වාම ප්‍ර‍ත්‍යාවලෝකන: ‘පාර්සන්ස් පාර සිංහල දෙමළ සටන් පාඨවලින් ඇළලී ගියේය’ - II කොටස


මෙම ලිපියේ පළමු කොටස: 'ඉක්බිති දෙසැම්බරයේදී අපි ජනතා සංගමය ආරම්භ කළෙමු'

ශී‍්‍ර ලංකාවේ මා ඕවාදීන් ලෙස පෙනී සිටි කොටස් එක්සත් වීම සඳහා දැරූ ප‍්‍රයත්නය, ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ඔවුන් තුළ තිබූ පරස්පරතා නිසා අසාර්ථක වූ ආකාරය අපි පසුගිය ලිපියේ සාකච්ඡා කළෙමු. 1979-80 වකවානුවේ දී මා ඕවාදීන් පමණක් නොව, නව සම සමාජ පක්‍ෂය ද මෙම පරස්පරතා තිබියදීම සමස්ත ලංකා ගොවි සම්මේලනය තුළ සාමූහිකව එකට වැඩ කළේ එක්සත් වීම සඳහා වූ තවත් පියවරක් ලෙස ය. මෙහිදී යාපනයේ ග‍්‍රාමීය කම්කරුවන්ගේ සංගමය හා වව්නියාවේ ගාන්ධියම් ගොවි සංවිධානයද දෙමළ ගොවි සංවිධාන දෙකක් ලෙස සමස්ත ලංකා ගොවි සම්මේලනය සමග වැඩකිරීමට පැමිණීමත් සමග දෙමළ ගොවි ජනතාවට බලපෑ සුවිශේෂී ප‍්‍රශ්න ගොවි සම්මේලනය තුළ සාකච්ඡා කිරීමට අවකාශ ලැබුණි.

අප මෙහි අවධානයට යොමු කරන්නේ සිංහල ගොවි ජනයාට බල පෑ ප‍්‍රශ්න සමග දෙමළ ගොවි ජනයාට බලපාන ලද ප‍්‍රශ්න ඒකාබද්ධ කිරීමට දැරූ ප‍්‍රයත්නය තුළ මතු වූ ගැටලූ පිළිබඳව ය. ‘70 දශකයේ අවසාන භාගයේදී ආරම්භ වූ මෙම වැඩ කිරීමේ අත්දැකීම ‘80 දශකයේ අවසානයේදි කෙළවර වූයේ සමස්ත ලංකා ගොවි සම්මේලනය කැබලිවලට කැඞී විශාල ගැටුම්කාරී තත්ත්වයන් මතුවීමත් සමග ය. අදටත් ගොවි ජනතාව අතර වැඩකිරීමේ උත්සාහයන් දැකිය හැකි නමුත්, මෙම අතීත අත්දැකීම් ගැඹුරෙන් විමසා බැලීමක් සිදුකරන බවක් කිසි විටක නොපෙනේ.

මාඕ චින්තනය හා දෙමළ ජනයා

1947 සමස්ත ලංකා ගොවි සම්මේලනය ආරම්භ කර තිබුණේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් වූ ආරියවංශ ගුණසේකර, ධර්මපි‍්‍රය ජයකොඩි වැනි ගොවි ජනතාවගේ අයිතීන් වෙනුවෙන් මුළු ජීවිතයම කැපකළ කි‍්‍රයාධරයන් විසිනි. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය චීන-රුසියන් පිල් වශයෙන් දෙකට බෙදීමෙන් පසු චීන පිල වෙතට ගමන්ගත් ආරියවංශ ගුණසේකර, කුලරත්න වික‍්‍රමසිංහ වැන්නන් සමස්ත ලංකා ගොවි සම්මේලනයේ නායකත්වයට පත්වූහ. ඒ වන විට ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ (චීන පිලේ) නායකත්වයේ සිටියේ එන්. ශන්මුගදාසන් ය. මේ හැම දෙනෙකුම ‘මාඕ චින්තනය’ ගැන කොයිතරම් කතා කළත්, ශී‍්‍ර ලංකාවේ ගොවි ජනතාව අතර වැඩකිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙලක් මේ කිසිවෙකුට නොතිබූ බව ද පැවසිය යුතු ය. ‘ග‍්‍රාමීය ප‍්‍රදේශවල පංති විශ්ලේෂණයක්’ නැමැති මාඕ සේතුං ගේ කුඩා ලිපිය රතු පිටකවර යටතේ මුද්‍රණය කර පිටපත් දහස් ගණනක් ශී‍්‍ර ලංකාව තුළ මේ පක්‍ෂය මගින් බෙදා හැරිය නමුත්, ශී‍්‍ර ලංකාවේ ගොවි ජනතාව අතර පංති විශ්ලේෂණයක් කිරීම සඳහා කිසිදු බරපතල උත්සාහයක් ගොවි සම්මේලනය ගත්තේ නැත. ඒ සම්බන්ධ පසු කාලීනව යම් උත්සාහයක් දැරුවේ ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ආචාර්ය නඩරාජා ශන්මුගරත්නම් වැනි අය පමණි. පසු කළෙක නිව්ටන් ගුණසිංහ ගේ මග පෙන්වීම යටතේ සමස්ත ලංකා ගොවි සම්මේලනය තුළ යම් යොමුවක් ඒ කෙරෙහි ඇති වූ බව ඇත්තකි. කෙසේ වුවද ඒ පිළිබඳව අපි ඉදිරි ලිපියකදී සාකච්ඡා කරන්නෙමු.

ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ මගපෙන්වීම තිබූ නිසාම ගොවි සම්මේලනය සිංහල ප‍්‍රදේශවල මෙන්ම දෙමළ හා මුස්ලිම් ප‍්‍රදේශවල ද වැඩකළ අතර, සිංහල -දෙමළ-මුස්ලිම් ධනපති ඉඩම් හිමියන්ට හා ධනපති ආණ්ඩුවලට විරුද්ධව පීඩිත ගොවි ජනතාව සංවිධානය කිරීමේ ඉදිරි දැක්මක් තුළ පිහිටා කටයුතු කළේය. පොදුවේ වරින් වර ඇතිවූ ජාතිවාදී කෝලාහලවලදි ‘දෙමළ ගොවි ජනයා ආරක්ෂා කිරීම කළ යුතු‘ ය යන අවබෝධය වාමාංශිකයන් හැටියට ඔවුනට තිබුණි. නමුත් ජාතිවාදයට විරුද්ධ විය යුතුය යන අදහස එවැනි කි‍්‍රයාකාරීත්වයකට පමණක් සීමා වී තිබුණි.

නමුත් 1950 ගණන්වල සිටම, විශේෂයෙන් නැගෙනහිර පළාතේ ඔවුන්ට හිමි ඉඩම්වලින් දෙමළ හා මුස්ලිම් ගොවි ජනයා පලවා හරිමින් සිංහල ගොවි ජනපද බලහත්කාරයෙන් ඇති කිරීමේ සිංහල පාලකයන්ගේ සැලැස්ම සම්බන්ධව සමස්ත ලංකා ගොවි සම්මේලනය විරෝධයන් සංවිධානය කළ බවක් ඉතිහාසයේ සඳහන් නොවේ. අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර වැනි ගොවි ජනපද විශාල වශයෙන් ඇති දිස්ති‍්‍රක්කවලදි ගොවි සම්මේලනය පදනම් වී සිටි සිංහල ජානපදිකයන්ගේ ජල ප‍්‍රශ්න, අලෙවිය පිළිබඳ ප‍්‍රශ්න, නිලධාරීවාදයෙන් එල්ල වූ පීඩනය වැනි ප‍්‍රශ්න කෙරෙහි විශාල උනන්දුවක් දැක්වූ ඔවුහු, දෙමළ ගොවි ජනතාවට දෙමළ නිසාම ඇතිවූ සුවිශේෂී ප‍්‍රශ්න කෙරෙහි ඒ තරම් අවධානයක් යොමු නොකළහ. එසේම වැලිමඩ, නුවර එළිය, ගාල්ල වැනි වතුකරයේ දෙමළ ජනතාව විශාල වශයෙන් ජීවත් වූ ප‍්‍රදේශවල වැඩකල ගොවි සම්මේලනයේ ක‍්‍රියාකාරීන් දෙමළ හා සිංහල ජනයා අතර සහයෝගීතාව ගොඩනඟනු වස් බොහෝ වැඩ කළ අතර, සමහර වතු කම්කරු වර්ජනවලදී ගම්වල සිංහල ජනයාගේ සහයෝගයද ඒ සඳහා ලබා දෙන ලදී. නමුත් කඳුකරයේ ගම් පළල් කිරීමේ සැලසුම් යටතේ නිසරු වතු කැබලි කර ගම්මුන්ට බෙදා දීමේ දී සිංහල දේශපාලනඥයන් දෙමළ වතුකම්කරුවන්ට ඉඩම් බෙදා දීමෙන් වැළකී සිටීම පිළිබඳ ගොවි සම්මේලනය විරෝධය පළ කළ බවක් වාර්තා වන්නේ නැත. විශේෂයෙන්ම නුවරඑළියෙන් අනුර බණ්ඩාරනායක මන්තී‍්‍රවරයෙක් කිරීමේ සැලැස්ම යටතේ 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණයේදී දෙමළ වතුකම්කරුවන් පලවා හැර සිංහල ගැමියන් පදිංචි කිරීම නිසා වතු කම්කරුවන් විරෝධය පාද්දී සුමන ලක්‍ෂ්මණන් නැමැති තරුණ දෙමළ කම්කරුවෙක් එඩිතර ලෙස ඉදිරියට පැමිණ වෙඩි උණ්ඩයට මුහුණ පෑමේ සිද්ධිය පිළිබඳව හෝ ගොවි සම්මේලනය විරෝධය පළ නොකළේය. එහිදී ද සිංහල ගැමියන් මත පදනම් වී සිටි ගොවි සම්මේලනය දෙමළ ජනයාගේ සාධාරණ විරෝධයන් නොසලකා හැරියේය.

රාජසුන්දරම් හා ගෞරී කාන්දන්

මේ ආදී සිදුවීම් ගත් කළ පෙනීයන කරුණු කීපයක් තිබේ. එනම්, ජාතිවාදයට විරුද්ධ බවක් සිය නිල ස්ථාවරයේදී සමස්ත ලංකා ගොවි සම්මේලනය පෙන්නුම් කළ ද, ශී‍්‍ර ලංකාවේ පාලක පන්තිය සිංහල අධිපතිවාදය ඉදිරියට ගෙන යාම නිසා දෙමළ ගොවි ජනයාට හා කම්කරුවන්ට සුවිශේෂී වශයෙන් බලපෑ ජා තික පීඩනය වටහා ගැනීමේ ශක්තියක්හෝ ප්‍ර‍මාණවත් උත්සාහයක් ගොවි සම්මේලනයේ නායකයන්ට නොතිබූ බව ය. එයට හේතු වූයේ ශන්මුගදාසන්ගේ නායකත්වය යටතේ ලැබුණු වැරදි මගපෙන්වීම ය. දෙමළ ජනයා ජාතියක් ලෙස වර්ධනය වී නොමැති නිසා ඔවුන්ට ස්වයං නීර්ණ අයිතිය නැතැයි තර්ක කළ ඔහුගේ මඟ පෙන්වීම සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සෙසු නායකයන්ට පමණක් නොව, විජේවීර ඇතුළු පසුකාලීනව ජවිපෙ බිහි කිරීමට පුරෝගාමී වූ නායකයන්ට ද (ඔවුන් බොහෝ දෙනෙක් දේශපාලනය ආරම්භ කළේද ලංකා කොමියුනිස්ට් පක්‍ෂය තුළය) බලපෑවේය.

අනෙක් අතින් සැළකිය යුතු දෙමළ හා මුස්ලිම් ගොවි ප්‍රජාවක් සිටියදීත්, බොහො දුරට ඔවුන් සම්බන්ධ අඩු අවධානයක් යොමු කළ ගොවි සම්මේලනය පදනම් වූයේ සිංහල ගොවි ජනයා මත වීම ද මෙයට හේතුවක් විය. දෙමළ ප‍්‍රදේශවල කි‍්‍රයාකාරීන්ද මුල් කාලීනව ගොවි සම්මේලනය තුළ සිටිය ද, සම්මේලනයේ නිල ආස්ථානය හේතුවෙන් ඔවුන් ද යොමු වූයේ දෙමළ ගොවි ජනයා මුහුණ දුන් සුවිශේෂී ජාතික පීඩනය නොතකා පංතිමය වශයෙන් ඔවුන් විඳි පීඩනයන් පමණක් ප්‍ර‍මුඛ කොට ක්‍රියා කිරීමට ය. මේ තත්ත්වය තරමක් හෝ වෙනස් වූයේ ගොවි සම්මේලනය පක්‍ෂයකට අනුබද්ධ වී සිටීමෙන් ඉවත් වී, විවිධ දේශපාලන කණ්ඩායම්වල පිරිස්වලට ඒ තුළ වැඩ කිරීමට හැකි ස්වාධීන පදනමක් ගොඩ නැගීමෙන් පසුවය.

ඒ අනුව කල්‍යානන්ද තිරාණගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා කොමියුනිස්ට් පක්‍ෂය, ගාමිණී යාපා නායකත්වය දුන් පෙරදිග සුළඟ ව්‍යාපාරය, වික්‍ර‍මබාහු සහ වාසුදේවගේ මුලිකත්වයෙන් යුතු නව සම සමාජ පක්‍ෂය, වසන්ත දිසානායක නායකත්වය දුන් ජනතා සංගමය හා ධර්මසේකර සහ කුලියාපිටියේ ප්‍ර‍නන්ද විසින් මෙයෙවන ලද ප්‍රජාතන්ත‍්‍රවාදී ආරක්‍ෂක පෙරමුණ වැනි කණ්ඩායම්වල මූලිකත්වයෙන් සමස්ත ලංකා ගොවි සම්මේලනය නව ස්වරූපයකින් ප්‍ර‍තිසංවිධානය කොට වැඩ ආරම්භ කරන ලද්දේ ‘80 වකවානුවේදී ය. මෙහිදී ගාමිණී යාපාගේ පෙරදිග සුලඟ ව්‍යාපාරයට කලින් සම්බන්ධ වී සිටි යාපනයේ ගෞරි කාන්දන් ගේ නායකත්වයෙන් තිබූ යාපනයේ ග‍්‍රාමීය කම්කරුවන්ගේ සංගමයද, ගොවි සම්මේලනයට අනුබද්ධ වීම සුවිශේෂී සිද්ධියක් විය. ඒ සමගම ඒ වන විට අනවසර ගොවීන් ලෙස වවුනියාව ආශ්‍රිතව ජීවත් වූ, 1977 වතුකරයට එල්ල වූ ජාතිවාදී ප‍්‍රහාරවලින් පලවා හරින ලද දෙමළ වතු කම්කරුවන්  මත පදනම් වූ  ගාන්දියම් ගොවි ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ දොස්තර සෝමසුන්දරම් රාජසුන්දරම් ද ගොවි සම්මේලනය හා සම්බන්ධ විය.

ඒකාබද්ධ ගොවි ජනතා පෙරමුණක්

මේ කාලයේ දී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය ලංකාව තුළ තහවුරු කරමින් සිටියේය. ඒ යටතේ විදේශ සමාගම්වලට ශී‍්‍ර ලංකාවේ ගොවි බිම් විශාල වශයෙන් බිලි දීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වෙමින් පැවතිනි. ඒ සඳහා ශී‍්‍ර ලංකාවේ අනවසර ගොවීන් ඉඩම්වලින් නෙරපා හැරීමේ වැඩපිළිවෙලක් සඳහා ‘අනවසර ගොවීන් නියමානුකූල කිරීමේ පනත’ ආදිය සම්මත කරගෙන තිබූ අතර, වව්නියාව, මන්නාරම හා මොණරාගල දිස්ති‍්‍රක්ක විදේශ සමාගම් සඳහා විවෘත අපනයන කලාප වශයෙන් ප‍්‍රකාශයට පත්කර තිබුණි. ගොවි ප‍්‍රදේශවලට එල්ල වූ මෙම ප‍්‍රහාර ඉදිරියේ සමස්ත ලංකා ගොවි සම්මේලනය, ශී‍්‍ර ලංකාවේ සියලූ ගොවි සංවිධාන එක්සත් කර විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කර තිබුණි. සම්මේලනය විසින් ඉහත කී ප‍්‍රශ්න මුල් කරගෙන සියලූ ගොවි සංවිධානවලට කැඳවීමක් කර ‘ගොවි සම්මේලන ඒකාබද්ධ කමිටුව’ පිහිටුවන ලදී. එහිදී ගොවි සම්මේලනයේ උපාය මාර්ගය වූයේ, ඉහත කී විවෘත ආර්ථික උපාය මාර්ගයට විරුද්ධ සියලූ බලවේග එක්සත් කිරීම ය. ඒ අනුව ගොවි සම්මේලනය, යාපනය ග‍්‍රාමීය කම්කරුවන්ගේ සංගමය, වව්නියාව ගාන්දියම් ගොවි සංවිධානය, කෘෂි කාර්මිකයින්ගේ සංගමය (ලංකා සම සමාජ පක්‍ෂය), ශී‍්‍ර ලංකා ජාතික ගොවි සම්මේලනය (ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය) ශී‍්‍ර ලංකා නිදහස් ගොවි සංවිධානය (ශී‍්‍ර.ල.නි.ප) යන සියළු සංවිධාන ගොවි සම්මේලන ඒකාබද්ධ කමිටුවට එක් විය. නිදහස් ගොවි සංවිධානය ඇත්තෙන්ම නමට පමණක් තිබූ සංවිධානයක් වුවද, එම නම අප ඈඳාගනු ලැබුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය යටතේ සිටි විශාල ගොවි ජනතාවක් එකතු කර ගැනීමේ අවශ්‍යතාවය මත ය. ඒකාබද්ධ ගොවි සම්මේලන කමිටුවේ ඒකාබද්ධ ප‍්‍රකාශනයට ශී‍්‍ර ලංකා නිදහස් ගොවි සංවිධානයේ අත්සන ලෙස දි.මු. ජයරත්නගේ අත්සන ලබා ගත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හරහා එම සංවිධානය තුළ සාකච්ඡා කිරීමෙන් ද තොරව ය. මෙහිදී යාපනයේ ග‍්‍රාමීය කම්කරුවන්ගේ සංගමයත්, වව්නියාවේ ගාන්දියම් ගොවි සංවිධානයත් මෙයට එකතු වීමට තීරණය කළේ එම ප‍්‍රදේශවල ගොවි ජනතාවට බලපාන සුවිශේෂී ප‍්‍රශ්න පිළිබඳ සිංහල ප‍්‍රදේශවල ගොවි සංවිධාන එකඟවීමේ කොන්දේසිය මත පමණි. ඔවුන් ඉදිරිපත් කළ ප‍්‍රශ්න අතර පහත සඳහන් කරුණු ප‍්‍රධාන විය.

කඳුකර ප‍්‍රදේශවලට 1977, 1981 ආදී කාලවල දී එල්ල වූ ජාතිවාදී ප‍්‍රහාර නිසා දහස් ගණනක දෙමළ වතු කම්කරුවන් පිරිසක් අනාථයන් ලෙස රජය මගින්ම වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම ආදී ප‍්‍රදේශවලට ගෙන ගොස් දමන ලදී. සමහර ප‍්‍රදේශවල දෙමළ ජනයා දිවි බේරාගෙන මෙක ප‍්‍රදේශවලට පලා ආහ. ඔවුන්ට ජීවත්වීම සඳහා සහනාධාර සපයා, දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා ගත් ගොවිපල භූමිවල පදිංචි කරවා තිබිණ. නමුත් ඔවුන්ට පුරවැසිභාවය නොමැති නිසා (තිබෙන පුරවැසිකම ලියාපදිංචියෙන් ලැබූ පුරවැසිකමක් නිසා) රජය මගින් මේ ඉඩම්වලට අනවසර බලපත් හෝ ලබාදෙනු නොලැබීය. දැන් ඔවුන් සාර්ථක ගොවීන් බවට පත් වී ඇති අතර, මේ අයට පුරවැසිකම් නොසලකා ඉඩම් බලපත‍්‍ර ලබාදිය යුතු යයි ගාන්දියම් ගොවි සංවිධානය ඉල්ලා තිබුණි. මීට අමතරව නැගෙනහිර පළාත තුළ බලහත්කාර සිංහල ජනපද ඇති කිරීම අත්හිටුවීම ද තවත් ඉල්ලීමක් විය.

අනෙක් අතින් යාපනය දිස්ති‍්‍රක්කයේ ඉඩම් හිඟය ඉතා උග‍්‍ර ය. එම ප‍්‍රදේශවල ඉඩම්වලින් විශාල කොටසක් හමුදා කඳවුරුවලට අල්ලා ගෙන තිබුණි. තිබෙන ඉඩම්වලින් වැඩි කොටස කුලීන දෙමළ ඉඩම් හිමියන්ට අයත් වී තිබීම නිසා දිළිඳු ගොවීන් හා කෘෂිකාර්මික කම්කරුවන්ට වගා කිරීමට ඉඩම් තබා මිනියක් වළ දැමීමටවත් ඉඩමක් සොයා ගැනීම දුෂ්කර විය. ඒ නිසා උතුරු පළාත තුළ ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් කරන ලෙස යාපනය ග‍්‍රාමීය කම්කරුවන්ගේ සංගමය ඉල්ලා සිටියේය. අනෙක් අතින් විවෘත ආර්ථිකය නිසා යාපනය ප‍්‍රමුඛ උතුරු නැගෙනහිර ගොවීන්ගේ ළූනු, මිරිස් ආදී වගාවලට වෙළඳ පොළ අහිමිවීමේ තත්ත්වය අහෝසි කරන ලෙස ද, කෘෂිකාර්මික ගොවීන්ගේ දෛනික වැටුප වැඩිකරන ලෙසද ඉල්ලීම් ඊට ඇතුළත් කර තිබුණි.

දෙමළ ගොවි සංවිධාන දෙකෙන් ඉදිරිපත් වූ මෙම ඉල්ලීම් පිළිබඳව සමස්ත ලංකා ගොවි සම්මේලනය තුළත්, අනිකුත් ගොවි සංවිධාන තුළත් සාකච්ඡා වූ අතර, එය සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් ගොවි සංවිධානයේ එකඟත්වය පිළිබඳ පරීක්‍ෂා කිරීමකින් තොරව ය. ගොවි සම්මේලනය තුළ ද සමහර කොටස් මේ පිළිබඳව එකඟවූයේ ඔවුන්ට ඒ සඳහා විරුද්ධවීමේ ශක්තියක් නොතිබූ හෙයිනි. කෙසේ හෝ මේ පිළිබඳ එකඟත්වය ප‍්‍රකාශවීමත් සමග ඉල්ලීම් නවයක් මුල් කරගත් උද්ඝෝෂණය ඇරඹුණේ එම ඉල්ලීම් පිළිබඳ දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් ද සමග ය. මෙම රැස්වීම්වලදී ඉල්ලීම් නවය මුල්කරගත් පෙත්සමකට ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම ද සිදු විය. මේ පෙත්සම ජනාධිපතිට භාරදීම සඳහා දිනයක් තීන්දු කරගත් අතර, ඒ අනුව ඒ සඳහා කොළඹට ගොවි ජනයා කැඳවීමට තීන්දු විය. ඒ කාලයේදී කම්කරු අරගලවලට රාජ්‍ය අනුග්‍ර‍හ ලත් මැර ප‍්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය සිදුවීමක් විය. ඒ නිසා මෙයට කම්කරු සංවිධානවල සහය ලබාගැනීම සඳහා සාකච්ඡා ගණනාවක්ද සිදු වූ අතර, ඒ සඳහා සකී‍්‍රය ප‍්‍රතිචාරයක් ලැබුණේ නැති තරම් ය. කම්කරුවන්ගේ සහය ලැබුණත් නැතත් උද්ඝෝෂණය පැවැත්වීමේ ස්ථිර අධිෂ්ඨානයක් සමස්ත ලංකා ගොවි සම්මේලනය පෙන්නුම් කළ නිසා අවසානයේදී 1982 සැපැතැම්බර් 9 වැනිදා පෙළපාලියකින් ගොස් ජනාධිපතිට පෙත්සම භාරදීමට තීන්දු කරන ලදී. මෙහි වැදගත්ම සිද්ධිය වූයේ යාපනයේ හා වව්නියාවේ සිට සැලකිය යුතු දෙමළ ජනතාවක් මෙම උද්ඝෝෂණයට එකතු වීම ය.

සෝමසුන්දරම්, විජේසූරිය හා ඇතුගල ඝාතනය

රජයේ ලිපිකරු සේවා සංගමයට ඒකාරාශී වූ කම්කරු ගොවි ජනතාව සමග බෞද්ධ භික්ෂූන් හා පූජකවරු සැලකිය යුතු පිරිසක් සහභාගි වූ අතර, ශාලාවේ සිට කොළඹ පාර්සන්ස් පාරට 2000 ක පමණ ජනතාවක් ගමන් ගන්නා විට, පොලිස් අශ්වාරෝහකයන් පිරිසක්ද සමග විශාල පොලිස් බල ඇණියක් පෙළපාලිය වැළැක්වූහ. එතැන් සිට උද්ඝෝෂණය ඇරඹුණි. සිංහල දෙමළ සටන් පාඨ හඬ නැගුණි. ‘කම්කරුවන්ගේ, ගොවියන්ගේ, ශිෂ්‍යයන්ගේ, කාන්තාවන්ගේ හා පීඩිත ජාතීන්ගේ සමගිය දිනේවා’ යන්න උද්ඝෝෂණයේ තේමාව විය. ජනතා බලපෑම මත ජනාධිපති මන්දිරය දෙසට ගමන් කිරීමට ගත් උත්සාහය පොලීසිය විසින් වැළැක්වූ අතර නියෝජිත පිරිසකට ජනාධිපති මන්දිරය වෙත ගොස් පෙත්සම භාර දීමට අවසර දෙන ලදී. එම නියෝජිත පිරිස ආපසු පැමිණෙන තෙක් පාර්සන්ස් පාරේ උද්ඝෝෂණය පැවැත්විණි. එහිදී ගොවි සම්මේලනයේ සභාපති කුලරත්න වික‍්‍රමසිංහ රජයේ ලිපිකරු සේවා සංගමයේ කෙටි තාප්පය මතට නැග උද්යෝගිමත් කතාවක් ද පවත්වන ලදී. ඉන්පසු ඩි මෙල් පිටියේ සූදානම් කර තිබූ රැලියට පෙළපාලියකින් යෑමට උත්සාහ ගත්ත ද පොලීසිය එය වැළැක්වීමට දරන ලද උත්සාහය නිසා, ඩි මෙල් පිටියට යන තුරු පොලීසියත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය. නමුත් බාධක නොතකා ඩිමෙල් පිටියේදී ‘කම්කරුවන්ගේ, ගොවීන්ගේ, ශිෂ්‍යයන්ගේ, කාන්තාවන්ගේ හා පීඩිත ජාතීන්ගේ සමගිය දිනේවා’ යන තේමා බැනරය යටතේ සාර්ථක රැස්වීමක් පැවැත්වීමට ගොවි සම්මේලනය සමත් විය.

මෑත ඉතිහාසයේ පළමුවරට කම්කරු, ගොවි, බහු ජනතාව සහ දෙමළ ජනයා පීඩිත ජාතියක් නියෝජනය කරමින් සමගිව කටයුතු කිරීමක් මෙහි දී දක්නට ලැබුණි. දකුණේ පීඩිත පංතීනුත්, උතුරු නැගෙනහිර පීඩිත ජාතීනුත් සමගි කිරීමේ එම උත්සාහය අඛණ්ඩව වර්ධනය වී නම් පසුව උද්ගත වූ ඛේදජනක තත්ත්වය නිර්මාණය නොවීමට ඉඩ තිබුණි. නමුත් සිදුවූයේ එවැනි සාධනීය වර්ධනයක් නොවේ. 1983 අප්‍රේල් 06 වැනිදා වවුනියාවේ ගාන්ධියම් ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයට කඩා වැදුණු පොලිස් බලඇණි ගාන්දියම් ගොවි සංවිධානයේ දොස්තර රාජසුන්දරම් ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබූ අතර, ඉන් තුන් මාසයක ඇවෑමෙන් පුපුරා ගිය කළු ජූලියේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී ඔහුව කපා කොටා ඝාතනය කරනු ලැබිණ. සමස්ත ලංකා ගොවි සම්මේලනය තුළම ජාතික ප‍්‍රශ්නයේදී ගැටළු සහගත ස්ථාවරයක් ගත් පිරිස්, දෙමළ ජාතික අරගලයට පක්‍ෂපාතී කොටස් සමග මතභේද ගොඩනගා ගත්හ. අවසානයේදී 1988-89 වකවානුවේදී ගොවි සම්මේලනයේ සමහර පිරිස් ජවිපෙ ජාතිවාදී උද්ඝෝෂණ ව්‍යාපාරයන්ට සහය දෙන තත්ත්වයට පත් වූ අතර, ජාතිවාදී පත්තරවලට නිර්නාමිකව ලිපි ලියමින්, එකී ස්ථාවරය පිළි නොගත් අප ඊළාම්වාදීන් ලෙස හංවඩු ගසන තත්ත්වයක් උදා විය. මෙය කෙළවර වූයේ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ කීර්තිමත් නායකයන් හා ක්‍රියාකාරිකයන් වූ ටී.බී. විජේසූරිය, ජේමිස් ඇතුගල වැනි ජාතිවාදයට එරෙහි ප්‍ර‍ගතිශීලීන් විශාල පරිසක් ජවිපෙ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය මගින් මරා දැමීමෙනි. පීඩිත ජනයා අතර ඒකාබද්ධතාවක් ගොඩනැඟීම වඩ වඩා අසීරු කළ පසුකාලීන අවසනාවන්ත කාල පරිච්ඡේදයකට දොරටු විවර කරන ලද්දේ මේ සිදුවීම් විසිනි.☐

(මතු සම්බන්ධයි)

පැට්‍රික් ප්‍ර‍නාන්දු


© JDS


III වන කොටස: නිව්ටන් ගුණසිංහගෙන් පංති විශ්ලේෂණයක්