ජයවර්ධන වෙතටයි II: ‘මාදගල් සිට බසයකින් ආ සෙබළු දුටු දුටුවන්ට වෙඩි තැබූහ‘


1 කොටස - ජයවර්ධන වෙතටයි I: ‘හයවැනි ව්‍යවස්ථා සංශෝධනය යුක්තිය ලබාදුන්නේ දාමරිකයන්ට ය‘

එක් දහස් නවසිය හැත්තෑ හතේ අප්‍රේල් මාසයෙදී සිදු වූ ෆෙඩරල් පක්ෂයේ නිර්මාතෘ සහ ‍දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක එස්. ජේ.වී. චෙල්වනායගම්ගේ මරණයෙන් පසු සිව් වස් වියැති සන්ධානයේ නායක ධූරයට ඒකමතිකත්වයෙන් පත්වූයේ අප්පාපිල්ලෛ අමිර්තලිංගම් ය. තුන් මසක් ඇවෑමෙන් එළඹි මහ මැතිවරණයෙන් කන්කසන්තුරෛ ආසනයට තරඟ වැදුණු ඔහු 85%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය කළේය. ඒ, වෙන්ව වීජවත්වීමේ අභිලාෂය උතුරු සහ නැගෙනහිර බහුතරයක් ජනයා විසින් ප්‍රජාතාන්ත්‍රිකව ප්‍රකාශ කළ මහ මැතිවරණයක් අවසානයේදී ය.

දෙමළ සංහාරක කළු ජූලිය පුපුරා යන මොහොත වනවිට අමිර්තලිංගම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයද, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකත්වයද දැරීය. දෙමළ නාශක ප්‍රහාරයන්ගෙන් පසු එළඹි සතිය තුළ පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය ස්ථිර ලෙසම අවුරාලීමට ජයවර්ධන පාලනය විසින් ගෙනෙන ලද හයවැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව, ඒකීය රාජ්‍යයකට පක්ෂව ප්‍රතිඥා දීම ප්‍රතික්‍ෂේප කරමින් හේ ජනාධිපති ජයවර්ධනට ස්වකීය ජනයාගේ තිරසාර දේශපාලන ස්ථාවරයත්, ශෝචනීය සාමූහික ඉරණමත් ගැන දිගු ලියමනකින් ලියා දැන්වීය.

කළු ජූලියෙන් දශක හතරකට පසු, මුල්වරට සිංහල බසට පෙරළා මෙහි පළකරන ලද එම ලිපියේ දෙවැනි හා අවසන් කොටසයි, මේ.

පරිවර්තනය: කත්‍යානා අමරසිංහ


ජය විසින්ම පිළිගත් පරිදි නාවික හමුදා සාමාජිකයන් 150 දෙනෙකු පමණ වියරුවෙන් කඩා වැදී ජූලි 26 වැනිදා රාත්‍රියේදී ත්‍රිකුණාමල නගරයේ දෙමළ ව්‍යාපාරික ස්ථාන, සහ නිවෙස් 200ක් පැය හයක් තුළ මුළුමනින් විනාශ කළහ. පොලිසියේ සහ හමුදාවේ සහාය ලැබ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දෙමළ ජාතිකයන්ට අයත් නිවෙස් 200ක් පමණ විනාශ කරන ලද අතර නිවෙස් අහිමි වූ 1500ක් පමණ දෙනාට සරණාගතයන් වශයෙන් පාසල් ගොඩනැගිලිවල ලැගුම් ගැනීමට සිදු විය.

600 දෙනෙකුගේ නොදන්නා ඉරණම

ඒ වන විටත් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූ අහිමිවීම් සහ පීඩාවන් මදි යැයි සිතූ කලෙක මෙන් ජූලි 24 වැනිදා පාන්දර 1ට පමණ, ප්‍රදේශයේ නාවික හමුදා අණ දෙන නිලධාරියා මෙම සරණාගතයන් 600 දෙනෙකු පමණ බලහත්කාරයෙන් බස් රථවලට නංවා නොදන්නා ස්ථානවලට රැගෙන යාමට කටයුතු කළේය.

අතිගරු ජනාධිපතිතුමනි, පසුදා උදෑසන මා මේ බව දැනුම් දුන් විට, ඔබ කියා සිටියේ එම සරණාගතයන් ස්ව කැමැත්තෙන්ම ආපසු වතුකරය වෙත ගිය බව තමන්ට දැනුම් දී ඇති බවයි. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් බවත්, බහුතරයකට ත්‍රිකුණාමලයෙන් ලැබුණු ඉඩම් හෝ පුද්ගලික ඉඩම් සතු වූ බව දැනගන්නට ලැබුණු විට ඔබ පුදුමයට පත් වෙනු නිසැකය. මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරණය හමුවේ වතුකරයේ දිස්ත්‍රික්කවලදී ඔවුන්ගේ ඉරණම කුමක් වේ දැයි අප දන්නේ නැත. නාවික හමුදාවේ මෙම ක්‍රියාව වර්ගවාදී පෙළඹුමක් සහ වත්මන් අර්බුදයේදී දක්නට ලැබෙන පරිදි සන්නද්ධ හමුදාවල පක්ෂග්‍රාහීත්වය සහිත සුපුරුදු හැසිරීමකි. සිංහල ඝාතකයන්ගෙන් සහ කොල්ලකරුවන්ගෙන් තමන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර දේ යැයි මෙම හමුදාවන් කෙරෙහි විශ්වාසයක් දෙමළ ජනයා තුළ ඇති වේ යැයි ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද?

අපට පෙනෙන්නට තිබෙන දෙය නම් මෙය දෙමළ ජනයා බියවද්දා ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් ඉවතට පලවා හැරීම සඳහා කරන ලද සැලසුම්සහගත ක්‍රියාවක් බවයි. මෙම ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ කර්මාන්ත අමාත්‍යංශයේ ජයවීර මහතා ත්‍රිකුණාමලයට පැමිණීම සහ එහි පොලිස් සහ හමුදා නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම හේතුවෙන් ආණ්ඩුවේ බලවත් පාර්ශ්වයක් ත්‍රිකුණාමලයේ දෙමළ ජාතිකයන්ට එරෙහි මෙම දුෂ්ට කුමන්ත්‍රණය හා සම්බන්ධව ඇතැයි බියක් දෙමළ ජනයාගේ සිත්වල ජනිත වී තිබේ.

හින්දු කෝවිල් විනාශ කිරීම

පසුගිය මාස දෙකක කාලය තුළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හින්දු කෝවිල් දහයකට වඩා විනාශයට පත් කරනු ලැබ ඇත. ජූලි 26 වැනිදා කලහකාරී ලෙස හැසිරුණු නාවික හමුදා සාමාජිකයන් සිවන් දේවාලයේ වේල් කරත්තයට ගිනි තබා, නන්දි ප්‍රතිමාව කඩා බිඳ, ශුද්ධ වූ දෙවොල් ගර්භය කෙළෙසා දමා ඇත. 1958, 1977, 1981 සහ මෙම 83 වර්ෂයේදී සිදුවූ දෙමළ ජනයාට එරෙහි වාර්ගික ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලදී ද හින්දු කෝවිල් ප්‍රහාරකයන්ගේ ඉලක්ක බවට පත් වූ බව මෙහිදී සඳහන් කිරීම ප්‍රස්තූතයෙන් පිට පැනීමක් නොවනු ඇත. 1977 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ තිබූ හින්දු පූජනීය ස්ථානය ඇතුළු හින්දු කෝවිල් දහ අටක් විනාශ කරන ලදී. වතුකරයෙන් ආ සරණාගතයන් ලබා දුන් විස්තරවලින් කියැවුණේ බණ්ඩාරවෙල හින්දු කෝවිල මෙන්, වතුකරයේ ප්‍රදේශවල තිබූ කෝවිල් කිහිපයක්ම පසුගිය සතියේදී විනාශ කොට ඇති බවයි.

මෙවැනි වාතාවරණයකදී ආණ්ඩු පක්ෂ සාමාජිකයන් හින්දු පූජනීය ස්ථානවලට ගෞරවය පුදන ආකාරය සිය කථාවලදී සඳහන් කිරීම අපට හැඟෙන්නේ ආත්ම වංචනික ප්‍රකාශයන් ලෙස ය.

යාපනයේදී සන්නද්ධ හමුදා විසින් සිදු කරන ලද සංහාර

දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සති කිහිපයේදී යාපනයේ අහිංසක වැසියන් 50කට අධික පිරිසක් හමුදාව විසින් ඝාතනය කරනු ලැබ ඇත. තින්නවෙලි සහ කන්දර්මඩම් ප්‍රදේශවලදී - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඉන්ජිනේරුවන්, ශිෂ්‍යයන්, වෙනෙකක් තබා ගෘහණියන්ද ඇතුළත්ව - පුද්ගලයන් විසිදෙනෙකු පමණ සිය නිවෙස් තුළදී ම වෙඩි ප්‍රහාරවලට ලක්වූහ. 24 වැනිදා උදෑසන මාදගල් ප්‍රදේශයේ රඳවා සිටි යුද හමුදා භට කණ්ඩායමක් පෞද්ගලික බස් රථයක් තමන් භාරයට ගෙන එහි නැගී පදික වේදිකාවේ ඇවිදින මිනිසුන්, බස් රථවල ගමන් කරන්නන් සහ සාප්පු සහ වෙළෙඳසැල් හි සිටින මිනිසුන් වෙත වෙඩි ප්‍රහාරයක් හතර වටින් එල්ල කළහ. ශිෂ්‍යයන්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්, ගණකාධිකාරිවරයෙකු සහ වෙළෙන්දන් ඇතුළත්ව දහ තුන් දෙනෙකු පමණ ඔවුන් විසින් ඝාතනය කර තිබිණ.


රජය සිතන්නේ මෙවැනි දේ කිරීමෙන් උද්දීපනය වෙන - සතුටු වෙන ඝාතකයන්ගේ හඬට සවන් දීමට තමන් බැඳී සිටින බවයි. රජයේ කෝණයෙන්, අහිංසක දෙමළ ජනයා මරා දැමීම එතරම් බරපතළ ලෙස ගණනකට ගත යුතු නැත. එහෙත් මෙම ඝාතකයන්ගෙන් කවරෙකු හෝ ඝාතනය වී නම් එය සැලකිල්ලට ගත යුතු කාරණාවක් බවට නිතැතින් පත් වෙයි. අතිගරු ජනාධිපතිතුමනි, මා ඉතා අවංකකමින් යුතුව ඔබගෙන් විමසා සිටින්නේ සන්නද්ධ හමුදා අතින් සිදුවන මෙම ඝාතන නැවැත්වීම සඳහා රජය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගය කුමක්ද? ඔවුන් දෙමළ ජනයා මරා දැමීම දිගින් දිගට සිදුකරන්නේ දණ්ඩ මුක්තිය උපයෝගි කරගනිමිනි. අවස්ථා ගණනාවකදී යාපනයේදී අහිංසක මිනිසුන් ඝාතනය කරන ලද විට, උසාවි මගින් සාපරාධී මනුෂ්‍ය ඝාතන සදහා තීන්දු ලබා දුන් විට වරදකරුවන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. දෙමළ ජනයාට සිය ජීවිතාරක්ෂාව සඳහා නීිතියෙන් රැකවරණයක් ලැබීමේ අයිතිය නැතිද? සන්නනද්ධ හමුදා තමන්ට රිසිසේ ඝාතන කරමින්ද, පුද්ගලයන්ට තුවාල සිදු කරමින්ද හැසිරෙති. දේපළ කොල්ලකමින් සහ විනාශ කරමින් හැසිරෙති. පලාලි සහ කන්සන්තුරෛ වැසියන්ගෙන් මට ලැබුණු පැමිණිලිවලට අනුව හමුදාව විසින් ඔවුන්ගේ එළුවන්ට පවා වෙඩි තබා තිබේ. එම වැසියන් මීට එරෙහිව නැගී සිටිමට බියක් දක්වයි. මෙවැනි සන්නද්ධ සේනා අපගේ ප්‍රදේශවලින් ඉවත් කරන්නැයි අප ඉල්ලා සිටීම වරදක්ද?

වවුනියාවේ සන්නද්ධ හමුදාවල අවකල් ක්‍රියා

පසුගිය සති කිහිපයේදී වවුනියාව සහ මාන්කුලම් ප්‍රදේශවල සන්නද්ධ හමුදා විසින් දියත් කළ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම් ගණනාවක් තිබේ. දට්චන්කුලම්හි වේලු සුබ්‍රමනියම් නමැති කම්කරුවෙකු මට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයකින් කියැවුණේ ජූලි 30 වැනිදා රාත්‍රියේදී ගුවන් හමුදා භටයන් දෙදෙනකු ඔහුගේ බිරිඳ දූෂණය කළ ආකාරය හා පසුදා තම දියණිය ඔවුන් වෙනුවෙන් සූදානම් කර තැබීම ඔවුන්ට අවශ්‍ය වූ ආකාරයයි.

යාපනයේ පුලෝලි විවිධ සේවා සමූපාකාර සමිතියට අයත්ව තිබූ ලොරියක් ජූලි 25 වැනිදා රාත්‍රියේදී අනුරාධපුරයේ සිට පැමිණෙමින් තිබුණේ යාපනයට හිඟ ව තිබූ භූමිතෙල් සහ ඩීසල් රැගෙනය. මෙම ලොරිය වවුනියාවට සැතපුම් කිහිපයක් උතුරින් පිහිටි නොච්චිමොට්ටෛහිදී ගිනිබත් කර සම්පූර්ණයෙන් වනසන ලදී. මෙම වාහනයේ හිමිකරුවන් සිව්දෙනා මරා දැමුණු අතර ඔවුන්ගේ දැවුණු සිරුරු සැතපුම් කිහිපයක් නුදුරින් හමු විය. ගම්මුන්ගෙන් මා ප්‍රශ්න කළ විට ඔවුන් කියා සිටියේ මෙය ගුවන් හමුදා සෙබළුන් පිරිසක් කළ ක්‍රියාවක් බව ය. කොළඹ සිට යාපනය බලා ධාවනය වන පෞද්ගලික බස් රථ සහ ලොරිවලට මාන්කුලම්හි ස්ථානගත කර සිටි හමුදා භටයන් විසින් පසුගිය මාස තුන ඇතුළත අවස්ථා කිහිපයකදී පහර දී බරපතළ ලෙස හානි සිදු කරන ලද අතර එහි ගමන් කළ මගීන්ට සහ ඒවායේ හිමිකරුවන්ට තුවාල සිදුවිය. ඔබ දිවයිනෙන් බැහැරව සිටි මෙම කාලය තුළ ඇති වූ මෙකී සිද්ධි ගැන මම අගමැතිවරයාට පැමිණිලි කළෙමි.

පොලිස් සහ සන්නද්ධ හමුදා සාමාජිකයන්, 1977 වර්ගවාදී ප්‍රචණ්ඩත්වයෙන් පසු වතුකරයේ සිට පැමිණ වවුනියාවේ පදිංචි වූ දෙමළ සරණාගතයන්ට ක්‍රමාණුකූල ලෙස හිරිහැර කිරීමට සහ බිය වැද්දීමට දැන් පටන්ගෙන තිබේ. කෙත්වතුවල වැඩකරන දෙමළ කාන්තාවන් හමුදා ට්‍රක් රථවල නංවාගෙන පොලිස් ස්ථාන අසළින් දමා ගොස් ඇත. වතුකරයේ සියලු දිස්ත්‍රික්කවල සිටින දෙමළ ජාතිකයන්ට පහර දෙමින් ඔවුන් සරණාගත කඳවුරුවලට පන්නා දමමින් තිබෙන වේලාවක, මෙම ජනතාව වෙන කොතැනක යන්නද? ත්‍රිකුණාමලයේ සිටි දෙමළ සරණාගතයන් බලහත්කාරයෙන් ආපසු වතුකරය වෙත පිටත් කළ නාවික හමුදා අණ දෙන නිලධාරියාගේ ක්‍රියාවත්, වවුනියාවේ සෑහෙන කලක් පදිංචිව සිටි සරණාගතයන්ට පොලිස් සහ හමුදා සෙබළුන් සිදු කළ හිරිහැරයත් සලකා බලන්නෙකුට මේ සියල්ල වවුනියාවෙන් පවා දෙමළ ජාතිකයන් පළවා හැරීමේ සැලැස්මක කොටසක් දැයි සිතෙනු ඇත.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය

කොළඹ දිස්ත්‍රික්කය සහ වතුකරය ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී වින්දිතයන් බවට පත් වූ දෙමළ සරණාගතයන්ගෙන් මට ලැබුණු වාර්තාවලින් පෙනෙන්නේ මෙම ප්‍රහාරවල නිශ්චිත රටාවක් තිබෙන බවයි. බොහෝ ස්ථානවලදී ප්‍රහාරකයන් පැමිණ තිබුණේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ය. කොළඹ මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී කොල්ලකරුවන්ට දුම්රියවලින් බැස වැල්ලවත්තේ සෑම වීදියකටම සහ අනෙකුත් ස්ථානවලට පහර දීම සඳහා ස්ථාන කිහිපයකදී දුම්රිය නවත්වන ලදී. පොලිසිය සහ සන්නද්ධ හමුදාවේ සහයෝගය සහ දිරිගැන්වීම් කොල්ලකරුවන්ට සහ දේපළ ගිනි තබන්නන්ට ලබා දෙන ලදී. කොල්ල කෑ දෙයින් තම පංගුව ලබාගත් ඔවුන් දාමරිකයන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙමින් පසු කරගෙන යද්දී ‘ජය වේවා’ යි කියූ අවස්ථා තිබිණ. දෙමළ ජනයා ඊට විරුද්ධව නැගී සිටි සෑම තැනම කොල්ලකරුවන් පසුබැස්ස නමුත් සන්නද්ධ හමුදා එම ප්‍රදේශවලට ඇතුළු වී වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ප්‍රහාරයට විරුද්ධ වූ දෙමළ ජාතිකයන්ය. කොළඹ හෙට්ටි වීදිය ප්‍රදේශයේදී මෙවැන්නක් සිදු වූ බවට මා සතුව ස්ථිර වාර්තා ඇත. ජූලි 29 වැනිදා සන්නද්ධ හමුදා විසින් වෙඩි තබා ඝාතනය කළා යැයි සඳහන් වූ කොල්ලකරුවන් යනු එක්කෝ තමන්ගේ දේපළ ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ දෙමළ ජාතිකයන්ය; එසේත් නැතිනම් පසුපස පන්නාගෙන එන දාමරිකයන්ගෙන් බේරී පලා යන්නට තැත් කළ පුද්ගලයන් ය. සන්නද්ධ හමුදාවන් සඳහා විනයක් බරපතළ ලෙස අවශ්‍ය වූයේ මෙවැනි වාතාවරණයක් යටතේය. ඔවුන්ගේ ‘දෙමළ විරෝධි අදහස්’ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා පෙළඹුමක් ඇති කළ අතර ඒ නිසා ප්‍රචණ්ඩත්වය සඳහා ඔවුන්ගෙන් අනුබලයක් ලැබිණ. මෙකී ප්‍රචණ්ඩකාරී සහ දෙමළ විරෝධී සන්නද්ධ හමුදාවන්ගෙන් සහ වියරු දාමරිකයන්ගෙන් අපේ ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ මිත්‍ර රටවල ආධාරය ලබා ගන්නා ලෙස ඔබගෙන් අප ඉල්ලා සිටියේ ඒ නිසාය.


අතිගරු ජනාධිපතිතුමනි, සන්නද්ධ හමුදා වෙතින් සැබවින්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා අනුබලය ලැබෙන බව ඔබ විසින් ම පිළිගෙන ඇති විටෙක, ‘උග්‍ර දෙමළ විරෝධී හැඟීම්’ ඇති හමුදාවන් දෙමළ ජනයා ආරක්ෂා කරතැයි ඔබ බලාපොරොත්තු වීම මට කිසිසේත් තේරුම් ගත නොහැකිය. ශ්‍රී ලංකාවේ හමුදාවන්ට මෙම තත්ත්වය පාලනය කිරීමට හැකි යැයි ඉන්දියාවේ අගමැතිවරයා වෙත ඔබ විසින් කරන්නට යෙදුණු ප්‍රකාශය අසා මම මවිතයට පත් වූයෙමි. ඔවුන්ට එකවර හාවන් සමග දුවමින් දඩ බල්ලන් සමග දඩයමේ යා නොහැකිය. අහිංසක දෙමළ ජනයාගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමට නොහැකි වීමෙන් ආණ්ඩුව සිය මූලික වගකීමක් ඉටුකිරීමේ ලා අසමත් වී තිබෙන අතර (උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පිටත වාසය කරන බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වූවෝ වෙති) එහෙයින් ම ඔවුන් පාලනය කිරීමේ සදාචාරාත්මක අයිතියක් ද (රජයට) නැත. අතිගරු ජනාධිපතිතුමනි, මෙය ඔබට කීමට සිදු වීම ගැන මා කණගාටු වන අතර එය සිදු වන්නේ විශේෂයෙන්ම ඔබගේ ජාතිය ඇමතීමේ කතාව නිසා ය.

වාමාංශික පක්ෂ තමන්ට විරුද්ධ ප්‍රහාර දියත් කිරීමේලා කිසිදු සම්බන්ධයක් ඇති බව දෙමළ ජනතාව විශ්වාස නොකරති. රාජ්‍ය අමාත්‍යවරයා විසින් කොමියුනිස්ට් පක්ෂය සහ ඇතැම් "අඳුරු බලවේග" පිළිබඳව කරන්නට යෙදුණු ප්‍රකාශය ඔවුන් දකින්නේ බටහිර බලවතුන්ගේ අනුකම්පාව සහ සහයෝගය ලබා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන ලද්දක් ය යන්නයි. මෙය, ඔවුන්ගේ අදහසට අනුව, සැබෑවට සිදු වූ දෙයින් අවධානය වෙනතක හරවා නොමග යවන්නක් පමණි. දෙමළ ජනයාට එල්ලවූ ප්‍රහාරය මුළුමනින්ම සැලසුම්ගත වාර්ගික ප්‍රචණ්ඩත්වයක් වන අතර ආණ්ඩුවට කිට්ටු බලවේග විසින් අනුකම්පා විරහිතව ක්‍රියාත්මක කරන ලද්දකි. 1980 ජූලි වර්ජකයන්ට පහර දුන්නේද, බෞද්ධ සම්මේලන ශාලාවේ පැවැත්වූ රැස්වීමට හා විනිසුරුවන්ගේ නිවෙස් ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයේදී මහාචාර්ය සරච්චන්ද්‍ර ඇතුළු පිරිසට පහර දුන්නේද මෙම බලවේගම ය. මෙම බලවේගවලට සන්නද්ධ හමුදා ද ඇතුළත් වන අතර සිරිල් මැතිව් මහතා පාර්ලිමේන්තුවේදී සෑම විටම ඔවුන්ව ආරක්ෂා කරමින් කතා කරයි.

දෙ.එ.වි.පෙ. සභාපතිගේ පෞද්ගලික නිවහන, විපක්ෂනායකගේ නිල නිවසට පහර දීම

(ජූලි) 25 වැනිදා අළුයම පළමුවෙන් ප්‍රහාරයට ලක් වූ නිවෙස් අතරින් එකක් වූයේ නල්ලූර්හි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති සිවසිදම්පරම් මහතාගේ පෞද්ගලික නිවහනයි. මෙවැනි ප්‍රහාරයක් ඇති විය හැකි බවට බලවත් අනතුරු ඇඟවීමක් පොලිසියේ බලධාරීන් වෙත කලින් දන්වා තිබුණත්, මෙම ප්‍රහාරය නැවැත්වීම සඳහා කිසිවක් සිදු නොකරන ලදී. ඔහුගේ මෝටර් රථයට ගිනි තබන ලද අතර, නිවෙස කොල්ල කා සම්පූර්ණයෙන් ගිනිබත් කරනු ලැබිණ. ඔහුගේ බිරිඳට සහ දියණියට ඉනිමගකින් තාප්පයකට ගොඩ වී සිය ජීවිත බේරා ගැනීමට සිදු විය. ආරක්ෂක අංශ මෙතැනට පැමිණියේ පැය ගණනාවක් ගතවූ පසුව ය.

 උපාලි ඇසෝසියේට්ස් සමාගමේ මුරුගයියා මහතාගේ නිවෙසටද ජූලි 25 වැනිදා ප්‍රහාරයක් එල්ල විය. මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදැයි පෙනෙන්නට තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇතැම් වැදගත් අයවළුන්ය. මෙයින් ඇතැමෙකු ඊට යාබද මගේ නිල නිවෙසටත් ඇතුළු වී එහි වෙසෙන මගේ කාර්ය මණ්ඩලයට අයත් භාණ්ඩ කොල්ල කා තිබේ. ඉන්පසු ඔවුන් තාප්පයෙන් ඉවතට පැන ‘ශ්‍රාවස්ති’ වෙත ආරක්ෂාව සඳහා ගොස් තිබේ. සේවකයෝ ඔවුන්ව පන්නා දැමූහ. ඔවුන්ගේ වාසනාවට පාර්ලිමේන්තුවේ මහලේකම් නිහාල් සෙනවිරත්න මහතා ඔවුන්ව සරණාගත කඳවුරුවලට යවා තිබිණ. ඔවුන් කැටුව ගිය පොලිස් නිලධාරීන් ඉතා අසභ්‍ය බසින් මට බැණ වැදී තිබුණු අතර මා කොළඹට ගියොත් කෑලි කෑලිවලට කපා දමන බවට තර්ජනය කර තිබිණ. මේ, නීතියේ භාරකරුවන් වන, දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට බැඳී සිටින අයයි. අතිගරු ජනපතිතුමනි, ඔබත්, අගමැතිතුමාත් මට කොළඹට නොපැමිණෙන ලෙසටත්, යම් හෙයකින් මා පැමිණියොත් ආරක්ෂාව සැපයීමට නොහැකි වනු ඇති බවටත් දුන් උපදෙස කොතරම් නිවැරදිදැයි මට වැටහිණි. ඉන්පසුව ඔබ වෙතින් ලැබුණු (ආරක්ෂාව සැපයීමට හැකි බව කියැවෙන) යෝජනාව මුළුමනින් දේශපාලන හේතු මත හුදෙක් ලෝකයට පෙන්නීම සඳහා කළ එකක් වන්නේ ඒ වන විටත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට විශේෂයෙන් බලපාන පනතක් කඩිමුඩියේම සැකසෙමින් තිබුණු නිසාය.

වැලිකඩ බන්ධනාගාරයේ මිනිස් සංහාරය

ජූලි 23 වැනිදාට පසුව එළඹුණු අඳුරු දෙසතියේ ඇතිවූ දරුණුතම කළු පැල්ලම වන්නේ වැලිකඩ බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් ඝාතනය කිරීමයි. මෙහි වගකීමෙන් බැහැර වීමට රජයට කිසිසේත් නුපුළුවන. විශේෂයෙන්ම එය දෙවන වරටත් සිදු වූ විටෙක එසේ කළ නොහැකිය. වින්දිතයන්ගේ පාර්ශ්වයේ අයිතීන් පිළිබඳ සලකා බැලීමට කිසිවකු නොමැතිව ඒ පිළිබඳ නෛතික පරීක්ෂණයක් පැවැත්විණ. ප්‍රශ්න කිහිපයක්ම පිළිතුරු නැතිව මගහැරෙමින් තිබේ. සිංහල සිරකරුවන් සිය මැදිරිවලින් පිටතට පැමිණියේ කෙසේද? සිරකරුවන්ට පොරෝ, යකඩ පොලු, පිහි සහ මුගුරු වැනි මාරාන්තික ආයුධ ලැබුණේ කෙසේද? බන්ධනාගාර නිලධාරීන් යටත් කරගනිමින් ඔවුන් හැසිරුණා නම් එවැනි ප්‍රචණ්ඩ සිරකරුවන් මෙල්ල කිරීම සඳහා ඔවුන් (නිලධාරීන්) අත තිබූ ගිනි අවිවලට කුමක් සිදු වීද? දින කිහිපයකට පසු යාපනය බන්ධනාගාරයේ දෙමළ සිරකරුවන් පිරිසක් එයින් පැන යාමට උත්සාහ කිරීමේදී ඔවුන් සිව් දෙනෙකුට වෙඩි තබා මරා දමනු ලැබිණ. දෙවැනි වතාවේ දෙමළ සිරකරුවන් දහඅට දෙනෙකු මරා දැමුණු විට සිංහල සිරකරුවන්ට වෙඩි නොතබන ලද්දේ ඇයි? සිංහල සිරකරුවන්ගේ ජීවිත වටිනා බවට සැකයක් නැත. එහෙත් දෙමළ සිරකරුවන්ටත් ඒ නීතියම බලනොපාන්නේ මන්ද? සිංහල ජනතාව අස්වැසිල්ලක් ලැබුවේ වැලිකඩ සිරකරු සංහාරයෙන් පසුව යැයි රජයේ වගකිව යුතු ඇමතිවරයෙකු සරණාගත කඳවුරකදී කියා ඇති බව දෙමළ සරණාගතයන් පිරිසක් මට පැවසූ මොහොතේ මම බලවත් සේ කම්පාවට පත් වූයෙමි. බන්ධනාගාර නිලධාරීන් සහ හමුදා සොල්දාදුවන් දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනකු සැලසුම්ගතව ඝාතනය කිරීමට සම්බන්ධ වී ය යන පිළිනොගෙන සිටීමට නොහැකි නිගමනයට එළඹෙන තැනට දෙමළ ජනයා තල්ලු වී තිබේ.

සහන සහ පුනරුත්ථාපන ක්‍රියාමාර්ග

අතිගරු ජනාධිපතිතුමනි, මෙවැනි වාතාවරණයක් යටතේ රජය විසින් නිවේදනය කරන ලද සහන සහ පුනරුත්ථාපන ක්‍රියාමාර්ග පිළිබඳව අවිශ්වාසයෙන් බැලීමට දෙමළ ජනයා යොමු වුවහොත් ඔබතුමා පුදුමයට පත් නොවනු ඇත. විනාශ වීමට ලක් වූ දේපල සියල්ල රජයට පවරා ගැනීමට යාමේ ක්‍රියාමාර්ගය ඔවුන්ට පෙනෙන්නේ කොල්ලකරුවන්ට ලබා ගැනීමට බැරිවූ දේවල්වල හිමිකම් පවරා ගැනීමට යාමක් ලෙසය. රැකියා නැතිවූ සේවකයන්ට ලබා දීමට යන සහන පිළිබඳව දෙමළ ජනයා සිතන්නේ සිංහල සේවකයන්ද වැඩ කරමින් සිටි කර්මාන්තශාලා විනාශයට පත් වීම නිසා, එකී සිංහල සේවකයන්ට රැකියා ලබා දීම එහිදී රජයේ මූලික අරමුණ බවය. පුනරුත්ථාපන කටයුතු සඳහා ආධාර දීමට පැමිණි අන්තර්ජාතික රතු කුරුස සංගමයේ නියෝජිතයන් රටින් පිටවුණු බවට ලැබුණු වාර්තා මේ සියලු සිද්ධීන් මෙහෙයවෙන ආකාරය පිළිබඳ තවදුරටත් සැක සංකා ජනිත කරවයි. රජය මෙවැනි බිය දුරු කර, තමන්ගේ වාසස්ථාන සහ ජීවනෝපාය මාර්ග අහිමි වී නැවතත් තමන් මුලින් විසූ ප්‍රදේශවලට යාමට නොහැකිව සිටින දෙමළ සරණාගතයන්ට අහිමි වූ දේ නැවත ලබා දීම සඳහා තමන් වෙත ඇති සැලසුම් නිවේදනය කළ යුතුය. ඔවුන්ට නැවතත් මුල් පදිංචි ස්ථානය වෙතට යාමට බල කිරීම අමානුෂිකය. නිවෙස් අහිමිව සරණාගත කඳවුරුවල දුකසේ දිවි ගෙවීමට සිදු විය හැකි සරණාගතයන් වහාම ආරක්ෂාකාරී ප්‍රදේශවල නැවත පදිංචි කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් දැනට නොමැති නම්, මේ ප්‍රශ්නය විසඳීමේදී ඉහළම ප්‍රමුඛතාව හිමි විය යුත්තේ ඔවුන්ගේ ප්‍රශ්නය සඳහාය.

විසඳුම

දෙමළ ජනයාට පහර දෙමින් සහ මරා දමනු ලැබෙමින් තිබේ. ඔවුන්ගේ නිවාස ගිනි තැබෙමින් සහ විනාශ කෙරෙමින් තිබේ. ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන කොල්ල කා ගිනිබත් කරනු ලැබ තිබේ. ඔවුන් දස දහස් ගණනින් සරණාගත කඳවුරුවලට ගාල් කෙරමින් තිබේ. මුහුදෙන් සහ ගුවනින් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට යැවෙමින් තිබේ. සිංහල සිරකරුවන් අතින් දෙමළ සිරකරුවන් ඝාතනය වෙයි. සිංහල සිසුන් විසින් දෙමළ සරසවි සිසුන් පළවා හැරෙයි. දෙමළ ජනයා මුහුණ දෙන, ඉවසා දරා ගැනීමට නොහැකි මේ සියලු පීඩා හා දුෂ්කරතා මධ්‍යයේ, අතිගරු ජනාධිපතිතුමනි, ඔබගේ ආණ්ඩුව අපේ පක්ෂය තහනම් කිරීමටත්, ඡන්දයෙන් තේරී පත් වූ දෙමළ ජනයාගේ නියෝජිතයින් පාර්ලිමේන්තුවෙන් පලවා හැරීමටත් හයවැනි සංශෝධනය ව්‍යවස්ථාවට එක්කරමින් එය බලාත්මක කළේය. මේ සංශෝධනය දෙමළ ජනයා වෙතත්, සිය දේශපාලන අයිතීන් සහ නිදහස වෙනුවෙන් සාමකාමී ලෙස සටන් කිරීමට ඔවුන්ගේ ඇති අයිතිය වෙතත් තවදුරටත් එල්ල කරන ලද පහරක් බව අපි සලකමු. ආත්මාභිමානයක් ඇති මිනිසුන් ලෙස මෙම ක්‍රියාමාර්ගවලට, අපගේ හඬත්, මර්දනයට එරෙහිව නැගී සිටීමට ඇති අපේ අධිෂ්ඨානයත් යටපත් කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකිය යන්නට ඔබ එකඟ වනු ඇත. මෙම සංශෝධනයෙන් නෛතික රාමුවක් හරහා සාධාරනීකරණය කිරීමට බලාපොරොත්තු වන, සිංහල දාමරිකයන්ට විශ්වාසය ඇති කරවන එකම දෙය, දෙමළ ජනයාට දේශපාලන නිදහසක් නැති බවත්, දේපළ හිමිකමක් නැති බව හෝ ජීවත් වීමේ අයිතිය නැති බවත් පමණි.
රජය විසින් හිස නමන ලද ‘සිංහල ජනතාවගේ ඉල්ලීම සහ ජාතික හැඟීම’ යනු මෙයයි.

දිවයින පුරා දෙමළ ජනයා සිංහල දාමරිකයන් විසින් සුළුතර ජනයා වෙසෙන උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පන්නා දමා තිබේ. ඒ ප්‍රදේශවලදී ද ඔවුන් සිංහල සන්නද්ධ හමුදා වෙතින් හිරිහැරයට ලක් වී, අවමානයට බඳුන් වෙමින් ඝාතනයට ලක් වෙමින් තිබේ. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සහ සාමකාමී ලෙස පීඩිත දෙමළ ජාතියේ මූලික අයිතීන් සහ නිදහස දිනා ගැනීමට උත්සාහ කරමින් සිටී.

අතිගරු ජනාධිපතිතුමනි, මේ බිහිසුණු මර්දනයෙන් අපගේ ජනතාව ගලවා ගැනීම උදෙසා අප සාමකාමී ලෙස දිිගින් දිගටම නැගී සිටින බව ඔබට සහතික කර කියමි.

සුබ පැතුම් සමග ඔබේ විශ්වාසී,
ඒ. අමිර්තලිංගම් - විපක්ෂ නායක සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහලේකම්☐

© JDS