මහාචාර්ය කෛලාසපති: සිංහල සහ දෙමළ භාෂාවන් දෑස් යුගලකැයි කී දවස්වල සිට

දෙමළ භාෂා සාහිත්‍යය හා විචාර වේදය පිළිබඳව, ශ්‍රී ලංකාවෙන් ඔබ්බහිද භාෂා විද්‍යාර්තීන් අතර මහත් සම්භාවනාවට පාත්‍ර මහාචාර්ය කෛලාසපතිගේ මරණයෙන් 33 වසරක් 2015 දෙසැම්බරයට සම්පූර්ණ වීම වෙනුවෙන් පළ කෙරුණු ලිපියේ අවසාන කොටස මෙවෙර පළ කෙරේ. 1982 වසරේ පුනිදම් තිරුචෙල්වම් අනුස්මරණ රැස්වීම සඳහා ඔහු විසින් දෙ සම්පාදනය කරන ලද මෙම ලිපිය ආචාර්ය සසංක පෙරේරා සහ කථිකාචාර්ය ජගත් බණ්ඩාර පතිරගේ විසින් පළමුවරට සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ 2007 වසරේදී සමාජ සංස්කෘතික තීව්‍ර අධ්‍යයනය සඳහා වන කොළඹ ආයතනය විසින් පළ කරන ලද 'ශ්‍රී ලාංකේය සමාජය සහ සංස්කෘතිය පාඨනය කිරීම: තෝරාගත් නිබන්ධ' කෘතියේ දෙවැනි වෙළුම සඳහා ය‍. - (සංස්කාරක කමිටුව)

පරිවර්තනය: සසංක පෙරේරා / පරිවර්තන සහාය: ජගත් බණ්ඩාර පතිරගේ

1 කොටස: ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවේ භාෂා සවිඥානකත්වය

2 කොටස: දෙමළ පුනරුදයේ ගාමක බලවේගය: යාපන ගුරුකුලයේ නැගීම


දෙමළ භාෂා හා සංස්කෘතික පුනරුදයේ ප්‍රධාන ලක්‍ෂණ

සැකයකින් තොරවම, ඉහත සඳහන් සිද්ධි ශ්‍රී ලංකාව මත පැහැදිලි බලපෑමක් එල්ල කළේය.  දෙමළ භාෂාව පිළිබඳව වූ උනන්දුව කිහිප ආකාරයකින් මතු විය. එහි ආරක්‍ෂාවට සහ සංවර්ධනයට කැප වූ සංවිධාන කිහිපයක්ම පිහිටුවන ලදී. බලාපොරොත්තු විය හැකි පරිද්දෙන්ම මෙහි නායකත්වය යාපනය විසින් හොබවන ලදී. 1898 තරම් මුල් කාලයක දී ටී කෛලාසපිල්ලෙයිගේ (1852 - 1939) උත්සාහ හරහා යාපනයේ දෙමළ ඇකඩමියක් ස්ථාපනය කෙරිණ. ඔහු ආරුමුග නාවලර්ගේ බෑණා වූ අතර, නාවලර්ගේ කාර්යභාරයේ බොහෝ වගකීම් ඔහු මත පැටවී තිබිණි. කුමාරස්වාමි පුලවර්, ඒ මුතුතම්බි පිල්ලෛ සහ එස් සරවනමුත්තු පිල්ලෛ වැනි ශාස්ත්‍රඥයන්ගේ සහාය ඔහුට ලැබුණේය. මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් වන්නේ 1901 දී මදුරාසි දෙමළ සංගමය පිහිට වූ දකුණු ඉන්දියාවේ රාම්බාද් දිස්ත්‍රික්කයෙහි පල්ලවනන්දන් හි සමින්දාර්වරයා වූ පණ්ඩිත් තුරෛතේවාර් (1867 - 1911) උත්තේජනයක් ලැබු‍වේ   යාපනයේ දෙමළ ඇකඩමිය මඟින් වීම ය. මීළඟ දශක කිහිපය මුළුල්ලේ මෙම ප්‍රවණතාව වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් භාෂාව පිළිබඳ උනන්දුවක් දැක් වූ සංවිධාන කිහිපයක්ම බිහි විය: ඒවා නම්, උතුරු ලංකා දේශීය භාෂා සමාජය (1921) සහ උතුරු ලංකා දෙමළ ගුරු සංවිධානය (1925) වේ. සංස්කෘත හා දෙමළ භාෂා හැදෑරීම සඳහා 1921 දී යාපනයේ ප්‍රාචීන අධ්‍යාපන සමාජය ස්ථාපනය කරන ලදී. ඊට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලැබුණි. තම කර්තව්‍යයන් ඉදිරියට ගෙනයාම සඳහා මෙයින් ඇතැම් සංවිධාන විසින් සඟරා සහ ලිපි සංග්‍රහ ප්‍රකාශ කිරීම අරඹන ලදී. උදාහරණයක් වශයෙන්, ප්‍රාචීන අධ්‍යාපන සමාජය 'කලා නිධි' යන ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය ආරම්භ කළ අතර සාම්ප්‍රදායික ශාස්ත්‍රඥයන් අතර එය බෙහෙවින් ජනප්‍රිය විය. කෛලයිපුලවාර්, කේ නවරත්නම් ගේ උත්සාහ මඟින් 1930දී පිහිට වූ සාහිත්‍ය සහ සංස්කෘතිය සඳහා වූ කලා නිලයම් කේන්‍ද්‍රය ද මෙලෙසින්ම 'ඥයිරු' නම් උසස් ගුණාත්මක තත්ත්වයක් පෙන්නුම් කළ ලිපි සංග්‍රහයක් තෙමසකට වරක් පළ කළේය. මේ සංවිධානය දෙමළ සම්භාව්‍ය කෘති අධ්‍යයනය කිරීමට සහ ජනප්‍රිය කිරීමට මහඟු සේවයක් ඉටු කළේය. එමඟින් සංස්කෘතික, සාහිත්‍යයික සහ ඓතිහාසික විෂයන් අළලා දේශනා සහ සාකච්ඡා නිතිපතා පවත්වන ලදී.

මේ කාලයේ නිරතුරුවම දෙමළ භාෂාවේ සහ සාහිත්‍යයේ නොයෙකුත් අංග සැමරීම සඳහා සම්මන්ත්‍රණ සහ රැස්වීම් පවත්වනු ලැබීය. එවන් රැස්වීමක් ශ්‍රීමත් ඒ කනගසබෛගේ සභාපතිත්වය යටතේ 1922දී යාපනයේ රිජ්වේ ශාලාවේදී පවත්වන ලදී. මෙය යාපනයේ පැවැත් වූ ප්‍රථම ප්‍රධාන මට්ටමේ සාහිත්‍ය සම්මන්ත්‍රණය වූ අතර, අවස්ථාවට සුදුසු පරිදි ඊට සහභාගී වීම සඳහා මදුරාසියේ සිටි ප්‍රසිද්ධ ශාස්ත්‍රඥයන්ට ආරාධනා කෙරිණි. ඔවුන් අතර ඉතිහාසඥයෙකු වූ ආචාර්ය එස් ක්‍රිෂ්ණස්වාමි ඉයෙන්ගාර් (1871 - 1941), ප්‍රබල දෙමළ පුනරුදවාදියෙකු වූ කේ සුබ්‍රමානියා පිල්ලෛ (1889 - 1948), භාෂා ලෝලියෙකු වූ පී වී මනික්ක නෛක්කර් (1871 - 1931) හා නවකතාකරුවෙකු වූ ඒ මාදාවියා (1874 - 1925) යන අය ඇතුළත් වූහ. (13) දෙවන දින සාකච්ඡා වටය ශ්‍රීමත් වෛත්‍යලිංගම් දුරෛස්වාමිගේ සභාපතිත්වයෙන් යුතු වූ අතර නාට්‍ය පිටපත් රචකයෙකු හා කවියෙකු වූ ටී ඒ තුරෛඅප්පා පිල්ලෛ (1872 - 1929) මේ සම්මන්ත්‍රණයේ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළේය.

1920 ගණන්වල සිට 1930 ගණන් දක්වා දශකයක පමණ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ යාපනයේ තරුණ කොංග්‍රසය පිළිබඳව ද යමක් කිව යුතු ය. මේ සංවිධානය මඟින් දියත් කරන ලද වැදගත් අදහස් අතර, දෙමළ භාෂාව ජාතික භාෂාවක් විය යුතුය යන්නත්, මව්බසින් අධ්‍යාපනය ලබාදිය යුතුය යන්නත් ප්‍රමුඛ වේ. කොංග්‍රසයේ පළමු සාකච්ඡා වටයේදීම (1924) දෙමළ සාහිත්‍යය නඟා සිටුවීමේ අවශ්‍යතාව යන මැයෙන් දෙමළ බසින් සාකච්ඡාවක් පැවැත්වීය. මීට සහභාගී වූවන් අතර නවනීත ක්‍රිෂ්ණ භාරතී (1889 - 1952), පණ්ඩිත් වී ආර් රාජයානර් (1899 - 1954) සහ එස් නටේසපිල්ලෛ (1895 - 1865) යන අය වූහ. මෙම පළමු කොංග්‍රසයෙන් සම්මත කරගනු ලැබූ කේන්‍ද්‍රීය තීරණයක් ලෙස පහත සඳහන් තීරණය පෙන්වා දිය හැක: ''ජාතික සාහිත්‍ය කලාව හෝ  සංගීතය පුනර්ජීවනය කිරීම සඳහා අපූර්ව කාර්ය කොටසක් කරන ඕනෑම කෙනෙකුට කොංග්‍රසය මඟින් ත්‍යාගයක්, පදක්කමක් හෝ වෙනත් ආකාරයේ දිරිමත් කිරීමත් ‍ප්‍රධානය කළ යුතු ය". සියළුම කොංග්‍රස් සම්මන්ත්‍රණවල දෙවන දිනය ජාතික සාහිත්‍ය සහ සංස්කෘතිය සඳහා වෙන් කිරීමේ සම්ප්‍රදායයක් ආරම්භ කළ අතර, එහි සියළුම සාකච්ඡා පැවැත්වූයේ දෙමළ බසිනි. 1928දී කීරිමලෛ හි පැවැත් වූ කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයේ දී 'අපගේ ජාතික උරුමය වශයෙන් දෙමළ භාෂාව' සහ 'දෙමළ පුනරුදය' යන මැයෙන් දේශන පවත්වන ලදී. මෙම කොංග්‍රස් සැසිවාරවල කැපී පෙනෙන ලක්‍ෂණයක් වූයේ ඒවාට ඉන්දීය ශාස්ත්‍රඥයන් සහභාගී වීම ය. ඔවුන්ගෙන් ඇතැමෙක් දෙමළ භාෂාව පිළිබඳ ශාස්ත්‍රඥයෝ වූහ. මේ අය අතර, ටී වී කල්‍යාණසුන්දර්නාර් සහ එස් සත්‍ය මූර්ති යන අය ද සිටියහ.  1924දී රාමක්‍රිශ්ණ නිකායේ පූජකයෙකු වශයෙන් නැවත ලංකාවට පැමිණි ස්වාමි විපුලානන්ද ද කොංග්‍රසයේ කටයුතු සමඟ ක්‍රියාකාරී ලෙස සම්බන්ධ විය. 1928දී පැවැත් වූ කොංග්‍රස් සැසිවාරයේදී සභාපතිගේ දේශනය පවත්වන ලද්දේ ඔහු විසිනි. තරුණ කොංග්‍රසයේ වැඩසටහන්වලදී දෙමළ සාහිත්‍යයට සහ භාෂාවට අවධානය යොමුකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලනය හා භාෂාව අතර සංයෝජනය වීමක් සිදුවිය. මෙහි ප්‍රතිඵල පැහැදිලි වූයේ වඩාත් පසුකාලීනව ය. පැහැදිලිවම කොංග්‍රසයේ කටයුතු නිසා සාහිත්‍යයේ නිර්මාණශීලීවයට පිටිවහලක් ලැබුණි.(14)

දෙමළ භාෂාව සම්බන්ධයෙන් දැකගත හැකි වූ වර්ධනයේ රටාව දෙමළ ජනතාවගේ ඉපැරණි ආගමික චින්තනය වශයෙන් සැළකූ ශෛව සිද්ධාන්ත දර්ශනය සම්බන්ධයෙන් ද සමගාමීව ක්‍රියාත්මක විය. මෙකී දර්ශනයේ ගෞරවය සහ ප්‍රබලත්වය  නඟා සිටුවීමට නාවලර් ලබාදුන් මුල් කාලීන නායකත්වය නිසා නොයෙක් ස්ථානවල මෙම අදහස් ප්‍රචලිත කිරීම සඳහා සංවිධාන බිහිවිය. යාපනයේ ශෛව පරිපාලන සභාව පිළිබඳව මේ වනවිට ද කරුණු සඳහන් කර ඇත. 1905 දී දකුණු ඉන්දියා‍වේ ශෛව සිද්ධාන්ත සමාජය ආරම්භ කරන ලදී. මේ වනතෙක්ම ශිව ආගම සහ දර්ශනයේ එකම භාරකරුවන් වූයේ ශිව ආශ්‍රමයයි. එනමුත් මේ වනවිට මේවා ආරක්ෂා කිරීම තමන්ගේ යුතුකමක් ලෙස ගිහියෝ ද විශ්වාස කළහ.

මේ අනුව ශෛව සිද්ධාන්ත සමාජය ‍ශෛව සිද්ධාන්ත ධර්මය ප්‍රචාරය කිරීම සම්බන්ධ උසස්ම ආයතනය බවට පත් වූ අතර, සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකේය දමිළයෝ කිහිප දෙනෙක්ම එහි කේන්‍ද්‍රීය භූමිකාවක් ඉටු කළහ. නිරතුරුවම සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකිකයන්ට එහි දේශන කිරීමට ආරාධනා ලැබුණු අතර, එහි වාර්ෂික සැසිවාරවල සභාපතිත්වය ද මින් ඇතැමෙක් දැරූහ. සමාජයේ ප්‍රථම වාර්ෂික සම්මන්ත්‍රණයේ සභාපතිත්වය දැරුවේ ශ්‍රීමත් පී රාමනාදන් ය. මේ සමාජයේ කටයුතු සමඟ ජේ එම් නල්ලස්වාමි පිල්ලෛ සමීපව කටයුතු කළේය.

සමාජ විද්‍යාත්මකව බලන කල, ඉහත සඳහන් කළ භාෂා සහ සංස්කෘතික පුනර්ජීවය මූලික වශයෙන් මධ්‍යම පාන්තික දමිළයන් අතර ආරම්භ වූ ක්‍රියාවලියක් වූ අතර, ඊට නායකත්වය ලබා දුන්නේ උසස් මධ්‍යම පාන්තික සාමාජිකයන් විසිනි. ආගමික ක්‍ෂේත්‍රයේ ඇරඹුණු මෙම පුනර්ජීවය භාෂා සහ සාහිත්‍යය ක්‍ෂේත්‍ර දක්වා ව්‍යාප්ත විය. මූලික වශයෙන් එය යටත් විජිත ආධිපත්‍යය හමුවේ සිදු වූ සංස්කෘතික ස්වබලය තහවුරු කිරීමක් විය. මෙහිදී මතක තබා ගත යුත්තේ මේ සංස්කෘතික සවිඥානකත්වය, එහි බලපෑමේ පරිමාණය සම්බන්ධයෙන් සීමිත වූ බවයි. සැබැවින්ම එය සැළසුම් කර තිබුණේ මධ්‍යම පාන්තික අගයන් හා අභිලාෂයන් බලගැන්වීමට සහ නායකත්වය සඳහා එකී පන්තියට අවශ්‍ය වූ ප්‍රතිරූපය ගොඩ නැඟීම පිණිස ය. නිසැකවම, සියලූම සංස්කෘතික කටයුතු පැහැදිලි ක්‍ෂේත්‍ර කිහිපයකටම පමණක් සීමා විය. තම දිශානතිය අනුව මූලික වශයෙන් පසුගාමී දර්ශනයකින් හෙබි මධ්‍යම පන්තියට අවශ්‍ය වූයේ පැරණි සමාජයේ ස්ථාපනය වී තිබුණු දෙමළ සංස්කෘතියේ යම් අංග නඟා සිටුවීමටයි. භාෂාව සම්බන්ධයෙන් ගෙන බලන කළ 'සෙන් තමිල්' නැතිනම් සම්භාව්‍ය දෙමළ නඟා සිටුවීම සඳහා පැහැදිලි උද්‍යෝගයක් තිබුණ ද ප්‍රායෝගිකව ගෙන බලන කල, එය මළ භාෂාවක් විය. එනමුත් එක් එක් සමාජ පිහිටුවීම සහ සම්මන්ත්‍රණ පැවැත්වීම පදනම් වූයේ මේ මත ය. එසේ වුවත් ශ්‍රීමත් පී රාමනාදන් සහ ඔහුගේ බෑණනුවන් සහ දේශපාලන උරුමක්කාරයා වූ එස් නටේසන් සම්භාව්‍ය භාෂාවකින් කතා කිරී‍මේ ප්‍රවණතාවක් ඇති කළේය.(15)

ශිෂ්ට සම්පන්න දමිළ දැරියක් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය  අංග ලෙස භරත නාට්‍යම් සහ කර්ණාටක සංගීතය පිළිගන්නට යෙදුණි. මේ දෙකම 'දෙමළ කලාවන්' සහ 'ජයග්‍රහණ' වශයෙන් අගය කෙරුණු අතර ශීඝ්‍රයෙන් මධ්‍යම පාන්තික දමිළයන්ගේ මූලික උනන්දුවක් බවට පත් විය. භාරත අයියර් හා රුක්මිණී දේවී අරුණ ඩේල්ගේ උත්සාහය නිසා 1920 දශකය මුල් යුගයේදී විශේෂයෙන් භරත නාට්‍යම් ක්‍ෂේත්‍රයට නව ප්‍රාණයක් ලැබුණි. රැක්මිණී දේවී පිහිට වූ කලා ක්‍ෂේත්‍ර ඇකඩමිය අද වනතෙක්ම මදුරාසියේ පිහිටි උසස්ම නර්තන පුහුණු ඇකඩමිය ලෙස පවතී. එමෙන්ම, ජී වෙන්කතචාලම්ගේ විමර්ශනීය ලිපි මඟින් ඒ නර්තන ප්‍රවර්ගයේ මතවාද සහ සම්ප්‍රදා ප්‍රචලිත කරනු ලැබීය. 18 හා 19 වැනි සියවස් තුළ දී භරත නාට්‍යම් නර්තනයේ වැදගත්කම බෙහෙවින් අඩු වූ අතර, එය ගණිකාවන් විසින් රඟ දැක්වූ 'නලඟනන්ගේ නර්තනයක්' බවට පත් විය.  ජී වෙන්කත චාලම්ගේ සිට මහාචාර්ය වී රාඝවන් (1908 - 1979) දක්වා ශාස්ත්‍රඥයන් හා විමර්ශකයන් ගණනාවකගේ දායකත්වය භරත නාට්‍යම් සම්ප්‍රදාය නඟා සිටුවීම සඳහා ලැබුණ ද, ඊට අද්විතීය සහායක් ලැබුණේ ආනන්ද කුමාරස්වාමිගෙනි.

කුමාරස්වාමි විසින් රචිත මුල්කාලීන කෘති දෙකක් වූ The Mirror of Guesture (1917) සහ The Dance of Shiva (1918) භරත නාට්‍යම් පිළිබඳව ඉන් පසුව අදහස් පළකළ සියළු ලේඛකයන්ටම පාහේ බෙහෙවින් බලපෑම් කළේය. (16) මෙලෙසින්ම, කර්ණාටක සංගීතය ද, ප්‍රභූ මාළිගා සහ දේවාලවල සිට සංගීත ශාලා වෙත සංක්‍රමණය වූ අතර, භරත නාට්‍යම් සමග එයද දෙවියන්ගේ කලාවක් වශයෙන් පිළිගැණුනි. මෙයින් පෙනී යන්නේ දෙමළ භාෂාව, භරත නාට්‍යම් හා කර්ණාටක සංගීතය මත දේවත්වය ආරෝපණය වූ අතර, එනිසාම ඒවා තුළ පර්යේෂණයට හා නව්‍යකරණයට අවසර නොලැබුණ බව ය. පැහැදිලිවම, මෙවන් කලා ප්‍රගුණ කිරීමට සාපේක්‍ෂ වශයෙන් විශාල මුදලක් අවශ්‍ය වූ අතර, එය දැරිය හැකි වූයේ උසස් පන්ති සාමාජිකයන්ට පමණි. මෙනයින් ජනප්‍රිය කලාවන්ගේ අගය තවදුරටත් පහත වැටුණු අතර, ඒවාට ලැබුණු අනුග්‍රහය ද නැවතිණි. මේ අනුව, 1950 අගභාගය හා 1960 දශකය අගභාගය වන තුරුම ජනප්‍රිය, නැතිනම් 'ගැමි කලා' ලෙස බොහෝවිට හඳුන්වන කලා කටයුතු අධ්‍යයනය කිරීමට හෝ අගය කිරීමට කැප වූ සැළකිය යුතු මට්ටමේ ව්‍යාපාරයක් මතු නොවීම පුදුමටය කරුණක් නොවේ. මේ අනුව, ඊනියා 'ඉපැරණි' හා 'දේවකලා' සියලුම දේශපාලන බලපෑම්වලින් ආරක්‍ෂා කළ අතර, විශේෂයෙන්ම සමාජ සංශෝධනය හා විපර්යාසය සමග බැඳුණු අදහස්වලින් ඒවා වඩාත් ආරක්‍ෂා කරනු ලැබීය. එනම්, සාමාන්‍යයෙන් කාලීනව පඨිසෝතගාමී අදහස් අවශෝෂණය කරගනිමින් හා ඒවාට ප්‍රකාශන හැකියාව ලබා දෙමින් පුනර්ජීවය ලැබූ කලා ප්‍රවර්ග මධ්‍යම පන්තිය විසින් එකී බලපෑම්වලින් දැඩි ලෙස ආරක්‍ෂා කරමින් ඒවා හුදු සමාජ තත්ත්වය පිළිබඳ සංකේත හා ජනවාර්ගික අනන්‍යතා සංකේත වශයෙන් පමණක් පවත්වාගෙන යන ලදී.

1950 ගණන් වනතුරුම දමිළයන්ගේ භාෂා සහ සංස්කෘතික සවිඥානිකත්වයේ ස්වභාවය මෙසේ විය. ඒ පෙරියතම්බි පිල්ලේ (1899 - 1978), එස් සෝමසුන්දර පුල්ලවාර් (1878 - 1953) සහ තුරෙයියප්පා පිල්ලේ වැනි වඩාත් සංවේදී වූ දෙමළ ශාස්ත්‍රඥයන් හා ගත් හා පැදි කතුවරුන් සිංහල සහ දෙමළ භාෂා දෑස් යුගලක්, නැතහොත් සොහොයුරියන් හෝ සහෘදයන් දෙපළක් ලෙස දුටු අතර සෑම විටම එක්සත් හා ප්‍රීතිමත් නිවසක ප්‍රතිරූපකයක් උද්දීපනය කරන ලදී. පෙරියතම්බි පිල්ලේ හා නල්ලතම්බි වැනි කවීන් පිළිබඳව මෙනෙහි කිරීමේදී අනිවාර්යයෙන්ම සුබ්‍රමානියා භාරතී ද (1882 - 1921) මතකයට නැගේ. භාරතී, නූතන ඉන්දීය සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ විශ්වීය ස්ථානයක් නියෝජනය කළ ද, ඔහුගේ මව්බස වූ දෙමළ සහ මව්බිම හා දේශීය සංස්කෘතිය පිළිබඳව ඔහු විසින් ලියූ හැඟීම්බර කවි ‍නොයෙකුත් ආකාරවලින් දමිළයන් අතර භාෂා සවිඥානකත්වයක් ජනනය කළේය. භාරතීගේ කවි තුළ සුවිශේෂී ලක්‍ෂණයක් අන්තර්ගත විය. එනම්, ඒවා තුළ විශ්වීය හා පරිස්ථානීය දර්ශනයක් එක්වරම අන්තර්ගත වීම ය. පරිස්ථානීය හා අවට තිබූ දෑ පිළිබඳව ඔහු තුළ තිබූ දැඩි උනන්දුව භාෂාව, සංස්කෘතිය, සමාජ ව්‍යාධීන් හා පුද්ගලික නිදහස ආදී ප්‍රපංච වෙත ඔහු දැක් වූ අවධාරණයෙන් පෙනේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ බලපෑම ද සමාජයේ එක් එක් කොටස් මත කා වැදුණේ වෙනස් ආකාරවලිනි. අපගේ කවීන් වන තුරෛයප්පා පිල්ලේ, පෙරියතම්බි, නල්ලතම්බි හා සෝමසුන්දර පුලවාර්, භාරතීගේ වඩාත් පුළුල් වූ ජාතිකවාදී ලක්‍ෂණ ග්‍රහණය කරගත් අතර වෙනත් අයෙක් වඩාත් සවිඥානිකව ඔහුගේ පරිස්ථානීය දර්ශනය වෙත ඇදී ගියහ. වෙනත් වචනවලින් පවසනවා නම් ඔවුන් භාරතී පෙන්වා දුන් ප්‍රධාන මාර්ගය අමතක කර දමා, අතු මං මාවත් වෙත අවධානය යොමු කර ඇත. අද වන විට, භාරතී සමස්ත ඉන්දීය කවියෙකු ලෙස කැපී පෙනෙන අතර, ඔහුගේ කවියේ ගීතමය බව හා විශ්වීයත්වය නිසා රටවල් බොහෝමයක ඉමහත් කීර්තියට පත්ව සිටියි. ඒ සමගම අප පිළිගත යුතු තවත් කරුණක් නම්, ඔහු නොයෙකුත් ආකාරවලින් දමිළ ජාතිකවාදයේ පෙරගමන්කරුවන්ගෙන් එක් අයෙකු ද වන බවයි. 1930 ගණන්වල සිට භාරතීගේ ලියැවිලි ලංකාවට ක්‍රම ක්‍රමයෙන් ළඟා වූ අතර, ශාස්ත්‍රඥයෝ, ගත් සහ පැදි කතුවරු, සමාජ සංශෝධකයෝ සහ අවසානයේදී දේශපාලනඥයෝ ද ඒවාට ප්‍රතිචාර දැක්වූහ. තත්කාලීන සාහිත්‍ය විචාර භාරතීගේ කෘතිවල සමාජ අන්තර්ගතය වෙත දැඩි අවධානයක් යොමුකරන බව පැහැදිලි ය. එනමුත් තමිල්නාඩුවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද දෙමළ ජාතිකවාදීන් භාරතීව ප්‍රක්‍ෂේපණය කර ඇත්තේ මූලික වශයෙන් භාෂා විරුවෙකු වශයෙනි.

සමාප්ති සටහන්

පශ්චාත් නිදහස් යුගයේ සිදු වූ නොයෙකුත් දේශපාලන වර්ධනවල ප්‍රතිඵලයක් වශයෙන් භාෂාව සහ සංස්කෘතිය පිළිබඳව ගැටළු තුළට නව මානයන් ඇතළු කරන ලදී. ලක්‍ෂ නවයක් පමණ වූ ඉන්දීය දෙමළ ජන කොටසේ ඡන්ද අයිතිය අහෝසි කිරීම, එක් එක් ඡන්දවලදී සිංහල ආසන සංඛ්‍යාව වැඩිවීම ආදී සිදුවීම්වලින් දෙමළ ජනතාව අතර තම ජාතිය සුළුතරයක් ය යන දැනවීම මතු කළේය. 1952දී දෙමළ සංස්කෘතික සමාජය කොළඹ දී ස්ථාපනය කිරීම අහඹු සිදුවීමක් නොවීය. එහි වැඩ සටහන් අතර ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව අන් රටවල ද ජීවත් වූ දමිළයන්ගේ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ තොරතුරු සම්පාදනය කිරීම ඇතුළත් විය. මේ යුගයේදී ඇති වූ සංස්කෘතික සවිඥානකත්වයේ යම් පැතිකඩ දෙස අවධානය යොමු කිරීම වටී. දකුණු ඉන්දියාව තව දුරටත් දමිළයන්ගේ ප්‍රධාන භූමිය ලෙස සැළකුන අතර බොහෝ ශ්‍රී ලාංකීය දමිළයන් එය තම 'මව්බිම' ලෙස සැළකුව ද, එහි කේන්‍ද්‍රීයත්වය ක්‍රම ක්‍රමයෙන් පසුබිමට තල්ලු වී ගියේය. ශ්‍රී ලංකාවේ දමිළයන්ගේ අතීත හා වර්තමාන ඉතිහාසය මේ තත්ත්වය ය‍ටතේ වඩ වඩාත් වැදගත් වූවා මෙන්ම අනුභූතිකව ද සමීප විය.(17) ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ ජීවත් වූ දමිළයන් අතර කුමනාකාරයේ සමූහ සබඳතා හා බැඳීම් තිබුණ ද, මේ පුද්ගල කණ්ඩායම් දෙක එකිනෙකාගෙන් වෙනස් වූ ගැටළුවලට මුහුණ දෙමින් ස්වාධීන රජයන් දෙකක් යටතේ ජීවත් වූහ. එමෙන්ම ද්වන්දාත්මක වෙනස්කම් ද වඩ වඩාත් පැහැදිලි වන්නට විය. මේ අනුව ප්‍රථම වතාවට ශ්‍රී ලාංකේය දමිළයෝ මේ භූමිය පිළිබඳ දැඩි උනන්දුවක් පෙන්නුම් කරන්නට වූහ. නිසැකවම, මේ උනන්දුව බොහෝ දුරට මතුවූයේ දෙමළ දෘෂ්ටි කෝණයක් තුළිනි. මේ අනුව බොහෝ දෙනා මතු කළේ පහත සඳහන් ආකාරයේ ප්‍රශ්නයි: ශ්‍රී ලංකාවට දමිළයන් පැමිණියේ කවදා, කො‍හි සිටද? ඔවුන් මේ භූමියේ මුල් පදිංචිකරුවෝද? සිංහල ජනයා සමග ඔවුන්ගේ පවතින්නේ කවරාකාරයේ සම්බන්ධයක් ද? මෙරට සංස්කෘතියට සහ සභ්‍යත්වයට ඔවුන් ලබා දී ඇත්තේ කුමනාකාරයේ දායකත්වයක්ද? මේ හා මීට සමාන අන් ප්‍රශ්න ගණනාවක් වේගයෙන් හා ප්‍රබලව මතු පිටට පැමිණියේය. මීට පෙර දශක කිහිපය මුළුල්ලේ මුදළිඳු සී රාසනායගම් (1870 - 1940), ඥාණප්‍රගාසර් පියතුමා, ඒ මුතුතම්බි, කේ වේලුපිල්ලෛ (1860 - 1944) සහ අන් අය දමිළයන්ගේ ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දැක් වූ බව සත්‍යයකි. ඔවුන්ගේ උත්සාහය මූලික වශයෙන් ශාස්ත්‍රීය හා ආධුනික ස්වභාවයක් ඉසිළීය. එනමුත්, 1950 ගණන්වලදී ඓතිහාසික ලියැවිලි හුදු ශාස්ත්‍රීය ලේඛන පමණක් නොවීය. මේ ගවේෂණ ක්‍ෂණික වූවා මෙන්ම යම් මැදිහත්කාරක බවක් ද දැරීය. මහාචාර්ය කේ කණපතිපිල්ලෛ (1903 - 1968) 'සම්කිලි' නමැති ඔහුගේ ඓතිහාසික නාටකය 1956 දී පළ කළ අතර ඒ සඳහා 'ශ්‍රී ලංකාවේ දමිළයන්ගේ ඉතිහාසය' යන මැයෙන් පූර්විකාවක් ද සම්පාදනය කළේය. මින් පසුව, 1958දී සී එස් නවරත්නම්ගේ 'දමිළයන් හා ලංකාව' කෘතිය ද, 1959දී කේ නවරත්නම්ගේ (1898 - 1962) 'ලංකා සංස්කෘතියේ දෙමළ අංග' යන කෘතිය ද පළ විය. එනමුත් මේ උනන්දුව හුදෙක් ඉතිහාසයට පමණක් සීමා නොවීය. ආනන්ද කුමාරස්වාමිගේ අනුගාමිකයෙකු වූ කේ නවරත්නම්, කුමාරස්වාමිගේ කෘති දෙමළ බසින් ජනප්‍රිය කළ අතරම ඔහුගේ The Development of Arts in Sri Lanka (1954) නම් කෘතිය දෙමළ බසට පරිවර්තනය කර පළ කළේය. මේ ප්‍රවණතාව තව දුරටත් වර්ධනය වූ අතර, කල් යත්ම මේ හඬවල් වඩාත් තීව්‍ර වූවා මෙන්ම සටන් පාඨාත්මක ස්වභාවයක් ද ඉසිළීය. මේ කාලයේදී ලියැවුණු ඇතැම් ශාස්ත්‍රීය නිබන්ධ Tamil Culture (1952 - 1966) නම් නිබන්ධ සංග්‍රහයේ ප්‍රකාශ කිරීමට වරම් ලැබුණි. එය සංස්කරණය කළේ ශ්‍රී ලාංකිකයෙකු වූ ශේවියර් එස් තන්තිනායගම් විය. එය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මදුරාසියේ ය. ඒ ජේ විල්සන්ගේ Cultural and Language Rights in the Multinational Society (1953) හා තන්තිනායගම්ගේ Tamil Culture - Its' Past, Its Present and Its Future with Special Reference to Ceylon (1955) වැනි ශාස්ත්‍රීය නිබන්ධ මෙන්ම ඩබ්ලියු බාලේන්‍ද්‍රගේ Trincomalee Bronzes (1953) හා එස් කේ ගුණසේකරම්ගේ Early Tamil Cultural Influences in South East Asia (1957) වැනි අසංවිධානාත්මක නිබන්ධ ද එහි පළ විය. මෙලෙසම එස් නටේස පිල්ලේගේ The Nothern Kingdom (1960) හා Glimpses of the Early Hstory of Jaffna යන කෘතිද ලියැවී තිබුණේ සාමාන්‍ය පාඨකයා සඳහාය. 1954 දී එච් ඩබ්ලිව් තම්බයියා තම Law and Customs of the Tamils of Ceylon පළ කළේ මේ පැවති වාතාවරණයට ප්‍රතිචාරයක් වශයෙන් යැයි සිතිය හැකිය.මේ ක්‍ෂේත්‍රයට දායකත්වයක් ලබා දුන් වඩාත් මෑතකාලීන කෘතියක් නම් එච් ඩී රාගවන්ගේ Tamil Culture in Ceylon යන කෘතිය වේ. සාමාන්‍ය වශයෙන් ගත් කළ, මේ වාතාවරණය තුළ දෙමළ සංස්කෘතිය යන සංකල්පයට වඩාත් පුළුල් වැදගත්කමක් හා අර්ථ විවරණයක් ලැබුණි. The Tamils of Early Ceylon (1964) නැමති සී සිවරත්නම්ගේ කෘතිය මේ ප්‍රවණතාවට උදාහරණ සපයයි. 1960 දශකය මැද භාගය වන විටදී මේ විෂයට සැලකිය යුතු මට්ටමේ ශාස්ත්‍රීය අවධානයක් ලැබුණු අතර, එනිසාම දර්ශනපති උපාධි නිබන්ධ කිහිපයක්ද ලියවිණි. මීට උදාහරණ වශයෙන් කේ ඉන්ද්‍රපාලගේ දර්ශනපති නිබන්ධය වන Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna (1965) හා එස් පත්මනාදන්ගේ The Kingdom of Jaffna (1969) යන දර්ශනපති උපාධි නිබන්ධය මීට කදිම උදාහරණ වේ. ඉන්ද්‍රපාල විසින් දමිළ බසින් රචිත ලංකාවේ දමිළ වාස්තු විද්‍යාව (1970) නැමති කෘතිය ද සංස්කෘතිය නිර්වචනය හා අනන්‍යතාව පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් ලියැවුණු තවත් කෘතියකි. මේ කාලයේදීම මේ විෂයන් සම්බන්ධව බටහිර ශාස්ත්‍රඥයන් කිහිප දෙනෙකු ද ලිපි ලේඛන රචනා කර ඇත.

භාෂාවේ දේශපාලන අංග පිළිබඳව සාකච්ඡා කිරීමේදී 1937 දී මදුරාසියේ පැතිර ගිය හින්දි භාෂාවට එරෙහි විරෝධතා පිළිබඳව ද යමක් සඳහන් කළ යුතුය. මූලික වශයෙන් මේ ව්‍යාපාරය පාසල්වල අනිවාර්ය විෂයක් වශයෙන් හින්දි භාෂාව හඳුන්වා දීමට එරෙහිව දියත් වූවක් විය. එනමුත්, එහි ප්‍රතිඵල වඩාත් පුළුල්ව විහිද ගියේය. එහි උච්චතම කාලයේදී හින්දු-විරෝධතා වෙත එක් එක් ආකාරයේ දමිළ ප්‍රේමීන්ගේ සහයෝගය ලැබුණි. ලාංකිකයෙකු හා වේදාචලම්ගේ අනුගාමිකයෙකු ද වූ සිවනන්ත ආදිකාල් ද මේ ව්‍යාපාරයේ පෙරමුණේම සිටියේය. එක් සටන් පාඨයකින් තවත් සටන් පාඨවලට සංක්‍රමණය වූ හින්දි-විරෝධතාව අවසානයේදී ස්වාධීන දෙමළ පළාතක් නැතිනම් දමිළ භාෂාව සඳහා වූ ප්‍රබල ඉල්ලීම දක්වා වර්ධනය විය. මේ සියළුම සිද්ධි ශ්‍රී ලාංකේය දමිළයන්ට බෙහෙවින් ගැඹුරු අර්ථ සම්පාදනය කර දුනි. මන්ද යත්, 1950 දශකය අග භාගයේදී හා 1960 දශකය මුල් භාගයේදී සිංහල භාෂාව ආරෝපණය කිරීමට එරෙහිව දියත් කළ උද්ඝෝෂණවල දී එය ඔවුන්ගේ මතකයට නැගුණු නිසාය.

1950 දශකය අගභාගයේ ආරම්භ වී 1960 දශකය මුළුල්ලේ ප්‍රබලව වර්ධනය වූ හා සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ ක්‍ෂනික බලපෑමක් ඇතිකල තවත් ප්‍රපංචයක් විය. ප්‍රථම වතාවට ඒ වන විට කිසිම අවධානයකට පාත්‍ර නොවී සිටි දමිළ සමාජයේ සම්ප්‍රදායික පීඩිත කොටස සාහිත්‍ය හා සංස්කෘතික ව්‍යාපාරය මගින් තම කටයුතු සමඟ සම්බන්ධ කරගන්නා ලදි. දකුණු ඉන්දියාවේදී මෙන්ම ශ්‍රී ලංකාවේද මතුවූ පශ්චාත් නිදහස් යුගයේ ගැටළු මගින් දමිළ සමාජයේ පීඩිත කොටසින් ලේඛක කණ්ඩායමක් බිහිවීමට අවශ්‍ය වාතාවරණය සකසන ලදි. මෙහිදී 'පීඩිත' යන්න කුලහීන යන අර්ථයෙන් ගත යුතුය. ඔවුන් බොහෝ දෙනා මාක්ස්වාදයට හා වාමාංශික දේශපාලන සංවිධානවලට ආකර්ශනය වූ අතර, එමඟින් ඔවුන්ට ලෝක දෘෂ්ටියක් මෙන්ම සූරාකෑමට එරෙහිව සටන් කිරීමට හා නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ලබාදෙන ලදි. බලාපොරොත්තු විය හැකි පරිදිම, ඔවුන්ගේ සාහිත්‍ය අධ්‍යාපනය යම් දුර්වල මට්ටමක තිබුණි. එනමුත් මේවන තුරු භාවිතයේ නොතිබුණු උප-භාෂා, රූපක හා ප්‍රකාශන ශෛලීන් යොදා ගනිමින් ඔවුහු ගද්‍ය, පද්‍ය හා නාට්‍ය  ක්‍ෂේත්‍රවලට නව අනුභූති හා දර්ශන ගෙන ආවෝය. පාසල්වල ඉගැන්වූ 'නිවැරදි' දෙමළ පිළිබඳ ඔවුන් එතරම් තැකීමක් කළේ නැත: පාරිශුද්ධ දමිළ ඔවුන්ට වැදගත් නොවීය.සැබවින්ම ඔවුන් විවෘතව පාරිශුද්ධ දමිළ පිළිබඳ ඔවුන් තුළ වූ පිළිකුළ ප්‍රකාශ කළ අතර, එහි අනුගාමිකයන් සමච්චලයට ද ලක් කළහ. ඔවුන්ට භාෂා සීමා සමාජ හා දේශපාලන සීමාවලට සමාන වූ අතර, ඒ සියල්ලම බිඳ දැමිය යුතුය යන ස්ථාවරයේ සිටියහ. යම් දුරකට වෙනස් සන්දර්භයකදී ප්‍රකාශ කළද හැරිසන්ගේ පහත සඳහන් සාමාන්‍ය නිරීක්‍ෂණ මෙහිදී අදාළ කර ගත හැකිය:

භාෂා වෙනස්කම් පන්ති වෙනස්කම් හා සමාන වන අවස්ථාවලදී භාෂා ගැටුම් සමාජ ගැටුම්වල සටන් රේඛාවලට අනුගත වීමේ අවස්ථා ඇතිවා මෙන්ම, එමඟින් සමාජ ගැටුම් වඩාත් උච්ච කිරීමට ද ඉඩ ඇත. එමෙන්ම, පහත් පන්තියක් තම ලේඛන භාෂාව වහරන්නේ ඔවුන් සංඛ්‍යාත්මකව වැඩි වෙමින් පවතින අවස්ථාවකදී හෝ ඔවුන් සමාජයේ දේශපාලන හා ආර්ථික බලයෙන් වැඩි කොටසක් අත්පත් කරගත් අවස්ථාවකදී නම්, භාෂා ගැටුම් ඔවුන් සමාජයේ චල්‍යතාව ලබා ගන්නා සාමාන්‍ය ක්‍රියාවලියේ කොටසක් බවට පත්වනු ඇත. එමෙන්ම එය ඔවුන් වැඩි දේශපාලන බලයක් ලබාගැනීමට කරන අරගලයේ කොටසක් ද වනු ඇත (හැරිසන් 1957: 121).

මේ තත්ත්ව සමග දමිළ භාෂා සවිඥානකත්වය එහි සමස්ත චක්‍රය සම්පූර්ණ කර ඇති සෙයක් පෙනේ. උසස් පන්තිවලින් ආරම්භ වූ එය එක් එක් ආකාරවලින් සමස්ත සමාජයම ආවරණය කර ඇත. භාෂාව හා සංස්කෘතිය පිළිබඳ සාමාන්‍ය සවිඥානකත්වය සමස්ත ප්‍රජාවටම පොදු වුවද, එහි වැදගත්කම එකිනෙකට වෙනස් සමාජ කණ්ඩායම් හා පන්තිවලට දැණුනේ සාපේක්‍ෂ වශයෙන් වෙනස් ආකාරවලටය. එමෙන්ම, මේ භාෂා සවිඥානකත්වය මුලදී ඇරඹුනේ හුදු විචිත්‍රාද්භූතවාදී හා සංකේතාත්මක ආකාරයකින් වුවද, එය පසුව ජනතාවගේ සමාජ, දේශපාලන හා ආර්ථික දිවිපෙවතට බලපෑම් කළ මූර්ත ගැටලුවක් බවට පත් විය. අද දින, දමිළයන්ගේ සංස්කෘතික ජාතිකවාදය මංසන්ධියකට පැමිණ තිබේ. එය තවදුරටත් හුදු භාෂාව හා සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය ජාතිකත්වය පිළිබඳ මූලිකම ප්‍රශ්නය වේ. අද දින පවතින (ජනවාර්ගික අර්බුදයේ සන්දර්භය තුළ) භාෂාව, ආගම,සාහිත්‍ය ආදී දේ හා සම්බන්ධ මූලිකම ගැටලුවේ සෙවනැල්ලට යටවී ගොස් ඇත. නොඑසේනම් මේ ගැටලු සංකීර්ණයම එකිනෙකට අනුකලනය වී ඇත. මේ අනුව ඉහත විස්තර කළ භාෂා හා සංස්ක  ෘතික සවිඥානකත්වය නව අන්ත දක්වා වර්ධනය වී තිබේ. නැති නම්, එහි තාර්කික අන්තය වෙත පැමිණ ඇත. මේ සවිඥානකත්වය ඵලදායක හා ධනාත්මක ලෙස ඉදිරියට වර්ධනය කිරීමට අවශ්‍ය වාතාවරණය සම්පාදනය කළ හැක්කේ ප්‍රධාන ප්‍රතිවිරෝධතා සඳහා නිසි විසඳුමක් සොයා ගැනීමෙන් පමණි. ☐

කේ. කෛලාසපති


© කොළඹ ආයතනය

සටහන්:

13. දෙමළ පාරිශුද්ධවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වූ එස්ග වේදචලම් (1876 - 1950) විටින් විට ලංකාවට පැමිණියේය. ඔහුගේ බලපෑම බෙහෙවින් ප්‍රචලිත වූ අතර, භාෂා සවිඥානකත්වය තීව්‍ර වීමට එය බලපෑවේය.

14. තරුණ කොංග්‍රසයේ කෙටි ඉතිහාසයක් සඳහා ශාන්ත සීලන් කදිරගාමර්ගේ The Jaffna Youth Congress යන ලිපිය කියවන්න. (හැන්ඩි පෙරිම්බනායගම් අනුස්මරණ වෙළුම, යාපනය: 1980) 

15. සාම්ප්‍රදායික දෙමළ ඇඳුමේ කොටසක් වශයෙන් නටේසන් විසින් තලප්පාවද පැලැඳුවේය. එමෙන්ම ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමිගේ මූලාරම්භය අනුව අන් ප්‍රභූන් කිහිප දෙනෙකුද තලප්පාව පැලැඳුවෝය. ශ්‍රීමත් රාමනාදන් විසින් තලප්පාවට වංශවත් භාවයක් ලබා දුන්නේය. තලප්පාව පළඳින ලද අවසන් දෙමළ දේශපාලනඥයා වූයේ ශ්‍රීමත් කන්දයියා වෛත්‍යනාදන් ය(1896 - 1965)‍‍. එහි ජනප්‍රියත්වය දමිළයන්ගේ සමාජ දේශපාලන ජීවිතයේ සිදු වූ වෙනත් විපර්යාස ද සමගින් මිලින විය. මේ ක්‍රියාවලිය සමාජ විද්‍යාත්මකව ගවේෂණය කළ යුතු වේ.

16. මෙහිදී පෙන්වා දිය යුත්තේ කුමාරස්වාමිගේ කෘති දමිළ නොවන ශාස්ත්‍රඥයන්ට ද ප්‍රබෝධකාරකයක් වූ බවයි.

17. 1951දී යාපනයේ පරමේශ්වර ශාලාවේ පැවැත් වූ දමිළ උත්සවය මේ වෙනස්වීම සංකේතවත් කළේය. මේ උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ හා උතුරු සහ දකුණු ඉන්දියාවේ සිට ශාස්ත්‍රඥයන් යාපනයට එක්රැස් වූහ. මේ උත්සවයට ප්‍රබෝධකාරකයක් වශයෙන් මදුරාසියේ දෙමළ සංවර්ධන සමිතිය නායකත්වය සැපපයීය. පසුකාලීන ජාත්‍යන්තර දෙමළ සම්මන්ත්‍රණ පැන නැඟුණේ මේ අදහස හා අනුභූතිය මත පිහිටා ය.