බුදුන්ගේ ලංකා ගමන නොහොත් බුදුන්ගේ ලේ නෑයෝ - I

සිද්ධාර්ථගේ පියා වූ සුද්දෝදන හා ‘ගිරිපාද ජනපදයේ‘ මහින්ද රාජපක්ෂ ලේ නෑකමකින් ගැටගැසී ඇති බැව් ජැක්සත් ඇන්තනී මාර්ගයෙන් ලංකාවාසීන් දැනගත්තේ පස් අවුරුද්දකට කලිනි. නමුත් සිංහලයන් සහ බුදුන්ගේ නෑකම ගැන පුරාවෘත ඊට වඩා පැරණි ය. ‘80 දශකයේ සිට  ‘90 දශකයේ මැද භාගය වන තෙක් පළ වූ ප්‍ර‍මුඛතම සංස්කෘතික මතවාදී විවර්ණිකාවක් වූ ‘මාවත‘ සඟරාවේ 15 වැනි කලාපයට (1980 ජූලි - සැප්තැම්බර්) එහි සංස්කාරක මණ්ඩලයේ එස් විජේසූරිය විසින් මුල්වරට සිංහලෙන් සකස් කරන ලද මෙම ලිපිය, 1976 ජූනි මාසයේ Sri Lanka Journal of Humanities දෙවැනි වෙළුමේ, පළමු කලාපය සඳහා "The Kinsmen of the Buddha: Myth as Political Charter in the Ancient and Early Medieval Kingdoms of Sri Lanka” මැයෙන් මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන විසින් ලියන ලද්දකි.

කෘතහස්ත ඉතිහාසඥයෙකු වූ ගුණවර්ධන, මධ්‍යතන යුගයේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ විහාරස්ථ ජීවන සම්ප්‍රදාය හා එහි ආර්ථික පාර්ශ්වයන් පිළිබඳ  සිදුකළ හැදෑරීම් ඇසුරින් කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය වූ ‘සිවුර සහ නඟුල‘ විකල්ප ඉතිහාස ලේඛනවේදී ප්‍ර‍ණතාවකට ඉවහල් වූ පුරෝගාමී  අධ්‍යයනයක් සේ සැළකේ. සිංහල ජාතියේ සම්භවය පිළිබඳව අධිපති ඉතිහාසමය අර්ථකතන අභියෝගයට ලක් කරමින් ඔහු විසින් ලියන ලද ‘සිංහ ජනයා: ඉතිහාසය සහ ඉතිහාස ලේඛනවේදය තුළ සිංහල අනන්‍යතාව සහ දෘෂ්ටිවාදය‘ නමැති ලියැවිල්ල විසින්, ඇතැම් විට සිංහල ජාතිකවාදී කතිකාව තුළ වඩාත්ම ගර්හාවට හා වෛරයට පාත්‍ර‍ වූ ඉතිහාසඥයෙකුගේ තැනට ඔහු පත්කළ බවට සැක නැත.  ඉතිහාස විමර්ශනය පිළිබඳ මාක්ස්වාදී විශ්ලේෂණ ක්‍ර‍මවේදය බලවත් කොට තහවුරු කරනු පිණිස ගුණවර්ධන විසින් සිදුකළ දායකත්වය යළි කියවා බැලීම,  ඉතිහාස ඇදහිල්ල විසින් ප්‍රාණ ඇපයට ගත් වර්තමානයේදී වඩා වැදගත් වෙතැයි අපි සිතමු.- සංස්කාරක කමිටුව


ශ්‍රී ලංකාවේ ප්‍රධාන වංශ කතා දෙක වන දීපවංශය හා මහාවංශය, බුදුන් ලංකාවට පැමිණියේ යයි සවිස්තර වර්ණනාවක් කර ඇත. මේවා ලියවී ඇත්තේ පාලි ගාථාවලිනි. වඩා දිග විස්තරයක් ඉදිරිපත් කරන දීපවංශය ඒ සඳහා ගාථා 150 අඩංගු පරිච්ඡේද දෙකක් වෙන් කරයි. මහාවංශය ගාථා 84ක එක් පරිච්ඡේදයකින් එම පැමිණීම් සංක්ෂිප්තව ඉදිරිපත් කරයි. මේ ගැන සඳහන් වන තුන්වැන්න වම්සත්ථප්පකාසිනී නමැති ගද්‍ය කෘතියයි. එය මහාවංශයට ලියවුණු අර්ථ කතාවක් වුවත් එහි එන ඇතැම් විස්තර මහාවංශ වාර්තාවලට වඩා වෙනස් අයුරකින් දක්වයි.

මේ මූලාශ්‍ර තුනෙන් ම ඉදිරිපත් කෙරෙන බුදුන් තුන්වරක් පැමිණීම ඉන්දියානු සාධකවලින් හෝ ශ්‍රී ලංකාවේ ආරක්ෂා වී ඇති පාලි කෘතීන්ගෙන් හෝ තහවුරු වී නැත. ඒවා විස්තර වන්නේ ද ප්‍රාතිහාර්යයන් හෝ ආශ්චර්යයන් ලෙසිනි. බුදුන් මේ ගමන් තුනේදීම සම්බන්ධකම් පවත්වා ඇත්තේද අමනුෂ්‍ය කොටස් - යක්ෂ, නාග හා දේවයන් - සමඟය. එහෙත් ලංකා ඉතිහාසය (1845) කෘතිය පළකළ 19 වන සියවසේ ලේඛකයකු වන විලියම් නයිටන් පවා එම සිද්ධීන්ගේ ඓතිහාසිකත්වය පිළිගෙන ඇත. නයිටන් සහ පාසැල් සඳහා ලංකා ඉතිහාසය (1900) කර්තෘ එල්.ඊ. බ්ලසේ යන දෙදෙනාම යකුන් හා නාගයන් දිවයිනේ ආර්යයන්ට පෙර වාසය කළවුන් ලෙස දක්වති. මේ මුල් යුරෝපීය ලේඛකයන් ගේ ආකල්ප පසුකාලීන උගතුන්ගේ තියුණු විවේචනයට ලක්විය. එහෙත් එම තොරතුරු බෞද්ධ බැතිමතුන් එදා මෙන් අදත් සත්‍ය කතා ලෙස සළකන බව නොරහසකි. මහාචාර්ය පරණවිතාන මහතා 1972 අභාවප්‍රාප්තවීමට වසර කීපයකට පෙර ප්‍රසිද්ධ දේශනයකදී බුදුන් ලංකාවට පැමිණීම පිළිබඳ විශ්වාසයේ සාධාරණත්වයක් නැතැයි සඳහන් කිරීම ගැන විරුද්ධව පවා කීප දෙනෙකුගෙන් හඬක් මතුවිය.

දීපවංශය සහ මහාවංශය

බුදුන්ගේ ගමන් තුනම එකට ගැනුනද වංශකතා පවා ප්‍රථම ගමන විශේෂත්වයකින් සැලකූ බව ඇදහීමට කරුණු ඇත. දීපවංශය ප්‍රථම ගමනට පරිච්ජේදයක් යෙදූ අතර අනෙක් ගමන් දෙකම එක එක පරිච්ඡේදයකින් දැක්වීම උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ හැක. තවදුරටත් මේ ගමන්වල බුදුන්ගේ කාර්යය පාලි ත්‍රිපිටකය හා අට්ඨකතාවල විස්තරයට ප්‍රතිවිරුද්ධත්වයක් දරයි. මෙහි පසුව සාකච්ඡා වන පරිදි මේ කතාවෙන් බුදුන් දෙස බලන්නේ වෙනත් බෞද්ධ සාහිත්‍ය කෘතිවල හැඳින්වෙන මහා කාරුණිකයාණනට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකු ලෙසිනි. එසේම මහාවංශය හා වම්සත්ථප්පකාසිනී පරීක්ෂා කිරීමේදී බුදුන්ගේ පැමිණීම හා දිවයිනේ මුල් රජ ලෙස සැලකෙන විජය කතාව පිළිබඳ  විස්තර අතර ප්‍රතිවිරෝධතා ඇති බව පැහැදිලි වේ. බුදුන්ගේ ප්‍රථම ගමනේදීම දිවයිනේ යකුන් එලවූ බව කියවෙන නමුත් විජය කතාව අනුව විජයට හා ඔහුගේ පිරිසට දිවයිනේ යකුන්ගේ රාජධානියක් හමුවී ඇත. විජයට තම්බපන්ණි රාජධානිය පිහිටුවීමට පෙර කුවේනිගේ උපකාර ඇතිව යකුන්ට විරුද්ධව සටන්කර ඔවුන් විනාශකර දැමීමට සිදුවිය. වෙනස් සම්භවයන්ගෙන් යුත් මේ කතා දෙක වංශකතාකරුවන් විසින් සිතාමතාම එකට ගැට ගැසූබව මෙයින් පැහැදිලි වෙයි.

දීපවංශය අනුව යකුන් දිවයිනේ මුල් පදිංචිකරුවන් ය. බුදුන්ගේ ප්‍රථම ගමනේදී ඔවුහු මහියංගනයට රැස්වූහ. අහසෙහි වැඩසිටි බුදුහු, වැස්සෙන් හා සීතා සුළඟින් මේ පිරිස් පීඩාවට පත් කළහ. එතුමෝ ඔවුනට කතාකරමින් මේ විපත් ඉවත්කරවීමට නම් තමනට වැඩසිටීමට තැනක් දෙන ලෙස කියා සිටියහ. ඊට එකඟවූ යක්කු සීතලෙන් මිදීමට උණුසුම සපයන ලෙස යාඥා කළහ. එවිට බුදුන් තමන් වැඩසිටි පලසින් ඉසිලිය නොහෙන රශ්මියක් විහිදුවමින් යකුන්ට  පළායාමට බල කළහ. එතුමා ඒ සමග ගිරිදීපය නම් වෙනත් දූපතක් ලංකාවට සමීපකර යකුන් ඊට පැනගත් විට ගිරිදීපය එහි මුල්තැනටම පැමිණවීය.

ඊට වෙනස් මහාවංශයේ එන විස්තරයට අනුව යකුන්ට එම ආපදාවේදී උපකාර වූ නිසා ඔවුහු මුළු ලංකාදීපයම බුදුනට පිදූහ. එහිදී බුදුන් වැඩසිටි තැන ඇතුරූ සම්පලස ගිනිගෙන පුළුල්වීමත් සමග පළාගොස් වෙරළට රැස්වූ යකුන් දීපවංශයෙ ්දැක්වෙන අයුරින්ම ඉවතට යැවුණි. වම්සත්ථප්පකාසිනියේ ඒ මුණගැසීම වඩාත් විචිත්‍රව දැක්වෙයි. බුදුහු තම අධිමානුෂික බලය එකළොස් අයුරකින් යොදවමින් යකුන් පීඩාවට පත් කළහ. අශනි වර්ෂා හා කුණාටු ඔවුන් මත පතිත කළහ. සීත තෙත් සුළං, කුණාටු හා අඳුරෙන් ඔවුන් බියපත් කළහ. යකුන් බුදුන්ගේ පිළිසරණ පැතූ අතර එතුමෝ තමනට වැඩසිටීමට ස්ථානයක් ඉල්ලා සිටියහ. ඔවුහු මුළු දිවයිනම එතුමාට පූජා කළහ. මෙය පසුව කඩකරනු අතැයි බුදුහු සැක පහළ කළහ. යක්කු දිවයිනේ අයිතිය බුදුන්ට අත්වීම පිළිබඳ කිසිවිටෙක බාධා නොකරන බවට දිවුරුම් දුන්හ. බුදුහු පළස පිට වැඩසිට ඔවුන් පෙලූ සීතල හැර අනෙක් තත්වයන් සාමාන්‍ය බවට පත් කළහ. යක්ෂයෝ හිරුගේ රැස් නිදහස් කරන ලෙස අයැද සිටියහ

ඒ අනුව බුදුන් විසින් සිය පළසින් රශ්මිය නිකුත් කෙරිණි. ඒ සමග පළස පළල් වී මුළු දිවයිනම වසාගති. එවිට බුදුන්ගේ සිරුරද ප්‍රසාරණය වූ අතර අන්තිමේ පළසේ ප‍ළලත්,  බුදුන්ගේ සිරුරේ හා දිවයිනේ ප්‍රමාණයත් එකම විය. ප්‍රසාරණය වූ පළස අනුව වෙරළට රැස්වූ යක්ෂයෝ දේවාතිදේව වූ මේ බලවතා දිවයින හිමි කරගත් බවත් එයට තම අයිතිවාසිකම් නැතිවූ බවත් පිළිගත්හ. ඔවුන්ගේ මේ තත්ත්වය නිසා බුදුන්ගේ කරුණාව මතුවී වංශකතා කියන පරිදි ඔවුනට සංක්‍රමණය වීමට ගිරිදූපත ළඟා කරන ලදී.

මහා කාරුණිකයානන්ද? අධි මානුෂිකයාණන්ද?

බුදුන්ට යකුන් මුණගැසීම, මේ කතාවේ ඉහත සඳහන් වාර්තා තුන සහ ත්‍රිපිටකයේ අමනුෂ්‍යයන් දමනය කිරීම පිළිබඳ විස්තර අතර තියුණු වෙනසක් දක්නට ලැබේ. ආලවක දමනයේදී තමන් වෙත එල්ල වූ දැඩි විරෝධයට නොසැලී කරුණාවෙන්, ඉවසීමෙන් හා දයාවෙන්ය, බුදුන් ආලවක දිනාගන්නේ. එහෙත් ලංකා ගමන කතාවල බුදුන් සිත්තම් කර ඇත්තේ පීඩාකාරී ක්‍රම තුළින් යකුනට අවහිර කළ අයකු ලෙසිනි. එතුමා යක්ෂයින්ගෙන් තමනට වැඩ සිටීමට තැනක් ඉල්ලූ අතර අන්තිමේ ඔවුන් තම මව්බිමෙන් ද පළවා හරින ලදී. කතාවේ බොහෝ තැන්වල දැක්වෙන ‘ජින‘ නැතහොත් ජයග්‍රාහකයා යන්න මෙහිදී එතුමාට ගැළපෙන විස්තරයකි. මේ කතාවේ බුදුන් පැහැදිලිවම විස්තර කර ඇත්තේ රාජධානියක් අත්පත්කර ගැනීමෙන් පසුව අනුකම්පාව දැක්වූ ජයග්‍රාහකයකු වශයෙනි. ඇත්තෙන්ම එතුමා දෙස බලා ඇත්තේ අසාමාන්‍ය අයුරකිනි.

ශ්‍රී ලංකාව දිගටම රජයත් සමග කිට්ටු සම්බන්ධයක් ඇතිව සංඝයා සංවර්ධනය වූ මුල්ම රටවලින් එකකි. රජය හා සංඝයා අතර මේ සම්බන්ධය වැඩීම ඉක්මණින්ම බරපතපල ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවී යැයි දැක්වීමට පුළුවන. රාජ්‍යත්වය පිළිබඳ ආදි බෞද්ධ පරමාදර්ශය පදනම්ව ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව ය. මෙහ මහා සුදස්සන සූත්‍රය වැනි විස්තරවල දක්වා ඇති චක්‍රවර්තී සංකල්පයෙන් පෙනේ. චක්‍රවර්තී නැතහොත් සර්වලෝකාධිපති සිය හමුදාව සමග ලොව පුරා සංචාරය කරමින් කුඩා පාලකයන් ප්‍රචණ්ඩ ක්‍රියා මඟින් නොව, බලපෑමෙන් හා ධර්මය කියාදීමෙන් ජය ගනී. මේ පරමාදර්ශය අනුකරණය කළ ඓතිහාසික අවස්ථා විරළ වූ අතර රජවරු සැබෑ ජීවිතයේ දී මේ පරමාදර්ශයට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධව පෙනේ. බොහෝ රජුන් බුදුන් හා සමීපව එතුමාගේ ප්‍රබල අනුගාමිකයන් වූ නමුත් බ්‍රහ්මජාල  සූත්‍රයේ දේශපාලනය (කට්ඨ විජ්ජා) සළකා ඇත්තේ පහත් තිරිසන් විද්‍යාවක් (තිරච්චාන විජ්ජා හීන විජ්ජා) ලෙසිනි. මහාබෝධි ජාතකය අනුව දේශපාලනය නියෝජනය කරන්නේ කිසිදු සදාචාර මූලධර්මයන්ගෙන් ඇද බැඳ  නොතිබුණු බද්ධ බලකාමයයි. දේශපාලන න්‍යායාචාර්යවරු ආත්මලාභය සඳහා තම දෙමව්පියන් පවා මරා දැමීමට සිය අනුගාමිකයන් පෙළඹවූහ. රණකාමී රජවරු සමාජයේ ඉදිරියෙන්ම තිබූ සංවිධානය වූ ප්‍රචණ්ඩ ආයුධයක් වන රාජ්‍ය යන්ත්‍රය තම අවශ්‍යතා අනුව යොදා ගත්හ. මෙවැනි රජුන් දෙස කුමන ආකල්පයක් සංඝයා විසින් දැක්විය යුතුද යන්න ලංකාවේ සංඝයා හා රාජ්‍ය යන්ත්‍රය අතර සම්බන්ධයක් ගොඩ නැගෙන අවධියේද‍ී විශේෂ ප්‍රශ්නයක් හැටියට භික්ෂූන්වහන්සේලා කීපදෙනෙකුගේ සිතට බලපාන්නට ඇත.

මේ පසුබිමෙහිලා සළකන විට බුදුන්ගේ ප්‍රථම ගමන පිළිබඳ පුරාවෘතය ප්‍රතිවිරෝධයක් සමනය කිරීමට ගත් උත්සාහයක් ලෙසද සැළකිය හැක. මේ පුරාවෘතය අනුව බුදුන් ද ජයග්‍රාහකයෙකි. එතුමා යකුන්ට එරෙහිව යෙදූ අධිමානුෂික බලවේග රජුන් සතුරන්ට විරුද්ධව යොදන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමකළ හැකිය. බුදුන්ට එවැනි අසාමාන්‍ය පියවරක් ගැනීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ යකුන් සත්‍ය තේරුම් ගැනීමට අපොහොසත් වූ නිසාත් ශාසනයට විරුද්ධ වූ නිසාත් දිවයිනෙන් පළවා හැරීමට සිදුවූවක් ලෙසිනි. එහෙයින් පුරාවෘතයේ කියවෙන්නේ පාලි ත්‍රිපිටකයේ අඩංගු සදාචාර මූලධර්මයට වඩා වෙනස් එකකි. එනම් ශාසනයේ සුභසිද්ධිය සඳහා සත්‍යධර්මය අවබෝධකරගත නොහැකි අයට හා ඊට විරුද්ධ වන අයට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා යෙදීම යුක්තිසහගත බවයි. ප්‍රචණ්ඩ ක්‍රියා කෙරෙහි ආකල්පය මෙසේ අලුතෙන් අර්ථ නිරූපණය කිරීමෙන් සදාචාරාත්මක පරමාදර්ශය හා රජුන්ගේ ප්‍රායෝගික හැසිරීම අතර ප්‍රතිවිරෝධය සමනය කිරීම අපහසුවෙයි.

මේ නව අර්ථ නිරූපණය අනුව රජුන්ගේ ක්‍රියාවන් සාධාරණ කිරීම සඳහා පිහිට පැතීම පිළිබඳ පැහැදිලි නිදසුනකි, මහාවංශයේ දුටුගැමුණු කතාව. මේ රජු අනුරාධපුර ප්‍රධාන බෞද්ධ ස්මාරක කීපයක් ඉදිකිරීම පිළිබඳ සම්මාන ලැබූවෙකි. එසේම ඔහු ක්‍රි.පූ. 2 වන සියවසදී විශාල මිනිස් ඝාතනයකින් මුළු දිවයින එක්සත් කළ රණශූරයෙකි. මේ සාර්ථක රණකාමියා බෞද්ධ වීරයෙකු වශයෙන් දැක්වීමේ පැහැදිලි බාධකයක් විය. එම ප්‍රතිරෝධය සමනය කිරීමට පුරාවෘත පිළිවෙතම උපයෝගී කර ගන්නා ලදී.

‘මිත්‍යාදෘෂ්ටිකයන්‘ මැරීම

දුට්ඨගාමිණීගේ  යුද්ධ ව්‍යාපාරය ගැන වංශකතා සඳහන් කරන්නේ එය ආත්ම ලාභය සඳහා නොව, බුද්ධ ශාසනයේ චිරස්ථතිය හා උද්දීපනය සඳහාම මෙහෙය වූ බවත් ය. වංශකතා අනුව යුද්ධ ව්‍යාපාරය අවසන් වූ පසු දුට්ඨගාමිණී රජ යුද්ධයේදී මරා දැමූ මහ පිරිස සිහව පසුතැවිල්ලට පත්ව ඇත. ඔහුගේ මේ සිතිවිලි දිවැසින් දුටු පියඟු දේශයේ රහතුන් පිරිසක් සෘධියෙන් පැමිණ යුද්ධයෙන් දශලක්ෂ ගණනක් මිය ගියත් රජතුමා දෙව්ලොව උපදින බව සහතික කළහ. මරා දැමූ අය අතරින් පන්සිල් හා තිසරණ සරණ ගිය අය දෙදෙනෙකු පමණක් නිසා ඇත්තෙන්ම මරුමුවට පත්ව ඇත්තේ මිනිසුන් එකහමාරක් පමණ බව දක්වා ඇත. අනෙක් සියලුදෙනාම ‘මිථ්‍යාදෘෂ්ටිකයන්‘ හා පව්කාර ජීවිතවලට බරවූ අයයි.

මෙසේ පුරාවෘතවල මෙන්ම දුට්ඨගාමිණී කතාවේදී ‘මිත්‍යාදෘෂ්ටිකයන්ට‘ විරුද්ධව කරන ප්‍රචණ්ඩ ක්‍රියා පව්කම් ලෙස නොසැලකේ. ‘ඔබ අනේක විධියෙන් බුදුන්ගේ ධර්මයට දීප්තිය ගෙනදුන් හෙයින් ජන ප්‍රධාන පාලකයාණනි, ඔබේ හදවතින් සැකය දුරුකරන්නැ‘යි රහත්වරු අනුශාසනා කළහ. බෞද්ධ දර්‍ශනය අනුව වන මෘගයන් වැනි මිනිසුන් මැරීම පාප ක්‍රියාවක් නොවේ ය යන්න මතු නොකළ හා පිළිතුරු නොසැපයූ උභතෝකෝටික ප්‍රශ්නයක්ව පවතී. තෘෂ්ණාව වෙනුවෙන් හා ශාසනය වෙනුවෙන් මිනිසුන් මැරීම අතර වෙනස දක්වමින් වංශකතාකරු එම පරිච්ඡේදය අවසන් කිරීම තවත් වැදගත් සිද්ධියකි. පරිච්ඡේදය අග දුට්ඨගාමිණී රජුගේ මරණය විස්තර කරද්දී මෙලොව හැරගිය විටම ඔහු තුසිත දෙව්ලොව පහළ වූ බව දක්වයි. වංශ කතාකරු තවදුරටත් කරුණු දක්වමින් ඔහු අනාගත මෛත්‍රී බුදුන්ගේ අගසව් තනතුරට පත්වන බවට ද අනාවැකියක් පළ කරයි.

මෙසේ දුට්ඨගාමිණී කතාවෙන් දෝංකාර දෙන්නේ බුදුන්ගේ ප්‍රථම ගමන පිළිබඳ පුරාවෘතයකට කවා ඇති අදහස ප්‍රචණ්ඩ ක්‍රියා අනිවාර්යයෙන්ම පව්කම්වලට සම්බන්ධ නොවන බව හා ශාසනය වෙනුවෙන් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සහ තන්හාව මඟින් කෙරෙන එවැනි ක්‍රියා අතර වෙනසක් දැක්විය යුතු බවයි. මෙයින් දැක්වෙන පණිවුඩය පැහැදිලිය. එනම් ශාසනයේ උන්නතිය වෙනුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන්නෙකුට එයින් කිසිදු පවක් සිදු නොවන බවයි.☐

(මතු සම්බන්ධයි)

මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන


© JDS