'83 ජූලි: 'ඉක්බිති රාමනාදන්ගේ දියණිය ඇගේම නිවසට ගිනි තැබුවාය'

එක්දහස් නවසිය අසූ තුනේ කළු ජූලිය පිළිබඳ එවකට ප්‍රධාන ධාරාවේ සිංහල සහ ඉංග්‍රීසි ජනමාධ්‍ය වාර්තා දැන් පෙරළා බලන්නට සිත් ඇත්තෙකුට ඒත්තු ගැන්වෙන පළමු කරුණ නම් එය වනාහී මහත් කම්පාවකට තුඩු දෙන ව්‍යසනයක් සේ ගැණිය නොහැකි අවසනාවන්ත හුදකලා සිදුවීම් කිහිපයක් බව ය. මීට පටහැනි සත්‍යයන් චිත්‍රණය කිරීමට අවශ්‍ය නිර්භීතභාවයක් තිබුණේ වාමාංශික පුවත්පත් කිහිපයකට පමණි.

නමුත් කොළඹ සිට වාර්තා කළ ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරන ලද්දේ වෙනස් කතාවකි. එම වාර්තා සිංහලයන්ට විරුද්ධ කුමන්ත්‍රණ යැයි ද, තත්ත්වය විකෘති කොට ඉදිරිපත් කරන ලද ප්‍රබන්ධ යැයිද 'නිල ඉතිහාස කතාකරුවෝ' කියති. නිදසුනක් ලෙස ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේත්, ඊජිප්තුවේත්, ඉන්දුනීසියාවේත් රැකියා කළ ටීඩීඑස්ඒ දිසානායක, ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ සිය ප්‍රකට කෘති මාලාවේ තැනෙක මෙසේ ලියයි:

"වාර්ගික කැරළි පුපුරා ගිය සැණින් ජාත්‍යන්තර මාධ්‍ය බලඇණි හිටි අඩියේ කොළඹට පහත් වූහ.‍ ඒ වනාහී ආධුනිකයන්, මෝඩයන් සහ වෘත්තීය මාධ්‍යකරුවන්ගේ සැදුම්ලත් සමූහයකි.....වෘත්තීය ජනමාධ්‍යකරුවන්ට අර්බුදයේ උච්ඡාවස්ථාවේදීම ජනාධිපතිවරයා සමග සම්මුඛ සාකච්ඡා ලබා දුන් අතර, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ඔවුන් යාපනයට කැටුව යාම ද සිදු කෙරිණ......සෙස්සන් පිළිබඳ අඩුවෙන් කතා කිරීම වඩා හොඳ ය. ඔවුන් වඩා උනන්දුවක් දැක්වූයේ ශ්‍රී ලංකාවෙන් සපයාගන්නා 'සංත්‍රාසජනක කතාන්දර'වලින් සිය පුවත්පත් අලෙවිය වැඩි කරගැනීම ය." (War Or Peace in Sri Lanka - T.D.S.A. Dissanayaka / 85 පිටුව)

ඔහුගේ චෝදනාවන්ට පාත්‍ර එක් මාධ්‍යකරුවෙකු වූයේ එංගලන්තයේ 'ගාඩියන්' පුවත්පතේ ඩේවිඩ් බෙරෙස්ෆෝඩ් ය. දිසානායකගේ වර්ගීකරණයට අනුව 'ආධුනිකයන් හෝ මෝඩයන්ගේ' ගණයට අයත් විය යුතු බෙරෙස්ෆෝඩ්, අර්බුද වකාවනුවක 'ගාඩියන් පුවත්පතේ උතුරු අයර්ලන්ත වාර්තාකරුවා වශයෙන් ක්‍රියාකළ කීර්තිමත් මාධ්‍යකරුවෙකි. තැචර්ගේ ආණ්ඩුව සොළවා ලූ 1981 බොබී සෑන්ඩ්ස් ඇතුළු අයිරිෂ් දේශපාලන සිරකරුවන්ගේ මාරාන්තික උපවාසය පිළිබඳ ආන්දෝලානත්මක වාර්තා සහ කෘති සම්පාදනය කළ බෙරෙස්ෆෝඩ්, පසුකාලීනව 'ගාඩියන්' පත්‍රයේ ජොහැන්නස්බර්ග් වාර්තාකරුවා ලෙස දකුණු අප්‍රිකානු වර්ණභේදවාදී පාලනය පිළිබඳව ද, මැද පෙරදිග වාර්තාකරු වශයෙන් පළමු ගල්ෆ් යුද්ධය පිළිබඳව ද දීප්තිමත් ප්‍රවෘත්තිමය විශ්ලේෂණ සැපයීමෙන් බ්‍රිතාන්‍යයේ විශිෂ්ඨතම විදේශ වාර්තාකරුවා ලෙස දෙවරක් සම්මානයට පාත්‍ර වූවෙකි.

ටීඩීඑස්ඒ දිසානායක විසින්ම උපුටා දක්වන මූලාශ්‍රයන්ට අනුව සළකතොත්, ආණ්ඩුවේම 1981 ජන සංගණන ලේඛණයන්ට අනුව 165,952ක් වූ කොළඹ දෙමළ ජනගහණයයෙන් 64,000ක් ජූලි මාසය අවසාන විට අනාථයන් බවට පත්ව තිබුණි. ඒ අනුව සතියක් ඇතුළත, කොළඹ දෙමළ ජනයාගෙන් සෑම තුන් දෙනෙකුටම එක් අයෙක් උන්හිටි තැන් අහිමිව සිටි අතර, මළවුන් අයත් වූයේ සෙස්සන් අතරට ය. 'ගාඩියන් පුවත්පත් වෙනුවෙන් කොළඹ සිට වාර්තා කළ ඩේවිඩ් බෙරෙස්ෆෝඩ්ගේ සංක්‍ෂිප්ත වාර්තා මගින් අනාවරණය කරන ලද්දේ, ඒ සා බිහිසුණු සංහාරයකින් අංශු මාත්‍රයකි. සිංහල බසට නගා මෙහි පළ කෙරෙන බෙරෙස්‍ෆෝඩ්ගේ මෙම වාර්තා ද්වය, අගෝස්තු 05 වැනිදා සහ 10 වැනිදා මුල් වරට 'ගාඩියන්' පුවත්පතේ පළ විය.

පරිවර්තනය: සනත් බාලසූරිය   |   සෙසු ලිපි: අවිචාර සමයක් පිළිබඳ සිද්ධිමය සහ දේශපාලනික පුනරාවලෝකනයක්


 

The Guardian: ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක දී දෑස් 'උගුළුවා දමයි'

ඩේවිඩ් බෙරෙස්ෆෝර්ඩ් කොළඹ සිට

යාපනය සිදුවීම හැරුණුකොට 'ගාඩියන්' සතුව ඇසින් දුටු සාක්කිකරුවකුගේ විස්තර වාර්තාවක් ඇත්තේ බදුල්ලේ සිවිල් ජන සංහාරය සම්බන්ධයෙන් පමණි. එහෙත් බදුල්ලට නුදුරු නුවරඑළියේ මීට සමාන ජන සංහාරයක් සිදු වූ බවත්, පුද්ගලයන් 13 දෙනකු මරා දමන ලද බව කියැවෙන එක් සිදුවීමක් පිළිබවඳවවත් අවම වශයෙන් වාර්තා තිබේ. සන්නද්ධ භටයෝ ඊට ද සම්බන්ධ වූ බවට නැවතත් චෝදනා එල්ලවී ඇත.

මේ ජන සංහාරයන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා අතර පුළුල් ව පැතිරී යන අතර, වඩාත් ම අවධානය ඇදගන්නට සමත් වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ සංහාරය යි. ගරිල්ලා නායකයන් ලෙස හැඳින්වෙන දෙ දෙනකු  ද එහි දී   ඝාතනය කිරීම, එම සිද්ධියට විශේෂයෙන් අවධානයක් ලැබීමට හේතු වී තිබේ.

කුට්ටිමනී සහ ජෙගන්

එම දෙදෙනා වන්නේ පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමේ චෝදනාවකට පසුගිය වසරේ මරණ දණ්ඩනයට යටත් කරන ලද දෙමළ ඊලාම් විමුක්ති සංවිධානයේ නායක සෙල්ලරාසා 'කුට්ටිමනි' යෝගචන්ද්‍රන් සහ  දේශපාලන ලේඛක ගනේෂනාදන් ජෙගනාදන් ය.

නඩු තීන්දුව අවස්ථාවේ දී විත්තිකූඩුවේ සිට කළ ප්‍රකාශයන්ගෙන් මේ දෙ දෙනා කියා සිටියේ, තමන් සටන් කරමින් සිටි නිදහස් රාජ්‍යය වන ඊළමේ උපත දැක බලාගැනීමේ අවස්ථාව ලැබෙනු වස් දෙමළ ජාතිකයන්ට බද්ධ කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් සිය දෑස් දන්දෙන බව ය.

වැලිකඩ සංහාරයෙන් දිවි බේරාගත්තවුන් දැනට රඳවා සිටින මඩකලපුව බන්ධනාගාරයෙන් ලැබෙන ද්විතීයික මූලාශ්‍රිත වාර්තාවලට අනුව මේ පුද්ගලයන් දෙදෙනා මරාදැමීමට පෙර ඔවුන් බලහත්කාරයෙන් දණගස්වා යකඩ උල්වලින් ඇන ඔවුන් ගේ දෑස් උගුල්ලා දැමූ බව කියැ වේ.


කුට්ටිමනිගේ දිව ප්‍රහාරකයන් විසින් කපා දැමූ බවත්, එම ම්ලේච්ඡ ක්‍රියාව සිදුකළ පුද්ගලයා ඉන් වැගිරුණු ලේ පානය කොට ''මම කොටියෙකුගේ ලේ බිව්වා'' යි කෑගැසූ බවත් එක් විස්තරයක කියැවෙයි.

දොස්තර රාජසුන්දරම්

ජූලි 25 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ දී මරාදැමුණු 35 දෙනා අතර මේ දෙ දෙනා ද වෙති. තවත් 17 දෙනකු එම බන්ධනාගාරයේදී ම ඊට දින දෙකකට පසු ඝාතනය කැරුණු අතර ශ්‍රී ලංකාවේ ගාන්ධියම් ව්‍යාපාරයේ නායක වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම් මරාදැමීමේ සිද්ධිය ඇතුළු මෙම ගැටුමේ කොටසක් පිළිබඳ ඇසින් දුටු තොරතුරු 'ගාඩියන්' වෙත ලැබී තිබේ.

ජනවාරි 25 වැනි දා ඝාතනයන් සිදු වූ වහාම සිය සිරකුටිවලින් එළියට පැමිණ එම ගොඩනැගිල්ලේම ඉහළ මාලයේ ඉබි යතුරු දමන ලද ශාලාවට ගිය කතෝලික පූජකවරුන් දෙදෙනකු හා මෙතෝදිස්ත දේවගැතිවරයකු ඇතුළු නවදෙනාගෙන් එක් අයෙක් වන්නේ වෛද්‍ය  රාජසුන්දරම් ය. ඔවුන් මෙසේ එළියට පැමිණියේ ඔවුන් ගේ සිරකුටි වෙතට පැමිණි ප්‍රහාරයෙන් බේරීගත්තවුන්ට ආරක්‍ෂා වීමට ඉඩලබාදීමට ය.

තවත් ප්‍රහාර දියත්වීමට යන බව අවබෝධ කරගත් මේ නවදෙනා, ආරක්‍ෂක විධි විධාන තරකරන මෙන් ජූලි 26 වැනිදා නැවත නැවතත් බන්ධනාගාර බලධාරීන්ට කරුණු කියා සිටියහ. ඔවුන්ට ආරක්‍ෂාව සලසන බවට සහතික ලබාදුන් නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගැනිණි.

'ඇයි අපිව මරන්න හදන්නේ?'

ජූලි 27 වැනිදා සවස 2.30ට  පිටත කෑගැසීම් හා විසිල් ශබ්ද ඇසීමෙන් එක් පූජකවරයෙක් උස් කවුළුවකින් පිටත බැලූ අතර, පොරෝ, යකඩ පොලු, දර පොලු හා මුගුරු රැගෙන යාබද අංගනයකින් කඩාවදින සිරකරුවන් ඔහු විසින් දැක තිබේ. බන්ධනාගාර ආරක්‍ෂකයන් පිළිබඳ හෝඩුවාවක් හෝ නොවී ය. ප්‍රචණ්ඩකාරීහු ඉහළ මාලයේ ශාලාව වෙත පැමිණ ඉබි යතුරු කැඩීමට පටන්ගත්හ. පසුව සොයාගත් පරිදි ඒ වනවිටත් ඔවුහු පහත මාලයේ දී සිරකරුවන් 16 දෙනකු ඝාතනය කර තිබුණාහ.

එවිට වෛද්‍ය  රාජසුන්දරම් දොර වෙත ගොස් කෑ ගැසී ය: 'ඇයි අපිව මරන්න හදන්නෙ? අපි මොනව කළාටද?''

ඒ මොහොතේ ම දොර කැඩී විවර වූ අතර, දිගු යකඩ මුගුරකින් වෛද්‍ය සෝමසුන්දරම්ගේ බෙල්ලේ පසෙකට ප්‍රහාරයක් එල්ල විණි. අඩි කිහිපයක් දුරට ලේ විදිනු දක්නා ලදී.

''ඒ වෙලාවෙ අපි අපේ ආත්ම ආරක්‍ෂාව බලාගන්න ඕනැ කියලා අපි හිතුවා," එක් සිරකරුවෙක් පැවසී ය. "අපි ශාලාවෙ තිබුණු මේස දෙක කඩල ආත්මාරක්‍ෂාවට මේස කකුල් අතට ගත්තා."


"අපි ඔවුන්ට ළං වෙන්න ඉඩදුන්නේ නෑ. ඔවුන් අප වෙතට ගඩොල්වලින් දමා ගැසුවා. අපි ඒවා ඔවුන් වෙතට පෙරළා දමා ගැසුවා. දර පොලු සහ යකඩ පොල්ලක් ද අප වෙතට දමා ගසනු ලැබුවා. අපි ඒවා අපේ ආරක්‍ෂාවට පාවිච්චි කළා. තත්ත්වය පැය භාගයක් පමණ පැවතුණා. 'උඹල පූජකයෝ, උඹලව මරන්න ඕනෑ.' යි ඔවුන් කෑගැසුවා."

ඝාතන පිළිබඳ විභාගයක්

කඳුළු ගෑස් ගසමින් බන්ධනාගාරයට ඇතුළු වූ හමුදාව නිසා අවසානයේ දී ඝාතන නතර විය.

වැලිකඩ සංහාරය සම්බන්ධයෙන් විභාගයක් ඇරැඹී ඇතත්, එහි දී ඉහත තොරතුරු අනාවරණය වී නැත. සිරකරුවන් භාරව සිටින නිලධාරීන් කියාසිටින්නේ සිර කුටිවල යතුරු ඔවුන්ගෙන් සොරකම් කරගන්නා ලද බව යි.

බන්ධනාගාර නිලධාරීන් ද මීට සහභාගී වූ බවට චෝදනා කරන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් කියා සිටින්නේ, ආණ්ඩුවේ නියෝජනයක් හැර සාක්කි ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බව ය.☐

 


 

The Guardian: දිවි ගලවාගත්තකු ශ්‍රී ලංකාවේ සංහාරය විස්තර කරයි

 ඩේවිඩ් බෙරෙස්ෆෝර්ඩ් කොළඹ සිට


ශ්‍රී ලංකාවේ සිවිල් ජන සංහාරයට සන්නද්ධ හමුදා සම්බන්ධ බවට නව සාක්‍ෂි හෙළිදරව් වීමට පටන්ගෙන තිබේ.

දකුණු දිග ලංකාවේ නගරයක් වූ බදුල්ලේ සිදු වූ සංහාරයේ දී පුද්ගලයන් 14 දෙනකුගේ ඝාතනවලට හමුදාව හා පොලීසිය සම්බන්ධ බවට ඍජු තොරතුරු සිද්ධියෙන් දිවි ගලවාගත්තකුගෙන් 'ගාඩියන්' වෙත ලැබී තිබේ.

සිරකරුවන් 52 දෙනකු ඝාතනයට ලක් වූ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතී. බන්ධනාගාර නිලධාරීන් මෙම ඝාතන සිදුවෙන්නට ඉඩහැර බලාසිටි බවට චෝදනා එල්ල වේ.

පූජකයන් තිදෙනෙක් ඇතුළු සිරකරුවන් පිරිසක් සිය ජීවිත සඳහා දරුණු සටනක් කළ අන්දම ද දිවි බේරාගත්තවුන් විසින් විස්තර කරන ලදී.


යාපනයේ ඝාතන

මේ තොරතුරු වාර්තා වන්නේ 'ගාඩියන්' පුවත්පත විසින් පසුගිය සඳුදා වාර්තා කළ අන්දමට බස් නැවතුමක දී පාසල් සිසුන් හය දෙනකු ඝාතනය කිරීමත් ඇතුළු යාපනය අර්ධද්වීපයේ යුද හමුදා සිදුකළ බවට චෝදනා එල්ල වන සංහාරයන්ගෙන් අනතුරුව ය. මෙම සිදුවීම් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන්ගේ හා ආණ්ඩුවේ නියෝජිතයන්ගේ වගකීම පිළිබඳ ගැටලු මතුකරයි.

යාපනයේ දී එක්රැස් කරගන්නා ලද සාක්ෂ්‍ය මත පදනම් ව, පසුගිය සති අන්තයේ දී පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී  'ගාඩියන්' විසින් ජනාධිපති ජයවර්ධන ප්‍රශ්න කරන ලදී. සංහාරය පිළිබඳ තොරතුරු යුද හමුදාව විසින් තමන්ගෙන් දෙ සතියකට ආසන්න කාලයක් වසංකරගෙන සිටින බව ඔහු කියා සිටියේ ය.

එහෙත් යාපනයෙන් පිටත වෙසෙන විපක්ෂ නායක ඒ අමිර්තලිංගම් මහතා කියා සිටින්නේ සංහාරය පිළිබඳ දැනුම් දීමට එය සිදු වූ දිනට පසුදින, එනම් ජූලි 25 වැනිදා තමන් ජනාධිපතිවරයාට දුර කථනයෙන් කතා කළ බව ය. ''තමන් ඒ පිළිබඳ සොයාබලන බවත්, එය නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු කියා සිටියා," අමිර්තලිංගම් මහතා පැවසී ය.

අවම වශයෙන් යාපනයේ වෙසෙන තවත් ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් දෙ දෙනකුවත් එදිනම එම සංහාරය පිළිබඳ ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇති බව විශ්වාස කැරේ. එහෙත් තමන්ට තොරතුරු වාර්තා වූයේ බෙහෙවින් ප්‍රමාද ව බැවින් යාපනයේ ඝාතන සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු නොකැරුණු බව  ජනාධිපතිවරයා කියයි.


සිල්වමනී ගනේසන්ගේ කතාව

පෙර දා රාත්‍රියේ දී දෙමළ ත්‍රස්තවාදීන් විසින් සිය සගයන් 13 දෙනකු ප්‍රදේශයේ දී ඝාතනය කිරීමෙන් වියරු වැටුණු හමුදා විසින් යාපනය සංහාරය සිදුකළ බවට චෝදනා නැඟිණි. එහෙත් අලුතින් ම වාර්තා වන සිද්ධිය සිදුව ඇත්තේ ඉන් සැතපුම් 200ක් දකුණෙනි.

ප්‍රහාරයට ලක් වූ පවුල් දෙකෙන් එකක සාමාජිකාවක වූ, සිද්ධියෙන් දිවි ගලවා ගත් 36 හැවිරිදි දෙදරු මවක් වන සිල්වමනී ගනේසන් මහත්මිය සිද්ධිය පිළිබඳ තොරතුරු ලබාදී තිබේ. භාෂා පරිවර්තකයකුගේ මාර්ගයෙන් ලබාදුන් අගේ කතාව අතර මැද දී ඇය හඩාවැටුණා ය.

තමන් මැහුම් ගුරුවරියක බවත්, පාවිච්චි කළ වාහන අලෙවි කරන ව්‍යාපාරිකයෙකු හා විවාහ වී සිය පවුලත් සමග බදුල්ලේ දෙමළ නිවෙස් තුනක් ද පිහිටි සමෘද්ධිමත් මාර්ගයක් වන මුතියන්ගන පාරේ ජීවත් වූ බවත් ගනේසන් මහත්මිය පවසයි.

ජූලි 27 වැනිදා, බදාදා උදෑසන 10ට පමණ, පාරේ යන එන වාහනවලට පහර දෙමින් යාර 100ක් තරම් දුරින් බස් ඩිපෝවක් අසළ පිරිසක් රැස්ව සිටියහ. ඔවුන් එතැනින් ඉවත් කරන්නැයි ඉල්ලීමට සිය පවුලේ උදවිය පොලීසියට දුරකථනයෙන් කතාකළ නමුත් පොලීසිය එහි නො ආ බව ඇය කියයි.


රාමනාදන් පවුලේ ඉරණම

අනතුරුව රැස්ව සිටි පිරිස, ප්‍රදේශවාසීන් කවුරුත් හොඳින් දන්නා හඳුනන කපුරු වෙළෙන්දකු වූ අසල්වැසි රාමනාදන් නැමැත්තාගේ නිවෙසට පහර දෙමින් එහි ගේට්ටුව කඩාදැමීමට පටන්ගත්හ. පතරොම් තුවක්කුවක හිමිකරුවකු වූ රාමනාදන් මහතා ඔවුන් බියගන්වා පලවාහැරීම සඳහා එක් වරක් ජනේලයකින් අහසට වෙඩි තැබී ය.

ගනේසන් මහත්මිය කියන අන්දමට මේ අවස්ථාවේ දී හමුදාව එහි පැමිණ ඇති අතර, නැවතත් ගේට්ටුවට පරහදීමට පටන්ගත් පිරිස පසුපසින් ඔවුහු රැකවල් ලෑහ. රාමනාදන් මහතා කිසිවකුටත් වෙඩි නොවදින සේ ඔවුන් වෙතට වෙඩි තැබීය.

ඒ අවස්ථාවේ වර්ෂාව පැවැතිණි. රාමනාදන් මහතාගේ පහළොස් වියැති පුත්‍රයෙක් කුඩයක් ද ගෙන වහලයට නැගුණු අතර, පාරේ සිටි සොල්දාදුවෙක් ඔහුට වෙඩි තබා බිම දැමූ බව ගනේසන් මහත්මිය කීවා ය.

ඇය සිය දරුවන් ද රැගෙන අසළ නැන්දනියකගේ නිවෙසකට පලාගොස් එහි නානකාමරයේ සැඟවුණා ය. එළියේ වෙඩිතැබීම් ඇයට ඇසුණු අතර, අනතුරුව පිපිරුම් ශබ්දයක් ඇසිණි. නානකාමරයෙන් පිටතට දිව ආ ඔවුහු, නිවෙස ගිනි ගන්නා බව දුටහ. අතර මගදී දෙමළ සොල්දාදුවෙක් ඔවුන් නවතන විට ඔවුහු ඔවුහු එතැනින් පලායමින් සිටියහ.


ලෙයින් නැහැවුණු පටුමඟ

ඇය සිය දරුවන් ද සමඟ එම නිවස පසුපස පටු පාරක් දිගේ ප්‍රධාන පාරට ඇරලවනු ලැබුවා ය. පටු මඟ රුධිරයෙන් නැහැවී තිබූ බව ඇය කීවා ය.

ප්‍රධාන පාරේ රාමනාදන් මහතා ගේ නිවෙස ඉදිරිපිට ගනේසන් මහත්මියගේ සැමියාගේ ද, මස්සිනාගේ, මාමණ්ඩියගේ හා ඇගේ නෑනණ්ඩියගේ සැමියාගේ සිරුරු ද ඇතුළුව මළ සිරුරු රැසක් ගොඩගසා තිබිණි. සියලු සිරුරුවල වෙඩිවැදුණු තුවාල ඇති බව පෙනෙන්නට තිබුණු අතර, ඇයටත් ඇගේ නව හැවිරිදි හා සත් හැවිරිදි දියණියන් දෙ දෙනාටත්, පස් හැවිරිදි පුත්‍රයාටත් ඇගේ සැමියා ගේ අතුණුබහන් එළියට පැමිණ ඇති අයුරුත්, හිස පුපුරා ඇති බවත් දැකගන්නට ලැබී ඇත.

මළසිරුරු අතර ඇගේ නැන්දණියගේ නිවසේ කුලී නිවැසියෙක් සහ ඔහුගේ තෙ හැවිරිදි දියණිය ද, කුලී නිවැසියාගේ මස්සිනා හා නැන්දණියගේ නිවසට පැමිණි අමුත්තෙක් ද, රාමනාදන් මහතා සහ වයස 15ත් 22 ත් අතර සිටි ඔහු ගේ පුතුන් සිව් දෙනා ද වූහ.

සිය ආබාධිත හා ඔත්පල මාමණ්ඩියට, ප්‍රහාරය ඇරැඹෙන්නට පෙර ඔහු රැගෙන ගොස් තිබූ සිංහල නිවෙසක ඇඳ මත දී වෙඩි තබා තිබුණු බව තමන්ට දැනගන්නට ලැබිණැයි ගනේසන් මහත්මිය කීවා ය. නිවැසියෝ ඔහු මෙහෙකරුවකු බව කියන්නට උත්සාහ ගෙන තිබිණි. සිය අනෙකුත් ඥාතීන්, පටුමගේ දී හමුදා සෙබලුන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබූ බව ඇය කියයි. රාමනාදන් පවුලේ අය මැරයන් විසින් කපා කොටා පහර දී මරා දමා තිබූ බව ද ඇය පවසන්නී ය.

'ඉතිරිව සිටින කොටි'

ඔවුන් මළ සිරුරු අසළ සිටින විට රාමනාදන් මහත්මියට හමුදා සෙබලුන් අණකර ඇත්තේ නිවස තුළට ගොස් 'ඉතිරි කොටි හා තුවක්කු' රැගෙන එන ලෙස ය. නිවෙස තුළ සිටි සියලු පිරිමින් මරාදමා ඇති බව ඇය කී පසුව ඇගේ 16 හැවිරිදි දියණිය නිවෙස තුළට යවන ලද අතර, නිවසේ කිසිවකුත් නොමැති බව ඇය පිටතට පැමිණ කියා සිටියා ය.

අනතුරුව නිවෙස අසළ ගාල්කර තිබූ ලොරි තුන, වෑන් රථය හා යතුරු පැදිය මතට ඩීසල් ඉසින ලදී. ගිනි හුලක් දල්වා රාමනාදන් මහත්මිය ගේ දියණියට දෙන ලද අතර, ඇය ලවා ඇගේ නිවෙසට හා වාහනවලට ගිනි තබවන ලදී. අනතුරුව මළ සිරුරු ද ගින්නට දැමිණි.

කාන්තාවන් සහ ළමයින් ද ගින්නට තල්ලු කිරීමට හමුදා සෙබලුන් උත්සාහ ගත් නමුත්, පිරිස අතර සිටි පොලිස් භටයෙක් ඔවුන් වැළැක්වූ බව ගනේසන් මහත්මිය කීවා ය. කාන්තාවන් හා ළමයින් පොලිස් ස්ථානයකට රැගෙන යන ලද අතර, එහි දී ඔවුන්ගේ නම් සටහන් කරගෙන මුදාහැර තිබේ.☐

© JDS