JDS Sinhala

එදිරිවීර සරච්චන්ද්‍ර: අධිපති සාරධර්ම තුළ සිරගත පුරෝගාමී බුද්ධිමතෙක්

ඇතැම් විට, අසූව දශකයේ විකල්ප සංස්කෘතික මතවාදී සම්ප්‍රදායක් තහවුරු කිරීමෙහිලා පුරෝගාමී වැඩ කොටසක් ඉටු කරන ලද වැදගත්ම ප්‍රකාශනය 'මාවත' සඟරාව වී යැයි පැවසීම අභියෝගයකින් තොරවීමට ද ඉඩ තිබේ. අධිගෘහිත සම්ප්‍රදායයන්ට එරෙහිව, 1971 අප්‍රේල් නැඟිටීමෙන් මොළවාලන ලද විකල්ප සංස්කෘතික හා දේශපාලන උද්වේගයන්ට නිශ්චිත හැඩ රුවක් සම්පාදනය කිරීමෙහිලා 'මාවත' විසින් දක්වන ලද දායකත්වය පිටුපස පියල් සෝමරත්න වැදගත් වැඩ කොටසක් ඉටු කළේය. අප්‍රේල් නැඟිටීමට සම්බන්ධ වීම හේතුවෙන් සිරගතව සිට පෙරළා සමාජ ක්‍රියාකාරීත්වයන්ට එළඹි පියල්, එස් විජේසූරිය හා ආතර් පී. වීරසේන හා එක්ව ප්‍රකාශයට පත්කළ 'මාවත' සඟරාව වැදගත් මතවාදී ප්‍රකාශනයක් කිරීමෙහි ලා  මහාචාර්ය සේනක බණ්ඩාරනායක, සුසිල් සිරිවර්ධන, මහාචාර්ය කුමාරි ජයවර්ධන, චාල්ස් අබේසේකර, ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය ජයදේව උයන්ගොඩ, කුමුදු කුසුම් කුමාර ඇතුළු පිරිස් වෙසෙස් දායකත්වයක් දැක්වූහ. '90 දශකය මැද භාගය වන විට 'මාවත' සඟරාව ප්‍රකාශනය ඇන හිටියද, සංස්කෘතික හා සිනමා විචාරකයෙකු වශයෙන් සිය මැදිහත්වීම පියල් අඛණ්ඩව සිදු කළේය. පසුකාලීන පරම්පරාවන් සමඟ ද විවෘත ස‍හෝදරාත්මක මනසින් ගණුදෙනු කිරීමෙහි ලා නොපැකිලුණු පියල් 1999 අගෝස්තු 19 වැනිදා මිය යන තෙක්ම තමන් අනුදත් මූලධාර්මික ආස්ථානයන්හි පිහිටා ක්‍රියා කළේය.

එයින් තුන් වසරකට පෙර අගෝස්තු මාසයකදීම මිය ගිය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මරණය නිමිති කොටගෙන පියල් සෝමරත්න විසින් ලියන ලද මෙම ලිපිය මුල් වරට පළ වූයේ 1996 නොවැම්බර් මාසයේ 'හිරු' සඟරාවේ ය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ සේයාරුව ලබා දුන් ලාල් හෑගොඩයන්ට ස්තූතියි.


දිරිවීර සරච්චන්ද්‍රගේ අභාවයත් සමඟ එතෙක් ඔහු හා ඔහුගේ නිර්මාණ පිළිබඳව පළවෙමින් තිබූ ලිපි ලේඛණ ප්‍රමාණය බෙහෙවින් ඉහළ ගොස් ඇත. මේවායින් බොහෝමයක් කිසිම ප්‍රමිතියකට අනුගත නොවන මනෝමූල අනුභූතිකවාදී ඇගයීම් හෝ අවලාදයන් ය. හුදෙක් පුද්ගලමය අගතීන් හෝ පක්‍ෂපාතකම් ඔස්සේ කරන අධි තක්සේරු හෝ අවතක්සේරු ය. මෙරට අධිපති සංස්කෘතික කතිකාවෙහි ලා බොහෝ විට කෙරෙන්නේද එවැනි පුද්ගලමය ප්‍රශස්ති හෝ ‘දෙඤ්ඤං බැටේ’ විචාරයි. මේ පිළිබඳව නිදසුන් සුලභව ඇතත් ප්‍රශස්ති ගණයෙහි ලා මේ දිනවල පුවත්පත්වල පළවන ගුණ කථන සහ වීමංසා උපහාර අංකයේ පළ වී ඇති බොහෝ ලිපිත්, ‘දෙඤ්ඤං බැටේ’ විචාර වශයෙන් සුචරිත ගම්ලත්ගේ ‘සාහිත්‍ය විචාර සහ මාක්ස්වාදී විකට රූප’ කෘතියෙහි ඇතුළත් ‘සෞන්දර්ය විනිශ්චයට හේතු දැක්වීම: මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට පිළිතුරකි’ ලිපියත් දැක්වීම ප්‍රමාණවත් ය.* සරච්චන්ද්‍ර හා ඔහුගේ නිර්මාණ පිළිබඳව මැදහත් හා විෂය මූල ඇගයීම් පළ වී ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. මෙය සරච්චන්ද්‍රට පමණක් සුවිශේෂී අසාධාරණයක් ද නොවේ; මෙරට අධිපති කතිකාවෙහි ආවේණික පොදු ලක්‍ෂණයකි. කලාකරුවෙකු වශයෙන් සරච්චන්ද්‍ර හා ඔහුගේ නිර්මාණාත්මක භාවිතාව විධිමත් සන්දර්භයකට හා විෂය මූල ප්‍රමිතියකට සාපේක්‍ෂව ඇගයීමේ අවශ්‍යතාව මතුවන්නේ ඒ අනුව ය.

සරච්චන්ද්‍ර හෝ මෙම යුගයේ වෙනත් ඕනෑම කලාකරුවෙකු/බුද්ධිමතෙකු ඇගයීමේදී අපගේ පශ්චාත් - විජිත සන්දර්භය සැළකිල්ලට ගැනීම පූර්ව අවශ්‍යතාවයකි. කලාකරුවෙකුගේ/බුද්ධිමතෙකුගේ භාවිතාව නීර්ණය කෙරෙන හා මෙහෙයවන කේන්ද්‍රීය සාධකයක් වන්නේ පශ්චාත් - විජිත සමාජ යථාර්ථයන් හා අභියෝගයන් වන හෙයිනි. ආසියානු - අප්‍රිකානු හා ලතින් ඇමරිකානු කලාපයට පොදු එම පශ්චාත් - විජිත සමාජ සන්දර්භයන්ට ආවේණික මූලික පොදු ලක්‍ෂණ කිහිපයක් හඳුනාගත හැක: එක් අතකින් යටත් විජිත ආධිපත්‍යයේ විපාක වන අවවර්ධනය, පරාධීනත්වය හා දරිද්‍රතාව මෙම කලාපයේ ජනතාව - ෆ්‍රාන්ස් ෆැනෝන් දක්වන පරිදි ‘මිහිතලයේ අසරණයෝ’ - දැඩි පීඩනයකට හසුකොට ඇත. අනෙක් අතට, මෙම කලාපයේ දියත්ව පවතින විමුක්ති අරගලයන්හීත්, දේශප්‍රේමී ජනතාවගේත් පොදු ප්‍රයත්නය වී ඇත්තේ යටත් විජිතවාදීන් විසින් යටපත් කොට ඇති තම ජාතික ඉතිහාසයන් හා චිරන්තන මූලයන් පාදාගෙන ඒ අනුසාරයෙන් අවවර්ධනය, පරාධීනත්වය හා දරිද්‍රතාව ජයගැනීමට සමත් පිළිවෙත් හා උපාය මාර්ග සම්පාදනය කර ගැනීමයි. අහිමි වූ ජාතික අනන්‍යතාව හා අභිමානය යළි ගොඩ නඟා ගැනීමයි.

ෆැනෝන් හා කබ්රාල්

මෙවන් පශ්චාත් යටත් - විජිත අවවර්ධිත සමාජ සංන්දර්භයක් තුළ කලා භාවිතාවේ ගැටළු හා අභියෝග ද අනන්ත ය; සංකීර්ණය. ‘The wretched of the Earth’ (මිහිතලයේ අසරණයෝ) කෘතියෙහි ලා ෆැනොන් හා ‘Return to the Source’ කෘතියෙහි ලා අමිල්කා කබ්රාල් ද විමර්ශනය කිරීමට තැත් කර ඇත්තේ සුවිශේෂ වශයෙන් අප්‍රිකානු හා පොදුවේ පශ්චාත් - විජිත සමාජයන්හී එවන් සංස්කෘතික ගැටළු හා අභියෝගයන් ය. මාර්ටින් වික්‍රමසිංහගේ ‘සිංහල විචාර මඟ’, එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘සිංහල ගැමි නාටකය’, ගුණදාස අමරසේකරගේ ‘සිංහල කාව්‍ය සම්ප්‍රදාය’ වැනි පුරෝගාමී කෘතීන් තුළින් තැත් කර ඇත්තේ ද සාපේක්‍ෂ වශයෙන් එවැනිම ගවේෂණාත්මක කාර්යයකි.

‘The wretched of the Earth’ කෘතියෙහි ලා ෆ්‍රාන්ස් ෆැනෝන් දක්වන පරිදි තුන්වැනි ලෝකයේ සුවිශේෂී ඉතිහාස ගමන් මඟත්, විමුක්ති අරගලයේ හා අවවර්ධනයේ අප්‍රමාණ, සංකීර්ණ ගැටළු හා අභියෝගත් හේතුකොටගෙන පශ්චාත් - විජිත සමාජයන්හි කලාකරුවන්ට හා බුද්ධිමතුන්ට දළ වශයෙන් අවධි තුනක් පසුකිරීමට සිදු වේ. මුල් අධියරේදී දේශීය බුද්ධිමතුන් තම හාම්පුතුන්ගේ සංස්කෘතිය උකහා ගනිමින් එයට නතු වෙයි. එය අවිචාරයෙන් අනුකරණය කරයි. දෙවැනි අධියරේදී ඔවුන් තම අවවර්ධිත සමාජ යථාර්ථයන් ගැනත්, තම ජාතික අනන්‍යතාව ගැනත් විමසිලිමත් වෙයි; යටත් විජිතවාදීන් විසින් යටපත් කරනු ලැබූ තම ජාතික ඉතිහාසය සහ ජාතික උරුමයන් දෙසටත් සංස්කෘතික හා බුද්ධි සම්ප්‍රදායයන් වෙතටත් යොමු වෙයි. ඒ පිළිබඳව විමර්ශන හා පර්යේෂණ අරඹයි. ඒත් බොහෝවිට එම ගවේෂණයන් කෙරෙන්නේ බටහිර කේන්ද්‍රීය මතවාදයන් හා ප්‍රමිතීන් ගුරුකොටගෙන ය. අවසාන අධියර සැබෑ අරගල අවධියයි. මෙම අධියරට පිවිසීමට සමත් වන්නේ දේශීය කලාකරුවන් හා බුද්ධිමතුන් අතළොස්සක් වන මුත් ඔවුන් පරාධීනත්වය හා මානසික විලංගු ඉවත ලා තම ජනතාව හා විමුක්ති අරගල සමඟ බද්ධ වන අතර ජාතික උරුමයන් හා දේශීය මූලයන් ඇසුරෙන් නූතන අවශ්‍යතාවන්ට සරිලන ජාතික සංස්කෘතියක් පමණක් නොව, ඇතැම් විට විප්ලවීය ජීව ගුණයෙන් අනූන විකල්ප සංස්කෘතික හා බුද්ධිමය මාවත් පාදා ගැනීමට සමත් වෙයි.

පශ්චාත් - විජිත සමාජ භාවිතාව ඇසුරෙන් විකාශනය වී ඇති මෙම අසම්පූර්ණ ප්‍රවාදයට සාපේක්‍ෂව එදිරිවීර සරච්චන්ද්‍රගේ කලාත්මක හා බුද්ධිමය භාවිතාව කෙටියෙන් ඇගයීමයී, මෙම ලිපියේ අරමුණ. සරච්චන්ද්‍රගේ ප්‍රතිරූපය සරසවි ඇදුරෙකු, නවකතාකරුවෙකු, නාට්‍යකරුවෙකු, සාහිත්‍ය විචාරකයෙකු, පරිවර්ථකයෙකු, බුද්ධිමතෙකු වැනි නා නා විධ සංඝටකයන්ගෙන් සැදුම් ගත්තත්, මෙහිලා විමසිල්ලට හසු කෙරෙනුයේ ඔහුගේ නාට්‍ය විචාර හා බුද්ධිමය භාවිතාවන් පමණි.

මනමේ සිට ධර්මිෂ්ඨ සමාජය දක්වා

සරච්චන්ද්‍රගේ කලාත්මක භාවිතාව මෙරට පශ්චාත් - විජිත යුගයේ ආරම්භයේ සිට අඩ සිය වසරක් පුරා විහිදී ඇතත් ඇත්ත වශයෙන්ම ඔහුගේ සුවිශේෂත්වයත්, ජාතිකමය දායකත්වයත් ඇරඹෙන්නේ 1956 දී වේදිකාගත වූ ‘මනමේ’ නාටකයෙනි. එහෙත් ‘මනමේ’ නාටකයේ සම්භවය, නූතන ආකෘතියක් සොයා පනස් ගණන් මුල දී ඔහු විසින් ගැමි නාටකය පිළිබඳව කරන ලද පර්යේෂණ දක්වා විහිදෙයි. ඊටත් කලින් 1943 දී ‘Modern Sinhalese Fiction’ පුරෝගාමී කෘතියක් වුවත් එය ඉංග්‍රීසි බසින් ලියූවක් නිසාත්, එකල ඔහුගේ මතවාදයෙහි බටහිර කේන්ද්‍රීය ලක්‍ෂණ නිසාත් එයට මෙරට බුද්ධිමය ක්‍ෂේත්‍රය තුළ එතරම් ප්‍රතිචාරයක් ලැබුණු බවක් නොපෙනේ. අනෙක් අතට, ‘මනමේ’ තුළින් දියත් වූ නාට්‍ය ක්‍රියාදාමය ‘සිංහබාහු’ (1961) නාට්‍යයෙන් ඔබ්බටත්, 1958 දී පළ වූ ‘කල්පනා ලෝකය’ කෘතියෙන් ඔබ්බට සාහිත්‍ය විචාර භාවිතාවත් විකාශනය නොවූ බව ද සැළකිල්ලට ගත මනා ය. මෙයට අමතර වශයෙන්, නාට්‍ය පර්‌යේෂණ පිළිබඳව හරවත් අත්දැකීම් ඇතුළත් ‘සිංහල ගැමි නාටකය’ (1968) හා ඔහුගේ දේශපාලනමය හා සමාජමය සවිඥාණකත්වය ප්‍රකට කරන ‘ධර්මිෂ්ඨ සමාජය’ (1982) කෘතීන් වැදගත් වේ.

1956 ඇති වූ දේශපාලන විපර්යාසයන් මෙරට සංස්කෘතික ක්‍ෂේත්‍රය තුළ ද තීරණාත්මක හා ප්‍රබල කම්පනයන් ඉස්මතු කළ බව එම වසරේ නිර්මාණය වූ සරච්චන්ද්‍රගේ ‘මනමේ’, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’, මාර්ටින් වික්‍රමසිංහගේ ‘විරාගය’ වැනි පුරෝගාමී කෘතීන්ගෙන් සනාථ වේ. යටත් විජිතවාදී ආධිපත්‍යය නිසා යටපත්ව තිබූ ගැමි නාටකයේ මහිමයත්, පෙරදිගට ආවේණික නාට්‍ය සම්ප්‍රදායයන් පිළිබඳව පර්යේෂණයන්ගේ ඵලයක් වූ ‘මනමේ’ තුළින්, එතෙක් බටහිර නාට්‍ය අනුවර්ථන කෙරෙහි යොමුව සිටි සරච්චන්ද්‍ර, දේශීය මූලයන් කරා යාමක් පමණක් නොව, එම සාරධර්ම පශ්චාත් - විජිත සමාජ අවශ්‍යතා හා අභියෝගයන්ට සරිලන සේ නවීකරණය කිරීමත් දැකිය හැකි ය. එකල ජාතික සංස්කෘතික පුනර්ජීවන ප්‍රවාහය තුළින් බිහි වූ ‘මනමේ’ ක්‍රියාදාමය කූටප්‍රාප්තියට පත්වන්නේ ඔහුගේම ‘සිංහබාහු’ (1961) නාටකයෙනි.

සාහිත්‍ය විචාරකයෙකු වශයෙන් ඔහුගේ මෙහෙවර විදහා දක්වන කෘතීන් වශයෙන් ‘Modern Sinhalese Fiction’ (1943), ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරට’ (1951), ‘කල්පනා ලෝකය’ (1958) වැනි කෘතීන් වැදගත් වේ. නූතන සාහිත්‍ය විචාර මඟක් සම්පාදනය කිරීමේ ප්‍රයත්නයෙහි ලා ඔහු එක් අතකින් චිරන්තන දේශීය සම්ප්‍රදායයන් වෙතත්, අනෙක් අතට බටහිර නූතන විචාර සම්ප්‍රදායයන් වෙතත් යොමු වී ඇති බව පෙනේ. එකල ජාතික අවශ්‍යතාවන් වූ එවැනි විධිමත් විචර මඟක් ගොඩ නැඟීමේ ප්‍රයත්නය අතින් ඔහු හා සැසඳිය හැක්කේ මාර්ටින් වික්‍රමිසිංහ පමණි.

ලිබරල් බුද්ධිමය සම්ප්‍රදායේ සිරවීම

චින්තකයෙකු වශයෙන් ද ඔහු පශ්චාත් - විජිත සමාජයක බුද්ධිමතෙකු විසින් ගත යුතු නිවැරදි පිවිසුමට එළඹී බවට අපමණ සාක්‍ෂි ඇත. ඔහු මූලික උපාධිය සඳහා පාලි, සංස්කෘත, සිංහල වැනි පෙරදිග භාෂා හැදෑරූ අතර ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් භාරතීය දර්ශනය හදාරා, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් භාරතීය දර්ශනය සඳහා ශාස්ත්‍රපති උපාධිය දිනාගත්තේය. පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුල් වී බටහිර දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධියත් බෞද්ධ දර්ශනය පිළිබඳව ආචාර්ය උපාධියත් දිනා ගැනීමට සමත් විය. ඔහුගේ මුළුමහත් නිර්මාණ භාවිතාව - නාට්‍ය, නවකථා, විචාර - සිසාරා පැතිර පවතින්නේ එම දැනුම හා චින්තනයයි.

බුද්ධිමතෙකු හා කලාකරුවෙකු වශයෙන් ඔහුගේ මුළුමහත් නිර්මාණාත්මක හා බුද්ධිමය භාවිතාවේ සුවිශේෂත්වය හා අනන්‍යතාව මූලික සාරධර්ම කීපයක් මත රඳා පවතී; මානවවාදය, සෞන්දර්යවාදය හා ලිබරල්වාදයයි. ඔහුගේ නිර්මාණ ක්‍රියාවලියේ අගනාම ඵල වන ‘මනමේ’, ‘සිංහබාහු’, ‘මළ ගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’, ‘හෙට එච්චර කළුවර නෑ’ මෙන්ම ‘ධර්මිෂ්ඨ සමාජය’, ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ වැනි කෘතීන් ද සරච්චන්ද්‍රට ආවේණික එවන් සාරධර්ම මැනවින් පසක් කරලයි. වෙනත් විදිහකට කීවොත්, බුද්ධිමතෙකු හා කලාකරුවෙකු වශයෙන් සරච්චන්ද්‍රගේ විශිෂ්ඨත්වය මෙන්ම දුබලතා ද නිර්ණය කෙරෙන්නේ එම කේන්ද්‍රීය සාරධර්ම විසිනි. එක් අතකින් ඔහුගේ නිර්මාණාත්මක භාවිතාව සෞන්දර්යවාදයෙන් හා මානවවාදයෙන් ඔබ්බට විකාශනය නොවූයේත්, ඔහුගේ බුද්ධිමය භාවිතාව ලිබරල්වාදය අභිබවා යාමට අසමත් වූයේත්, ඔහු ගුරුකොටගත් එම සාරධර්ම අධිපති මතවාදය මතම පදනම් වීම නිසා ය. අනෙක් අතට, එම සාරධර්ම කෙරෙහි ඔහු තුළ වූ කැපවීම හා අව්‍යාජ බව නිසාම ‘මනමේ’ ‘සිංහබාහු’ වැනි යුග නිර්මාණාත්මක කෘතීන් බිහි කිරීමට සමත් වූ බවත්, ‘ධර්මිෂ්ඨ සමාජය’ වැනි කෘතින් ඔස්සේ ජනතා අරගලයට එළඹීමට සමත් වූ බවත් දැකීම අසීරු නොවේ. කෙසේ හෝ අපේ වැනි පශ්චාත් - විජිත සමාජ යථාර්ථයන් විසින් අපේක්‍ෂිත විකල්ප, විපර්යාසාත්මක භාවිතාවකට හා මඟකට එළඹීමෙන් ඔහු වළකා ඇත්තේ ද දිවි හිමියෙන් ගුරුකොට ගත් එම අධිපති සාරධර්ම විසිනි.

මෙම කෙටි විමසුම ඔස්සේ මෙරට කලාත්මක බුද්ධිමය භාවිතාව තුළ සරච්චන්ද්‍ර ස්ථානගත කිරීමේදී, ඔහු ද අධිපති ප්‍රවාහයට හා කතිකාවට අයත් බව ප්‍රකට ය. අධිපති මතවාදයේ ආධිපත්‍යයට නතු වූ ඔහු ෆැනෝන් දැක් වූ දෙවන අදියරට නිසැකවම පිවිසි බවත්, ‘මනමේ’, ‘සිංහබාහු’, ‘ධර්මිෂ්ඨ සමාජය’ වැනි කෘතීන් තුන්වැනි අධියරට පිවිසීමට දැරූ ප්‍රශස්ත ප්‍රයත්නයක් බවත් නිගමනය කිරීම යුක්ති සහගත ය. මේ අතින් ඔහු සාපේක්‍ෂ වශයෙන්, මාර්ටින් වික්‍රමසිංහ, ලෙස්ටර් ජේම්ස් පීරිස්, අමරදේව, චිත්‍රසේන වැනි කලාකරුවන් හා සමතැන් ගන්නා බවත්, පියදාස සිරිසෙන, සිරිසේන විමලවීර, සුනිල් ශාන්ත, මුනිදාස කුමාරතුංග වැන්නන් ඉක්ම වූ බවත් පැහැදිලි ය. ඒත් ඔහුගේ විකාශනය අඩපන කළ මතවාදී දුබලතාව හේතුකොටගෙන ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ඊවා රණවීර, සුගතපාල ද සිල්වා, ප්‍රේමසිරි ඛේමදාස වැනි විකල්ප කලාකරුවන්ට සමීපවීමට නොහැකි වූ බවත් පැහැදිලි ය.☐

* මහාචාර්ය සුචරිත ගම්ලත් පිළිබඳ පියල් සෝමරත්නගේ විවේචනාත්මක සඳහන් කිරීමට පිළිතුරක් මහාචාර්ය ගම්ලත් විසින් ලියන ලදුව 'පියල් සෝමරත්නය, දෙනු යෙහෙකිය පිළිතුරු' මැයෙන් 1997 ජනවාරි 'හිරු' කලාපයේ පළ විය.

පියල් සෝමරත්න


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.