සංහාර සමයක සටහන්: ඔවුහු ඇණ ගසා, ගිනි තබා මරා දැමුහ.

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයෙන් 'රණ විරුවන්ගේ කීර්ති නාමය' බේරාගත් ජනාධිපති සිරිසේනට උත්තමාචාරය පුදන දැවැන්ත කටවුට් සිකුරාදා (02) කටුනායක සිට මග දිගට සිටුවා තිබිණ. නමුත් 'කීර්තිමත් රණ විරුවන්' ගැන මේ විශ්වාසයට විසි පස් අවුරුද්දකට වැඩි අතීතයක් නැති බව අනූවේ දශකයේ උපන් පරම්පරාවන්ගේ ඇතැම්හු  නොදනිති. දකුණේ වීදි සැරූ 'අළුගෝසු හමුදාවන්' රණ විරු සේනා සේ පිදුම් ලබන මේ කීර්ති කදම්භය උපයා ගන්නා ලද්දේ උතුරේ ජන සංහාරයන්ගෙනි.  ඒ කීර්ති ප්‍රභාව දල්වා තබනු වස් දකුණේ ජනයා සිය කැමැත්තෙන් අමතක කර දමා ඇති  සංහාරක සමයක් දකුණේ සිංහලයන්ට ද තිබිණ. මෙහි පළවන්නේ ඒ ඉතිහාසයෙන් අංශු මාත්‍රයකි. 

එවකට මානව හිතවාදී භික්‍ෂු සංවිධානය විසින් පළ කරන ලද 'විනිවිද' සඟරාවේ 1989 ජූලි කලාපයේ පළ වූ මෙම ලිපිය ඇසින් දුටු සාක්‍ෂි පාදක කොටගෙන ලියන ලද්දේ කවියෙකු, කෙටිකතාකරුවෙකු හා දේශපාලන ක්‍රියාධරයෙකු වූ  කේ.කේ. ප්‍රභාත් ජිනදාස විසිනි. ලිපිය පළ වී මාසයක් ඇතුළත දී  - 1989 සැප්තැම්බර් 17 වැනිදා - කොළඹ බොරැල්ලේ ගෝතමී විහාරස්ථානයේ දී අවිගත් රජයේ හමුදා සෙබළුන් විසින් පැහැරගෙන යනු ලැබූ ප්‍රභාත් ජිනදාස සහෝදරයා ඉක්බිති දකුණේ අතුරුදහන් දස දහස් සංඛ්‍යාතවුන් අතරට එකතු වී යැයි සැළකේ. ඝාතනය කළ ලේඛකයන් හෝ ජනමාධ්‍යකරුවන්ගේ ලැයිස්තුවලින් මඟහැරී ගිය ඔහු වැන්නෙකුගේ නාමය ඉතිහාසයේ සටහන් කොට තැබීම වැදගත් වන්නේ මරණ බිය නොතකා ඒ සංහාරක සමය පිළිබඳව සටහන් කොට තැබූ අතළොස්සක් දෙනා අතරට ඔහු අයත් වන බැවිනි.

'අභිමානවත් රණවිරුවන්' පිළිබඳ සාඩම්බරකාරී වහසි බස් විසුණු කොට දමන මෙහි එන ම්ලේච්ඡ පරිච්ඡේදය ද සියල්ලන්ගේ පහසුව පිණිස අමතක කරන ලද අපේ ඉතිහාසයේ කොටසකි.‍ 'කිසි කලක අපරාධ නොකළ රාජ්‍ය හමුදාවන්' ගැන දැන් රජයන ඇදහිල්ල යටින් හැට දහසක් පීඩිත සිංහල තරුණ - තරුණියන්ගේ මරණීය වේදනාවන් ද සැඟව තිබේ. නමුත් ඒ සාපරාධී අතීතයට යුක්තිය ඉටු කරගන්නට අපොහොසත් ජන සමාජයක්, දෙමළාට යුක්තිය අහිමි කිරීමේ සන්තුෂ්ඨිය දැන් දොරින් දොර උත්සවාකාරයෙන් භුක්ති විඳිති.

සටහන: කේ. කේ. ප්‍රභාත් ජිනදාස


රුණු උදාවට පෙරාතුව නැගුණු සීත මීදුම බෙන්තර ගඟේ දිය රැළි මතුපිට වැතිරී ඇගේ හද ගැස්ම අසා සිටිනු වැන්න. සියොත්හු කැදලි හැරපියා අහර සොයමින් පියාඹන්නට වුහ. සීත පිණි පොදින් තෙත බරිත අතු-ඉති-කොළ සොලවමින් තුරු ලතාවන්ද සියොත් නදට පිබිදෙද්දී උස් තුරු මුදුන් සිසාරා අරුණැල්ල හෙමි හෙමින් අන්ධකාරය පරයා නැගී සිටින්නට විය.

ගුවන් විදුලි යන්ත්‍රයකින් නික්ම ආ සෙත් පිරිත් සජ්ජායනය හබුරුගල හන්දියට අරුණෝදයේ පැමිණීම සුපුරුදු ලෙස හඟවාලීය. මිනිස්සු  දවස අරඹන්නට ඇඟ මැලි කැඩූහ. ජීවිතය ජීවත් කරවන සටනේ නියැලෙන්නට හිරු උදාවන්නට පෙරාතුව මේ හිමිදිරියේම ගෙන් පිටව යන්නට වුහ. මිනිසුන් එකිනෙකා හන්දිය පියමන් කරද්දී හබුරුගල හන්දියේ සිල්ලර වෙළඳ සැල්වල දොර ලෑලි ඇරුණේ ඔවුන් පිළිගන්නට මෙනි. සෙත් පිරිත් හඬ සමග සුවඳ දුම් ද කැළතෙමින් තුනීවන මීදුම් තලාවට එක්වන්නට විය.

සියල්ලම සුපුරුදු ලෙසම සිදුවන තවත් එක් දවසක් පමණක් යැයි බොහෝ දෙනා සිතන්නට වන්හ. එහෙත් මේ උදා වූ දවස අසු නවයේ පෙබරවාරි පස් වැනිදා වෙනත් බොහෝ දවස් වලට වඩා වෙනස්, දුක්බර දිනයක් කරන්නට සැරසී එන පිරිසක් මේ වන විටත් එහි සේන්දු වෙමින් සිටියහ.

විශේෂ කාර්ය බලකාය

පවනට බඳු වේගයෙන් ඈදී ආ අංක තහඩු රහිත ජීප් රිය හබුරුගල හන්දියේදී තිරිංග තද කළේ කන් හිරිවට්ටන හඬක් නංවමිනි. මොහොතකින් ජීප් රියේ එන්ජිම ගොළු විය. ඒ තත්පර කිහිපයක විරාමයේ සෙත් පිරිත් හඬ මිනිසුන්ගේ දෙසවන් හරහා හමා යන්නට විය.

ජීප් රියේ පිටුපස දොරටුව හැර ගත් විශේෂ කාර්ය බලකායේ භටයන් කිහිප දෙනෙකු ස්වයංක්‍රිය ගිනි අවි අතැතිව බිමට බසිද්දී හබුරුගල හන්දිය පසුකර යන්නට පැමිණි කිහිපදෙනෙකු මේ අරුමය කිමක්දැයි විපරමින් බලන්නට මදක් නැවතුනාහ. තරුණයන් සිව් දෙනෙකු රියෙන් බිමට ඇද දමනු දුටු කළ ඔවුහු සන්ත්‍රාසයට පත් වුහ.

ඇඳ සිටි කමිසවලින්ම දෑත් පිටුපසට කොට බැඳ තිබු තරුණයන්ගේ නිරුවත් උඩුකයින් මතු වූ කැපුම් තුවාල ඔස්සේ වෑහෙන රුධිරය  තාර පාරේ රළු ගල් කැබලි මතින් පහත් තැන් සොයා එක සීරාවට ගලා යන්නට විය. වේදනාවෙන් මුසපත්ව මළානිකව ගිය මුහුණු නිහඬව අවට සිටි මිනිසුන් දෙසට යොමු කරමින් බියකරු අත්දැකීම් රැසක් විඳි බව කියා පෑවා වැන්න. යෞවනයන්ගේ මුහුණු දුටු හබුරුගල වැසියෝ එකිනෙකා දෙස බලා නෙත් අයා ගත්හ. කම්පිත හඬින් මුමුණන්නට වුහ.

“එක්කෙනෙක්  උපුල් .. අනේ! .. අර සුනිලු ..ත්” කම්පාවට පත් මිනිසුන් සිය අසල්වැසියන්ට සිදුවන්නට යන්නේ කුමක්දැයි බලා සිටිද්දී, තරුණයෝ ගොළුව බලා සිටින අසල් වැසියන් දෙස ආයාචනාත්මකව බැලුහ. නෙත්වලින් කී වචන තේරුම් ගත් ජනයා කඳුළු සැලුහ. උණුසුම් සුසුම් දහසක් එකවර නැගී නික්මුන ද සීතල උදෑසනට ඒ නොදැනුණු සේය.

ටයර් සහ පරාළ ඇණ

තත්පරයෙන් තත්පරය ගෙවී යද්දී සිදුවීම උච්චතම අවධීන්ට එළඹිණි. සෙබළු තරුණයන් සිව් දෙනා නැගිටුවාලුහ. දෙපා තුළ බිඳක් පමණක් ඉතිරිව තිබු ශක්තියට චිත්ත ධෛර්යද එක්වූ නිසාවෙන් උන් නොවැටී සිටියහ. සන්නද්ධ භටයෝ සිය රයිෆල් බඳවලින් තරුණන්ට පහරදීම ඇරඹුහ. භටයන්ට හතිවැටෙද්දී තරුණයෝ කපා හෙළු කෙසෙල් කඳන් සේ තාර පාරේ ඇද වැටුණාහ. ඔවුහු යළි නැගිටුවාලුහ. බිම පතිතවන්නට පෙරාතුව වූ තත්පර කීපයේදී ජීප් රියෙන් ඇද ගත් ටයර් හතරක් තරුණයන්ගේ බෙල්ලට දමන්නට සන්නද්ධ භටයෝ සමත් වුහ. ඉක්බිති පැට්‍රල් වලින් ටයර් පෙඟ වුහ.

ටයර් මත හැලූ පැට්‍රල්, ටයර් පොඟවා නිරුවත් තරුණ උඩුකය පසුකොට පොළව මත ගලා යමින් තැන් තැන්හි ගුලි ගැසී තිබු රතු ලේ කැටිති ඉව කරන්නට විය. යළි බිම හොවාලු තරුණයන්ගේ දෙපා සහ දෑත් යළිදු වරක් බැම්මකින් බැඳ එක පෙළකට රඳවන ලැබිණ.

හබුරුගල වැසියෝ හන්දියේ අහුමුළුවලට වී කඳුළු සැලුහ. වේදනා බර හඬ නිකුත් කරන්නට වෙර දැරූ මුව දෑතින් තදකර ගත්හ. දෑත් දෙපා බැඳ ටයරය බෙල්ලට දමා බිම පෙරලා දමා සිටි සිව්දෙනා අතර වූ උපුල් දෙස නෙත් යොමනු ඔව්හු බලා සිටියහ.

“බේරගන්න කවුරුත් නැද්ද?” සිය මුළු ශක්තියම වැය කොට උපුල් කෑ ගසා අසද්දී පිළිතුරු ලෙස ඉකිබිඳුම් හඬ මතුවිය.  උන්මත්තක සුනඛ රැලක් සේ සිය රාජකාරියේ නිරත වන භටයින් අතරින් එක් අයෙකු මිටියක් සහ පරාල ඈණ කිහිපයක් රැගෙන තරුණන්ට සමීප විය. මිනිසකු විසින් තවත් මිනිසෙකුට එවන් ගොරතර වධහිංසාවක් පමුණුවාලීම නොඅසාම පිළිකෙව් කළ යුත්තක් වුවද හබුරුගල හන්දියේ සිදුවූ මේ පුවතේ ඒ සිදුවීම මෙසේ සටහන් කරන්නට අපට අවසර දෙන්න.

දෑත් දෙපා දෙපසින් දෙදෙනෙකු අල්ලා ගනිද්දී ඒ මෘගයෝ යෞවනයන්ගේ කන් මත පරාල ඈණ ගැසුහ. තරුණයන්ගේ විලාප හඬ උන්ට මියුරු ගායනයක් වූවා සේය. අවටින් ඇසුණු ඉකිබිඳුම විලාප හඬක් වී නැගිණි. සිහිනයක් නොව, මේ දකින්නේ සැබෑවක් යැයි දැන කම්පිත වූ කාන්තාවෝ සිහි විසඥව වැටුනාහ. සිද්ධිය නොදකින්නට නෙත් වසා සිටියෝ යළි නෙත් හැර බලා උන් තැනම ඉඳ ගත්හ.

ගිනි පූජාව

වික්‍රමාන්විතව හාත්පස දෙසට රළු දෑස් එල්ල කළ භටයෝ ගෑස් ලයිටරයකින් තරුණන්ගේ ගෙල සිර කොට ලු ටයර් හතරට ගිණි දල්වුහ. ගිණිදැල් වහා අහසට නැගිණි.තුනී මිදුම් පටල පලවා හරිමින් කළු දුම් හාත්පස යට කරමින් ගැලීය. හබුරුගල වැසියෝ නොනවත්වා හඬා වැළපුනාහ.

රෝම කූපයෙන් ඇවිලී යොවුන් සිරුරේ මස්පිඩු ගිනි දැලින් කරවෙද්දී උපුල් සිය ගෙලෙහි ලූ ගිණිගෙන දැවෙන ටයරය හිසෙන් පන්නා දමා ගිණිදලු බුර බුරා නැගෙන උරහිස් ඇතිව උරගයකු සේ බඩගාමින් මහා අග්නිජාලාවෙන් මදකට මිදුණේ ජීවිතයේ ඉරණම තත්පර කීපයකට දිගු කරගනිමිනි. මුවඟ නැගී මද සිනා ඇතිව බලාසිටි සන්නද්ධ භටයෝ උපුල් ගේ දෙපයින් ඇද යළි ගිනිජාලාවටම හෙලුහ.

ඝාතකයෝ මෙන්ම හිත්පිත් නැති ගිණිදැලින්  රාජකාරිය අකුරටම ඉටුවද්දී දෙපසට කිහිපවරක් පැද්දෙමින් දඟලු තරුණයෝ යළිදු නොසැලෙන්නට නිහඬ වී ගිණිදැලින් සිරුර වසාගත්හ.  ඝාතකයෝ රියේ නැග නික්ම ගියහ. ගිණි ජාලාව ලේ -මස් -ඇට මිදුළු අඟුරු බවට පත්වෙද්දී හබුරුගල ගම්මානයේ පොළව මතුපිට උදා අරුණු රැස් පතිත වන්නට විය.☐

[මුල් ලිපියේ පසු සටහන: මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුවේ කවුරුන්දැයි හබුරුගල වැසියන් මෙන්ම ප්‍රදේශවාසී බොහෝ දෙනෙක් පසුව දැනගත්හ. අළුත්ගම කොස්වත්තගොඩ නම් ගම්මානයේ විශේෂ කාර්ය බලකා (STF) භටයන් කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් තෙබුවන ප්‍රදේශයේ එක්දරු පියකු වන සේන නැමැත්තාද, කෝම්මල දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙකුගේ පුතකු වන උපුල් බැද්දේවිතාන ද, අරච්චිමුල්ලේ සුනිල් වීරසිංහ හා අතුල නමැති  ඒ සිව්දෙනා එසේ හබුරුගල හන්දියේදී ටයර් මත සොහොන් වුවෝය.  උපුල් බැද්දේවිතාන බෙන්තොට බීච් සංචාරක හෝටලයේ ආහාර පාලකවරයෙකි. සුනිල් වීරසිංහගේ වියෝවෙන් අටමස් ගැබිනියක වූ ඔහුගේ බිරිඳ මෙන්ම සේන ගේ  වියෝවෙන් ඔහුගේ හය හැවිරිදි කුඩා පුතුද බිරිඳ ද අසරණව සිටිති.]

මෙම ලිපිය 1989 ජූලමස පළ වූ 'විනිවිද' සඟරාවේ මුල්වරට පළ වුවකි.

© JDS