'83 කළු ජූලිය: ‘ගිනිබත් නගර වීදි ඔස්සේ විනාශය නරඹමින් මම ඇවිද ගියෙමි’

‘තිලක්’ හා UC යන අනවර්ථ නාමයන්ගෙන් මුල් වරට පළ වූ පහත පළවන සටහන් ඇත්තෙන්ම ලියන ලද්දේ කවුරුන් විසින්දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් එය සිංහලයෙකු විසින් ලියන ලද්දක් බවට විශ්වාස කිරීමට හේතු තිබේ. දෙමළ ජනයාට එරෙහිව ඇවිළ ගිය බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියා සියැ’සින් දකිමින් කොළඹ නගරයේ නිරුපද්‍රිතව ඇවිද යන්නට 1983 ජූලි මාසයේ දී යමෙකු සමත් වී නම් ඒ සිංහලයෙකු පමණක් වන හෙයිනි.

ජූලි 24 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ කොළඹ සහ මහනුවර ප්‍රදේශවල සැරසරමින් රැස් කරගත් තොරතුරු ඇසුරෙන් රටින් බැහැර ප්‍රකාශයට පත් කළ 'ටැමිල් ටෛම්ස්'හි ඉංග්‍රීසි බසින් පළ කරනු වස් සංක්‍ෂිප්තව සකසන ලද මෙම සටහන් කලු ජූලියට තිස් දෙවසරක් සපිරෙන මේ ජූලි මාසයේදී පළමුවරට සිංහල බසට නඟා නැවත පළ කිරීම ප්‍රයෝජනවත් වෙතැයි අප සිතන්නේ හුදෙක් එක් දවසක ඉතිහාස ස්මරණය සඳහා නොවේ. දෙතිස් වසක් ඇවෑමේදී නාගරික මැද පාන්තික සිංහලයන්ගේ වාර්ෂික සංස්කෘතික මේලාවක් බවට පෙරළාගත් ‘කළු ජූලි සැමරුම්’ විසින් යටපත් කොට ඇති වර්ග නාශක කැරැල්ලක පොදුජන සහභාගීත්වය ගැන සාපරාධී තිත්ත ඇත්ත දෙස, දේශපාලනිකව හැරී බලන්නට පිටුබල සපයන ලිපි පෙළක ඇරඹුමට මෙම සටහන් ආධාරක වන බැවිනි.

පරිවර්තනය: භාෂණ අබේවර්ධන


මේ වාර්තාව බාහිර ලෝකයා වෙත ළඟාවනු ඇත්තේ කවදාදැයි නිශ්චිතව කීම අසීරු ය. අද (1983 ජූලි 26) පස්වරු 2 සිට හෙට පස්වරු 5 දක්වා ආණ්ඩුව විසින් ඇඳිරි නීතිය පනවා තිබේ. හෙට දවස මහජන නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති නිසා තැපැල් සේවා ක්‍රියාත්මක නොවනු ඇත. සන්නද්ධ සේනා දැනටත් වීදි සරති. මුළු රටම පුරාම ඇත්තේ මහත් ආතතියකි. වර්ගවාදයේ වා සුළිය ලොකු කුඩා ගොඩනැගිලි හා නිවාස සුන් බුන් බවට පෙරළා තිබේ. ගිනි තැබීම් සහ කොල්ලකෑම් දවසේ නීතිය බවට පෙරළී ඇත. නගරයේ තැන තැනින් ගුවනට නඟින කළුවන් දුම්රොටු නිවසේ කවුළුවෙන් මට තවමත් පෙනේ. දැන් ඔවුන් වෙරළබඩ කෝවිලට පහර එල්ල කරමින් සිටිතැයි සැළ විණ. සිංහල ‘දේශප්‍රේමීහු’ ඉකුත් දෙදින තුළ මහත් ‘වික්‍රමයන්’හි යෙදුණාහ.

ගිනි තැබීම් සහ කොල්ලකෑම් නිර්බාධිතව සිදු කෙරෙන කොළඹ මාවත් ඔස්සේ සන්නද්ධ සෙබළුන් රැගත් සන්නාහ රථ  ඔබ මොබ යති. අනාථවූවන් වෙනුවෙන් සරණාගත කඳවුරු විවෘත කොට ඇති බව ගුවන් විදුලිය ඔස්සේ නිවේදනය කර සිටියේ දැන් මොහොතකට කලිනි. සියළු ස්වේච්ඡා බල ඇණි සක්‍රීය සේවයට කැඳවනු ලැබ තිබේ. 

නමුත් මේ කිසිත් ගැන ලියන්නට ප්‍රථමයෙන් මේ සිදුවීම්වල සන්දර්භය ලියා තැබිය යුතු ය.

ආර්ථික පසුබිම

ඇත්තෙන්ම ජූලි මාසය පුරාම ත්‍රීකුණාමලය සහ නැගෙනහිර පළාතේ පැවතුණේ අර්බුදකාරී තත්ත්වයකි. එක්සත් ජාතික පක්‍ෂය විසින් පොළඹවනු ලැබූ සිංහල මැරයන් පොලිසිය සහ හමුදාවන් බලා සිටියදීම දෙමළ බස කතා කරන ජනයාට එල්ල කරන ලද පහර දීම් නිරන්තරයෙන් වාර්තා විය. විශේෂයෙන්ම රජයේ හමුදාවන් වවුනියාව ඇතුළු උතුරු පළාතේදී සැළකිය යුතු තරමේ ප්‍රහාරයන් ගණනාවකට මුහුණ දුන් අතර, ආණ්ඩුව විසින් ඔවුනට පනවා තිබූ සීමාවන් පිළිබඳව සෙබළ ශ්‍රේණීන් අතර කළකිරීම් කැකෑරෙමින් තිබුණි. උතුරේ ජීවත්වන දෙමළ ජනයා ඉලක්ක කොට ඉවක් බවක් නොමැතිව පළිගැනීමේ ප්‍රහාරයන් එල්ල කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අවසර නොදීම හේතුවෙන් 100කට ආසන්න සෙබළුන් පිරිසක් හමුදා සේවය හැර පලා ගොස් තිබේ.

අනෙක් අතින් ආර්ථික තලයේදී, ආධාර කණ්ඩායම් වෙතින් ආණ්ඩුව ලද ප්‍රතිචාර ඉතා අයහපත් ඒවා ය. රුපියල අවප්‍රමාණ කිරීම මගින් පළල්වන ගෙවුම් ශේෂ පරතරය පියවීමට කටයුතු කරන මෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ආණ්ඩුවට අවධාරණය කර තිබේ. 1982 වසරේ ජංගම ගිණුමේ ගෙවුම් ශේෂ හිඟය ඩොලර් මිලියන 490ක් දක්වා ඉහළ නගින්නට හේතු වී ඇත්තේ උදාසීන අපනයනයන්ට සාපේක්‍ෂව ආනයන වියදම් ඉහළ නැඟීම හේතුවෙනි. 1983 ජනවාරි මාසය වනවිට රටේ සමස්ත බාහිර ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1700කි. නමුත් ආනයන පාලනය කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැත්තේ, එමගින් ඔවුන්ගේ සමස්ත ආර්ථික පිළිවෙත මෙන්ම දේශපාලන ගමන්මඟ ද අනතුරේ හෙළන හෙයිනි. මහත් හා හූවකින් පසු ජූලි 17 වැනිදා ආණ්ඩුව යළිත් රුපියල අවප්‍රමාණ කරන ලදී. ඒත් සමඟම ඇතැම් භාණ්ඩ මිල ඉහළ නැඟි අතර, ඉන්ධන, ප්‍රවාහන, ගමනාගමන වියදම් සහ ආහාර යනාදියේ මිල ඉහළ යාමට නියමිතව තිබේ.

සර්ව පාක්‍ෂික සමුළුව

‘ත්‍රස්ත තර්ජනය’ ගැන කතා කිරීම මගින් මහ ජනයාගේ අවධානය මෙකී ගැටළුවලින් වෙන'තකට හැරවීමේ මං ආණ්ඩුව සොයමින් සිටියි. ‘ත්‍රස්ත තර්ජනය’ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව විසින් කැඳවන ලද සර්ව පාක්‍ෂික සමුළුව සම්බන්ධයෙන් අවශේෂ පක්‍ෂ කුමක් කීවත්, කළත් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය තීරක පියවර තමන් ගන්නා බවට රජය නිවේදනය කර සිටින්නේ එබැවිනි. බණ්ඩාරනායක මහත්මියගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු සියළු විරුද්ධ පක්‍ෂ සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගී වීම ප්‍රතික්‍ෂේප කර ඇත්තේ, 1) එය හුදෙක් ‘ත්‍රස්තවාදය’ පිළිබඳව මිස උතුරේ ප්‍රශ්නය විසඳාලීම ගැන අවධානය යොමු නොකිරීමත්, 2) ලන්ඩනයේ පළවන ‘ඩේලි ටෙලිග්‍රාෆ්’ පත්‍රයට ජේ ආර් ජයවර්ධන මහතා විසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී ‘අවශේෂ පක්‍ෂ සර්ව පාක්‍ෂික සම්මේලනය සම්බන්ධයෙන් කුමනාකාරයෙන් කටයුතු කළ ද, ගත යුතු පියවර තමන් ගන්නා බවට’ සිදු කර ඇති ප්‍රකාශයත් හේතුවෙනි. ජයවර්ධන ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන පියවරයන්ට සර්ව පාක්‍ෂික සමුළුව හරහා විපාක්‍ෂික බලවේගයන්ගේ අනුමැතියේ මුද්‍රාව ගැනීම පමණක් බව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් බණ්ඩාරනායක මහත්මිය ‘රිවිරැස’ පත්‍රයට දෙන ලද සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද පාර්ලිමේන්තු සැසි වර්ජනය කිරීමේ තීන්දුවකට එළඹ සිටියි. සියළු ප්‍රධාන පුවත්පත් ‘ත්‍රස්තවාදය’ සහ ‘ඊළම’ පිළිබඳව මොර ගසමින් සිටින්නේ මේ අතරතුරදී ය.

සර්ව පාක්‍ෂික සමුළුවේ පළමු රැස්වීම සහමුලින්ම අසාර්ථක එකකි. ඊට සහභාගී වූයේ ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂය සහ ලංකා කම්කරු කොංග්‍රසය පමණි. එහි මීළග සැසිය ජූලි 27 වැනිදාට කල් දමා ඇති අතර සමුළුවේ විෂය පථය පුළුල් කිරීමට ආණ්ඩුව දැන් ප්‍රතිඥා දෙමින් සිටියි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවදුරටත් ඊට සහභාගී වීම ප්‍රතික්‍ෂේප කරන්නේ හුදෙක් සිය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා ශ්‍රිලනිප ය යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේය යන චෝදනාව යටතේ ය.

සිසු විරෝධතා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් එක්සත් ජාතික පක්‍ෂ මැරයන්ට එරෙහිව නැඟී සිට ඇත්තේ මේ අතරවාරයේ ය. උප කුලපතිවරයා විසින් ඇතැම් සිසුන්ට එරෙහිව පනවා ඇති පංති තහනම ඉවත් කරගන්නා ලෙස බල කෙරෙන දැවැන්ත සිසු විරෝධතා සංවිධානය කෙරුණේ ඒ යටතේ ය. සතියක් තිස්සේ පැවැති විරෝධතා අරගලවලින් ද, විද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සිසුන් විසින් ප්‍රාණ ඇපයට ගැනීමෙන් ද පසු සරසවි බලධාරීන් මෙල්ල වී ඇති අතර සිසුන් හා ගිවිසුමකට එළඹීමට තීරණය කරන ලදී. නමුත් තර්ජන මගින් ඇති කොටගත් ගිවිසුමක් තමන් පිළිනොගන්නා බව පසුදිනම ආණ්ඩුව විසින් ප්‍රකාශ කර සිටියේය. ආණ්ඩුවේ සහ සරසවි බලධාරීන්ගේ ප්‍රකාශය බැහැර කළ සිසුහු ලිඛිත සාක්‍ෂි ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කළහ. ජූලි 19 වැනිදා ආණ්ඩුව ප්‍රවෘත්ති තහනමක් පනවන ලද්දේ ඊට ප්‍රතිචාර වශයෙනි. දෙදිනක් ඇවෑමෙන්, උතුරේ සියළු ‘ත්‍රස්ත ක්‍රියා’ සම්බන්ධ සිදුවීම් ද ආවරණය වන පරිදි අදාළ ප්‍රවෘත්ති තහනම පුළුල් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය.


කොළඹ ඇවිළේ

‘ත්‍රස්ත’ ප්‍රහාරයක් හේතුවෙන් උතුරේ හමුදා සෙබළුන් විශාල වශයෙන් ජීවිතක්‍ෂයට පත්වීම පිළිබඳ ආරංචි මාත්‍රයන් කොළඹට කාන්දු වූයේ ජූලි 24 වැනිදා ය. හමුදා සෙබළුන් රැගත් රථ පෙළක් ඉලක්ක කොට දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කරන බෝම්බයක් පුපුරුවා හළ උතුරේ සන්නද්ධ තරුණයන් රථවලින් බැසගත් සෙබළුන්ට වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණ. ආණ්ඩුව විසින් නිකුත් කරන ලද නිල සංඛ්‍යාවන්ට අනුව ලුතිනන්වරයෙක් ඇතුළු 13 දෙනෙකු ප්‍රහාරයෙන් මිය ගොස් ඇති අතර දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. තහවුරු නොකළ වාර්තා විසින් අනාවරණය කර ඇත්තේ තුවාල ලද දෙදෙනා ද මරුමුවට පත් වූ බව ය.

ඒ අනුව ජූලි 24 වැනි ඉරිදා රාත්‍රියේ සියල්ල ලක ලෑස්ති කෙරිණ. බස් රථවලට නැඟුණු ඇතැම් පුද්ගලයෝ ජනයා කුපිත වන ලෙස, කලින් සැළසුම් කළ උද්වේගකර වර්ගවාදී කතා පවත්වමින් වාර්ගික වෛරය මෙළවූහ. මියගිය සෙබළුන්ගේ ඥාතීන්ට මෘත දේහ භාර නොදී කොළඹ දී ඔවුන් සියල්ලන් මිහිදන් කිරීමට අවශ්‍ය පියවර ආණ්ඩුව විසින් ගෙන තිබිණ. භූමදානයන් කිරීමට සූදානම් කර තිබුණේ බොරැල්ල කනත්ත සුසන භූමියේදී ය. කිසියම් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් මිහිදන් කිරීම් පූර්වයෙන් සැළසුම් කළ පරිදි සිදු නොවුණි.  සෙබළ මෘත දේහයන් සැළසුම් කර තිබූ ආකාරයට බොරැල්ලට ළඟා නොවූවද, ප්‍රතිඵලය වූයේ, දෙමළ ජනයාට එරෙහිව ජන ඝාතනයක් දියත් කිරීමේ අභිප්‍රායයෙන් යුතුව එහි රැඳී සිටි 5,000කට ආසන්න ජනයා සිය සැළැස්ම අනුව ප්‍රහාර ආරම්භ කිරීමයි.

දෙමළ වෙළඳුන්ට අයත් කඩා සාප්පු ගණනාවක් ඉරිදා රාත්‍රියේම ගිනි තබා විනාශ කරන ලද අතර, ඇතැමෙක් පහර දී මරා දමන ලදී. ඉක්බිති, නොසන්සුන්තා වේගයෙන් පැතිර ගියේය. පොලිසිය සහ හමුදාවෝ ඊට අනුබල දෙමින් ප්‍රහාරකයන් පෙළඹූහ. සඳුදා (25) උදෑසන වන විට නාරාහේන්පිට, නුගේගොඩ, කෝට්ටේ, මරදාන, පිටකොටුව, කොටුව, වැල්ලවත්ත, ගල්කිස්ස, මොරටුව, ජා ඇළ, වත්තල යනාදී කොළඹ හා ප්‍රත්‍යන්ත නගර කරා ද ප්‍රහාරයන් පැතිරුණි. උදාවූ අවස්ථාව අපරාධකාරීන් විසින් කොල්ල කෑම් සඳහා යොදාගන්නා ලද නමුත් ප්‍රහාරයන් බොහෝ දුරට දේශපාලනික හැඩයක් ගත් බවක් පෙනී ගියේය. බොහෝ ප්‍රහාරකයන් කොල්ල කෑමේ නොයෙදුණු අතර, කඩ සාප්පු සහ ඒවායේ වූ බඩු භාණ්ඩ ගිනි තැබූ ඔවුහු කොල්ල කෑමට තැත් කළවුන් එයින් වැළකූහ. නමුත් කොල්ලකෑම සඳහා පමණක් උනන්දු වූ ජනයාද බොහෝ තැන්වල රැස් කෑහ.


1983 ජූලි 25

ඊයේ දිනයේදී, එනම් ජූලි 25 වැනි සඳුදා උදෑසන මම කොටුවේ සහ පිටකොටුවේත්, කෙලින් වීදියේත්, ඕල්කොට් මාවත, මල්වත්ත පාර සහ බංගසාල වීදියේත් දිග හැරෙමින් තිබුණු සිදුවීම් ගණනාවක්ම ඇසින් දුටු සාක්‍ෂිකරුවෙක් වීමි.

අප දෙදෙනෙකු සැළසුම් කොට තිබුණේ අද යාපනයේ යන්නට ය. උදේ 10ට පමණ ප්‍රවේශ පත් මිලට ගැනීමේ අදහසින් මම කොටුව දුම්රිය ස්ථානයට ගියෙමි. උන්මාදයකින් මෙන් දිව යන ජනයාගෙන් කොටුවේ මං මාවත් පිරී තිබිණ. මාර්ග නීතියක් බල නොපෑ හෙයින් රථ වාහන තදබදයෙන් මාවත් ඇහිරී තිබිණ.

හෙට්ටි වීදියේ කඩ සාප්පු වසා දමා තිබූ අතර, යාබද වීදිවල දෙමළ වෙළෙඳ සැල් කඩා ඒවායේ තිබූ දෑ කොල්ල කෑ පිරිස් අනතුරුව ඒවා ගිනිබත් කළහ. ප්‍රහාරයන්ට සහභාගී වූ ජනයා පසුවූයේ 1977 සහ 1981 ප්‍රහාරයන්හිදී දක්නට ලැබුණාට වඩා වෙනස් මනෝභාවයක ය. ප්‍රහාරයන් හෝ කොල්ලකෑම්වලට සහභාගී නොවී පසෙකට වී බලා සිටින්නන් පවා සිදුවීම් අනුමත කරමින් කියා සිටියේ ‘කොටින්ට පාඩමක් ඉගැන්විය යුතු’ බවයි. ඒ අතර පොලිස් සහ හමුදා සෙබළු ද වූහ.

මම කෝපයෙන් ඔත්පලව සිටියෙමි. ඇස් ඉදිරිපිට සිදු කෙරෙන නීච ක්‍රියා සම්බන්ධයෙන් සහානුකම්පිතව කල්පනා නොකළ එකම පුද්ගලයා මා දැයි සැක සිතෙන තරමට, රැස්ව සිටි ජනී ජනයා අපරාධයන්ට අවිරෝධීව සහාය පළ කළහ. ඇතැම් දෙනා ප්‍රහාරකයන් හා එක්වූ අතර 'ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසඳන්නට නොහැකි නම්, මහ ජනයා මෙය විසඳිය යුතු බවට' සමහරෙක් කීහ. 'සිංහල ජාතිය ආරක්‍ෂා කරමු'යි තවකෙක් මූර ගෑහ. ඒ වනාහී ඉඳුරාම භාවෝන්මාදවාදී බහුජන වියරුවක පිළිබිඹුවක් විය. මා වෑයම් කරන්නේ කොටුව දුම්රියපොළෙන් පිටත මගී පාලම මතත්, ඕල්කොට් මාවතේ දෙමළ කඩ සාප්පු ඉදිරිපිටත් රැස් කෑ ජනයාගේ  සාමූහික මනෝභාවය විස්තර කරන්නට ය. 

සිවිල් ඇඳුමින් සැරසී සිටි සෙබල පිරිස් ද එක්කෝ ප්‍රහාරයන්ට දායක වූහ. නැතහොත්, අලුත් ප්‍රහාරයන්ට මුල පිරූහ. පිටකොටුවේ මල්වත්ත පාරට හැරුණු සැණින් ඇති කන්දයියාගේ ගිනිකෙළි වෙළඳ සැළෙහි දොරටු බිඳ විවෘත කරගත් මැරයෝ, 'වීර ක්‍රියා' උත්කර්ෂයට නංවනු පිණිස කොල්ල කෑ රතිඤ්ඤා මහ පාරේ දැල්වූහ. එය මළ ගෙයකැයි මට සිතිණ. නමුත් එහි සිටි එකම ශෝකවන්නා ඇතැම් විට මා වූ අතර, සෙස්සෝ ප්‍රීති සම්භාෂණයෙහි යෙදුණෝය. විරෝධයක් නොදක්වමින් රැස් කන ජනයා ප්‍රහාරකයන්ගෙන් වෙන්කොට තබා ගැනීමට වෑයම් කරනු හැරෙන්නට නිල ඇඳුම් හැඳගත් බලඇණි අන් කිසිවකට උත්සුක නොවූහ. වෑන්, ලොරි සහ ජීප් රථවල නැඟී යන එන සොල්දාදුවන් දුටු සැණින් රැස්වූවෝ ජය ඝෝෂා කළෝය.

'කොල්ල කන්න එපා, ගිනි තියන්න'

මම කොටුවේ තරුණ බෞද්ධ සංගම් ගොඩනැඟිල්ල පසුකරන අතරවාරයේ ප්‍රත්‍යන්තයේ වූ අම්බාල් කැෆේ අවන්හළ ගිනි ගනිමින් තිබෙනු දුටිමි. අහස් කුස තෙක් නැඟුණු ගිනි දැලින් පැතිරුණු දුමාරය හාත්පස වසාගෙන තිබිණ. ගින්න හේතුවෙන් අම්බාල් අවන්හල පිහිටා තිබූ බ්‍රිස්ටල් නොඩනැඟිල්ලට බලවත් හානි සිදූව ඇති බව ඒ වනවිටත් දක්නට තිබූ අතර පසුව සැළ වූයේ එය මුළුමණින්ම විනාශ වූ බවයි. ඒ අතර වික්ටෝරියා ගොඩනැගීල්ල ද ගිනි දැලින් වසා ගැණුනි. පැතිර යන ගිනි ජාලා මැඩලන්නට ආ ගිනි නිවන හමුදාවට අයත් රථ ආපසු හරවා යවන්නට අවිගත් භට පිරිස් කටයුතු කළ අතර 'රන්ජනාස්' වෙළඳ සැළ කඩා ඇතුළු වූවන් එහි ඇති දෑ විසුණු කර දැමීය. කෙළින් වීදියේ දෙමළ කඩ සාප්පු සියල්ලම පාහේ විනාශ කොට රෙදි පිළි කොල්ල කන ලද අතර, පැහැරගත් දෑ ටැක්සිවල පටවා ගෙන යනු ලැබිණ. පොලිස් භටයෝ නරඹන්නන් බවට පත්ව සිටියහ. 

මනා සේ හැඳ පැළඳ කාර්යාල බෑගයක් අතින් ගත් ඉංග්‍රීසි බස හැසිර වූ අයෙක්, රෙදි පිළි පැහැරගෙන යන කොල්ලකරුවෙකු නවතා 'ලැජ්ජා නැතිද? කොල්ල කන්න එපා, ගිනි තියලා පුච්චලා දානවා'යි කියමින් ඇවිලෙන ගිනි ජාලාවට ඇතැම් බඩු භාණ්ඩ විසි කළේය. පුළුස්සා මරා දමන ලද දෙමළ වැසියෙකුගේ සිරුරක් වීදියේ කෙළවර වැටී තිබෙනු මම දුටිමි. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට අයෙක් කපා කොටා ඝාතනය කොට තිබූ අතර ඔහු නුදුරේම තවත් අයෙක් පණ අදිමින් සිටියේය. කාර් රථ දෙකක් සහ වෑන් රථයක් මා ඉදිරිපිටදීම පුළුස්සා දැමුණි. වෙනත් බොහෝ වෙළෙඳ සැල් සහ කාර්යාල සංකීර්ණද ගිනිබත් කෙරුණි. ඇතැම්විට ලංකාවේ කටයුතුවලට ඉන්දියානු මැදිහත්වීම් සම්බන්ධයෙන් මෑත කාලීනව පුවත්පත් විසින් ගෙනගිය ඉමහත් ප්‍රචාරයන් නිසාදෝ ඉන්දියානු කොමර්ෂල් බැංකුවට ද ගිනි තබා තිබිණ.

ඇඳිරි නීතිය

ලේක් හවුසිය දෙසටත් අනතුරුව එතැනින් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතෙන් හැරී ලේක් හවුස් පොත්හළට යාබදව පිහිටි රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථාන ගොඩනැඟිල්ල දෙසටත් ඇවිද යන අතරතුර මම සංහාරයේ අළුත්ම අදියර දුටිමි. මඟ යනෙ’න වාහන නැවතූ මැර පිරිස් දෙමළ ජනයාට පහර දෙමින් සිටියහ. අනතුරුව ඔවුනට අයත් වාහන ගිනි තැබූ ඔවුහු ඔවුන් සතු කණකර ඇතුළු සියළු සන්තකය කොල්ල කෑහ. එම ස්ථානය පසුකර යන හමුදා ට්‍රක් රථවල නැඟීගත් සෙබළුන් අත් වනමින් මැරයන් දිරි ගැන්වූ අතර මැර පිරිස් පෙරළා ‘ජයවේවා’යි ඝෝෂා කරමින් සෙබළුන්ට ප්‍රතිචාර දැක්වූහ. පහර කෑම්වලට ගොදුරු වූ එකෙක් දෙන්නෙක් බේරා ගැනීමේ දුබල උත්සාහයක් හෝ දරන ලද්දේ පොලිස් භටයන් කිහිප දෙනෙකු පමණි. නමුත් ඔවුන් එම ස්ථානයෙන් නික්ම ගිය සැණින්, ප්‍රහාරයන් අලුත් වටයකින් ඇරඹිණ.


මම රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානයට ගොඩවැදී එහි සිටි සංගම් නිලධාරීන් කිහිප දෙනෙකු හා කතාබහ කළෙමි. ජනයා වීදිවලට රැස් කමින් සිටි අතර කාර්යාල වසා දමා තිබුණි. පස්වරු දෙකේ සිට ඇඳිරි නීතිය පැනවූ ආණ්ඩුව, සියළු පාසැල් සහ රජයේ කාර්යාල වසා දැමීමට නියෝග නිකුත් කළේය. නමුත් බස් රථ ධාවනය ඇණ හිට තිබූ අතර ඒවා බොහෝමයක් ඩිපෝ කරා ගෙනගොස් එහි ගාල් කරනු ලැබිණ. පෞද්ගලික බස් රථ කිහිපයක් අතරින් පතර ධාවනය වූ නමුත් ඒවායේ අතොරක් නැතිව මගීහූ පිරී සිටියහ. කළ හැක්කේ කුමක්දැයි අපි කතිකා කළෙමු. සියයකට වැඩි මැර පිරිසට සාපේක්‍ෂව හය හත් දෙනෙකු වූ අපට ඵලදායී කිසිවක් කළ නොහැකි වූයේ අපරාධයන්ට සහභාගී නොවී සිටි නරඹන්නන් ද මැරයන්ට සහාය පළ කළ නිසාවෙනි.

දහවල් 12.30 වන විට සැම අතකින්ම දැවැන්ත ගිනිදැල් බුර බුරා නඟිමින් තිබූ අතර මුළු මහත් කොළඹ නගරයම ගණ කළු දුමාරයක් විසින් ගිළගනු ලැබ තිබුණි. මට මුණ ගැසුණු දිවයිනේ නන්දෙසින් කොළඹට ආවුන් සියල්ලන් කියා සිටියේ කොල්ලකෑම්, ගිනි තැබීම් හා හිංසන ක්‍රියා පිළිබඳ එකම කතාවකි. ඇතැම් තැනෙක දෙමළ ජනයා මරා දමනු ලැබ තිබූ අතර පොදුවේ බො‌හෝ දෙනා වර්ගවාදී භාවෝන්මාදයෙන් ඔත්පලව සිටියහ. මැඩලිය නොහෙන සේ මා තුළම නැඟ එන ජුගුප්සාව මට දැණින. කිසිත් කරකියාගත නොහැකි වීමේ දුබලකමින් මම දුර්මුඛ වීමි. නමුත් ඒ වැනි මොහොතක උකටලීභාවයෙන් පලක් නැති බව මට පසක් වී තිබුණි.

බෙදා හදාගෙන කොල්ලකෑම

මා පෙරළා කොළඹ කොටුව දෙසට ඇවිද එනවිටත් මාවත් අවුරමින් රැස් කමින් සිටි ජනයා දහවල් දෙකට පැනවෙන ඇඳිරි නීතියට පෙර නිවෙස් කරා යා හැකි මං සොයමින් ඔබ මොබ දිවූහ. මෝදර දක්වා දිවෙන බස් නැවතුම කරා ඇවිද ගියද එහි එකදු බසයක් හෝ නොවීය. සෙස්සන් අනුගමනය කරමින් මෝදර දෙසට පයින් ඇවිද යන්නට මම ඉටා ගතිමි. පැහැරගන්නා ලද රෙදි කච්චිද, විස්කි, බ්‍රැන්ඩි සහ බීර බෝතල් ද, සහල් සහ සීනි මලුද කරා තබාගෙන යන කොල්ලකරුවෝ මඟ යනෙ’න ලොරි බලහත්කාරයෙන් නවතා තමන් ද කැටුව යන මෙන් රියැදුරන්ට බල කළහ. හැම අතකම දක්නට වූයේ එකම දසුනකි. කොල්ල කෑ නිවෙස්ද, උඩුකුරුව පෙරළා දැමූ මෝටර් රථ ද ගිනිබත් කොට තිබූණි. කලබලයක සේයාවකුදු දක්නට නොවූයේ කොච්චිකඩේ ජම්පටා වීදියේ ය. එහි සංකේන්ද්‍රණය වී ජීවත් වූ දෙමල ජන බහුතරයක් සාමාන්‍යයෙන් රළු හා ප්‍රචණ්ඩ ගති ස්වභාවයන් ඇති බවට විශ්වාස කෙරුණු නිසාදෝ නිහඬතාවය රජැයූ එකම ප්‍රදේශය එය විය.

කොටහේන සහ හෙට්ටියාවත්තේ නිවෙස් ගිනි ජාලාවන්ගෙන් වැසී තිබිණ. කොල්ලකරුවෝ මග යන එනවුන් නවතා තමන් කොල්ල කෑ දෑ බෙදා ගන්නට බල කළහ. පිරිමින්ද, ගැහැණුන්ද, ළමුන්ද අඩුම වශයෙන් බිස්කට් පැකට්ටුවක් හෝ නිවෙස් කරා ගෙන ගියහ.

මම අලුත් මාවත දෙසට එනවිටත් එහි වැසියෝ සිය නිවෙස්වලින් පිටත ඒකරාශී වෙමින් සිටියහ. තරුණයන් ප්‍රමුඛ සෙසු පිරිස් පහරදීම් සඳහා උචිත ඊ ළඟ ඉලක්කය සොයාගනු වස් ඔබ මොබ දිවූහ.☐

ප්‍රධාන සේයාරුව: කොටුව යෝක් වීදියේ විනාශ කළ ගොඩනැගිලි - 1983 ජූලි

මෙම ලිපියේ දෙවැනි කොටස: දැන් කළ හැක්කේ මනුෂ්‍යත්වය යළි එන තෙක් බලා හිඳීම පමණි’

© JDS