දෙමළ පුනරුදයේ ගාමක බලවේගය: යාපන ගුරුකුලයේ නැගීම

මෙම ලිපියේ පළමු කොටස :ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවේ භාෂා සවිඥානකත්වය

දෙමළ භාෂා සාහිත්‍යය හා විචාර වේදය පිළිබඳව, ශ්‍රී ලංකාවෙන් ඔබ්බහිද භාෂා විද්‍යාර්තීන් අතර මහත් සම්භාවනාවට පාත්‍ර මහාචාර්ය කෛලාසපති, මලයාවේ දී ලද මූලික අධ්‍යාපනයෙන් පසු යාපනයේ හින්දු විදුහලට ඇතුළත් වූයේ 1948දී ය. පසුකාලීනව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වූ කෛලාසපති පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා බර්මින්ග්හැම් සරසවිය කේන්ද්‍රීයව ස්වකීය ශාස්ත්‍රාලයීය දිවිය හැඩගස්වාගනු ලැබූවද, 'තිනකරන්' පත්‍රයේ කර්තෘවරයා වශයෙන් මාධ්‍ය ක්‍ෂෙත්‍රයට අවතීර්ණ වන්නට මුලින් තීරණය කළේය. '70 දශකයෙන් පසු පෙරළා ස්වකීය ශාස්ත්‍රාලයීය ලැදියාවන්ට ප්‍රමුඛතාව දෙමින් පළමුව විද්‍යාලංකාරයේ දෙමළ සහ හින්දු අධ්‍යයන අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ කෛලාසපති, 1974 යාපනය සරසවිය ස්ථාපිත කරන විට එහි පළමු සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුණි.

සතළිස් නව වැනි වියේ දී අකල් හි ආ මරණයට යටත්ව 1982 දෙසැම්බර් 06 වැනිදා නික්ම ගිය මහාචාර්ය කේ. කෛලාසපතිගේ මරණයෙන් 33 වසරක් මේ දෙසැම්බරයට සම්පූර්ණ වේ. 1982 වසරේ පුනිදම් තිරුචෙල්වම් අනුස්මරණ රැස්වීම සඳහා ඔහු විසින් දෙ සම්පාදනය කරන ලද මෙහි පළවන ලිපිය ආචාර්ය සසංක පෙරේරා සහ කථිකාචාර්ය ජගත් බණ්ඩාර පතිරගේ විසින් පළමුවරට සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ 2007 වසරේදී සමාජ සංස්කෘතික තීව්‍ර අධ්‍යයනය සඳහා වන කොළඹ ආයතනය විසින් පළ කරන ලද 'ශ්‍රී ලාංකේය සමාජය සහ සංස්කෘතිය පාඨනය කිරීම: තෝරාගත් නිබන්ධ' කෘතියේ දෙවැනි වෙළුම සඳහා ය‍. - (සංස්කාරක කමිටුව)

පරිවර්තනය: සසංක පෙරේරා / පරිවර්තන සහාය: ජගත් බණ්ඩාර පතිරගේ


නාවලර්ගේ ජීවිත කාලය තුළ සහ ඔහුගේ මරණයෙන් අවුරුදු තිහක් පමණ ගතවන තුරු මදුරාසියේ සාහිත්‍ය අවකාශයේ තම බලය පතුරුවාගෙන සිටි ප්‍රධානතම කණ්ඩායම වූයේ යාපනය ගුරුකුලයයි. ඒ වී සුබ්‍රමානියා අයියර් (1900 - 1976) නිවැරදි ලෙස ප්‍රකාශ කර ඇත්තේ 19 වන සියවසේ අවසන් කාර්තුවේ සිටි ප්‍රසිද්ධතම දෙමළ ශාස්ත්‍රඥයා සී ඩබ් තාමෝදරම් පිල්ලේ බවයි:

"ඔහු අයත් වූයේ යාපනයේ දෙමළ ශාස්ත්‍රඥයන්ගේ කණ්ඩායමට වූ අතර, වැදගත්කමින් දෙවැනි වන්නේ ආරුමුග නාවලර්ට පමණි. නාවලර්, තාමෝදරම් පිල්ලේ සහ ඔහුගේ සාහිත්‍ය වෙත දැඩි බලපෑමක් එල්ල කළේය." (Tamil Studies 1970:87)

වර්ෂ 1982 දී සිය එකසිය පනස්වන ජන්ම දිනය සැමරණ ලද තාමෝදරම් පිල්ලේ පිළිබඳව යමක් පැවසිය හැක. අහඹු මෙන්ම ඇතැම් විට බෙහෙවින් ඓතිහාසික වූද කරුණු ගණනාවක් නිසා දෙමළ 'පුනරුදයේ' ගාමක බලවේගය බවට යාපනය පත්විය (කෛලාසපති 1981:87). 19 වන ශත වර්ෂයේ දෙවන දශකය වන විට යාපනයේ ඉතා උසස් මට්ටමක සංවිධිත අධ්‍යාපනයක් ලබා දීම සඳහා සෙමනේරි පිහිටුවීම දක්නට ලැබුණි. 1824 සිට මඩකළපුව සෙමනේරිය සහ යාපනයේ වෙස්ලියානු පාසල විශේෂයෙන් පර්සිවල්ගේ මුල්ගුරු නායකත්වය යටතේ සාමාන්‍ය වශයෙන් ලාංකිකයන්ට ද, සුවිශේෂී වශයෙන් යාපනයේ දමිළයන්ට ද ඉතා උසස් අධ්‍යාපනයක් ලබා දුන් අතර, එය එම කාලයට අනුව දකුණු ඉන්දියාවේ සහ ලංකාවේ කැපී පෙනෙන අධ්‍යාපනයක් විය. මේ අනුව ශාස්ත්‍රඥයෙකු ද වූ ලංකාව භාර යටත් විජිත ලේකම් ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් සිය Christianity in Ceylon (ශ්‍රී ලංකාවේ කිතු දහම, 1850) නම් වූ කෘතියේ කළ පහත සඳහන් ප්‍රකාශයෙන් ඉහත කරුණ මනාව ස්ඵූට වේ. ඔහු 1848 දී යාපනයේ තිබූ මෙම සෙමනේරි දෙක වෙතම ගොස් තිබුණි:

"සිසුන් විසින් පෙන්නුම් කරන ලද දැනුම පුදුම සහගත විය. මේ අනුව අධ්‍යාපනය ලබාදීම අතින් මෙන්ම එය සන්නිවේදනය කිරීම අතින් ද මඩකළපුව සෙමනේරිය බොහෝ යුරෝපීය විශ්ව විද්‍යාල හා සමාන සේ සැළකීම අතිශයෝක්තියක් නොවේ." (ටෙනන්ට්: 1850)

බොම්බාය, කල්කටාව සහ මදුරාසි විශ්ව විද්‍යාලය ස්ථාපනය කරන ලද්දේ 1857දී ය. ඒ ඉහත සඳහන් කළ අධ්‍යාපනික ආයතන පිහිටුවා දශක තුනකට පසුව ය. මේ අනුව මඩකළපුව සෙමනේරියේ සිසුන් දෙදෙනෙකු ඉතාමත් පහසුවෙන් 1857 දී මදුරාසි විශ්ව විද්‍යාලයේ පැවැත් වූ ප්‍රථම ශාස්ත්‍රවේදී උපාධි පරීක්‍ෂණය සමත් වීම පුදුමයට කරුණක් නොවේ. එනම් සෙමනේරියෙන් ලැබූ අධ්‍යාපනයට අමතරව වෙනත් සූදානමකින් තොරව සී ඩබ් තාමෝදරම් පිල්ලේ සහ කැරොල් විසුවානාද පිල්ලේ මදුරාසි විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපාධිධරයන් වීමේ භාග්‍යය ළඟා කර ගත්හ.

අති විශාල විෂය ක්‍ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ගවේෂණය කිරීමට සහ නව දිශානති සලකුණු කිරීමට තාමෝදරම් පිල්ලේට සහ අන් අයට හැකි වූයේ ඔවුන් යාපනයේ දී ලද විද්‍යානුකූල සහ දාර්ශනික අධ්‍යාපනය නිසා ය. තාමෝදරම් පිල්ලේට දෙමළ සාහිත්‍ය ඉතිහාසය කාල නීර්ණය කිරීමේ පුරෝගාමී කාර්යය සහ ඔහු මූලාරම්භය ලබාදුන් ග්‍රන්ථ විමර්ශනයේ යෙදීමට ද හැකියාව ලැබුනේ මේ ඉතිහාසය පිළිබඳ හැඟීම හා ගවේශණය සඳහා වූ උනන්දුව නිසා ය. දෙමළ සාහිත්‍ය කාල නීර්ණයේදී සහ ග්‍රන්ථ විමර්ශනය යන කාර්ය දෙකේදීම ඔහු බටහිර විධි ක්‍රමවල බලපෑමට ලක් වූවා යැයි සිතිය හැක. තත්කාලීන ශාස්ත්‍රඥයෝ තාමෝදරම් පිල්ලේ විසින් සිය විමර්ශන කෘතිවල යොදාගෙන තිබූ සංකීර්ණ න්‍යායික සහ සංකල්පීය සැකිල්ල පිළිබඳව පුදුමයට පත්වූහ. මා යෝජනා කරනුයේ ඔහුගෙන් පසු ඔහු යොදාගත් දෘඩතර විධි ක්‍රමය වර්ධනය කිරීමට හැකිවුණේ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් බව ය. මෙහි දී රුචිකර කරුණක් වන්නේ යූ වී ස්වාමිනාද අයියර්ගේ (1852 - 1952) සාම්ප්‍රදායික විස්තර සහ  ශිෂ්‍ය උපකාරක තොරතුරුද ඇතුළත් වූ සංස්කරණ කෘතියක් තාමෝදරම් පිල්ලේ විසින් රචනා කරන ලද විවේචනාත්මක පූර්විකාව සහ යොදාගත් විධි ක්‍රමද විස්තර කෙරුණු කෘතියක් හා සැසඳීම ය.  ඔහු 1868දී නාවලර් කොල්ලටිකාර්ම්ගේ මඟ පෙන්වීම යටතේ සිය දෙවන කෘතිය වන 'තොල්කාප්පියන්' පළ කළේය. එතැන් සිට 1901 දී මිය යන තුරුම මදුරාසියේ ජීවත් වූ සුප්‍රසිද්ධම ශාස්ත්‍රඥයන් අතුරින් එක් අයෙකු ඔහු වූ බවට සැකයක් නැත. දෙමළ සාහිත්‍ය හා සංස්කෘතිය පිළිබඳව උනන්දුවක් දැක් වූ සංවිධානයක් හෝ ව්‍යායාමයක් වූයේ නම්, ඒ සියල්ලක්ම පාහේ ඔහුගේ අවවාද හා උපකාර ඉල්ලා සිටියහ. 1980 දී ස්ථාපනය කළ දකුණු ඉන්දීය දෙමළ සංවිධානය හා 1899 දී ස්ථාපනය කළ ද්‍රවිඩ භාෂා සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වශයෙන් තාමෝදරම් පිල්ලේ කටයුතු කළේය.

ඔහුගේ කේන්ද්‍රීය උත්සාහයන්ට සදාචාරාත්මක සහ මූල්‍යමය උපකාර ලබාදුන්නවුන් අතර හින්දු පුවත්පතේ සුප්‍රසිද්ධ කර්තෘ පී සුබ්‍රමානියා අයියර්, රාඕ බහදූර්, පී. රංගානන්ද මුදලි තුමා, ශ්‍රීමත් ඒ රාමචන්ද්‍ර අයියර්, ශ්‍රීමත් වී මාධව රාඕ, ශ්‍රීමත් පී ‍බෙඩෙල් රාඕ, රාඕ සහීබ්, සාලෙමි රාමසාමි මුදලිතුමා සහ කිට්ටු කොට්ටායි හි දේවන් ආදීහු ඇතුලත් වූහ: දෙමළ භාෂාවට සේවය කිරීම සඳහා ඔහු තමන්ගේම ආදායම ද යොදාගත්තේය. එනමුත් ඔහු මුහුණ දුන් එකම ප්‍රශ්නය මූල්‍යමය ගැටළු පමණක් නොවීය. සිය කෘතිවල චෞර සංස්කරණ පිළිබඳව ඔහු කණස්සල්ලට පත් විය. තමිල්නාඩුවේ මෙන්ම ලංකාවේද සිටි දෙමළ සාම්ප්‍රදායවාදීන්ගෙන් කොටසක් ඔහුව නිර්දය ලෙස විවේචනය කළ ද  ඔහු ඊට ජව සම්පන්නව මුහුණ දුන්නේය.(8) දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නිරතුරුවම ඔහු පීඩා වින්දේය. විශේෂයෙන්ම ආරුමුග නාවලර්ගේ මරණයෙන් සහ 1889දී සිදු වූ සිය වැඩිමහල් පුත්‍රයා වූ අමිර්තලිංගම්ගේ මරණයෙන් පසු ඔහු යම් ආකාරයක බුද්ධිමය හුදකලා බවකට පත් විය. එනමුත් මේවා හුදෙක් ඔහුගේ පුද්ගලික ප්‍රශ්නම නොවීය. ඒවා ඔහු ජීවත් වූ කාලය පිළිබඳව පරාවර්ථනයක් ද විය. තාමෝදරම් පිල්ලේ විසින් ලියන ලද දීර්ඝ හා කල් යාමේදී සටන් පාඨාත්මක ද වූ පූර්විකා කියවීමේදී ඔහුගේ වේදනාව පැහැදිලිවම වැටහෙනු ඇත. එවන් ‍වේදනාවක් ප්‍රකාශයට පත් කිරීම නව ආකාරයේ කටයුත්තක් විය. ඔහු විසින් යොදාගත් ගද්‍ය ශෛලියද එලෙසටම නව්‍ය වූ දෙයක් විය. ඔහු විසින් සංස්කරණය කරන ලද 'කලිතෝකායි' කෘතියේ අඩංගු සුප්‍රසිද්ධ පූර්විකාව හරහා දමිළයන් විසින් පැරණි තල්කොළ අත් පිටපත් නොසළකා හැරීම පිළිබඳව ශෝකයට පත්වන අතර එතුළ යම් ආකාරයක අනුවේදනීයත්වයක් පෙන්නුම් කරයි. එහිදී ඔහු ඉදිරිපත් කළ 'දේශාභිමානම්' නැතහොත් දේශාභිමානය, 'නාථාභිමානම්' නැතහොත් ආගමානුරාගය සහ 'භාෂාභිමානම්' නැතහොත් භාෂානුරාගය යන අදහස් ඒ පූර්විකාවෙන් පසු වෙනස් බොහෝ රචකයන් යොදාගත් කේන්ද්‍රීය අදහස් බවට පත් විය. තාමෝදරම් පිල්ලේගේ අනුගාමිකයෙකු වූ එස් සූරියනාරායන ශාස්ත්‍රියාර් (1870 - 1903) සිය නිබන්ධවල මේ සංකල්ප ප්‍රබලව යොදා ගත්තේය. වෙනත් කිසිම දයකට වඩා තාමෝදරම් පිල්ලේගේ ලේඛනවලින් පෙන්වනු ලබන්නේ ආගමික, සමාජ සහ චිත්තවේගාත්මක ඝට්ටනවලට මුහුණ දුන් පුද්ගලයෙකුගේ අනේක වූ දර්ශකයන් ය. සැබැවින්ම දමිළ සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ මතු වූ නූතන බුද්ධි ජීවියාගේ චරිතය මැනවින්ම නිරූපණය කරන්නේ තාමෝදරම් පිල්ලේ විසිනි.(9) ඉහත සඳහන් සාරාංශගත කිරීම ම'විසින් සිදු කෙරුණේ නවීකාරක ව්‍යාපාරය ගොඩ නැඟීමේදී තාමෝදරම් පිල්‍ලේගෙන් සිදු වූ දායකත්වය නිසි ලෙස ඇගයීමකට ලක් නොවූ නිසා, ඒ පිළිබඳ යමක් ප්‍රකාශ කිරීම සඳහා ය.

'යාපනයේ ශාස්ත්‍රඥයන්' දේශන පවත්වමින්, උගන්වමින්, විවාද කරමින්, සංස්කරණ හා ප්‍රකාශන කටයුතුවල නියැලෙමින් දකුණු ඉන්දියාවේ තම පැවැත්ම ස්ථාපනය කරමින් සිටි කාලයේදීම තමිල් නාඩුව සංස්කෘතික ජාතිකවාදයේ මූලික කලම්බනය ද අත් දුටුවේය‍. බිෂොප් කැල්ඩිවෙල්ගේ (1814 - 1891)  Comparative Grammar of Dravidian Languages (ද්‍රවිඩ භාෂාවන්හි සංසන්දනාත්මක ව්‍යාකරණය, 1856: නව සංස්කරණය 1875) යන කෘතියේ බලපෑම නාවලර් විසින් පෙන්නුම් නොකළ ද තාමෝදරම් පිල්ලේ ඇතුළු සෙසු අය එකී කෘතියේ බලපෑම සුපැහැදිලිවම පෙන්නුම් කරති. මේ විෂය පිළිබඳව මා අන් ස්ථානයක සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇති නිසා මෙහිදී ඒ පිළිබඳව දීර්ඝ විස්තර කථනයක යෙදෙන්නට බලාපොරොත්තු වන්නේ නැත. (කෛලාසපති 1979: 23 - 51) නමුත් මෙහිදී ප්‍රකාශ කළ යුතු එක් කරුණක් තිබේ. එනම්, ඉන්දු ආර්ය - ආර්ය භාෂා හා සැසඳීමේදී "ද්‍රවිඩ භාෂාවල පෞරාණිකත්වය හා ස්වාධීනත්වය පිළිබඳව න්‍යාය ගොඩ නැඟීම හරහා රොබට් කැල්ඩිවෙල් විසින් ආරම්භ කරන ලද ඇතැම් අදහස්වල හා ව්‍යාපාරවල බලපෑම භාෂා විද්‍යාවේ කේන්ද්‍රයෙන් ඕබබට විහිදී ගිය බවයි." (කෛලාසපති 1979)

සැබැවින්ම ද්‍රවිඩ භාෂාව සඳහා දීර්ඝ සහ විශිෂ්ට ඉතිහාසහයක් යෝජනා කිරීම කැල්ඩිවෙල්ට අමතරව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අතින් ද සිදු විය. මේ අදහස වෙනුවෙන් පෙනී සිටි අන් යුරෝපීය මිෂනාරිවරු කිහිප දෙනෙකු ද සිටියහ. එනමුත් මෙම තර්කය වඩාත් මැනවින් සාරාංශගත කෙරුණේ කැල්ඩිවෙල්ගේ ඉහත සඳහන් කෘතිය හරහා ය. මේ වනවිටත් 'වීර සෝලියම්' (1887) සහ 'කලිකෝකායි' (1887) යන පැරණි දෙමළ සම්භාව්‍ය කෘතිවල විචාරාත්මක සංස්කරණ සඳහා තාමො‍්දරම් පිල්ලේ විසින් ලියන ලද දීර්ඝ සහ විවාදාපන්න පූර්විකා තුළ දෙමළ සහ අන් ද්‍රවිඩ භාෂා පිළිබඳ කැල්ඩිවෙල්ගේ අදහස්වල යම් දෝංකාරයක් ඇසේ. එනමුත් කැල්ඩිවෙල්ගේ උපන්‍යාසය පිළිබඳව තාමෝදරම් පිල්ලේ ප්‍රතිචාර දැක්වූයේ බෙහෙවින් ප්‍රවේශම්කාරී ආකාරයකට ය. මෙය මැනවින් පෙනෙන්නේ 'චූලාමණී' (1889) කෘතියේ විචාරාත්මක සංස්කරණයේ පූර්විකාවෙන් ඉදිරිපත් වූ සංස්කෘත හා දෙමළ භාෂා පිළිබඳ ශාස්ත්‍රීය අදහස් මගිනි. සාහිත්‍යමය සහ ව්‍යාකරණ පිළිබඳ සම්භාව්‍ය කෘති මෙන්ම මේ කෘතිවල මාධ්‍යය ද මේ වනවිට පූජනීයත්වයට ලක් වී තිබුණි. දමිළ ජනයාගේ නූතන වාග් විද්‍යාත්මක සවිඥානකත්වය උත්පාදනය වන්නේ මෙම යුගයේදීම ය. උත්ප්‍රාසාත්මක කරුණ නම් මේ ව්‍යාපාරයට අධිපති ශාස්තෘවරයා ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වීමයි.

1880 ගණන් පමණ වන විටදී දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිටි දෙමළ ප්‍රභූහූ තම භාෂාව, සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳව දැඩි උනන්දුවක් ඇතිකර‍ගෙන සිටියහ. මෙහි ප්‍රධානතම මඟ සලකුණු වූයේ ත්‍රිවන්කෝර් සරසවියේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ සී සුන්දරම්පිල්ලේ (1855 -1897) විසින් 'මනෝන්මානියම්' (1891) යන කාව්‍ය නාටකය ප්‍රකාශයට පත් කිරීමෙනි. ඒ සුප්‍රසිද්ධ කෘතියේ ඔහු දෙමළ භාෂාව විස්තර කළේ 'දෙවඟනක්' වශයෙනි. මේ අනුව, භාෂාව දේවත්වයේ ලා සැළකුණු අතර, එනිසාම එය අනුල්ලංඝණීය ද විය. මේ සිද්ධි දකුණු ඉන්දියාවේ සිදුවූයේ ශ්‍රී ලාංකේය ‍දමිළයන්ගේ සම්පූර්ණ සහභාගීත්වය සහ දායකත්වය ද ඇතිව ය. භාෂාව සහ සංස්කෘතිය පිළිබඳව වර්ධනය වෙමින් පැවැති සංවේදීතාව පිළිබඳ එක් උදාහරණයක් වූයේ ලිපි සංග්‍රහ දෙකක් ප්‍රකාශයට පත්වීම ඇරඹීමයි. එනම්, සිද්ධන්ත දීපිකා (සත්‍යයේ ආලෝකය, 1897 -1913) සහ The Tamilian Antiquary (1907 - 1914) යන ලිපි සංග්‍රහ දෙකයි. මෑතකාලීන පර්යේෂකයෙකු මෙම ලිපි සංග්‍රහ දෙක විස්තර කළේ මෙලෙසය:

"මේ ලිපි සංග්‍රහ දෙකෙන් ආවරණය වන්නේ සාමාන්‍ය වශයෙන් දශක දෙකක කාලයකි. එනම්, දෙමළ පුනරුදය මල්ඵල ගත් යුගයයි. මේ යුගය නියෝජනය කරන්නේ යුරෝපීය ශාස්ත්‍රඥයන්ගේ ව්‍යක්ත බව සහ උනන්දුව මගින් උද්දාමයට පත් කළ දෙමළ ශාස්ත්‍රඥයන් අතර දෙමළ භාෂාව සහ සාහිත්‍ය පිළිබඳව පිබිදුනු රුචිකත්වයයි....මේ ලිපි සංග්‍රහ දෙක දමිළයන්ගේ සිත්සතන් තුළ තම භාෂාව සහ සාහිත්‍ය පිළිබඳව දීර්ඝ කාලීන උනන්දුවක් ඇති කිරීමට මහඟු සේවයක් ඉටු කර තිබේ. එමෙන්ම, ඒවා මගින් ඔවුන්ගේ සාහිත්‍යය සහ සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් සමාජ විශ්වාසයක් දැල්වීම ද කරුනු ලැබීය."(10)

මෙහිදී වැදගත් කරුණ වන්නේ මෙම ලිපි සංග්‍රහ පළකිරීමේ කාර්යයේදී ශ්‍රී ලාංකික දෙමළ ශාස්ත්‍රඥයන් ගතික සහභාගීත්වයක් දැක්වීමයි. සිද්ධාන්ත දීපිකා, ජේ එම් නල්ලසාමි පිල්ලෛ (1864 - 1920) විසින් සංස්කරණය කළ අතර, The Tamilian Antiquary සංස්කරණය කෙරුණේ පණ්ඩිත් ඩී සවරිරෝයා පිල්ලෛ (1854 - 1923) විසිනි. මින් ප්‍රථමයා හිටපු දිස්ත්‍රික් විනිසුරුවරයෙකු සහ ට්‍රිචි නගරයේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ දේශකයෙක් විය. මේ වෙළුම්වල පිටු අතරින් පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රී ලාංකේය දමිළයන් විසින් සම්පාදනය කළ ලිපි ප්‍රමාණය සහ ඒවායේ ගුණාත්මක භාවයයි. පී අරුණාචලම්, පී රාමනාදන්, එස් ඩබ් කුමාරස්වාමි, ඒ මුත්තුතම්බි පිල්ලෛ, වී ජී තම්බිපිල්ලලෛ, ටී පොන්නම්බල පිල්ලෛ සහ අන් අය කිහිප දෙනෙකු මෙම ලිපි සංග්‍රහවලට නිරතුරුවම ලිපි සැපයූහ. අරුණාචලම්ගේ පරිවර්ථන පළවුයේ PA යන ඉංග්‍රීසි අක්‍ෂර දෙක යටතේ ය‍. නල්ලසාමි පිල්ලේ, නාවලර්ව අගය කළ අයෙකු වූ අතර, ශ්‍රී ලාංකේය දමිළ ශාස්ත්‍රඥයන්ගේ රචනා ද අගය කළේය. පණ්ඩිත් ඩී සවරිරෝයා පිල්ලෛව යාපනයේ ප්‍රභවය ලැබූ දෙමළ ප්‍රභූන් දෙපළක් විසින් දිරිගන්වන ලදී: ඉන් එක් අයෙකු ට්‍රැවන්කෝර්හි සුරාබදු කොමසාරිස්වරයා වූ ටී පොන්නම්බල පිල්ලෛ ය. අනෙක් පුද්ගලයා නම් ටී චෙල්ලප්පා පිල්ලෛ ය. ටී පී මසිලිමානි පිල්ලේ, පොන්නම්බල පිල්ලෛගේ පුත්‍රයා වූ අතර ඔහු The Tamilian Antiquary  ලිපි සංග්‍රහයට ලිපි සම්පාදනය කළේය. විශ්‍රාම යාමෙන් අනතුරුව, නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ටී චෙල්ලප්පා පිල්ලෛ සෛව පරිපාලන සභාවේ සභාපති වශයෙන් තෝරා පත්කර ගැණුනි. (11)

පණ්ඩිත් සවරිරෝයාගේ උදාහරණය අපව වෙනත් සාකච්ඡාවක් වෙත කැඳවාගෙන යයි. සංස්කෘතික පුනරුදය ඇරඹුණේ හින්දු ව්‍යාපාරයක් වශයෙන් වූ අතර, ඊට මූලික වශයෙන් නායකත්වය සැපයූවේ සෛව ශාස්ත්‍රඥයන් වුවද කාලයක් සමඟ එහි සංයුතිව වෙනස් විය. ක්‍රිස්තියානි මිෂනාරි ශාස්ත්‍රඥයන්ට (කැල්ඩිවේල්, පර්සිවෙල්, බවර්, පෝප්, එලිස්) අත්ව තිබූ ගෞරවයත් සවරිරෝයා වැනි ශාස්ත්‍රඥයන්ගේ කර්තව්‍යයනුත් නිසා ක්‍රිස්තියානීන් දමිළ සමාජයේ ප්‍රධාන ධාරාව වෙත ගෙනඑනු ලැබීය. එමෙන්ම ආගම වෙත තිබූ අවධානය භාෂාව වෙත යොමුවීමත් සමඟම, ශිව ආගම වෙත එතෙක් තිබූ වැදගත්කම යම් දුරකට අඩු විය. සැබැවින්ම ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද සවරිරෝයා පිල්ලෛගේ කාලයේ සිට ක්‍රිස්තියානි ශාස්ත්‍රඥයන් විසින් දෙමළ භාෂාව වෙනුවෙන් ඉටුකරන ලද ක්‍රියාකාරී භූමිකාව ඇතැම් අවස්ථාවලදී හින්දූන්ගේ විවේචනයට ලක්වූයේ දෙමළ සංස්කෘතික ව්‍යාපාරය ක්‍රිස්තියානීන් අත්පත් කරගෙන ඇතැයි පවසමිනි. මේ ක්‍රිස්තියානි ශාස්ත්‍රඥයන් අතරට එල් ඩී ස්වාමිකන්ත්‍ර පිල්ලෛ (1865 - 1925), එස් ඥාණප්‍රගාසර් පියතුමා (1875 - 1847), දොස්තර ටී අයිසික් තම්බයියා (1969 - 1941) සහ එස් එස් තනෛනායගම් පියතුමා (1913 - 1980) යන අය ඇතුළත් කළ හැක.(12)

(මතු සම්බන්ධයි)

කේ. කෛලාසපති


© කොළඹ ආයතනය

සටහන්:

8. මෙහිදී ඒ වී සුබ්‍රමානියා අයියර්ගේ පහත සඳහන් ප්‍රකාශය වැදගත් වේ. "පසුගිය ශත වර්ෂය අග භාගය වනවිට ඔහු දෙමළ ශාස්ත්‍රඥයන්ගේ ප්‍රධානියා වූ අතර, ඔහු ඔවුන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර විය." (කෛලාසපති 1981: 91) ඔහු පිළිබඳ ඔහුගේම කාලයේ වර්ණනාවක් සඳහා කියවන්න 'සිද්ධාන්ත දීපිකා' (21-08, 1987:91) "ඔහුගේ අතිමහත් ශක්තිය සහ ඉවසීම හා අනෙක් ස්වයං කැපකිරීම් ද නොවන්නට බොහෝ වටිනා කෘති ගණනාවක් මේ වනවිට විණාහ වන්නට ඉඩ තිබුණි".

9. ඔහු පිළිබඳ කෙටි චරිතාපදානයක් සඳහා කියවන්න, වී මුතුකුමාරස්වාමිගේ 'සී ඩබ් තාමෝදරම් පිල්ලෛ' යන කෘතිය (යාපනය, 1971)

10. මෙම මූලාශ්‍රය පිළිබඳ කිසිදු සටහනක් මුල් කෘතියේ දැකගත නොහැක. (පරිවර්තක සටහන්)

11. ස්වාමි විවේකානන්දගේ යාපනය සංචාරයේදී යාපනයේ හින්දු විද්‍යාලයේ දොරටුව අභියස දී එතුමාව පිළිගෙන වේදිකාව වෙත කැඳවාගෙන ගියේත්, එතුමාට මල් මාලාවක් පැළැන්දුවේත් චෙල්ලප්පා පිල්ලෛ විසිනි. මෙහිදී චෙල්ලප්පා පිල්ලෛ ද සභාව ඇමතුවේය. (The Hindu Organ, 03-02-1897)

12. එස්  අර්සරත්නම් Nationalism in Sri Lanka and the Tamils යන තම ලිපියෙන් (මයිකල් රොබර්ට්ස් විසින් සංස්කරණය කළ Collective Identities' Nationalism and Protest in Modern Sri Lanka කෘතියේ (1979:501 - 519) පහත සඳහන් අදහස ඉදිරිපත් කරයි: "මේ සුළුතර කණ්ඩායම්, විශේෂයෙන්ම ක්‍රිස්තියානීන් දෙමළ භාෂා ජාතිකවාදය සමග ප්‍රබලව අනන්‍ය වීමත් පෙන්නුම් කරයි. එමෙන්ම ඔවුන් සංවිධානාත්මක නායකත්වයක් සහ සැබෑ ව්‍යක්ත ප්‍රචාරණ කුශලතා ද පෙන්නුම් කර ඇත."