රෙජී මෙන්ඩිස්: ඇතුළතින් නො බෙදුණු සුපරිපූර්ණ මිනිසෙක්

බලපුවඩුගේ මනුකුලසූරිය රෙජිනෝල්ඩ් මෙන්ඩිස් මියගියේ 2000 අවුරුද්දේ ජනවාරියේදී ය. ඔහුගේ මරණයෙන් තුන් මසක් ඇවෑමෙන් හිරු කණ්ඩායම විසින් පල කළ  'රළ' සඟරාවේ පළමු කලාපය වෙන්ව තිබුණේ ඔහු වෙනුවෙනි. එහි මෙසේ ලියා තිබිණ:

'අපිට පැරණි වර්ගයේ මිනිසුන් වීමේ ආඩම්බරය ඉගැන් වූ මිනිසෙක් අලුත් සියවසක් උදාවේදී නික්ම ගියේය. ඒ රෙජී මෙන්ඩිස් සහෝදරයා ය.....බ්‍රිතාන්‍ය විජිතවාදී දේශපාලනයෙන් 'දුටු තැන වෙඩිතැබීමේ' මරණ වරෙන්තුව රැගෙන අධිරාජ්‍ය විරෝධී අරගලය ඇවිල වූ පිටකොටුවේම, ඉන් අඩ සිය වසකටත් පසුව එළඹි සන්ධ්‍යා කාලවල ද සන්සුන්ව ඇවිද ගිය උස් මිනිසෙකු සියවසක් ඉක්ම ගිය තැන කුමාර වීදියේ පදික වේදිකාවක් මත දී සිය රණබිමට සමු දුන්නේය. අන්‍යෝන්‍ය මිනිස් සහයෝගීතාව වෙනුවට පටු පුද්ගලවාදයේ මුග්ධත්වයත්, පුළුල් මානවීය සුහදත්වය වෙනුවට උපයෝගීතාවාදී හුවමාරුවත් ආදේශ වූ වකවානුවක පෘථුල මානුෂ්‍යභාවයේත්, පරාර්ථ සාධනයේත්, මිනිස් වීරත්වයේත් සුදීප්තිමත් ආලෝකයක් ඔහු ශේෂ කොට තබා ගියේය. රෙජී මෙන්ඩිස් සහෝදරය, අපේ විලාසිතාවද, ප්‍රාර්ථනාවද, පරමාදර්ශය ද ඔබ ය."

එයින් පහළොස් වසරකට පසු දැන් යළිත් ජනවාරියක් එළඹ තිබේ. රෙජී මෙන්ඩිස් සහෝදරයා වැන්නන් දිවි කැප කොට සුරක්‍ෂා කළ සබුද්ධික මිනිස් චින්තනයෙන් පිටුබල ලද සකළවිධ සාරාර්ථයන් පරාජය වූ ලංකාවක් තුළ වර්ගවාදී නීචභාවය දේශපාලන පෞරුෂයකි, ස්වාර්ථ සාධනය ගරු කටයුතු සමාජ දහමකි. ඔහුගේ මරණයෙන් සතියක් ගෙවී එළඹුනු ඉරිදාවේ  මහාචාර්ය සුචරිත ගම්ලත් 'දිවයින' පත්‍රයට ලියූ ස්වකීය 'සති සිතු මිණි' ලිපිය වෙන්කොට තිබුණේ ඒ දුලබ මිනිසාගේ විප්ලවකාරී දිවි සැරිය පසසනු පිණිස ය. 

එම ලිපිය පළ වී දශක එක හමාරක් ගෙවී එළඹුණු මේ ජනවාරිය වන විට මහාචාර්ය ගම්ලත් නික්ම ගොස් දෑවුරුද්දකි. පොදු මානව විමුක්තියේ සහ මිනිස් යුක්ති ධර්මයේ ධජය මරණය තෙක් අත්නොහළ මිනිසුන් දෙදෙනකුගේ ජීවන මූලාදර්ශයන් අහිමි වූ ලංකාව දැන් තවත් දිළිඳු ය. රෙජී මෙන්ඩිස් පිළිබඳ 2000 පෙබරවාරි 06 වෙනිදා සුචරිත ගම්ලත් විසින් ලියන ලද මෙම ලිපිය අප යළිත් මෙසේ පළ කරනුයේ මේ අඳුරු යුගය තුළ පවා නොනැසී දිදුලන සප්‍රතිපත්තික මිනිසුන් දෙදෙනකු පිළිබඳ සදාතනික මතකයේ ප්‍රදීපාව සුරකිනු පිණිස ය.

(මෙහි පළවන සේයා රූ අප වෙත ලබා දුන් ලක්‍ෂ්මන් මෙන්ඩිස් සහෝදරයාට ස්තූතියි.)


 

පිටකොටුව අරාජිකයි....!

රෙජිනෝල්ඩ් මෙන්ඩිස් සහෝදරයා පසු ගිය දා අභාවප්‍රාප්ත විය.

ඔහු 1940 ගණන් මුල සිට බොල්ශේවික් ලෙනින්වාදී පක්‍ෂයේ ද ඊට පසු ලංකා සමසමාජ පක්‍ෂයේ ද අප්‍රතිහත පතාක යෝධයෙක් විය. සිත කය දෙක්හි ම යෝධ බල යෝධ වීරිය පිරි ඔහු දෘඪතර අධිෂ්ඨාන ශක්තියෙන්, සත්‍යාවබෝධයෙන්, සම්‍යග්දෘෂ්ටියෙන්, උට්ඨාන වීර්යයෙන් හා අපරිමිත ධෛර්යයෙන් අසමසම විය. අටසැත්තෑ වසක් වූ ඔහුගේ ආයු කාලයෙහි සම්පූර්ණ දැනුවත් යුගය ආරාගෙන සිටියේ ධනවාදය මිහි පිටින් අහෝසි කර දැමීමේ පරමාභිලාෂය යි. ඒ ‍සඳහා ඔහු තමා සතු සකල ශක්ති සම්භාරය බිඳකුදු තමා වෙත තබා නො ගෙන කැප කළේ ය.

මොරටුවේ උපන් රෙජී සහෝදරයා කුඩා කාලයේ පල්ලියේ පූජා තේවා සේවකයෙක් විය. පාප් වහන්සේ යුද්ධයට යන සොල්දාදුවන්ට සෙත් පතනු දක්වන පින්තූරයක් පුවත්පතක දුටු ඔහු මිනී මරු යුද්ධයට සෙත් කිරීම කිතු දහම දැයි ප්‍රශ්න කළේ ය. පූජකයා ඔහුට කන්සට පහරක් එල්ල කළේ ය. එදා පල්ලියෙන් දොට්ට බට ඔහු ජීවිතාන්තයෙන් පසු ව ද පල්ලියෙන්  හමා එන සුළඟ පවා වර්ජනය කළේ ය.

ඉන් පසු කොළඹ කෙහෙල්වත්තේ පලතුරු වෙළදාමේ යෙදී සිටි සිය මව සමඟ පවුලේ අන්‍යයන් ද කැටු ව කොළඹ විත් පදිංචි වූ ඔහු අවසන් ගමන් ගියේ ද පිටකොටුවේ සිට ය. තුරුණු වියේ දී හා මැදි වියේ දී ඔහු පිටකොටුව, මරදාන හා පංචිකාවත්ත යන පෙදෙස් සොලවා ගෙන සිටියේ ය. ඒ පෙදෙස්හි ඔහු රජෙකු හා සමාන ව ආධිපත්‍යෙයන් ද අභිමානයෙන් ද ජන සම්මානයෙන් ද පරිපූර්ණ ව වැජඹිණි. මුළු රට තුළ සමසමාජ ආනුභාවය පැවති කල්හි රෙජී සහෝදරයාගේ ආනුභාවය ද අපරිමිත විය.

මාකින් සහෝදරයා 

එකල්හි ධනවාදී රජය යටතේ වුව ඒ නො තකා යට කී පෙදෙස්හි රෙජී සහෝදරයා යටතේ කම්කරු පන්ති ආඥාදායකත්වය පැවති සේ විය. රුසියාවේ සාර් ආණ්ඩුව යටතේ සෝවියට් සම්මේලනයේ සභාපති ව සිටි ලියොන් ට්‍රොට්ස්කිගේ බිරිඳ කඩ පිළට ගිය විටත් දරුවෝ පාසල් ගිය විටත් උසුළු විසුළුවලට ලක් වූහ. ට්‍රොට්ස්කිගේ කාට හෝ එරෙහි ව කවුරුන් හෝ කට ඇරිය හොත් මරමැයි තුවක්කු ගෙන දොරට බට මාකින් සහෝදරයා සාර් යටතේ නිර්ධන පන්ති ආඥාදායකත්වයේ නියැදියක් පිහිටුවූ සේ ම ය.

රුසියානු විප්ලවයේ දැවැන්තයෙක් වූ ඔහු පසු ව විප්ලවාරක්ෂක මහා සටන් මධ්‍යයේ මිය ගියේ ය.

රෙජී සහෝදරයා යම් ලෙසකින් සම කළ යුත්තේ ඒ මාකින් සහෝදරයාට ය.

එහෙත් රෙජී සහෝදරයා මාකින් සහෝදරයා ඉක්ම සිටියේ ය.

කිසි ම විධිමත් අධ්‍යාපනයක් ලබා නො සිටි රෙජී සහෝදරයා ඉංග්‍රීසි කියවා තේරුම් ගත් අතර සිංහල හොඳින් දැන සිටියේ ය. දිවයිනේ මගේ තීරු ලිපි කියවා සිටි ඔහු දිනක් මා ඔහුගේ නිවසේ ඉදිරි දොරින් ඇතුළු වන විට ම නැඟිට පෙරට විත් ‘ලස්සණට ලියනව‘ කියා තනි අතින් මා වැලඳ ගති. එවිට මා තුළ උපන් ආනන්දය කෙසේ නම් වචනයෙන් විස්තර කරම් ද? මේ ලිපි තමන්ට නො තේරෙන බව දුසිම් ගණන් වත්මන් උපාධිධාරීන් මට කියා ඇත! සරසවි ඇදුරන් ද කියා ඇත!!!

බොහෝ සෙයින් පොත්පත් කියවූ ඔහු සාහිත්‍ය-කලාදිය ළැදි ව ඇසුරු කළේ ය: ලංකාවේ සාහිත්‍ය-කලා ක්ෂේත්‍රය මැනවින් දැන සිටියේ ය. නළු ලක්‍ෂ්මන් මෙන්ඩිස්ගේ පියා වූ ඔහු කලාකරුවන් ඉතා ළඟින් ඇසුරු කළේ ය.

පුරාණයේ ලංකා සමසමාජ පක්‍ෂයේ අධ්‍යාපන මණ්ඩලයේ ලේකම් ධූරය හෙබවූ ඔහු පාක්‍ෂිකයන් මාක්ස්වාදයෙහි පුහුණු ද ප්‍රවීණ ද කරවීම වත්මන්හි තීරණාත්මක කාර්ය භාරය ලෙස සැලකී ය. සම්පජානවත් කම්කරුවන් තුළ පවත්නා න්‍යාය ළැදියාව හා පිපාසාව මෙයින් නො පෙනේ ද?

ලංකා සම සමාජ පක්‍ෂයේ පුරෝගාමී නායකයින් සහභාගී වූ  රැස්වීමක මුලසුන දරන රෙජිනෝල්ඩ් මෙන්ඩිස්


1940 දශකාරම්භයේ දී ඔහු බොල්ශේවික් ලෙනින්වාදී පක්‍ෂයට බැඳුණේ ය.

පක්‍ෂය තහනම් කෙරුණු කාලයේත් පක්‍ෂ නායකයන් හිරෙන් පැන පිට රට සිට ක්‍රියාත්මක වූ කාලයේත් රෙජී සහෝදරයා නීලමහ යෝධයෙකු පරිද්දෙන් පක්‍ෂයේ පැවැත්මටත් ප්‍රසාරණයටත් උර දුන්නේ ය. පක්‍ෂය නඩත්තු කරනු වස් ඔහු නා නා වෙළඳ කටයුතුවල නිරත විය. එයින් ලද කිසි ද ආදායමක් ඔහු තම ලාභ ප්‍රයෝජනය සඳහා යොදවා නො ගත්තේ ය. ඔහු කිසි දා මත්පැනක් කට ගා නැත. ඒ ඇයි දැයි මා ඇසූ තැනේ දී ඔහු ‘මත් වෙලා කොහොම ද කම්කරු පන්තියට මඟ පෙන්වන්නෙ? හදිසි තත්වයන් එන්නෙ අපට කියල ද?' කියා බැරෑරුම් ලෙස ඇසුවේ ය. ඔහු අන්‍යයන් මත්පැන් බොනවාට ද මේ හේතුවෙන් ම විරුද්ධ වූ බව ඔහුගේ වැඩිමහලු සොහොයුරා මට කී ය. ලාංකිකයන්ගේ මත්පැන් පානය බටහිර දිගුන්ගේ මත්පැන් පානය මෙන් නො වන බව ඔහු දැන සිටි සේ ය.

තම ආඥා චක්‍රය පැවති පිටකොටුව - මරදාන පෙදෙස්වල ඔහුට පුද්ගල සම්බන්ධතා අන්තර් ජාලයක් විය. එක් තැනෙක සිටිමින් අන් තැන්වල සිදු වන දෑ දැන ගැනීමේ හැකියාව ඔහු සතු විය.

පක්‍ෂය තහනම් කෙරී යටිබිම් ගොස් සිටි කාලයේ දී  පක්‍ෂයේ මුද්‍රිත පණිවිඩය සැණෙකින් කම්කරු ජනතාව අතර සංසරණය කරවීමේ හැකියාව දැරූ ඔහු එහි දී හරස් වූ සතුරන් පරාජය කිරීමේ දී අනුගමනය කළ ක්‍රියා මාර්ගවල දී සෙවූයේ මාර්ගය කුමක් ද යන්න නො ව, එය සඵල වන්නේ ද යන්න පමණි.

හර්තාල් සටන

ඉංග්‍රීසි ආණ්ඩුව රෙජී සහෝදරයා දුටු තැන වෙඩි තැබීමේ නියෝගය නිකුත් කර තිබිණ. එහෙත් ඔහු අසු නො වී ය.

1947 සමස්ත මහා වැඩ වර්ජනයේ දී නැවැත්විය නො හැකි වූයේ විදුලි සැපයුම පමණි. තවත් කීප දෙනෙකුන් සමඟ උඩරට ගිය රෙජී සහෝදරයා රෑ තනිව ම කන්ද නැඟ යකඩ ‍පොලු රාජ‍යෙකු දෑත බදා ඔසවා විදුලි සැපයුමේ බල නහර වන කම්බි රාජයාට ගැසී ය. හෙණ හඬක් වන් මහ හඬක් නැඟිණ. මුළු මහත් දිවයින ම ඝනාන්ධකාරයේ ගිලී ගියේ ය.

එකල ගෝරින් මහා චණ්ඩියෙක් විය. ගෝරින් හා ආරච්චිරාල යනු එස්. ද එස්. ජයසිංහගේ සෝයුරෝ ය.

දිනක් කොහුවල හන්දියේ දී සමසමාජ පෙළපාළිය නවත්වනු වස් ගෝරින් පෙරටු කොට ගත් මැරයෝ ඉදිරියට ආහ. දෙගොල්ල මූණට මුණ ගැසුණහ. රෙජී සහෝදරයා පෙරට පැන ගෝරින්ට පහර දුනි. ඔහු ලේ පෙරා ගෙන බිම පතිත විය. අනික් මැරයෝ පැන දිවූහ.

1952 රට පුරා ඇවිළ ගිය හර්තාල් මහ සටනේ දී පිටකොටුව පෙදෙස ඔහුගේ නායකත්වය යටතේ රණකාමයෙන් ඇලළී ගියේ ය. අගෝස්තු 12 වැනි දා සවස  හර්තාලය නවත්වන ලෙස සමසමාජ පක්‍ෂ නායකත්වය අණ කළ ද 13 වැනි දා ද වීදි බට කම්කරුවෝ ආපසු නො ගියහ. බියෙන් සැලුම් වෙවුලුම් ගත් සමසමාජ නායකයන් හර්තාලය හමාර කරවා ගත්තේ බොහෝ දුකසේ ය. එහෙත් බොහෝ පළාත්වල කම්කරු බලය දින ගණනක් තිස්සේ ම පැවතිණි. කම්කරු ලියෝ මහ පාරේ ලිප් බැඳ කිරිබත් පිසූහ: දුම්රිය මගෙහි අහර පිසූහ. යූ. ඇන්. පී. කැබිනෙට්ටුව පණ බේරා ගනු වස් පැන ගොස් බ්‍රිතාන්‍ය නැවක සැඟවී ගති. පිටකොටුවේ දී ආණ්ඩුව කම්කරුවන් අට දෙනෙකුන් වෙඩි තබා මරා දැමී ය. ඔවුනතර සුප්‍රකට ඇඩ්වින් සහෝදරයා ද විය. මෙයින් හට ගත් කම්පනයෙන් අගමැති ඩඩ්ලි සේනානායක බොරු බඩේ අමාරුවක් සාදා ගෙන අගමැති තනතුරින් අස් විය.

1950 දශකයේ මුල දී රාජ්‍ය භාෂා විවාදය ඇවිළ ගියේ ය. ලංකා සමසමාජ පක්‍ෂය සිංහල හා දෙමළ යන දෙබස ම රාජ්‍ය භාෂා කළ යුතු යැයි කියූ අතර අන්‍ය පක්‍ෂ වෙසෙසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය - සිංහල පමණක් එක ම රාජ්‍ය භාෂාව කළ යුතු යැයි කී ය.

බෝම්බ ප්‍රහාරයක්

1955 දී තම ආස්ථානය මහජනයාට පහදනු වස් ලංකා සමසමාජ පක්‍ෂය කොළඹ නගර ශාලාවේ රැලියක් පැවැත්වී ය. වර්ගවාදීහු 200ක් පමණ නගර ශාලාව අබියස රැස් ව ගල්මුල්වලින් රැස්වීමට පහර දෙන්ට වන්හ. රැලිය කල් තියා නැවැත්විණ.

සමසමාජ නායකයන් නගර ශාලාවෙන් බැස යන සඳ එක් චීවරධාරියෙක් කොල්වින් ආර්. ද සිල්වා වෙත බෝම්බයක් දමා ගැසී ය. සිල්වා රකිනු වස් පෙරට එන බෝම්බ පහරට අත් ඇල්ලූ රෙජී සහෝදරයාගේ අත මැණික් කටුව ළඟින් කැඩී ගියේ ය. ඒ වන විට ඔහුගේ දෙටු පුත් ලක්‍ෂ්මන් මෙන්ඩිස්ට වයස මාස නවයකි: රෙජී සහෝදරයා විවාහ වී දෙවසරකි. ඔහුට වඩා ගන්ට ලැබුණු එක ම දරුවා ඒ දෙටු පුතු ය. ඉතිරි තිදෙනා ඔහුට වඩාගන්ට බැරි විය. එතැන් පටන් රෙජී සහෝදරයා සියලු කටයුතු කළේ තනි අතිනි. ඔහු ලීවේ ය: පෝස්ටර් ඇන්දේ ය. දණ්ඩේ ලූ ගිනි ටෙලි නාටකයේ නීල් අලස් විකෘත ලෙස නිරූපණය කරන්නේ ඔහුගේ චරිතය යි.

ලංකා සමසමාජ පක්‍ෂය 1964 දී ධනවාදී ආණ්ඩුවට ඇතුළු වීමෙන් කළ මහා පාවා දීම හෙළා දැක පක්‍ෂයෙන් පිට වූ ඔහු යළිත් පක්‍ෂය දෙස බැලුවේ කොල්වින් ආර්. ද සිල්වා ජනපතිවරණයට ඉදිරිපත් වූ විට පමණි. එය පක්‍ෂය ධනපති පන්තියෙන් ස්වාධීන වීමට තැබූ පියවරක් ලෙස ඔහු සැළකී ය: එහෙයින් ඊට සහයෝගය දුනි.

1964 අනතුරුව සමසමාජ (වි) පක්‍ෂයේ සිටි ඔහු එය විසිර යෑමෙන් පසු කිසි පක්‍ෂයක නො සිටියේ ය. එහෙත් බොල්ශේවික් ලෙනින්වාදී පක්‍ෂයේ ඒ පැරණි ප්‍රතිපත්ති උර දරා ගෙන දිවි හිමියෙන් ඒවා ආරක්ෂා කළේ ය.

ඉන් පසු රෙජී සහෝදරයා තුළ ප්‍රබල ලෙස ඇවිළෙමින් තිබූ මහත් ම අභිලාෂය නම් ඒ පැරණි පක්‍ෂයේ වර්ගයේ පක්‍ෂයක් නිර්මාණය කොට ධනවාදය මේ රටින් තුරන් කිරීම ය. එය ධනවාදය මුළු මහත් මිහි තලයෙන් තුරන් කිරීමේ සංරචකයක් වනු ඇතැයි කියූ ඔහු රුසියානු විප්ලවයෙන් පසු ලෙනින් කියූ ‘අධිරාජ්‍යවාදය දුබල ම පුරුකෙන් බිඳුණා‘ යන වචන සිහිපත් කළේ ය.

අප හමු වූ සෑම විටෙක ම ඔහු අවධාරණය කර සිටියේ මේ ඓතිහාසික අවශ්‍යතාව යි.

දිනක් මා හා අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය සහෝදරයා හමු වූ ඔහු එබඳු පක්‍ෂයක් සඳහා අවශ්‍ය ආරක්‍ෂක  පුහුණුව කේඩරයට ලබා දීමට තමා පොරොන්දු වන බව කී ය.

හෘදයාබාධිත ව අවසන් හුස්ම හෙළීමට දින තුනකට පෙර ඇඳුම් බෑගයක් අසුරා ගත් ඔහු ගෙදර උදවිය නො සතුටු කරවමින් පිටකොටුවේ කුමාර වීදියේ තමා පෙර පැරකුම් පෑ තිප්පොළට ගොස් නවාතැන් ගත්තේ ය. තම වික්‍රමාන්විත, අපරාජිත රජදහන කෙරෙහි ඔහු තුළ වූ ළැදියාව ඒ සා ඉමහති. ඒ දින තුන වුව ඔහු ගෙවූයේ ධනපති විරෝධී මාක්ස්වාදී පෝස්ටර අඳිමිනි. අවමඟුල පැවති දින ඒ අවට බිත්තිවල ඒවා අලවා තිබෙනු අපි දුටුවෙමු.

සුදුර්ලභ මිනිසෙක්

රෙජී සහෝදරයාගේ ඉල්ලීම පරිදි ඔහුගේ මෘත දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට භාර දෙන ලදී. තමාගේ ප්‍රාණය පහ ව ගිය භෞතික දේහය වුව මානව සංහතියේ යහපත පිණිස යෙදේවා යනු ඔහුගේ පැතුම වූ බව එයින් නො පෙනේ ද?

වෛද්‍ය විද්‍යාලයේ ගුරු-සිසු දෙපිරිස කළ යුතු ව තිබුණේ උගැන්වීම හා ඉගෙනීම සඳහා ඒ දේහය කැප්පවීම හෝ කැපීම නො වේ. ඔවුන් කළ යුතු ව තිබුණේ ‘මෙන්න පෙර කල ලක්දිව ජීවත් වූ ඇතුළතින් නො බෙදුණු, සර්වප්‍රකාරයෙන් සුපරිපූර්ණ පුද්ගලයෙක්!‘ යි අනාගත පරම්පරාවන්ට විස්මපත් වෙමින් දැක බලා ගැනීමට එය සමාධියක තැන්පත් කිරීම යි. මානව සංහතියේ පන්ති සමාජය නමැති තිරශ්චීන ප්‍රාග් ඉතිහාසයේ මෙවැන්නන් සුදුර්ලභ හෙයිනි.

දේහය භාර දීමට ගෙන යෑමට පෙර කෙටි අවමඟුල් රැස්වීමක් කුමාර වීදියේ පදික වේදිකාවේ පැවැත්විණි. එය නියම කොමියුනිස්ට් අවමඟුලක් විය. ආගමික චාරිත්‍ර කිසිත් නැත. මෙරිල් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ජයසිරි හා මම සැකෙවි ගුණ සමරු දෙසුම් පැවැත්වීමු.

අවමඟුලේ එක් විශේෂ ලක්‍ෂණයක් වූයේ ඉතා පැරණි, මහලු සමසමාජ රණපතියන් කීප දෙනෙකුන් පැමිණ සිටීම ය. ඊට පෙර දින වැටී පාදය බිඳුණු මහලු සහෝදරියක් කතරගම සිට පැමිණ සිටියා ය. අතීතය සමරමින් ඇය කියූ සටන්කාමී කථා ඇසූ මගේ දෙනෙතට තුටු කඳුළු නැඟිණ. තවත් මහලු සහෝදරයෙක් අවමංගලගාමීන් එකිනෙකා ළඟට ගොස් එබඳු කථා කියනු දක්නට ලැබිණ. ඊට පෙර දින රාත්‍රියේ ද ඔහු එසේ කළේ ය.

සමසමාජ පක්‍ෂයේ භයානක, දුෂ්කර, දුප්පත් සමයේ එහි නො සිටි, එහි අස්වනු සමයේ දී එහි අතීත කිතු සිරුර විකුණා ගෙන කනු වස් ඊට කඩා පාත් වූ බඩගෝස්තරවාදීන් එකෙකුදු එහි දක්නට නො ලැබීම දෙවෙනි විශේෂ ලක්‍ෂණය යි.

තුන් වැනි විශේෂ ලක්‍ෂණය වූයේ සමසමාජ පක්‍ෂයේ පාවා දීම පරයා විකල්ප නායකත්වය ගොඩ නඟම්හ යි කයිවාරු ගසන එකෙකුදු එහි දක්නට නො සිටීම යි. වෙබ් අඩවියෙන් ලංකාවේ කම්කරුවන්, ගොවියන්, දුගියන් මාක්ස්වාදය උගන්වා, පුහුණු කරවා විප්ලවවාදී නායකත්වය ගොඩ නඟම්හ යි නියං සමයේ අඬන අහසක් මෙන් ගොස නඟනවුන් ද එකෙකුදු එහි දී ඇහැට මුලිච්චි වීමට නො ලැබීම මේ තුන් වෙනි ලක්‍ෂණයේ ම උපලක්‍ෂණයකි.

රෙජී මෙන්ඩිස් සහෝදරයාගේ සප්‍රතිපත්ති අරගලය හා ජීවිතය මහත් පහන් ටැඹක් මෙන් අනාගත කම්කරු පන්තියට මඟ පෙන්වනු සිකුරු ය.

රෙජී මෙන්ඩිස් නාමය දනන් තුඬ තුඬ චිරා කල් රැව් පිළිරැව් දේවා!☐

සුචරිත ගම්ලත්


© ('සති සිතු මිණි' - දිවයින ඉරිදා සංග්‍රහය / 06 පෙබරවාරි 2000)