'මනුෂ්‍ය අභිමානය අපට ලැබුණේ අරගලය තුළින්' - සුබ්‍රමනියම් සිවකාමී හෙවත් 'කර්නල් තමිලිනී'

තමිලිනී හෙවත් සුබ්‍රමනියම් සිවකාමී ඔක්තෝබර් 18 වැනිදා සිය දිවි රණබිමට සමුදුන්නාය. සිය ජනයාට ගෞරවාන්විත දිවියක් දිනාදීමේ මැඩලිය නොහෙන විගීෂාවෙන් ප්‍රලෝහිත පීඩිත තරුණ ස්ත්‍රියක තුළ යුක්තිගරුක ජීවිතයක් කෙරෙහි ඇවිළුනු නොතිත් අනුරාගී අග්නිය තුන් සාළිස් වසක් ඇවෑමෙන් මේ අඟහරුවාදාවේ (20) ඈ සටන් කළ වන්නියේදීම නිවී යාමට නියමිත ය.

1991 වසරේ දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට බැඳී 2000 වසරේදී විමුක්ති කොටින්ගේ ස්ත්‍රී දේශපාලන නායකත්වයට පත් සිවකාමී හෙවත් 'කර්නල් තමිලිනී', පීඩිතභාවය යටකොට නැඟී ආ දෙමළ අරගලයේ පැතිරුණු ස්ත්‍රී නියෝජනය මූර්තිමත් කළ වැදගත් සටන්කාරිනියක් වූවා ය. අරගලයෙන් මුවහත් වූ ඇය සතු කුශාග්‍ර බුද්ධිය හා විශ්ලේෂණ ශක්‍යතා ඇය ලියූ සහ කියූ දෑ වටහා ගන්නට සමත් දෙමළ බස දන්නෝ මැනවින් දනිති. 

ජාතික විමුක්ති අරගල තුළ ස්ත්‍රී නියෝජනය පිළිබඳ අධිගෘහිත ස්ත්‍රීවාදී ආකල්පයන්ගේ සීමාවන්ට අභියෝග කරමින් බ්‍රිතාන්‍ය වෝර්වික් සරසවියේ සහකාර මහාචාර්ය මිරැන්ඩා ඇලිසන් විසින් ලියන ලද නිබන්ධනයට සහාය වනු පිණිස 2002 වසරේදී ඇය හා වරින් වර සංවාදයේ යෙදුණු තමිලිනී, දොළොස් දෙනෙකුගෙන් සමන්විත විමුක්ති කොටි මධ්‍ය විධායක කමිටුවේ පස් දෙනෙකු ස්ත්‍රීන් බව මහාචාර්ය ඇලිසන් වෙත හෙළි කරමින්, දෙමළ සමාජය තුළ සමාජ ලිංගික අනන්‍යතා ගොඩනැංවීම පිළිබඳව මෙසේ කීවාය:

"අපේ සමාජයේ ස්ත්‍රීන්ගේ හා පිරිමින්ගේ කාර්යය වෙන්කොට දක්වා තිබෙනවා. ඒ නිසාම ළමාවියේ පටන් ගැහැණු ළමුන් හදා වඩන්නේ යම් යම් දේවල් ඔබට කළ නොහැකියි යන ආකල්පය මතයි. ඒ නිසාම තමන් පිළිබඳ තීරණ ගැනීමට තමන්ට නොහැකි බවත්, වෙනත් අයෙක් තමන් වෙනුවෙන් තීරණ ගත යුතු බවත් ගැහැණු ළමයෙකුට හැම විටම හැඟෙනවා. ඊට හේතුව ඇය තමන් පිළිබඳ නොදැන සිටීමයි. එල්ටීටීඊ සංවිධානය තුළ අප හැදී වැඩෙන්නේ අපි සම්බන්ධයෙන් වන තීරණ අප විසින්ම ගත යුතුය යන පදනමිනුයි....දැන් මට ආත්ම විශ්වාසයක් තිබෙනවා. දැන් මට කිසිම කෙනෙක් අවශ්‍ය නැහැ. මගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගන්නට මම දැන් කිසිම කෙනෙකුට ඉඩ දෙන්නෙත් නැහැ'.

ඉන් වසරකින් පසු මානව හිමිකම් පිළිබඳ දකුණු ආසියානු සංසදයේ රීටා මන්චන්ඩා සමඟ සංවාදයක යෙදුණු තමිලිනී 'දෙමළ ස්ත්‍රිය සාම්ප්‍රදායයිකව ලැජ්ජාශීලී, බයාදු හා ආත්ම විශ්වාසය අඩු පිරිසක් වුව ද සටන්බිමට ස්ත්‍රීන් ප්‍රවිශ්ඨ කරවීම විසින් මෙය වෙනස් කරනු ලැබු' බව කියා සිටියාය.

ජාතික විමුක්තිය සඳහා වූ අරගලය පැරණි සමාජ ආධානග්‍රාහීත්වයේ කැළි කසළ නිරායාසයෙන් පිසදා හරිනු ඇතැයි විශ්වාස නොකළ ඇය, සිය අරගලය සමාජ සාධාරණත්වය සාක්‍ෂ්‍යාත් කරන තෙක් දිග්ගැසෙන නො‍නිමි අරගලයකැයි 2003දී අවධාරණය කළා ය. වර්ගවාදී රාජ්‍ය හිංසනයෙන් පමණක් නොව, සමාජ ගතානුගතිකත්වයේ අඳුරු බන්ධනයන්ගෙන් දෙමළ ස්ත්‍රිය තීරණාත්මක ලෙස ගළවාගැනීම සිය අරගලයේ අවියෝජනීය කොටසකැයි ඇය එකී සාකච්ඡාවේදීම කියා සිටියි.

2009 අවි ගැටුම් නිමා වීමෙන් පසු අත් අඩංගුවට ගනු ලැබූ තමිලිනී, කිසි කලෙක හෙළි නොකළ ගොරතර වේදනා ගහණ රැඳවුම් දිවිය අතරමැද වවුනියාවේ පූන්තෝට්ටම් කඳවුරේ ආරක්‍ෂක අංශ සංවිධානය කළ 'විවාහ මංගල්‍යයකට' සාරියක් අන්දා ආරක්‍ෂක ප්‍රධානීන්ගේ  සන්තුෂ්ඨිය පිණිස ප්‍රදර්ශනය කිරීම  'පුනරුත්ථාපනය' වශයෙන් දකුණේ මාධ්‍ය විසින් උත්කර්ෂයට නංවන ලදී. සිය අරගලකාරී දිවි මඟ තුළ උත්තරීතර කොට සැළකූ 'ආත්ම විශ්වාසයෙන් සන්නද්ධ ස්වාධීන නව දෙමළ ස්ත්‍රියක්' නිර්මාණය කිරීමේ සාමූහික මිනිස් වෑයම පරාජය වීමේ ශෝකයෙන් හා නග්න අවමානයේ වේදනාවෙන් හිස බිමට නැඹුරු කරගත් තමිලිනීගේ දුක්බර රුව සිංහල වර්ගවාදී රාජ්‍ය පිළිවෙත් විසින් සිදුකරන ලද නින්දා සහගත සැළකීම් පිළිබඳ සංකේතයක් සේ දෙමළ ජන සිත් සතන් තුළ නිධන්ව ඇතුවාට සැක නැත.

කායිකව තමන් අඩපණ කරන්නට තර්ජනය කර පැතිරෙන පිළිකා සෛල හා සටන් කරමින් ගතකළ සිය දිවියේ අවසාන භාගය ඇය වඩ වඩාත් ලේඛනයට නැඹුරු වූවාය. 2015 මැයි 17 වැනිදා මුල්ලිවයික්කාල් සංහාරයේ හයවැනි ස්මරණය නිමිත්තෙන් ඈ සිය වත් පොතෙහි (‍facebook) මෙසේ සටහන් කර තිබුණි:  "2009වසරේ අද වැනි දවසක රාත්‍රියේ සියල්ල අවසන් විණ. කියන්නට වචන ඉතිරිව නැත. දෑස්වල කඳුළු ඉතිරිව නැත. මියගියවුන්ට අභිමානය හිමි විය. දිවි බේරාගත්තෝ පණ අදිමින් ජීවත් වෙති." -   (2009 ம் ஆண்டில் இன்றைய நாளின் இரவோடு எல்லாம் முடிந்து போனது. விபரிக்க வார்த்தைகளுமில்லை விழிகளில் கண்ணீருமில்லை. மாண்டு போனவர்கள் பேறு பெற்றவர்கள் மீண்டெழுந்த பிணங்களோ இன்னமும் மூச்சிழுத்துக்கிடக்கின்றன்.)

සමානත්වය, සාමූහික මිනිස් ගරුත්වය හා සමාජ යුක්තිය වෙනුවෙන් සිය භද්‍ර යෞවනය කැප කොට දිවි හිමියෙන් සටන් කළ  උතුරේත් දකුණේත් පීඩිත මිනිස් පරම්පරාවන්ගේ කිසිදා නොලියැවුණු ඉතිහාස කතාවක් අපට තිබේ. දකුණේ සුජාතා හඳගම, දීපා මානවඩු, අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා හා චාමනී ගීතාංජලී වැන්නියන්ගේත්, උතුරේ සෝමසේකරම් සත්‍යදේවී, කන්දයියා ඥාණපූරණී, පොන්නුතුරෛ කලෛචෙල්වී හා සුබ්‍රමනියම් සිවකාමී වැන්නියන්ගේත් අධිෂ්ඨාන පූර්ණ ජීවන පුරාවෘත විසින් ප්‍රභාමත් කරන්නේ ඒ පීඩිතයන්ගේ මිනිස් වංශ කතාවයි.

(මෙම සාකච්ඡාව මුල්වරට පළවුයේ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ සිංහල පුවත්පත වූ 'දේදුන්න' පත්‍රයේ 2003 මැයි කලාපයේයි.)


මිල් ඊළම් විමුක්ති අරගලය තුළ ස්ත්‍රියගේ භූමිකාව ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

තමිලිනී: අපි අපේ විමුක්ති අරගලය තුළ පිරිමින් හා සම සමව සහභාගී වෙනවා. ස්ත්‍රීන් වශයෙන් එය අප සතු අනිවාරණීය සහ පැහැර හැරිය නොහැකි වගකීමක්.‍ ඕනෑම ජාතියක්, දේශයක් ගත්තාම ස්ත්‍රීන් වෙන්කර හෝ අයින් කර තියන්න බැරි සමාන නියෝජනයක් හිමි ‍ජන කොටසක්. එම සමාජයට බලපාන ඕනෑම පීඩාවක්, ඒ සමාජයේ ස්ත්‍රීන්ටත් බලපානවා. එම පීඩනයට බොහෝ විට වැඩිපුර ලක්වන්නේ ස්ත්‍රීනුයි. එයට හේතුව අපේ සමාජයේ නිවස සහ පවුල සම්බන්ධයෙන් වැඩිපුර බර දරන්නේ ස්ත්‍රීන් නිසායි. එහෙයින්ම සමස්ත ජාතියකට එල්ල වන පීඩනය ඒ තුළ වන ස්ත්‍රීනට දැනෙන ප්‍රමාණය වැඩියි. ඒකට මුහුණ දීමට පිටතින් ආරක්‍ෂාවක් ස්ත්‍රියට ලැබෙන්නේ නැහැ. ස්ත්‍රිය විසින්ම එයට මුහුණ දී තම ආරක්‍ෂාව සළසා ගත යුතුයි. එහිදී ස්‍ත්‍රියගේ පියාට, පුතාට, පෙම්වතාට හෝ විවාහක පුරුෂයාට ඇයව ආරක්‍ෂා කළ නොහැකියි. හමුදාව ගමකට කඩා වැදුණු විට එහි ඉන්නා පිරිමින් අත් අඩංගුවට ගෙන වධ හිංසා පමුණුවා මරා දමනවා. ඉන්පසුව ඉතිරිවන ස්ත්‍රීන්ට අතවර කොට මරා දානවා. මෙයට මුහුණ දීමට ස්ත්‍රීන් ඉදිරියට නොඑන්නේ නම් වෙන කවුද ඉන්නේ? ඔවුන්ම එය කළ යුතුයි. ඒ විතරක් නොවෙයි, ජාතික විමුක්තිය උදෙසාත් ස්ත්‍රිය තම දායකත්වය ලබාදිය යුතුයි.

විමුක්ති අරගලය තුළ නිරත ස්ත්‍රියක හා සාමාන්‍ය තමිල් සමාජයේ ස්ත්‍රියක අතර ඔබ දකින වෙනසක් තිබෙනවාද?

තමිලිනී: සාමාන්‍ය තමිල් සමාජයේ ස්ත්‍රියක හා විමුක්ති කොටි සාමාජිකාවක අතර වෙනස්කම් තියෙනවා. ඒ වෙනස මෙසේ පෙන්වා දිය හැකියි. මම විමුක්ති කොටි සාමාජිකාවක්. ව්‍යාපාරයට බැ‍‍ඳෙන්න පෙර ම‍ගේ සිතුවිලි, මගේ අපේක්‍ෂාවන් සහ මගේ රුචි අරුචිකම් සමාජයේ සාමාන්‍ය  ස්ත්‍රියක තුළ තිබූ ඒවායි. සමාජයේ සාමාන්‍ය ස්ත්‍රියකගේ අදහස් - උදහස් වෙනස්. ඒවා නිර්මාණය කරන්නේ උපන් ගෙයිමයි. උපන් ගමන්ම ස්ත්‍රියකගේ සිතුවිලි සමාජය විසින් නිර්මාණය කරනවා. පිරිමි ළමයින්ට අරන් දෙන සෙල්ලම් බඩුයි, ගැහැණු ළමයින්ට අරන් දෙන සෙල්ලම් බඩුයි එකිනෙකට වෙනස්. ඒ වගේම පිරිමි ළමයින්ට දෙන උපදෙස් සහ කියන කතාත්, ගැහැණු ළමයින්ට දෙන උපදෙස් සහ කියන කතාත් එකිනෙකින් වෙනස්. සමාජයක් තුළ ස්ත්‍රියක් කතා කළ යුතු අන්දම හා හැසිරිය යුතු අන්දම කලින් තීන්දු කරන ලද්දක්. ඒකෙන් පරිබාහිරව සිතීම හෝ හැසිරීම කළ නොහැකියි. ඒ සඳහා අවශ්‍ය ඥා‍ණය පවා සමාජය විසින් දෙන්නේ නැහැ. ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කරන්න බැහැ. අසාධාරණයන් නිහඬව දරාගත යුතුයි.

නමුත් විමුක්ති අරගලයට ඇතුල් වූ පසුව අපිට ලැබුණු පුහුණුව හා දැනුම වෙනස් එකක්. ආක්‍රමණික හමුදාවට මුහුණ දීමට අවශ්‍ය සටන්කාමීත්වය විතරක් නෙවෙයි, ජීවිතයට මුහුණදීමට අවශ්‍ය ප්‍රඥාවත් අපිට ඒ තුළින් ලැබුණා. තීරණ ගැනීමේ බලය, ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය සහ පසුබිම අපිට ලැබුණේ විමුක්ති අරගලය තුළිනුයි. අපි කවුද යන වග අප විසින්ම හඳුනාගත්තේ ඒ තුළින්. අපට තීරණ ගන්න පුළුවන් බවත්, අප තුළ අතිමහත් ශක්තියක් ඇති බවත් අපට පසක් කර දී මනුෂ්‍ය අභිමානය හා ආත්ම විශ්වාසය අපට ලබා දුන්නේ අරගලය විසින්. සිතුවිලිවලින් විතරක් නොවෙයි, ක්‍රියාවේදී පවා හඬ ඇහෙන ලෙස ඇවිදින්න එපා, හිනාවෙන්න එපා, ගස් නගින්න එපා ආදී වශයෙන් අපිට වාරණය කර තිබුණු හැම ක්‍රියාවක්ම කරන්න අරගලය තුළ අපට සිද්ධ වුණා. අපේ සිරුරේ සහ මනසේ හැඟව ඇති බලය පුදුමයකින් වගේ අපි සොයාගත්තා. එය වුණේ ව්‍යාපාරයට බැඳී අරගලයට එකතු වීමෙන් පසුවයි. ඒ තුළින් තමයි ස්ත්‍රීන් වශයෙන් අපට අප ගැන විශ්වාසයක් ඇති වූයේ. සාමාන්‍ය තමිල් ස්ත්‍රිය සහ අප අතර ඇති මූලික වෙනස එයයි. අපි දැන් අපේ ශක්තිය, දැනුම සහ බලය ගැන සවිඥාණිකයි. නමුත් ඒ සාමාන්‍ය ස්ත්‍රිය දැන් අප දෙසත්, අප තුළ ඇති ආත්ම ශක්තිය දෙසත් බලනවා. අප තීරණ ගන්නා හැටිත්, ඒවා ක්‍රියාත්මක කරන හැටිත් බලනවා. ඒ හරහා ඔවුන් ද, ඔවුන්ගේ සැඟව ඇති ශක්තිය හා බලය සෙවීමට පටන්ගෙන තිබෙනවා. එය මේ විමුක්ති අරගලය විසින් අපේ සමාජයේ ස්ත්‍රිය වෙත කර ඇති යහපත් බලපෑමක්.

යුද සමයේ පමණක් නොව, සටන් විරාම සමයේත් හමුදා පාලනය පවතින ප්‍රදේශ තුළ, විශේෂයෙන්ම යාපනයේ ස්ත්‍රීන්ට එරෙහි ලිංගික අතවර සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. හමුදාව පමණක් නොව, සිවිල් වැසියන් ද මේ සම්බන්ධයෙන් චෝදනා ලබා තියෙනවා. මේ තත්ත්වය ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද?

තමිලිනී: හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශවල ස්ත්‍රීන්ට එරෙහි ලිංගික අතවර හමුදාවෙන් පමණක් නෙවෙයි, ඇතැම් සිවිල් වැසියන්ගෙන් ද සිදුවන බව දැන් පැහැදිලිවම පෙනෙන දෙයක්. මීට හේතු ගණනාවක් තියෙනවා. මූලික හේතුවක් නම් ස්ත්‍රීන් පිළිබඳ ඇති කරවා ඇති ආකල්පයයි. දේශපාලන කටයුතු සඳහා යාපන අර්ධ ද්වීපයට අපි ගිය විට, ස්ත්‍රී ශරීරය අවමානයට ලක්කරන චිත්‍රපට ප්‍රචාරක පෝස්ටර් අපි දැක්කා. රජයේ හමුදා යාපනය අත්පත් කරගත් පසුව ඉතාම සැළසුම් සහගතව මෙවන් චිත්‍රපට අර්ධ ද්වීපය පුරා ප්‍රදර්ශනය කෙරුණා. තරුණ පරම්පරාවේ සිතුවිලි ඉතා වේගයෙන් දූෂ්‍ය කරන්නට මෙමගින් හැකි වුණා. මෙය අපගේ ජනයා වෙත කළ වෙනත් විදියක ආක්‍රමණයක්. ස්ත්‍රිය වෙළඳ භාණ්ඩයක් ලෙස නිරූපණය කරමින් ඉදිරිපත් කළ මෙම ආකල්ප වෙත නව පරපුර වේගයෙන් ඇදී යනවා. තම ජාතික විමුක්ති අරගලය ගැන අව‍බෝධයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අහිමි කරමින්, හමුදාව මෙන්ම රූපවාහිනිය හා පහත් පෙළේ චිත්‍රපට යොදාගෙනයි ඔවුන්ගේ සිතුවිලි මේ අයුරින් විනාශ කරන ලද්දේ. ස්ත්‍රීන්ට එරෙහි අපරාධ වැඩි වෙමින් පවතින්නේද තම ඉතිහාසය ගැන නොදත්, තම ජනයතාවගේ අරගලය ගැන නොදත් පරපුරක් හමුදා පාලනය යටතේ බිහිකිරීම හේතුවෙනුයි. අපිට යාපනයේදී හමු වූ ස්ත්‍රීන් ඔවුන්ට සිදු වූ අතවර ගැන අපට දන්වා සිටියා. යාපනය අපගේ පාලනයේ පවතින ප්‍රදේශයක් නොවෙයි. මේ අතවර ගැන ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලි කරන්නැයි කියා අපි ඒ ස්ත්‍රීන්ට දන්වා සිටියත්, එය ඵල රහිත බව ඔවුන් පැවසුවා. ශ්‍රී ලංකාවේ පොලීසියේ සැළකීම් ඊටත් වඩා දරුණු බව මෙම ස්ත්‍රීන්ගේ අත්දැකීමයි. ඔවුන් අතවරවලට එරෙහිව කිසිදු පියවරක් ගනිතැයි කිසිම දෙමළ ස්ත්‍රියක් විශ්වාස කරන්නේ නැහැ.

නමුත් වන්නියේ තත්ත්වය වෙනස්. මෙහි ජනතාව දිගුකාලීන බිහිසුණු යුද්ධයකට මුහුණ දුන්නා. කෆීර් හා ෂෙල් ප්‍රහාරවලින් ගෙනගිය යුද්ධය හැර හමුදා චිත්‍රපටිවලින් යුද්ධයක් ගෙනියන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ස්ත්‍රී ගරුත්වය ගැන ආකල්ප බිඳ හෙළන, ස්ත්‍රිය අවමානයට පත්කරන කිසිදු චිත්‍රපටියක් හෝ පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අනෙක් කරුණ අපේ පොලිසිය ස්ත්‍රීන්ට එරෙහි අපරාධයක් වාර්තා වූ වහාම නිසි ලෙස විභාග කර අවශ්‍ය පියවර ගන්නවා. සමාජයක් සුරක්‍ෂිත වීමට නම් එවැනි වැරදි වැළකීමට නීතිමය පියවර ගත යුතුයි. දණ්ඩන පැනවිය යුතුයි. එමෙන්ම මේ සඳහා දේශපාලනික උනන්දුවක් ද තිබිය යුතුයි. හමුදා පාලනය යටතේ ඇති යාපනයේ නැත්තේත් මෙයයි. තමිල් ජනයාට සාමය දෙන්න කියා චන්ද්‍රිකා රජය යාපනය අල්ලා ගත්තා. ඒත් මේ ලැබී තියෙන්නේ සාමයද? නිදහස් ජීවිතයද?

තමිල් ස්ත්‍රිය විශාල දේශපාලන ක්‍රියාකාරකමකට කැඳවා ඇති විමුක්ති කොටි සංවිධානය ආයුද බිම තැබිය යුතු යැයි බටහිර රටවල් එක් පැත්තකින් ප්‍රකාශ කරන අතරේම, අනෙක් පැත්තෙන් පොදු ස්ත්‍රී අයිතිවාසිකම් ආරක්‍ෂා කළ යුතු යැයි කතා කරනවා. ආයුද බිම තැබීමේ සහ ස්ත්‍රී අයිතීන් සුරැකීමේ කොන්දේසි එකිනෙකට පරස්පර බව ඔබ හිතනවාද?

තමිලිනී: ඕනෑම රටක ප්‍රතිපත්ති නිර්මාණය වී ඇත්තේ තම අවශ්‍යතා පදනම් කරගෙනයි. ආයුද බිම තැබිය යුතු යැයි ඔවුන්ට තවකෙකුට කීමට පුළුවන්. එහෙම කියන රටවල් පවා තම තමන්ගේ ආරක්‍ෂාව සඳහා විශාල වශයෙන් ආයුද රැස් කරගෙන සිටිනවා. අපිත් ආයුද තබාගෙන සිටිනුයේ අපේ ජනතාවගේ ආරක්‍ෂාව පිණිසයි. අපේ ජනතාවගේ ආරක්‍ෂාව තීන්දුවන්නේ අප සතුය ඇති බලය මතයි. අපගේ බලය පදනම් වී ඇත්තේ අප සතුව ඇති ආයුද මතයි. අපේ හිස කෙළින් ඔසවා තබා ගන්නට අපට හැකි වූයේ අපි සන්නද්ධ වූ නිසායි. අපේ අනාගතය තීන්දු කරන්නේත්, පැවැත්ම තීරණය කරන්නේත් අපේ අතේ ඇති ආයුදයි. අපි ඒ ආයුද වැරදි ක්‍රමයකට භාවිතා කරනවා නම් හෙළා දැකිය හැකියි. අපි ඒවා භාවිතා කරන්නේ අපේ දේශයේත්, අපේ ජාතියේත් විමුක්තිය සඳහා පමණක් බව අපිට පැහැදිලිවම සහතික කළ හැකියි. ස්ත්‍රියක් මුලින්ම කළ යුතු කාරණාව තමුන් පීඩාවට හසුව ඇති බව තමුන් විසින්ම අවබෝධ කරගැනීමයි. පීඩනයෙන් ගැළවීම සඳහා එය අත්‍යාවශ්‍යයි.

පොදුවේ ලෝකය පුරාම පැතිරී ඇති අදහස නම්, යුද්ධය පිරිමින්ගේ දෙයක් බවත්, ස්ත්‍රිය සාමය උදෙසා කටයුතු කළ යුතු බවත් ය. නමුත් ඔබ ස්ත්‍රියක් හැටියට ඔබේ ස්ථාවරයට අනුව ඔබට ආරක්‍ෂාව සහ යුක්තිය ලබා ගැනීමට හැකි වී ඇත්තේ සන්නද්ධ අරගලය තුළිනුයි. ස්ත්‍රිය යුද්ධයට එරෙහි විය යුතුයි යන ස්ථාවරය ලෝකයේ තහවුරුව තිබියදී ඔබ අරගලය තුළින් යුක්තිය සහ සාමය උදකරගත හැකියැයි පවසනවා. මේ වෙනසට හේතුව කුමක්ද?

තමිලිනී: ස්ත්‍රිය පිළිබඳව සමාජයේ පුහු පසුගාමී ආකල්ප තිබෙනවා‍. මේවා පිටුපස ඇති යථාර්ථය හඳුනාගත යුතුයි. යුද්ධය පුරුෂයන්ගේ දෙයක් බවත්, ස්ත්‍රීන් සාමය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ගෙනයන මතය තුළින් යුක්ති සහගත අරගලයකදී ස්ත්‍රී දායකත්වය හෑල්ලුවට ලක් කරනවා. ස්ත්‍රිය සාමය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ පවුල් සම්බන්ධව ඇගේ ඇති වගකීම නිසා නම් එම වගකීම් පුරුෂයාට බලපාන්නේ නැතිද? පිරිමින්ටත් පවුල් සම්බන්ධයෙන් වගකීම් තිබෙනවා. එම නිසා සාමය වෙනුවෙන් පෙනී සිටීම හුදෙක් ස්ත්‍රීන්ගේ වගකීමක් පමණක් ය යන අදහස අපි ප්‍රතික්‍ෂේප කරනවා. තවත් පැත්තකින් සමාජයේ සිදුවන අයුක්තිය, අසාධාරණය හමුවේ විරෝධය දැක්වීමට ස්ත්‍රීන්ට ඇති අයිතිය එම මතය විසින් අවතක්සේරුවට ලක් කරනවා. තමිල් ස්ත්‍රීන් ද සාමාන්‍ය ජීවිතයකට කැමතියි. ඒ ජීවිතය අපිට අහිමි කරනු ලැබුවා. ඒ නිසා තමිල් ස්ත්‍රීන් තුළ සාධාරණ කෝපයක් මතුවීම වළක්වන්න බැහැ. අපි කරන්නේ යුද්ධයක් නෙවෙයි. අපි කරන්නේ අරගලයක්. නිදහස් සාමාන්‍ය ජීවිතය ගොඩනඟා ගන්නට අප විසින් අරගලයක් කළ යුතුව තියෙනවා. අප මත පටවා ඇති ආක්‍රමණික යුද්ධයට එරෙහිව සටන් කිරීම යනු අපේ විමුක්ති අරගලයයි. අපි ආක්‍රමණික යුද්ධයක් සඳහා ස්ත්‍රීන් සහභාගී කරවන්නේ නැහැ. තමිල් ස්ත්‍රීන් සහභාගී වන්නේ යුක්ති සහගත අත්‍යාවශ්‍ය විමුක්ති අරගලයකටයි. අපට සදාචාරාත්මක වගකීමක් තියෙනවා. අප ඉටු කරන්නේ එයයි. යුක්ති දිනාගැනීම සඳහා කෙරෙන අරගලයකට සහභාගී නොවී සාමය අවශ්‍ය යැයි හඬ නැගීමට ස්ත්‍රීන් යොමු කිරීමෙන් අදහස් වන්නේ ඔවුන් නිශ්ක්‍රීය බියසුල්ලන් කියා හැඟවීමට නොවේද? ස්ථිරසාර සාමයක අවශ්‍යතාව අපි පිළිගන්නවා. සාමය ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව සෑම මනුෂ්‍යයෙකුටම අවශ්‍යයි.

ආසියානු වැඩවසම් සමාජ සන්දර්භයක් තුළ ස්ත්‍රිය යනු පුරුෂයා සතු දේපළක් වශයෙන් සැළකෙන අතර, බටහිර සමාජය තුළ රූප රාජිනී තරඟ ආදිය හරහා ස්ත්‍රිය එක් පුරුෂයෙකුගේ නොව, සියළු පුරුෂයන්ගේ වෙළඳ භාණ්ඩයක් ලෙස සැළකෙනවා. විමුක්ති කොටි සංවිධානය මේ මාවත් දෙකම ප්‍රතික්‍ෂේප කරමින් සමාජයක ස්ත්‍රී භූමිකාව අලුතින් අර්ථ නිරූපණය කරනවා. ඒ ගැන ඔබ කීමට ඇත්තේ කුමක්ද?

තමිලිනී: බටහිර රටවල ස්ත්‍රීන් නිදහසේ සිටින බව කියැවුණත් ස්ත්‍රී අතවර බහුතරයක් සිදුවන්නේ එම රටවලයි. බටහිර සහ ආසියාතික ස්ත්‍රිය පීඩාවට පත් කෙරෙන ආකාරය වෙනස් වුවත්, පීඩනය ඒ ලෙසම පවතිනවා. අද තියෙන්නේ වෙළඳ ලෝකයක්. වෙළඳ ප්‍රචාරණය එහි ප්‍රධාන අංගයක්. ඒ සඳහා වැඩිපුරම ‍යොදාගන්නේ බටහිර ස්ත්‍රියයි. ඔබ පැවසූ රූප රාජිනී තරඟ සහ චිත්‍රපට ද මේ ‍වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නවා. ආසියාවේ ස්ත්‍රියට ගෘහ සේවිකාවක්, වැඩකාරියක්, නිවස බලාගන්නා කෙනෙක් යන ලැයිස්තුවට අමතරව බිරිඳ කියන තත්ත්වයද ලබා දී තියෙනවා. ඇය පිරිමියාගේ අවශ්‍යතා ඉටුකර දෙන කෙනෙක් ලෙස තමයි සැළකෙන්නේ. ළමයි හදන, ලිංගික අවශ්‍යතා ඉටු කරන, නිවසේ වැඩ කරන යන්ත්‍රයක් මෙන් ස්ත්‍රිය ද පිරිමින්ගේ අවශ්‍යතා ඉටු කරදෙන යන්ත්‍රයක් වශයෙනුයි සළකනු ලබන්නේ. ඇයට ද සිතුවිලි සහ දෘෂ්ටියක් තිබෙන බවත්, මනුෂ්‍යත්වය සහ ආත්මාභිමානය ඇයට ද හිමි බවත් අමතක කර දමා තිබෙනවා.

අපි මේ අන්ත දෙකම පිළිබඳව විවේචනාත්මක ස්ථාවරයක් දරනවා. අපේ සමාජයේ පවුල සහ පවුල් පරිසරය කියා දෙයක් තිබෙනවා. ඒ සියල්ලම අත්හැර ජීවත්වීම ස්ත්‍රී නිදහස යැයි අපි සළකන්නේ නැහැ. අනෙක් අතට අපේ සමාජයේ පවුල පිළිබඳව ඇති පසුගාමී ආකල්ප තුළ රැඳී ඉන්නත් අපි සූදානම් නැහැ. අපට ගැළපෙන දේ අප තෝරාගත යුතුයි. අපේ සමාජය ඉදිරියට ගෙනියන දෙය කුමක්දැයි අප තීරණය කළ යුතුයි. සමහරුන් අපෙන් අහනවා 'දැන් ඔබ ස්ත්‍රී සටන්කරුවන් ලෙස පෙනී සිටියත්, පසුව විවාහ වී පවුලක බර දැරීමට සිදුවනවා නේද' කියලා. අපි මේ අරගලයත්, අපේ ජීවිතයත්, පවුලත් වෙන වෙනම දකින්නේ නැහැ. අපේ ජීවිතයේ අරමුණ මේ අරගලයයි. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිත කැපකර තියෙනවා. ජාතික විමුක්තිය අත්පත් කරගැනීමෙන් පසුව අපේ සමාජය ගොඩ නැඟීම සඳහාත්, සෑම මනුෂ්‍යයෙකුටම ගරුත්වයෙන් යුතුව ජීවත්වීමේ අයිතිය සහතික කිරීම සඳහාත් අරගල කළ යුතුව තියෙනවා. මෙය නිම නොවන අරගලයක්. ස්ත්‍රීන් කොන් කොට සමාජයක අභිවෘද්ධිය දකින්න බැහැ. සමාජ අභිවෘද්ධිය මුලින්ම පටන්ගත යුත්තේ ස්ත්‍රියගෙන්. ස්ත්‍රිය හා පුරුෂයා එකිනෙකාට මිතුරන් ලෙස සළකමින්, එකිනෙකා හඳුනාගෙන, එකිනෙකාට ගෞරව කළ යුතුයි. අපේ නායකයා මේ ගැන පවසා ඇත්තේ 'ස්ත්‍රී - පුරුෂ භේදය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයක් හා පෞරුෂත්වයක් මේ දෙපාර්ශ්වයටම තියෙනවා. විමුක්තිය අත්පත් කරගත හැක්කේ දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය ලෙස ගරු කිරීම තුළින් පමණි' කියායි.

දකුණේ සහෝදරියන් වෙත විමුක්ති අරගලය සම්බන්ධයෙන් ඔබට කීමට ඇත්තේ කුමක්ද? ඊට අමතරව ජාති භේදයකින් තොරව පීඩා විඳීන මේ දිවයිනේ ස්ත්‍රීන්ට ඔබට දීමට ඇති පණිවුඩය තුමක්ද?

තමිලිනී: දකුණේ අපගේ සහෝදරියන්ට බොහෝ කාලයක් මුළුල්ලේ තමිල් ස්ත්‍රීන්ගේ සිතුවිලි හා ඔවුන් මුහුණ දෙන පීඩාවන් පිළිබඳව දැනගැනීමට නිසි මඟක් තිබුණේ නැහැ. දකුණේ අප පිළිබඳව ඇති කරනු ලැබූවේ අපි ප්‍රචණ්ඩකාරී පිරිසක් යන වැරදි ආකල්පයයි. අපිත් මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමට කැමැතියි. අපට අවශ්‍ය ඒ නිදහස අපෙන් උදුරාගත් නිසායි අපට අරගල කිරීමට සිදුවූයේ. මෙහි හැම ස්ත්‍රියක් මතම යුද්ධයේ බර පටවනු ලැබුවා. ඒ හැම දෙනෙකුටම තමන් විඳි දුක් පීඩා ගැන බොහෝ දේ කීමට තිබෙනවා. දකුණේ සහෝදරියන් අප පිළිබඳව මේ තොරතුරු දැනගත යුතුයි. එපමණක් නොවෙයි, මේ ජාතිවාදී ආක්‍රමණික යුද්ධය ආරම්භ කළේ කවුද? එම යුද්ධයෙන් පීඩා විඳි ස්ත්‍රීන් එම යුද්ධයට එරෙහිව අරගලයක් කරන්නේ ඇයි කියාද ඔවුන් තේරුම් ගත යුතුයි.

ඊ ළඟ කාරණයේදී ස්ත්‍රීන් ලෙස ගත් විට අප සියල්ලන්ම විඳින පීඩාවක් තිබෙනවා. දකුණේ ස්ත්‍රීන් ද ඔවුන්ටම සුවිශේෂ වූ පීඩාවන්ට මුහුණ දෙන බව අප දන්නවා. සමාජය ඉදිරියේ ඔවුන් තවමත් කොන් කරනවා. දේශපාලනයේදී ඔවුන්ගේ සහභාගීත්වය අල්පයි. ඔවුන්ට තම ආරක්‍ෂාව පිළිබඳව ද බරපතල ප්‍රශ්න මතු වී තිබෙනවා. අපට හමු වූ බොහෝ සිංහල සහෝදරියන් ඒ බව අපට පවසා තිබෙනවා. දකුණේ ස්ත්‍රී සංවිධාන බොහෝ ගණනාවක් තිබුණත් ස්ත්‍රීන් මුහුණ දෙන සැබෑ පීඩාවන් පිළිබඳ අරගල භාවිතයක් දකින්නට ලැබෙන්නේ නැහැ. පොදු වශයෙන් තමන් මුහුණ දෙන පීඩාවන්ට එරෙහිව දකුණේ සහෝදරියන් අලුත් අරගලයක් ආරම්භ කළ යුතු බව අපි කියන්න කැමැතියි. තම අයිතීන් දිනාගැනීම සඳහා වන අරගලයේ මාවත දුෂ්කර බවත්, ජයග්‍රහණයන් සඳහා බොහෝ කැපකිරීම් කළ යුතු බවත් දකුණේ සහෝදරියන්ට මා කිව යුතුයි.☐

© JDS