ධර්මරත්නම් සිවරාම්: සන්සුන් චින්තකයෙකුගේ නික්ම යාම

දෙමළ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකු විසින් පැහැරගනු ලැබූ බව අපේ‍්‍රල් 28 වෙනිදා බ‍්‍රහස්පතින්දාවේ මා දැනගත්තේ ජර්මනියේ වේලාවෙන් රාතී‍්‍ර 7.30ට පමණ ය. එතැන් සිට එළඹුණු පැය අට හමාරකට ආසන්න කාලය පුරා තවත් බොහෝ අයවළුන් සමඟ වියරුවෙන් මෙන් සිවරාම්ගේ ජීවිතය ගළවා ගැනීමට අපි කි‍්‍රයාත්මක වීමු. නමුත් සිකුරාදාවේ ජර්මනියේ වේලාවෙන් අළුයම 4.00ට පමණ සිවරාම්ගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුර හමුවූ වගට ඒ ශෝකී පණිවුඩය කොළඹින් මා වෙත ලැබිණ. ඒ පණිවුඩය කියාගත නොහැකිව සිය දුරකථන ඔස්සේ වාවාගත නොහැකි වේදනාවෙන් ඉකිබිඳින දෙමළ, සිංහල සහ යුරෝපීය හිතවතුන්ගේ සාමූහික වියෝදුක දරාගත නොහැකි තරම් එකක් විණ. ඒ, අප වටකොටගත් අපේක්‍ෂා විරහිතභාවයේ පොදු හැඟීමෙනි. සිවරාම්ගේ ජීවිතය බේරාගැනීමට ඒ හෝරා කිහිපයේ අසීමිත ලෙස වෙරගත් දෙමළ, සිංහල සහ සෙසු ජාතීන්ට අයත් කි‍්‍රයාකාරීන් සියල්ල මරණය පිළිබඳවත්, අපගේ ජීවිතවලට මෙන්ම අරගලයට විශේෂ වූ සහෘදයින්ගේ හදිසි වියෝගයන් පිළිබඳවත් අතීත අත්දැකීම්  ඕනෑ තරම් විඳ තිබිණ. නමුත් සිවරාම්ගේ මරණය මුල් කොට ඇවිළ ගිය අපගේ ශෝකයේ වෙනස්කමක් තිබිණ. ඒ වනාහී සිවරාම්ගේ මරණය විසින් නියෝජනය කළා වූ යථාර්ථයන්ට අදාළ වූවකි.

‘මහා මාධ්‍ය’ විසින් පාලනය කරනු ලබන ලෝකයක දෙමළ ජාතික අරගලය පිළිබඳ යථාර්ථයන් ලෝකයට අනාවරණය කිරීමේදී සිවරාම් හැම අතින්ම සාර්ථක වූයේය. පීඩිතයින්ගේ හඬ අවශේෂ ලෝකයට ඇසීම වළක්වනු පිණිස කි‍්‍රයාත්මක මාධ්‍ය ප‍්‍රබන්ධන් විසින් පාලනය වන ලෝකයක සිවරාම්ගේ සාර්ථකත්වය වූ කලී අතිශයින් උද්වේගජනක ජයග‍්‍රහණයකි. සිවරාම්ගේ මරණය විශේෂිත සංවේගයක් දනවනුයේ ඔහුගේ මරණය සිදුවන විට හෙතෙම සිය ශක්තීන් කූටප‍්‍රාප්තියට මෙහයවා සිය කාර්යයන් සියළු පැතිමානයන් ඔස්සේ පෙරට විහිදුවමින් තිබූ නිසාය. විශ්ලේෂණාත්මක කුසලතාවත්, සුපැහැදිලි රචනා ශෛලියත්, මාධ්‍ය පිළිබඳ තියුණු අවබෝධයත්, ඔහු විසින් ප‍්‍රතිරාව කළ හඬ හිමි පීඩිත දෙමළ ජනයාගේ සංස්කෘතික පදනම් පිළිබඳ වූ ගැඹුරු වැටහීමත්, ලෝක පරිමාණව කි‍්‍රයාත්මක ආර්ථික, දේශපාලන හා මිලිටරි බලවේගයන් පිළිබඳ වූ තේරුම්ගැනීමත් එක්තැන් කළ අසාමාන්‍ය පෞරුෂයක් සහිත සිවරාම් අන්තර් ජාලය වැනි නූතන මාධ්‍ය විසින් සම්පාදනය කොට ඇති තාක්‍ෂණික ඉඩ ප‍්‍රස්ථා පිළිබඳ සමීප ඥාණයක් හිමි අයෙකු විය. ලොව පීඩිත සියලු ජනයාට මූලාදර්ශයක් කොට සැළකිය හැකි ‘ටැමිල් නෙට්’ වෙබ් අඩවියේ සාර්ථකත්වය සඳහා ඔහු විසින් ඉටුකළ කාර්‍යභාරය ගිණිය නොහැකි තරම් ය.

ක්‍ෂුද්‍ර සම්භාව්‍ය රචනා

ඔහු ඉටුකළ වැඩකොටස බහුවිධ මානයන් සහිත එකකි. ශී‍්‍ර ලාංකීය ප‍්‍රධාන ධාරාවේ පුවත් පතක් වූ ‘ඩේලි මිරර්’ පුවත්පතට ඔහු විසින් සති පතා ලියන ලද ලිපිය, එම පුවත්පතේ කර්තෘවරයා විසින්ම ප‍්‍රකාශ කළ ආකාරයට ‘සුවිශාල අනුගාමිකත්වයක්’ සහිත විය. එහි අන්තර්ජාල සංස්කරණය කියවීම සඳහා සෑම බදාදාවකම ලොව පුරා ශී‍්‍ර ලංකාව පිළිබඳ උනන්දුවක් දැක් වූ බොහෝවුන් නොඉවසිල්ලෙන් සිටියහ. ඔහු අවිවාදයෙන්ම ලොව විශිෂ්ඨතම යුද විශ්ලේෂකයෙකු වශයෙන් පිළිගැණින. ඔහු විසින් ලියන ලද බොහෝ කෙටි ලිපි වූකලී ක්‍ෂුද්‍ර මට්ටමේ සම්භාව්‍ය රචනා සේ සැළකිණ. ඒවා ගැඹුරින්ම විද්‍යාත්මක වූ අතර සරල හා සුගම ශෛලියෙන් ලියැවී තිබිණ. ඔහුගේ දේශපාලන ලිපි තුළ කෙතරම් තියුණු සහ දෝෂ රහිත තර්කනයක් අන්තර්ගත වීද යත්, ඔහුගේ අදහස්වලට එරෙහිවූවන් පවා එකී ලිපි කියවීමට මෙන්ම ඒවා වින්දනයටත් රුචි කළහ. නමුත් ඔහු ඒ පිළිබඳ අහංකාරයකින් නොපෙලුණේය. වරක්, ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වූ දෙමළ දේව ධර්මවේදියෙකු වන මහාචාර්ය එස් ජේ එම්මෑනුවෙල් පියනම සිවරාම්ගේ ගැඹුරු ආලෝචනාවන් පිළිබඳ ප්‍රසාද මුඛයෙන් කතා කළේය. 'ෆාදර්, මම පරිඝනකයක් ළඟ ඉඳගෙන හොයා ගන්න තොරතුරු ටික එකට ගොණු කරන සාමාන්‍ය මනුස්සයෙක්' යැයි සිවරාම් කීවේ ඔහුට ආවේණික නිහතමානී බවින් ඒ කෙරෙහි සිනාසෙමිනි.

‘‘විද්‍යාව පිළිබඳ ගැටළුවලදී ලක්‍ෂ සංඛ්‍යාතවුන්ගේ අධිකාරය හා බලයට වඩා එක් මිනිසෙකුගේ සන්සුන් තර්කනය වටිනා බව’’ ගැලීලියෝ කීවේය. සිය සමකාලීන ලෝකයේ අධිගෘහිත අදහස් හා සංස්ථාපිත තත්ත්වයන් සමඟ සටන් කිරීම සඳහා ගෙවිය යුතු මිල පිළිබඳ ගැලීලියෝ මනාව දැන සිටියේය. ගැලීලියෝගේ උපන්‍යාසය නිවැරදි බව සිවරාම් සිය භාවිතයෙන්ම සනාථ කළේය.

කරුණාගේ බිඳීම

මරණයට වසරකට පමණ පෙරාතුව සිවරාම් ජර්මනියට පැමිණියේය. බලපෑම් සහගත පුද්ගලයින් කිහිප දෙනෙකු මුණගැසීම සඳහා සූදානම් කර තිබූ රැස්වීම් වාර කිහිපයකටම මම ඔහු කැටුව ගියෙමි. ති‍්‍රකුණාමල වරාය හා අත්‍යන්තයෙන්ම ගැටගැසී පවතින එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය අභිලාෂයන් විසින් සාම කි‍්‍රයාදාමය අස්ථාවර කරන ආකාරයත්, මැද පෙරදිග කලාපය තුළ එක්සත් ජනපද යුද කි‍්‍රයාමාර්ගයන්ගේ අවශ්‍යතා හා පීඩනයන් විසින් සාම කි‍්‍රයාදාමය විනාශ කිරීමට පෙර ජර්මානු ජනයා සාම කි‍්‍රයාදාමයට සහාය දැක්වීම සම්බන්‍ධයෙන් කි‍්‍රයාකාරී භූමිකාවකට මැදිහත්විය යුතු ආකාරයත් පිළිබඳ ඔහු විසින් කළ සෘජු හා ඒත්තු ගන්වන සුළු දීප්තිමත් විශ්ලේෂණයෙන් මම සැබැවින්ම විස්මයට පත්වීමි. ඇත්ත වශයෙන්ම සිවරාම් මියයන මොහොත වන විට ඔහු ප‍්‍රධාන කථිකයෙකු වශයෙන් සහභාගී වන රැස්වීම් ගණනාවක් මැයි මාසයේ අග දී ජර්මනියේ සංවිධානය කිරීමට අවශ්‍ය පියවර අපි ගනිමින් සිටියෙමු.

සිවරාම් හුදෙක් බටහිර පරිභෝජනයට ගැළපෙන පරිදි තොරතුරු සංගෘහිත කිරීමට සමත් වූ ඵලදායී ප‍්‍රචාරකයෙකු පමණක් නොවීය. ඔහු තමන් පැවත එන්නා වූ දෙමළ සමාජයේ දේශපාලනය තුළ මුල් බැසගත් අයෙක් විය. දෙමළ සමාජයේ අභ්‍යන්තර දේශපාලනය සමඟ ඔහුට පැවතියා වූ සම්බන්ධයේ ගැඹුර බාහිර ලෝකයට විදාරණය කොට පෙන්නුම් කළා වූ නිදසුන් අවස්ථාවක් වන්නේ ‘කරුණා පිළිබඳ ප‍්‍රශ්නය’ හමුවේ ඔහු විසින් සිදුකළ ආකර්ෂණීය මැදිහත්වීමයි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හැර ගිය සෙන්පතියෙක් වූ කරුණා, දෙමළ ජාතික ව්‍යාපාරය හා දෙමළ සමාජය කෙරෙහි සුවිශාල බාධකයක් බවට පත්වීමේ තර්ජනය මතු කරන ලදී. සිවරාම් මෙන්ම දිවයිනේ නැගෙනහිර පළාතෙන් ආ අයෙකු වූ කරුණා, සිවරාම් හොඳින් දැන හඳුනන අයෙකු විය. යුද සමයේ දක්‍ෂ හා දීප්තිමත් මිලිටරි නායකයෙකු වූ කරුණා නැගෙනහිර දෙමළ ජනයා අතර ඉමහත් ගෞරවාදරයට පාත‍්‍රවූවෙකි. ප‍්‍රචාරක සංග‍්‍රාමය ආරම්භ වීමත් සමඟම පාර්ශ්වික යුද්ධයක් මතුවනු ඇතැයි යන භීතිය හා ව්‍යාකූලත්වය නොවැළැක්විය හැකි ලෙස දෙමළ ප්‍රජාව තුළ නැගී ආයේය. නමුත් දෙමළ සමාජය තුළ සිවරාම් විසින් කරන ලද දේශපාලනික මැදිහත්වීම අර්බුදයේ තීව‍්‍රතාව අවම කිරීම අරභයා අතිමහත් ලෙස දායක විය. සැබැවින්ම අනතුරට පත්ව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සිවරාම් විසින් සෘජු හා දෝෂ විරහිත ශෛලියෙන් දෙමළ සමාජයට කරුණු කියා පෑවේය. අව්‍යාජ තර්කයන් හා අවස්ථාවාදී තර්කයන් අතර සුපැහැදිලි බෙදුම් රේඛාව ඔහු විසින් ඇඳ පෙන්වන ලදී. මෙම පාර්ශ්වික ගැටුම ප‍්‍රමුඛත්වයට පැමිණියහොත් ඉන් වාසි ලබනු ඇත්තේ කවුරුන්ද යන වග හෙතෙම ඉතා මැනවින් පෙන්වා දුන්නේය. සමාජයේ සංසක්තභාවය ආරක්‍ෂා කරගැනීමේ ඇති වැදගත්කමත්, දුෂ්කරතා මධ්‍යයේ දිනාගත් ජනතා පරමාධිපත්‍යය රඳවා ගැනීමේ ඇති අවශ්‍යතාවත් ඔහු විසින් තීක්‍ෂණ ලෙස පැහැදිලි කරදෙන ලදී.

කොංගෝව ගැන

ලෝකයේ බොහෝ පැතිවල සිදු වූ සමාජ බිඳවැටීම්වල ප්‍රතිවිපාක පිළිබඳ සිවරාම් සතු වූ අත්දැකීම් සම්භාරය අති විශාල විය. ඔහු ජර්මනියේ බ්‍රේමන් නගරයේ සාකච්ඡාවන්ට සහභාගී වූ දිනවල කොංගෝවේ සුවිශාල සමූල ඝාතන හා විනාශයන් මගින් බටහිර මහා පරිමාණ වෙළඳ ව්‍යාපාර ලාභ ලබන ආකාරය දීර්ඝ හා විස්තීරණ ආකාරයෙන් අප හමුවේ විග‍්‍රහ කරනු ලැබීය. ක්‍ෂුද්‍ර පරිපථයන්ට හා ජංගම දුරකථනයන්ට අත්‍යාවශ්‍ය වන අතිශයින් මිල අධික කොලම්බයිට් ටැන්ටලයිට් හෙවත් ‘කොල්ටන්’ ඛනිජය ඉතා අඩු මිලට ගැනීමට අවකාශ සළසා දීම වෙනුවෙන් බටහිර නිශ්චිත මහා සමාගම් ගණනාවක් විසින් වෙනස් බල ප‍්‍රදේශ සහිත යුද්ධාධිපතින්ට වාසි සහගත ලෙස කටයුතු කරන ආකාරය ගැන හෙතෙම අතිශයින් වැදගත් විශ්ලේෂණයක් සිදුකරන ලදී. සමාජයේ අභ්‍යන්තරික කඩා වැටීමක් තිබියදී, කොල්ටන් හා වෙනත් ඛනිජ ද්‍රව්‍ය විකිණීම සඳහා යුද්ධාධිපතීන් එකිනෙකා තරඟවැදීම විසින් අදාළ ඛනිජ මිල වේගයෙන් පහළ දමනු ලැබීම වැළැක්විය නොහැකි ය. මේ අනුව කොංගෝවේ ලක්‍ෂ සංඛ්‍යාත ජනයා මිය යාම අනිවාර්ය වන නමුත් ජංගම දුරකථන සඳහා කොල්ටන් ලාභදායී ලෙස සැපයුම බාධා විරහිතව පැවතීම ද අනිවාර්ය විය. කරුණා පිළිබඳ අර්බුදයේදී සිවරාම්ගේ මැදිහත්වීම හුදෙක් දෙමළ සමාජයේ ගැඹුරට පමණක් සීමා වූවක් නොව, ඔහුගේ ස්ථාවරයන් හා විශ්ලේෂණයන් ඉන් පරිබාහිර ලෝකයට ද පරාවර්තනය විය. සිංහලයෙකු වශයෙන් කරුණාගේ ප‍්‍රශ්නය පිළිබඳ සුවිශාල ආලෝචනාවන් මා වෙත සම්පාදනය කරගනු ලැබුවේ සිවරාම් විසින් ඉංගීසි බසින් ලියන ලද ලිපි මගිනි. එබැවින් ඔහුගේ සිතුම් සහ කි‍්‍රයාකාරීත්වයන් අතර ඒකාබද්ධතාව දෙමළ සමාජය අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් ද එක සේ පැවතිණ. ඔහු යථාර්ථය හැමවිටම එහි සමස්තය තුළ තබා විග‍්‍රහ කළේය. ස්වකීය බුද්ධිමය ස්වෛරීභාවය සිවරාම් වැදගත්කොට සළකා ආරක්‍ෂා කරගන්නා ලද්දේ දෙමළ ජනයාගේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරගැනීමේදී දැක්වූ දෘඪතාවෙන්ම යුතුවය. මේ අර්ථයෙන් සැළකූ විට සිවරාම් හුදු ප‍්‍රචාරකයෙකු නොව, සත්‍ය ගවේෂකයෙකු හා සත්‍ය වෙනුවෙන් සටන් කරන්නෙකු ද විය.

සිවරාම් ඝාතනය ලක්වන විට, ඔහු කළ කාර්යයන්ගේ එකිනෙකට වෙනස් පැතිමානයන් රමණීය ලෙස සංයෝග වෙමින් තිබුණි. නමුත් ඔහු කළ වැඩ කොටසෙහි බහුවිධ මානයන්ගේ අරුත ඔහුට බොහෝ සතුරන් සිටි බව ය. ඔහුගේ මරණයට වගකිව යුත්තේ කවුරුන්ද? ඔහුගේ ඝාතනයන් සොයා ගනු ඇතිද?

බහුවිධ සතුරන්

පසුගිය වසරේ සිවරාම් ජර්මනියේ සිටින සමයේ ඔහුගේ මිතුරෙකු වූ නඩේසන් මරා දැමිණ. ශ්‍රී ලංකා රජය මේ දක්වා කිසිදු වගඋත්තරකරුවෙකු සොයාගෙන නොමැත. ඔහුගේ තවත් සගයෙකු වූ බි‍්‍රතාන්‍ය ගුවන් විදුලියේ සේවය කළ නිමලරාජන් ඊට පෙර මරා දැමිණ. රජයට අනුව ඔහුගේ ඝාතකයන් කවුරුන්දැයි තවමත් නොදනියි. දැන් සිවරාම් ද මරා දමා තිබේ. ඔහු මරා දැම්මේ කවුරුන් විසින්ද? මා සිතන ආකාරයට එය අගතා කි‍්‍රස්ටි විසින් ලියන ලද අභිරහස් නවකතාවක් වන The Murder on the Orient Express වැන්නකි. ඊට අනුව සෑම සැකකරුවෙකුම ඝාතනයට සම්බන්‍ධ බව පෙනී යයි. සිවරාම් විසින් හෙළිදරව් කරන ලද සියලුම පුද්ගලයින්ට ඔහුගේ මරණය දැකීමේ අභිප්‍රාය තිබිණ. සූරාකෑමේ නියැළුණවුන්ටද, ජනතාව අතර බෙදීම් ඇතිකොට ශක්තිමත් කළවුන්ට ද, ජාතිවාදය ප‍්‍රවර්ධනය කළවුන්ටද, දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හී ආධිපත්‍යධාරී බලයක් අපේක්‍ෂා කළ බාහිර බලවේගයන්ට ද යන සියල්ලන්ට ඔහුගේ මරණය ප‍්‍රාර්ථනා කරන්නට හේතු සමුදායක් තිබුණි. සිවරාම් මරා දමන්නට මින් කවර බලවේගයන් සන්ධානගත වීද යන්න තවමත් අනාවරණය කර නොගත් අභිරහසකි. නමුත් ඔහුගේ මරණයෙන් මේ සියල්ලන්ට ප්‍රතිලාභ අත් වූ බව නම් පැහැදිලි ය.

ඔහු කායිකව ඝාතනය කිරීමෙන් ඔහුගේ සතුරන් සෑහීමකට පත් නොවේ. ඔහු සටන් කොට සුරැකි අදහස් අවමානයට පාත්‍ර කිරීමට ද ඔවුන්ට අවශ්‍යව තිබේ. ඔහුගේ අදහස් හා ඉටුකළ කාර්යය විකෘත කිරීමේ අටියෙන් ස්වකීය අභිමථාර්ථයන්ට අනුකූල ලෙස සිවරාම්ගේ ප‍්‍රතිරූපය යළි ගොඩනැංවීමට උනන්දුවක් දක්වන්නවුන් එමට ය. නිදසුනක් ලෙස දයාන් ජයතිලක වැනි සිංහල ප‍්‍රකාශකයින් සිවරාම්ගේ තර්කනයේ රූපකාරය එහි අන්තර්ගතයෙන් වෙන්කිරීමට උත්සාහ කරනු දැකිය හැක. ස්වකීය ජනයා සහ ඔවුන්ගේ අරගලය සමඟ සිවරාම්ට පැවැති සම්බන්‍ධය විසන්‍ධි කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබේ. ඔහු දිවිහිමියෙන් පෙනී සිටි දෙය විනාශ කිරීම පිණිස ඔවුහු සිවරාම්ට ප‍්‍රශංසා කරති. නමුත් සත්‍යය වන්නේ සිවරාම් ස්වකීය දිවි පරදුවට තබා ප‍්‍රකාශනයක් ලබාදෙන ලද්දේ පිබිද එන ජනතාවකට ය. දෙමළ ජනයාගේ අරගලය සිවරාම්ගේ දීප්තිමත්භාවයෙන් කඩා වෙන් කළ නොහැකිය. යුදවන් වකවානුව වූ කලී අඳුරු කුරුබිලියක් තුළ ගමන් කිරීමක් හා සමාන බවත්, සාම කි‍්‍රයාදාමය එකී කුරුබිලියෙන් බැහැරට ඒමට ඇති මාවත බව ද වේලූපිල්ලේ ප‍්‍රභාකරන් වරක් ප්‍රකාශ කොට තිබුණි. යුද වකවානුවකදී අත්‍යවශ්‍යයෙන්ම පටු ආකාරයක් ගන්නා ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාදාමයන් සාමකාමී වකවානුවක් තුළ වේගයෙන් වෙනස් කළ යුතු බවත්, සජීවී විවාදයන්ට ප්‍රකාශ වීමට අවාකශ සැළසෙන පරිදි සකළ විධ සීමාවන් පුළුල් විය යුතු බවත් ඔහු ඉන් අදහස් කළේය. සිවරාම්ගේ ශක්‍යතාවන් පෝෂණය වූයේ මෙම කොන්දේසි යටතේය. අරගලය ආයුධවලින් වචනවලට මාරුවන සැණින් සුපිරිතර රණකාමියා සිවරාම් විය. ඔහුගේ අරමුණ සත්‍යවාදී වූ අතර එය පැන නැගුණේ තුවක්කු බටයෙන් නොව, පෑන් බටයෙනි. දෙමළ සමාජය තුළ පංති අරගලය පෙරට තල්ලූ කිරීම සම්බන්‍ධයෙන් හෝ සාම උගුලේ අනතුරු පිළිබඳව හෝ ඔහු විසින් දෙමළ මාධ්‍යයන්ට ලියන ලද ලිපි මඟින් වේවා, සිංහල ජාතිවාදය හා බටහිර අභිලාෂයන් පිළිබඳව ඔහු විසින් කොළඹ ඉංගී‍්‍රසි මාධ්‍යයන්ට ලියන ලද ලිපි මඟින් වේවා, යුද්ධය පුපුරා යාමේ තර්ජනය පිළිබඳව බටහිර ධනවත් රාජ්‍යයන්හි දී ඔහු විසින් පවත්වන ලද කතා තුළින් වේවා සිවරාම් සතු මෙම බලය නිරායාසයයෙන් ‍ඒත්තු ගන්වනු ලැබුණි.

දෙමළ ජනයා සහ සිවරාම්

ආචාර්ය එස් සදානන්දන් පෙන්වා දී ඇති ආකාරයට ‘‘සිංහල ජාතිවාදය වඩාත් කුපිත කරවනු ලැබුවේ ලෙනින්ගේ වැදගත් සිද්ධාන්තයක් සිවරාම් අතිශය විනාශකාරී බලපෑමක් සහිතව භාවිතාවේ යෙදවීම විසිනි: සැබැවින්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට සිවරාම් තමන්ගේ කාර්යය සීමා කරගත් අතර සිදුවිය හැක්ක ගැන, වඳ සමපේක්‍ෂණයන්ගේ පැටලීමට හෙතෙම උත්සුක නොවීය.’’

දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් නායකත්වය සැපයූ දෙමළ ජනයාගේ අරගලයෙන් සිවරාම් වෙන් කොට දැක්වීමට තැත් දරන දයාන් ජයතිලක වැන්නන්ට යොමු කිරීමට ප්‍රශ්නයක් මට තිබේ. බුද්ධිමතෙකු වටා වන සමාජයේ හා ජනතාවන්ගේ අඛණ්ඩ සංවර්ධනයකින් තොරව ඔහුගේ පූර්ණ සංවර්ධනයක් සිදුවිය හැකිද? බේතෝෆන් ප‍්‍රකට කළාවූ දීප්තිමත්භාවය විසින් රදළ බලවේගයන්ට එරෙහිව නැගීගත් ජර්මානු ධනේශ්වරය තුළ වර්ධනය වන විශ්වාසය පරාවර්තනය නොකළේද? වෙනස් වකවානුවක වුව ද, සිවරාම්ගේ වර්ධනයන් සහ කාර්ය සාධකතාව වූ කලී එපරිද්දෙන්ම නැගී ගත් දෙමළ ජනයාගේ සාමූහික ආත්ම විශ්වාසයේ බුද්ධිමය ප‍්‍රකාශනයක් විය.

ජනතා විමුක්ති පෙරමුණ දයාන් ජයතිලකටත් වඩා පියවරක් ඉදිරියට ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. මැයි 03 වෙනිදා ශී‍්‍ර ලංකා රජයේ ‘ලක්හඬ’ ගුන් විදුලියේ සාකච්ඡාවකට එක්වෙමින් ජවිපෙ නොනිල ප‍්‍රකාශනය වූ ලංකා පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු තදබල ලෙස තර්ක කරමින් කියා සිටියේ සිවරාම් මරාදමනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බව ය! සිවරාම් ඝාතනයට සතියකට හෝ දෙකකට පෙරාතුව ‘සිවරාම් යනු කොටියෙක්’ යැයි කියමින් විසකුරු ප‍්‍රචාරයක් ගෙනගිය ප‍්‍රකාශනයක් හා සංවිධානයක් විසින් මෙවැනි තර්කයක් ගොඩනැගීම බැලූ බැල්මට උත්ප‍්‍රාසජනක විය හැකි ය. නමුත් ඊට වැඩිමනත් දෙයක් ද තිබේ. ජවිපෙ තර්කය වී ඇත්තේ මරණයට මෑත දී, සිවරාම් ජවිපෙ හා සහානුභූතී වෙමින් ලියන ලද ලිපිය, එල්.ටී.ටී.ඊ.ය පිළිවෙත් පිළිබඳ ඔහුගේ විවේචනාත්මක ආස්ථානය හඟවන බවත්,  ඒ නිසා කොටින් විසින් සිවරාම් ඝාතනය කළ බවත් ය. ලාංකීය මාධ්‍යයන්ට යථාර්ථය කෙතරම් පහසුවෙන් විකෘති කළ හැකිද යන්න පිළිබඳ දැනුවත් අයෙකු වශයෙන් මෙම තර්කය සමඟ ගණුදෙනු බේරාගැනීමට මම බැඳී සිටිමි.

ජවිපෙ සහ අසීමිත ශුභවාදය

සිවරාම්ගේ චරිතයේ වූ සුවිශේෂි ලක්‍ෂණයක් වූයේ ඔහු සතුවූ විවෘතභාවයයි. ඕනෑම අයෙකුට ඔහුට ළඟාවිය හැකිව තිබූ අතර  ඕනෑම අයෙකුගේ අදහස්වලට ඔහු විවෘතව සිටියේය. ඔහු මුළුමණින්ම කට්ටිවාදයෙන් තොරවූවෙක් විය. ඔහු සීමාරහිත ශුභවාදියෙක් වූ අතර සිංහල සහ දෙමළ ජනයා එක්සත් කළ හැකි මාවත් පිළිබඳව සීමාරහිත ගවේෂකයෙකු විය. ඉන්දීය සාම සාධක හමුදාව උතුරු සහ නැගෙනහිර කඳවුරු බැඳ සිටි සමයේ දෙමළ ජාතික ව්‍යාපාරය හා ජවිපෙ එක්සත් කළ හැකි බවට සිවරාම් විශ්වාස කළ බව මම දනිමි. සිංහල සහ දෙමළ ජනයාගෙන් සැළකිය යුතු තරම් බහුතරයක් මෙන්ම ශී‍්‍ර ලංකා ආණ්ඩුවම පවා ඉන්දීය හමුදාවන් රැඳී සිටීමට විරෝධය දැක්වූ තත්ත්වයක් යටතේ මූලධාර්මික සමගියක් සඳහා පදනමක් එහි පැවතිණ. දීර්ඝකාලීනව මුල් ඇදුණු දෙමළ විරෝධී ජාතිවාදයේ රැහැන් බිඳ දැමීමට තරම් බලවත් ශක්‍යතාවක් ඒ තුළ පෙනෙන්නට තිබිණ. සිවරාම්ගෙන් මුළුමණින්ම ස්වාධීනව වුවද මම පවා පෞද්ගලිකව මෙය පිළිගත් අතර ජවිපෙ සාමාජිකයන් වශයෙන් කි‍්‍රයා කළ සිංහල පීඩිත ජනයා කෙරෙහි අව්‍යාජ කැපවීමක් සහිත සුවිශේෂී ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙක් සමඟ සමීපව කටයුතු කිරීම විසින් මගේ විශ්වාසය වඩ වඩාත් ප්‍රත්‍යක්‍ෂ වුණි. රාජ්‍ය හමුදාවන් විසින් දස දස් සංඛ්‍යාත ස්වකීය සාමාජිකයන් සමූල ඝාතනය කරනු දැක දැකත් මෙකී ශිෂ්‍යයන් විසින් අඛණ්ඩව අරගලයේ නිරත වෙමින් පෙන්නුම් කළා වූ විරෝධාරත්වය සැබැවින්ම ආවේශී එකකි. තීව‍්‍ර වූ සන්නද්ධ අරගලයත්, තම ජීවිතවලට එල්ල වූ අවදානමත්, විප්ලවකාරී වටපිටාවත් මෙකී ජවිපෙ අනුගාමිකයින්ගේ මනස් විවෘත කරනු ලැබ තිබූ අතර දෙමළ ජනතාව සමඟ වන සම්බන්‍ධතාවයේ සිට සෙසු සියල්ල පිළිබඳ නව විප්ලවකාරී ආකාරයකින් සිතීමට බලකරන තත්ත්වයන් ඔවුන් හමුවේ නිර්මාණය වී තිබුණි. මිනීමරු හමුදාවන්ගෙන් සැඟවී එක්ව ගතකළ සමයේ මා සහ ඔවුන් අතර මේ පිළිබඳ ගැඹුරු සහ විනිවිදින සාකච්ඡා බොහෝ ඇති විය.

මගේ සමීපතම සහෝදරයා වූ මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ නායක ගැමුණු යසස් හෙවත් ගයාන්‍, රෝහණ විජේවීර විසින් ලියන ලද ලංකාවේ ජාතික ප‍්‍රශ්නය පිළිබඳ කෘතිය ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කිරීමට කටයුතු සැළසුම් කරමින් සිටි අතර මටත්, වෙනත් කිහිප දෙනෙකුටත් එහි අඩංගු තර්කයන්ට ප‍්‍රතිචාර දැක්වීමට අවකාශ සැළසීමද එහි එක් අරමුණක් විය. (ලැජ්ජාවට හේතුවන කරුණක් වුවද, දීර්ඝ කාලාන්තරයක් ලංකාවෙන් බැහැරව ජීවත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඉහත කෘතියේ අඩංගු සංකීර්ණ තර්කනයන් සිංහල බසින් කියවා වටහා ගැනීමට අපොහොසත් වීමේ ගැටළුවෙන් මම පෙළුණි.) මෙකී කෘතියට ඉංගී‍්‍රසියෙන් කියවා විධිමත්ව ඊට පිළිතුරු දීමට සූදානම්ව සිටි තවත් අයෙකු වූයේ සිවරාම් බව මම දැන් දනිමි. දකුණේ අරගලයේ වැඩිවන අවදානම සහ අරගලකාරී උණුසුම තුළ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පසුගාමී හා ප‍්‍රාදේශීයවාදී සිංහල ජාතිවාදී මාවතින් ගළවා ජාතීන්ගේ ප‍්‍රශ්නය පිළිබඳ ලෙනින්ගේ මූලධාර්මික ආස්ථානය මත පිහිටුවාලිය හැකිවනු ඇතැයි මම සැබැවින්ම විශ්වාස කළෙමි. සිවරාම් ද එකී සුබවාදී විශ්වාසයේ කොටස්කරුවෙක් වූ බව මට ඒකාන්ත වශයෙන්ම විශ්වාස ය. දෙමළ ජාතික විමුක්ති අරගලයට මවිසින් දක්වන ප‍්‍රතිපත්ති මූලික සහාය ජවිපෙ පිළිබඳ මා දැරූ එම ස්ථාවරය විසින් අංශුවකුදු වෙනස් නොකරන ලද අතර සිවරාම්ගේ තත්ත්වය ද එයම විය.

සිංහලයන් පිළිබඳ අපේක්‍ෂාව

සුනාමිය සමඟ බාහිර බලවේග සහ රාජ්‍ය නොවන සංවිධාන වේගයෙන් රට තුළ කාවදින තත්ත්වයක් හමුවේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරගැනීමට සමත් ශක්‍යතා සහිත බලවේගයන් සිංහල සමාජය තුළින් ද සොයාගැනීමේ උනන්දුවක් සිවරාම්ට තිබූ බව මම විශ්වාස කරමි. කවර හෝ ආකාරයක ‘බටහිර ආධාර’ පිටුපසින් වන පෙළඹුම් හේතු පිළිබඳ සිවරාම් හැමවිටම සැක කළේය. ජනවාරියේදී කොන්ඩොලීසා රයිස් විසින් ප‍්‍රකාශ කරන ලද්දේ ‘සුනාමිය වූ කලී අපහට විශේෂිත ප‍්‍රතිලාභ උපයා දුන් විශ්මයජනක අවස්ථාවක්’ බවයි. මෙකී ප‍්‍රකාශය බුෂ් පරිපාලනයේ කාලෝස් පැස්කුවල්ගේ ’’ජාතියක සමාජ වියමන වෙනස් කිරීමේ’’ පෙර සැළැස්ම සමඟ මනා ලෙස ගැලපේ. ඔවුන්ගේ සැළැස්ම වන්නේ පැරණි රාජ්‍යයන් යළි ගොඩනැංවීම නොව, ‘ප‍්‍රජාතාන්ති‍්‍රක සහ වෙළඳ පොළ කේන්‍ද්‍රීය රාජ්‍යයන්’ නිර්මාණය කිරීමයි. සුනාමී විනාශය හේතුවෙන් දැවැන්ත මානුෂික ප‍්‍රතිචාරයන් වේගයෙන් ලොව දස අතින් ළඟා වූ බව ඇත්තකි. නමුත් ප‍්‍රශ්නය වූයේ සුනාමියෙන් පහර කෑ ජනතාවන් හා ඔවුනට උපකාර කිරීමේ අවශ්‍යතාවෙන් පෙළුණු ප‍්‍රජාවන් වශයෙන් වන සරල බෙදීමකින් ඔබ්බට ගිය යථාර්ථයන් ඒ තුළ පැවතීමයි. මේ අතර මැද තවත් බොහෝ දේ තිබිණ. එහි ප‍්‍රතිඵලයක් වූයේ මෙකී සමස්ත මානුෂික ප‍්‍රතිචාරයන්ම කළමනාකරණය කරන්නා වූ මෙහෙයුම් පිටුපස වූ ගාමක බලය, බටහිර රාජ්‍යයන්ගේ අභිලාෂයන් වීමයි.

සිංහලයන් මෙකී සැළසුම්වලට එරෙහිව ස්වකීය ස්වෛරීභාවය වෙනුවෙන් සටන් කරනු දැකීම සිවරාම්ගේ අවශ්‍යතාව වූ බව නිසැක වූ අතර දශක කිහිපයකට පෙරාතුව කෙන්යානු ලේඛක න්ගුයෙන් වා තියෙන්ගෝ කී පරිදි ඔහුට අවශ්‍ය වූයේ ජනයා එක්සත්ව හඬ නගනු දැකීමයි. තියෙන්ගෝ මෙසේ ලීවේය:

‘‘ඔබගේ සියළුම ප‍්‍රයෝගයන් සඟවා ගත් සළුපිළි පිළිබඳ සියළු රහස් දැන් අපි දන්නෙමු. ඔබම ඝාතනයන් සිදුකොට, අනතුරුව ශෝකයේ සළු හැඳ එහි ගොස් අනාථයින්ගේ හා වැන්දඹුවන්ගේ නෙත කඳුළු පිසියි. මැදියමේදී ඔබ ජනයාගේ ආහාර ගබඩා බිඳ ආහාර කොල්ල කා, අරුණෝදයේ දී ඔබේ පුණ්‍යවන්තභාවයේ සළු හැඳ එම ජනයා අතරට ගොස් රාති‍්‍රයේදී කොල්ල කා ගත් ධාන්‍ය ලබු කැට පුරවා ඒ ජනයා අතරෙහිම බෙදයි. ඔබ හුදෙක් ඔබගේම  ආශා පිනවාගැනීම සඳහා කාමුකත්වයට අනුබල දී අනතුරුව ධාර්මිකභාවයේ සළු හැඳ ජනයා අතරට ගොස් පශ්චාත්තාප වන ලෙසත්, පාරිශුද්ධත්වයේ මාවත් පෙන්වා දීම සඳහා ඔබ පසුපස එන ලෙසත් දන්වයි. ඔබ මිනිසුන්ගේ ධනය පැහැරගෙන, අනතුරුව මිත‍්‍රත්වයේ ලෝගු හැඳ කොල්ලකෑමෙහි යෙදුණ දුෂ්ඨයන් ලූහුබැඳ යන මෙන් ජනයාට උපදෙස් සපයයි.’’

සිවරාම් සහ වෙනම රාජ්‍යය

ඉන්දීය හමුදා දිවයිනට පැමිණි ‘80 දශකයේ පසු භාගයේදී මෙන්ම, ඔහුගේ මරණයට පෙර ද සිවරාම් ජවිපෙ තුළ යම් යහපතක් දකින්නට වෑයම් කළේය. නමුත් සිවරාම් පිළිබඳ මතකයට ගර්හා කරන්නට ජවිපෙ විසින් යොදාගනු ලැබ ඇත්තේ ද සිවරාම් තුළ බලපැවැති මෙකී යහපත් සුබවාදී අපේක්‍ෂාවයි.

2003 ඔක්තෝබරයේදී හිරු කණ්ඩායම විසින් කොළඹ දී සංවිධානය කළ සිංහල - දෙමළ සංස්කෘතික සමුළුවේ කතා කළ සිවරාම්ගෙන් කෙනෙක් අසන ලද්දේ, ඔහුට එතරම් ජීවිත අනතුරක් ඇති කොළඹ නගරයේම ජීවත්වන්නේ මන්දැයි කියා ය. වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීමේ ඉරණමට ගොදුරු නොවී දෙමළ මාධ්‍යවේදියෙකුට කොළඹ සිට ක්‍රියා කළ නොහැකි නම්, දෙමළ ජනයාගේ වෙනම රාජ්‍යයක් සඳහා වූ අවසාන කොන්දේසිය ද සැපිරෙන බව සිවරාම් කීවේය.   ජීවිතය කෙරෙහි එල්ල වූ බරපතල අවදානම මැද පවා කොළඹ ජීවත්වීමට තරම් එඩිතරවීම ඔස්සේ සිවරාම් සිය  ජීවිතය තුළින් ප‍්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරන ලද්දේ සිංහල සහ දෙමළ ජනයා අතර සහයෝගීතාව සඳහා තවදුරටත් ඇති අවකාශයයි. ඔහුගේ ඝාතකයින් විසින් මෙය කළ නොහැක්කක් බවට පෙරළා ඇත්තේද?

මෙම ප‍්‍රශ්නයට පිළිතුරක් සපයා දෙනු ඇත්තේ අපගේ කි‍්‍රයාකාරීත්වයන් විසිනි. (2005.05.04)

විරාජ් මෙන්ඩිස් 


© JDS