කරු පාංතික ජනකොටස්, ගම්බද දුගී ජනයා සමග අරගලකාරී සන්ධානයකට ගෙන ආ හර්තාල් සටන ගැන ලංකා සම සමාජ පක්ෂයේ මුඛ්‍ය න්‍යායධරයකු සේ සැළකුණු හෙක්ටර් අබේවර්ධන පසු කාලයක මෙසේ ලීවේය:

"1953 හර්තාලය, අපේ රටේ ජාතික පරිමාණයට ළඟා වූ පළමු ආණ්ඩු විරෝධී බහුජන ක්‍රියාමාර්ගය බව ඇත්තකි....නමුත් එම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍යයෙන්ම විරෝධය පෑමකි. 'හර්තාලයක්' යනු මහජන විරෝධයන් ඒකරාශී කිරීමකි, වැඩබිම්, කාර්යාල, වෙළඳ සැල්, උසාවි යනාදිය පූර්ණ වශයෙන්ම අකර්මණ්‍ය කිරීමකි...එය, රාජ්‍ය බලය අල්ලා ගැනීමක් දක්වා වර්ධනය කළ හැකි ආකාරයේ ක්‍රියාමාර්ගයක් නොවේ...1953 හර්තාලය හරහා සිදු වූ මහජන බලමුළු ගැන්වීම එයින්ම අවසාන වන්නක් නොවේ. එය, 1956 මහ මැතිවරණයෙන් ආරම්භ වූ නාටකීය විපර්යාසය සඳහා පූර්වරංගය වූ බව ඔප්පු කළේය. එතැන් සිට, බහුජන අරගලයන්ගේ අත්දැකීම් පාර්ලිමේන්තු මැතිවරණ හරහා සිය අභිමත ආණ්ඩු පත්කරගැනීම සමග බද්ධ කරගැනීමේ හැකියාව ශ්‍රී ලාංකීය මහජනයා පෙන්වා තිබේ." (Hector Abhayavardhana Selected Writings: The Hartal and Our Critics - 1977 අගෝස්තු)

නමුත් පෑලිස් සේරසිංහ කල්පනා කළේ ඊට වෙනස් ආකාරයකට ය. හර්තාල් ව්‍යාපාරයට සහභාගී වූ අගනුවර සටන්කාමී කම්කරුවන් මෙහෙය වූ කම්කරු පාංතික නියමුවකු වූ හෙතෙම, 1987දී මෙසේ ලීවේය:

"අගෝස්තු 13 වැනිදා සිට ඉදිරියට ගතයුතු පියවරයන් ගැන හර්තාලයේ නියමුවා වූ ලංකා සමසමාජ පක්ෂය තීරණයක් ගෙන ජනතාවට මඟ පෙන්වීමක් නොකිරීම ගැන එම ව්‍යාපාරයට ඇප කැප වී වැඩ කළ කම්කරු පන්තියේ අපට එදා මෙන් අදත් වේදනාවන් ගෙන දෙන්නේය....1953 හර්තාලයෙන් පසු නැවතත් ව්‍යාපාරයේ පසු බැහීම් ඇතිවිය. එයට හේතුව,හර්තාලයේදී ඒකරාශී වූ විවිධ පංති ගොනු කර ධනේශ්වර ක්‍රමයට එරෙහිව සහ නව යටත් විජිතවාදයට විරුද්ධව ජනතා අරගලය ඉදිරියට ගෙන යාමට ලංකා සමසමාජ පක්ෂය අපොහොසත් වීමය. එම දුර්වලකමින් බණ්ඩාරනායක සහ පිලිප් ගුණවර්ධන ප්‍රයෝජන ගත්හ."

1927 වෝකර්ස් සමාගමේ කම්කරුවෙකු ලෙස සේවය ඇරඹූ පෑලිස් සේරසිංහ, කෙටි කලකට පසු කම්කරුවන් සංවිධානය කිරීමේ වරදට වෝකර්ස් සමාගම අයත් යුරෝපීය හාම්පුතුන් විසින් සේවයෙන් නෙරපනු ලැබුණි. ඉක්බිති, 1944 දී රජයේ කර්මාන්ත ශාලාවේ කම්කරුවකු ලෙස සේවයට එක් වූ පෑලිස් සහෝදරයා, එහිදී ආණ්ඩුවේ කම්කරුවන් සංවිධානය කිරීමේ කටයුතුවලට මුලපිරූ අතර දෑවුරුද්දක් තුළ ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය ගොඩ නැගීමේ පුරෝගාමියෙක් වූයේය.

1946 ජයග්‍රාහී වැඩවර්ජනයේ මුල් පෙළේ නායකයෙක් වශයෙන් ක්‍රියාකළ හේ, 1947 මහා වැඩ වර්ජනයෙන් රැකියාව අහිමි වී දස වසරක් රැකියා විරහිතව සිටිය ද, එම වකවානුව තුළ පුර්ණකාලීනව ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය ශක්තිමත් කිරීමට ඇප කැපව ක්‍රියා කළේය. ලංකාවේ සමාජවාදී පක්ෂය ගොඩනැගීමේ අභිලාෂයෙන් යුතුව 1946 සිට 1964 දක්වා ලංකා සමසමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් ලෙස ක්‍රියාකාරී වූ පෑලිස් සේරසිංහ, 1964 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුල් පෙරමුණකට ඇතුල්වීමට විරෝධය පාමින් එඩ්මන්ඩ් සමරක්කොඩි, බාලා තම්පෝ, වී. කරාලසිංහම් රෙජීනෝල්ඩ් මෙන්ඩිස් වැනි ප්‍රමුඛයන් සමග සමසමාජයෙන් එළියට බැස්සේය.

1987දී ඔහු විසින් ලියා පළ කළ 'ආණ්ඩුවේ කම්කරුවන්ගේ සතළිස් වසරක ඉතිහාසයෙන් - 1940-1980' නම් පුස්තිකාව, කම්කරුවකු විසින් ලංකාවේ වෘත්තීය සමිති ඉතිහාසය පිළිබඳ ලියන ලද මුල්ම සංක්‍ෂිප්ත වාර්තාවක් සේ සැළකේ. එයින් පස් වසක් ඇවෑමෙන්, 1992දී මිය යනතෙක්ම හෙතෙම පිළිවෙත් ගරුක කම්කරු නායකයකු වශයෙන් ස්වකීය දේශපාලන ඒකාග්‍රතාව ආරක්ෂා කරගත්තේය.

ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සොයාගත නොහැකි ඉතිහාසයක් ද තිබේ. ලේඛනගත නිල ඉතිහාස කතාවට අයත් නොවන, මෑත අතීතයේ සටන්කාමී පීඩිත ප්‍රජාවන්ගේ යශෝධර ජීවන පරිච්ඡේදයන් ඇතුළත් වන්නේ ඒ අප්‍රකට ඉතිහාසයට ය. 

පෑලිස් සේරසිංහ සහෝදරයා වැනි අද්විතීය සටන්කරුවන් ඒ ඉතිහාසයේ ප්‍රතාපවත් නියෝජිතයෝ වෙති.

JDS සංස්කාරක මණ්ඩලය


දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ කලාපීය යුද්ධ හේතුකොට ගෙන විශේෂයෙන් රබර් අපනයනයෙන් ලද මුදල් සම්භාරය එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව විසින් කාබාසිනියා කර දමා රටේ මුදල් තත්වය අසතුටුදායක වූ විට එවකට මුදල් ඇමතිව සිටි ජේ.ආර්. ජයවර්ධන විසින් භාණ්ඩ මිල හා සේවා ගාස්තු වැඩි කිරීමට 1953 අය වැය යෝජනා මගින් කටයුතු කළේය. ශත 25 ට සපයන ලද සහල් සේරුව ශත 75 දක්වා වැඩි කිරීම, ළදරු කිරිපිටි, පාරිභෝගික භාණ්ඩ මිළ නැංවීම, දුම්රිය ගාස්තු වැඩි කිරීම, යනාදිය හර්තාලයට තුඩු දුනි. හර්තාලය කම්කරු පන්තියේ නායකත්වයෙන් ආරම්භ කරන ලද්දක් නොවේ. එය මුල සිටම මහජන අරගලයක් වූ අතර කම්කරු පන්තියේ කොටස් යම් යම් ස්ථානවලදී හර්තාලයට නායකත්වය දීමට කැපවුනි. එසේ අඩු මට්ටමකින් කම්කරු පන්තිය හර්තාලයට සහභාගිවුයේ හුදෙක්ම එය දේශපාලන පක්ෂ මගින් සංවිධානය කළ අරගලයක් වූ නිසා ය.

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති, හර්තාලයට සම්බන්ධ කර ගැනීමේ වගකීම සමසමාජ පක්ෂය විසින් මට භාරදෙන ලදී. මම ගමනාගමනය අඩපන කිරීමේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වුයෙමි. මේ වකවානුවේදී දුම්රිය ධාවනාගාරයේ වෘත්තීය සමිතියක් තිබුනේ නැත. එම නිසා ධාවනාගාරයේ සේවක සහෝදරයන්ගේ සහයෝගය පසුදින ආරම්භ කෙරෙන හර්තාලයට ලබා ගන්නා අකාරය මම සාකච්ජා කළෙමි.

සුළු පරිපාලනවරුන් සමග ද කථාබස් කර හැකි පමණ සේවක පිරිසක් කැඳවාගෙන සවස කෝපියාවත්ත පන්සලේ රැස්වීමක් තබා එහිදී පැමිණ සිටි කම්කරු සහෝදරයන්ට පසු දින පැවැත්වෙන හර්තාලය ගැන කරුණු අවබෝධ කර දුනිමි. එයට ධාවනාගාරයේ සේවකයන් සහභාගි විය යුතුය යන යෝජනාවක් කල්දේරා සහෝදරයා විසින් ගෙනෙන ලදුව ස්ථිර විය. එහිදී එක් එක් කොටසට වෙන් වෙන් වශයෙන් කළ යුතු වැඩ බාරදී වැඩ පලෙන් රාත්‍රී 11.00 වන තුරු පිටතට නොයන ලෙසට උපදෙස් දුනිමි.

දුම්රිය ධාවනාගාරය සටනට

රාත්‍රී 11.00 ට මුර වාරයේ වැඩ භාරගැන්මට පැමිණි කම්කරුවන්ට සේවයට වාර්තා නොකරන ලෙස වැඩ අවසන් කළ සේවකයන් දැන්විය. එවිට තරමක නොසන්සුන්තාවයක් ඇතිවිය. සමහරු සේවයට වාර්තාකිරීමට උනන්දුවක් දැක්වීය. ඔවුන් අතරින් එක අයෙක් වේලා සටහන් පත සටහන් කිරීමට ගිය විට ඔහුට යකඩ මුරුච්චියකින් ගසන ලදී. තුවාල ලත් එම කම්කරුවා රෝහලට ගෙන යාමට සිදුවිය. එහිදී පහර දීමට හේතුවූ සිද්ධිය වෛද්‍යවරයාට දක්වන ලදුව හර්තාලයට සහභාගී නොවීම ගැන ඔහුට වෛද්‍යවරයා දොස් පැවරීය. මේ අතර තවත් කම්කරුවන් තිදෙනෙකු ගෝනිවලට බැස සැඟවී සිටිනවිට එය දුටු තවත් පිරිසක් ගෝනි තුළ සිටි තිදෙනාව, හර්තාලයට සහභාගී වීමට කැමැත්ත පළකර සිටි සහෝදරයෝ වෙත ගොස් පෙන්වන ලදුව බියට පත්ව සිටි ඔවුන් තිදෙනාද එම පිරිසට එක් වුහ.

මෙම කරුණු හේතුකොට ගෙන ධාවනාගාරයේ සියළුම සේවකයන් හර්තාලයට එක්විය. ධාවනාගාරයේ එකදු දුම්රියක්වත් රාත්‍රී 12.00 න් පසු පිටත් නොවූ ආරංචිය පැතිරයාමත් සමඟ මුළු රාජ්‍ය අංශයේ සේවකයන් සියල්ලටම අනිවාර්යෙන්ම හර්තාලයට සම්බන්ධ වීමට සිදුවිය. රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයෝ හර්තාලය සාර්ථක කිරීම සඳහා වෙහෙස දරා වැඩ කළහ. මොරටුවේ පවත්වන ලද රැස්වීමේදී මහා මාර්ග සහ දුම්රිය මාර්ග අවහිර කළයුතු බවට නැසීගිය වයිමන් සහෝදරයා කළ කථාව ලංකාව පුරා පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි.

මොරටුවේ කාන්තා පක්ෂය හර්තාලය සාර්ථක කිරීමට දුන් සහය කියා නිමකළ නොහැක. ඇසි අක්කා නැමති කාන්තාවක් ධාවනය වෙමින් තිබු දුම්රියකට රතු කොඩියක් අල්ලා නවත්වා රියදුරු සහ ෆයර්මන් බිමට බස්වා, එහි රැස් වූ කාන්තාවන් සමඟ ගිනි ගනිමින් තිබු ගල් අඟුරු සියල්ල ඉවතට ඇද දමා දුම්රිය ක්‍රියා විරහිත කර, එයින් නොනැවතී කිසිම දුම්රියක් ඉන් ඔබ්බට ගෙනයාමට නොහැකිවන පරිදි රේල් පීලි ද ගලවා දැම්මාය. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි යුද හමුදාවේ සෙබළුන් සිය රයිෆල් මහජනයා වෙත එල්ල කළ විට ඇසි අක්කා ඇඳගෙන සිටි හැට්ටය ගලවා විසිකර දමා තමාගේ පපුවට වෙඩිතියන ලෙස සොල්දාදුවන්ට අභියෝග කරමින් ඉදිරියට ගියවිට සොල්දාදුවෝ රයිෆල් පහත් කරගෙන පසු බසින ලදී. එම විරෝධාර කාන්තාවට ඔබ අප සැමගේම ආචාරය පිදිය යුතු ය.


තවත් විශේෂ සිද්ධියක් ඇතිවිය. ජනයා එක් රොක් වෙන ස්ථාන සොයමින් පියාසර කළ අහස් යානයකට සීදුවේ දී පොල් ගසක් උඩට නැග ගත් සහෝදරයෙක් වෙඩි තැබීය. වෙඩි පහරින් අහස්යානය බිම නොවැටුණත් එයට අලාභහානි සිදුවිය.

මෙවැනි ක්‍රියාවන් හේතුකොට ගෙන මුළුමනින්ම ගමනාගමනය ඇන හිටුනි. මහා මාර්ගවල කාන්තාවන් ඉහුම් පිහුම් කරන්නට විය. අතරින් පතර කළු කොඩියක් සහිතව දුවන වාහනයක් හැරෙන විට රටේ සියළුම ආර්ථික කටයුතු නැවතී මුළු ලංකාවම උඩරට වතුකරය හැරුන විට පාළු අම්බලමක ස්වරූපයක් දැරීය.

තොණ්ඩමාන්ගේ පාවාදීම

වතුකරයේ බහුතරයක් කම්කරු සහෝදර , සහෝදරියන් හර්තාලයට එකතු වුයේ නැත. හර්තාලය පැවැත්වීම ගැන මුලික සාකච්ජා සියල්ලටම තොණ්ඩමාන් සහභාගිවුයේ මුත්, අවසාන වශයෙන් තීන්දුවක් ගන්න අවස්ථාවේ ඔහු මගහැර වතු කම්කරුවන් හර්තාලයට සහභාගිකර ගැනීමේ අවස්ථාව එම ද්‍රෝහීකම නිසා නැති කර දැමීය.

අගෝස්තු 12 වැනි දින වන විට ආණ්ඩුව අතිරේක හමුදා කැඳවා මහජනයා සමඟ යුද්ධයකට සැරසෙන්නට විය. නිර්ධන පන්තියේ අරගලයක් බවට පරිවර්තනය වෙමින් තිබු හර්තාලය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව නම දෙනෙකු ඝාතනය කළේය.

වෙඩි තැබීම නිසා විශාල පිරිසකට බරපතල සහ සුළු තුවාල සිදුවිය. 499 දෙනෙකුට නඩු පැවරීය. එහෙත් ජනතාවගේ පසුබැසීමක් ඇති නොවීය.ආණ්ඩුව කරන ලද මිනිස් ඝාතන සහ සාපරාධී ක්‍රියා ගැන ජනතා විරෝධය පෑම සඳහා අගෝස්තු 13 වැනිදා සිට ඉදිරියට ගතයුතු පියවරයන් ගැන හර්තාලයේ නියමුවා වූ ලංකා සමසමාජ පක්ෂය තීරණයක් ගෙන ජනතාවට මඟ පෙන්වීමක් නොකිරීම ගැන එම ව්‍යාපාරයට ඇප කැප වී වැඩ කළ කම්කරු පන්තියේ අපට එදා මෙන් අදත් වේදනාවන් ගෙන දෙන්නේය.

බණ්ඩාරනායකගේ අවස්ථාවාදය

1953 හර්තාලයෙන් පසු නැවතත් ව්‍යාපාරයේ පසු බැහීම් ඇතිවිය. එයට හේතුව වුයේ හර්තාලයේදී ඒකරාශී වූ විවිධ පංති ගොනු කර ධනේශ්වර ක්‍රමයට එරෙහිව සහ නව යටත් විජිතවාදයට විරුද්ධව ජනතා අරගලය ඉදිරියට ගෙන යාමට ලංකා සමසමාජ පක්ෂය අපොහොසත් වීම ය. එම දුර්වලකමින් බණ්ඩාරනායක සහ පිලිප් ගුණවර්ධන ප්‍රයෝජන ගත්හ. හර්තාලයෙන් දුර්වල වී තිබු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළීමේ අවස්ථාව එම දෙපොලට ලැබුනි. ඒ සඳහා මහජන එක්සත් පෙරමුණ නමින් පළල් දේශපාලන සංවිධානයක් ඔවුන් ඇතුළු විවිධ මතධාරීන් එකතු වී බිහිකර ගත්හ. ජාතිවාදීන්, ආගම්වාදීන්, සිංහල පමණක් යන සටන් පාඨයට ඇප කැපවුවන්, ධනේශ්වර පංතියේ නියෝජිතයන්, අධිරාජ්‍යවාදී ගැත්තන්, මධ්‍යම පංතියේ කොටස් සහ ගොවි කම්කරු කොටස් මහජන එක්සත් පෙරමුණේ බලවේග විය. මෙම විවිධ බලවේග සහ පන්තීන්ගේ සහය ලබාගත් මහජන එකසත් පෙරමුණ ට බණ්ඩාරනායකගේ නායකත්වය යටතේ 1956 පැවති මැතිවරණයේදී අධිරාජ්‍යවාදී ගැති එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කිරීමට හැකිවිය.

මෙය නව යුගයක ආරම්භය ලෙස බොහෝ අය සිතුහ. එක්සත් ජාතික පක්ෂය සදහටම වළලු බවට සමහර නායකයෝ උදම් ඇනුහ. එහෙත් ඉන් අනතුරුව මේ දක්වා වූ රටේ දේශපාලනය වෙනත් ගමන් මගක් සටහන් කරයි.

1956 මහජන එක්සත් පෙරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු කම්කරු කොටස් තුළ විශාල බලාපොරොත්තු ඇතිවිය. කම්කරුවන්ට සංවිධානය වීමේ ප්‍රජාතන්ත්‍රීකරණයක් ඇති කරන බව පවසමින්, කම්කරු පන්තියේ ශක්තිය සුනු විසුනු කිරීමේ ප්‍රථම පියවරට පා තැබූ ආණ්ඩුව දහ දෙනෙකුගෙන් වෘත්තීය සමිතියක් සැදීමට මග පෙන්වමින්, වැඩපල, කර්මාන්තශාලා, දෙපාර්තමේන්තු, වරාය, වතුකරය, වෙළඳ හා කර්මාන්ත සමාගම් සහ සමසමාජ නායකත්වය යටතේ එතෙක් වෘත්තීය සමිති පැවති සියලුම ස්ථානවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමිති, පිලිප් ගුණවර්ධනගේ සමිති, කොමියුනිස්ට් පක්ෂයේ සමිති යනාදී වශයෙන් බිහිවිය.

මුල් අවධියේ මෙලෙස බිහිකළ සමිතිවලට ඇදී ගිය කම්කරු පිරිස සුළු වුවත්, වසංගතයක් ලෙස පැතිර ගිය මෙම සමිති ගොඩනැගීමේ ව්‍යාපාරය අද කම්කරු පංතිය වැටී තිබෙන කණගාටුදායක තත්වයේ මුලාරම්භය විය.☐

(පෑලිස් සේරසිංහ විසින් ලියා 1987 මැයි දිනය දා 'ආණ්ඩුවේ කම්කරුවන්ගේ සතළිස් වසරක ඉතිහාසයෙන් - 1940-1980' මැයෙන් ප්‍රකාශයට පත්කළ පුස්තිකාවෙනි.)  

පෑලිස් සේරසිංහ


© JDS