ප්‍ර‍ත්‍යවේක්‍ෂණ: බුදුන්ගේ ලංකා ගමන නොහොත් බුදුන්ගේ ලේ නෑයෝ - II

සිද්ධාර්ථගේ පියා වූ සුද්දෝදන හා ‘ගිරිපාද ජනපදයේ‘ මහින්ද රාජපක්ෂ ලේ නෑකමකින් ගැටගැසී ඇති බැව් ජැක්සත් ඇන්තනී මාර්ගයෙන් ලංකාවාසීන් දැනගත්තේ පස් අවුරුද්දකට කලිනි. නමුත් සිංහලයන් සහ බුදුන්ගේ නෑකම ගැන පුරාවෘත ඊට වඩා පැරණි ය. ‘80 දශකයේ සිට ‘90 දශකයේ මැද භාගය වන තෙක් පළ වූ ප්‍ර‍මුඛතම සංස්කෘතික මතවාදී විවර්ණිකාවක් වූ ‘මාවත‘ සඟරාවේ සංස්කාරක මණ්ඩලයේ එස් විජේසූරිය විසින් මුල්වරට සිංහලට නඟන ලද මෙම ලිපියේ පළමු කොටස අපි මීට කලින් පළ කළෙමු. මෙහි පළ කෙරෙන්නේ, මාවත සඟරාවේ 16 වැනි කලාපයෙහි  (1980 ඔක්තෝම්බර් - දෙසැම්බර්) පළ වූ එම ලිපියේ දෙවන හා අවසාන කොටසයි.   "The Kinsmen of the Buddha: Myth as Political Charter in the Ancient and Early Medieval Kingdoms of Sri Lanka” මැයෙන් මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන විසින් සම්පාදනය කරන ලද මෙම ලිපිය 1976 ජූනි මාසයේ මුල්වරට පළ වූයේ  ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ Sri Lanka Journal of Humanities දෙවැනි වෙළුමේ, පළමු කලාපයෙහි ය.

කෘතහස්ත ඉතිහාසඥයෙකු වූ ගුණවර්ධන, මධ්‍යතන යුගයේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ විහාරස්ථ ජීවන සම්ප්‍රදාය හා එහි ආර්ථික පාර්ශ්වයන් පිළිබඳ  සිදුකළ හැදෑරීම් ඇසුරින් කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය වූ ‘සිවුර සහ නඟුල‘ විකල්ප ඉතිහාස ලේඛනවේදී ප්‍ර‍ණතාවකට ඉවහල් වූ පුරෝගාමී  අධ්‍යයනයක් සේ සැළකේ. සිංහල ජාතියේ සම්භවය පිළිබඳව අධිපති ඉතිහාසමය අර්ථකතන අභියෝගයට ලක් කරමින් ඔහු විසින් ලියන ලද ‘සිංහ ජනයා: ඉතිහාසය සහ ඉතිහාස ලේඛනවේදය තුළ සිංහල අනන්‍යතාව සහ දෘෂ්ටිවාදය‘ නමැති ලියැවිල්ල විසින්, ඇතැම් විට සිංහල ජාතිකවාදී කතිකාව තුළ වඩාත්ම ගර්හාවට හා වෛරයට පාත්‍ර‍ වූ ඉතිහාසඥයෙකුගේ තැනට ඔහු පත්කළ බවට සැක නැත.  ඉතිහාස විමර්ශනය පිළිබඳ මාක්ස්වාදී විශ්ලේෂණ ක්‍ර‍මවේදය බලවත් කොට තහවුරු කරනු පිණිස ගුණවර්ධන විසින් සිදුකළ දායකත්වය යළි කියවා බැලීම,  ඉතිහාස ඇදහිල්ල විසින් ප්‍රාණ ඇපයට ගත් වර්තමානයේදී වඩා වැදගත් වෙතැයි අපි සිතමු.- සංස්කාරක කමිටුව

බුදුන්ගේ ලංකා ගමන නොහොත් බුදුන්ගේ ලේ නෑයෝ - 1 කොටස


ලංකාවට බුදුන් පැමිණීමේ පුරාවෘත්තය හා මහාවංශයේ එන දුට්ඨගාමිණී කතාව අනුමත කළ හැකි හා අනුමත කළ නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියා අතර වෙනස දක්වන නව සදාචාරාත්මක මූලධර්මයක් ඉදිරිපත් කරයි. ත්‍රිපිටකයේ ඇතුළත් නොවූ මේ මූලධර්මය දිවයිනේ රාජ්‍යත්වය පිළිබඳ ඇති වූ ඉතාමත් වැදගත් සාධකයක් වන රජුන් හා බෝධිසත්වයන් අතර සම්බන්ධතාව පිළිබඳ මූලික වූවකි.

ක්‍රි.ව. 3 වන සියවසේ පාලකයකුව සිටි සිරිසඟබෝ රජුට මහාවංශය දෙන ‘මහාසත්ත‘ යන්න බෝසත්වරුන්ට යොදන නාමයකි. මේ රජ ගුණධර්මවලින් කෙළ පැමිණි ශාසනයට මහත් සේ අනුග්‍රහය දැක්වූ අයකු ලෙස සලකා ඇත. බුද්ධදාස (ක්‍රි.ව. 337-365) බෝධිසත්ව ජීවිතයක් ගත කළ බව චූලවංශය සඳහන් කරයි. එම වංශ කතාවම I උපතිස්ස (ක්‍රි.ව. 365-406) බෝධිසත්ව ජීවිතයට අවශ්‍ය දස පාරමිතා පිරූ බව කියයි. එසේම I අග්බෝධි (571-604) හා I සේන (833-853) බුද්ධත්වය පැතූ බව දක්වයි. I මහින්ද (956-972) ගේ පාලන කාලයේ මේ ප්‍රකාශවලින් ගම්‍ය වූ අර්ථය පිරිපුන් බවට පත්වූ අයුරු පෙනේ. මේ රජ තමන් නිවන් මඟට පිළිපන් බව පමණක් නොව, තම වංශයේ රජුන් බුදුන් සරණ ගිය ක්‍ෂස්ත්‍රීයන් බවත් එසේම බුදුන් විසින් සෞභාග්‍යවත් ලංකාවේ රජවරුන් වන්නේ බෝධිසත්වයන් පමණක් යයි වදාළේ මෙම ක්‍ෂ්ස්ත්‍රීයන්ට බවත් දක්වයි. මෙයින් පෙනෙන්නේ එම අවධිය වන විට ලංකාවේ රජ පැමිණෙන හැම අයකුම බෝධිසත්වයකු ලෙස සැලකූ බවයි. ගිහියකුට බෞද්ධ සමාජ සංවිධානයේ පැවතිය හැකි ඉහළම තැනට රජවරු නැංවීම මේ රටේ රාජ්‍යත්වය පිළිබඳ සංකල්පයේ වර්ධනයෙහි දියුණුම අවදියක් නියෝජනය වන බවයි. මේ ප්‍රකාශන ඇතුළත් ශිලාලේඛන ආරාම සීමා තුළම පිහිටා තිබීම ද සැළකිය යුත්තකි. මේ අදහස් අනුමත කිරීමෙන් සංඝයා විසින් ගිහියන් අතර දේශපාලනයේදී මෙන්ම ආගමික කටයුතුවලදී ද නායකයා වශයෙන් රජු පිළිගන්නා ලදී.

බෝධිසත්වයන් ලෙස හැඳින්වූ සමහර රජුන් සාධුවරු නොවූහ. I වන සේන බුද්ධත්වය පැතීම, ඉන්දියාවට පිටුවහල් කරන ලද තම විරුද්ධවාදියා වූ මහින්ද මැරවීම සඳහා ඒජන්තවරයෙකු යැවීමට බාධාවක් වී නැත. iv වන මහින්ද ඉදිකළ සෙල් ලිපිවල  සිය පාලන කාලයේ ලැබූ යුද්ධ ජයග්‍රහණ ගැන අභිමානයෙන් කතා කරයි. තම විරුද්ධවාදීන් මැරවූ හෝ බලපරාක්‍රමයෙන් කඩුව හයාගත් රජකු තුළ අනාගත බුදුවරයකු දැකිය හැකි වී නම් ඒ වන විට රණකාමී රජකු හා ත්‍රිපිටකයේ පැවති රාජ්‍යත්වය පිළිබඳ පරමාදර්ශ අතර ප්‍රතිවිරෝධතා සමනය වී පැවති බව පැහැදිලි වේ. බුදුන්ගේ ප්‍රථම ගමන පිළිබඳ පුරාවෘත්තය විග්‍රහ කිරීමෙන් එම කාර්යය දේශපාලන බලපත්‍රයක් ලෙස ගතහැකි නම් එහි තවත් දෙවන තේමාවක්ද දැකිය හැක. පුරාවෘත්තය ‘ශ්‍රී ලංකාදීපය බුදුන්ට අයත්ය‘ යන පණිවුඩයද කියයි. යක්ෂයන් එය බුදුන්ට පූජාකළා පමණක් නොව, එතුමා අධිමානුෂික බලපෑම් මඟින් ඔවුන් පළවා හැර එය තමන් වෙත පවරාගෙන ද ඇත.

දිවයින බුදුන්ට අයත්ය යන්නෙහි දේශපාලනමය වැදගත්කම වංශකතාවල එන තවත් පුරාවෘත්තයකින් පැහැදිලි වේ. වංශකතා අනුව දිවයිනෙ මුල් රජ විජයයි. එහෙත් පණ්ඩුකාභය සිහසුනට පත්වීමත් සමග අලුත් රාජවංශයක් ඇරඹෙයි. දීපවංශය ඔහුගේ පරම්පරාව විස්තර කිරීමට කෙටි පරිච්ඡේදයක් යොදාගත් අතර මහාවංශය ඔහුගේ ජීවිත කතාව දීර්ඝ ලෙස විස්තර කරයි. පණ්ඩුකාභය ප්‍රචණ්ඩය නූතන විද්වතුන්ගේ ඉමහත් අවධානයට හා විවාදයට යොමුවූවකි. ජී.සී. මැන්දිස්, මහාභාරතයේ ක්‍රිෂ්ණ පිළිබඳ කතා හා වංශකතාවල එන ඝට ජාතකය අතර සමානත්වයක් දක්වමින් මේ ප්‍රබන්ධයේ එන කෘත්‍රිම ස්වරූපය අවධාරණය කිරීම උදාහරණයක් ලෙස ගත හැක.

මහාවංශය අනුව අමිතෝදනගේ පුත්, ශාක්‍ය කුමරකු වූ පණ්ඩු තම මව්බිම හා වංශය යන දෙකම ඉක්මණින් විනාශයට පත්වන බව ඇසීය. ඔහු තම මව්බිම හැර ගොස් ගංගා නදියේ දකුණු ඉවුරේ රාජධානියක් පිහිටුවා ගත්තේය. පණ්ඩුට පුතුන් හත් දෙනෙකු හා දුවක විය. රූ රැජිනක් වූ භද්දකච්චානා දූගේ අත ගැන්මට පෙම්වතුන් රාශියක් ඉදිරිපත් වූහ. රජු ඇය නැවක නංවා ගංගා නදියේ පා කර හැර හැම අයකුටම ඇය ලබා ගන්නා ලෙස දැන්වීය. පෙම්වතුන්ගෙන් එකකුට හෝ ඇය අත්පත් කර ගත නොහැකි වූ අතර අන්තිමේ ශ්‍රී ලංකා වෙරළට පා වී භද්දකච්චානා විජයගේ බෑණා වූ පණ්ඩුවාසදේවගේ බිසව බවට පත්විය. තම සොහොයුරිය ශ්‍රී ලංකාවේ ජීවත් වන බව ඇසූ ඇගේ සොහොයුරන් හයදෙනෙක් ද මෙහි පැමිණ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වූහ. භද්දකච්චානා පුතුන් දහයක හා දුවක ලැබුවාය. අතිශය රූමත් වූ දූ චිත්‍රා, තරුණයන් මන්මත් කළ හෙයින් උන්මාද චිත්‍රා නමින් ප්‍රකට විය. අනාගත වක්තෘන් ඇගේ පුතකු විසින් ඇගේම සොයුරන් ඝාතනය කරන බැව් කියා තිබුණි. ඒ අනුව රජුගේ යහන් ගබඩාවෙන් පමණක් ඇතුළුවිය හැකි එක්ටැම් ගෙයක කුමරිය රඳවන ලදී. දිවයිනේ පදිංචියට ආ දීඝායු නම් ශාක්‍ය කුමරුට ගාමිණී නම් පුතකු විය. මේ තරුණ කුමරු උන්මාද චිත්‍රා දැක ඇය හා ප්‍රේමයෙන් වෙළී ගියේය. ඔහු දක්ෂ ලෙස ඇය වෙත යාමට රහස් මඟක් සොයාගත් අතර එහි ප්‍රතඵලය වූයේ පණ්ඩුකාභයයි.

වංශකතාවේ පුරාවෘත්තයක්

පණ්ඩුකාභයගේ ළමා කාලය පිළිබඳ විස්තර කතා මැන්දිස් දක්වන අයුරු ඝට ජාතිකයට හා මහා භාරතයේ කෘෂ්ණා පිළිබඳ කතාවලට පමණක් නොව, පර්සියස් පිළිබඳ ග්‍රීක පුරාවෘත්තයට ද සමාන බවක් දක්වයි. එහෙත් මේ සාකච්ඡාවේදී වඩාත් අදාළ වන්නේ බුදුන්ගේ මුල් ගමන පිළිබඳ කතාවට කවා ඇති පුරාවෘත්ත තුළින් අනාවරණය වන ‘පණිවුඩයයි‘: පණ්ඩුකාභයගේ පියා සහ මව අමිතෝදනගෙන්  පැවත එන බව කතාවෙන් පැහැදිලි වෙයි. වංශකතා අනුව අමිතෝදන, සුද්ධෝදනගේ බාල සොහොයුරා ය. විශේෂයෙන් සඳහන් නොකළත් පණ්ඩුකාභය, ශාක්‍ය වංශයට අයත් බුදුන්ගේ මුනුපුරකු බව කෙනෙකුට සිතාගැන්මට අපහසුවක් නැත. මහාවංශය පණ්ඩුකාභයට එතරම් ප්‍රමුඛස්ථනායක් ලබාදුන්නේ මන්දැයි මේ අනුව තේරුම් ගැනීමට පුළුවන. මේ පුරාවෘත්තය ඔහු ශ්‍රී ලංකා සිහසුනේ පළමුවන ශාක්‍ය කුමරු බවට පත් කරයි. වංශකතාව, විඩුඩහ විසින් ශාක්‍ය රාජධානිය හා ශාක්‍ය වංශය විනාශ කරන බවත්, එම වංශයෙන් ඉතිරිවන එකම තැනැත්තා පණ්ඩුකාභයගේ මුත්තනුවන් වූ පණ්ඩු බවත් දක්වයි. මේ නිසා පණ්ඩුකාභය විසින් පිහිටුවන පරම්පරාවේ රජුන් ශාක්‍යයන් වනවා පමණක් නොව, ඔහු ඒ ශාක්‍ය පෙළපතේ ඉතිරිවුණු එකම තැනැත්තා ද මේ පරම්පරාවෙන් පැවත එන්නාද වෙයි. ඒ අනුව බුදුන් ලංකාවට පැමිණ ජයග්‍රාහයකු ලෙස එහි ආධිපත්‍ය ලබාගත්තේ නම් පණ්ඩුගෙන් පැවතෙන්නෝ එහි සැබෑ උරුමක්කාරයෝද වෙති. මෙයින් බුදුන්ගේ ප්‍රථම ගමන හා පණ්ඩුකාභයගේ පරම්පරාව පිළිබඳ පුරාවෘත්තය යන දෙක දේශපාලන වශයෙන් වැදගත් පණිවුඩයක් ඉදිරිපත් කරයි. මේ දෙක එක්ව අනුරාධපුරයේ මුල් රාජ පරම්පරාවට අයත් මුළු දිවයිනම පිළිබඳ ආධිපත්‍යයේ නීත්‍යානුකූල උරුමය පවරා දෙයි.

වංශකතා අනුව අනුරාධපුර මුල් රාජවංශය යසලාලකතිස්ස (ක්‍රි.ව. 52-59) ගේ මරණයෙන් අවසන් වෙයි. මෙහිදී සාකච්ඡාවට භාජනය කළ පුරාවෘත්තයන් මේ කාලයට කලින් කාල නිර්ණය කිරීම සාධාරණ ය. මේ පුරාවෘත්තවල රට දේශපාලනිකව එක්සත් කිරීමක් පිළිබිඹු වන නිසා එසේ එක්සත්වූ රාජධානියක් ඇති කළ දුට්ඨගාමිණී රාජ්‍ය කාලය මේ අවධියේ අවසානය හැටියට සැලකීමට ඉඩක් ඇත. කෙසේ හෝ 10 වන සියවස පමණ වනතුරු රජකු ශාක්‍ය වංශයට හිමිකම්කීම පිළිබඳ සැබෑ නිදසුනක් නැත. සිංහල රජුනට විදේශ ආක්‍රමණිකයන්ගෙන් තර්ජන එල්ලවූ අභ්‍යන්තර ගැටුම් හා බෙදීම් තදින් පැවතී, දේශපාලන අවුල්වලින් පිරුණු 10 වන සියවසට අයත් ශිලා ලේඛනවල ශාක්‍ය වංශික සම්බන්ධකම් තදින් කියා පෑම ඉබේ සිදුවූවක් ලෙස ගත නොහැක.

වියතකු වූ V වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) මැදිරිගිරිය ශිලා ලිපියේ තමන් පුරාවෘත්තගත ඔක්කාක ශාක්‍ය පරම්පරාවෙන් පැවත එන බව මුල් වරට සඳහන් කරයි. ඔක්කාක රජුගේ පුත් ඔක්කාමුඛ කපිලවස්තුපුර ශාක්‍ය පරම්පරාව පිහිටුවූ බවත්, ඔක්කාකගෙන් පසු එය ඔක්කාක පරම්පරාව ලෙසද හැඳින්වූ බවත් වංශ කතා කියයි. V වන කාශ්‍යපගේ පසුගාමිකයෝ ශාක්‍ය වංශයට ඇති සම්බන්ධකම වඩාත් විසිතුරු ලෙස දක්වති. IV වන දප්පුල (924-935) රාජ්‍ය කාලයේ ළමැනි මිහිඳු නම් කුමරකුගේ සෙල් ලිපියක තමා ශාක්‍යවංශයේ තර‍ළමිණක් හා පණ්ඩුකාභයගෙන් පැවතෙන්නෙක් බව දක්වයි. IV වන මිහිඳු (956-972) ගේ හත්වන රාජ්‍යවංශයේ යයි සැළකෙන අභයගිරි විහාරභූමියෙන් සොයාගත් බිඳීගිය පුවරු ලිපියක වඩාත් විස්තරාත්මකව උරුමකම් කියැවෙයි. එම විස්තරයේ රජු ශාක්‍ය වංශයේ මුදුන් කොත ලෙසත්, ඔකාවස් පරපුරෙන් පැවතෙන බවත් සුදොවුන් මහරජුගේ වංශයෙන් හා වඬුවස්දෙව් අබා මහරජුගේ පරම්පරාවෙන් එන බවත් කියාපායි. v වන කාශ්‍යපගේ රාජ්‍ය කාලයේ සිට සෙල්ලිපිවල සිංහල රජුනට සිය පරපුරෙන් ලංකා දූපත් කන්‍යාවගේ ආධිපත්‍ය උරුමව ඇත. මේ අභිලේඛන 10 වන සියවසේ මෙම රජුවරු, පණ්ඩුකාභය පිහිටුවූ රජ පෙළපතට වෙනස් පරම්පරාවකට අයත්ය යන වෙනස් ඓතිහාසික හේතූන් නොසළකන අතර පුරාවෘත්තවල එන අනුරාධපුරයේ මුල් පරම්පරාව සුද්ධෝදනගෙන් මිස අමිතෝදනගෙන් පැවත එන බවද ප්‍රතික්ෂේප කරයි.

තවත් ලේඛන දෙකක් V වන මිහිඳුගේ (982-1019) පොලොන්නරුව ටැම් ලිපිය හා VII වන වික්‍රමබාහුගේ බිසව වූ සුන්දර මහාදේවි (1111-1132) ගේ දිඹුලාගල සෙල්ලිපිය, සුද්ධෝදනගෙන් පැවත එන බව සඳහන් කරයි. සිංහල රජුන් බුදුන්ගේ සුළු පියාට නොව, පියාටම සිය ආදිතමයා යයි කියාපෑමට වැඩි කැමැත්තක් දැක්වූ බව සිතාගත හැක. පුරාවෘත්තය වෙනස් කිරීම තුළින් ඔවුහු බුදුන්ටම සමීප වූහ. සිංහල රජුන් ශ්‍රී ලංකාව පාලනය කිරීමේ උරුමය සඳහා පුරාවෘත්ත තුළින් පිහිට පැතූ අයුරු මේ සෙල්ලිපිවලින් ප්‍රදර්ශනය වෙයි. බුදුන් විසින් අත්පත් කර ගත් දිවයින එතුමාගේම නෑයින්ගේ පරම්පරාවෙන් පැවතෙන්නන් විසින් පාලනය කිරීම යෝග්‍ය හා සුදුසු වෙයි.

තවත් අර්ථ නිරූපණයක්

දිවයින බුදුනට අයිතිය යනුවෙන් තවත් අරුතක් මතුවේ. මෙයින් සිංහල රජවරුන්ට දිවයිනේ අයිතිය තහවුරුවීම වගේම රාජධානිය ශාසනයට උරුම බව ද, එනිසාම බුද්ධ පුත්‍රයන් වූ සංඝයාට ද සාමූහික වශයෙන් දිවයින අයත්ය යනුවෙන් අර්ථ නිරූපණය වෙයි. දිවයින ශාසනයට අයත්ය යන්න නිශ්ශංකමල්ලගේ පොළොන්නරුව උතුරු වාසල ශිලා ලිපියේ පමණක්, විශේෂයෙන් සඳහන් කර ඇත. IV වන මිහිඳුගේ රාජ්‍ය කාලයට අයත් සේ සැළකෙන අනුරාධපුරයෙන් ලැබුණු ශිලා ලේඛනයක් මේ පිළිබඳව ප්‍රයෝජනවත් වෙයි. එයින් රජු සහ බිසව යන දෙදෙනාම ශාක්‍ය වංශික ඔක්කාක රජ පෙළපතට අයත් බවත්, ශ්‍රී ලංකාවේ රජුන් අභිෂේක ලත් වහාම පාත්‍ර හා චීවර ආරක්ෂා කිරීමට මහා සංඝයා ප්‍රදානය කරන සුදු පිරුවටයෙන්ම මහා සංඝයාට සේවය කිරීම සංකේතවත් කරයි. මේ කියමනේ වැදගත් අදහස් දෙකක් අඩංගු වෙයි. එයින් එකක් නම් සංඝයාගේ ආරක්ෂාව හා අයිතීන් රැකදීම රජුන්ගේ විශේෂ වගකීමක් ලෙස ප්‍රකාශ වීමයි.

මීට සමාන සංකල්පයක් පොළොන්නරු වේලයික්කාර් සෙල්ලිපියෙන්ද කියවේ. එම වාර්තාව අනුව I වන විජයබාහු කිරුළ බාරගෙන ඇත්තේ සංඝයාගේ ආරාධනය පිට ශාසනය ආරක්ෂා කරනු සඳහා ය. නිශ්ශංකමල්ලගේ හැටදාගේ සෙල් ලිපියෙන් ශාසනය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ රජනුන්ගේ කාර්ය භාරයක් බව දක්වා ඇත. ඊට ඇතුළත් වූ දෙවන අදහස IV වන මහින්දගේ අනුරාධපුර සෙල් ලිපියෙන් කියැවෙන රාජ්‍යත්වය සංඝයා විසින් පවරනු ලබන නිලයක් බවයි. මේ සෙල් ලිපියේ සඳහන් කර ඇති දෙය එතරම් පැහැදිලි නොවූවත් අභිෂේක කරන දිනයේම ආගමික තේවාවක්ද ඉටු කිරීමෙන් ඇඟවෙන්නේ රජු හා සංඝයා අතර පැවති සම්බන්ධයයි. මේ පුරාවෘත්තයන්ගෙන් කියවෙන ‘දිවයින බුදුන්ට අයත්ය‘ යන අදහස, රජුන් රාජ්‍යත්වයට පත් කරන උත්සව දේශපාලන සංකල්පයේ පදනම වූ බව සෙල්ලිපිවලින් පිළිබිඹු වෙයි. පුරාවෘත්ත, දේශපාලන අදහස් හා ආගමික පිළිවෙත් එක් වූ රජකු බලයට පත්වීමේදී පාරම්පරික උරුමය මෙන්ම සමාජය තුළ ගැඹුරු බලපෑමක් සහිත වූ සංඝයාගේ එකඟත්වය සහිත දේශපාලන ක්‍රමයක් බවට පත්විය.

මේ සාකච්ඡාවේදී පුරාවෘත්තයෙහි දේශපාලන ස්වරූපයේ ක්‍රියාකාරීත්වය අවධාරණය කිරීමෙන් පුරාවෘත්තයක් එක මට්ටමකට වඩා වෙනස් ලෙසකින් තේරුම් ගත නොහැකිය යන්නක් ඇඟවෙන්නේ නැත. පුරාවෘත්තයක් විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය හැකි අතර එම ක්‍රියාවන්ගේ වටිනාකමද කලින් කල ඇතිවන තත්ත්වයන් අනුව වෙනස්වීමට පුළුවන. තවදුරටත් පුරාවෘත්තයක් විග්‍රහ කිරීම එහි ක්‍රියාකාරීත්වයන් හැඳිනගැන්මට පමණක් සීමා කළ යුතු නොවේ. නිදසුනක් ලෙස බුදුන්ගේ පැමිණීම පිළිබඳ පුරාවෘත්තය නිසා දිවයින ධර්මද්වීපය යන ඉරණම අත්කරගෙන ඇත. බුද්ධාගම එහි නිජබිමේ පවා පරිහානියට පත්වන විට මේ දිවයින තුළ මල්පල හටගැන්ම නිසා එබඳු විශ්වාසයක් මතුවීමට හේතුභූතව ඇත. බුද්ධත්වය ලැබූ විගසම, එතැනින් බැහැරවීමටත් පෙර බුදුන් මේ දිවයිනේ ඉරණම හා ඒ වෙත යාමට ඇති අවශ්‍යතාව දුටු බව දීපවංශය හා වංසත්තප්පකාසනිය සඳහන් කරයි. මේ කතාවලින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන තුනක් - මහියංගන ථූපය, නාගදීපයේ රාජායතන ධාතු විහාරය සහ කැළණි ථූපය පූජනීයත්වයට පත් කිරීමද සැළකිය යුත්තකි. බුදුන්ගේ තුන්වන ගමනේ දී දීඝවාපී චෛත්‍ය සහ මහා විහාරය අසල ශ්‍රී මහා බෝධියද එතුමාගේ පාදස්පර්ෂයෙන් පූජනීයත්වයට පත් කළ බව දීපවංශය කියයි. මහාවංශය මීට සමන්තකූටය, මහාථූපය, ථූපාරාමය හා ශිලාචෙතිය යන තවත් ස්ථාන හතරක් එක් කරයි.

පුරාවෘත්තයේ තවත් පැත්තක දේව, නාග හා යක්ඛ යන අමානුෂිකයන් කොටස් තුනේ චරිත ලක්ෂණ දැක්වීම, දේව හා නාග යන කොටස් දෙක බුදුන්ගේ ආධිපත්‍යය පිළිගත් අනුගාමිකයන් ලෙස ඉදිරිපත් කරයි. යකුන් කෙරෙහි දක්වන ආකල්පය මීට හාත්පසින්ම වෙනස් එකකි. පිරිත් මඟින් ආරක්ෂාව පැතීම, පුරාවෘත්ත දෙන තවත් පණිවුඩයකි. යකුන් ගිරිදීපයට යැවූ වහාම බුදුන් මෙත්තා සූත්‍රය දේශනා කර දිවයින සදහටම ආරක්ෂා කළ බව දීපවංශය කියයි. මේ විස්තරය මහාවංශයේ නැත. එහෙත් වංසත්ථප්පකාසනිය මේ ප්‍රශ්නය නැවත ඉදිරියට ගනිමින් යකුන් ගිරිදීපයට පළවා හැරිය ඉක්බිති බුදුන් පිරිත් සජ්ඣායනා කොට සිය ආධිපත්‍යය තහවුරු කළ බව දක්වයි. බුදුන්ගේ බලය තහවුුරු වූ දිනය, ගිනිගත් සම්මුඛ වූ දරුණු යකකුට එරෙහිව යෙදුන දිනය මෙන්ම බලා ඇත.

මෙහිදී සාකච්ඡාවට භාජනය වූ පුරාවෘත්තය මට්ටම් කිහිපයකින් තේරුම් ගැනීමට හා විග්‍රහ කිරීමට පුළුවන. එහි මූලික කාර්යයක් වූයේ දේශපාලන ආධිපත්‍ය සාධාරණ කිරීම සහ විශේෂ රාජ පරම්පරාවක බලය  පිළිබඳ අයිතිය යුක්ති සහගත බව දැක්වීම ය. රජකම උරුමවීම, එම පරම්පාරාවෙන් පැවත ඒම පිළිබඳ මූලධර්මයේ වැදගත්කමද පුරාවෘත්තය පැහැදිලි කරයි. දකුණු ආසියාවේ පැරණි ඉතිහාසය හැදෑරීමේදී ඉතිහාසඥයන් සම්ප්‍රදායික විධික්‍රමයන්ගෙන් ඉදිරියට ගොස් සමාජයීය දේශපාලනික මතවාදය පිළිබඳ වැදගත් මූලාශ්‍රයක් ලෙස පුරාවෘත්ත අධ්‍යයනයට වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.☐

මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන


© JDS