ගල්ඔය දඩයම් සමය: බියපත් ජනයා ලේ බත් නිම්නය හැර පලා ගියෝය - II


පළමු කොටස: ස්වයංපෝෂිතභාවයට ඩී.එස්.ගේ 'රජ මාවත' - I

හජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ සිංහල පමණක් පනතට එරෙහිව දෙමළ ජනයා දස දහස් ගණනින් මඩකළපුව නගරයට එක්වී දැක්වූ විරෝධතාවයකට පොලිසිය විසින් වෙඩි තබන ලදී. එහි ප්‍රතිඵලය වුයේ විරෝධතාකරුවන් දෙදෙනකු ඝාතනයට ලක්වීම ය. වැඩී එන අවනතියේ කුණාටුව නැගෙනහිර කරා ගමන් කරමින් තිබිණ.  ජුනි 11 වැනිදා ප්‍රචණ්ඩ වාසුළිය ගල්ඔය නිම්නය කරා ළඟාවිය.

ගල්ඔය නිම්නයේ ජානපදිකයන් අතර සත්ව පාලනය ප්‍රවර්ධනය කිරීමෙහි නියුතු පශු වෛද්‍යවරයෙකු ලෙස අම්පාරේ කෘෂි කාර්මික මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි පුල්ලිකට්ටිල් චකෝ සයිමන් ගල්ඔය සංහාරයෙන් දිවි ගලවාගත් අයෙකි. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඉපිද මදුරාසියේ පශු වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය සමත් වූ හෙතෙම පළමුව ඉන්දීය රජයේ සේවයට එක්ව ක්‍රියා කළේය. අනතුරුව දිස්ත්‍රික් පශු වෛද්‍යවරයෙක් වශයෙන් ලංකාවේ රාජ්‍ය සේවයට එක්විය. ඔහුගේ සේවය අගය කරනු පිණිස ශ්‍රී ලංකාවේ සම්මාන පුරවැසිභාවය ඔහු වෙත පිරිනමන ලද්දේ ඩී. එස්. සේනානායකරජය විසිනි. ගල්ඔය ජානපදිකයන්ගේ ජීවත තත්ත්වය නංවාලනු පිණිස කැප වී ක්‍රියාකළ ඔහු කරා ද වර්ගවාදී ප්‍රචණ්ඩත්වය ළඟා වූයේ ඒ ජූනි මාසයේදී ය.

‘මගේ මව්බස මලයාලම්. මම උපන්නේ කේරලේ. ගල්ඔය කළබල පටන් ගන්න පැත්තේම තමයි මම හිටියේ. ඒ හින්දා මගේ සිංහල යාළුවො යෝජනා කළා ඔවුන් සමග උහන ට ගියොත් මගේ ආරක්ෂාව සහතිකයි කියල. මගේ පවුලේ උදවියත් එක්ක උහන යනකොට මම දැක්කා මාර්කට් එකට යාර 200ක් විතර එහායින් සිංහල මිනිස්සු කට්ටියක් එකතු වෙලා තනි දෙමළ කම්කරුවෙකුට පහර දෙනවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුනේ දෙමළ ජනයාව තමන්ගේ අණසක යටතේ තබා ගන්නයි,' පසුකලෙක කැනඩාවට සංක්‍රමණය වූ ඔහු අතීතාවර්ජනයක දී කියා තිබිණ.

තෝමස්ගේ බංගලාව

ගල්ඔය ජනපදය පුරා දෙමළ ජන සංහාරයකට අවශ්‍ය පසුබිම මුල සිටම නිර්මාණය වෙමින් පැවති බව වෛද්‍ය සයිමන් ගේ අදහස ය. ගල්ඔය යෝජනා ක්‍රමය ආරම්භ වී වසර කිහිපයකට පසු සිංහල ගොවීන් ආර්ථික ස්ථාවරත්වය කරා කෙමෙන්  ළඟා වුවද, දෙමළ ගොවීන් ඉඩම් අහිමි අසරණයන් බවට පිරිහෙළන ලදැයි ඔහු කියන්නේ ඒ නිසා ය. තමන් විසින් කලක් තිස්සේ වගා කළ ඉඩම් සිංහල අගමැතිවරයා විසින් සිංහලයන් අතර බෙදා දුන් බවට හැගීමක් ඔවුන් අතර මතු වෙමින් තිබුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

උහනට පැමිණි  වෛද්‍ය සයිමන් ඇතුළු ඔහුගේ පවුලේ උදවිය  තෝමස් නමැති ඔහුගේ මිතුරාට අයත් බංගලාවේ  නවාතැන් ගත් අතර ආරක්ෂාව පිණිස අනුගමනය කළ යුතු උපදෙස් රැසක් සිය මිතුරාගෙන් ඔහුට ලැබිණි. ගල්ඔය යෝජනා ක්‍රමයට අයත් උහන බහුතරය සිංහලයෝ වෙති. ‘ සිංහල මැරයෝ එකතු වෙලා දැන් හොයමින් ඉන්නවා  කවුද  සිංහල ගෙවල් වල හැංගිලා ඉන්න දෙමළ අය කියල. අපි දෙමළ කියල දැන ගත්තොත්  ඒ  අය  අපිව හොයා ගෙන එන්න පුළුවන්. එහෙම ආවොත් කැලේට ගිහින් හැංගෙන්න කියලා තෝමස් මට උපදෙස් දීලා තිබුනා. මගේ බිරිඳට හෝ දරුවාට ගැටළුවක් වෙන එකක් නැහැ. මොකද මේ මැරයෝ පහර  දෙන්නේ ගොඩක්ම පිරිමින්ට කියලා තෝමස් කිව්වා.”

ඔවුන් සැක කළ පරිදිම සිංහල ජාතිවාදී මැරයෝ ද තෝමස් ගේ බංගලාව ගැන සැක කළෝය. “අඳුර වැටීගෙන එද්දී අපි දැක්කා 500ක විතර මැර පිරිසක් අපි හිටපු බංගලාව පැත්තට එනවා. මම පිටු පස දොරෙන් කෙලින්ම කැලේ පැත්තට දිව්වා කළුවරේම. කිසිම දෙයක් පේන්නේ නැති තරම් කලුවර. මාව එතන තිබුණු අගලකට වැටුණා. නැගිටගන්න බැරි හින්දා මම ඒ විදියටම හිටියා.’

කෙසේ වෙතත් පැමිණි මැරයන්ගේ නායකයා විසින් දොස්තර සයිමන්ගේ බිරිඳ හඳුනාගෙන තිබිණි. ඒ, ඊට මාස දෙකකට පෙර ඔහුගේ පුත්‍රයා දියේ ගිලෙන්නට යද්දී වෛද්‍ය සයිමන් විසින් බේරාගත් හෙයිනි. ඒ නිසා තමන් හා ආ සෙසු පිරිසට කරුණු පහදා දුන් මැර නායකයා දැඩි ලෙස කණගාටුව පළකරමින් ඔහුගේ පිරිස සමග පෙරළා පිටව ගියේය.

කැනඩාවට පිටුවහල් වීම

“අපිට තේරුනා මෙහෙ ඉන්න එක එතරම් ආරක්ෂාකාරී නැති වග. දැන් ඔවුන් හැම දෙනාම දන්නවා අපි මෙහෙ ඉන්නවා කියලා.සමහර විට අර මනුස්සයා නැතිව අනික් කට්ටිය ආපහු එන්නත් පුළුවන් කියලා අපිට තේරුණා. ඒ නිසා අපි තීරණය කළා මඩකළපුවට යන්න. ඒකත්  හැතැප්ම 40 ක විතර  අවදානම්කාරී ගමනක්. ප්‍රදේශයෙන් පලා යන දෙමළ මිනිස්සුන්ව, සිංහල මැරයෝ හැමතැනම හොයනවා. ඕනෑම මොහොතක අපේ වාහනය නවත්වලා අපිව මරා දාන්න පුළුවන්. එ්ත්  අපිට  වෙන කරන්න දෙයක් තිබුණෙත් නැහැ. අනිත් දවසේ උදේ කලබල මැද්දේම අපි ආවා මුස්ලිම් ගමක් වුනු සම්මන්තුරේට. අතරමග දී  කවුරුත් අපිව නතර කළේ නැහැ. මේ කලබල අස්සේ සම්මන්තුරේට කොටු වුණු සිංහල මිනිස්සු තුන් දෙනෙක් මට හමු වුණා. මරණ බියෙන් තැති ගැන්විලා ඉතා අසරණ වෙලා සිටි ඔවුන් මට බැගෑපත්ව ඉල්ලුවා උහන ට ගිහින් දාන්න කියල. මම හොඳටම දන්නවා ආපහු උහනට යන එක භයානක ගමනක් බව. නමුත් මට ඕනෑ වුණා ඒ උදව්ව කරන්න. මම ඒ තුන්දෙනාව උහනට හැතැප්මක් විතර ආසන්නයට ගිහින් දැම්මා.’

නමුත් දොස්තර සයිමන්ගේ ආපසු ගමන එතරම් පහසු නොවිණි. ඉව වැටුණු සිංහල මැරයෝ ඔහු ලුහු බදින්නට වූහ.

“මම දැක්කා ලොරියක් දුවිලි අවුස්සාගෙන ඉදිරියට එනවා. හදිස්සියක් වුණොත් පලා යන්න පුළුවන් විදිහට විවෘත තැනක මම මගේ වාහනය නතර කළා. ලොරි රියදුරාත් තමන්ගේ ලොරිය පාරේ පටු තැනක නවත්වලා බලා ඉන්නවා. දැන් දෙගොල්ලොම බලාගෙන ඉන්නවා. මම අතින් සංඥා කරා ඉදිරියට එන්න කියලා. ලොරි මගේ වාහනේ ළඟටම එනකොටම මට අනතුරක් ඉව වැටුනා. ඒත් එක්කම ඉබේම වගේ මගේ අත ක්‍රියාත්මක වෙලා ඔවුන් පාර හරස් කරන්න කලින් මම පැන ගත්තා. ඒක ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ලොරියක්. කඩු , පොලු ගත්තු  මැරයෝ 30 දෙනෙක් විතර ලොරියේ හිටියා. ඒත් ඔවුන්ට හරියට මාව සිංහල ද , දෙමළ ද කියල හඳුනා ගන්න බැරිවුණා. ඒ නිසා ඒ අය ලොරිය ආපහු හරවා ගෙන අපි පසු පස්සේ ලුහුබදින්න වුණා. මගේ වාහනය ටිකක් බල සම්පන්නයි. ඒ හින්දා දෙවැනි මාරකයෙනුත් දිවි ගලවා ගන්න මට පුළුවන් වුණා,’’ ඔහු කීය.

ගල්ඔය නිම්නයේ තත්ත්වය සන්සුන් වන තුරු මාසයක පමණ කලක් මඩකළපුවේ රැඳී සිටි දොස්තර සයිමන් අනපේක්ෂිත සිදුවීම්වලින් කම්පනයට හා කළකිරීමට පත්ව සිටියේය. ලංකාව අත්හැර යන්නට එහු තීරණය කළේ එබැවිනි. සරණගතයකු ලෙස කැනඩාවට ගිය ඔහු කැනේඩියානු රාජ්‍ය සේවයට එක් වූයේය. ඒ, කැනඩාවේ දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කොට, සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු ය. 2017 වසරේ මාර්තු 8 වැනිදා කැනඩාවේ වැන්කූවර් ප්‍රාන්තයේදී සිය දිගු දිවියෙන් සමු ගන්නා විට ඔහු, කැනේඩියානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විද්වතකු වශයෙන් ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ කිහියක් ද සම්පාදනය කර තිබුණි.

අවතැන් ගල්ඔය සභාපති

ජූනි 11 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළ ඒමත් සමගම ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ කාර්ය මඩුල්ල සතු සම්පත් ඇතුළු සියලු බලය ආණ්ඩුවේ අනුග්‍රහය ලැබූ සිංහල කම්කරු මැරයන් සතු විය. මණ්ඩලයේ දෙමළ නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්  මැරයන්ගේ ප්‍රහාරවලින් දිවි ගලවා ගනු වස් දිව ගියේ අම්පාරේ තානායම වෙත ය. පැය කිහිපයක් යන්නට මත්තෙන් තානායම සරණාගත කඳවුරක් බවට පෙරළුණි. ගැබිණි මව්වරුන් දෙදෙනකු හා කුඩා දරුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස 83 දෙනකු විය. සේනානායකගේ සද් චේතනා හා අනාගත සැළැසුම් ගැන චෙල්වනායගම්ට දුම්රියේදී කරුණු පැහැදිලි කරන්නට උත්සාහ දැරූ ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සභාපති ආර්. කනකසුන්දරම් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ද මේ අතර වූහ. පසු කලෙක, ගල්ඔය සංවර්ධන වැඩසටහනට වසර 60 ක් සැපිරීම නිමිත්තෙන් 'දි අයිලන්ඩ්' පුවත් පතට ලිපියක් ලියමින් ඔහුගේ පුත් අජිත් කනගසුන්දරම් ඒ බිහිසුණු දවස් ගැන හෙළිදරව් කර තිබිණ.

"මගේ අම්මයි, තාත්තායි දෙන්නාම මේ තානායමේ දින දෙකක්ම හිරවෙලා හිටියා. කෑමට තිබුණු දේවල් ඉතාම සීමිතයි. ඒ වෙන කොටත් සිංහල මැරයෝ 500 ක් විතර තානායම වට කරලා තිබුණේ. තුන්වැනි දවස වෙන කොට ඔවුන් තානායමේ විදුලි සැපයුම් මාර්ග විසන්ධි කළා. මණ්ඩලේ ගබඩා කඩලා ඒවායේ තිබුණු ඩයිනමයිට් මේ මැරයෝ අරගෙන කියලා අපිට පණිවුඩ ආවා. කොයි මොහොතක හරි මේ සිංහල මැරයෝ කඩා වැදුනොත් කොහොම හරි පැන යාමේ සුදානමින් අපේ අම්මා එයාගේ තාලිය ගලවලා ඇඳගෙන හිටි හැට්ටය ඇතුළේ හංගාගෙනයි හිටියේ.”

මේ අතර තානායමේ සිරව සිටි කාන්තාවන්ගේ හා ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටළුවක් මතු වුවහොත්  මැරයන් වෙත වෙඩි තැබීමේ අවසරය සහිත පොලිස් කණ්ඩායමක් පැමිණියේය. 25 හැවිරිදි පත්මනාදන් නම් දෙමළ උප පොලිස් පරීක්ෂකවරයා සමඟ කොස්තාපල්වරු පස් දෙනකු ඒ අතර වූහ.

“මුලින් ඔහුත් එ් තරම් කැමැත්තක් දැක්වුයේ නැහැ වෙඩි තියන්න කියලා අණ දෙන්න. එ්ත් එහෙම නොකර බැරි තත්ත්වයක් අන්තිම වෙනකොට උදාවුණා. අවසානයේදී පොලිසියේ  වෙඩි ප්‍රහාර හමුවේ මැරයෝ තුන් දෙනෙක් මැරිලා වැටුණා. ඒත් එක්කම අනිත් ඔක්කොම මැරයෝ අතුරුදහන් වුණා. මේ සිංහල පොලිස් කොස්තාපල්වරු දෙමළ මිනිස්සු ආරක්ෂා කරන්න තමන්ගේ මිනිස්සුන්ට වෙඩි තියයිද කියල තමන්ට එතරම් විශ්වාසයක් නොතිබුණු බව පත්මනාදන් මුලින්ම මගේ තාත්තා එක්ක කියල තිබුණා. ඊට පස්සේ දිනයේ කර්නල් එෆ්. සී. ද සේරම්ගේ නායකත්වයෙන් හමුදා සේනාංකයක් ගල්ඔයට කැඳවීමත් එක්ක තත්ත්වය සාමාන්‍ය වුණා”යි කනගසුන්දරම් සිය ලිපියේ සඳහන් කරයි.

මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ කෘෂිකර්ම හා ආහාර ඇමති පිලිප් ගුණවර්ධන, ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ඒ වනවිට සිටි නිලධාරි මණ්ඩලය විසුරුවා හරින ලෙස අගමැති බණ්ඩාරනායකට බලපෑම් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස සභාපති වූ  ආර්. කනගසුන්දරම් ඉවත් කොට ඒ වෙනුවට අයි. එම් ද සිල්වා පත්කරනු ලැබුණි.

පසු කලක ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය පිළිබඳව ඇගයීම් වාර්තාවක් පිළියෙළ කිරීමට පත්කළ කොමිටියේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අජිත් කනගසුන්දරම් සඳහන් කරනුයේ සිංහල පමණක් පනතට එරෙහිව ෆෙඩරල් පක්ෂය විසින් ගාලු මුවදොර දී දියත් කරනු ලැබූ සත්‍යග්‍රහයට එරෙහිව පිලිප් ගුණවර්ධන ඇමතිවරයාගේ උසිගැන්වීම්වලින් නොමග යවන ලද ගල්ඔය ව්‍යාපාරයේ කම්කරුවෝ මේ වාර්ගික ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ බව ය.  බලයට පත් වූ මොහොතේ සිටම පිලිප් ගුණවර්ධන ඇමතිවරයා ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ දෙමළ නිලධාරින් ඉන් ඉවත් කිරීමට මහත් වෙහසක් දැරීය. මේ පිළිබඳව ඊට වසර කීපයක් ගතවීමෙන් අනතුරුව වාරිමාර්ග හා ඉඩම් ඇමති සි.පී. ද සිල්වා විසින්ම හෙළි කළ අතර මණ්ඩලය විසුරුවා හරින ලෙස පිලිප් ගුණවර්ධන කිහිප විටක්ම අගමැති බණ්ඩාරනායක ගෙන් ඉල්ලා තිබිණි.

"එය ඉටු කිරීමට ක්‍රියා නොකළ හොත් තම වෘත්තීය සමිති ඊට එරෙහිව එලියට ගන්නා බවට ගුණවර්ධන තර්ජනය කළේය. එවිට අගමැතිවරයා විසින් ගල්ඔය සංවර්ධන මණ්ඩලය විසුරුවා හැරීමට ක්‍රියා කළේයැ"යි කනගසුන්දරම් ලියා තිබේ.

මහාචාර්ය තම්බයියාගේ සටහන්

දෙමළ ජනයා ඉලක්ක කරගනිමින් ගල්ඔය නිම්නයේන් ඇරඹි පළමු ප්‍රචණ්ඩ සංහාරය පිළිබඳ ස්වකීය ස්මරණයන් ගැන ජගත් කීර්තිධර සමාජ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටැන්ලි ජෙයරාජ් තම්බයියා විසින් දකුණු ආසියානු කලාපයේ වර්ගවාදී ගැටුම් හා සාමුහික ප්‍රචණ්ඩත්වය ගැන ලියු Leveling Crowds (1997) කෘතියේ සටහන් කර තිබේ. ඒ වනවිට 27 හැවිරිදි වියේ පසු වූ තම්බයියා, ඇමෙරිකාවේදී සිදුකළ සිය උපාධි අධ්‍යයන කටයුතු හමාර කොට පේරාදෙණිය සරසවියේ සේවයේ නිරතව සිටියේය. ගල්ඔය නිම්නයේ ජනපදකරණ වැඩ සටහන ගැන සමාජ හා ආර්ථික සමීක්ෂණයක නිරත වීමේ අරමුණින් සිසුන් කණ්ඩායමක් සමග ගල්ඔය බලා ගියේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන වාර්තාවන්නට පෙර ය. අම්පාරෛ නගරයේ දී සියැසින් දුටු ප්‍රචණ්ඩ ක්‍රියා හා ඔහුගේ සිසුන් විසින් වාර්තා කළ සිද්ධීන් ද ඇතුලත් වාර්තාවක් සකස් කොට එවකට පේරාදෙණිය සරසවියේ උපකුළපති සර් නිකලස් ආටිගල වෙත බාර දීමට මහාචාර්ය තම්බයියා පසුව ක්‍රියා කළේය.

''ගල්ඔය මිටියාවතේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඇරඹුණු ජුනි 11 වැනිදා ඉදන් 14 වැනිදා වෙන තුරු අපි එහි රැඳී සිටියෙමු. 14 වැනිදා මඩකලපුවට පිටත් වීමු. මඩකලපුව සිංහල වෙළඳ සැලකට ගිණි තැබීම හා එහි දී සිදුවූ වෙඩි තැබීමකින් දෙමළ ජාතිකයන් තිදෙනකු මිය යාමත්, මඩකලපුව - අම්පාර මාර්ගයේ ගමන් ගත් ගල්ඔය සංවර්ධන මණ්ඩලයට අයත් ට්‍රක් රථවලට කාරතිව් ප්‍රදේශවාසින් විසින් ගල් ප්‍රහාර එල්ල කිරීම මෙන්ම ඩෙන්මාර්ක් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක වර්ජනය හේතුවෙන් සමාගම විසින් වර්ජිතයන් සේවයෙන් ඉවත් කිරීමත් ආදී සිදුවීම් හේතුවෙන් ප්‍රදේශයේ යම් කිසි නොසන්සුන් තත්ත්වයක් පැවති ජුනි 11 වැනිදා අම්පාර නගරයේදී බස්රථ පරීක්ෂා කළ සිංහල මැර කණ්ඩායම් දෙමළ ජාතිකයන් පිළිබඳ විමසා ඇති බවට සමීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා මට දැනුම් දුන්නේය. එමෙන්ම අම්පාර - උහන මාර්ගයේ පිහිටා තිබුණු දෙමල ජාතිකයකුට අයත් කැන්ටිමකට ගිනි තබා තිබිණි. ඒ අතර ඉන්දීය ජාතිකයකුට අයත් අම්පාරේ මිරන්දාස් රෙස්ටුරන්ට් අසළට රැස් වුනු මැර පිරිස් ඊට ගල් මුල් වලින් පහර දෙන්නට වූහ. දුරකථන ක්‍රියාකරවන්නියක ලෙස මඩකළපුවේ සේවය කළ සිංහල තරුණියක් පහර දී නිරුවත් කර නගරය පුරා අවිද්දවමින් සිටින බවට කට කතාවක් ද පැතිරෙන්නට විය. දිසාපතිවරයා හා පොලිසිය ද මෙම පුවත අසත්‍යක් බව ප්‍රකාශ කළේය. රාත්‍රියේ අම්පාර රෝහලට රැගෙන ආ තුවාලකරුවන් අතරින් දෙදෙනෙකුම හිසට ප්‍රහාර එල්ලවීමෙන් බරපතල ලෙස තුවාල ලබා තිබුණි. සෙසු දෙදෙනා ද ඇතුළුව ඔවුන් සියල්ලෝම දෙමල ජාතිකයන් වූහ. අම්පාර තරුණ ක්‍රිස්තියානි සංගමයේ රාත්‍රී සාදයක් චයිනිස් කැෆේ හි පැවැත්වෙමින් තිබියදී එහි ගිය සිංහල මැරයෝ සාදයට සහභාගි වී සිටින දෙමළ ජාතිකයන්ව තමන්ට බාර දෙන ලෙස සිංහල සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියෝය. එහෙත් එය ප්‍රතික්ෂේප කළ සිංහල නිලධාරීන්ගේ වාහනවලට අලාභානි කර නිවෙස්වලට ද පහර දී තිබිණි. බොහෝ පහර දීම් හා කොල්ලකෑම්වල පෙරමුණ ගනු ලබන්නේ පල්ලන් ඔය වැනි වැඩබිම්වල සේවය කළ ඉදිකිරීම්, වාරි මාර්ග කම්කරුවන් හා ට්‍රක් රථ රියදුරන් විසිනි,"යි මහාචාර්ය තම්බයියා ලීවේය.

කොල්ලකෑම් හා පහර දීම් සිදු වුයේ පොලිසිය අසළ සිටියදී බව පෙන්වා දෙන හෙතෙම තර්ජනයට ලක් වූ සිංහල කම්කරු පවුල් 50ක් පමණ මඩකලපුවේ වෙසෙන බැවින් ඔවුන් වහාම අම්පාරට රැගෙන එන ලෙස කම්කරුවන්ගෙන් සැදුම් ලත් කල්ලි නායකයන් ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ද සඳහන් කරන්නේය. 12 වැනිදා පාන්දර 3.30 ට පමණ මිරන්දාස් රෙස්ටුරන්ට් ගිනි බත් කෙරුණි.

කල්පිත දෙමළ හමුදා ආක්‍රමණය

ඔහු වැඩිදුරටත් මෙසේ ද ලීවේය:

"අම්පාරේ සිටි දෙමළ අනාථයන් පරිවාර ආරක්ෂාව සහිතව මඩකළපුවට යවන ලද බව  බදාදා (13) උදෑසන මම දැනගතිමි. බලධාරීන් හා නැවත නැවතත් සම්බන්ධ වූ මා, අප සියල්ලන්ට ගල්ඔය නිම්නයෙන් පිටවීමට ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටි නමුත් එය තමන්ට කළ නොහැකි බව ඔවුහු කීහ. බදාදා උදෑසන 10.30ට පමණ මේ සම්බන්ධයෙන් වැඩිදුර ඉල්ලීම් කරනු වස් මම අම්පාර පොලිස් ස්ථානයට ගියෙමි. පෙරවරු 11.30ට පමණ, මා ආපසු මහ රෝහල බලා පිටව ඒමට සැරසෙන අතරවාරයේ දී බක්කි ඇල්ලේ සිට ලොරියකින් එහි ළඟා වූ සිංහල අනාථයන් පිරිසක් දෙමළ ජානපදිකයන් විසින් තමන්ට පහර දුන් බව කීහ."

"අම්පාරේ විශාලතම භීතියට තුඩුදුන් මහත් වූ වියවුල හටගත්තේ මධ්‍යහ්නයේදී ය. තුවක්කු හා වෙනත් අවි ආයුදවලින් සන්නද්ධ 6000ක දෙමළ හමුදාවක් උහන ප්‍රදේශයේ ස්ත්‍රීන් හා දරුවන් ඝාතනය කිරීමෙන් ඉක්බිති අම්පාර කරා ළඟාවෙමින් සිටින බවට බිය උපදවන කට කතාවක් ලැව් ගින්නක් මෙන් පැතිරෙන්නට විය. මෙකී කට කථා ගැන සත්‍යතාව පරීක්ෂා කර බැලීමට හෝ ඊට නිසිකලට ප්‍රතිචාර දැක්වීමට පොලිසියට හෝ හමුදාවට හැකියාවක් නොවුණි.....සිංහල කොල්ලකරුවන් හා මැරයෝ ගල්ඔය වැඩබිම් වෙත ගොස් එහි තිබු ලොරි රථ වෙනත් වාහන බලෙන් පැහැරගත්හ. අවිගත් මිනිසුන් හා ඩයිනමයිට් පුරවාගත් ඇතැම් වාහන 6000 ක් වූ පෙරට එන බව කියන කල්පිත හමුදාවට මුහුණ දීම සඳහා පිටත් වූහ. මිනිසුන්, ගැහැණුන් හා දරුවන් පටවාගත් අවශේෂ වාහන ඉඟිනියාගල - මොණරාගල මාර්ගය ඔස්සේ නිම්නයෙන් පිව ගියහ."

"ගැටුම් පැවතුණු තුන්වැනි දිනයේ දී, ඒ තාක් සාමකාමීව පැවති ජනපද ප්‍රදේශ කරා ද කෝළාහල පැතිරුණි. වාහනවල නැගීගත් කොල්ල කල්ලි ජනාවාසකරණයට පාත්‍ර වූ ප්‍රදේශවලට පහර දෙමින් කොල්ල කෑහ. සිය මුල් ගම්බිම් කරා පසුබැස ගිය දෙමළ ජානපදිකයන් ද ගිනි අවි ද රැගෙන පෙරළා යළිත් පැමිණියෝය. බක්කි ඇල්ල, වෙල්ලායි වේලි හා අංක 11, 16, 14 කොළණි ආශ්‍රිතව දරුණු සටන් පැතිරුණි. අම්පාරේ නගරයේ සමූපාකාර ගබඩාව ද කොල්ලකනු ලැබුණි. වෙනස් වූ තත්ත්වයන් තුළ බලවත් අනතුරකට මැදි වූ බැව් වටහාගත් සිංහල ජානපදිකයෝ අම්පාර දෙසට පලායාමට පටන්ගත්හ."

"ඉදිරියට ඇදෙන මිනීමරු දෙමළ හමුදාවක් පිළිබඳ මිථ්‍යාව විසින් නිර්මාණය කළ සංත්‍රාස විසින් ඇතිකළ  තවත් බලපෑමක් වූයේ ගල්ඔය සංවර්ධන මණ්ඩල නිලධාරීන් බහුතරයක් ද නිම්නයෙන් පලා යාම ය. මණ්ඩලයට අයත් ලෑන්ඩ් රෝවර් රථවල නැගී ඔවුහු පිටව ගිය බව මම වටහා ගතිමි. දෙමළ නිලධාරින් ඉවත් කිරීමෙන් හා සිංහල නිලධාරීන් පලා යාමෙන් පසු සිවිල් පරිපාලනය ඉතිරිව සිටි අතළොස්සක් දෙනකුට සීමා විය".

1958 ප්‍රහාරයන්ට පෙරහුරුවක්

තුන් දිනක් තිස්සේ අම්පාර තානායම වටලාගෙන සිටි සිංහල මැර කල්ලි, 13 වැනිදා තානායමේ විදුලිය හා ජල සැපයුම් මාර්ග විසන්ධි කර තිබිණි. ගබඩා බිඳ පැහැරගත් ඩයිනමයිට් දමා එය පුපුරා දැමීමේ ප්‍රයත්නය අසාර්ථක වුයේ , පුපුරා හැරීමට අවශ්‍ය ඩෙටනේටර් , සේව නූල් ආදිය රැගෙන විත් නොතිබූ නිසා ය. වෙඩි තබන්නට පොලිසිය තීරණය කළේ මැරයන් පාලනය කරන්නට ක්‍රමයක් නොවූ තැන ය. කළහකාරීන් තිදෙනෙකු මිය මිය ගියේ ඒ වෙඩි තැබීමෙනි. ඉක්බිති, අම්පාරේ දෙමළ අනාථයන් සියළු දෙනාම පොලිස් ආරක්ෂාව යටතේ මඩකළපුව වෙත රැගෙන යනු ලැබිණ.

සන්නද්ධ හමුදා රථයක් මඩකලපුවට යාම නිසා ඒ සමඟ සමීක්ෂණයට එක්ව සිටි දෙමළ සිසුන් අරක්ෂිතව අම්පාරෛ ප්‍රදේශයෙන් පිටත් කිරීමට හැකි වූ බව මහාචාර්ය තම්බයියා සිය සටහන් මගින් අනාවරණය කර තිබේ. ඔවුහු පළමුව මඩකළපුවට ගොස් එතැන් සිට දුම්රිය මගින් ඔවුන්ගේ නිවෙස් කරා යාමට කටයුතු කළහ. කණ්ඩායමට එක්ව සිටි සිංහල සිසුන් බදුල්ලට ගොස් දුම්රිය හරහා නිවෙස් කරා යාමට අවශ්‍ය සියලු දෑ සූදානම් කරන ලද්දේ ද මහාචාර්ය තම්බයියාගේ මැදිහත්වීමෙනි.

අම්පාරේ සිට සිංහල හමුදාවක් මඩකළපුවට පහර දීමට පැමිණෙතැයි කටකතාවක් ද පැතිර යාමත් සමග මඩකළපු දිසාපතිවරයාගේ නිල නිවස වැටලූ ප්‍රදේශවාසීහු එළඹෙන අනතුරය මුහුණ දෙනු වස් අවි නිකුත් කරන මෙන් ඉල්ලා සිටි අතර දිනකට කලින් මඩකළපු නගරයට සැතපුම් 10ක පමණ දුරින් අම්පාරේ සිට ආ මැර කණ්ඩායමක් කවුරුන් හෝ දැක තිබීම මේ කටකතාව පැතිරීමට ඉවහල් වූ බව ඔහු ලියා තිබේ.

"සමාව දිය නොහැකි තරමටම, පළමු රැයේදී අම්පාරේ පොලිස් බලකාය අකාර්යක්ෂම විය. ගල්ඔය දී තදින් ක්‍රියා කළ හමුදාව කළාක් මෙන් බලය හා ශක්තිය විදහා පෑමක් වී නම් වෙනසක් ඇති කිරීමේ හැකියාවක් තිබිණ......මගේ හැඟීම වන්නේ, කැරළි කෝලාහලයක දී වඩාත් වැඩදායක ප්‍රවේශය වන්නේ හරි හෝ වැරදි දෑ සොයා බැලීම නොව, සිවිල් කළහය නමැති ප්‍රපංචය පළමුව වටහා ගැනීමයි. කටකතා සහ ඒවායේ ප්‍රතිවිපාක විසින් පැහැදිලිව පෙන්නුම් කරන ලද්දේ සිවිල් කළහකාරීත්වයක දී සාමාන්‍ය සන්නිවේදන විධික්‍රම වැඩකට නැති බවත්, සිහි බුද්ධිය ඇති මනුෂ්‍යයාගේ උපකල්පන අතාත්වික බවත් යැ"යි මහාචාර්යවරයා සිය සටහන් අතර සඳහන් කරයි.

ඇත්ත කාරණාව වන්නේ වාරිමාර්ග හා ඉදිකිරීම් කම්කරුවන් මෙන්ම ට්‍රක් රථ රියදුරන් ද, නම ගිය දාමරික අපරාධකරුවන් ද වර්ගවාදී ප්‍රචණ්ඩ සාහසිකත්වයට දායක වූයේ හුදු භාෂා ප්‍රශ්නය ගැන ඇති අවබෝධයකින් පොළඹවනු ලැබ නොවන බවයි. අන් හැම විටම මෙන්, ගල්ඔය දී ඇවිළ ගිය වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා  පිටුපස ද සැළසුම් සහගතව ගණන් බලා සිදුකළ අපරාධ ක්‍රියා නිරීක්‍ෂණය කළ හැක. කොළඹ පැවති උදඝෝෂණයට දින පහක් ගතවීමෙන් පසුවත් පෙර නොවූ විරූ ආකාරයේ සාහසික ප්‍රචණ්ඩ ක්‍රියා ගල්ඔය මිටියාවතේ ඇති වීමෙන් පෙන්නුම් කරනු ලැබුවේ මේ යථාර්ථයයි. එයින් වසර දෙකකට පසුව ඊටත් වඩා විනාශකාරී හා සාහසික ප්‍රචණ්ඩත්වයකට පුර්වාදර්ශයක් ගල්ඔය සිදුවීම් විසින් සපයන ලදී.

ගල්ඔය නිම්නයේ තත්ත්වය පාලනය කිරීමට සන්නද්ධ හමුදා කැඳවීමෙන් සතියක් ඇතුළත ප්‍රදේශය යථාතත්වයට පත්විය. ජීවිත බේරා ගැනීම පිණිස පලා ගිය හා සැඟවුණු දෙමළ ජනපදිකයන් සිය නිවෙස් වෙත පැමිණියේය. එහෙත් ඊට වසර දෙකකට පසු 1958 දී දෙමළ ජනයා ගේ ජනපදවලින් ඔවුන් තිර ලෙසහ පලවා හැරුණි. අද ඒවායේ වෙසෙනුයේ ගල්ඔයට පැමිණි සිංහල ජනපදිකයන්ගේ දෙවෙනි හා තුන්වැනි පරම්පරාවන් සේ සැළකේ.

මින්නේරි දෙයියෝ හා බොරළුගොඩ සිංහයා

සාහසික ප්‍රචණ්ඩ ක්‍රියාවලට කෘෂිකර්ම ඇමතිවරයා වූ පිලිප් ගුණවර්ධන පමණක් නොව, ඉඩම් ඇමතිවරයා වූ සී.පී. ද සිල්වා ඇමතිවරයාගේ ද ක්‍රියාකලාපයන් බල පෑ බවට සමාජ විශ්ලේෂකයෙකු වූ ඩොනල්ඩ් එල්. හොරෝවිට්ස් විසින් ලියු ' The Deadly Ethnic Riot' (2001) කෘතියේ දක්වා තිබේ. එකී විස්තරයට අනුව, "1956 ගල්ඔය ජනපදයේ ප්‍රචණ්ඩක්‍රියාවන්ට ජලා පවාහන හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කම්කරු පිරිස් සහභාගී වී තිබේ. ජානපදිකයන් බොහෝ දෙනා ඉඩම් ඇමතිවරයා පක්ෂපාතීව සිටි අතර ඔවුන්ගෙන් බහුතරයක්ම ඔහු අයත් සලාගම කුල ප්‍රජාවට අයත් වූ අය වූහ. වාරිමාර්ග කම්කරුවන්ගෙන් බහුතරයක් කෘෂිකර්ම ඇමතිවරයාට පක්ෂපාතීත්වයක් දක්වන ලද්දේ ඔවුන් බොහෝ දෙනකු ඔහුගේ නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතිය හා සම්බන්ධව සිටි හෙයිනි. මේ අනුව නිගමනය කළ හැක්කේ මෙම දේශපාලනඥයන් දෙදෙනා සංවිධානාත්මක භූමිකාවක් රඟදැක් වූ බව ය."

බණ්ඩාරනායක දේශපාලන චරිතය පිළිබඳව The Expedient Utopian: Bandaranaike and Ceylon (1989) මැයෙන් කෘතියක් සම්පාදනය කළ ජේම්ස් මැනෝර් පෙන්වා දෙන්නේ සීමාන්තික කටකතාවලින් පොළඹවන ලද සිංහල මැරයන් ආණ්ඩුවේ වාහන, බුල්ඩෝසර් සහ පුපුරණ ද්‍රව්‍ය අත්පත් කොටගෙන දින කිහිපයක් පුරා ජනපදවාසී දෙමළ සුළුතරය ත්‍රස්තයට පත් කරන ලද බව ය. "නිසැක වශයෙන්ම සිය ගණනකට වැඩි දෙමළ ජනයා විශාල වශයෙන් ඝාතනයට ලක් වූ අතර තවත් සිය ගණනක් දිවිගලවා ගනු පිණිස සැඟවුණෝයැ"යි ඔහු ලියයි.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා ශාස්ත්‍රඥයකු වූ ඩබ්ලිව්. හොවාර්ඩ් රිගින්ස්  මෙන්ම මෙරට කීර්තිමත් මාධ්‍යවේදියෙකු වූ ටාසි විට්ටච්චි විසින් පසුව ලියන ලද කෘති මගින් සම්පාදනය කරන ලද වාර්තා විසින් ගල්ඔය සාහසික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සංක්‍ෂිප්ත හා නිරවුල් වාර්තා ඉතිහාසයට එක් කරනු ලැබුණි.

විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ගල්ඔය සාහසික ප්‍රචණ්ඩත්වය ගැන සොයා බලා ඇති වූ සිද්ධීන් විමර්ෂණය වෙනුවෙන් කොමිසමක් පත් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළේය. කොමිසම මගින් සියලු පාර්ශවයන්ගෙන් ලිඛිත හා වාචික සාක්ෂි රැස් කළ නමුත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් ගල්ඔය සංවර්ධන මණ්ඩලයට දෝෂාරෝපණයක් එල්ල නොකෙරුණි. ආණ්ඩුව නියෝජනය කරනු ලැබූ ප්‍රධාන දේශපාලන පක්ෂයකට මෙම සාහසික ප්‍රචණ්ඩ ක්‍රියාවලට දේශපාලනිකව මැදිහත් වීම් සිදුකළ බවට චෝදනා එල්ල වුවද කිසිදු විමර්ශනයක් නොමැතිව කොමිෂන් වාර්තාව යටපත් කර දැමුණි. හමස් පෙට්ටියට බහාලු එම කොමිෂන් වාර්තාව තවමත් ආණ්ඩුවේ ලේඛනාගාරයේ තිබෙනු නොඅනුමාන ය.

ගල්ඔය ප්‍රචණ්ඩ උරුමය

ඩී. එස් සේනානායකගේ ප්‍රධාන අරමුණ වූයේ සංවර්ධනයේ නමින් දෙමළ ජනයා බහුතරය විසු නැගෙනහිර පළාත සිංහල ජනපදකරණයට ලක්කිරීම යැයි ගල්ඔය ව්‍යාපෘතිය ආරම්භයේදී ම චෙල්වනායගම් විසින් චෝදනා කළේය. චෙල්වනායගම්ගේ ප්‍රකාශය වනාහී 'දෙමළ ජාතිවාදය' මත පදනම් වූ හුඹස් බියකැයි කියන්නට ඉක්මන් නොවිය යුත්තේ පසුකාලීනව ගල්ඔය ව්‍යාපෘතියේ සමස්ත ප්‍රගතිය විමර්ශනය කළ කමිටු වාර්තාව මගින් ගල්ඔය අසාර්ථක ව්‍යාපෘතියකැයි නිගමනය කළ නිසා ය. ජනපදයේ ආරම්භ කෙරුණු සියලු කර්මාන්තයන් ලාභ නොලබන තත්ත්වයක් යටතේ තව දුරටත් පවත්වා ගෙන යාමේ හැකියාවක් නොමැති බව කමිටුව විසින් පෙන්වා දී තිබිණි.

නිහාල්සිංහ විසින් නිර්මාණය කළ 'නිම්නයක හදවත' වාර්තා චිත්‍රපටයේ කථකයා විසින් උදම් ඇනූ පරිදි "නිදහස් නිවහල් පාලන ක්‍රමයක් යටතේ ජාතියේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරවමින් සංවර්ධන යුගයක මුල් පියවර තැබීමට" ගල්ඔය අසමත් වූ බව ඇත්තකි. නමුත් ඩී.එස් ගේ අරමුණු මල්පල ගන්වමින්, නැගෙනහිර පළාතේ වාර්ගික සංයුතිය තීරණාත්මක ලෙස වෙනස් කරන්නට ගල්ඔය සැළැස්ම මගින් මග පාදන ලදී. එහි කූඨ ප්‍රාප්තිය, 1960 ජනවාරි 10 වැනිදා මඩකළපුව දිස්ත්‍රිකයෙන් වෙන්කොට අම්පාර දිස්ත්‍රික්කයක් හා මැතිවරණ ආසනයක් නිර්මාණය වීම මගින් සළකුණු විය.

1956දී පළමුවරට ගල්ඔය දී පුපුරා ගිය  සංවිධානාත්මක වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා එයින් දෙවසරකට පසු හටගත් වඩා සාහසික සිදුවීම් සඳහා වූ පෙරහුරුවක් බඳු විය. 1958දී යළිත් දියත් කෙරුණු ප්‍රචණ්ඩ ක්‍රියා විසින් තව දුරටත් දෙමළ ජනයා පලවා හැරීමේ සැළසුම් ඉදිරියට ගෙනයනු ලැබුණි. නැගෙනහිර පළාත මුල්කොටගෙන ඩී. එස්. සේනානායක විසින් ඇරඹූ සිංහල ජනාවාසකරණ ව්‍යාපෘති විසින් මුලපුරන ලද වාර්ගික ජන සංයුතිය වෙනස් කිරීමේ සැළසුම් පසුකාලීනව ඇවිළ ගිය බිහිසුණු යුද්ධයට අවශ්‍ය සරුපස සැකසූ බැව් නොරහසකි. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ අදටත් උතුරු සහ නැගෙනහිර පළාත්වල පෙරට ගෙනයමින් ඇත්තේ එහිම අඛණ්ඩ පියවරකි.

1956දී සිංහල බස රජ කරමින්, ඊට විරෝධය පෑ සාමකාමී සත්‍යග්‍රහ ක්‍රියාකරුවන්ට ගාලු මුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිටදීම පොලිස් හා මැර ප්‍රහාර එල්ල කරමින්, අවසානයේ ගල්ඔය මිටියාවතේදී දෙමළ ජනයා සියයකට වැඩි පිරිසක් ඝාතනය කරනු ලබන විට රජයේ ඉඩම් නිලධාරියකු විසින් රස්සා කළ වැල්වැටිතුරෛ පහළ මැද පංතික පවුලක උපන් වේලුපිල්ලෛ ප්‍රභාකරන් දෙහැවිරිදි වියේ බහ තෝරන දරුවෙක්ව සිටියේය.

එයින් පනස් තුන් වසරකට පසු ඒ ප්‍රභාකරන්ගේ මළ සිරුර වටකොට කිරිබත් කෑ ලංකාව දැන් යළිත් ගමන් කරමින් සිටින්නේ විසි එක්වැනි සියවසේ ගල්ඔය පරිච්ඡේදය කරාද?

අතුල විතානගේ


© JDS