58 මැයි: නගරය මැදින් ගලන ස්මිත් ඇලේ ඒ මිනී පාවී ගියේය

1958 දෙමළ විරෝධී කෝළාහල ඇවිළ ගියේ මැයි මාසයේ 22 වැනිදා ය. සමාන පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය ඉල්ලීම හේතුවෙන් බහුතරයේ අධිපතිවාදය විසින් දෙමළ ජනයාගේ ජීවිත සමූහ වශයෙන් බිලි ගැනීම ආරම්භ වූයේ දැවැන්ත යුද්ධයක් ඇවිළ යාමට විස් පස් වසරකටත් පෙර බව දකුණේ වික්‍රමාන්විත ඉතිහාස කතා ලියන්නෝ නොලියති. 1958 දෙමළ ජනයාට එරෙහිව දිවයින පුරා ඇවිළ ගිය සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා ඒ නොකියන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි.

මැයි මාසයේ 22 වැනිදා ඇවිළ ගිය ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සතියක් තිස්සේ පැතිර යන්නට ඉඩ හළ බණ්ඩාරනායකගේ ආණ්ඩුව අවම වශයෙන් 300කට වැඩි ජීවිත හානි සිදු වූ පසු ජූනි පළමුවැනිදා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළේය. බුර බුරා නැඟ ආ ප්‍රචණ්ඩ ක්‍රියා පළමුව උතුරු මැද පළාතත්, දෙවනුව කොළඹ සහ වෙනත් පළාත් කරාත් පැතිර ගියේය. මේ අතුරින්, උතුරු මැද ගොවි ජනපද ප්‍රදේශ කේන්‍ද්‍ර කොටගෙන පැන නැඟුණු ම්ලේච්ඡ සැහැසිකම් ඉතිහාසයේ මාවත තීරණාත්මක ලෙස වෙනස් කෙරුවාට සැක නැත.

ආණ්ඩුකාර ශ්‍රීමත් ග්‍රීම් තොම්සන්ගේ පිටුබලය සහිතව ඩී එස් සේනානායකගේ මුලිකත්වයෙන් මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ 1933 දීය. “Seeing Ceylon” කෘතිය ලියමින් ආර්.එල් බ්‍රෝහියර් මෙසේ ලියයි. “1933 වසරේ එක් දිනක කෘෂි කර්ම ඇමති පිරිවරා ගත් 400ක පිරිසක් තම පාරම්පරික ගම්බිම් හැර පියා මින්නේරිය බලා පිය නැගූහ”

2006 ඔක්තෝබරයේ 'දියැස' සඟරාවට මේ සටහන ලියු කෘතහස්ත ලේඛකයෙකු වන ආරියරත්න සුබසිංහ ඒ මුල් පරම්පරාවේ දෙවැනි පුරුකකි.

සේයාරුව: දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර ගිය කොළඹ නගරයේ දෙමළ ජාතිකයෙකුට පහර දෙන සිංහල පිරිසක් - 1958


ක් දහස් නවසිය පනස් අ‍ටේ සිංහල - දෙමළ වර්ගවාදී අරගලවලින් මින්නේරිය ගොවි ජනපදයත්  ලෙයින් නෑවී ගියේය. වීර සිංහල හමුදාව යැයි තමන් විසින්ම හඳුන්වා ගත් කැති, කඩු, මුගුරු ගත් පිරිස් විසින් මිනේරියේත් පාලනය භාර ගෙන තිබිණි. එදා සංවිධානය වී රංචු පිටින් ගොස් නිරායුධ දෙමළ මිනිසුන් මරා දැමීම පිළිබඳ මුල්ම වාර්තාව ඉහළට ගියේ පොළොන්නරුව  දිසාපති ඩෙරික් අලුවිහාරේගෙන් බව ඒ වෙද්දී අග්‍රාමාත්‍ය ලේකම් ධූරයේ කටයුතු කළ බ්‍රැඩ්මන් වීරකෝන් කියයි.

උක් වගාවේ දඩබිම

'ආණ්ඩුවත්ත' යැයි කියන හිඟුරක්ගොඩ රජයේ ගොවිපලේ සේවය කළ දෙමළ ජාතිකයන් සිය ගානක් කපා කොටා මරණ ලදී. වීර සිංහල හමුදාව කොයි වෙලාවේ හෝ එන බව ආරංචි වී දෙමළ මිනිස්සු ගොවිපළේ උක් වගාව අස්සට ගොස් සැඟ වී සිටියහ. කතාව දැන ගත් වීර සිංහල සේනාවන් කරන ලද්දේ, හතර වටින් වට කර උක් වගාවට ගිණි තැබීම ය. ඇඳ සිටි ඇඳුම්වලට ගිනි ඇවිලී  පණ බේරාගන්නට වගාවෙන් එළියට පැමිණි වුන්  දුවද්දී පස්සෙන් පන්නා කැති ගාන ලදී.

නගර මැදින් ගලන "මහ ඇලේ" (ස්මිත් ඇලේ) ඒ මිනී පාවී ගියේය. එහි ජලය තනිකර රතුපාට වී තිබුනේ මිනිස් රුධිරයෙනි.

හිඟුරක්ගොඩ නගරයේ තිබුණු දෙමළ කඩ සියල්ල මෙහෙයුම ඇරඹි පැයක් ඇතුළත කොල්ල කා හමාර විය. නගර මැද්දේ දෙමළ ජාතිකයෙක් පණ පිටින් පුළුස්සා මරණ ලද්දේ ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලා දෙපා නමදිද්දී ය.

පිච්චී කර කුට්ටන් වී යද්දී ඔහු නැගූ  විලාපයෙන් නගරය පමණක් නොව, ඇසු දුටු අයගේ හදවත් ද දෙදරුම් කෑවේය. පොලිසිය අසරණ වී බලා සිටියේය.

'හරි, අපේ ආණ්ඩුව අපිට අත තියන් නෑ' යි කියා හුරේ දමමනින්  වීර සිංහල හමුදාව ක්‍රියාන්විතයේ යෙදුණි.

පොලීසියේ රතු කට්ට

පොළොන්නරුවේ පුරා විද්‍යා රක්‍ෂිතවල කැණීම් කටයුතු ආදිය කරන්නට එකල සිටි කම්කරුවන් හා වැඩ අධීක්‍ෂකයන් දෙමළ හා මුස්ලිම් අය වුහ. වස් වදින, බහිරව බිළි ගන්නා කථා කියා සිංහල-බෞද්ධ ජනතාව ඒ රැකියා භාර ගත්තේ නැත. පුරා විද්‍යා වැඩබිම්වල සිටි දෙමළ අයටත් එදා වුණේ හිඟුරක්ගොඩ රජයේ ගොවිපලේ සිටි අයට වෙච්ච දේමයි.

'වීර සිංහල හමුදාවට පළවෙනි වෙඩිල්ල තිබ්බෙත් පොළොන්නරුවේදී' යැයි හෙන්දිරික් මාමා කියයි.

"පණ බේරා ගත්ත දෙමළ මිනිස්සු ටික රැක ගෙන තඩි මැෂින් තුවක්කුවක් අටව ගෙන සුදානං සරීරෙ කියලා හිටියට කාටවත් වෙඩි තිබ්බේ නෑ. සිය ගානක් වීර සිංහල හමුදාව පොලිසියට කෝචෝක් කර කර ලෝඩ්ල වගේ සිගරට් උර උර වෙරි මර ගාතෙ එහා මෙහා ගියා. අන්තිමේ පොලිසියේ රතු කට්ට පැන්නේ  වෙඩි තියපිය යකෝ මගේ පුකට කියල එක වීරයෙක් සරම උස්සල පස්ස පෙන්නපු වෙලාවේ. හරියට ඒ කියපු තැනටම වෙඩි තිබ්බා. බුදු අම්මෝ කියාන වීරයා ඇදන් වැටුණා."

දෙවැනි වෙඩි වටයක් පත්තු කරන්න අවශ්‍ය නොවීය. වීර හමුදාව ආයේ නො එන්ටම විසිර ගියහ.

ටාසි විටාච්චිගේ සාක්‍ෂිය

ඒ කිසි අපරාධයකට එකම එක ජානපදිකයෙක් හෝ හවුල් වුණේ නැති බව මැග්සේසේ සම්මානලාභී පුවත්පත් කලාවේදීයෙකු වූ ටාසි විට්ටච්චි කියයි. ඔහු ලියු Emergency 58 ; The Story of the Ceylon Race Riot පොතේ ඒ බව පැහැදිලිව කියා තිබේ. අදාළ ජේදය මෙසේය.

“මෙම කලබල අවස්ථාවේ පැහැදිලිවම පෙනී ගිය එක් විශේෂ ලක්‍ෂණයක් නම් දීර්ඝ කාලයක් එහි විසු සිංහල ජනපදවාසින් මේ කැරලිවලට සහභාගී නොවූ බව ය. පෙර කී හමුදාව සම්පුර්ණයෙන්ම වාගේ හැදී තිබුණේ රජයේ කම්කරුවන් සහ රජයේ ඉඩම් වල බලහත්කාරයෙන් පදිංචි වී සිටි ජනපදයේ හරි හැටි මුල් ඇද නොසිටි අයගෙනි.”

අගමැතිවරු හත් අට දෙනෙකුටම ලේකම්කම් කර ලෝක වාර්තාවක් තැබූ සිවිල් පරිපාලන නිලධාරියා, බ්‍රැඩ්මන් වීරකෝන් කියන්නේ ඒ අමනුස්සකම් කළේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරුවන් බව ය.

ඒ කතා එසේ ලියා තිබු මහත්වරුන්ට මින්නේරියේ හා පොලොන්නරුවේ කාගේත් ගෞරවය හිමිවිය යුත්තේය.

තම ජිවිත පරදුවට තබා, ගෙවල් ඇතුළේ දෙමළ ජාතිකයන් හංගා තබාගෙන රකින්නට තරම් ඒ කොළණිකාරයෝ ළඟ මනුස්සකම් තිබිණි.☐

ආරියරත්න සුබසිංහ


© JDS