වාම ප්‍ර‍ත්‍යාවලෝකන: 'ඉක්බිති දෙසැම්බරයේදී අපි ජනතා සංගමය ආරම්භ කළෙමු' - I කොටස

කෑගලු විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයෙකුව සිටියදී තුඩුගලගේ පැට්‍රික් විජය ප්‍ර‍නාන්දු, ක්‍රියාකාරී වාම දේශපාලනයට ඇදී ආවේ ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව විසින් ගෙන ඒමට තැත් කළ ඊරියගොල්ල අධ්‍යාපන ප්‍ර‍තිසංස්කරණයන්ට එරෙහිව 1967දී පැතිර ගිය ශිෂ්‍ය උද්ඝෝෂණයන් ඔස්සේ ය. නමුත් ඊටත් කලින් සිට වාමාංශික දේශපාලනය කෙරෙහි ඔහු ආකර්ශනය කරන ලද්දේ කෑගලු දිස්ත්‍රික්කය තුළ ලංකා සම සමාජ පක්ෂයේ මුල් පෙළ සාමාජිකයෙකු වශයෙන් කෑගල්ලේ උප නගරාධිපතිවරයා ලෙස ද කලක් ක්‍රියාකළ සිය පියාගේ දේශපාලන ක්‍රියාකාරීත්වයන් විසිනි.

1968දී එවකට ජනතා විමුක්ති පෙරමුණ ලෙස සංවිධානය වෙමින් තිබූ නව උද්‍යෝගීමත් දේශපාලන කණ්ඩායම හා සම්බන්ධ වූ පැට්‍රික්, 1971 අප්‍රේල් නැගිටීම වනවිට පින්දෙණිය කොට්ඨාශ ලේකම්වරයා ලෙස ක්‍රියාකළ අතර අප්‍රේල් 05 වැනිදා පින්දෙණිය පොලිස් ස්ථානය යටත් කරගැනීමේ අරමුණින් එල්ල කළ අසාර්ථක ප්‍ර‍හාරයට සහභාගී වී පසුව බලපත්තාව දක්වා පසුබැස්සේය. අප්‍රේල් 07 වැනිදා දෙවන වර එල්ල කිරීමට සැළසුම් කළ ප්‍රහාරයට පෙර පොලිස් ස්ථානය අත්හැර දැමීම හේතුවෙන් පින්දෙණිය පොලිස් බල ප්‍රදේශය කැරළිකරුවන් අතට පත්වුවද, ඉක්බිති එළඹි සති කිහිපයේදී නැඟිටීමේ පරාජය නොවැළැක්විය හැකි ලෙස මතුව ආවේය. 1971 මැයි මාසයේදී පසු බසිමින් සිටිය දී රජයේ අත් අඩංගුවට පත් පැට්‍රික්, පුරා සය වසක් දිග්ගැසුණු බන්ධනාගාර දිවියකින් පවා මැඩලිය නොහැකි ලෙස සිය විප්ලවීය අරමුණු හා බැඳී සිටියේය. ජවිපෙ දේශපාලනයෙන් බිඳී ගිය පිරිස් අතරින් මුල් අවධියේ බිහි වූ වඩාත්ම සංවිධිත දේශපාලන ප්‍ර‍යත්නය සේ සැළකිය හැකි ‘ජනතා සංගමය‘ බිහි කිරීම සඳහා දායක වීමෙන්ද, අනතුරුව එළඹි දශක කිහිපය තුළ ‘දියැස‘ අධ්‍යයන කවය හා 'දියැස' න්‍යායික සඟරාව ගොඩ නැංවීම පිණිස සිදුකළ පුරෝගාමී මැදිහත්වීමෙන් ද ඔහු විසින් විශද කරන ලද්දේ සමාජ විපර්යාසයක් කෙරෙහි නොනැසී පැවති නොනිමි විප්ලවීය අනුරාගයයි. හතළිස් පස් වසකට වැඩි කලක් දිවෙන විප්ලවකාරී සප්‍ර‍තිපත්තික දිවියක දුලබ අරුත සිය අරගලකාරී, අල්පේච්ඡ පැවැත්මෙන් ජීවමාන කිරීමට සමත්ව ඇති අතළොස්සක් දෙනා පිළිබඳ සජීවි මුලාදර්ශයක් පැට්‍රික් ප්‍ර‍නාන්දු විසින් සපයයි.

ජනතා සංගමය හා සමස්ත ලංකා ගොවි සම්මේලනය ආශ්‍රිත දුෂ්කර දේශපාලන භාවිතාවන්ගෙන් උකහා ගත් අත්දැකීම් පාදක කොටගෙන මෙම ලිපි පෙළ ලිවීම ඔහු විසින් ආරම්භ කරන ලද්දේ 2006 අගෝස්තුවේදී ය. එවකට ප්‍ර‍කාශයට පත් කළ ‘දියැස‘ සඟරාවේ මින් සමහරක් කඩින් කඩ පළ වූ අතර, ලාංකීය වාමාංශික දේශපාලනයේ අප්‍ර‍කට පරිච්ඡේදයන් සේ සැළකිය හැකි  ඓතිහාසික සිදුවීම් දාමයන් පිටුපස ක්‍රියාත්මක වූ දේශපාලන ගතිකයන් මතු පරම්පරාවන්ට විමසා බලනු වස් මෙමගින් ඔහු කදිමට විදාරණය කර දක්වයි.  - සංස්කාරක කමිටුව


ක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ නිවැරදි කරගැනීම සඳහා හිරගෙවල දී දැරූ ආයාසකර උත්සාහය අසාර්ථක වීම නිසා, නව ව්‍යාපාරයක් ගොඩනැඟීමේ අදහසට එළඹුණු විශාල පිරිසක් හිර ගෙවල්වල සිටියහ. ඔවුනගෙන් සමහර දෙනෙක් නිදහස් වී රටේ තිබුණු වෙනත් වමේ පක්ෂවලට එකතුවුව ද, වැඩි දෙනෙක් දැරූ අදහස වූයේ නව සංවිධානයක් ගොඩනැගිය යුතු බව ය. නමුත් එයින් බහුතරයකට ජවිපෙ තුළ වැඩ කිරීමෙන් ලැබූ අත්දැකීම හැර, පීඩිත ජනයා සමග වැඩ කිරීමේ නව අත්දැකීමක් නොතිබුණි. ඒ නිසා සමහරු, ෂන්මුගදාසන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වතු කම්කරු සංවිධානයට එකතු වූහ. තවත් අය ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කරමින් සිටි ආරියවංශ ගුණසේකර, කුලරත්න වික්‍ර‍මසිංහ වැනි විප්ලවකාරී අදහස් දැරූ ගොවි නායකයන්ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියා කළ සමස්ත ලංකා ගොවි සම්මේලනයට සම්බන්ධ වී වැඩ කළහ. සැළකිය යුතු පිරිසක් එවකට ස්වාධීන වාමාංශික අදහස් දැරූ එච් එන් ප්‍ර‍නාන්දු වැන්නන්ගේ නායකත්වයෙන් මෙයෙවුණු ලංකා ගුරු සංගමයට සම්බන්ධව වී ක්‍රියා කළහ.

1977 දෙසැම්බර්වල දී ජේ ආර් ජයවර්ධන විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි කිරීමත් සමග ඒ තාක් සිරගතව සිටි අපි ද නිදහස ලැබීමු. නව සංවිධානයක් ගොඩ නැඟිය යුතුය යන අදහසේ සිටි සහෝදර - සහෝදරියන් 60-70ක පමණ පිරිසක් එකතු වී ජනතා සංගමය ගොඩනඟන ලද්දේ 1977 දෙසැම්බර් මාසයේදී ය. කලින් නිදහස් වී විවිධ සංවිධාන තුළ වැඩ කරමින් සිටි අයත් මේ එකතුවට සම්බන්ධ වූහ. ජනතා සංගමය ගොඩ නැඟීමේදී ජනතා විමුක්ති පෙරමුණේ වැරදි වටහා ගැනීම තුළ එයටම උරුම වූ ධනාත්මක ලක්‍ෂණ මෙන්ම, නිශේධනාත්මක ලක්‍ෂණ ද රාශියක් ඒ තුළ අඩංගුව තිබිණ. ජනතා විමුක්ති පෙරමුණේ වාම අන්තවාදී දේශපාලනයට එරෙහිව අරගල කිරීම තුළින් බිහි වූ අප තල්ලු වූයේ තවත් අන්තයක් වෙත ය.

අරගලයෙන් තොර සමඟිය

ජනතාවගේ බහුජන අරගලයෙන් වියෝ වූ, සංවිධානය තුළින් පමණක් ව්‍යාපාරය ගොඩනැඟීමේ ජවිපෙ අන්තයට එරෙහි වීම තුළ අප තල්ලු වූයේ මතවාදී අරගලයෙන් වියෝ වූ හුදු බහුජන අරගල මාදිලියක් වෙත ය. අප හැර අන් සියළු වාමාංශික පක්ෂ - කණ්ඩායම් ද්‍රෝහීන් ලෙස සළකමින්, අප තනිවම පක්ෂය ගොඩ නැඟිය යුතුය යන ජවිපෙ වාම අන්තවාදයට එරෙහිව අප තල්ලු වූයේ, සියළු වාමාංශිකයන් සමඟ සමගිව ව්‍යාපාරය ගොඩනැඟීය යුතුය යන අදේශපාලනික සම්මුතිවාදී අන්තයකට ය. එහි ප්‍ර‍තිඵලයක් ලෙස සමගියෙන් තොර අරගලය වෙනුවට, අරගලයෙන් තොර සමගිය වෙත අපි තල්ලු වී ගියෙමු.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයෙන් තොර මධ්‍යගතවාදී සංවිධාන ක්‍ර‍මයට එරෙහි අරගලය තුළින් අප යොමුවූයේ මධ්‍යගතවාදයෙන් තොර වූ අති ප්‍ර‍ජාතාන්ත්‍රවාදී සංවිධාන ක්‍ර‍මයකට ය.  සංවිධානයේ බහුතරයෙන් තීන්දු කළ මතවාදී ඒකාග්‍ර‍තාවටත් බොහෝ දෙනා කැමති නොවූහ. නිදහස්වාදීව ම තමන් කැමති මතවාදයන් දැරීමට බොහෝ දෙනෙකු යොමුවූයේ එහෙයිනි. සංවිධාන විනයක් ගැන කතා කළ හැම විටම බොහෝ දෙනෙකු එය ජවිප ඒකාධිපති සංවිධාන ව්‍යුහයට පෙරළා යාමක් බවට චෝදනා කළහ.

ජනතාවගේ ආර්ථික අරගල, ‘කැඳ කෝප්ප සටන්‘ ලෙස බැහැර කරමින්, කෙලින්ම රාජ්‍ය බලය මුල් කරගත් ක්‍ෂණික නැඟිටීමක් වෙත යොමු වූ ජවිපෙ වාම අන්තවාදයට එරෙහිව අප යොමුවූයේ දේශපාලන බලය පිළිබඳ ප්‍ර‍ශ්නය හුදු සංකල්පයකට පමණක් සීමා කරගත්, ආර්ථිකවාදී හා ප්‍ර‍තිසංස්කරණවාදී දේශපාලනයකට ය‍. රටේ ඕනෑම තැනක කම්කරු හෝ ගොවි ජනතාවගේ හෝ ශිෂ්‍යයන්ගේ අරගලයක් මතුවන්නේ නම් එතැනට ගොස් අරගලයට සහභාගී වී, එය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකිරීම අපේ භාවිතයක් වුව ද, ඒ තුළ සාංසිද්ධිකව විප්ලවය පිළිබඳ අදහස මතුවන්නේ යැයි අපි කල්පනා කළෙමු. අපේ අනන්‍යතාවය මතු කිරීමක් හෝ දේශපාලන අදහසක් කා වැද්දීමක් සිදු නොවිණ. අවසානයේ අරගලය ජය ගැනීමෙන් හෝ පරාජයට පත්වීමෙන් පසු එම ජන කොටස අපෙන් ඈත් වී යාම සාමාන්‍යයක් විය.

පසුකාලයේදී ජනතා සංගමයේ දේශපාලන අත්දැකීම් සමාලෝචනය කරද්දී අප ඉදිරිපත් කළ එක් අදහසක් තවමත් මගේ මතකයේ තිබේ. ඔරලෝසුවේ අවලම්බය එක් කෙළවරකට ඇදගෙන සිට අත හැරියහොත් එය නවතින්නේ අනෙක් කෙළවරේ ස්ථානයක ය. ජනතා සංගමයේ දේශපාලන අසාර්ථක වීම කෙරෙහි එක් අන්තයකින් අනෙක් අන්තයට තල්ලුවීමේ තත්ත්වය බල පෑ බව අපි කල්පසු වී වටහා ගතිමු.

මේ දියාරු මතවාදී පදනමේ සිට අපි විවිධ වාමාංශික කණ්ඩායම්වල වැරදි නොසළකා, සියළු වාමාංශිකයන් සමගි කිරීමේ අසාර්ථක උත්සාහයන් ගණනාවක් සඳහා දීර්ඝ කාලයක් අපතේ හැරියෙමු. දේශපාලන විඥානය කා වැද්දීමේ අරගලයකින් තොරව රට පුරා කම්කරුවන්ගේ හා ගොවියන්ගේ අරගලයන්ට ද අපි මැදිහත් වීමු. ඒ හරහා දැවැන්ත බහුජන ව්‍යාපාර ගොඩනැගූ නමුත් ඒවා මුල් විහිදී නොගිය ද දැවැන්ත ලෙස අතු විහිදී ගිය ගස් මෙන් සුළඟක් පැමිණි විගස බිම ඇද වැටිණ. දිස්ත්‍රික්ක 10 - 12ක පැතිරුණු සමස්ත ලංකා ගොවි සම්මේලනය  මේ පිළිබඳ මනා උදාහරණයකි. මේ පිළිබඳ සංයුක්ත අත්දැකීම් රාශියක් ඉදිරිපත් කිරීමට පුළුවන. ඒවා අදට ද හොඳින් අදාළ ය. මතවාදයක් සඳහා අරගල කිරීමෙන් තොරව, මැලේ අච්චාරු බඳු සංවිධාන ගොඩනැඟීමේ උත්සාහයන් අද වුව ද දකින්නට පුළුවන.

පක්ෂ පහේ සමගිය

ජනතා සංගමය ආරම්භ කරද්දී 71 ජවිපෙන් ඉවත් වී ශන්මුගදාසන්ගේ නායකත්වයෙන් තිබූ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩ කළ සහෝදරවරු කිහිප දෙනෙක්ම අපත් සමඟ නැවත එකතු වී සිටියහ. එදා හිරගෙවල්වල දී මාක්ස් - ලෙනින්වාදී පොතපත හැදෑරීම සඳහා ශන්මුගදාසන්ගේ පක්ෂය මගින් හිර ගෙවල්වලට පොත් පත් රාශියක් එවා තිබුණි. මැගසින් බන්ධනාගාරය රට පුරා හිර ගෙවල්වලට හා කඳවුරුවලට පොත්පත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බඳු විණ. අනෙක් අතින් ඒ කාලයේ අපට තිබූ දැනුම අනුව විප්ලවකාරී සංවිධාන ලෙස අප හඳුනාගෙන සිටි, කල්‍යානන්ද තිරාණගම හා කේ ඒ විමලපාල නායකත්වය දුන් නව ලංකා කොමියුනිස්ට් පක්ෂය, ගාමිණී යාපාගේ මූලිකත්වයෙන් යුතු ‘පෙරදිග සුළඟ‘, ජී අයි ඩී ධර්මසේකර හා කුලියාපිටියේ ප්‍ර‍නන්ද යන අයගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ ජාතික ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පෙරමුණ සහ අප අයත් ජනතා සංගමය යන පක්ෂ හා සංවිධාන මතවාදී වශයෙන් මාඕවාදය පිළිගැනීම ධනාත්මක කාරණයක් ලෙස ඒ කාලයේ අපි කල්පනා කළෙමු. බැලූ බැල්මට මේ සියළු සංවිධාන මතවාදී වශයෙන් ‘සමාන‘ තත්ත්වයක සිටියහ. එම නිසා මේ පක්ෂ හා සංවිධාන පහ එක් සංවිධානයක් බවට පත්විය යුතු යැයි ද ඒ කාලයේ අපි සිතීමු.

ඒ අනුව, ශන්මුගදාසන්ගේ කොල්ලුපිටියේ නිවසට එකතු වූ අපි එකිනෙකා අතර මතවාදී සමානකම් මෙන්ම වෙනස්කම් ද පැවතුණු බව වටහා ගතිමු. මෙහි පළමු කාර්යය වූයේ ඒ වනවිටත් (1978-79) ප්‍රධාන ගැටළුවක් ලෙස මතු වී තිබුණ ජාතික ප්‍ර‍ශ්නය පිළිබ‍ඳව සාකච්ඡා කර ඒකමතිකත්වයකට ඒමට උත්සාහ කිරීම ය.

වැල්ලවත්තේ රෙදිමෝල ඉදිරිපිට ලංකා කොමියුනිස්ට් පක්ෂයට අයත් ශාලාවක පැවැත්වුණු එම සාකච්ඡාවට හැම සංවිධානයකින්ම පස් දෙනෙක් බැගින්  සහභාගී වූහ. මුලින්ම ශන්මුගදාසන් සහෝදරයා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍ර‍ශ්නය පිළිබඳව එම පක්ෂය දරණ අදහස ඉදිරිපත් කළේය. එම අදහස කෙටියෙන් පවසතොත් මෙවැන්නකි:

“ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා තවම ජාතියක් හැටියට වර්ධනය වී නැහැ. ඒ නිසා ඔවුන්ට ස්වයං නීර්ණ අයිතිය තිබේ යැයි කියන්න බැහැ. ස්වයං නීර්ණ අයිතිය තිබෙන්නේ පීඩිත ‘ජාතීන්ට‘යි. නමුත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ජාතියක් සේ වර්ධනය වී නැහැ. එහෙත්, ඔවුන් පීඩාවට පත් කිරීමට අප විරුද්ධ විය යුතුයි.

“ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා තවමත් ජාතියක් ලෙස වර්ධනය නොවීමට හේතුව, ඔවුන්ට ‘වෙනම‘ ආර්ථිකයක් නැතිවීමයි. උතුරු - නැගෙනහිර දෙමළ ජනයාට ඇත්තේ ‘මනි ඕඩර්‘ ආර්ථිකයක්. කොළඹ හෝ වෙනත් පළාතක රැකියා කරන ඔවුන් උතුරු - නැගෙනහිර ඉන්න තම පවුල්වලට මනි ඕඩර් යවමින් ඔවුන් නඩත්තු කරනවා. ජෝස්ෆ් ස්ටාලින් ජාතියක් විග්‍ර‍හ කරද්දී ඒ සඳහා කරුණු හතරක් සම්පූර්ණ විය යුතු බව පැවසුවා. ඒවා නම් පොදු භාෂාවක්, පොදු භූමි භාගයක්, පොදු සංස්කෘතික මනෝභාවයක් හා වෙනම ආර්ථිකයක්. ස්ටාලින්ට අනුව මේ එකක් හෝ සම්පූර්ණ නොවේ නම් ඔවුන් ජාතියක් ලෙස විග්‍ර‍ කරන්න බැහැ. ඒ නිසා වෙනම රාජ්‍යයක් ගැන උතුරේ හා නැගෙනහිර දෙමළ සංවිධාන කතා කිරීම වැරදියි. එසේ වුවත්, ඔවුන්ට ස්ව පාලනයක් ලබාදීම මගින් ජනවාර්ගික අසාධාරණකම් තුරන් කළ යුතුයි.“

ශන්මුගදාසන් යාපනයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණත් සමග විවෘත විවාද පැවැත්වූයේ වෙනම රාජ්‍යයක්/ස්වයං නීර්ණ අයිතිය ඉල්ලීම වැරදිය යන මේ මූලික පදනම මත පිහිටා ය. සාකච්ඡාවේ සිටි අනෙකුත් මාඕවාදී කණ්ඩායම් තුනම ශන්ගේ අදහසට එකඟව කතා කළහ. එයට විරුද්ධව කතා කරන ලද්දේ ජනතා සංගමයේ අප පමණි. අපේ තර්කය සාරාංශ කොට කිවතොත් මෙසේ ය:

“ස්ටාලින්ගේ මතයට අනුව ජාතියක් හැටියට වර්ධනය වීමේදී සම්පූර්ණ විය යුතු කරුණු හතර වූයේ පොදු භාෂාවක්, පොදු භූමි භාගයක්, පොදු සංස්කෘතික මානසික හැඩ ගැස්මක් හා පොදු ආර්ථික ජීවිතයක් යන ඒවායි. පොදු ආර්ථික ජීවිතය (common economic life) යන කාරණය ශන්මුගදාසන් විග්‍ර‍හ කළ ආකාරය වැරදියි. වැඩවසම් ක්‍ර‍මය ධනපති ක්‍ර‍මය දක්වා සංවර්ධනය වීමේදී එදා පැවති රදළ වැඩවසම් හුදකලා ආර්ථික ඒකක, වෙළඳාම තුළින් ඒකාබද්ධ වී පොදු ආර්ථික ජීවිතයක් ගොඩනැඟී තිබේ නම් එම තත්ත්වය ජාතියක් හැටියට වර්ධනය වීමක් ලෙස සළකනවා. දළ උදාහරණයක් ලෙස රුහැණු, මායා, පිහිටි වශයෙන් ශ්‍රී ලංකාව බෙදී පවතිද්දී ඒ එක් එක් කොටසට ස්වාධීන වූ ආර්ථියක්, ස්වාධීන වූ සංස්කෘතියක් හා එම කලාපවලට අනුව නිශ්චිත වෙනස්කම් සහිත භාෂාවක් පැවතියා. උඩරට හා පහත රට සිංහල, යාපනේ හා මඩකළපු දෙමළ වශයෙන් තවමත් ඉතිරිව පවතින්නේ මේ වනස්කම් ය. ධනේශ්වර වෙළඳපොළ වර්ධනය වීම තුළ තමයි මේවා ඒකාබද්ධ වී පොදු තත්ත්වයක් වර්ධනය වූයේ. එම වර්ධනයත් සමගයි, සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් වර්ධනය වූයේත්. ජාතීන් ලෙස මෙම ජන වර්ගයන් වර්ධනය වී දැනටත් බොහෝ කාලයක් ගත වෙලා.

“මේ අනුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ජාතියක් ලෙස වර්ධනය වී තමන්ට එල්ල වූ ජාතික පීඩනයට එරෙහිව අරගලයක සාමූහිකව යෙදීම තුළින් ඔවුන් තව තවත් වර්ධනයන් අත්පත් කරගෙන තිබෙනවා. ඔවුන්ට එක රටක විසීම මගින් ජාතික පීඩනයෙන් මිදෙන්නට නොහැකි නම්, වෙන්වීමේ අයිතිය තිබෙන බව මාක්ස්වාදීන් පමණක් නොව, අද වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පිළි අරගෙනයි තිබෙන්නේ.“

මාඕවාදයෙන් ජාතිවාදයට

පසුකාලීනව විජේවීර හා ජනතා විමුක්ති පෙරමුණ විසින් පිළිගනු ලැබුවේ ද ශන්මුගදාසන්ගේ මෙම වැරදි විග්‍ර‍හයම විය. ‘දෙමළ ජනයා ජාතියක් නොව, ජාතිකත්වයක්‘ ලෙස ඔවුන් විග්‍ර‍හ කරනුයේ මේ අනුව ය. නිර්ධන පංති විප්ලවය පිළිගන්නා ගමන්, දෙමළ ජාතියට ස්වයං නීර්ණ අයිතිය හා අඩු තරමින් ස්වයං පාලනයක්වත් ඔවුන් පිළිගන්නේ නැත්තේ ද මේ හේතුවෙනි.

ලංකාවේ ඉතිරි වී සිටින මාඕවාදීන් අදත් දෙමළ ජනයාගේ අරගලයට විරුද්ධ වන්නේත්, සමහර අතීත් මාඕවාදීන් අද වන විට උග්‍ර‍ ජාතිවාදීන් වී ඇත්තේත් මෙහිම තාර්කික වර්ධනයක් අනුව විය හැක. නමුත් පිලිපීනයේ, නේපාලයේ ආදී රටවල අරගල කරන මාඕවාදීන් පීඩිත ජාතීන්ගේ ස්වයං නීර්ණ අයිතිය විවෘතව පිළිගෙන තිබේ.

කෙසේ වුවද අප ඉදිරිපත් කළ ඉහත විග්‍ර‍යට ශන්මුගදාසන් ඇතුළු අනෙක් මාඕවාදී කණ්ඩායම් විරුද්ධ වූහ. ඒ හේතුවෙන්ම පොදු සමගියක් සඳහා වූ සාකච්ඡා ඇන හිටියේය.

මෙහිදී කණ්ඩායම් හා පක්ෂ ඒකාරාශී කිරීමේ තදබල උවමනාව මත අප තවදුරටත් (ජනතා සංගමයේ අභ්‍යන්තරයේ පූර්ණ එකඟතාවක් නැතිව තිබිය දීත්) යෝජනා කරන ලද්දේ සෑම සංවිධානයකින්ම සාමාජිකයන් සමාන ගණනක් සහභාගී කරවන පොදු සම්මේලනයක් පවත්වා, බහුතරයේ මතය සංවිධානයේ මතය වශයෙන් පිළිගෙන ඒකරාශී කිරීම කළ යුතු බව ය. පරාජය වූ මතය දරණ අයට අභ්‍යන්තර අරගලයක් කිරීමට ඉඩකඩ ලබාදීම තුළ අනාගතයේදී නිවැරදි මතය ජයගැනීමට අවස්ථාව උදාවන බවට අපි විශ්වාස කළෙමු. එය පිළිගැණුනේ නැති අතර, ඒ සමග සාකච්ඡාවන් ද සහමුලින්ම අවසන් වුණි.

ඇත්තෙන්ම නම් අප උත්සාහ කොට තිබුණේ ජාතික ප්‍ර‍ශ්නය වැනි රටේ තීරණාත්මක ප්‍ර‍ශ්න ‘සමගිය‘ පිළිබඳ සටන් පාඨයක් තුළ යටපත් කිරීමට ය. මේ අන්දමේ දේවල්, අළුත් පරම්පරාවන් විසින් ද නැවත නැවතත් අත්හදා බැලීමට දරණ උත්සාහයන් අද ද දකින්නට පුළුවන.

ලාංකීය දේශපාලනය තුළ නිවැරදි මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාරයක් ගොඩනැඟෙන්නේ කෙසේ ද යන ප්‍ර‍ශ්නයට නිසි විසඳුමක් ඉදිරිපත් වී නොමැති තත්ත්වයක් තුළ මෙබඳු අත්දැකීම් ප්‍රයෝජනවත් වනු ඇති බැව් අපගේ අදහසයි.☐

(මතු සම්බන්ධයි)

පැට්‍රික් ප්‍ර‍නාන්දු


© JDS

 

II වන කොටස: පාර්සන්ස් පාර සිංහල දෙමළ සටන් පාඨවලින් ඇළලී ගියේය’