පහළ ඌවේ ප්‍රාණ පරිත්‍යාගය: මයිකල් රොද්‍රිගූ පියනම පිළිබඳ මතකය

ශ්චාත් යටත් විජිත ලංකාවේ දෙමළ ජන විරෝධී රාජ්‍ය සංහාරක පිළිවෙත් සුජාත කිරීමට බුද්ධාගම යොදා ගන්නා අයුරින්ම, ඉංග්‍රීසින්ට එරෙහිව කැරළි ගැසූ ඌව -වෙල්ලස්ස සිංහල හා ස්වදේශික වැදි ජනයා සංහාරය කිරීම සුජාත කරනු වස් ක්‍රිස්තියානිය මෙවළමක් ලෙස ඉංග්‍රීසි විජිතවාදීන් විසින් එදා යොදා ගනු ලැබිණ. ඉංග්‍රීසින්ට එරෙහිව පණ නැගුනු පළමු කැරැල්ල මර්දනය කිරීම පිණිස ඌව- වෙල්ලස්සට පිටත් කර හරිනු ලැබූ උඩරට රදළ ප්‍රභූන් වූ  කැප්පෙටිපොළ හා මඩුගල්ලේ වැන්නන් කැරළිකරුවන්ට එක් වීමත් සමගින් උරණ වූ  ආණ්ඩුකාර රොබර්ට් බවුන්රිග් ලංකා විජිත ඉතිහාසයේ කෲරතම සංහාරයකට අණ දුන්නේය. නිවාස ගිනිබත් කරමින්, ගම් බිම්, ගොවි බිම් හා වැව් අමුණු විනාශ කරමින්, ගෙන ගිය බවුන්රිග් ගේ සංහාර පිළිවෙත නිමා වුයේ ඌව- වෙල්ලස්සේ සෑම පිරිමියෙකුම පාහේ මරා දැමීමෙනැයි කියැ වේ.

මයිකල් රොද්‍රිගූ පියතුමා පිළිබඳ ලියන්නට පටන් ගන්නට ඇති හොඳම තැන සමහර විට‍ මේ ඉතිහාස කතාව විය හැක.

මයිකල් පෝල්  රොද්‍රිගූ වනාහී වෙල්ලස්ස හා එහි ඉතිහාසය පිළිබඳව තියුණු විශ්ලේෂණයක් ඉදිරිපත් කළ අයෙකි. සාම්ප්‍රදායික පුජකවරයෙන් ඔබ්බට ගොස් මානව හිතවාදීව ක්‍රියා කිරීම හේතුවෙන් සතුරු  වෙඩි උණ්ඩයකට ගොදුරු වූ ඔහු  භාෂණයේත්, ලේඛනයේත්, චිත්‍ර කලාවේත් සහජ දක්ෂයෙකු විය. ඉහළ අධ්‍යාපනයක් සහිත කොළඹ  මධ්‍යම පාංතික පවුලකින් පැවත එන මයිකල් පියතුමා අන්ත දරිද්‍රතාව පත්ලේ ගිළී ගත් පහළ ඌවේ ජනයා අතරට ගොස් ඔවුන් හා ජීවත්වීමට තීරණයකට එළඹෙනුයේ '80 ජූලි මාසයේදී ය. ආචාර්ය උපාධි දෙකක් හිමිව, මහනුවර අම්පිටියේ ජාතික දෙව් සත්හලේ දහසය වසක් දේව ධර්මය ඉගැන්වූ හෙතෙම, අනතුරුව ඒ සියල්ල හැරපියා  බුත්තලින් ඔබ්බේ වූ හද්දා පිටිසර අළුකලවිට දිළිඳු ගම්මානය සිය නවාතැන බවට පත්කර ගත්තේ ය‍.

වෙල්ලස්ස හා නව යටත් විජිතවාදය

අයර්ලන්තයේ ඩබ්ලින් සරසවියේ සහකාර මහාචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු, මයිකල් රොද්‍රිගූ පියතුමා සමීපව දැන හැඳින සිටි අයෙකි. 'මයිකල් රොද්‍රිගූ දුර්ලභ ගණයේ මිනිසෙකැ'යි වසර  විසි අටකට පසු මයිකල් පියතුමා පිළිබඳව සිය මතකය අවදි කරමින් ඔහු කියයි.

‘කොළඹ ඉතාම ප්‍රභූ පවුල් පසුබිමකින් එන  කෙනෙක් වුණත්, 1971 නැගිටීමෙන් පස්සේ ඔහු කොළඹ අතහැරලා යන්න තීරණය කරනවා. එයා  උනන්දු වෙන්නේ ආගම්වලින් මානව විමුක්තිය වෙනුවෙන් ඇත්තෙන්ම කරන්න පුළුවන් දේ ගැන විමසා බලන්නයි. පැරිසියේදී සම්පූර්ණ කළ එයාගේ ආචාර්ය උපාධි නිබන්ධනයෙත් විෂය තේමාව ඒකමයි. ඇත්තෙන්ම එයාට පැරිසියෙන් පිරිනැමූ ආචාර්ය පදවිය භාර නොගෙන තමයි එයා ලංකාවට ඇවිත් බුත්තලට යන්නේ. අනිත් කාරණය ඔහු වෙල්ලස්ස සහ එහි ඉතිහාසය සම්බන්ධයෙන් තියුණු විදියට විශ්ලේෂණය කරලා ලියූ කෙනෙක්. වෙල්ලස්සේ කැරැල්ලේදී බ්‍රවුන්රිග් විසින් පෙන්නුම් කරපු විජිත ප්‍රතිපත්තියේ ම්ලේච්ඡත්වය ගැන කියද්දි එයා පෙන්වා දුන් වැදගත් කාරණාවක් තමයි,  කොහොමද ක්‍රිස්තියානිය ඒ අපරාධ සුජාත කිරීමට අවශ්‍ය මෙවලමක් විදියට පාවිච්චි වුණේ කියලා. ඔහු ක්‍රිස්තියානි පූජකයෙකු විදියට වෙල්ලස්සට යෑම ගැන කියන්නේ 'මම යන්නේ ඒ අතීත පාපයට වන්දි ගෙවන්න' කියලායි.’ අනෙක් කාරණාව වෙල්ලස්සේ ඒ වෙනකොට සිදුවෙමින් තිබුණු ඉඩම් කොල්ලයත් එක්ක සහ නව යටත්විජිතවාදය අතර තියෙන සම්බන්ධය ඉතාමත්ම හොඳින් පෙන්වා දෙන්න එයාට තිබුණු හැකියාව. ඉඩම් අහිමි කළ ගොවීන් කලින් සහ පසුව උපයපු ආදායම් සංසන්දනය කරමින් ඔහු පෙන්වලා දෙන්නේ ගම්බද දුගීභාවය තීව්‍ර කරන්න නව යටත්විජිතවාදය සහ වෙළඳපොළ ආර්ථික මාදිලිය විසින් ලබාදුන් දායකත්වයයි. ඒ වගේම වැටුප් ශ්‍රමිකයන් බවට පත් නොවී තව දුරටත් ඉතිරිව සිටින ගොවීන් කෘමි නාශක හා පොහොර නිෂ්පාදක බහුජාතික සමාගම් විසින් සූරාකන ආකාරයත් එයා ඉතාම විචක්‍ෂණ විදියට පැහැදිලි කරනවා මට මතකයි.”

අළුකලවිට ගම්මානයේ  විසුවන්ගෙන් කතෝලික පවුල් කිහිපයක් හැරුණු කොට අන් සියළු දෙනාම බෞද්ධයෝ වුහ. දුගී භවේ කරවටක් ගිලිනු ගම්මානය කටු මැට්ටෙන් ඉදිකළ කුඩා පැල්පත්වලින් පිරි තිබිණි. ධූලි පිරීගත් ගුරු පාරවල්ද,  නිරුවත් දෙපයින් ඒ මග යන එන කුඩා දරු සිඟිත්තන් ද, දැඩි අව් රැසින් කේඬෑරිව දැවී ගිය ගහ කොළ ද, ඒ කර්කශ පරිසරය හා හැදී වැඩෙමින් දුක් අනුභව කළ ගැහැනුන් හා මිනිසුන් ද ඔහුගේ ‍ලෝකය බවට පෙරළුණි. අන්තර් සාමයික සංවාදය වනාහී මයිකල් රොද්‍රිගූට 'දිළින්දන් හා සංවාදයක්' විය. ඒ දිළින්දන් බල ගැන්වීම අරමුණු කරගනිමින් මයිකල් පියතුමා ඉලුක් සෙවිළි කළ කටු මැටි වරිච්චි බැඳී  ගෙපැලක් අටවා ඊට 'සුබ සෙත් ගෙදර' යැයි නම් තැබීය. ඔහුගේ සහායට පැමිණි බෙනෙඩික්ටා හා මිල්බර්ගා පැවිදි සොයුරියන් දෙදෙනා ද  ඒ සමීපයේම ඉඳිකෙරුණු 'සිසිල් සෙවණ' හි පදිංචි වූහ. ආගමික වතාවත්වල දී හැර අන් වේලාවන් හි සාමන්‍ය ගැමියෙක් මෙන් සරමකින් හා කමිසයකින් සැරසී ඔබ මොබ ගිය මයිකල් පියතුමා ගැමියන්ගේ ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසදුම් සොයන්නට කැප විය. කෙසේ වුවද කතෝලික පියතුමෙකු බහුතරයක් බෞද්ධයන් වෙසෙන ගම්මානයක මෙසේ කටයුතු කිරීම ගැමියන් තුළ වුවද කුකුසක් නොතිබුණා නොවේ. එහෙත් ඔවුහු පියතුමාට ඒ ගැන සෘජුව කියන්නට මැලි වූහ. මේ පිළිබඳව කණ වැකුණු මයිකල් පියතුමා අළුකලවිට විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා හමුවී කරන ලද කතා බහෙන් අනතුරුව ඒ කරුණ නිරාකරණය විය. බුදු දහම පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතු මයිකල් රුද්‍රිගූ පියතුමා පිළිබඳ පැහැදුණු භික්ෂුන් වහන්සේලා ගේ ඔහු කෙරෙහි වූ හිතවත්කම කෙතරම් දැයි කිවතොත් වරක් එම විහාරස්ථානයේ ධර්ම දේශනාවක් පැවැත්වීමට පවා පියතුමාට අවස්ථාව ලැබුණි.

දිළින්දන්ගේ බස

දේව ධර්මයේ ප්‍රයෝගික පැත්තට නැඹුරුවක් දැක් වූ මයිකල් පියතුමා අළුකලවිට හා  අවට ගම්වල ළමයින්ට අකුරු උගැන්වීමටත්, තරුණ ස්ත්‍රීන් සහ මව්වරුන් 'පාවහන් රහිත හෙදියන්' (Bare Foot Nurses) නමින් නිවසින් නිවස ගැටළු විසඳනු වස්  සැරිසැරීමට පුහුණු කිරීමටත් පියවර ගත්තේය.

දිළිදන්ගේ ඇසින් ක්‍රිස්තු දේශනාව යළි කියවීම මත පදනම් වූ විමුක්ති දෙව් දහම පිළිබඳ ජගත් ගෞරවයට පාත්‍ර ආචාර්ය ඇලෝෂියස් පීරිස් පියනමට අනුව, මයිකල් රොද්‍රිගූ විසින් කළ පුරෝගාමී දායකත්වය වන්නේ ලංකාවේ කතෝලික සභාව සමාජ පරිවාරයට විවර කිරීමයි. 'බලය රහිතව පරිවාරයේ ජීවත් වන, විශේෂයෙන්ම බෞද්ධයන් වන, ජනයා හා ගෙනගිය සංවාදය තුළින් දිළින්දන්ගේ බස, එනම් විමුක්තියේ බස උගෙනීම පිළිබඳ ඇති හොඳම පුද්ගල නිදර්ශනය මයිකල් රොද්‍රිගූ වේ" යැයි පීරිස් පියනම ලියයි.

දුම්කොළ හා උක් වගාව වෙනුවෙන් බහුජාතික සමාගම් විසින් වෙල්ලස්සේ ගොවිබිම් ආක්‍රමණය කිරීම ආරම්භ වූයේ '80 දශකයේදී ය. වී, ඉරිඟු, මුන්, තල, කුරහන්, සහ එළවළු වැනි සාම්ප්‍රදායික වගා බිම් ආක්‍රමණය කරමින් උක් වගාව පැතිර ගියේ රජයේ පුර්ණ අනුග්‍රහ යටතේ ය. පැලවත්ත සීනි සමාගම විසින් පවරාගෙන තිබු ‍ගොවි ඉඩම්වල ඔවුන් වගා කළ යුතුව තිබුණේ සමාගම විසින් ලබා දෙන උක් බීජ පමණි. ඒවාට යෙදිය යුත්තේ ද සමාගම විසින් ලබා දෙනු ලබන පොහොර පමණක්ම විය. ඒවා ද ලබා දෙනු ලැබුණේ ණය මුදලට ය. පැලවත්ත සීනි සමාගම විසින් බලහත්කාරයෙන් පවරාගෙන තිබු ඉඩම් වෙනුවෙන් ගෙවීමක් කරනු ලැබුවද, සමාගම විසින් එම මුදල උක් බීජ හා පොහොර වෙනුවෙන් හිලව් කෙරිණ. බිම් කුලියත්, වැඩ කුලියත් වශයෙන් ඉපැයූ දෑට වඩා බීජ හා පොහොර වෙනුවෙන් ගෙවිය යුතු මිල ඉහළ එකක් විය.

පැල්වත්ත හා රන්ජන් විජේරත්න

වෙල්ලස්සේ දිළිඳු ගොවීන් තමන්ගේම ඉඩම්වල කුලීකරුවන් බවට පත් කිරීමට එරෙහි  මයිකල් පියතුමා ගෙන ගිය අරගලය ගැන යළි  සිහිපත් කරන ජූඩ් ලාල් ප්‍රනාන්දු  පවසන්නේ වෙල්ලස්සේ ඉඩම් කොල්ලය හේතුවෙන් තම ඉඩම් අහිමි වූ ගොවීන් පැල්වත්ත සමාගමේ අඩු ගෙවීම් ලද වැටුප් ශ්‍රමිකයන් බවට පත්වෙන ආකාරය ඔහු කල්තියා පැහැදිලි කළ බවයි. 

"ඒ වගේම, වෙල්ලස්සේ සිදුවෙන දැවැන්ත පරිසර විනාශය ගැනත් ඔහුගේ අවධානය යොමු වී තිබුණා.  ගහකොළ, ඇළ දොළ, සම්පූර්ණෙයන් විනාශ කරගෙන තමයි පැල්වත්ත සීනි සමාගමේ අණසක පැතිරෙන්නේ. මයිකල් පියතුමා, විශේෂයෙන්ම අලුත්වෙල පන්සලේ නායක භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ අවට විහාරස්ථානවල ‍බෞද්ධ භික්‍ෂූන්එක්ක ඒකාබද්ධව, වෙල්ලස්සේ ඉඩම් අයිතිය වෙනුවෙනුත් සහ සිද්ධවෙන පරිසර විනාශයට විරුද්ධවත් ජනයා සංවිධානය කරන්න මැදිහත්වෙන්නේ මේ පසුබිම තුළයි. පසුකාලීනව රාජ්‍ය ආරක්‍ෂක ඇමති වුණ රන්ජන් විජේරත්න ඒ වෙනකොට පැල්වත්ත සමාගමේ ප්‍රධානියෙක්.”

මයිකල් රොද්‍රිගූ පියතුමාගේ සමාජ කටයුතු පිළිබඳ  උරණ වූ පිරිස් ද අළුකලවිට අවට නොසිටියා නොවේ. වරක් පියතුමා හා තවත් ගොවියන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බුත්තල පොලිසිය වෙත රැගෙන යනු ලැබුණි. සාමාන්‍ය ගැමියෙකු ලෙස හැඳ පැළැඳ සිටි මයිකල් පියතුමා හඳුනාගත් පොලිස් නිලධාරියෙකු නිසා උපද්‍රවයකින් තොරව නිදහස් වීමට ඔවුනට හැකි විය. අත් අඩංගුවට හේතු වී තිබුණේ කංසා වගා කරන බවට පොලිසියට ලැබුණු තොරතුරකැයි පසුව ආරංචි විය. නමුත් මෙවැනි දේ තුළින් මයිකල් රොද්‍රිගූ කිසි විටක පසුබට නොවූ බව ඔහු සමඟ අළුකලවිට 'සුබසෙත් ගෙදර' කේන්‍ද්‍රීයව ක්‍රියා කළ  මිල්බර්ගා පැවිදි සොයුරිය JDS හා සඳහන් කළාය.

"ෆාදර් මයිකල් ඕනෑම දුෂ්කර අභියෝගයකට සන්සුන්ව, උපේක්‍ෂාවෙන් මුහුණ දුන් කෙනෙක්" ඇය කියයි.

කෘෂි රසායන පිටු දකිමින් කාබනික ගොවිතැන ගොවීන් අතර  ප්‍රචලිත කිරීමට ද මයිකල් පියතුමා ක්‍රියා කළේ මේ සියල්ලට අතරවාරයේ ය. රසායනික පොහොර මිළ ගොවීන්ට ඉසිලිය නොහැකි නිසාත්, ඒවා භාවිතය තුළින් ඇතිවන පාරිසරික බලපෑම නිසාත් ස්වභාවිකව නිපදවාගත් කාබනික පොහොර භාවිතය කෙරෙහි ගොවීන් උනන්දු කරවීමට මයිකල් පියතුමා මහත් පරිශ්‍රමයක් දැරීය. ප්‍රදේශයේ තරුණ ගොවීන්ට ගොවි පුහුණුවක් ලබා දීමට කටයුතු කරනු ලැබුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය හදාරණ සිසුන් කණ්ඩායමකගේ දායකත්වයද ලබා ගනිමිනි. ඔවුන් හැදෑරු විෂය පිළිබඳ න්‍යායික දැනුමත්, ගොවීන් සතු වූ ප්‍රායෝගික දැනුමත් හුවමාරු කර ගැනීමේ අවකාශය වෙල්ලස්සේ දී නිර්මාණය කර දීමේ වැදගත්ම වැඩ කොටස ඉටු කරන ලද්දේ මයිකල් රොද්‍රිගූ විසිනි.

කැරළිකාරී තරුණයන් කෙරෙහි සානුකම්පිත වීම

දකුණේ සිංහල තරුණයන්ගේ දෙවැනි නැගිටීම පුපුරා ගියේ මේ සන්දර්භය තුළ ය. පියතුමාගේ සමාජ ක්‍රියාකාරකම් ඔහු හා ජනතා විමුක්ති පෙරමුණේ තරුණ පිරිස් අතර සබඳතා ගොඩනැගීමට හේතු වූ බව ඩබ්ලින් සරසවියේ ජූඩ් ලාල් ප්‍රනාන්දුගේ අදහස ය.

“ඒ තරුණයන් කෙරෙහි ගැඹුරු සානුකම්පිත ලැදිකමක් මයිකල් පියතුමා තුළ තිබුණු බව මම පෞද්ගලිකවම දන්නවා. මේ නිසාම පොලිසිය සහ හමුදාවේ බලපෑම්වලට මුහුණ දෙන්නත් ඔහුට සිද්ධ වෙනවා. එහෙම තිබියදීත්, ගම්වල තරුණයන් අත් අඩංගුවට ගැනීම් වළක්වන්නත්, එහෙම ගත් අය නිදහස් කරගන්නත් ඔහු දිගින් දිගටම මැදිහත්වීම් කරන්න පැකිළුණේ නැහැ. ඒ ගම් කිහිපයේ විතරක් 90කට වැඩි පිරිසක් ඒ වෙනකොටත් පැහැරගෙන ඝාතනය කරලායි තිබුණේ.”

හමුදාව හෝ පොලිසිය විසින් තම දරුවන් පැහැරගෙන යාමේදී ඒ සඳහා පිහිටක් පතා මේ අහිංසක ගැමියන් පැමිණියේ 'සුබ සෙත් ගෙදර' වෙත ය. දෙමාපියන් ද සමගින් පොලිසිය වෙත ගොස් කරුණු පැහැදිලි කරමින් අතුරුදහන්වුවන් සොයා ගැනීමට සහාය වීමේදී “ අනේ ෆාදර්  පිං සිද්ද වෙයි, ෆාදර්ගේ වැඩක් බලාගෙන ඉන්නැ”යි පොලිස් නිලධාරීහු ඔහුට කීහ. නමුත් රජයේ හමුදා විසින් ගම් බිම් වටලා තරුණයන් රැගෙන යද්දී ඔවුන්ට කරුණු පැහැදිලි කරමින්,එම තරුණයන් මුදා ගැනීමට  මයිකල් රොද්‍රිගූ  හැමවිටම උත්සාහ කළේය.

නිරන්තරයෙන්ම සුබ සෙත් ගෙදරට ආ ගිය තරුණයන් එක් වී කතාබහ කිරීම පිළිබඳව පොලිසියට හා හමුදාවට පමණක් නොව, ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ට ද පැවතියේ සැකයකි.  වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන රන්ජිත් මද්දුම බණ්ඩාරගේ බාප්පා වූ ධර්මදාස බණ්ඩා එවකට ප්‍රදේශයේ ප්‍රබලයා විය. අපේක්‍ෂා කළ හැකි පරිද්දෙන්ම, 'සුබසෙත ගෙදර' ආශ්‍රිත  ක්‍රියාකාරකම් පිළිබඳව ඔහු තුළ  ප්‍රසාදයක් නොවිණ. වරක් ඔහුගේ තර්ජනයට පවා මයිකල් පියතුමා ගොදුරු වූයේ එහෙයිනි.

රාජ්‍ය හමුදා තර්ජන

නිර්නාමික ලිපි මගින් මයිකල් පියතුමා වෙත මරණීය තර්ජනත්, නිර්ණාමික පෙත්සම් මගින් ඔහු පිළිබඳව වැරදි තොරතුරුත් රජයේ ආරක්ෂක අංශ වෙත ලැබෙන්නට විය. සුබ සෙත් ගෙදර නිරන්තර  රජයේ සන්නද්ධ හමුදාවන්ගේ වැටලීම් වලට ලක්විණි. “ ෆාදර් මොනවද මෙහෙ කරන්නේ ?” එසේ පැමිණි හමුදා නිලධාරියෙකු මයිකල් පියතුමාගෙන් විමසීය.

“මම ජේසු ස්වාමි දරුවන්ගේ අනුගාමිකයෙක්. මේ දුප්පත් මිනිස්සු එක්ක ජීවත් වෙන්න තීරණය කරලා මෙහෙ ඇවිත් වැඩ කරනවා”යි ඔහු කීය‍.

“ෆාදර් JVP කාරයන්ට උදව් කරනවා, කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා” ඔවුහු පෙරළා අනතුරු ඇඟවූහ.

දෙවියන්ගේ තැනකට එන කිසි කෙනෙක් එලවන්නට තමාට අයිතියක් නැතැයි ඔහු පිළිතුරු දුන්නේ ය.

නමුත් ඒ සංවාදය එතකින් නිමා නොවිණි. 1987 නොවැම්බර් මුල් සතියේ  යළි එසේ  හදිසියේ කඩා වැදුණු හමුදා නිලධාරියෙකු තර්ජනාත්මක ස්වරුපයෙන් කියා සිටියේ තහනම්ව පැවැති ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කණ්ඩායම් හා ඔහුට ඇති සම්බන්ධය පිළිබඳව තහවුරු කළ හැකි තොරතුරු තමා සතුව ඇති බවත්, තුවාල ලබා වනගතව සිටින කැරළිකාරී තරුණයන් හා සබඳතා පවත්වන්නේ නම් ඊට ප්‍රතිවිපාක අපේක්‍ෂාවෙන් සිටිය යුතු බවත් ය.

එහෙත් එකී සිදුවීමෙන් දින කිහිපයකට පසු නොවැම්බර් අට වෙනිදා රජයේ හමුදා 'සුබසෙත් ගෙදර' වටලා දෛනික වතාවත් කිරීමට  එහි පැමිණ සිටි ගමේ තරුණයෙකු රැගෙන ගියහ. 'සුබසෙත් ගෙදර'ට ආ ගියවුන් එහි පැමිණීමට බියවූයේ මෙම පැහැර ගැනීමත් සමඟ ය. ඇත්තෙන්ම ආරක්‍ෂක අංශවලට අවශ්‍යවී තිබුණේ ද එවැනි තත්ත්වයක් කෙසේ හෝ නිර්මාණය කර ගැනීම ය.

අළුකලවිට ජීවත් වූ එක්සත් ජාතික පාක්‍ෂිකයෙකුට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුකරුවන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ මේ අතරවාරයේ ය. තම වැඩ කටයුතුවලට නිරන්තරයෙන් අකුල් හෙලූවෙකු වීම නොතකා, බරපතල තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමට මයිකල් රොද්‍රිගූ පියතුමා සිදුකළ ක්‍ෂණික මැදිහත් වීමෙන් ඔහුගේ ජීවිතය ගැලවිණ. අළුකලවිට ගම්මානය යළිත් හමුදා වැටලීම්වලට ගොදුරු වන්නට පටන් ගත්තේ මේ සිදුවීමත් සමඟ ය.

නික්ම යාම

ඒ වන විටත් රාජ්‍ය ආරක්‍ෂක අංශ වෙතින් මයිකල් පියතුමාට ඇති අනතුර ගැන පණිවුඩ ඔහුගේ ඉහළ මැද පාංතික පවුල් සම්බන්ධකම් හරහා ලැබී තිබුණද  ඔහු කටයුතු කළේ ඒ කිසිත් නොතකා ය. නමුත් තීව්‍රවන වන භීෂණකාරී වාතාවරණය මැද තවදුරටත් වෙල්ලස්සේ සිටිය යුතුද නැතිද කියන තීරණාත්මක කතාබහක් ඔහු විසින් කැඳවන ලද්දේ 1987 නොවැම්බර් 10 වැනිදා ය.  තව දුරටත් අළුකලවිට රැඳී සිටින්නට තමන් තීරණය කර ඇතැයි ඔහු සෙස්සන්ට තිර ලෙස දැනුම් දුන්නේය. අනතුරුව හේ සන්ධ්‍යා දිව්‍ය පුජාවට සහභාගී විය. පූජාව අවසන් වූයේ රාත්‍රී 7.45ට පමණ යැයි එහි සිටි අය කියති. නිවසේ කවුළුවක් දෙසින් එක්වරම වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ ඒ මොහොතේ ය. කවුළුවට පිටුපා අල්තාරයට මුහුණලා වාඩි වී සිටි මයිකල් පියතුමා අල්තාරය මත ඇද වැටිණි.

පියතුමාගේ  හිසට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ හිස කැබිලි වී තිබු අතර ඇසක් ගැළ වී ගොස් තිබිණි. වෙඩි වැද ඇද වැටුණු  මිල්බර්ගා සොයුරියත්, සිහිසුන් ව ගිය බෙනෙඩික්ටා සොයුරියත් ඒ අසළම වූහ.

අළුකලවිට හා අවට දිළිඳු ගැමියන්ගේ ආදරය දිනාගත් මයිකල් රොද්‍රිගු පියතුමාගේ මරණයෙන් බලවත් කම්පාවට පත් ගැමියන් විසින් දානමය පින්කමක් සංවිධානය කරන ලදී. දානමය පින්කමට එක්වූ මයිකල් පියතුමා සමීප ඇසුරු කළ අළුත්වෙල සුමනසිරි හිමියෝ මයිකල් රොද්‍රිගූ පියතුමාට "ස්වර්ග සම්පත්තිය කොට ඇති පරම ශාන්ත නිවන් සැප" ප්‍රාර්ථනා කළහ.

ඔහුගේ සිරුර කොළඹට රැගෙන විත් බොරැල්ල කනත්තේ මිහිදන් කෙරුණු අතර වෙඩි ප්‍රහාරයෙන් ඉවතට විසිවී තිබුණු ඔහුගේ ඇස හා මොළයේ කොටස් අළුකලවිට දී මිහිදන් කෙරිණි.

'වෙල්ලස්සේ ජනයාගේ දුක් වේදනා දැකගත් මයිකල් පියතුමාගේ  ඇසත්, ඒ දුක් වේදනා නසන මඟක් සෙවූ උන්වහන්සේගේ මොළයත් අළුකළවිට පොළොවේ මිහිදන් වීමේ අර්ථය ඔහුගේ බුද්ධියත් , දැක්මත් අපට ඉතිරි කොට තබා යෑම යැ'යි මයිකල් රොද්‍රිගූ පියනම ඇසුරේ වැඩුණු තරුණයෙකු වූ තිලකරත්න කළ කතාව මතකයේ ඇති අළුකලවිට ගම්වැසියෝ අදටත් ජීවත් වෙති.☐

අතුල විතානගේ


© JDS