'83 ජූලි: 'සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට වේදිකා සහ ආලෝක දහරා ඇවැසි නොවේ'

1981 මාර්තු 25 වැනිදා වඩමරාච්චියේ සිට යාපනයට ආපසු එමින් සිටි මහජන බැංකුවට අයත් වෑන් රථයක් යාපනය - පේදුරුතුඩුව මාර්ගයේ නීර්වේලිහිදී මංකොල්ල කෑමට කුමන්ත්‍රණ කිරීම සහ මංකොල්ලය සිදු කිරීම යන චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන ලද දෙමළ සටන්කරුවන්ගෙන් පළමුවැනි විත්තිකරුවා වූයේ නඩරාජා තං‍ගවේලු හෙවත් තංගදුරෙයි ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලංකා ඉතිහාසයේ පවරන ලද දෙවන නඩුව සේ සැළකෙන එහි අවශේෂ විත්තිකරුවන් අතරට සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී මෙන්ම, ගනේෂනාදන් ජෙගනාදන් හෙවත් ජෙගන්, සුබ්‍රමනියම් දේවන්, නඩරාජා සිවපතම් හෙවත් සිවපාලන් මාස්ටර් හා නඩේසුදාසන් යන දෙමළ සටන්කාමීහු අයත් වූහ. පසුකාලීනව දෙමළ ඊළම් විමුක්ති සංවිධානයේ (TELO) නායකත්වයට පත් ශ්‍රී සභාරත්නම් ද චූදිතයන් අතර වූ නමුත්, ඔහු ඉන්දියාවට පලායාම හේතුවෙන් නඩු විභාගයට පෙනී නොසිටියේය. 1982 නොවැම්බර් 02 වැනිදා ආරම්භ වූ නඩු විභාගය නිමාවට පත්කරමින් 1983 පෙබරවාරි 24 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත්කළ අධිකරණය, චූදිත සය දෙනාම වැරදිකරුවන් බවට පත්කරමින් ඔවුන් සියල්ලන්ට බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවේය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි කීර්තිමත් නීතිවේදියෙකු වූ නඩේසන් සත්‍යේන්ද්‍රා, තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට සතියකට පෙර විත්තියේ දේශනය නිමාකරමින් මෙසේ කීවේය:

"මගේ සේවාදායකයන් සම්බන්ධයෙන් මේ කරුණ මා ප්‍රසිද්ධියේ කිව යුතුව තිබේ. ස්වකීය ජනයාගේ විමුක්තිය වෙනුවෙන් යමෙකුට දිය හැකි වටිනාම දෙය වන 'ජීවිතය' පරිත්‍යාග කිරීමට වුව සූදානම් මගේම ප්‍රජාවට අයත් මේ තරුණයන් හමුවේ මගේ කුදු බව මම පසක් කොට ගතිමි."

තීන්දුවට ප්‍රතිචාර දක්වමින් පළමුවැනි විත්තිකරු තංගදුරෙයි විත්ති කූඩුවේ සිට අධිකරණය අමතා කරන ලද ඓතිහාසික ප්‍රකාශය දකුණේ වත්මන් පරම්පරාවන් ඇතැම්විට කිසි කලක කියවා නැතුවාට සැක නැත. ස්වකීය ජනයාගේ නිදහස කෙරෙහි  වන අනුරාගී බන්ධනයත්, පීඩිත සිංහල ජනයා කෙරෙහි වන මූලධාර්මික සහෝදරත්වයත් ගැඹුරින් විශද කළ තංගදුරෙයිගේ ප්‍රකාශය මේ ජූලි මාසයේ  නැවත කියවා බැලීම වැදගත් වන්නේ ඇයි?

මේ ප්‍රකාශය සිදු කර පස් මසක් ඇතුළත පුපුරා ගිය කළු ජූලියේදී වැලිකඩ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි තංගදුරෙයි සහ කුටිට්මනී ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් පනස් හතර දෙනෙක් දකුණේ පීඩිත සමාජ පංතීන්ටම අයත්, සිංහල සිරකරුවන් විසින් සිර මැදිරි තුළදීම කපා කොටා මරා දමන ලදී. රැකවලට කැඳවා සිටි ආරක්‍ෂක හමුදාවන්ගේ සහ බන්ධනාගාර අධිකාරීන්ගේ පූර්ණ අනුබලය සහ අනුග්‍රහය යටතේ තංගදුරෙයි ඇතුළු 35 දෙනෙක් ජූලි 25 වැනිදා ඝාතනය කළ වර්ගවාදීහු, බන්ධනාගාර අංගනයේ පිහිටුවා ඇති බුද්ධ ප්‍රතිමාව අභියස ගොඩගසන ලද සිරුරු අතර පණ ඇතිවුන් සොයා මියයන තුරු පහර දුන්හ. අනතුරුව 27 වැනිදා යළිත් දෙමළ සිරකරුවන් රඳවා සිටි පළමු මහලේ තරුණ වාට්ටුවට කඩා වැදුණු මැරයන් විසින් තවත් 19 දෙනෙකු මරා දමන ලදී.

වැලිකඩ සංහාරයෙන් දිවි ගළවාගත් ප්‍රකට දෙමළ ක්‍රියාධරයෙකු වූ අරුලානන්දම් ඩේවිඩ් හෙවත් එස්.ඒ.ඩේවිඩ්, පසු කලෙක සිය මතක සටහන් අතර මෙසේ ලියා තැබීය: "දෙමළ ජනයාගේ අනගත පරම්පරාවට දැන ගැනීම පිණිස සිදු වූ දෑ සවිස්තාරත්මකව මා ලියා තබන්නේ, ඒ බියකරු අන්තිම පැයේදී පවා ඒ දමිලයන් අතර වීරත්වය හා ධෛර්යය ඉතිරිව පැවති බව කියා සිටිනු පිණිස ය."

1983 මාර්තු 13 වැනිදා 'සුදන්දිරම්' පුවත්පතේ දෙමළ බසින් මුල්වරට පළ කරන ලද තංගදුරෙයිගේ ප්‍රකාශය එම වසරේදීම ඉංග්‍රීසි බසට පෙරළා ලන්ඩනයේ පළ කෙරුණු 'ටැමිල් ටෛම්ස්' සඟරාවේද, පසු කලෙක 'ටැමිල් නේෂන්' වෙබ් අඩවියේ ද පළ කරන ලදී. 1983 කළු ජූලියට තිස් දෙවසරක් පිරෙන මොහොතක, මේ ප්‍රකාශය දකුණේ සිංහලයන් වන අප නැවත කියවා බැලිය යුත්තේ, හුදෙක් දෙමළ බස කතාකරන ජනයා පාගා මැඩලීමේ අධිපතිවාදී අභිලාෂයන් සිංහලයන්ගේ දෛනික දේශපාලනය අදටත් හසුරුවන නිසාම නොවේ.

ලේ වැකි මාගලක් බඳු දෙදහස් පන්සිය වසරක ඉතිහාස පිටු අතර නොලියවෙන, උතුරේත් - දකුණේත් විමුක්තිකාමී, පිළිවෙත් ගරුක පීඩිත මිනිස් පරම්පරාවන්ගේ වික්‍රමාන්විත ඉතිහාසයක් ඇති බව කවුරුන් හෝ ලියා තැබිය යුතු නිසා ය.

පරිවර්තනය: අජිත් සී හේරත්  |  ස්තූතිය: 'ටැමිල් නේෂන්' සහ 'ටැමිල් ටෛම්ස්' ප්‍රකාශකයන්ට


පි දැනටමත් අපව විමර්ශනයකට ලක් කිරීම ගැන ශ්‍රී ලංකා අධිකරණය වෙත විරෝධය පළ කර ඇත්තෙමු. අපගේ විරෝධය නොතකා අපට එරෙහිව නඩුවක් පටලවා  ඇති අතර එය මේ වනවිටත් ආසන්න වශයෙන් මාස 04ක් තිස්සේ ඇදී යයි. යම් නිශ්චිත හේතුන් මත අපට අධිකරණ ක්‍රියාවලියට සහභාගීවීමට සිදු විය. අපගේ නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් විසින් ගසන ලද  කරණම් මඟින් ද,  ඔහු විසින් ඉදිරිපත් කරන ලද නීතිමය තර්ක මඟින් ද, අප විසින් ඉදිරිපත් කරනු ලැබූ සාක්ෂි මඟින්ද, අපහට පූර්ව සැළසුම්වලට අනුව නන්විධ වධබන්ධන පමුණුවා ඇති බවත්, දැනටමත් පූර්ණ වශයෙන්ම පෙන්වා දී තිබේ.

අහිංසාවාදය සහ සත්‍යග්‍රහ නිෂ්ඵල විය

බ්‍රිතාන්‍ය පාලනය දෙමළ ජනයාගේ ඉරණම සිංහල දේශපාලනඥයන් පිරිසක් අතට පත් කරන අවස්ථාවේ දෙමළ ජනයා තමන්ගේම නිදහසක් උදෙසා ඉල්ලීම් ඉදිරිපත් නොකළහ. කිසි විටෙකත් තමන් මේ රටේ දෙවන පෙළ පුරවැසියන් පිරිසක් බවට පත් කරනු ඇතැයි දෙමළ ජනයා කිසිකලෙකත් සැක නොකළහ.

නමුත් දිවැසි දැක්මක් තිබූ සමහර දෙමළ නායකයෝ දෙමළ ජනතාව සඳහා විශාල නියෝජනයක් ඉල්ලා සිටියහ. පසුකාලීනව සිදු වූ කඳුරට දෙමළ ජනතාවගේ පුරවැසි අයිතීන් අහිමිකරලීමේ සිදුවීම මඟින් ඔවුන්ගේ එම ඉල්ලීම යුක්ති සහගත සහ නිවැරදි එකක් බවට සාධාරණීකරණය විය. ඊළඟට ගත වූ අවුරුදු 25 තුළ දක්නට ලැබුණේ දෙමළ ජනතාවට පුරවැසිකම පමණක් නොව, ඔවුන්ගේ භූමිය ද අහිමි කළ ආකාරයයි. විසි වසක් පුරා දෙමළ නායකයෝ ඔවුන්ගේ  විරෝධය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ඉතා සාමකාමී ලෙස අහිංසාවාදී සහ සත්‍යග්‍රහයන්ගේ මූලධර්මවලට අනුකූලව පළ කළහ.

එහෙත් සිදු වූයේ කුමක් ද?

අශික්ෂිත ප්‍රචණ්ඩත්වය

1956 දී දෙමළ නායකයෝ ගාලු මුවදොරහිදී පැවැත්වූ සත්‍යග්‍රහයට එරෙහිව ප්‍රචණ්ඩ මැරබලය මුදා හරින ලදි. පසුව දෙමළ නායකයෝ යාපනය කච්චේරිය ඉදිරිපිට සත්‍යග්‍රහ විරෝධතා දක්වන විට ශ්‍රී ලංකා හමුදාව අශික්ෂිත ප්‍රචණ්ඩත්වයක් මඟින් ප්‍රතිචාර දැක්වීමට මැළි නොවූහ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔබගේ දිගු ඉතිහාසයේ කවර පරිච්ඡේදයක් තුළට ඔබ මේ සිදුවීම් ඇතුළත් කිරීමට අදහස් කරන්නේ ද? එය එක් පරිච්ඡේදයක් හෝ දෙකක් නොවනු ඇත. පසුගිය අවුරුදු 35 පුරා දෙමළ ජනයාට එරෙහිව යෙදූ  මැරබලය සහ ප්‍රචණ්ඩත්වය අඛණ්ඩ සිදුවීම් මාලාවකි. ඔබට මෙම වසර 35ක කෲරත්වය සඳහා පරිච්ඡේද කොපමණ සංඛ්‍යාවක් වෙන් කිරීමට අවශ්‍යවනු ඇත්ද? දෙමළ මිනිසුන් කොපමණ සංඛ්‍යාවක ජීවිත සහ දේපොළ කොල්ලකා තිබේ ද? දෙමළ ස්ත්‍රීන් කොපමණක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉදිරිපිට අතවරයට ලක් කර තිබේ ද? සියවස් ගණනක් පුරා ආරක්‍ෂා කළ දෙමළ සංස්කෘතික උරුමයන් ගිනි ලා විනාශ කර තිබේ. රුපියල් ලක්ෂ කීපයක් ගෙවීමෙන් මේවාට වන්දි ගෙවිය හැකි යැයි සිතීම මොන තරම් අපහාසයක් සහ සරදමක් ද?

නමුත් මේ පීඩාකාරී අවමන් සහගත සැලකීම්වලින් දෙමළ ජනයාට ඔවුන්ගේ ආත්මය අහිමි කළ හැකි වූයේ ද? නැත. ඔවුහු ඔවුන්ගේ පරමාරදර්ශ අත්හැර දමා ඇත් ද? නැත! නැත!! මේ අවමන් සහගත සැළකීම්වලින් සිදුවූයේ ඔවුන්ගේ අධිෂ්ඨානය ශක්තිමත් වීම පමණකි. ශ්‍රී ලංකා රජයේ ක්‍රියාවන් අපි කිසි කලෙකත් අමතක නොකෙළෙමු. මෑත මැතිවරණ දෙකකදී දෙවරක‍්ම දෙමළ ජනතාව සිය අභිලාෂයන් ශක්තිමත්ව පෙන්වූහ.

ජාතිවාදය වපුරමින් ජාතිවාදී ඝාතන සිදුකරමින් සිටින රජයක් අප දෙස බලා අපට  “ ත්‍රස්තවාදීන්“ යැයි ඇමතීම විහිළුවක් නොවන්නේද? එක් පැත්තකින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට 50 වසරක් සම්පූර්ණ වීම මහ ඉහළින් සැමරෙන අතර එකී පාර්ලිමේන්තුවේම දෙමළ මන්ත්‍රීවරුන් මහ රෑ අත් අඩංගුවට ගනු ලබයි. තවත් මන්ත්‍රීවරයෙකුගේ නිවෙස ගිනි තබා විනාශ කරයි. ශිෂ්ට සම්පන්න ලෝකයක් තුළ ඔබට මෙවැනි ක්‍රියා හිස කෙලින් තබාගෙන කළ නොහැකි ය.

ඔබ ත්‍රස්තවාදය සහ මංකොල්ලයන් ගැන කතා කරයි. රාජ්‍ය ත්‍රස්තවාදය හා රාජ්‍යයේ ආයුධ යොදාගනිමින් වපුරන ජාතිවාදී වෛරය හා සම කළ හැකි කිසිවක් මේ රට තුළ දැකිය හැකිද? දෙමළ මිනිසුන්ගේ කොල්ලකා සහ පසුව සොයාගත් බඩු භාණ්ඩවලට සිදු වූ දෑ ජනතාව විසින් අමතක කර නැත. රජයේ බලගතු දේශපාලකයන් සමහර දෙනෙක් තම රිවෝල්වර යොදාගනිමින් දෙමළ ජනතාව ත්‍රස්තයට පත්කළ අයුරු අපට අසන්නට ලැබිණි. මේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නොවේ යැයි යමෙකුට පැවසිය හැකි නම් එය මේ සියවසේ විශාලම විහිළුව වනු ඇත.

නිදහස යනු  එය බෙදී වෙන්ව යාමක් නොවේ

අප වෙන්වීමක් ඉල්ලා සිටිනු ලබන්නේ යැයි ද, රට බෙදීමට තැත් දරන්නේ යැයි ද අපට එරෙහිව චෝදනා නගා ඇත.  අප බෙදී නොසිටි අවස්ථාවක් ගැන යමෙකුට කිව හැකිද? අපගේ සාම්ප්‍රදායික වාසභූමිය අත්පත් කරගත් යුරෝපීය ආක්‍රමණිකයන් එය අපට යළි කිසිදාක නැවත ලබා නොදුන්හ. රටේ නාමයෙන් අපි අපේ භූමිය වෙනත් කිසිවෙකුට කිසි දා උකස් කර නැත. අපගේ භූමිය විවිධ පාලකයන් යටතට කලින් කලට හුවමාරු වී තිබේ. සිදු වූයේ එයයි. අපගේ භූමිය අපටම හිමිකර ගතහැකි අවධියට අප ළඟා විය යුතුව තිබේ. අප ඉල්ලා සිටිනුයේ නිදහස මිස බෙදීයාම නොවේ. අප මෙය ඉල්ලා සිටිනුයේ පටු චින්තනයක් නිසා නොවේ.

අප ළඟා වීමට අපේක්‍ෂා කරන ඉලක්කය හුදෙක් දෙමළ ජනයාගේ විමුක්තිය පමණක් නොවේ. අපගේ ඉලක්කය සිංහල ජනයාගේද විමුක්තියයි. මා එසේ කියන්නේ ඇයි? ඒ මක්නිසාද යත්, එවිට  මෙම “දෙමළ ප්‍රශ්නය“ අවස්ථාවාදී සිංහල දේශපාලනඥයන්ගේ ජීවිකාව වීම නතර වන බැවිනි. එය විසින් ඔවුන් බැඳ දමා ඇති දේශපාලනික, සමාජයීය, ආර්ථික විලංගුවලින් මිදීමට සිංහල ජනයාට අවස්ථාවක් උදා කර දෙනු ඇති බැවිනි. ඔවුහු එවිට තමන්ගේ වහල්බවේ  සැබෑ හේතූන් වටහා ගනු ඇත.

මේ ලෝකයේ කිසිදු සම්මුතියක් මඟින්, තමන්ගේ අහිමිකරනු ලැබූ අයිතීන් යළි දිනාගැනීමට සටන් කරන හෝ ස්වයංතීරණ අයිතිය වෙනුවෙන් අරගල කරන ජනතාවක් ත්‍රස්තවාදය හෝ බෙදුම්වාදය සම්බන්ධයෙන් වරදකරුවන් කිරීම කළ නොහැකිය. අපගේ මූලික මානුෂික අයිතීන් ස්ථාපිත කිරීමට මෙම තත්ත්වයේ ආරම්භයේදීම ඔබ ක්‍රියා කළේ නම් මෙවන් තත්ත්වයක් පැන නොනැගෙනු ඇත. ඔබ අපගේ අයිතීන් පිළිගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතිවා පමණක් නොව, දේශපාලන බලයේ රැඳී සිටීම සඳහා පසුගිය තිස් පස් වස පුරා ඔබ විසින් අහිංසක සිංහල ජනයාට වෛරයේ විෂ එන්නත් කර තිබේ. එහෙත් සියලු සිංහලයන් ඔබගේ ජාතිවාදී විෂට ගොදුරු වී නැති බව, ඔබ විසින් සන්නද්ධ මැරයන් යොදා දියත් කළ ජාතිවාදි ප්‍රචණ්ඩ ක්‍රියාවලදී  දෙමළ ජනයා පූර්ණ සමුල ඝාතනයකින් බේරාගැනීමට ඇතැම් සිංහල පිරිස්  ඉදිරිපත්වීමෙන් පෙනී යයි. ශ්‍රී ලංකාවේ සෑම විපක්ෂයකම සම්ප්‍රදායයක් වී ඇත්තේ බලයට පත්වීම සඳහා සිංහල ජනයාගේ සහයෝගය ලබා ගනු වස් දෙමළ ජනතාවට අදාළ ගැටළු ගැන විසඳුමකට එරෙහිව සිංහල ජනයා මෙහෙයවීමයි.

අපට අවශ්‍ය ආත්ම ගෞරවයයි

පසුගිය සය වස පුරා සිදු වූ ආකාරයට ජාතිවාදි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට පාලක පක්ෂයක් විසින් අනුමැතිය ලබාදීම වඩාත් දුෂ්ට සහ හෙළා දැකිය යුතු දෙයක් වන්නේ ඒ නිසාය. දෙමළ ජනයා සහ ශ්‍රී ලංකා රජය අතර සබඳතාව වත්මන් අයහපත් මට්ටමට ලඟාවීම කෙරෙහි වගකීම පැහැදිලිවම පැවරෙනුයේ අපරාධකරුවන්ට ලබා දී ඇති දණ්ඩ මුක්තිය සහ අනුග්‍රහය වෙත ය.

පසුගිය සියවස් කාලක් පුරා පාලක පක්ෂය ගිරවුන් මෙන් නැවත නැවතත් දොඩනුයේ "අපි දෙමළ ප්‍රශ්නය විසඳනවා" යනුවෙනි. අපි ඔබගේ විසඳුම පිළිගත්ත ද නොගත්ත ද දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීම සඳහා කවර හෝ අවංක උත්සාහයක් ගෙන තිබේ ද? දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳන බවට බොරු පොරොන්දු දෙමින් ඔබ සෑම විටෙකම කාලය ගත කළේ දෙමළ ජනයාගේ අරගලය මොට කිරීමට ය. දෙමළ ජනයා ඔබලාගෙන් ඉල්ලා සිටියේ කුමක්ද? ආර්ථික වාසි නොවේ. රැකියා අවස්ථා ද නොවේ. ඔබගෙන් එවැනි සේවයක් අපේක්ෂා නොකිරීමට තරම් දෙමළ ජනයා කරුණු කාරණා පිළිබඳ දැනුවත් ය.

ඔබ ඉහත ප්‍රතිලාභ ප්‍රදානය කිරීමට සුදානම් තත්ත්වයක් යටතේ වුව, මේ දිවයින තුළ අනාගතයේදී ආත්ම ගෞරවයක් සහිතව ජීවත්වීමට ඉඩ ලැබෙනු ඇති බවට ඔබට දීමට හැකි සහතිකය කුමක් ද? ආත්ම ගෞරවය පිළිබඳ හැඟීමක්  නොදැනෙන්නේ නම් ඔබ විසින් ලබා දීමට සුදානම් අන් කවරක් වුවද දෙමළ ජනයාට වැදගත් නොවනු ඇත. මේ දිවයින තුළ වන සතුන් සඳහාද අභයභූමි ලෙස ඔවුන්ටම වෙන් කළ භූමි ප්‍රදේශ තිබේ. නමුත් මේ දක්වා මේ දිවයින තුළ කිසිදු ප්‍රදේශයක දෙමළ ජනතාවට බියෙන් තොරව ජීවත් වීමට ඉඩක් නොමැත. මේ වනාහී අනාගතියේ හෝ ලැබෙතැයි අපට අපේක්‍ෂා කළ හැක්කක් නොවේ.

සත්‍යයට වේදිකාවන් අවශ්‍ය නැත

නියෝජ්‍ය නීතිපතිවරයා ඔහුගේ විමර්ශනයේදී යෝගචන්ද්‍රන් මහතාගෙන් (කුටිට්මනී) අසා සිටියේ “මෙම අධිකරණ ක්‍රියාවලිය වේදිකාවක් ලෙස භාවිතා කිරීමට අදහස් කරන්නේ ද?“ යනුවෙනි. වේදිකාවලින් අපට ඇති ප්‍රයෝජනය කිම? අප කිසිදිනෙක කිසිවෙකුගෙන් අපට වේදිකාවන් තනා දෙන ලෙස ඉල්ලා සිටියේ නැත. අපව මෙම කූඩුව තුළට දමා අප මත මෙම චෝදනාවන් පටවා ඇත්තේ ඔබ විසිනි.

ඔබ අපට බොරු චෝදනා එල්ල කිරීමෙන් නොනැවතී අපව බොරුකාරයන් ලෙසද පෙන්නුම් කිරීමට උත්සාහ දරන විට අපි හුදෙක් සත්‍යය පමණක් ඉදිරිපත් කළෙමු. අපි කළේ එය පමණකි. ඒ මඟින් අපට වේදිකා නළුවන් වීමට අවශ්‍ය නොවේ. සත්‍යයට වේදිකාවන් සහ අවධාරිත අලෝක ධාරාවන් අවශ්‍ය නොවේ. සත්‍යය සතුව එහිම ආලෝක ප්‍රභාවක් ඇත. මිහිමත කිසිදු බලයකට කිසි දිනෙක එය යටපත් කළ නොහැකි ය.

අපි ප්‍රචණ්ඩත්වයට ඇලුම් කරන්නන් හෝ මානසික විකෘතිතාවන්ගේ ගොදුරු නොවෙමු. අපි ජනතාවකගේ විමුක්තිය උදෙසා සටන් කරන සංවිධානයක අව්‍යාජ සටන්කරුවන් වෙමු.

අපව “ත්‍රස්තවාදීන්, භීෂකයන්“ ලෙස නම් කරන මේ වැදගත් නම්බුකාර මහත්වරුන් වෙත පැවසීමට යමක් අපට තිබේ. අහිංසක දෙමළ ජනතාව සිය ගණනින් ලේ විලක් මැද සමූල ඝාතනය කරමින්, ඔබගේ දේශය හරහා වාර්ගික වෛරය ලැව්ගින්නක් මෙන් පැතිර යද්දී ඒ ත්‍රස්තවාදය ඔබ බියපත් නොකළේද? දෙමළ ස්ත්‍රීන් දූෂණය කරන විට, සංස්කෘතික උරුමයන් ගිනිබත්කරන විට, දස දහස් ගණනින් දෙමළ නිවාස මංකොල්ල කන විට ත්‍රස්තවාදය යනු කුමක් දැයි ඔබට අදහසක් නොතිබිණිද? 1977 දී පමණක්  400ක් දෙමළ ජනයාට සිය ජීවිත අහිමි කරමින්  ඔවුන්ගේ විසිර ගිය රුධිරයෙන් අහස් ගැබ රත්පැහැ ගැන්වෙන විට, ඔබ ඒ තුළ  ත්‍රස්තවාදයක් දැකීමට අසමත් වූයේද? දෙමළ ඊළාමයේදී පොලිස් නිලධාරින් කීපදෙනෙකු මරණයට පත් වූ විට පමණක්, රුපියල් මිලියන කීපයක් බැංකුවලින් මංකොල්ලකෑ විට පමණක් ත්‍රස්තවාදයෙන් ඔබගේ මුහුණට පහර එල්ලවිණි ද? දෙමළ ජනයාගේ ජීවිත සහ දේපොල විනාශය ගැන පමණක් ඔබගේ සිතුවිලි සහ හැඟීම් මියගොස් ඇත්ද? නැතහොත් දෙමළ ජනයාගේ වේදනාවන් ගැන අදහසක් ඇතිකර ගැනීමට ඔබගේ හෘදය සාක්ෂිය අසමත්ව ඇත්ද?

අප සතුව ගෝලීය දැක්මක් තිබේ

අපගේ ඒකායන අරමුණ දෙමළ ඊළම පමණක් යැයි යන සිතුවිල්ල කැටුව ඔබ පලා යා යුතු නැත. දෙමළ ඊළම නිශ්චිතවම අපගේ අරමුණ  වී ඇත්තේ දෙමළ ජනයාගේ ආත්ම ගෞරවය දිනාගත හැක්කේ දෙමළ ඊළම ස්ථාපිත කිරීමෙන් පමණක් බව පසුගිය වසර කීපය තුළ අපගේම කටුක පාඩම්වලින් අප උගෙන ඇති බැවිනි. නමුත් අපගේ දැක්ම ඊට වඩා බෝහෝ සෙයින් පෘථුලය. අපගේ දැක්ම ගෝලීය එකකි. පීඩනයක් ඇත්තේ කොහිද, මිනිස් අයිතීන් උල්ලංඝණය වනු ඇත්තේ කොහිද, ඒ සිදුවන්නේ අප්‍රිකාවේ හෝ ලතින් ඇමෙරිකාවේ වේවා, එහි පීඩිතයන් දුබලයන් වෙත අපි අපගේ සහයෝගයේ දෑත් දිගුකිරීමටත්, පරිත්‍යාගයන් සහ කැපකිරීම්වලටත් සුදානම්ව සිටිමු. අපගේ දැක්ම ඒ තරම් පුළුල් එකක් වන විට අපගේ සහෝදර ජාතියක් වන සිංහල ජනතාවගේ අනාගත අභිවෘද්ධිය නොසිතා සිටීමට අප අසමත්වන්නේ කෙසේද? මට මෙය පැවසීමට ඉඩ දෙන්න. අසල්වැසී ජාතීන් සහයෝගයෙන් ජීවත්වීම වැළැක්විය හැකි කිසිවෙක් නැත. වෙනස් ප්‍රතිපත්තීන් සහිත ජාතීන් වුව ද පොදු ආර්ථික ශුභසිද්ධිය සඳහාත්, පොදු ආරක්ෂාව සඳහාත් එක්ව කටයුතු කරති. ඔවුහු ඔවුන්ගේ ස්වෛරීත්වය හෝ සුවිශේෂී වෙනස්කම් අත්හැර දමන්නේ යැයි එයින් අදහස් වේ ද?

අපගේ ජයග්‍රහණය ස්ථිර ය

අපි මෙම දිවයිනේ පොදු යහපත ආරක්ෂා කළ යුතු වෙමු. තුන්වන ලෝකයේ රටවලට එරෙහිව දියත් වන දේශපාලනික සහ ආර්ථික සමූලඝාතනය හමුවේ,  විශේෂයෙන් මේ  ඉන්දියානු උප මහාද්විපය තුළ අනාගතයේ යම් දිනෙක ඊට එරෙහිව සටන් වැදීමට පොදු සංවිධානයක අවශ්‍යතාව මතුවන විට, දෙමළ ඊළාමය එහි උපරිම ශක්තියෙන් මේ කලාපයේ ජනතාවගේ පොදු යහපත සහ ජීවන අභිවෘද්ධිය වෙනුවෙන් නැගී සිටිනු  ඇති බවට අපට ඔබ වෙත සහතික විය හැකි ය.

මම මේ ප්‍රශ්නය මගේ සිංහල මිතුරන්ගෙන් ඇසිය යුතු ය. අපගේම භූමිය මත පමණක් නොව,  ඔබගේ භූමියේ විවිධ ප්‍රදේශ තුළ දී ද, විවිධ ත්‍රස්තවාදී ක්‍රියා සහ මැර බලයේ ප්‍රතිඵලයක් ලෙස මේ දක්වා දෙමළ ජනයාට මුහුණ පෑමට සිදුව ඇති පීඩකාරී ක්‍රියාවන් සාධාරණීකරණය කළ හැකි බවත්, නිවැරදි බවත් ඔබ විසින් පිළිගනු ලබන්නේද?  ඔබගේ රජය විසින් අප මත පටවා ඇති  අශික්ෂිත පීඩනයට එරෙහිව අපගේ පැත්තෙන් නිදහස උදෙසා අප සටන් කරනු ලැබීම වැරැදි යැයි ඔබ සිතන්නේ ද? නැතහොත් සාමාන්‍ය නීතිය ද,  විවිධ විශේෂ නීති ද යටතේ  මෙම නඩු විභාගයක් නමින් පවත්වාගෙන යන  ඇස්බැන්දුම  මඟින්, උත්තුංග අරමුණක් වෙනුවෙන් - මිනිස් නිදහස නැමැති උත්තුංග අරමුණ වෙනුවෙන් - සටන් වදින අප වැනි මිනිසුන්ට එරෙහිව කටයුතු කිරීම යුක්ති සහගත ක්‍රියාමාර්ගයක් ලෙස ඔබ දකින්නේද?

නැතහොත් එහි ගොදුරු බවට පත්ව ඇත්තේ දෙමළුන් පමණක් බැවින් ඔබ එය නොසළකා හැර ඇති බව අදහස්වන්නේද? එසේ නම් ඔබට අපගේ අනුකම්පාව හිමි විය යුතු ය.

මා විශ්වාස කරන්න! අපගේ නිදහස අප විසින් යම් දිනෙක, කෙසේ හෝ දිනා ගැනීම ස්ථිර ය. එය සිදූ වූ විට ඔබගේ නීති පොත් සහ ත්‍රස්තවාදී නීති අපට තවදුරටත් වලංගු නොවේ. එයින් පසුව අද අපව පීඩනයට ලක්කරන මෙම නීතිවල “ඵල ප්‍රයෝජන“ ලැබීමට ඉතුරුවන එකම හිමි කරුවා ඔබ වනු ඇත.

ත්‍රස්තවාදයේ තොග වෙළෙන්දෝ

“අපට එරෙහිව පවත්වා ගෙන අයුක්තිය නවත්වන ලෙසත්, අපගේ ස්වෛරීත්වය පිළිගනු ලබන ලෙසත්  ඔබ ඔබගේ රජයෙන් ඉල්ලා සිටීමට සුදානම් ද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පළමු පියවර ලෙස ත්‍රස්තවාදයේ තොග වෙළෙන්දන් වන ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසිය අපගේ භූමියෙන් ඉවත් කරන ලෙස ඔබගේ රජයෙන් ඉල්ලා සිටීමට සුදානම් ද? ඔබ සතුව කොතරම් පළල් මනසක් සහ චින්තනයක් ඇතිදැයි පෙන්වීමේ තීරණය ගැනීම මම ඔබ වෙතම පවරමි. වෙනත් ජාතියකට අයත් වුවද  සහෝදර වැසියන් ලෙස අපි මෙම අධිකරණ විමර්ශනයට සහභාගී වූයේ ඔබගේ අවබෝධය පිළිබඳ අපේක්‍ෂාවෙනි. අපි අද අපගේ ස්ථාවරය පැහැදිලිව ඉදිරිපත් කළෙමු. මේ මඟින් ඔබ තුළ ජනිත වන අවබෝධය විසින් අනාගතයේ යම් දිනෙක ඔබ අප වෙනුවෙන් ඔබගේ කටහඬ අවදි කරන්නේ නම් අපගේ හදවත් තෘප්තිමත් බවින් පිරී යනු ඇත.

මම මෙහි දී ඔබට තවත් යමක් හෘදයංගමව පැවසීමට කැමැත්තෙමි. අප අතර අවබෝධය පිළිබඳ  අපේක්‍ෂාවන් යථාර්ථයක් බවට පත් නොවූව ද,  අනාගතයේ යම් දිනෙක, අද ඔබ බැඳ දමා ඇති ආර්ථික සහ සමාජයීය විලංගු බිඳ දමනු වස්  ඔබ නැගී සිටින විට,  අප අපගේ පූර්ණ සහයෝගය ඔබ වෙත ලබා දෙමු.

මෙම නඩු විභාගය හරහා අපි අපගේ සැබෑ ස්ථාවරයන් ලෝකයටත් විශේෂයෙන් දිවයිනේ ජනතාවටත් හෙළි කළෙමු. අපගේ සන්තානයන් තුළ වන උත්තම ප්‍රමෝදයේ නිමිත්ත එයයි. අපට වැදගත් වනුයේ ජනතාව අප පිළිබඳව ලබා දෙන තීන්දුව පමණි. එය අපගේ පැත්තේ බවට අප තුළ දැඩි විශ්වාසයක් ඇත. සිය ගණන් ගොතන ලද බොරු නඩු අපට එරෙහිව  පැවරුව ද, සියළු බොරු චෝදනාවන් අප හිස් මත වැගිරුව ද මින් මතුව අපි ඒ පිළිබඳව මොහොතකට හෝ නොසැළෙමු.

ඔබගේ මෙවැනි ක්‍රියාමාර්ග වලින් ජයග්‍රහණය ලැබෙනු ඇත්තේ අප වෙත ය. ඔබගේ තීන්දුවේ ප්‍රතිඵල අපව ස්පර්ශ කිරීමට අසමත් ය. එය අපට බාහිර ව පවත්නා දෙයකි. මරණය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් වැළඳ ගැනීමට සිදුවුවද  එයින් අපි නොසැළෙමු. ඒ අප අපගේ යුතුකම ඉටුකර ඇති බැවිනි. මේ සියළු දේ ඉතිහාසය තුළ ජාතියකගේ නිදහස උදෙසා අරගලයක සාමාන්‍ය සිදුවීම් ය. අපි කරන්නේ කුමක් දැයි යන්න ගැන අපට දැඩි විශ්වාසයක් තිබේ. එහෙයින් අපි අපේක්‍ෂා භංගත්වයට පත් නොවෙමු.

යමෙකු විසින් නෙළා ගනු ලබන්නේ ඔහු විසින් වපුරන දෙයයි යන කියමන අපි විශ්වාස කරමු. අපේ මනස සන්සුන් එබැවිනි. අපි විෂ නොවැපිරුවෙමු. එහෙයින් විෂ නෙළා නොගනිමු. අපගේ හී තුඩුවල විෂ පොවා නැත. එහෙත් මගේ එකම හෘදයංගම ප්‍රාර්ථනය වන්නේ බලලෝභී සිංහල දේශපාලකයන් විසින් වපුරන ලද දෙයෙහි අස්වැන්න නෙළාගැනීමට අහිංසක සිංහල වැසියන්ට සිදු නොවිය යුතුය යන්නයි. මේ  අපරිමිත මහා වේදනාවන් වූ කලී අපව පිවිතුරු බවට පත් කරනු වස් දෙවියන් විසින් තිලිණ කරන ලද ආශිර්වාදයකි. අවසාන ජයග්‍රහණය අප සතු ය.

අපගේ නීතිඥයන්ට, අප වෙනුවෙන් හඬ නැගූ, අප වෙනුවෙන් කථා කළ හා සහයෝගය දුන් සංවිධාන සහ පුද්ගලයන්ට ස්තූතිය පළ කරන අතර ඔවුන් අතර වෙනස් කම් දුරලා එක් වන ලෙස ඉල්ලා සිටිමු. මක් නිසාද යත් නිදහස කරා ඇති එකම මග එය බැවිනි.

"දෙමළ ජනතාව දිනේවා! දෙමළ ඊළම දිනේවා!!"

© JDS