වාම ප්‍රත‍්‍යාවලෝකන: වෙල්ලස්සේ ගොවි අරගලයේ නැගීම - V කොටස

පළමු කොටස: 'ඉක්බිති දෙසැම්බරයේදී අපි ජනතා සංගමය ආරම්භ කළෙමු'
දෙවන කොටස: පාර්සන්ස් පාර සිංහල දෙමළ සටන් පාඨවලින් ඇළලී ගියේය’
තෙවන කොටස: නිව්ටන් ගුණසිංහගෙන් පංති විශ්ලේෂණයක්
සිව් වන කොටස: ගල්නෑවේ ගොවි සටන

ක් දහස් නවසිය අසූව දශකයේ ශ‍්‍රී ලංකාවේ මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් මතුවූ වෙල්ලස්සේ ගොවි අරගලය’  උක් වගාව සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි බහු ජාතික සමාගම්වලට එරෙහිව පැන නැඟුණු මහජන අවධානය මහත් සේ දිනාගත් අරගලයකි. එවකට මොණරාගල දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයා වූ ආර් එම් පුංචිබණ්ඩා මහතා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින්, තැනෙක කියා සිටියේ ‘මොණරාගලට පැමිණි මෙම උක් වවන බහුජාතික සමාගම් ඉඹලා පිළිගත යුතු’ බව ය.  ජයවර්ධන ආණ්ඩුවේ අධිරාජ්‍ය ගැති පිළිවෙත හඳුන්වනු පිණිස මාධ්‍ය ඔස්සේ ප්‍ර‍චලිත වූ ‘ඉඹලා පිළිගැනීමේ සංකල්පය’ යන උත්ප්‍රාසාත්මක යෙදුමට පිටුබල දුන්නේ ඔහුගේ ප්‍ර‍කාශයයි.

1984 මැද භාගය වන විට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මය සංවර්ධනය කිරීම සඳහා බහුජාතික කෘෂි කාර්මික සමාගම්වලට ආරාධනා කිරීමට තීන්දු කර තිබුණි. මොණරාගල, වව්නියාව හා මන්නාරම යන දිස්ත‍්‍රික්ක තුන කෘෂි කාර්මික ආයෝජන කලාපයක් සඳහා විවෘත දිස්ත‍්‍රික්ක ලෙස ප‍්‍රකාශයට පත් කර තිබුණි. සැලස්මානුකූලව වගා නොකරන ලද විශාල ඉඩම් ප‍්‍රමාණයක් මේ දිස්ත‍්‍රික්කවල දක්නට ලැබුණු නිසා මෙවැනි ආරාධනාවක් මගින් විදේශ කෘෂිකාර්මික බහු ජාතික සමාගම් ගෙන්වා ගැනීමට, එවකට කෘෂි කාර්මික ඇමැති ගාමිණී දිසානායක ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂ රජය තීන්දු කර තිබුණද මොණරාගල දිස්ත‍්‍රික්කය සාම්ප‍්‍රදායයික හේන් ගොවිතැනින් හා පැරණි උක් වගාවෙන් මනා සශ්‍රීක බවක් පෙන්නුම් කර තිබුණි. 1970 සමගි පෙරමුණු රජය යටතේ සීනි, මිරිස්, ළූනු ආදිය පිටරටින් ගෙන්වීම සීමා කිරීමත් සමග මොණරාගල ගොවීහු සාම්ප‍්‍රදායයික උක් වගාව හා පැරණි උක්මෝල් මගින් රන්කැට, උක්පැණි නිපදවා විශාල ආදායමක් උපයා ගත්හ. මීට අමතරව කෙසෙල්, දෙහි, බඩ ඉරිඟු යනාදිය ද විශාල ප‍්‍රමාණයක් මොණරාගලින් කොළඹට එවනු ලැබිණ. තෙල් සහ මේද සංයුක්ත මණ්ඩලය මගින් නිපද වූ සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු විශාල වශයෙන් ලැබුණේ මොණරාගල දිස්ත‍්‍රික්කයෙනි.

කෘෂි කම්කරුවන්

මේ සියල්ල සාම්ප‍්‍රදායයික නොදියුණු හේන් ගොවිතැන් ලෙස බැහැර කර දියුණු මහා පරිමාණ ඒකීය බෝගයක් ලෙස උක් වගාවට (මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඒ සඳහා සුදුසු දේශගුණයක් තිබීමේ පදනම යටතේ) මොණරාගලට ආරාධනා කිරීමට එජාප පක්‍ෂ රජය තීන්දු කර තිබුණි. මේ අනුව මෙම ‘මෙටා ඉන්ටර්නැෂනල් සමාගම’ මොණරාගල සීනි සමාගම ලෙස සියඹලාණ්ඩුව ප‍්‍රදේශයටත්, බුකර් ඇග්රිකල්චර් (වත්මනෙහි Booker Tate PLC නමින් ක්‍රියාත්මක වන) ජාත්‍යන්තර සමාගම, පැල්වත්ත සීනි සමාගම ලෙස පැල්වත්ත ප‍්‍රදේශයටත්, HVA නම් වූ ඕලන්ද සමාගම බුත්තල ප‍්‍රදේශයටත් ඒමට තීන්දු කර තිබුණි. ඒ අනුව බුකර්ස් ඇග්රිකල්චර් සමාගම විසින් පැල්වත්ත ප‍්‍රදේශයේත්, මේටා ඉන්ටර් නැෂනල් සමාගම විසින් සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේත් ඉඩම් පවරාගැනීමේ වැඩ  කටයුතු ආරම්භ කර තිබුණි.

අරගලය පැන නැංගේ සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ උක් තවාන් සඳහා ඉඩම් මැනීම ආරම්භ කිරීමත් සමග ය. සියඹලාණ්ඩුව කොටසේ පදිංචිව සිටි වාමාංශික නායකයෙකු වූ ආනන්ද වීරකෝන් ප‍්‍රමුඛ වාමාංශික ක‍්‍රියාධරයන් කීපදෙනෙක් නිළධාරීන් වෙතින් සමාගමේ උක් වැවීමේ සැලැස්ම පිළිබඳ සිතියමක් ලබාගෙන තිබුණි. අක්කර දහස් ගණනක ගොවි ඉඩම් සමාගම වෙත පවරා ගැනීමට නියමිතව තිබු බව අනුවාරණය වූයේ ඒ අනුව ය. එහි කේන්ද්‍රයේ න්‍යෂ්ටික උක්වගාව සමාගම විසින්ම කෘෂි කම්කරුවන් යොදවා කිරීමට සැලසුම් කර තිබූ අතර, ඒ යටතේ අක්කර 2 1/2 ක් පමණ වූ සමාගමට හිමි ඉඩම් කැබලි ගොවීන්ට බෙදා දී  ඔවුන් ලවා උක් වගාකරවීමේ සැලැස්මක් පිළියෙල කර තිබුණි. ඊටත් පිටින් බාහිර උක්වගාකරුවන් ලෙස ගොවීන්ට අයිති ඉඩම්වල උක් වගාකරවීමට සැලසුම් කොට තිබුණි. අක්කර 2 1/2 බැගින් ගොවීන්ට බෙදා දී උක්වගා කරවීමට සැලසුම් කර තිබුණේ කොන්ත‍්‍රාත් ක‍්‍රමයටය (contract farming). ඒ යටතේ, සමාගම මගින් උක්පැල සැපයීම, පොහොර ලබාදීම, උපදෙස් ලබාදීම කරනු ලබන අතර, ඒ සඳහා සමාගමට වැය වන මුදල ගොවීන්ගෙන් අය කර ගෙන, උක් පලදාව සමාගමට මිලදී ගනු ලැබෙන අතර ඉතිරි වන මුදල ගොවියාට ලබාදෙනු ලැබේ. මෙම ක‍්‍රමය හේතුවෙන් ගොවීන්ට ඉතිරි වනුයේ සොච්චම් මුදලකි. සමහර විට ගොවියාට කිසිදු ආදායමක් ඉතිරි නොවීමටද මේ යටතේ ඉඩ තිබුණි. ඊට හේතුව, කම්කරුවන් යොදවා සමාගම විසින්ම උක්වගා කරවීමේදී (තේ වතුවල මෙන්) ලෙඩ රෝග බෝවීම වැනි හානි නිසා සිදුවන පාඩු සමාගමට දැරීමට සිදුවන අතර, කොන්ත‍්‍රාත් ක‍්‍රමයේ දී එම පාඩු ගොවියා විසින් දැරිය යුතුවන නිසා සමාගමට පාඩු සිදු නොවීමයි.

මෙටා ඉන්ටර්නැෂනල් සමාගමේ මෙකී අසාධාරණ වගා ක‍්‍රමය නිසා ගොවීන් පත්වීමට නියමිතව තිබුණේ පැරණි හේන් ගොවිතැන් ක‍්‍රමයට වඩා අන්ත දිළිඳු තත්ත්වයකට ය. මෙම සැලැස්ම වටහා ගත් ආනන්ද වීරකෝන් ප‍්‍රමුඛ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ක‍්‍රියාකාරීහු මෙම වගා ක‍්‍රමය සඳහා ඉඩම් උදුරා ගැනීමට විරුද්ධ වීමට තීරණය කරන ලදී.

උද්ඝෝෂණය ඇරඹේ

මේ තත්ත්වය හමුවේ පළමුව සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ ගම් මට්ටමේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට සැලසුම් කරන ලදී. මෙම රැස්වීම්වලදී ආනන්ද වීරකෝන් ඇතුළු සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ක‍්‍රියාකාරීන් විසින් සිදු වන්නට යන විපත ජනතාවට පැහැදිලි කරනු ලැබූ අතර, ඒ සෑම ගමකම ගොවි සමීක්‍ෂණයක් ද කරනු ලැබීය. ගම්වල පැරණි වගා ක‍්‍රමය යටතේ ගොවීහු දෙහි, බඩඉරිඟු, කෙසෙල්, උක්දඬු ආදිය මගින් ලබාගන්නා ආදායම සංසන්දනාත්මකව ගණන් බලනු ලැබිණ. මේ අනුව මෙම යෝජිත උක්වගාවේ කොන්ත‍්‍රාත් ක‍්‍රමය යටතේ ගොවීන්ට ලැබෙන්නේ ඉතා සුළු ආදායමක් බවත්, ඒ සඳහා මෙතෙක් තිබූ වගා ක‍්‍රමය විනාශ කර, බහු බෝග වගා ක‍්‍රමය (multi crop) වෙනුවට, ඒක බෝග වගා ක‍්‍රමයක් (mono crop) ලෙස උක් වගාව සඳහා සමාගමට ඉඩම් බාර නොදිය යුතු ය යන්නත් පැහැදිලි කරනු ලැබුණි. මේ වනවිටත් සමාගමේ නිළධාරීහු ඉඩම් මැනීමත්, මායිම් ලකුණු කිරීමත් අරඹා තිබුණාහ.

නමුත් කූඤ්ඤ හිටවනු ලැබූ මායිම් කණු ප‍්‍රදේශයේ කුපිත වූ ගොවීන් විසින් ගලවා දමනු ලැබීය. ගොවීන්ගේ විරෝධතාවය සමාගමට දැන ගන්නට ලැබුණේ මේ තත්ත්වය මත ය. ප්‍ර‍තිචාර වශයෙන් සමාගම විසින් පත‍්‍රිකාවක් මුද්‍රණය කර ප‍්‍රදේශයේ බෙදා හරින ලදී. එහි පැහැදිලි කර තිබුණේ සමාගම පැමිණීම නිසා ප‍්‍රදේශයේ ගොවීන්ට සැළසෙන වාසි අප්‍ර‍ාණ වනු ඇති බව ය. උක් වගාවෙන් විශාල ආදායමක් ගොවීන්ට ලැබෙන බවත්, ප‍්‍රදේශයේ මං මාවත් අළුතෙන් ඉදිවන බවත් යනාදී වශයෙන් විශාල මුසාවන් ප‍්‍රමාණයක් මේ මගින් ප්‍රචාරය කිරීම අරමුණු කොට තිබුණි.

ආනන්ද වීරකෝන් ප‍්‍රදේශයේ සමූපකාරයේ සභාපති නිසා සෑම වගා කන්නයකදීම සමූපකාරයට හා ග‍්‍රාමීය වෙළෙඳ පොලවල්වලට එකතු වන දෙහි, කෙසෙල්, බඩ ඉරිඟු ආදී වගාවන් පිළිබඳ සංඛ්‍යා ලේඛන ඔහු සතුව තිබිණ. ප‍්‍රදේශයේ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ශාඛාව ලෙස පත‍්‍රිකාවක් මුද්‍රණය කර, කොන්ත‍්‍රාත් ක‍්‍රමයට උක්වගා කිරීම නිසා ගොවීන්ට මෙතෙක් ලැබුනු ආදායමවත් නොලැබෙන බවට කරුණු දක්වන ලද්දේ ඔහු විසිනි. මේ අතර, මොණරාගල මන්ත‍්‍රී ආර් එම් පුංචිබණ්ඩා මහතා ද ප‍්‍රදේශයේ ගොවීන්ගේ රැස්වීමක් කැඳවන ලදී. සමාගමට පක්‍ෂව කරුණු දක්වමින් මේ බහුජාතික සමාගම් නිසා ප‍්‍රදේශයේ දියුණුවන බවත්, මේ සමාගම් ඉඹලා පිළිගත යුතු බවත් ඔහු ප්‍ර‍කාශ කර සිටියේ මේ හමුවේදී ය.

කෙසේ වුවත් ඓතිහාසිකව වෙල්ලස්ස ඉංග‍්‍රීසීන් ගෙන් රැකගැනීම සඳහා ගොවී ජනයාගේ මූලිකත්වයෙන් ගෙන ගිය අරගලය පිළිබඳ මතකය තව දුරටත් ගොවීන් අතර පැවතිණ. එම අරගලය නැවත ආරම්භ කිරීමට ගොවීන්ට සිදුවන බව ගොවි සම්මේලනය පාර්ශ්වයෙන් සිදුකරන ලද කරුණු දැක්වීම වඩා ප්‍ර‍තිඵලදායක එකක් විය. සමාගමේ වැඩ ක‍්‍රමයෙන් උත්සන්න වූ නමුත් සටන්කාමී ගොවීන්ගේ විරෝධතාවයද බුර බුරා නැඟ ආවේ ඒ නිසා ය.☐

(මතු සම්බන්ධයි)

පැටි‍්‍රක් ප‍්‍රනාන්දු


© JDS