ධර්මරත්නම් සිවරාම්: දුර්ලභ කැරිස්මාවක් සහිත මිනිසෙක්

ධර්මරත්නම් සිවරාම් ඝාතනයට ලක් වී දස වසරක් සම්පූර්ණ වූයේද රිචඩ් ද සොයිසා ඝාතනයට විසි පස් වසරක් සපිරෙන මේ වසරේදී ය. පැහැරගෙන ගොස් මරා දමන ලද රිචඩ්ගේ සිරුර හඳුනාගැනීමට ගිය සිවරාම්, ඉන් පහළොස් වසරකින් පසු එපරිද්දෙන්ම පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණි. මේ දෙදෙනාම සමීපව ඇසුරු කළ ජනමාධ්‍යකරුවෙක් වූ 'දි අයිලන්ඩ්' හා 'සන්ඩේ අයිලන්ඩ්' පුවත්පත්වල හිටපු සංස්කාරක හා 'සන්ඩේ ලීඩර්' පත්‍රයේ උපදේශක කර්තෘ ගාමිණී වීරකෝන්, සිවරාම්ගේ මරණයෙන් සතියක් ඇවෑමෙන් ඔහු පිළිබඳ සිය මතක සටහන් Siva - A man with rare charisma මැයෙන් ලියා තැබුවේය. එමඟින්, සිවරාම් දැන හඳුනාගැනීමට රිචඩ් ආධාරකයක් වූ ආකාරය ගැනත්, දෙමළ සන්නද්ධ සටන්කරුවෙකුගේ සිට විශිෂ්ඨ විශ්ලේෂකයෙකු දක්වා සිවරාම්ගේ රූපාන්තරණය ගැනත් තමන් දැන සිටි තතු රමණීය ලෙස චිත්‍රණය කරන්නට ඔහු සමත් විය.

රිචඩ් ද සොයිසා ඝාතනය සමරන අතරේම ධර්මරත්නම් සිවරාම් ඝාතනය සාධාරණීකරණය කරනවුන් බහුල රටක, ගාමිණී වීරකෝන් විසින් ලියන ඉතිහාස කතාව වැදගත් ප්‍රශ්නයක් මතුකරයි: තමන් පිළිගත් මූලධාර්මික ස්ථාවරයන් දිවි දෙවැනි කොට සුරැකි දේශපාලන හා වෘත්තීය මිතුරන් වූ රිචඩ් හා සිවරාම්, 'එක ජාතියක මිනිස්සු' වශයෙන් වටහාගන්නට අපේ සමාජය තුළ තර්ක බුද්ධියක් පහළ වනු ඇත්තේ කවදාද?

2005 මැයි 08 'සන්ඩේ ලීඩර්' පුවත්පතෙනි (සිවරාම්ගේ සේයාරුව ලබා දුන් ෆ්‍රාන්සස් හැරිසන්ට ස්තූතියි.)


ර්මරත්නම් සිවරාම් හෙවත් තරාකීගේ ඛේදනීය මරණය සම්බන්ධයෙන් කොළඹ ජනමාධ්‍යයන්හි බොහෝ පිරිස්වලින් නැඟෙන ශෝකය පලකිරීම් සුවිශේෂී වන්නේ, ඔහුගේ දේශපාලන දෘෂ්ටිවාදය ඔහු වෙනුවෙන් ශෝකවන මේ සිංහල අනුකම්පකයන්ගෙන් බෙහෙවින් වෙනස් එකක් වූ බැවිනි. එතෙකුදු වුවත්, විශේෂයෙන් ඔහු අවසන් වසර කිහිපයේ දී ලියූ දෑ සැළකීමේදී ඇතැමුන් ඔහුගේ චින්තනය හා එකඟ නොවුණත්, සිය පාඨකයන්ගේ උද්‍යෝගීමත් අවධානයත්, ගෞරවයත් හසුකරගන්නා තේරුම් කළ නොහැකි කිසියම් ගුණයක් මේ නිහඬ මිනිසා සතු විය

සිංහලයන් අතරේ වෙසෙමින්ම සිංහල විරෝධී නිර්දය ත‍්‍රස්තවාදී සංවිධානයකට එළිපිට සහාය පලකරමින් තමන්ගේම මඟක් ගත්තේ වුවද, ඔහු කෙරේ දයාවක් හා ඇගයීමක් විය. ඊට හේතුව ප‍්‍රජාතාන්ත‍්‍රීය දේශපාලනය තෝරාගත් හිටපු ගරිල්ලා සටන්කරුවෙක් හා ප්ලොට් සංවිධානයේ හමුදා අණදෙන්නා වශයෙන් ඔහු සතුව පැවැති අතීත පෞරුෂත්වයද, නැතිනම් ඔහුගේ සරල අවංකභාවය හෝ වෙනස් අදහස් තේරුම් ගැනීමෙහි ලා ඔහු සතු වූ හැකියාවදැයි අනුමාන කිරීම අපහසු ය. කාලවර්ණ, මධ්‍යම ආරෝහ පරිණාහයෙන් හෙබි, උපැස් පැළැඳි සිවා සතුව නිසැකවම අති දුර්ලභ කැරිස්මාවක් විය.

රිචඩ් හා සිවරාම්

1989 වසරේ දිනයකි. පසු කලෙක සිවා සේම ඛේදණීය මරණයකට මුහුණ පෑ රිචඩ් ද සොයිසාගෙන් පුදුමයකට මෙන් මට දුරකතන ඇමතුමක් ලැබිණි. උතුරු නැගෙනහිර ගැටුම පිළිබඳ අත්‍යන්තයෙන්ම දැනුවත් තීරු ලිපි රචකයකුට 'අයිලන්ඩ්' පත‍්‍රය කැමැතිදැ’යි ඔහු මගෙන් විමසී ය. රිචඩ් හා මා කිසිදු පොදු සාම්‍යයක් නැති හුදු දැන හඳුනන්නන් පමණක් වූයෙන් මම විමතියට පත්වීමි. එහෙත් ඔහු මගේ සැකය දුරු කළේ ය.

ඔහු මෙවැනි යමක් කීවේ ය. "මං දන්නවා ඔබත් මාත් බොහෝ දේවල් ගැන එකඟ නෑ කියලා. ඒ වගේම මේ තීරු ලිපි රචකයාත් ඔබ හිතන විදියත් එක්ක යන්නේ නෑ. ඒත් අපි දන්නවා ඔබේ පුවත්පතේ විවිධ අදහස් - ඔබේ කර්තෘ මණ්ඩල දැක්මට පවා විරුද්ධ මත පවා - පළවෙනවා කියා," ඔහු කීය.

අපි දින කිහිපයකට පසු කලා මධ්‍යස්ථාන අවන්හලේ දී (Art Centre Club) හමුවීමු. ඒ මෙයින් වසර 18කට ඉහතදී ය. සිවා සාකල්‍යයෙන්ම පාහේ තාරුණ්‍යයක් විදහා පෑය. ඔහු රැකියාවක් සොයා යන  ඕනෑවට වඩා උද්‍යෝගීමත් පුද්ගලයෙක් වූයේ නැත. හේ සංක්ෂිප්තයෙන් කීවේ තමන්ට උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට සතිපතා තීරු ලිපියක් ලිවිය හැකි බව යි. අපි එවකට උතුරු නැගෙනහිර පැවැති තත්ත්වය පිළිබඳව කතාකළෙමු. මම ඔහුගේ දැනුම හා සිදුවීම් පිළිබඳ ඔහු දුන් අර්ථකතනයන් ගැන බෙහෙවින් පැහැදුණෙමි. එකල අප පුවත්පතේ නිදහස් ලේඛකයකුට ගෙවිය හැකි ඉහළම ගාස්තුව ඔහුට ගෙවීමට මම ඉදිරිපත් වීමි.

'තරාකි'ගේ උපත

තීරු ලිපියට ආරූඪ නාමයක් සොයාගැනීම ඔහු මට භාරකළ අතර, ඔහුගේ අනන්‍යතාව රහසිගතව තබාගැනීමට අප දෙ දෙනාටම අවශ්‍ය වූයෙන්, මම ‘තාරකි’ 'Tharakki' නම් ස්තී‍්‍ර නාමය ඔහු වෙනුවෙන් යෙදීමට තීරණය කළෙමි. එහෙත් යමකට තමන්ගේ දායකත්වය ද එක් කිරීමට රිසි වන උප සංස්කාරකවරුන් අතින්, සංස්කාරකවරුන්ගේ මනාව සැදූ සැළසුම් විසුණු කොට දැමෙයි. මුද්‍රණයෙන් එළිදුටු ලිපියේ මා දුටුවේ ලේඛකයාගේ නම 'තරාකී' Tarraki ලෙසිනි. ඒ බලයෙන් පහ වූ හිටපු ඇෆ්ගන් ආඥාදායකයාගේ නම ය. සිවා එයින් කුල්මත් වූ අතර අපි එය එලෙසින් ම තිබෙන්නට හැරියෙමු. ඒ ආරූඪ නාමය අවසානයේ අද තිබෙන තරාකී Taraki දක්වා එන තෙක්, එතැන් පටන් විවිධාකාර හැඩහුරුකම් ගත්තේ ය.

මගේ මතකය නිවැරැදි නම්, ඔහු ගේ පළමු ලිපිය වූ "දෙමළ ජාතික හමුදාවේ යුද උපාය මාර්ග" මගින් දේශපාලන, මිලිටරි, රාජ්‍ය තාන්ත‍්‍රික, ජනමාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන කවයන් සේම, ඒ ඇතැම් සංවිධානවල සිටි කුලී ඔත්තුකරුවන් ද ඇතුළු සියල්ලන් තුළ සන්ත‍්‍රාසයක් ජනිත කළේ ය. අප කාර්යාලයේ සේවය කළ, හමුදාවේ කුලී ඔත්තුකරුවෙකැ’යි මා සැකකළ පුද්ගලයෙක් ද ඇතුළු බොහෝ දෙනා ද ඒ ගැන විපරම් කරන්නට වූහ. මේ පුද්ගලයා ජනමාධ්‍යවේදියෙක් නොවූ අතර ‘කර්නල් බ්ලිම්ප්’ නමින් හැඳින්විණි. ඔහු මගෙන් ලේඛකයාගේ අනන්‍යතාව විමසා සිටි අතර, මම ඔහු ගණන් නොගනිමින් අනන්‍යතාවන් රහසිගතව තබාගැනීමේ ජනමාධ්‍ය ප‍්‍රතිපත්තිය මතක්කර දුනිමි. ඔහු කෝපයෙන් ඉවත ගියේ ය. එහෙත් මා ගැන ‘ඔත්තු බැලීමට’ ඔහුට  ඕනෑතරම් සම්පත් තිබුණු අතර, මගේ කාර්යාලයට පැමිණෙන්නන් ගැන ඔහු විපරමින් සිටියේ ය. සතිපතා සිය ලිපිය රැගෙන ඒමට පුරුදුව සිටි සිවා ඔහු සති කිහිපයක් ඇවෑමෙන් හඳුනාගත්තේ ය. ඇතැම්හු ඇවිස්සුණු මතිමතාන්තර සහිතව දැන් තම තමන් සම්බන්ධ කරගෙන තමන්ගේම නිර්වචන ගොඩනඟාගෙන තිබුණත්, තරාකීගේ සැබෑ අනන්‍යතාව එළිදරවු වූයේ එලෙසිනි.

ජනප්‍රිය මාධ්‍යකරුවෙක්

මට සිවාගේ ලිපිය සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් නොවී ය. ඔහු පැහැදිළි ලෙසම මගේ මනස කියැවූ අතර, නීතිමය පැත්තෙන් මගේ සීමාසහිතකම් සේම එල්ටීටීඊය සම්බන්ධයෙන් හා ඉන්දියානු මැදිහත්වීම සම්බන්ධයෙන් මගේ හැඟීම් ඔහු දැන සිටියේ ය. දෘෂ්ටිවාදාත්මක කාරණා ලිවීම බොහෝවිට පසෙකින් තැබූ ඔහු, ඒ වෙනුවට යුද උපාය මාර්ග හා කි‍්‍රයාන්විත ගැන ලීවේ ය. ඒ ලියැවිලි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, රාජ්‍ය රහස් පනත, මහජන ආරක්‍ෂණ පනත වැනි නීතිවලට ඉතා සමීපයෙන් යාත‍්‍රාකරමින් තිබූ නමුත් අවදානම ගැනීමට මම කැමැති වීමි. ඔහු ‘දි අයිලන්ඩ්’ පත්‍රය සමඟ රැඳීසිටි සමස්ත කාලය මුළුල්ලේම මට කිසිදු ප‍්‍රශ්නයක් ඇති නොවූ අතර, ඔහුගේ කොලම බරපතල ලෙස සංස්කරණයට ලක්කළ එකම අවස්ථාවක්වත් මගේ මතකයට නොනැඟෙයි.

‘දි අයිලන්ඩ්’ හි සිටි වසර කිහිපයේදී සිවා උතුරු නැගෙනහිර කටයුතු පිළිබඳ පේන කියන්නකු ලෙස සැලකුම් ලබන තත්ත්වයට පත්විය. ඔහු වඩාත් ජනකාන්ත විය. සිවාට ඇමරිකානු ආණ්ඩුවෙන් ජාත්‍යන්තර ආගන්තුක වැඩ සටහන් සංචාරක ප‍්‍රදානයක් (IVP travel grant) ලැබී ඔහු එය පිළිගත්තේ ය. ආපසු පැමිණ සිය ඇමරිකානු සංචාරය ගැන ලිවීමට පොරොන්දු වී ඔහු පිටත්ව ගියද, එය සිදු නොවිණි.

සිය එක්සත් ජනපද සංචාරයෙන් පසු ඔහු කැනඩාව බලා ගියේ ය. එක් රාත‍්‍රියක මට කැනඩාවෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ ‘දි අයිලන්ඩ්’ හි හිටපු ජනමාධ්‍යවේදියෙක් වූ ඩී බී එස් ජෙයරාජ්ගෙන් වූ අතර, ඔහුට ඔටාවාහි දී සිවා මුණගැසී තිබුණි. දෙදෙනාම මහත් උද්යෝගයෙන් සිටි අතර, මා සමඟ වැඩකළ කාලය ගැන ඔවුහු බෙහෙවින් ඇගයූහ. දෙමළ සගයන් දෙදෙනෙක් මා සමඟ වැඩකළ කාලය අගය කිරීම ගැන මම මහත් ප‍්‍රීතියට පත්වීමි. මේ අගැයුම වනාහී, මා සිංහලයන් ද ඇතුළත් සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට සහාය දක්වමින් ලියන බැවින් හා මගේම ජනතාවට නිග‍්‍රහ නොකරන බැවින් මුරණ්ඩු ලෙස මා ජාතිවාදියෙක්ය’යි හඳුන්වන බොළඳ නොමේරූ සිංහලයන්ගේ ප‍්‍රතිචාරයන්ගෙන් නිසැකවම ප‍්‍රබෝධකර වෙනසක් විය.

දිළිඳුව මිය යාම

අනතුරුව සිවා ලන්ඩනයට ගියේ ය. එහිදී ඔහුට බි‍්‍රතාන්‍ය රූපවාහිනී සමාගමක සේවයේ නියුතුව සිටි ප‍්‍රබල එල්ටීටීඊ ක‍්‍රියාධරයකු වූ දෙමළ ජනමාධ්‍යවේදියකු මුණගැසුණු බව මම විශ්වාස කරමි. සිවා මට මේ ජනමාධ්‍යවේදියා කොළඹ දී හඳුන්වා දුන් අතර, මේ පුද්ගලයා සිවාගේ දේශපාලන චින්තනය මත දැඩි බලපෑමක් ඇති කර තිබෙන බව පෙනුණි. සිවා කලින් තමන් එල්ටීටීඊය සම්බන්ධයෙන් දරමින් සිටි මැදහත් ආස්ථානය ලන්ඩනයේ සිටි කාලයේ දී එම සංවිධානය වෙතට නැඹුරු එකක් බවට පත්කරගත් බව මම විශ්වාස කරමි.

ඔහු ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණ වෙනත් පුවත්පත් ආයතනයකට සම්බන්ධ වූ අතර, ඒ වනවිට ඔහුගේ ලියැවිලි ධනාත්මක ලෙස එල්ටීටීඊ හිතවාදී විය. ඔහු අනතුරුව ‘නෝත් ඊස්ට් ජර්නල්’ ද අවසානයේ ‘ටැමිල්නෙට්’ ද සංස්කරණය කළේ ය.

සිවා හොඳ ජනමාධ්‍යවේදීන් සියල්ලන්ටම පාහේ සිදුවන පරිද්දෙන් ම දුප්පත්ව මිය ගියේ ය. ජනමාධ්‍යවේදීන් ඛේදනීය ලෙස මියයන විට මුළුමහත් ජාතියම වැළපෙන නමුත්, ඊළඟ දවසේ ඔවුහු ඔවුන් අමතක කර දමති. සිවා ලිපි ලියන ප‍්‍රමාණයට ගෙවුම් ලැබූ නිදහස් ජනමාධ්‍යවේදියෙකි. ඔහුට විශ‍්‍රාම වැටුපක් හෝ අර්ථසාධක අරමුදලක් නැත. ඔහු නිසැකවම මේ රටේ ඉතිහාසයේ කොටසක් බවට පත්වන සහ ඔහු ලියූ පුවත්පත් අයත් සමාගම්වල ලාභය බවට පත්වන සිය ලියැවිලි පමණක් තබා ගියේ ය. එහෙත් සිය පවුලට කිසිවක් ඉතිරිකර තබා නොගියේ ය.

ඔහු වෙනුවෙන් වැලපුණු අවමංගල්‍ය කථිකයන්ට හා ශෝක ප‍්‍රකාශකයන්ට ඔහු හැරදමා ගිය ඔහුගේ බිරිය හා දරු තිදෙනා ගැනත් සිතන්නට අවස්ථාවක් ලබාදෙමු.☐

ගාමිණී වීරකෝන්


© JDS