සුචරිත ගම්ලත්: 'මා කළ සාරමත් විවේචන මාක්ස්වාදී විධික්‍ර‍මයේ ශක්තියයි'

මහාචාර්ය සුචරිත ගම්ලත් 2013 මාර්තු 30 වැනිදා සිය දිවි මං අත් හළේය.‍

අපෝහක භෞතිකවාදී කලා විචාර විධි ක්‍රමය ශ්‍රී ලංකාවේ ප්‍ර‍තිෂ්ඨාපනය කරනු වස් සිදුකළ පුරෝගාමී න්‍යායික සම්ප්‍රදානයන්ගෙන් මෙන්ම කම්කරු, ගොවි හා ධීවර ජනයාගේ මෙන්ම පීඩිත ජාතීන්ගේ විමුක්තිය සුරක්‍ෂා කිරීමෙහි ලා අචලව කැප වූ දේශපාලන භාවිතාවෙන් ද සුදීප්තිමත් වූ ඔහුගේ ශාස්ත්‍ර‍ලෝලී විචිත්‍ර‍ දිවි සැරිය එළඹෙන දශකයන් කෙරෙහි ද ප්‍ර‍ඥාලෝකය විහිදුවාලන උස් ප්‍ර‍දීපස්ථම්භයක් හා සම වේ. ශාස්ත්‍රෝන්නතිය කෙරෙහි වූ නොතිත් අනුරාගයෙන් සාවේශිතව සිංහල භාෂාව සංවර්ධනයෙහි ලාත්, ප්‍රාචීන - ප්‍ර‍තිචීන දර්ශනවාදයන් පිරිසිඳ දැන චිරන්තන කලා සාහිත්‍ය පරිරක්‍ෂණය කොට මතු පරම්පරාවන් කෙරෙහි දායාද කිරීමෙහිලාත් ඔහු විසින් සිදු කරන ලද විදග්ධ ප්‍ර‍තිපදානයන්ගේ සර්වකාලීන සාරතාව අවිවාදිත ය.

වර්ග නාශක සිංහල ස්වෝත්තමවාදී වෛරී බලයන්ගේ අනිටු බලහාත්කාරයෙන් පීඩිත දෙමළ ජනයාගේ ජාතික විමුක්තිය පිළිබඳ ඉල්ලීම  රකිනු වස් තිස් වසක් තිස්සේ පෑ අචපල, තිරසර සහයෝගීතාව කෙරෙහි දෙමළ ජන ප්‍රණාමය සංකේතවත් කරමින් 2003 ජූනි 20 වැනිදා වවුනියාවේදී දෙමළ කිවියර පුදුවෛ රත්නතුරෛ අතින් සහෝදරාත්මක බුහුමනින් පිදූම් ලද ගම්ලත්, දකුණේ පීඩිතයන්ගේ විමුක්ති සාධනය පිණිස කැපව සහ අදිටන් සහගතව පළ කළ සහායට කෘතගුණ පිණිස 2008 මැයි 14 වැනිදා  කොළඹදී කම්කරු හා ධීවර ජනතා ක්‍රියාකාරීන් අතින් ගෞරව පූර්වක උත්තමාචාරයට පාත්‍ර‍ විය. (ඔහු ලද තිළිණය - වම්පස සේයාරුව)

චපල අවස්ථාවාදයත්, ස්වාර්ථකාමී නරුමවාදයත්, ග්‍රාමීය හීනමානයත් දේශපාලන හා සංස්කෘතික පෞරුෂයන් සේ උත්කර්ශයට නංවා ගරු බහුමාන ලබන සමයක, මාක්ස්වාදී දෘෂ්ටියෙන් අනුප්‍රාණ ලැබ මහැදුරු ගම්ලතුන් විසින් සුනිශ්චිතව රක්නා ලද සමූලධාර්මික ආස්ථානයන්, පීඩිත ජන විමුක්තිය උස් කොට තකන මිනිස් පරම්පරාවන් විසින් මතු මතුත් රක්‍ෂා කළ යුතු උරුමයකි.

2007 නොවැම්බරයේ දී දෙමළ විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක එස් පී තමිල් සෙල්වන්ගේ ඝාතනයෙන් ඔකඳව උදම් රළක් සේ නැඟී ආ වියරු අධිපතිවාදයේ රණගොසින් විකල්වූවන් විසින් වටලනු ලැබ සිටියදීත් නොබා නොසැළී ඔහු ලියූ වදන්, දකුණේත් - උතුරේත් පීඩිතයන්ගේ දුක්ඛිත ඉරණම හා සහවේදනා පළ කිරීමට නොපැකිලෙන, ඇතුළතින් නොබෙදුණු සුපිළිපන් මිනිසෙකු විසින් සිය සමස්ත සත්තාවෙන්ම රැකිය යුතු ජීවන ආස්ථානය මේ යැයි ප්‍ර‍තිමූර්තිමත් කළේය.

"1989දී ජනතා විමුක්ති පෙරමුණේ නායක විජේවීර රජයේ හමුදා විසින් අල්ලාගෙන ඝාතනය කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ කරමින් සිටි අරගළයටත් එම පෙරමුණටත් පක්ෂ ද විපක්ෂ ද යන්න නො තකා පාලිත පීඩිත ජනයා සියල්ලෝ ම මිය ගිය විජේවීර ගැන ශෝකසන්තාපයට පත් වූහ. එම පෙරමුණ මට පනවා තිබූ මරණ වරෙන්තුවෙන් බේරී සිටි මම ද සැබවින් ම ශෝක වීමි. අපි මේ ම්ලේච්ඡ ක‍්‍රියාව ගැන අපේ විරෝධය ද පළ කළෙමු. අප එසේ කළේ ඇයි? නො මඟ ගොස් සිටියේ වුව ද විජේවීර පීඩිතයා වෙනුවෙන් පෙනී සිටි නිසා ය.

මෙලෙස සලකා බලන විට තමිල් සෙල්වන්ගේ මරණය පීඩිත ජනයාගේ උද්දාමයට නො ව බලවත් ශෝකයට හේතු විය යුතු සිද්ධියකි. පීඩිත ජනයා පීඩකයන්ට පහර දෙන්නේ යම් තැනෙක ද, සියලූ පීඩිතයන් පීඩකයන්ට එරෙහි ව සටන් වදින ඒ පීඩිත ජනයාගේ පැත්තේ සිටිය යුතු ය. සාමාන්‍ය සටන්කරුවෙකු ලෙස දෙමළ විමුක්ති කොටි සංවිධානයට බැඳුණු තමිල් සෙල්වම් සිය ශූරවීර ක‍්‍රියා හේතු කොටගෙන අනුක‍්‍රමයෙන් සංවිධානය තුළ ඉහළ නැඟ ආබාධිත වීමෙන් ද පසු එම සංවිධානයේ දේශපාලන අංශ නායක ධුරයට පත් විය....

ලොව සියලූ පීඩිතයන්ගේ පැත්තේ සිට සොවින් බර ව අපි ඔහුගෙන් සදහට ම සමු ගනිමු." (2007 නොවැම්බර් 11 - ඉරුදින ‘සතිසංචින්තා)

වසංගතයක් සේ පැතිර ගිය වර්ගෝත්තමවාදයෙන් පිරිහෙළනු ලැබූ මුළුමහත් සමාජයක සදාචාර පරාභවයට එරෙහිව එසවුණු දුලබ සප්‍රතිපත්තිකභාවයේ හා මිනිස් විචාර බුද්ධියේ ධජය ඔහුගේ වදන් තුළ ජීවමාන නොවන්නේදැයි යළි කල්පනා කර බලන්නට ඔහුගේ මරණයෙන් තුන් වසක් ගෙවී යන මේ මොහොතේ අපට අවකාශ ලැබී තිබේ.

1996 දෙසැම්බරයේදී 'හිරු' සඟරාව සඳහා ලබා දුන් සමාලාපයක් ඇසුරින් සකස්කළ මෙහි පළ කෙරෙන ලිපිය, සුචරිත ගම්ලත් පිළිබඳ වියැකී නොයන සදානුස්මරණීය මතකයේ පුනර්ජීවනය පිණිස අපි කැප කරමු.

සංස්කාරක කමිටුව


මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යා ව්‍යාපාරය, ලෝක පරිමාණව සැළකූ විට අද පසුවන්නේ කෙබඳු තත්වයකද කියන ප්‍රශ්නයට උත්තර දෙනකොට පළමුවෙන් මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න ඕන. මෙතනදී කාට හරි හිතෙන්න පුළුවන් මාක්ස්ගේ සෞන්දර්ය විද්‍යාවක් තිබුණා කියලා. එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් මාක්ස් සහ එංගල්ස් කලාව කෙරෙහි විශාල ලැදියාවක් හා භක්තියක් තිබූ අයයි. ශේක්ෂ්පියර්ගේ නාට්‍ය මාක්ස්ට කටපාඩම්ව තිබූ බවයි කියැවෙන්නේ. ඔවුන් තැන් තැන්වල සාහිත්‍ය කලාව පිළිබඳ ප්‍රකාශ කළ අදහස් තියෙනවා. ඒවා එක්තැන් කරලා ''Marx-Engles on Literature & Art'' නමින් පළවී තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔවුන් අවධාරණය කෙරුවේ, කලාව කියන්නේ මිනිසාගේ මනසින් බාහිරව තියෙන යථාර්ථය ඥානනය කරන්නා වූ සුවිශේෂ විධියක් කියලා. සමාජය අධ්‍යයනය කිරීමේදී ස්වභාවික විද්‍යාවට සුවිශේෂ විධියක් තියෙනවා වගේම, සමාජ විද්‍යාවට සුවිශේෂ විධියක් තියෙනවා වගේම කලාවටත් සුවිශේෂ විධියක් තියෙනවා.

ප්ලෙහානොව්ගේ ප්‍ර‍තිපදානය

කොහොම වුණත් මාක්ස් සහ එංගල්ස් කලාව පිළිබඳ දැරූ අදහස් මුළුමණින්ම පෙළගස්වලා ඉදිරිපත් කිරීමක් ලෝක පරිමාණව සිදුවී නැති බවයි මගේ අදහස. නමුත් රුසියානු විප්ලවයට සූදානම් වෙමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් ජර්මනියේ. ප්‍රංශයේ, එංගලන්තයේ, ස්විට්සර්ලන්තයේ පිටුවහලේ සිටි අවධියේ ප්ලෙහානොව් (-ජෝර්ජි වැලන්තීනොෆ් ප්ලෙහානොව්) ප්‍රධාන වශයෙන් කලාව සම්බන්ධ මාක්ස්වාදී ආස්ථානය සංවර්ධනය කරන්න උත්සාහයක් දැරුවා. ප්ලෙහානොව් ඉතිහාසය, දර්ශනවාදය, අර්ථ ශාස්ත්‍රය, කලාව ආගම යනාදී ශාස්ත්‍රවල පාරප්‍රාප්ත වුණ පඬිවරයෙක්. ප්ලෙකානොෆ්ගේ කෘතීන් මම බොහෝදුරට කියවා තියෙනවා. නමුත් ඉන් ඒකාබද්ධ න්‍යායක් පිටතට ගැනීමට මම අධ්‍යයනය කර නැහැ. කොහොම වුණත් ප්ලෙකානොෆ්ගේ අධ්‍යයනයට ලක්වුණ කරුණු දෙකක් තිනෙවා. ඉන් පළමුවැන්න තමයි සෞන්දර්ය සංකල්ප කියන්නේ කිසියම් කලා කෘතියක් සම්බන්ධයෙන් - මේක හොඳයි, මේක සාධුතරයි, මේක සුන්දරයි‘‘ යනාදී වශයෙන් ඇලවෙන ලේබල්. මෙම සංකල්ප බිහිවුණේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න එයා මානව සමාජයේ ඉතා ඈතට ගියා. විශේෂයෙන්ම ඇමරිකානු ඉන්දියානු, බ්‍රසීල ඉන්දියානු, ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින් ආදි වාසීන්, දකුණු අප්‍රිකාවේ බුෂ්මන්වරු ආදී ගෝත්‍ර සමාජ ආශ්‍රිතව සෞන්දර්ය සංකල්ප බිහිවුණේ කොහොමද කියලා ඔහු අධ්‍යයනය කෙරුවා. එතැනදී ඔහු සොයාගත් දෙය තමයි කිසියම් දෙයක් ‘සුන්දරය‘ කියන සංකල්පය එන්නේ එය ප්‍රයෝජනවත් නම් බව. නිදසුනක් තමයි එක් ගෝත්‍රයක මිනිස්සු වර්ණවත් මැටි අඟේ තවරනවා. එසේ ආලේප කළ අය සුන්දර පුරුෂයන් සේ සැළකෙනවා. මේක අධ්‍යයනය කරමින් ගිය ප්ලෙහානොව් පෙන්වන්නේ මුල් යුගයේදී මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න මිනිස්සු සිරුරුවල මැටි තවරාගත් බවයි. පසුකාලෙක ඒ සඳහා වෙනත් ක්‍රම සොයාගත්තත් මෙය උපරි ව්‍යුහයට ඇතුළත් වෙලා අලංකරණයක් බවට පත්වෙනවා. තවත් අනන්ත නිදසුන් තියෙනවා. කොහොමවුණත් ප්ලෙහානොව් තහවුරු කළා සෞන්දර්යය පහළවෙන්නේ ප්‍රයෝංනවත්භාවය පදනම් කොටගෙන බව. නමුත් සප්‍රයෝජනවත් වූ සියලු දෙයක්ම සුන්දර නැහැ.

ප්ලෙහානොව් අවධාරණය කළ දෙවැන්න තමයි, කලාවේ තියෙන්නේ ඥානික අගයක් - ඥානකාරක අගයක් (Cognitive Value) ය යන්න. ඒ කියන්නේ කලාවෙන් ඥානයක් ලැබෙන බවයි. කොහොමවුණත් ඔයින් පස්සේ දෙවැනි ජාත්‍යන්තරයේ සිටි හා පසුව එයින් කැඩිලා බොල්ෂෙවික් පක්ෂය ගොඩනැගූ ලෙනින්, ට්‍රොට්ස්කි, රඩෙක් වැනි මහා මාක්ස්වාදීන් කලා විචාරයට එළඹුණේ නැහැ. ඒ අයගේ ප්‍රධාන ප්‍රශ්නය තිබුණේ රුසියානු විප්ලවය සූදානම් කරන්නේ කොහොමද කියලායි.

නමුත් ටෝල්ස්ටෝයිට වයස අසූවක් පිරුණහම ට්‍රොට්ස්කි පිටුවහලේ සිට දිග ලිපියක් ලිව්වා. ටෝල්ස්ටෝයිගේ මර‍ණයෙන් පසුවත් ඔහු දිගු ලිපියක් ටෝල්ස්ටෝයි සම්බන්ධයෙන් ලිව්වා. ඒ ලිපිවල පරිපූර්ණව නොවුණත් කලාව සම්බන්ධ යම් යම් ආස්ථානයන් ගැබ්වෙනවා. ටෝල්ස්ටෝයිගේ මරණයෙන් පස්සේ ලෙනින් ලිපි පහක් ලිව්වා. ඒ ලිපිවලින් මාක්ස්වාදීන්ට කලාව සම්බන්ධයෙන් තිබුණ ගෞරව සම්ප්‍රයුක්ත භක්තියත්, එහි වටිනාකම් පිළිබඳව තිබූ අවබෝධයත් පෙන්නුම් කරනවා.

පශ්චාත් විප්ලවීය වර්ධනයන්

ඊ ළඟ පිම්ම පනින්නේ රුසියානු විප්ලවයෙන් පසුවයි. විප්ලවයෙන් පස්සේ ලෙනින්ගේ කාලෙදීම බොල්ෂෙවික් පක්ෂය තුළත්, රාජ්‍ය යන්ත්‍රය ත්‍රළත් නිලධාරි තන්ත්‍රයක් වර්ධනය වී ආවා. නිලධාරි තන්ත්‍රය මතුවුණේ කොහොමද කියන කරුණ ට්‍රොට්ස්කි පැහැදිලි කරනවා. රුසියාව කාර්මිකව අතිශය පසුගාමී රටක්. ගම් නියම්ගම් දරුණු දරිද්‍රතාවයෙන් වෙලිලායි තිබුණේ. මේවායේ විසූ අතිමහත් ගොවි ජනයා, නූගත්කමින්, මන්දපෝෂණයෙන්, උපදංශ සහ දරුණු වසංගතවලින් වගේම වොඩ්කා වසංගතයෙන් වැහිලායි ජීවත්වුණේ. මෙවැනි පසුගාමී රටකයි රුසියානු විප්ලවය සිද්ධවුණේ. විප්ලවයෙන් පසුව කිසිම බොල්ෂෙවික්වාදියෙක් ‘‘අපි මේ යන්නේ රුසියාවේ සමාජවාදය හදන්න යැයි කිව්වේ නැහැ. විප්ලවයෙන් පසුව ලෙනින්ගේම වචනවලින් කිව්වේ ‘‘අධිරාජ්‍යවාදී යදම එහි දුබලම පුරුකෙන් බිඳීගිය‘‘ බවයි. ඒකේ තේරුම ප්‍රබලම පුරුක් තවදුරටත් ඉතිරිව තිබූ බවයි. ජර්මනිය, ඇමරිකාව, එංගලන්තය ආදී රටවල් තමයි එහි තිබුණ ප්‍රබලම පුරුක්. ලෙනින් කිව්වේ ඒවා බිඳීමේ කර්තව්‍ය ඉතිරිව ඇති බවයි. බොල්ෂෙවික්වාදීන් විසින් රුසියානු විප්ලවය දැක්කේ ලෝක විප්ලවයට ජවය හා ආස්වාදය ගෙන දෙන්නා වූ සිද්ධියක් හැටියටයි. 1918 සිවිල් යුද්ධයේ ගිනිදැල් මැද සිට රුසියාව මධ්‍යස්ථානය කරගෙන තුන්වන ජාත්‍යන්තරය, බොල්ෂෙවික් නායකයන් විසින් දියත් කරන්නේ ඒ අනුවයි. ට්‍රොට්ස්කි කිව්වේ ‘‘අපිට ලැබී තිබෙන ඉඩ යුද්ධයට ගිය සොල්දාදුවෙකුට සපත්තුව ඔප දමාගන්න, තුවක්කුව පිහිදාගන්න ලැබෙන කාලයට සමාන“ බවයි. කොහොමටත් පසුගාමී රටක තියා දියුණු රටක වුණත් තනි රටක සමාජවාදය හදන්න බැහැ. ට්‍රොට්ස්කිම කිව්වේ ‘‘සමාජවාදී ක්‍රමය යනු ඇමරිකානු තාක්ෂණය නමැති ලාඩම ලාගත් සෝවියට් ක්‍රමයයි‘‘ කියලායි.

මේ ආකාරයට පසුගාමී රටක් තුළ රුසියානු විප්ලවය සිද්ධවීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි නිලධාරී පැළැන්තියක් වර්ධනය වුණේ. මේ වෙනකොට රුසියානු කම්කරුවෝ විප්ලව තුනක් කරලා, අනතුරුව සිවිල් යුද්ධයටත් මුහුණදීලයි තිබුණේ. ඉතිරි වුණ කොටස තමයි රාජ්‍ය යන්ත්‍රයට අවශෝෂණය කරගනු ලැබුණේ. නිලධාරි තන්ත්‍රය මතුවුණේ මේ ඉතිරිවුණු කොටස්වලින් සහ තවත් නොයෙකුත් මධ්‍යම පංතික සුළු ධනේෂ්වර පංතිකයන්ගෙන්. ට්‍රොට්ස්කි පැහැදිලි කළ ආකාරයටම කිව්වොත් දහදෙනෙක් ඉන්න තැනක කෑම පිඟන් දහයක් තිබුණොත් සම සමව භුක්තිවිඳීවි. නමුත් තියෙන්නෙ කෑම පිඳන් තුනක් නම් දහදෙනාට බෙදන්න කෙනෙක් පත්කළ යුතුයි. එයා කිරුම්-මිණුම් දන්නා කෙනෙක් විය යුතුයි. එයා අනිවාර්යයෙන්ම තමන්ට වැඩියෙන් බෙදාගැනීම වළක්වන්න බැහැ. ඔය විධියටයි නිලධාරි පැළැන්තිය තහවුරු වුණේ.

අනෙක් කරුණ රුසියානු විප්ලවයට පසුපසින් අපේක්ෂිත ජාත්‍යන්තර සහාය ලැබුණේ නැහැ. ඒකට හේතුව ලෝක විප්ලවය පැතිරුණේ නැහැ. විශේෂයෙන්ම ජර්මනියට වහාම පැතිරෙයි කියාල ට්‍රොට්ස්කි වගේම ලෙනිනුත් විශ්වාස කෙරුවා. ජර්මනියත් එක්ක, විදේශ අමාත්‍යාංශ නායකයා හැටියට සාම සාකච්ඡාවලට ගිය ට්‍රොට්ස්කි පුළුවන් තරම් සාකච්ඡා කල් දැම්මේ ඒ නිසායි. ඔහු කිව්වේ ‘‘ යුද්ධයත් නැහැ - සාමයත් නැහැ‘‘ කියලායි. ඔවුන් හිතුවේ මේ කල් ගැනීම තුළ ජර්මන් කම්කරු පන්තිය බලය ඇල්ලීමට සමත්වේය කියලා. නමුත් ජර්මානු විප්ලවය ස්ටැලින්වාදී නායකත්වය විසින් පාවාදුන්නා. ඒත් එක්කම පසුකාලීන මේ නායකත්වයම ඉතාලි විප්ලවයත්, 1926 එංගලන්තයේ ජෙනරල් ස්ට්‍රයිකයත්, චීන විප්ලවයත් පවාදෙනු ලැබුණා. මේ ආකාරයට ලෝක විප්ලවය පාවාදීම නිසාම රුසියානු විප්ලවය අධිරාජ්‍යවාදී පරිවටයක තනිවුණා.

මේ තනිවීමත් සමඟ ඉතිරිව සිටි කම්කරු පංතියේ කොටස් ක්‍රමයෙන් මැදිවියට එළඹෙමින් සිටි අතර ඔවුන්ගේ ජවය අඩුව ගිහින් තිබුණා. මධුමේහය හැදුණ. අධි රුධිර පීඩනයෙන් - දියවැඩියාවෙන් පෙළුණා, දරුමල්ලන් වැඩිවියට පත්වුණා. මේ පිරිස ලෝක විප්ලවය පිළිබඳ තම වගකීම අතහැර දැමුවා. මේ නිලධර තන්ත්‍රය තුළ වැඩී ආ පොදු මතය වුණේ ‘‘සියලුම දේ අපිට ලෝක විප්ලවය සඳහා දෙන්න බැහැ‘‘යි වැනි මතයක්. රට තුළත් වැඩෙමින් තිබුණේ අතෘප්තියක්. ඒක කලින්ම එංගල්ස් කියා තිබූ දෙයක්: ඔහු කිව්වා, ‘‘සෑම විප්ලවයක්ම එන්නේ අති දැවැන්ත ජනතා අභිලාෂ මාලාවන් මුදාහරිමින් නමුත් ක්ෂණිකව විප්ලවයට එය ඉෂ්ඨ කරන්නට බැරි බව‍‘‘

ඉතින් රට ඇතුළේ තිබුණු මේ අතෘප්තිකර තත්ත්වය ගසාකමින් නිලධර තන්ත්‍රයට පැවතීමට ඕනෑවුණා. ඒ සඳහා ඔවුන් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය සුන් කරලා, සෝවියට් සභා සුන්කරලා, තමන්ගේ බලය සංවර්ධනය කර ගන්න පටන්ගත්තා. ඔවුන් මෙයට ප්‍රකාශනයක් දුන්නේ එක්තරා න්‍යායක් අනුවයි. ඒ න්‍යාය තමයි, ‘‘තනිරටේ සමාජවාදය‘‘. මෙයට විරුද්ධ විශාල විරෝධයක් පක්ෂය තුළම ක්‍රියාත්මක වුණා. ට්‍රොට්ස්කි ප්‍රමුඛ දහස් ගණන්, ලක්ෂ ගණන් තරුණ කොටස් ‘‘වාම විපාර්ශ්වය‘‘ කියලා බොල්ෂෙවික් පක්ෂය තුළ මෙයට විරුද්ධව සටන් කළා. බොල්ෂෙවික් පක්ෂය තුළ ගිනියම් සාකච්ඡාවන් ගියා. සමහරුන්ට එය දරාගන්නට බැරිවුණා. ඇඩොල්ෆ් ජොෆේ වැනි දැවැන්ත බොල්ෂෙවික් නායකයින් දිවි නසාගත්තා. නිලධර තන්ත්‍රය තහවුරු වුණේ එහෙමයි. දැන් හෙළිදරව් වෙලා තියෙන විදියට ලුබියන්කා හිර ගෙදර දවසකට බොල්ෂෙවිකයින් දාහක් විතර ඝාතනය කරලා තියෙනවා.

දැන් මේ තනි රටේ සමාජවාදය කියන න්‍යාය දියත් කළේ ස්ටැලින් සහ බුකාරින්. ඉතින් මේ කියපු න්‍යායට අනුපාතිකව ඊට මුක්කු ගසන්න ආව සාහිත්‍ය - කලා න්‍යායක් තමයි, කම්කරු පංති සංස්කෘතිය. ඒ අය රුසියාව තුළ ‘‘කම්කරු පංති සංස්කෘතියක්‘‘ ගොඩනඟනවා යැයි කියලා වැඩපිළිවෙලක් දියත් කළා. පැරණි දේ හා පවතින සියලු සම්බන්ධකම් බැහැර කරමින් තමයි මේ දේ කරන බව ඔවුන් කීවේ. ‘‘කම්කරු පංති කලාව‘‘ කියන එකෙන් ඔවුන් අදහස් කළේ රුසියාව තුළ වර්ධනය වන්නාවූ සමාජවාදය වර්ධනය වෙන හැටි කලාවෙන් නිරූපනය කිරීමයි. ඒ සඳහා අනන්ත ලේඛකයින්ගේ කෘති තහනම් කෙරුණා, ලේඛකයෝ මැරුවා. හැදෙන්නේ නැති සමාජවාදයක් හැදෙන බව පෙන්වීම ව්‍යාජයක්. අනෙක් කරුණ, විද්‍යාගාර විධික්‍රමවලින් කලාව හදන්න බැහැ, කලාව වදන්න බැහැ. පැරැණි දේ වළලා දමලා, ෂේක්ස්පියර් කටුගෙට යවලා එය කරන්න බැහැ.

ට්‍රොට්ස්කි: කලාව අඛණ්ඩ සන්තතියක් ලෙස

මේ තත්ත්වය තුළයි මීට එරෙහිව ට්‍රොට්ස්කිට අවි ගන්න සිද්ධ වුණේ. ඔහු එක් අතකින් ‘තනි රටේ සමාජවාදය‘‘ කියන න්‍යායට විරුද්ධව සටන් කරන අතරේ මේ ‘‘කම්කරු පංති සංස්කෘතිය‘‘ට විරුද්ධවත් ක්‍රියා කළා. එතනදි ට්‍රොට්ස්කිට සිද්ධ වුණා එතෙක් තමන්ගේ න්‍යායික ක්ෂේත්‍රයට ඇතුළත් නොවුණ කලාව සම්බන්ධ ක්ෂේත්‍රය අධ්‍යයනය කරන්න. ට්‍රොට්ස්කි සමඟ බොහෝ කලාකරුවන් මේ කාර්යයේදී එකට සිටිමින් කටයුතු කළා. ට්‍රොට්ස්කි පළමුකොට තහවුරු කළේ - ඔහුගේ පළමු සම්ප්‍රදානය ‘‘කලාවේ ඓතිහාසික භෞතිකවාදී විකාශනයයි“. ඒ කියන්නේ කලාව අඛණ්ඩ සන්තතියක්  මිසක් ‘‘ප්‍රොලිත්කූල්ට්‘‘ වැනි සංවිධාන කියූ විදියට විද්‍යාගාර විධික්‍රම මඟින් වදන්න පුළුවන් එකක් නොවන බව තහවුරු කිරීමයි. මානව සංහතිය ගල්ලෙන්වල වාසය කළ යුගයේ සිට අද තෙක් අඛණ්ඩව එන එය, ට්‍රොට්ස්කි හැඳින්නුවේ කාව්‍යමය විඥානය (poetic consciousness) යනුවෙනුයි. ලංකාවේදී, කලා තාක්ෂණය නමින් අපි හැඳින්නුවේත් එයමයි.

කාව්‍යමය විඥානය කිව්වේ ඇත්තෙන්ම සම්ප්‍රදායයටයි. ඔහු කිව්වේ සම්ප්‍රදාය සුපරිපූර්ණව අධ්‍යයනය කරලා තමන්ගේ ස්නායු පද්ධතියට සමීකරණය කර ගන්න අවශ්‍ය බවයි. ඒ පැරණි ආකෘතිය මඟින් වර්තමාන සමකාලීන යථාර්තය අන්තර්ගතය ග්‍රහණය කරන්නට සටන් කිරීම පටන් ගත්තහම පැරැණි ආකෘතිය උඩුයටිකුරුවෙලා නවීකරණය වෙලා නව ස්වරරූපයක් ගන්නවා. මෙතැනදි පාවිච්චි කෙරෙන්නේ අපෝහක භෞතිකවාදයේ එන මූලික න්‍යායක් වුණ නිශේධනයයි.

ට්‍රොට්ස්කිගේ දෙවන සම්ප්‍රදානය වුණේ ප්ලෙහානොව් විසින් කර තිබූ දෙයට අළුතෙන් එකතු කිරීමයි. ප්ලෙහානොව් අවධාරණය කර තිබුණේ කලාවේ ඥානික අගයක් පමණයි. ඒ න්‍යායේ ඒකාංශික බවක් තිබුණා. එය නැති කරමින් ට්‍රොට්ස්කි එකතු කළේ කලාව ප්‍රධාන වශයෙන් මනෝභාව සම්බන්ධ ක්‍ෂේත්‍රයට අයත් දෙයක් බවයි. කලාව පළමුකොට ආමන්ත්‍රණය කරන්නේ මිනිස් මනෝභාව මණ්ඩලයටයි. ඒ විදියට කලාව මිනිස් හැඟීම් සංකීර්ණයට බලපාමින් එය පරිවර්තනයකට ලක්කරමින් මිනිස් ඥාන මණ්ඩලය සමතික්‍රමණයකට භාජනය කරනවා. මූලික වශයෙන්ම ට්‍රොට්ස්කිගේ සම්ප්‍රදානය මේකයි.

වෝල්ටර් බෙන්ජමින් කලාවට එක්තරා මානයකින් එකතු කිරීම් කරන්නට ප්‍රයත්න දැරුවේ මීට පසුවයි. මේ අවධිය, කලාකරුවන් නාසිවාදයේ ගෘහ සේවිකාවන් බවට පත්කරන්නට තැත්කරමින්, කලාවට පහර දෙමින් ජර්මනිය තුළ හිට්ලර් නැඟී එන කාලයයි. මේ අවධියේදී කලාවට විශාල වශයෙන් ධනය ආයෝජනය කරන බව බ්‍නේජමින් දැක්කා. මේ ධනපතියන් ආයෝජනය කළේ එක අතකින් අතිමහත් ජනතාවගේ සාක්කුවට විදින ගමන්, ඔවුන්ගේ දෑස්වල පටලයක් බඳින්නයි. ධනපති ක්‍රමය කලාවට හතුරුවන එක්තරා ආකාරයක් වන මේක හෙළිදරව් කළේ බෙන්ජමින් විසිනුයි. මෙහිදී ඔහු ප්‍රධාන වශයෙන් සම්පාදනය කළ කෘති දෙකක් අතරින් හොඳම පොත ''Illuminations'' කියන කෘතියයි. ඔහු කියා සිටියේ කලාකරුවාගේ කාර්යය වන්නේ කලා තාක්ෂණය ග්‍රහණය කොට, එය ඇසුරු කරගෙන ව්‍යාජ විඥානය සුන් කිරීම බවයි. ඇතුළතින් ඛාදනය කිරීමේ ව්‍යාපාරයක් කලාකරුවන් විසින් ඇතුල් කළයුතු බව ඔහු කියා සිටියා.

මම දන්නා හැටියට මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාවක් කියා දෙයක් තියෙනවා නම් එය කුමක්ද කියන එකට පිළිතුරු සෙවිය යුත්තේ මම දැන් සඳහන් කළ සියලු දේ අධ්‍යයනය කිරීමෙනුයි. මේ සියල්ලම සංකලනය කරලා, ඒකාබද්ධ න්‍යායක් උපුටාගෙන ඒය පරිපෝෂණය කරලා, පිරිපහදු කරලා ඉදිරිපත් කිරීමේ කර්තව්‍යය තවම තියෙනවා. ඇත්තටම මම දන්නා තරමින් නම් ජාත්‍යන්තර පරිමාණව බෙන්ජමින්ගෙන් පස්සේ වැදගත් සම්ප්‍රදානයක් තිබුණේ නැහැ. නමුත් හතරවැනි ජාත්‍යන්තරයේ සිට පසුව එයින් පලාගිය ක්ලිෆ් ස්ලෝටර්, එසේ පලායාමට පෙර ‘‘මාක්ස්වාදය, මතවාදය සහ සාහිත්‍යය‘‘ (Marxism, Idealogy and Literature) නමින් අගනා පොතක් පළකළා. දැන් මා මේ කියූ දේ උපුටාගෙන සමහර බොරු හතරවන ජාත්‍යන්තරයේ මිනිස්සු කියයි, ජාත්‍යන්තරයෙන් පලාගිය ස්ලෝටර් ගැන මෙන්න සුචරිත ගම්ලත් කතා කරනවා කියලා. නමුත් මාක්ස්වාදේ දිගටම එවැනි දේ සිදුවෙලා තියෙනවා. ප්ලෙහානොව් පලාගියා. නමුත් ඔහුත් එක්ක ඔහුගේ පොත් විසිකළේ නැහැ. යම් කෙනෙක් මාක්ස්වාදයට සංග්‍රහයක් කළා නම් එයා කළ දේ විෂයබද්ධව ඉතුරු වෙනවා. ඒ වගේම ස්ලෝටර් ‘දාස් කැපිටාල්‘ කෘතියේ විධික්‍රමය කලාව ඇසුරෙන් පුනර්කරණය කිරීමට ගන්නා ‍උත්සාහය ඉතාමත් දීප්තිමත්.  

නමුත් ලංකාව තුළ මෙකී සෞන්දර්ය ව්‍යාපාරය වර්ධනය කිරීමට ගත් උත්සාහය ව්‍යාපාරයක් වශයෙන් නොවැඩී පසුකාලීනව අසාර්ථක වූ බවක් පෙන්නුම් කළා දැයි කියන පැනයට මගේ පිළිතුර වන්නේ 1980 සිට විතර මම විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට සම්බන්ධව හිටියා. මේ කාලේ මම හිටිය සංවිධානයට සත්‍යයේ ගීතය, පහන් කන්ද, හේමන්තයේදී, කුලසේන ෆොන්සේකාගේ පොත් ආදී ජීවමාන කලා කෘතිවලට සංයුක්තව මැදිහත්වීමේ අවශ්‍යතාවය මතුවුණා. මාක්ස්වාදී විධිමක්‍රමය කලාවට උපයෝගී කිරීමේදී මට විශාල වශයෙන් මඟ පෙන්වීමක් හා දිරිදීමක් සැපයුවේ මෑතභාගයේදී මාක්ස්වාදය සම්බන්ධයෙන් ලංකාවේ සිටි විශේෂඥයා යැයි කිව හැකි කීර්ති බාලසූරිය සහෝදරයායි. නමුත් මම මාක්ස්වාදී කලා විචාර න්‍යායට නවමු සම්ප්‍රදානයක් කළේ නැහැ. ප්‍රධාන වශයෙන්ම කළේ ට්‍රොට්ස්කිගේ විධික්‍රමය නොයෙක් කලා කෘතිවලට උපයෝගී කිරීමයි. ඒත් ජාත්‍යන්තර වශයෙන් සාහිත්‍ය කලා විචාරයට ට්‍රොට්ස්කිවාදය යෙදිලා නොතිබුණ තත්ත්වයක් යටතේ මේ කොදෙව්වේ අප එය කිරීමට ගත් ප්‍රයත්නය ඇත්ත වශයෙන්ම අපේ ජයග්‍රහණයක් විදියටයි මම දකින්නේ.

කල්පනාලෝකවාදයට එරෙහිව

විශේෂයෙන්ම ‘‘අපි කලාව දන්නේ නැහැයි, කලා විහීනයෝයි‘‘ කියා මහාචාර්ය සරච්චන්ද්‍රයන් අපිට පහර දෙන කාලයේ අපි - කීර්ති බාලසූරිය සහෝදරයාත්, මමත් - එයට න්‍යායිකව පිළිතුරු සැපයුවා.

කොහොම වුණත් මේක ප්‍රබල ව්‍යාපාරයක් වශයෙන් තහවුරු නොවුණේ ඇයි ද කියා ඔබ ඇසුවා. සරච්චන්ද්‍රගේ සාහිත්‍ය විචාර න්‍යාය තහවුරු වෙන්න ඔහු සරසවි මාහාචාර්යවරයෙක් වීමත්, අනෙක් සරසවිවල හිටිය මහාචාර්ය හා කථිකචාර්යවරු එයාගේ ගෝලයෝ වීමත් හේතුවුණා. ඒ නිසාම එය නිල වශයෙන්ම පිළිගැණුනා. අපේ සාහිත්‍ය විචාරය, ප්‍රධාන ධාරාව වුණ කල්පනාලෝකවාදයෙන් කැඩී වෙන්වීමට ගිය සටනක් වශයෙනුයි ඉදිරියට ගියේ. ඒ නිසා එය විශ්ව විද්‍යාලවල පිළිගැනුණේවත්, ඒවායේ මහාචාර්ය - කතිකාචාර්යවරුන්ට තේරුණේවත් නැහැ. මේ ව්‍යාපාරය දියත් කළ දා සිට මට විශ්වවිද්‍යාලයක් තුළ අඛණ්ඩව අවුරුද්දක්වත් ඉන්න හම්බවුණේත් නැහැ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1980 දී මාව විශ්ව විද්‍යාලයෙන් පලවා හැරියා.

අනෙක් කරුණ, අපේ බොහොමයක් තරුණ කොටස් තැන්පත් අධ්‍යයනයක් කරන්න තරම්වත්, ඒ හරහා නිගමනවලට එ‍ළඹෙන්නවත් ඉවසීමක් නැහැ. ඒ අයට අවශ්‍ය ක්‍ෂණික ප්‍රතිඵල දෙන සරුව පිත්තල ව්‍යාපාර. තරුණ පරපුර අතර මේ ව්‍යාපාරයට තිබුණ ආකර්ශනය අනුභූතික ආකර්ශනයක්. මෙතැනදී බලපෑ වැදගත්ම හේතුව තමයි ලංකාවේ පාලක පංතිය හිතා මතාම තරුණයන්ට ඉංග්‍රීසි බස ගැන දැනුමක් නැති කිරීම. ඉංග්‍රීසි නැති කිරීමත් එක්කම වියුක්ත චින්තනය අහිමිවුණා. විශ්ව ඥාන සම්භාරය ලබාගන්න ඒ නිසාම ඔවුන්ට නොහැකි වුණා.

අවසාන වශයෙන් මම මීට අවුරුදු හතකට උඩදී මේ කියූ විධික්‍රමයම භාවිතා කරලා සරච්චන්ද්‍රගේ කෘති සම්භාරය පරීක්ෂාවට ලක්කෙරුවාය කියන ‘වැරැද්ද‘ට, මම හිටිය සංවිධානය වුණ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මාව නෙරපුවා. ඒ කාලේ වෙනකොට කීර්ති බාලසූරිය සහෝදරයා ජීවත්ව සිටියේ නැහැ. පක්ෂ සාමාජිකත්වය තුළත් මට තිබුණ පදනම ඔවුන් අහෝසිකර දැමුවා.

අනෙක ලංකාවේ අධ්‍යාපන ඝාතනයත් එක්කම ලංකාවේ බැරෑරුම් කලාකෘති බිහිවෙන්නේ නැතුව ගියා. බිහිවුණේ ක්‍ෂණික විනෝදය සම්පාදනය කරන දේයි. වැදගත් කලා කෘති වෙනුවට ඇස් බැන්දුම් සහ ලණු කලා කෘති වශයෙන් එනකොට ඒවාට මගේ මැදිහත්වීම නිශේධනාත්මක එකක් වුණා. ඉතින් මේ විධික්‍රමය බරපතලව අධ්‍යයනය නොකරන කෙනාට තේරෙන්නේ සුචරිත ගම්ලත් කලා නාශකයෙක් කියලායි. ‘‘දෙඤ්ඤං බැටේ විචාරය, තෝ කඤ්ඤං විචාරය‘‘ කියන නම් පටබැන්දේ මේ කියන දේ නොතේරුණ ගද්‍රභයෝයි.

විශේෂයෙන් ඔබේ ප්‍රශ්නයෙන් ගම්‍ය වෙන දේ තමයි, අපෝහක භෞතිකාවදී විචාර විධික්‍රමය ලංකාව තුළ අසාර්ථ වෙලා තියෙනවාද යන්න. සාහිත්‍ය න්‍යායක් අසාර්ථක වීම කියන්නේ ඒ න්‍යාය ඇසුරෙන් කලාවේ යථා තත්ත්වය අවබෝධ කර ගන්න බැරිවුණ බවයි. නමුත් අපේ විධික්‍රමයෙන් එසේ කිරීමේ නොහැකියාවක් නැහැ. මා කළ සාරමත් විවේචන මගේ හයියක් නොවෙයි, මාක්ස්වාදී විධික්‍රමයේ ශක්තිය.

© JDS