ආනන්ද ඉඩමේගම: ඝාතක යුගයකට ඇරුණු එක් මිනිස් කවුළුවක්

 

ක් දහස් නවසිය අසූ තුනේ දුෂිත ජනමත විමසුම හරහා සිය නිල පාලන කාලය වසර හයකට දිගු කරගත් ජයවර්ධන 1988 දී යළි තෙවන වරටත්  ඉදිරිපත් වීමේ සුදානම් විය. එහෙත් ඊට එරෙහි වූ එවකට අගමැති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි නායක වූ ආර්.ප්‍රේමදාස ඊට සිය විරෝධය දක්වන්නට විය. ජනාධිපතිධුර අපේක්ෂකත්වය තමාට නොදුනහොත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන බවට ඔහු තර්ජනය  කළේය. තමන්ට එරෙහිව රට තුල පැන  නැගී තිබුණු විරෝධයත්, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමේ තර්ජනයත් හමුවේ තමන් හෝ තමන් කැමති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අදහස අත්හැර  දැමූ ජයවර්ධන විසින් ජනාධිපති අපේක්ෂකධූරය ප්‍රේමදාස වෙත පැවරිණි.  

'ධම්මික මහත්තයා'

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ '88 සැප්තැම්බරයේදී ඉල්ලීම් 43 කින් යුත් ජාතිය ගළවා ගැනීමේ වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරන ලදි. එම වැඩ පිළිවෙල පදනම් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ජනාධිපතිවරණය සඳහා දේශප්‍රේමී එක්සත් පෙරමුණක් ගොඩනැගීමට පදනම් සකස් කරන්නට විය. ප්‍රධාන දේශපාලන පක්ෂ අටක් ඒ සඳහා එක් විය.  මේ සාකච්ඡාවන්ට ජනතා විමුක්ති පෙරමුණු නියෝජනය කරමින් සහභාගි වූවන් අතර එක් විශේෂ පුද්ගලයෙකු විය. ඒ  කලෙක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල ක්‍රියාකාරිකයෙකු මෙන්ම ජවිපෙ සමාජවාදි ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ  ආනන්ද ඉඩමේගමය.  පසුව ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු  වූ  ආනන්ද ඉඩමේගම  '89 නැගිටීම තුළ මතු වූ  සුවිශේෂී චරිතයකි.  ශිෂ්‍ය නායකයෙකු, බහුජන ක්‍රියාකාරිකයෙකු මෙන්ම  ජනතා විමුක්ති පෙරමුණේ  අධ්‍යාපන කඳවුරු තුල දර්ශනය විෂය පිලිබඳ  දේශකයෙකු  ලෙසත්, අදත්  මතකයෙන්  ඈත් නොවන්නකි. විශේෂයෙන්ම  රජයේ හමුදාවන් විසින් දියත් කර තිබූ සමූල ඝාතන සංහාරක ක්‍රියාදාමයට එරෙහිව සන්නද්ධ දේශපාලන ක්‍රියාමාර්ගයන්ට මූලික වැදගත්කමක් හිමිව තිබූ අතිශය මර්දනකාරී වාතාවරණයක් තුළ ද ජනතා විමුක්ති පෙරමුණු  ක්‍රියාකාරිකයන්  අධ්‍යාපනයෙන් හා නව දැනුමෙන් සන්නද්ධ කිරීම නොසළකා හැරිය නොහැකි අවශ්‍යතාවක් බවට පෙන්වා දෙමින් “ධම්මික මහත්තයා“  නොහොත්  “බස්නායක  සහෝදරයා“ නොහොත් ආනන්ද ඉඩමේගම පක්ෂය තුළ දැඩි අරගලයක් ගෙන ගියේය.

1989 දෙසැම්බරයේදී  රජයේ හමුදා විසින්  ඔහු අත් අඩංගුවට ගෙන  වධ බන්ධනයන්ට ලක් කොට මරා දමා  පුරා විසි හත් වසක් ගතවී තිබේ.

“අපේ පවුල්වල ඔක්කොම පාරම්පරික  එක්සත් ජාතික පක්ෂ  සාමාජිකයෝ. අපේ  අප්පච්චි බදුල්ලේ කන්දේ ගෙදර , අම්මා මාතලේ  කන්දේගෙදර. අප්පච්චි  අම්මාව  කැන්දන්  ඇවිත් තියෙන්නේ  ඇඳිරි නීතිය දාලා තිබිද්දී, ඒ 1958 බණ්ඩාරනායක ආණ්ඩුව දෙමල මිනිස්සුන්ට  ගහන දවස් වල, ඒ ගොල්ලෝ  මාතලේ  ඉඳන් බදුල්ලට ඇවිත් තියෙන්නේ  ඇඳිරි නීති බලපත්‍ර අරන්. ආනන්ද මගේ එකම මල්ලි එයා මුලින්ම කන්දෙකැටිය ස්කෝලෙට ගිහින්  පස්සේ ශිෂ්‍යත්වය පාස් වෙලා මාතලේ සයන්ස් කොලේජ් එකට ගියා. එයා ඉගෙන ගන්න දක්ෂයා  විශේෂයෙන්ම ගණිතයට.“

ආනන්ද ඉඩමෙගමගේ  වැඩිමහල්  සොහොයුරු  බන්දුල ඉඩමේගම  සිය සොහොයුරා පිළිබඳ මතකය  JDS සමග බෙදාගත්තේ, ඔහුට අනුව, කවර හෝ මාධ්‍යයක් වෙනුවෙන්  පළමු වරට ය. බන්දුල  ද   සිය  දේශපාලන දිවිය අරඹා ඇත්තේ  ජනතා විමුක්ති පෙරමුණ හරහා ය.  ඒ  වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු ලෙසිනි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විධායක නිලධාරියෙකු වූ බන්දුලට 1982 ජනාධිපතිවරණයෙන් පසු  දේශපාලන පලිගැනීම්වලට ලක්විය. ඔහු මඩකලපුවට මාරු  කර යැවිණ. 

“ලයනල් බෝපගේ, විරාජ් ප්‍රනාන්දු, සුනිලා අබේසේකර, අතුල සුමතිපාල, ජිනදාස කිතුලේගොඩ, දයානි  දිසානායක , බුද්ධදාස විතානාච්චි  වගේ  අයත් සමග මගේ දේශපාලන සම්බන්ධකම් තිබුණා. ඒ කාලේ අපි උත්සාහ කරා කොළඹ දෙමල ජනයා අතර පක්ෂයට පදනමක් දමා ගන්න. ඒත් එක සාර්ථක වුණේ  නැහැ.  පක්ෂයේ සංස්කෘතික අංශයේ  වැඩවලටත් මගේ දායකත්වයක් තිබුණා. යාපනේ වීරසිංහම් ශාලාව, වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා රඟහල  පදනම් කරගෙන මේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ඒ දවස්වල  අපි  ප්‍රේමවතී මනම්පේරි චරිතය ගැන වේදිකා නාට්‍යයක් කළා. එකේ හාමුදුරු කෙනෙකුගේ චරිතයකුත්  මම කළා. පස්සේ  මේ නාට්‍ය ආණ්ඩුවෙන්  තහනම් කළා. '82  ජනාධිපතිවරණ කාලේදී  අපි රාජගිරියේ  ඔබේසේකරපුර  ගෙයක්  කුලියට අරන්  වැඩ කළා. පක්ෂයේ   පුර්ණකාලිනයන්ගේ  ප්‍රධාන තැනක් වුණේ එතන. අබේසේකර, ශාන්ත බණ්ඩාර, සෝමවංශ, වගේම අපේ මල්ලි එක්ක ලලිත් විජේරත්න, රන්ජිතම් ගුණරත්නම් වගේ  බොහෝ දෙනෙක්  මෙතනට ආවා - ගියා. බෝපගේ පක්ෂෙන් අයින් වීමත් එක්ක බුද්ධිමතුන් පක්ෂයට සම්බන්ධ කිරීම හා ඔවුන් සමග ගනුදෙනු කිරීම පැවරුණේ  සෝමවංශ අමරසිංහට.  එයා යටතේ පක්ෂයට ආවේ  ගොඩක්ම ජාතිවාදියෝ. පසු කාලීනව  විශේෂයෙන්   '83 වන විට  පක්ෂය  ජාතික ප්‍රශ්නය ගැන දරපු ස්ථාවරය  පිළිබඳව ගැටළු මතු වීමත් එක්ක  මම දේශපාලනෙන්  අයින් වුණා".

පන්ති තහනම

මාතලේ  විද්‍යා විද්‍යාලයේ  දීප්තිමත් සිසුවෙක් වුණු  ආනන්ද  ඉඩමේගම 1978  වසරේ අපොස උසස් පෙළ විභාගය  ගණිත අංශයෙන්  උසස් ලෙස සමත් වුයේ  මාතලේ  දිස්ත්‍රිකයේ  පළමු වෙනියා ලෙසත් , මුළු දිවයිනෙන්ම  දෙවැනියා  ලෙසත් ලකුණු හිමි කරගනිමිනි. නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය පිලිබඳ උපාධිය සඳහා  ඔහු  පේරාදෙණිය සරසවියට තෝරා ගැනුණු අතර  එය ආනන්දගේ  දේශපාලන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පෙරළුණි. '80 දශකය ආරම්භය වන විට පේරාදෙණිය සරසවිය තුල  එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත සමවාදී ශිෂ්‍ය සංගමය සිය බලය තහවුරු කරගැනීමට ප්‍රචණ්ඩ ලෙස රාජ්‍ය බලය යොදාගනිමින් උත්සාහ දරන ලද  වකවානුවකි. එවකට ප්‍රබල ඇමති වරයෙකු වූ ගාමිණි දිසානායකගේ සෘජු මැදිහත් වීම සරසවිය තුළ සමවාදින්ට මහත් අනුබලයක් වුවද   සිසුන් අතර ඔවුන්ට පදනමක් වීමට එය සමත්  නොවිණි.

“යු එන් පි  ආණ්ඩුව බලයට පත් වුණු දා ඉඳන්  දෙමල මිනිස්සුන්ට කරදර වුණා, විශේෂයෙන් නුවර පැත්තේ වතු කම්කරුවන්ට  '77 දී  පටන්  '83 දී  මහා සංහාරයකට ලක්වෙනකම්ම. මල්ලි ඒ දවස් වල කියල තිබුණා  කැම්පස් එක ඇතුලෙත් තත්වය ඒකයි කියල. සමවාදීන්ගේ මේ වැඩවලට එරෙහිව  තමයි එයා වැඩ කරමින් ඉඳල තියෙන්නේ. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ  වැඩ කරන්න  මේ තත්ත්වය බලපෑවා කියල තමයි මට හිතෙන්නේ. අනිත් පැත්තෙන්  මාතලේ  පැත්තෙන්  පේරාදෙණිය කැම්පස් එකට ගිය ශාන්ත බණ්ඩාරත් ඒ වෙනකොට  ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය තුල  ක්‍රියාකාරී වෙලා හිටියේ. එයාගේ බලපෑමත්  මල්ලිට  තියෙන්න ඇති. මොකද  ශාන්ත බණ්ඩාර අපේ  පවුල් වල හොඳට දන්න කෙනෙක් .“

'82 වනවිට වාර්ෂික ශිෂ්‍ය නිලවරණයෙන්  ජනතා විමුක්ති පෙරමුණේ   සමාජවාදී  ශිෂ්‍ය සංගමය  ශිෂ්‍ය නියෝජිතයන් බහුතර සිසු ඡන්දයෙන් පත්විය. බලය ගිලිහිනු සමවාදින්  විසින් ඔවුන් හා ගැටුමක් ඇති කරගත් අතර  ඒ පිළිබඳව සරසවි බලධාරින්ගේ පක්ෂග්‍රාහී පිළිවෙතට එරෙහිව සිසුන් උදඝෝෂණ කරන්නට විය. ජයවර්ධන ආණ්ඩුව මගින් පත කරනු ලැබූ උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න විසින් මේ පිලිබඳ විමර්ශනයට  කොමිසමක් පත් කෙරිණි. ඒ  සරසවි ඉතිහාසයේ අපකීර්තිමත් ම කොමිසමක් ලෙස සැළකෙන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  නිශ්ශංක උදලාගම ගේ ප්‍රධානත්වයෙන්  යුත් උදලාගම කොමිසම ය. ප්‍රහාරකයන් නිදොස් කොට පීඩාවට පත්වූවන් වැරදිකරුවන් බවට ප්‍රකාශයට පත්කළ උදලාගම කොමිසම මගින්  සිසුන් හත් දෙනෙකුගේ  පන්ති තහනම් කෙළේය. මෙසේ පන්ති තහනමට ලක් වූ  අතර ආනන්ද ඉඩමේගම මෙන්ම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ  ක්‍රියාකාරීන් වූ   රන්ජිතම් ගුණරත්නම් හා ලලිත් විජේරත්න ද විය. ඊට එරෙහිව සිසුන් දියත් කරනු ලැබූ උපවාසය මාරාන්තික උපවාසයක් බවට පත් වුයේ දැඩි මර්දනයක් යොදමින් එය යටපත් කිරීමට උපකුලපති පණ්ඩිතරත්න ක්‍රියා කරමින් සිටියදීය.  අපක්ෂපාතී විනිශ්චයක් ලබාදෙනතෙක් මහාචාර්ය ඩයස්ට ඔහුගේ කාර්යාලයෙන් බැහැරවීමට සිසුන් විසින් වළකන ලදි. නමුත්  රජය විසින් පළමු වරට සරසවි භුමිය තුල පොලිස් මුරපොලක් පිහිටුවමින් ද, සිසුන් රැසකගේ  පන්ති තහනමට ලක් කරමින් හා ශිෂ්‍ය සභා තහනම් කරමින් එම අරගලය මර්දනය කරන ලදි.

'83 ජුලි සංහාරය සම්බන්ධ කරමින් ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් කිරීමත් සමගින්  රහසිගතව දේශපාලනය කරන්නට තීරණය කල බොහෝ අය අතර ආනන්ද ඉඩමේගම ද   එක් අයෙකි.

“ඉන් පස්සේ මල්ලි ගෙදර එන්නේ  අපේ අප්පච්චිගේ මරණය ආරංචි වෙලා. හරියටම '87 අගෝස්තු 14  වැනිදා   බදුල්ලේ  කන්දෙගෙදරට , ඒ එන්නේ හොර රහසේ. ඇවිත් ටික වෙලාවකින්  පොලිසියෙන් පැන්න ගෙදරට මල්ලිව හොයාගෙන. ඒ වෙනකොටත් මල්ලි ගෙදරින් පිටත්වෙලා හිටියේ. එයාට  කලින්ම  පණිවිඩය ලැබෙන්න ඇති  එයාගේ  සගයන්ගෙන්. එදා ගිය  ගමන් මල්ලිට නැවත කවදාවත් ගෙදර එන්න හැකියාවක් තිබුණේ නැහැ.“

එහෙත් කිහිප අවස්ථාවකදීම  රහසිගතව  ආනන්ද හමුවීමට  සොයුරු බන්දුලට අවස්ථාව ලැබිණි. 1986 වන විට ආනන්ද  ඉඩමේගම ජනතා විමුක්ති පෙරමුණ තුළ ප්‍රබල  වගකීම් දරන්නෙකු වූ අතර  1988 වසර තෙක්ම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ  ප්‍රධාන ලේකම් ධුරය දැරීය. ඒ  ජනතා විමුක්ති පෙරමුණේ  මාධ්‍යම කාරක සභිකයෙකුට අමතරව ය.


පක්ෂ අටේ සන්ධානය
 
88 ජනාධිපතිවරණය  හා මහ මැතිවරණය  භාරකාර ආණ්ඩුවක් යටතේ එක්වර පවත්වන  ලෙස  දේශපාලන පක්ෂ අටක් සහ වෘත්තීය සමිති 20 ක් එක්ව එවකට ජනාධිපතිව සිටි  ජේ.ආර්. ජයවර්ධන වෙත  ඔක්තෝම්බර් 18 වැනිදා යොමු කරන ලද  ලිපියක් මගින් යෝජනා කළේය. රට තුළ මතුව තිබු අර්බුදකාරිත්වය මත  එම යෝජනාව කෙරෙහි  ජේ. ආර්.ගේ  යම් එකඟතාවයක් තිබුන ද  එය ක්‍රියාත්මක නොවුනේ  එවකට  අගමැතිව  සිටි   ජනාධිපති  අපේක්ෂක ධුරය  අපේක්ෂාවෙන් සිටි   ආර්. ප්‍රේමදාස විරෝධය හේතුවෙනි. ජනාධිපති වරණය සඳහා පොදු අපේක්ෂකයෙකු  ඉදිරිපත් කිරීම ගැන සාකච්ජා  ජනතා විමුක්ති පෙරමුණේ  ද සහභාගිත්වයෙන්  ඉතාමත් රහසිගතව පැවති  අතර  එහි  සම්බන්ධීකරණය  සිදු වූයේ අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලය මගිනි. අදාළ සාකච්ඡා සඳහා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්  අනුර බණ්ඩාරනායක, ධර්මසිරි සේනානායක, සෝමසාර දසනායක, කර්නල්  අනුරුද්ධ රත්වත්තේ, ඉන්ද්‍රපාල අබේවීර,  හලීම් ඉෂාක්, ආරිය බුලේගොඩ,  යන පුද්ගලයන්ද මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් දිනේෂ්  ගුණවර්ධන ද, ශ්‍රී ලංකා ලිබරල් පක්ෂය වෙනුවෙන්  ආචාර්ය චානක අමරතුංග ද, සමස්ත ලංකා දෙමල කොංග්‍රසය වෙනුවෙන්  කුමාර් පොන්නම්බලම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන්  එම්.එච්. එම්. අශ්රොෆ් ද, එක්සත් ලංකා ජනතා පක්ෂය වෙනුවෙන්  රුක්මන් සේනානායක සහ  ගාමිණි විජේගුණසේකර ද, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය වෙනුවෙන් අබ්දුල් අසීස් ද, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙනුවෙන්  ගාමිණි මාලසිංහ සහ  චම්පික රණවක ද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන්  ඩී.එම් ආනන්ද, සෝමවංශ අමරසිංහ සහ ආනන්ද ඉඩමේගම ද  සහභාගි වූහ.

රාජ්‍ය මර්දනය

සිය මාසික වැටුප රුපියල් 2500 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ලංගම  සේවකයන් දියත් කෙරුණු වර්ජනය  ජයග්‍රාහිව  නිමා වුයේ 1989 වසරේ ජුලි 13 වැනිදා අලුත්කඩේ සුචරිත මන්දිරයේදී  ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයන් හා ජනාධිපති ප්‍රේමදාස සමග පැවති සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ සඳහා එක් වූ  ජනතා විමුක්ති පෙරමුණු නියෝජිත පිරිසට  ආනන්ද ඉඩමේගම , ඩී.එම්. ආනන්ද  සහ ගාමිණි ජයලත් ද විය.

''අපේ  සීයා  ඉස්කෝල  හෙඩ්  මාස්ටර්  කෙනෙක්. ඉතින්  ඒගොල්ලෝ  ඔක්කොම ඉගෙනගෙන  තියෙන්නේ  ඉංග්‍රීසියෙන්. අපේ තාත්තට වගේම  පවුලේ  හැමෝටම ඉංග්‍රීසි පුළුවන්.  අපේ ගෙවල් වල තිබුනේ වැඩිපුර ඉංග්‍රීසි සාහිත්‍ය පොත පත. මල්ලිගේ දේශපාලන දැනුම එක්කම ඉංග්‍රීසි හැකියාවත් නිසා  පක්ෂය විසින්  මේ  දේශපාලන සාකච්ජා වලට එයාව යවන්න  ඇති.  ඒ වගේම  ඒක  තවත් පැත්තකින් හෙළිදරව් වීමක්.  එක් වතාවක්  මල්ලිව  අත්අඩංගුවට පත් වෙලා තියෙනවා මේ සාකච්ජා වලින් පස්සේ  '' යි බන්දුල ඉඩමේගම පැවසීය.

1989 ජවිපෙ ශිෂ්‍ය අංශ නායකයෙකු මෙන්ම, අවසාන සංහාරයෙන් පසු 1990-1994 වකවානුවේ යළිත් ජවිපෙ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා කැපව ක්‍රියා කළ  ප්‍රමුඛයෙකු වූ මිල්රෝයි තිබ්බොටුවාව, ආනන්ද ඉඩමේගමගේ දේශපාලන සගයෙකි. ඉඩමේගම පිළිබඳ ඔහුගේ මතකය තවමත් සජීවී එකකි.

''ඉඩමේගම මගේ දේශපාලන ජීවිතයට දැඩි බලපෑමක් කරපු චරිතයක්. අදටත් මගේ දේශපාලන ජිවිතයට ශක්තියක් වෙලා තියෙන්නේ ඔහුගේ බලපෑම තමයි. ජනතා විමුක්ති පෙරමුණේ සිටි බොහෝ දෙනා අතරින් ඉඩමේගම ටිකක් වෙනස් චරිතයක්. දයා පතිරණ ඝාතනය සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේ විරෝධයක් මතු කළ දෙන්නාගෙන් එක් අයෙක්  ආනන්ද  ඉඩමේගම,  අනෙක්  කෙනා රන්ජිතම්  ගුණරත්නම්. ඒත් එදා පැවති තත්වය තුළ  මොවුන්ගේ මතය යටපත් වීම අනිවාර්යක්.

"මගේ මතකය හැටියට  එක් වතාවක්  ඉඩමේගම පෑලියගොඩ දී පොලිසිය මගින්  අත්අඩංගුවට ගන්නවා. ඒ  වෙලාවේ පක්ෂය විසින්  කොහොම හරි තිබුණු සම්බන්ධ කම් පාවිච්චි කරලා එයාව නිදහස් කරගත්තා. මේ වෙනකොට ප්‍රේමදාස බලයට පත්වෙලා අලුතම වගේ. පස්සේ ප්‍රේමදාස සමග යුද්දේ පටන් ගත්තම  ඉඩමේගොඩට  කොළඹ වැඩ කරන්න අමාරු වෙනවා. ඒ වෙනකොට එයාව හෙළිදරව් වෙලා. ඒ හින්දා එයාව මාතලේ පැත්තට මාරු කරනවා''

රජයේ හමුදා විසින් නිරතුරුව ආනන්ද ඉඩමේගමගේ දෙමව්පියන්ගේ බදුල්ලේ නිවසද සෝදිසියට ලක්  කෙරිණ.  ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ  සේවයේ නිරතව සිටි ඔහුගේ  වැඩිමහල් සොහොයූරු  බන්දුල ඉඩමේගම  නාඳුනන සනන්ද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලබන්නේද මේ අතරතුර ය.

''මගේ ඇස් රෙදිපටියකින් බැඳලා  තිබුනේ. මට දැනුන විදිහට මම හිටියේ හමුදා කඳවුරක් ඇතුලේ තිබුණ වධකාගාරයක. හමුදා බියුගල් නලා හඬ නිතර ඇහුණා. ජිවිතේ ගැන බලාපොරොත්තු අත් හැරලා තිබුනේ. උන්  මාව කායික මෙන්ම මානසිකව දරුණු වධ වේදනාවන්ට ලක් කළා. ඇත්තටම  දවසින් දවස  ජිවත්වීම  ගැන බලා පොරොත්තු නැතිවුණා. දවසක්  මාව වාහනේක දාගෙන කොහෙදෝ  අරන් යන්න පටන් ගත්තා. තවත් සිරකරුවෙක්  මාත් එක්ක අරන් යන බව  මට දැනුනා. මම හිතාගත්තා මරන්න තමයි යන්නේ කියලා. ටික දුරක් ගිහින් වාහනේ නතර කරලා අපිට කිව්වා පිටි පස්ස නොබලා  දුවපල්ලා කියලා. මට හිතුනේ දුවන්න  කියලා වෙඩි තියයි කියලා. ඇස්  බැඳලා තිබුණු රෙදි කෑල්ල ගළවා ගෙන ඉස්සරහට දිව්වා  ඒත්  මුකුත්  පේන්නේ  නැහැ.  කරුවල විතරයි. හමුදා වාහනේ යන්න ගියා. අනෙක් තරුණයා ශ්‍රීලාල්.   එයයි මමයි ටිකක් ඉස්සරහට යනකොට  රේල් පාර හමුවුනා. ඒකේ ටිකක් ඉස්සරහට යනකොට ඇල්ල ස්ටේෂම.  එතනින් මම  ඩිලාන්  පෙරේරාගේ  ගෙදරට කෝල් එකක් දුන්නා විස්තරේ කියල. මොකද මල්ලි මට කලින් කියල තිබුණා මොනා හරි ප්‍රශ්නයක් නම් ඩිලාන්ට කියන්න කියල. මම හිතන්නේ ඩිලාන් පෙරේරා,  මල්ලිගේ සමකාලීන කැම්පස් යාලුවෙක්. ''

වධකාගාරය තුල දී මානසික හා කායික වේදනාවන්ගෙන් පීඩාවට පත් බන්දුල  ඉන් පසු ගත කරනු ලැබුයේ ඉතාමත් නිහඬ ජීවිතයකි.  කිසිවෙකු සමග කතා බහක් නොකළ ඔහු කලක් ගත වන තුරුම  මේ මානසික කම්පනයෙන් පීඩා වින්දේය. පැහැර ගත්  බන්දුල ඉඩමේගමව මේ අයුරින්  නිදහස් කිරීමට හේතු වුයේ  ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ  රට පුරා පිහිටි ශාඛාවල සේවකයන් ගෙන ගිය වර්ජනය හේතුවෙනි.

''මාව නිදහස් කරගන්න අපේ වෘත්තීය සමිති සගයන් වුණු ජිනදාස කිතුලේගොඩ සහෝදරයා ගොඩක් වැඩ කරලා තිබුණා. ඒ වගේම අපේ බැංකුවේ සභාපතිත්  ජනාධිපති ප්‍රේමදාසගෙන් ඉල්ලා තිබුණා.''

'බස්නායක' මාතලේට පැමිණීම

මේ අතර මාතලේට පැමිණි  ආනන්ද ඉඩමේගම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අරඹන්නට විය. මාතලේදී ඔහුව හැඳින්වුණේ    "බස්නායක“ නමිනි. මාතලේදී ඉඩමේගම සමග සමීපව දේශපාලනයක නිරත වූ එවකට ශිෂ්‍ය ක්‍රියාකාරියෙකු වූ  , පසුකාලීනව ''හිරු '' පුවත්පතේ  සංස්කාරක කමිටු සාමාජිකයෙකු හා පසුව එහි කතුවරයා ලෙස ද ක්‍රියාකළ අජිත්  සී හේරත් ඉඩමේගම පිළිබඳ සිය  අතීතය  මතකය යළි  විවරණය කළේය.''මා අත් අඩංගුවට පත් වූ පසුව  මගේ ජීවිතය ආරක්ෂා කිරීමට වැඩ කළ බොහෝ අය අතර ඉඩමේගම සහෝදරයා විසින් සිදු කළ මැදිහත් වීම තීරණාත්මකයි. එයා  එයාගේ  සම්බන්ධකම්  පාවිච්චිකරලා  මාව මාතලේ තානායමේ පවත්වාගෙන  ගිය වධකාගාරයේ සිට බූස්සට යවන ලිස්ට් එකට කොහොම හරි ඇතුල් කරගෙන තියෙනවා. ඒ වෙනකොටත් මම දැඩි වධබන්ධන වලට ලක්වෙමිනුයි හිටියේ.“

“.. ඉඩමේගම සහෝදරයා දිස්ත්‍රික් ලේකම් ලෙස මාතලේට එන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ.ඒ වෙනකොට දිස්ත්‍රික් ලේකම් වරයා ලෙස හිටිය ජයන්ත නොහොත් රාජා මහත්තයා වෙනත් දිස්ත්‍රික්ක යකට යොමු කරලා මාතලේ හිටියේ වැඩ බලන ලේකම් වරයෙක්. ජනාධිපති වරණයෙන් පස්සේ බොහෝ දිස්ත්‍රික්ක වල මෙන්ම මාතලේත් පැවතියේ ද සංවිධානමය හා දේශපාලන වශයෙන් අර්බුදකාරිත්වයක්. මේ තත්වය ජය ගැනීම වෙනුවෙන් ඒ මොහොතේ මාතලේ ට අවශ්‍ය වූ ආකාරයේ නායකයෙක්.  ජනාධිපතිවරණයට පෙර පැවැති වකවානුවේ දිස්ත්‍රික්කය තුළ පක්ෂ සාමාජිකත්වය ප්‍රමාණාත්මකව ඉහළ ගියත් ඔවුන්ගේ ගුණාත්මක මට්ටම ඉහළ දැමීමට අවශ්‍ය අධ්‍යාපන වැඩපිළිවෙළක් ප්‍රමාණවත් ලෙස තිබුනේ නැහැ. දේශප්‍රේමී රැල්ල තුළ පක්ෂයට එක් වූ ඇතැම් සහෝදරවරුනට විප්ලවීය වැඩ පිළිවෙළක් පිළිබඳ අවබෝධයක් හෝ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. පැවැති ප්‍රචණ්ඩ වාතාවරණය තුළ ඒ හේතුවෙන් දැඩි හානියක් අත්විඳීමට පක්ෂයට සිදුවුණා. ඇතැම් තැන්වල දැඩි ලෙස පක්ෂ විනයට පටහැනි දේ සිදුවුණා.  විනය පරීක්ෂණ සිදුවන විට පක්ෂය අත්හැර ගොස් මංකොල්ලකෑම්වල නිරතවූ ඇතැමුන් හමුදාවට බාරවී ගෝනිබිල්ලන් ලෙස පක්ෂය පාවාදෙමින් දැඩි හානියක් කළා.“


“..ඉඩමේගම දිනකීපයක් තුළ දිස්ත්‍රික්කය මුහුණ පා සිටි  සංවිධානමය සහ දේශපාලනමය ගැටළු මනාව වටහාගත්තා. ඔහු සාමාන්‍ය ක්‍රියාධරයන් සහ පක්ෂයේ හිතවතුන් අතර කටයුතු කළේ සරල සහ ස්වාභාවික නායකත්වයක් සපයමිනුයි. පක්‍ෂයේ බහුජන මට්ටමට පවා මැදිහත් වෙමින් පැවැති ගැටළු කෙටි කලකින්  නිරාකරණය කිරීමට කටයුතු කළා. ඔහු සියල්ලන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත්වුණා. පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් ගැන  විවේචන ඉදිරිපත්කිරීමට ඒ දක්වා පසුබට වුණ පක්ෂයේ බහුජන සංවිධාන නියෝජිතයන් සහ හිතවතුන් ද   මේ හේතුවෙන් පෙරට පැමිණියා. එමෙන්ම පහල ශ්‍රේණීන් විසින් ඉහල ශ්‍රේණීන් වෙත  විවේචන එල්ලකිරීමට අවශ්‍ය දේශපාලනමය සහ සංවිධානමය ප්‍රතිසංස්කරණ ඔහු පක්ෂය තුළ සිදු කළා. ස්වයං විවේචන සහ විවේචන ක්‍රියාවලියේ පැවැති ව්‍යාජ සහ නොගැඹූරු බව  විසින් එම ක්‍රියාවලිය විසින් අපේක්ෂිත ප්‍රතිඵල ලබානොදෙන බවට නිරීක්ෂණය කළ ඉඩමේගම එයට හේතුවක්  ලෙස දුටුවේ සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉල්ලා සිටින දැනුම සහ අත්දැකීම්  බොහෝ පක්‍ෂ සාමාජිකයන්ට නොමැති වීම බවයි.  පක්ෂ සාමාජිකයාට   ස්වකීය  සමස්ත දේශපාලනික හෝ සදාචාරාත්මක පැවැත්ම මෙන්ම  තමන්ගේ දෛනික සමාජීය හෝ දේ‍ශපාලනික ක්‍රියාකාරිත්වය ද, පක්ෂයේ වැඩපිළිවෙළ ප්‍රතිපත්තීන් සහ උපායමාර්ග ද සමාජවාදී විප්ලවයේ අරමුණුවලට සාපේක්ෂව ඇගයීමට අවශ්‍ය කරන දැනුම සහ දේශපාලන ශික්ෂණය  පක්ෂ අධ්‍යාපන වැඩපිළිවෙළ තුලින් ලබා දී ස්වයං විවේචන සහ විවේචන ක්‍රියාවලිය ගුණාත්මක වශයෙන් සංවර්ධනය කළයුතු බවට ඔහු විශ්වාස කළා. ඒ සඳහා ඔහු ඉතා කෙටිකලක් තුළ පක්ෂයේ සියළු ක්‍රියාධරයන්ට සහභාගිවිය හැකි අධ්‍යාපන වැඩපිළිවෙළවල් සකස් කළා.  වෘත්තීය විප්ලවවාදියෙකු සතු විය යුතු ගුණාංග මොනවාදැයි සාමාජිකත්වය දැනුවත් කිරීමට දියත් වූ අධ්‍යාපන කව සාකච්ඡාව සැලසුම් වූයේ  හුදු වියුක්ත න්‍යායාත්මක සංවාදයක් ලෙස නොවේ. පක්ෂ සාමාජිකයන් තම දේශපාලන ක්‍රියාකාරිත්වයේදී  ජනතාව සහ පක්ෂය සමග ලබන එක් එක් අත්දැකීම් විශ්ලේෂණය කරමින් සංවර්ධනය කළ සංවාදයක්.

“ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය වෙනුවෙන් ඔහු පෙනී සිටියත් ඒ සම්බන්ධව මතු වූ ගැටළු සාකච්ඡා කිරීමට ඔහු බාධා කළේ නැහැ. ඒ වෙනුවට ඔහු ඒ සංවාදයන් දිරිගැන්වූවා. ජාතික ප්‍රශ්නය සම්බන්ධව ස්ටාලින්ගේ ප්‍රතිපත්තීන් ලෙනින් විසින් විවේචනය කළ ලියැවිලි උපුටා දක්වමින් ලෙනින්ගේ මරණයෙන් පසුව ස්ටාලින් එම ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙන ගියා දැයි එක් අවස්ථාවක ශිෂ්‍ය අංශයෙන් ප්‍රශ්නයක් මතුවුණා. මෙම ප්‍රශ්නය මතු කිරීමට හේතු වුණේ 1989 පළමු කාර්තුව වනවිට සෝවියට් සංගමය තුළ නගර්නෝ කර්බාක් ප්‍රදේශයේ හටගත් ගැටුම්කාරි තත්ත්වයයි. පක්ෂය ලංකාවේ ජාතික ප්‍රශ්නය සාර්ථකව විසඳා ලූ රාජ්‍යයක් ලෙස  සෝවියට් ආදර්ශය පක්ෂය විසින්  ඉදිරිපත් කිරීම නිසා නගර්නෝ කර්බාක් ගැටුම් අපගේ අවධානයට ලක්වුණා. මේ ගැන ඉඩමේගම සමග ඉඩ ලද අවස්ථාවල අප සාකච්ඡා කළා. සෝවියට් සංගමයේ ඒ වනවිට සිදුවෙමින් පැවැති පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් ක්‍රියාවලිය ගැන ද  අධ්‍යයනය කිරීමට කව සාකච්ඡාවලදී ඔහු අපව දිරිගැන්වුවා. එමෙන්ම නගර්නෝ කර්බාක් අර්බුදය  සහ පෙරෙස්ත්‍රොයිකාව ගැන තොරතුරු රැස්කිරීම සහ  අධ්‍යයනය කිරීම ඔහු වගකීමක් ලෙස ශිෂ්‍ය අංශය වෙත පැවැරුවා.“

ගජබා රෙජිමේන්තුව මාතලේට

පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරිකයන්ගේ සීමාන්තික ක්‍රියාවන් නැවැත්වීමට ඇතැම් අවස්ථාවල දී ඉඩමේගමට පුද්ගලිකවම මැදිහත් වීමට සිදු විය. ඔහු වරෙක මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ක්‍රියාකාරිකයන් හමුවකට  බසයකින් ගමන් කරමින් සිටින විට ඔහුට බැරලයකට තට්ටුකරමින් අපි ආයේ කසිප්පු පෙරන්නේ නැතැයි පවසමින් හඩ නගා පවසමින් සිටි මවක සහ දියණියක දක්නට ලැබිණි. දියණිය පාසල් ශිෂ්‍යාවකි. ඔවුන් අසළ කසිප්පු පෙරීම ගැන දේශප්‍රෙමී ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින පෝස්ටරයක් විය. මේ දසුන ඉඩමේගම දැඩි කෝපයට පත් කිරීමට හේතු විය. යමින් සිටි ගමන පසෙක ලා බසයෙන් බැසගත් ඔහු මව සහ දියණිය වෙත ගොස් එම  එම ක්‍රියාව නවතා නිවසට යන ලෙසත් එය අනවශ්‍ය දෙයක් බවටත් පවසා සිටියේය. නමුත් තමන්ට එම නියෝගය දුන් පුද්ගලයන් ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරිකයන් බවත්  තමන් එය නොපිළිපැද්දොත් තමන්ව සහ පවුලේ සාමාජිකයන් මරා දැමීමට ඉඩ ඇති බවත් මව පවසා සිටියාය. මේ අවස්ථාවේදී  ඉඩමේගමට තමන් කවුද යන්න  මව සහ දියණිය වෙත පැවසීමට සිදු වූ අතර  පක්ෂය වෙනුවෙන් ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටි ඔහු, ඔවුන්ට කිසිදු අනතුරක් සිදු නොවන ඇති බවට සහතික වී ආපසු නිවසට යන ලෙස පවසා සිටියේය. පසුව  මෙම ක්‍රියාවට වගකිව යුතු පක්ෂ ක්‍රියාධරයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනුණ අතර  ජනතාවට දඩුවම් පැමිණවීමට විප්ලවීය ව්‍යාපාරයකට අයිතියක් නැති බව ඔහු පෙන්වා දුන් බව අජිත් හේරත් සිහිපත් කළේය.

1989 අවසන් භාගය වන විට  දැඩි  මර්ධනකාරිත්වයක්   දියත් කරන්නට   ප්‍රේමදාස - රන්ජන් විජේරත්න  ආණ්ඩුව කටයුතු කරමින් සිටියේ ය.  ඒ එවකට හමුදාපති හැමිල්ටන් වනසිංහ ගේ   මෙහෙයවීමෙනි. මහනුවර ප්‍රදේශය බාරව රාජ්‍ය මර්දනය දියත් කරනු ලැබූ  ප්‍රධානියා  නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වූ  ප්‍රේමදාස උඩුගම්පොල වූ  අතර  මාතලේදී  එම කාර්ය  පැවරුණේ   එවකට   දකුණේ  මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ උනන්දුවක් දැක් වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ  සොහොයුරා වූ එවකට කර්නල් ගෝඨාභය රාජපක්ෂට ය. ඔහු නියෝජනය කරනු ලැබූ  ගජබා රෙජිමේන්තුවේ පළමුවෙනි බැටෑලියනය  මාතලේ  වාඩිලා ගැනීමත් සමගම  මරා දැමීම් , අතුරුදහන් කිරීම් , සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලන් අත්අඩංගුවට ගැනීම් ඉහල යන්නට විය.  

මාතලේ නානායක්කාර උද්‍යාන තානායම, විජය විද්‍යාලය, කච්චේරිය අසල තානායම, නාඋල වී ගබඩාව , පෝසිලෙන් කර්මාන්ත ශාලාව , හමුදාවට  පවරා ගැනුණු  අතර  පසුව ඒවා වධකාගාර බවට පත් විය. ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන්  මෙම ස්ථාන වලට අමතරව කූඹියන්ගොඩ පන්සලේ  ධර්ම ශාලාව ද  අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට  දස වධ බන්ධනයන්ට ලක් කරන වධකාගාරයක් බවට පත්විය.  එවකට  එක්සත්  ජාතික පක්ෂ ආණ්ඩුවේ  ඇමති වරුන් වූ  ඇලික් අලුවිහාරේ, පි.බි. කවිරත්න  මෙන්ම ඔවුන්ගේ  පුත්‍රයන් වූ පළාත් සහා මන්ත්‍රීන් වූ   වසන්ත අලුවිහාරේ , සංජීව කවිරත්න  රාජ්‍ය ත්‍රස්තවාදය  ප්‍රදේශය තුල දියත් කිරීමට ගෝඨාභයට  නිරන්තර සහයෝගය ලබා දුනි.

2009 දෙමල ජන සහාරයට අදාලව යුධ අපරාධ චෝදනා එල්ලවී ඇති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ජගත් ඩයස් , ශවේන්ද්‍ර සිල්වා . සුමේධ  පෙරේරා ඇතුළු  හමුදා නිලධාරින්  1989 දී දකුණේ ජන සංහාරයට මාතලේදී  දායක වුවන් ය.  මාතලේ  දිස්ත්‍රිකය තුළ  '' කොළ කොටි '' නම් ඝාතන කල්ලි  ක්‍රියාත්මක වුයේද  ගෝඨාභය  රාජපක්ෂ  සම්බන්ධීකරණය සාමය තුළ ය. ඔවුන්ගේ එක් ගොදුරක් වුයේ   එවකට විපක්‍ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකගේ  ඥාති සොහොයුරෙකු වූ  එවකට   ශ්‍රීලංකා   නිදහස්  පක්ෂයේ   රත්තොට   ආසන  සංවිධායක වරයා ලෙස කටයුතු   කල    බර්ට්‍රම්   වෑගොඩපොල  ය .  මොහු ඉඩමේගමගේ හිතවතෙකු වූ  අතර  ජනාධිපතිවරණ  පොදු අපේක්ෂකයා  පිළිබඳ  පක්ෂ අටේ   සාකච්ඡා  පැවති කාලයේදී   ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ  ඩෙන්සිල්  කොබ්බෑකඩුව  හරහා  ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කරන අයුරු ගැන  අනුරුද්ධ රත්වත්තේ හා  සුනේත්‍රා බණ්ඩාරනායක  ඇතුළු පවුලේ ඥාතීන්  කරන ලද  කතා බහ පිළබඳව  ඔහුට හෙළිදරව් කර තිබිණි.

ඉඩමේගම ඝාතනය

පසු ගිය කාලයේදී  ඉදිකිරීම් කටයුත්තක් සඳහා කැනීම් කරද්දී හමුවූ සමුහ මිනී වළ  89 ජන සංහාරයේ  ප්‍රබලතම  සාක්ෂියක් වුව ද, ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙනුයේ ඉතාමත් ඇල්මරුනු  ස්වරූපයෙනි. '' මාතලේ  සමූහ මිනී වළ ගැන මගෙන්  මගෙන් දිවුරුම් පෙත්සමක් ඉල්ලා ගත්ත.  පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ  පුබුදු ජයගොඩට  සහ  මානව හිමිකම්  සුරකීමේ ශිෂ්‍ය සංවිධානයේ  ලේකම්  නුවන් බෝපගේ ට, ඊට පස්සේ  ජනතා විමුක්ති පෙරමුණටත්  (ජිනදාස කිතුලේගොඩ හරහා)  තවත්  දිවුරුම් පෙත්සමක් දුන්නා.  ඒත්  ඒ  ගැන  මේ පක්ෂ  දෙකම  කිසිම දෙයක් කරලා තියෙනවා   කියල නම්  දැනගන්න  නැහැ"  බන්දුල ඉඩමේගම පවසනුයේ  ඉතාමත්  කලකිරීමෙන් යුතුව ය.

රෝහණ විජේවීර හා උපතිස්ස ගමනායක  ඇතුළු  ඉහළ  පෙලේ  නායකයන්  රැසක්  අත් අඩංගුවට ගෙන මරා දැමීමෙන් අනතුරුව  1989 නොවැම්බර් 28 වැනිදා  සමන් පියසිරි ප්‍රනාන්දු ගේ නායකත්වයෙන්  කුරුවිට පැවති සාකච්ජාවෙදී  ආනන්ද ඉඩමේගම දේශපාලන මණ්ඩලයට පත් කෙරිණි. මාතලේ   දිස්ත්‍රිකය ඇතුළු  කලාපය තුළ තරුණ ශිෂ්‍ය හා කාන්තා සංවිධාන ශක්තිමත් කරමින්  අරගලය පෙරට ගෙන යාමට ඔහුට පැවරිණි.  ඒ  තීරණයන් පිළිබඳව අදහස් දැක්වූ  මිල්රෝයි තිබ්බොට්වාව  කියා සිටින්නේ  සෝමවංශ අමරසිංහ හැර අන් සියලුදෙනාම  සිටියේ  මර්දනයට මුහුණ දෙනු  හැර ඉන් මගහැර යා නොහැකි බව ය.

''අවසන් කාලය වන විට මත දෙකක් තිබුණා. එකක්  සෝමවංශ අමරසිංහ විසින්  දරන ලද  පසුබැසීමේ  හා අත්හැර  දැමීමේ  මතයයි. එහෙත් අන් සියලු දෙනාම දරුයේ  අරගලය එසේ අතහැර  දැමිය නොහැකි බවයි. මර්දනයට මුහුණ දීම සඳහා ඊට ප්‍රතිචාර දැක්විය යුතු බව දෙවෙනි පිරිස කල්පනා කළා. සෝමවංශ තමන්ගේ මතය ක්‍රියාත්මක කළ අතර සෙසු සියලු දෙනාම මුළු වෙර යොදා උත්සාහ  කළේ පැවති තත්ත්වය  ආපසු හරවා ගන්නයි. නමුත් ඒ උත්සාහය අසාර්ථක වුණා. ඊට පස්සේ සෝමවංශට කියන්න පුළුවන් මේ තත්ත්වය කලින්ම  එයා දැක්කා  කියලා.''

බන්ධුල ඉඩමේගමට ලැබී ඇති තොරතුරු අනුව 1989 දෙසැම්බර් 23 වැනිදා දඹුල්ල කුරුණෑගල හන්දියේදී  ආනන්ද ඉඩමේගම  අත් අඩංගුවට පත් ව ඇති බවට තොරතුරු  තිබේ. ඔහු අත් අඩංගුවට  ඇත්තේ   වයඹ පළාත්  සහකාර පොලිස් අධිකාරි එඩිසන් ගුණතිලක විසිනි. ඒ පිළිබඳ සැළවන විට අජිත් සී හේරත් සිටියේ බූස්සේ රැඳවුම් කඳවුරේ ය.

"රාජ්‍ය මර්දන යන්ත්‍රය වියරුවෙන් මෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැඹුරටම කඩාවදිමින්  පක්ෂ නායකත්වය ඝාතනය කරන   අයුරු පිළිබද පුවත් අපට දිනපතා දැනගන්නට ලැබුණා. ලලිත් විජේරත්න (අරවින්ද), උපාලි ජයවීර (මානෙල්) සහ ආනන්ද ඉඩමේගම (බස්නායක)  සහ රංජිදම් (අර්ජුන)  වැනි අය  අත් අඩංගුවට පත්වූ බව දැනගන්නට ලැබුණ විට 89 අරගලය තීරණාත්මක ලෙස පරාජයට පත්වී ඇති බව අප බොහෝ දෙනෙකුට වැටහුණා.  ඉඩමේගම, රන්ජිදම් ගුණරත්නම් හා  ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කපිල යන අය  මාතලේ  බොහෝ තැන වලට රැගෙන ගොස්  තිබුණා. එඩිසන් ගුණතිලක විසින්  එඩිසන් එක්ක  මේ තැන් වලට  ඇවිත් තිබුනේ  කලින් මාතලේ වැඩ කරපු රාජා මහත්තයා  ඒ වෙනකොට  ඔහු රජයේ හමුදා අත් අඩංගුවට  පත් වෙලා.

"ඉඩමේගමට , රන්ජිදම්ට  වගේම  කපිලට  හොඳටම  ගහලා ලේ ගලමින්  ඉඳලා තියෙන්නේ. පක්ෂයේ හිතවතෙකු පැහැරගෙන  මෙම වෑන්රියටම ඇතුළ් කර තියෙනවා. ඔහු ඉඩමේගම, අර්ජුන සහ කපිලව හොදින් දන්නා කෙනෙක්. හිස ඔසවා බැලු ඉඩමේගමට මේ පුද්ගලයා දක්නට ලැබී තිබෙනවා. තමාව හඳුනාගත් ඉඩමේගම සිය දෑස් විවර කර නැවත තදින් වසාගෙන හිස පහතට යොමුකරගත් බවත් මෙමගින් ඉඩමේගම විසින් තමන් කිසිවක් නොපැවසූ බවට සංඥාවක් තමන්ට දුන් බවත් මෙම පක්ෂ හිතවතා පසුකලෙක පැවසුවා. පසුව  මාතලේ වධකාගාර වලත්  ඉඩමේගම  රඳවා ගෙන හිටි බවට  ආරංචි වුණා''  අජිත් කියයි.

මෙසේ  පැමිණි බොහෝ තැන් වලින්  රුපියල් ලක්ෂ ගණනක කප්පම් ලබා ගැනීමට සහකාර පොලිස් අධ්කාරී එඩිසන් ගුණතිලක  කටයුතු කර ඇත්තේ  අත්අඩංගුවට ගැනීමේ හෝ මරා දැමීමට තර්ජනය කරමිනි.

පොලිස් අත්අඩංගුවේ පසුවූ  ඉඩමේගම  කුරුණෑගල වැහැර  විජයබා හමුදා කඳවුරට භාර දී  ඇත.  වැහැර  හමුදා කඳවුර පාලනය වුයේ   උතුරේත්  දකුණේත්  මානව හිමිකම් කඩ කිරීම්  සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තවත් ප්‍රකට හමුදා නිලධාරියෙකු වූ ජානක පෙරේරා යටතේය. ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයට  සම්බන්ධ වී  දේශපාලනයට අවතීර්ණ විය.  එවකට ලුතිනන්  අසේල දහනායක  භාරයේ  රඳවාගෙන සිටි  ආනන්ද ඉඩමේගම  දස වධ බන්ධනයන්ට ලක්ව 1990 ජනවාරියේදී  ඝාතනය  කර ඇත.

''බදුල්ලේ දීත් , මාතලේදීත්  අපි පොඩි කාලේ ඉඳල හැදුනේ වැදුනේ වතු කම්කරු දෙමල මිනිස්සු එක්ක. ඒ වගේම මුස්ලිම් මිනිස්සු එක්ක.  අපේ පවුල් වල අයට දෙමළ කතා කරන්නත් පුළුවන් කම තිබුණා, මාතලේ සර්නියා වතුයාය අපේ ගෙවල් අද්දර තිබුනේ. පොඩි කාලේ අපි වත්තේ ළමයි එක්ක ''රදම් ''  නටනවා. මම කොහොමවත් හිතන්නේ නැහැ  අපේ මල්ලි ජාතිවාදයෙක්  කියලා. ජේ.ආර්. ගේ පාලනය කැම්පස් එක තුළ ගෙන ගිය දරදඬු  පාලනය වගේම පන්ති තහනම, පක්ෂ තහනම, පොලිසියෙන් සෙවීම  වගේ  දේවල් හින්දා එයා ජනතා විමුක්ති පෙරමුණේ   දේශපාලනයට  තල්ලු වෙන්න ඇති, ඒ හින්දම එයාට ඒ මතවාදය තුල රැඳී සිටීමට  සිද්ධ වුණා කියන එකයි මගේ හැඟීම. ආපසු හැරෙන්න අවස්ථාවක් එයාට තිබුණේ නැහැ, මර්දනයට මුහුණ දීලා තියෙන ඒ වකවානුව තුළ එහෙම වුණානම් එයාත් ද්‍රෝහියෙක් වෙනවා. පස්සේ කාලෙක  මට හම්බ වුණා  කුමාර් පොන්නම්බලම් මහත්තයාව  එයා අපේ  මල්ලි ගැන  හොඳ පැහැදීමෙන් කතා කලේ . එයා  මට කීව  අපේ මල්ලිට වගේම  චම්පික රණවකටත්  එයාගේ ගෙදර රැකවරණය දුන්නා කියලා.'' 

සිය සොහොයුරා ගේ   දේශපාලනය   කෙරෙහි  සානුකම්පිතව ආවර්ජනය කර බන්දුල ඉඩමේගම  විසි හත් වසරක්  ඉක්ම ගියද  සිය සොහොයුරාට සිදු වුයේ කුමක් ද  යන්න   අදටත්  සොයමින් සිටිනුයේ  ආනන්ද නියෝජනය කළ  දේශපාලන පක්ෂය ද , ඔහුගේ අනුප්‍රාප්තික දේශපාලන සගයන් මෙන්ම අද  ඉහල තැන්වල සිටින  ආනන්දගේ  සරසවි මිතුරන් ද  ඔහු පිළිබඳ මතකය අත් හැර දැමූ වටපිටාවක සිට ය.

"අපේ  පවුල් වල  හැම කෙනාම  කියන්නේ මල්ලි හින්දා  ඒගොල්ලන්ගේ  ජීවිත රැකුණා,  එත්   මල්ලි අපිට  නැති වුණා  කියලා.  අපේ  අම්මා  එච්. එම්. පුංචි කුමාරිහාමි,  එයා තවමත් බලාගෙන ඉන්නවා මල්ලිට මොකද වුණේ කියල හරියටම දැන ගන්න.  අපිට  කාගෙන් වත් පලිගන්න  ඕනේ නැහැ.නමුත්, අපේ මල්ලිට මොකද කලේ,  මැරුවා නම් එයාව  වළ දැම්මේ  කොහේද  කියලා   අපිට කියන්න. අපිට  ඕනේ  අපේ පවුලේ චාරිත්‍ර අනුව   ඉතාමත්  ඉහලින් අවසන්   ගෞරවයක්  දක්වන්න''  බන්දුල  ඉඩමේගම ඉල්ලා සිටිනුයේ  විසි හත් වසක් ඇවෑමෙන් පවා යටපත් නොවූ සහෝදර ප්‍රේමයෙනි.☐ 

අානන්ද ඉඩමේගමගේ සිතුවම: අජිත් සී හේරත්

අතුල විතානගේ


© JDS