ජයවර්ධන වෙතටයි I: ‘හයවැනි ව්‍යවස්ථා සංශෝධනය යුක්තිය ලබාදුන්නේ දාමරිකයන්ට ය‘

1983 ජූලි මාසයේ දකුණේ ‍වීදි දිග දොරින් දොර ඇවිළ ගිය දෙමළ විරෝධී සංහාරක දවස් තාවකාලිකව නිමා වූයේ දෙමළ ජනයාගේ පාර්ලිමේන්තු නියෝජනය සහමුලින් අවුරා දැමීමේ වර්ගවාදී දේශපාලන අභිලාෂය මුදුන්පත් කළ 6වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනි. වෙළඳ ඇමති ලලිත් ඇතුළත්මුදලිගේ මූලිකත්වයෙන් හදිසියේ ‍කෙටුම්පත් කළ හයවැනි සංශෝධනයේ ඡේද ‍දෙකක් ව්‍යවස්ථාවට පටහැනි බැව් අගෝස්තු 2 වැනිදා අධිකරණය විසින් තීන්දු කළ නමුත් පසුදා අදාළ නියෝග සළකා බැලූ කැබිනට් මණ්ඩල සාමාජිකයෝ, මතභේදාත්මක ඡේද වෙනස් නොකොට සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ‍යොදාගැනීමට තීරණය කළහ.

අගොස්තු 4 වැනිදා ජයවර්ධන විසින් ආණ්ඩු පක්ෂ සාමාජිකයන් වෙත කෙටුම්පත ඉදිරිපත් කරමින්, හයවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ප්‍රතිඥාවක් නොදෙන්නේ නම් තමන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමග කිසිදු සාකච්ඡාවක් නොකරන බව සහතික කර සිටි‍යේය. එදිනම පස්වරු 2ට රැස් වූ පාර්ලි‍මේන්තුව, සභා සැසිවාරයන් සම්බන්ධයෙන් ඒතාක් බල පැවැත්වූ ස්ථාවර නියෝග පසෙක ලා, වැනිදා දවස නිමාවන්නට පෙර අදාළ සංශෝධනය සම්මත කරගන්නට තීරණය කරන ලදී. එවකට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ එකදු මන්ත්‍රීවරයෙක් හෝ නොමැති සභාවකදී, ඔවුන්ගේ නියෝජනය තීරණාත්මකව අවසන් කිරීමේ තීන්දුව ගනු ලැබුණේ ඒ අනුව ය.

හදිසියේ කැඳවන ලද ව්‍යාජ විවාදයට සහභාගී වෙමින් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් යෝජනාව සභාගත කළ එවකට අගැමති රණසිංහ ප්‍රේමදාස, ‘සංශෝධනයේ අරමුණ වෙන්වීම පිළිබඳ අභිලාෂය ප්‍රකාශ කරන සියල්ලන්ට එරෙහිව උපරිම දඬුවම් ලබා දීම බව‘ අවාධාරණය කළේය.

‘සුළුතර ජාතීන් බහුතරයේ අභිලාෂය පිළිනොගන්නේ නම් ඔවුනට එරෙහිව ප්‍රචණ්ඩ බලය යොදාගැනීමට අයිතියක් ඇතැයි‘ අවධාරණය කළ කර්මාන්ත ඇමති සිරිල් මැතිව්, මලයාසියාවේ සුළුතර චීන ජාතික ප්‍රජාවට එරෙහිව මලයානු ජනයා ඉවසුවේ දින හයක් වුවද, සිංහල ජනතාව අවුරුදු 10ක් ඉවසා ඇති බැව් කියා සිටියේය.

රණකාමී වහසි බස් දියවන්නාවට ඉහළින් ගිගුම් දුන් පැය 13කින් පසු, අගෝස්තු 5 වැනිදා අළුයම 4ට, පාර්ලිමේන්තුව විසින් හයවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලදී. “දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ගමන අවසන්“ බැව් පසු දා ඩේලි නිවුස් පුවත්පත අභිරුචියෙන් වාර්තා කර තිබිණ.

ජූලි 25 වැනිදා සිට අගෝස්තු 10 වැනිදා දක්වා වවුනියාවේ රැඳී සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු නියෝජිතයන් විසින් නව සංශෝධනය ප්‍රකාරව ඒකීය රාජ්‍යයට පක්ෂව දිවුරුම් නොදීමේ තීරණය 6වැනිදා ගන්නා ලදී. ඒ වනවිටත්, දෙමළ මන්ත්‍රීවරුන් වූ අමිර්තලිංගම් සහ සිවසිතම්පරම්ගේ කොළඹ නි‍වෙස් සිංහල දාමරිකයන් විසින් සහමුලින් විනාශකොට තිබිණ. 24 වැනිදා වර්ගවාදයේ ගින්නෙන් බිලිගත් සිය නිවසේ තාප්පයෙන් බැස අසල්වැසි නිවසට පලාගොස් දිවි බේරාගත් සිවසිතම්පරම්ගේ බිරිඳ හා දරුවෝ, පසුදා කොළඹ තාවකාලික සරණාගත කඳවුරකට ගාල්වූහ. යළි කොළඹ ඒමේ අවදානම සියල්ලෝ පසක් කරගෙන සිටියහ.

මිතුරෙකුගේ යතුරු පැදියේ පිටුපස අසුනේ වාඩි වී 10 වැනිදා වවුනියාවේ සිට කොළඹ ආ ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක අප්පාපිල්ලෛ අමිර්තලිංගම් එදිනම ඉන්දියාව බලා නික්ම ගියේය.

අගෝස්තු 10වැනිදා ඔහු විසින් ජනාධිපති ජයවර්ධනට ලියා එවන ලද ලිපිය වූකලී, ස්වකීය ප්‍රජාව මුහුණ දුන් අයුක්තීන් සම්පිණ්ඩනය කොට සිංහල පාලකයන්ගේ විචාර බුද්ධියට ආමන්ත්‍රණය කිරීමේ ලා දරණ ලද අවසාන ප්‍රයත්නයන්ගෙන් එකක් සේ ගිණිය හැකි ය.

කළු ජූලියෙන් දශක හතරකට පසු, මුල්වරට සිංහල බසට පෙරළා මෙහි පළ කෙරෙන්නේ එම ලිපියයි.

පරිවර්තනය: කත්‍යානා අමරසිංහ


තිගරු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන,

කොළඹ.
1983 අගෝස්තු.

අතිගරු ජනාධිපතිතුමනි,

ඔබතුමා බලයට පැමිණියේ 1977 වසරේ ජූලි මාසයේදී බැවින් දෙමළ ජනතාවට බලපාන විවිධාකරයේ ප්‍රශ්න පිළිබඳව ලියමන් කිහිපයක් ඔබ හමුවෙහි තැබීමට මට අවස්ථාව උදා විය. අපගේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට මගේ පක්ෂයේ මන්ත්‍රීවරුනුත් මාත් ඔබතුමාත් ඔබතුමාගේ ඇමතිවරුනුත් අවස්ථා ගණනාවකදී හමුවී ඇත්තෙමු. මගේ ලිපිවලට අඛණ්ඩව පිළිතුරු එවීමෙන් ඔබතුමා දැක්වූ අනුග්‍රහය සහ පසුගිය අවුරුදු හය ඇතුළත සිදුවූ සාකච්ඡාවලදී අප අතර තිබූ සුහදතාව සම්බන්ධයෙන් පළමුකොට මගේ ස්තුතිය පිරිනැමීමට කැමැත්තෙමි. මෙය සමහර විට විපක්ෂ නායකයා වශයෙන් මා ඔබට ලියන අන්තිම ලියමන විය හැකි අතර (එම තනතුර අහම්බෙන් මට ලැබුණු අවස්ථාවත් වුවත්) මෙම ලියමන දීර්ඝ ලිපියක් වීම පිළිබඳවත් එය (සර්වබලධාරී බලධාරියාගේ කැමැත්තට යටත් වන) මාධ්‍ය සඳහා නිකුත් කිරීම පිළිබඳවත් ඔබ කමා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

1977 සිට 1983

ඔබතුමා වෙත මවිසින් පළමු ලියමන ලියන ලද්දේ 1977 අගෝස්තුවේදීය. ඒ, 1977 අගෝස්තු 16 වැනිදා යාපනයේ සිංහල පොලීසිය විසින් ආරම්භ කරන ලද, සිංහල දාමරිකයන් විසින් අනුකම්පා විරහිත ලෙස ඉන් ඉදිරියට පවත්වාගෙන යන ලද සැලසුම්සහගත ප්‍රචණ්ඩත්වයේදී 300ක් පමණ දෙමළ ජනයාගේ ජීවිත අහිමිවීමෙන්, 10 000ක් පමණ වූ පුද්ගලයන්ට තුවාල සිදුවීමෙන්, දෙමළ කාන්තාවන් 200ක් පමණ දූෂණයට ලක්වීමෙන්, දෙමළ ජනයාට අයත් රුපියල් බිලියනයක පමණ දේපළ කොල්ලකෑමට සහ විනාශ කිරීමට ලක්වීමෙන්, 50 000ක් පමණ දෙමළ ජනයා තම උපන් බිම්වලින් පළවා හැර, උතුරු නැගෙනහිර ප්‍රදේශවලට යැවීමෙන් වින්දිතයන් බවට පත්වූවන්ගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමට නීතිය සහ සාමය තහවුරු කරන ක්‍රියාමාර්ගයක් ගන්නැයි උදක්ම ඉල්ලා සිටීමටය. (මෙය සිදුවීමෙන් වසර හයකට පසුවත්, ඉතිහාසයේ වෙන කවදාවත් නොවූ විරූ තරම් හිංසනීය ලෙසත් සම්පූර්ණ ලෙසත් පුද්ගල සහ දේපළ විනාශයට ලක් වූ ප්‍රචණ්ඩත්වයකට මුහුණ දීමට දෙමළ ජනයාට සිදුවූ වතාවරණයක් අභිමුව සිටිමින් මට ඔබ වෙත මෙවැනි ලියමනක් ලිවීමට සිදු වීම තරම්, මේ ප්‍රශ්නය විසඳීමෙහිලා ආණ්ඩුව දැක්වූ අතිමහත් අසාර්ථකත්වයට වෙනත් හොඳ සාක්ෂියක් නැත.) නිවාස මුළුමනින්ම විනාශයට ලක් වූ ලක්ෂයක පමණ දෙමළ ජනයා අවතැන් වී ඇති අතර ඔවුන් අනාථ කඳවුරුවලට යවනු ලැබ තිබේ. දෙමළ ජාතිකයන්ට අයත් විනාශයට පත් වූ සහ කොල්ල කන ලද දේපළවල වටිනාකම රුපියල් බිලියන ගණනක් වනු ඇත.

නැති වූ ජීවිත ගණන දෙදහස ඉක්මවනු ඇත. තවමත් ස්ථිර වශයෙන් එම සංඛ්‍යාව පැවසීමට නොහැකි මුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පැමිණෙන හැම පවුලකටම පාහේ සිංහල දාමරිකයන් සහ සන්නද්ධ අංශ විසින් ගැහැනුන්, පිරිමින් සහ ළමයින් අමානුෂික ලෙස මරා දමන ලද සහ ගිනි තබන ලද ආකාරය ගැන කියන්නට කතා තිබේ.

1977 සහ 1983 වාතාවරණ අතර එක් විශේෂ වෙනසක් පෙනෙන්නට තිබේ. 1977 වසරේදී සන්නද්ධ හමුදාවලට සෑහෙන තරමක විනයක් තිබුණු නමුත් ඔබතුමා නවදිල්ලියේ සිටින බී.බී.සී වාර්තාකරුවාට මෙසේ පවසන ලදැයි වාර්තා විය. “මෑතකදී ඇති වූ කෝලාහලවලින් හෙළි වන්නේ සන්නද්ධ හමුදාවන්ගේ විනය බරපතල ලෙස පිරිහී ඇති බවයි. එමෙන්ම සන්නද්ධ හමුදා සාමාජිකයන් අතර උග්‍ර දෙමළ විරෝධී අදහස් තියෙන බවත් පෙනෙන්ට තිබෙනවා. සමහර අවස්ථාවලදී ඔවුන් කෝලාහල සඳහා සහයෝගය ලබා දුන්නා” (8/8/83 උදෑසන පුවත් විකාශය) එතැනින් ඉදිරියට ගොස් මට කීමට ඇත්තේ සන්නද්ධ හමුදා යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය, කොළඹ සහ වෙනත් ස්ථානවල දෙමළ ජාතිකයන් ඝාතනය කිරීමට, ඔවුන්ගේ දේපල කොල්ල කෑමට සහ විනාශයට සෘජුවම සම්බන්ධ බවයි.

වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම

දෙමළ ජනයාට එරෙහි මෙම සියලු හිංසනීය ක්‍රියා සිදුකිරීමට නිදහසට කාරණය ලෙස ඉදිරිපත් කෙරෙනුයේ ඒ සියල්ල සිදු වූයේ වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම නිසා ය යන්නයි. එවිට 1956 ජූනි මාසයේදී කොළඹ, අම්පාර සහ අනෙකුත් ප්‍රදේශවල දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන පැහැදිලි කළ හැක්කේ කෙසේද? 58 සිදුවූ හදිසි අවස්ථාව සහ 1958 වසරේදී දිවයින පුරා දෙමළ ජනයාට එරෙහි සංහාරයට දිය හැකි නිදහසට කාරණය කුමක්ද? ඒ කාලයේදී වෙනම රාජ්‍යයක් සඳහා වූ කිසිදු ඉල්ලීමක් නොතිබුණු බව පැහැදිලි ලෙසම කිව හැකිය. වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම සත්‍ය වශයෙන්ම පනහේ දශකයේදී සිංහල ප්‍රදේශවල නැවත නැවත ඇති වූ වර්ගවාදී ප්‍රචණ්ඩත්වයත්, ඉන්පසුව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල හැටේ සහ හැත්තෑව දශකවලදී ඇති වූ පොලිස් සහ හමුදා ප්‍රචණ්ඩත්වයත් ඇතුළුව, අවුරුදු විසි පහක කාලයක් තිස්සේ ක්‍රමිකව ගොඩ නැගෙමින් තිබූ දෙමළ ජනයාට එරෙහි පීඩාවේ ප්‍රතිපලයකි.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබගේ එක්සත් ජාතික පක්ෂය විසින් ම, 1977 වසරේදී එළිදැක්වූ මැතිවරණ ප්‍රකාශනයේදී දෙමළ බස කතා කරන ජනයා භාෂාව, අධ්‍යාපනය, ජනපදකරණය, රැකියා සහ ආර්ථික සංවර්ධන යන ක්ෂේත්‍රවලදී අත්විඳින පීඩාවන්, ඔවුන්ගෙන් සමහර දෙනා වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම වෙත තල්ලු කරන ලද ප්‍රශ්න ලෙස හඳුනා ගෙන තිබිණ. රෝග නිධානය නිවැරදිව හඳුනා ගත් නමුත් එයට නිවැරදි ප්‍රතිකාරය දීමට රජය අපොහොසත් විය. නිශ්චිත ඖෂධ නියම කර තිබුණත්, එය බෙහෙත් තුණ්ඩුවලට ම සීමාවී තිබුණු අතර කිසිදා රෝගියා වෙත ලබා දුන්නේ නැත. ඉතින්, ඔබතුමාගේ ආණ්ඩුව බලයේ සිටි පසුගිය අවුරුදු හයක කාලයේදී තත්ත්වය වඩ වඩා නරක අතට හැරීම පුදුමයක්ද?

දෙමළ ජනතාවගේ භාෂා අයිතිය

ඔබගේ ආණ්ඩුවේ ඇමතිවරුන් පුන පුනා කියා සිටින්නේ දෙමළ ජනයාගේ භාෂා අයිතිවාසිකම් ලබා දී ඇති නිසා අප ඊට කෘතඥ විය යුතු බවය. 1958 වසරේදී බණ්ඩාරනායක මහතා දෙමළ භාෂා (විශේෂ විධිවිධාන) පනත සම්මත කළ අතර දෙමළ භාෂා අයිතිය තහවුරු කරන අනුප්‍රාප්තික නීතිවල ප්‍රධාන මූලධර්ම සියල්ල එහි අඩංගු විය. එහෙත් ඔහු හෝ ඉන්පසුව බලයට පැමිණි ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් මෙම පනත ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් නොදැක්වූ අතර එය මිය ගිය ලිපියක් සේ පැවතුණි. 1966 වසරේ ජනවාරි 8 වැනිදා ඩඩ්ලි සේනානායක- චෙල්වනායගම් ගිවිසුම ප්‍රකාරව ඔබතුමා විසින් දෙමළ භාෂා (විශේෂ විධිවිධාන) රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, 1965 වසරේදී ෆෙඩරල් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව සෑදීමට සහයෝගය දක්වා තිබුණේ ඒ මතය. එහෙත් එම රෙගුලාසිද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හෝ ඉන් පසුව පත් වූ එක්සත් පෙරමුණු ආණ්ඩුව මගින් කිසිදා ක්‍රියාත්මක කළේ නැත. 1972 ව්‍යවස්ථාවට එම රෙගුලාසි ඇතුළත් කිරීම එම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයේ කේ. ඩබ් දේවනායගම් මහතා ඇතුළු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙමළ ජාතික මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීම ඉතිහාසයේ ලියවී තිබේ. ඔබේ ආණ්ඩුව 1978 ව්‍යවස්ථාවට ඇතැම් දෙමළ භාෂා අයිතීන් ඇතුළත් කර තිබිණ. එය දෙමළ බස කතා කරන ජනයා ඉල්ලමින් සිටි රාජ්‍ය භාෂා තත්ත්වයට වඩා පහළින් තිබෙන්නක් වුවත්, දෙමළ බස ජාතික භාෂාවක් බවට පත් කිරීම එම භාෂාවට ලබා දෙන තත්ත්වයෙහි ඉදිරි පියවරක් ලෙස අපි පිළිගන්නෙමු. රජය (මෙකී) භාෂා විධිවිධාන ක්‍රියාත්මක කිරීමටද අපොහොසත් වී ඇති අතර පසුගිය අවුරුදු පහේදී ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම පිළිබඳ නිදහසට කාරණා සෙවීමට ඔබේ ඇමතිවරු යුහුසුළු ව සිටිති. අඩුම තරමින් දෙමළ භාෂාවෙන් සන්නිවේදනය කිරීම වැනි මූලික අයිතීන් පවා තහවුරු කර ඇතැයි නොපෙනේ. පසුගිය අවුරුදු විසි හත පුරා තම භාෂා අයිතීන් වෙනුවෙන් අරගල කළ දෙමළ ජනයා, කොල කෑලිවලට පමණක් සීමාවූ තමන්ගේ භාෂාව හා සම්බන්ධ අයිතිවාසිකම්වලින් සෑහීමකට පත් නොවී සිටියහොත්, ඊට ඔවුන්ට චෝදනා කළ හැකිද? එහෙයින් පුන පුනා කියැවෙන, සෑහෙන අතිශයෝක්තියට නැගෙන, අකෘතඥ වී යැයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට චෝදනා නැගෙන භාෂා අයිතිවාසිකම් පිළිබඳ තවදුරටත් කතා කිරීමෙන් පලක් නැත.

දිස්ත්‍රික් සංවර්ධන සභා

දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට අනුකූලව රජය මගින් ලබා දෙන ලද දෙවැනි ප්‍රධාන සහනය ලෙස කියැවෙන්නේ බලය බෙදීමේ මෙවලම් ලෙස ඉදිරිපත් වූ දිස්ත්‍රික් සංවර්ධන සභා ය. අපගේම පාක්ෂිකයන්ගෙන් නැගුණු බලවත් විරෝධය හමුවේ වුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දිස්ත්‍රික් සංවර්ධන සභා පිලිගත්තේය. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා 1979 ජූලි මාසයේදී මෙම ව්‍යායාමය ආරම්භ කළ මුත් පසුගිය අවුරුදු හතරක කාලයක් තුළ ඇත්තටම අප ලබා ගත් සංවර්ධනය කුමක්ද? 1981 වසරේ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද විමසීම පැවැත්වෙන දාට පෙරදා ඔබගේ ආණ්ඩුවේ සිංහල පොලීසිය යාපනයේදී නීතිය සහ සාමය කඩකරමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය, යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයාගේ නිවස, සහ අමිල වටිනාකමක් ඇති පුස්තක 97000ක් සහිත යාපනය පුස්තකාලය ඇතුළු ගොඩනැගිලි රාශියක් ගිනි තබමින් යාපනය නගරයෙන් අඩක් ම ගිනිබත් කළහ. ඔබේ ඇමතිවරුන් දෙදෙනෙක් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම ඇතුළුව 1981 ජූනි මස 4 වැනිදා පැවැත්වෙන මැතිවරණය හා සම්බන්ධ අපරාධකාරී ක්‍රියා පිළිබඳව කෙරෙන මෙහෙයුම් අධීක්ෂණය කරමින් යාපනයේ සිටියහ. මේ සියලු දේ මැද අපි දිස්ත්‍රික් සංවර්ධන සභාවලට තේරී පත් වූයෙමු. වසර දෙකකට පසු එහි ක්‍රියාකාරිත්වය ප්‍රතිඵලදායක කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. මෙහිදී පෙනෙන්නට තිබූ ආණ්ඩුවේ ආකල්ප සහ ක්‍රියාවලින් හෙලිවන්නේ අවංකභාවයේ අවශ්‍යතාවත්, දෙමළ ජනතාව වෙත ලබා දෙන ලද සුළු සහනයක්වත් ක්‍රියාත්මක කිරීමට යුහුසුළු ව ක්‍රියාත්මකවීමට දක්වන මැලි බවත් ය.

මිත්‍රත්වයේ දෑත්

ඇමතිවරුන් සහ රාජ්‍ය මාධ්‍ය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙත පුන පුනා කරන චෝදනාව වන්නේ අප ඔබතුමා විසින් දිගු කරන ලද මිත්‍රත්වයේ දෑත් නොසළකා හැරි බවය. එහෙත් අපට සාකච්ඡා සඳහා ආරාධනා කරන ලද සෑම විටකම, 1981 වසරේදී මෙන් ඔබගේම පාක්ෂිකයන් විසින් ආරම්භ කරන ලද ප්‍රචණ්ඩත්වයෙන් දෙමළ ජනතාව වින්දිතයන් බවට පත්ව සිටියදී පවා, අප ඊට ප්‍රතිචාර දක්වමින් සහභාගි වීමු. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වශයෙන් එම සාකච්ඡාවලදී එකඟ වූ සියලු දේ අප නොපැකිළව ක්‍රියාත්මක කළෙමු. අපේ පාලනයෙන් බැහැරව සිදුවූ ඇතැම් සිදුවීම්වලට අපට චෝදනා කිරීමෙන් ඵලක් නැත. අපගේ ප්‍රදේශවල නීතිය හා සාමය ක්‍රියාත්මක කළ යුතු රජය අප නොවේ. එහෙත් මාස දහතුනක් තිස්සේ පැවති අන්තර් පාක්ෂික කමිටු සාකච්ඡාවලදී එකඟ වූ කාරණා රජය විසින් ක්‍රියාත්මක කරන ලදැයි ඔබට කිව හැකිද? එයින් සමහර කරුණු මෙසේ සඳහන් කරමි.

1. දිස්ත්‍රික් සංවර්ධන සභා - එකඟ වූ ආකාරයට මෙය ප්‍රතිඵලදායක කිරීමට රජය කිසිවක් කළේ නැත.

2. දෙමළ ජනයා බහුතර ව වෙසෙන ප්‍රදේශවල පොලිස් ස්ථානවලට දෙමළ බස කතා කරන පොලිස් නිලධාරින් වැඩිපුර පත් කිරීම - යාපනය දිස්ත්‍රික්කය සඳහා මෙය ක්‍රියාත්මක කරන ලද මුත් පොරොන්දු ප්‍රකාරව බහුතරය දෙමළ ජාතිකයන් වසන අනෙක් ප්‍රදේශ සඳහා මෙය ක්‍රියාත්මක කළේ නැත. පසුගිය ජූනි සහ ජූලි මාසවලදී ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතිවූ අර්බුදකාරී වාතාවරණ මෙය ක්‍රියාත්මක කර තිබුණා නම් සෑහෙන දුරට වළක්වා ගත හැකිව තිබිණ.

3. ජනවර්ග අතර අර්බුදකාරී තත්ත්වයන් ඇති වන අවස්ථාවලදී මධ්‍යස්ථව ක්‍රියාත්මක වීම සඳහා පොලීසිය සහ සන්නද්ධ හමුදාවලට දෙමළ ජාතිකයන් දැනට වඩා සංඛ්‍යාවක් බඳවා ගැනීම- මෙම පොරොන්දුවද රජය ඉටු කළේ නැත.

4. ජූනි සහ ජූලි මාසවලදී පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් වින්දිතයන් බවට පත්වූවන්ට සම්පූර්ණ වන්දි මුදල ගෙවා නැත. අන්තර් පාක්ෂික කමිටුවේදී එකඟ වූ පරිදි චුන්නාකම් සහ කන්කසන්තුරෛ ප්‍රදේශවල වින්දිතයන්ට වන්දි මුදල් කිසිවක් ගෙවා නැත. ගිනි තබනු ලද යාපනය පුස්තකාලය වෙත ලයනල් ප්‍රනාන්දු කොමිසම මගින් ප්‍රදානය කරන ලද රුපියල් මිලියන දහයක මුදලින් ජනාධිපති අරමුදල හරහා ගෙවා ඇත්තේ රුපියල් මිලියන දෙකක් පමණි.

5. 1981 වසරේ මැයි සිට ජූනි දක්වා කාලය තුළ චුන්නාකම් සහ කන්කසන්තුරෛ ප්‍රදේශවල සිදුවූ ඝාතන සහ දේපළ ගිනි තිැබීම්වලට වගකිව යුතු වූ ඇතැම් පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු කටයුතු ආරම්භ කර ඇතත් ඔවුන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් උසාවිට ඉදිරිපත් නොකරන ලද අතර දැන් මේ නඩු කොළඹට මාරු කර ඇත. එහිදී වින්දිතයන් කිසිවෙකුට බියක් සැකක් නැතිව ඉදිරිපත් වී, සාක්ෂි සැපයීමේ වාතාවරණයක් නැත.

6. එකඟතාවට පැමිණි පරිදි පරිදි ග්‍රාමාරක්ෂකයන් පත් කර නැත. එහෙත් ඒ සඳහා නම් යවනු ලැබූ පුද්ගලයන්ට පොලිස් සහතික නිකුත් කර ඇත.

7. මඩකලපුව දිස්ත්‍රික්කයේ පුන්නෛක්කුඩා නිවාස යෝජනා ක්‍රමය සහ කෙවිලියාමඩු ගම පිලිබඳ එකඟතා මේ දක්වා ක්‍රියාවට නැංවී නැත. පසුගිය මාසයේදී මම ඔබතුමාට මේ ප්‍රශ්න දෙක ගැන ලිව්වෙමි.

8. 1981 අගෝස්තු මාසයේදී පැවැත්වූ අන්තර් පාක්ෂික කමිටුවේ පළමු හමුවේදීම ඔබතුමා විසින් ඉවත් කරන්නට නියෝග දුන් වවුනියා මංසන්ධියේ නීතිවිරෝධි ලෙස ඉදි කරන ලද බුදු පිළිමය තවම ඉවත් කර නැත. එක්තරා රජයේ නිලධාරීන් පිරිසක් විසින් නීති විරෝධි ලෙස ඉදි කරන ලද, දෙමළ ජනයා නොසන්සුන් බවට පත් කරන දෙයක් ඉවත් කිරීමට ආණ්ඩුවට සම්පූර්ණ බලයක් නැත්නම් සිංහල ස්වෝත්තමවාදය බලපැවැත්වෙන තැනකදී යුක්තිය ඉටු වේ යැයි අනික් අතට දෙමළ ජනතාවට බලාපොරොත්තු තබා ගත හැකිද?

9. රජයේ තනතුරු සදහා දෙමළ ජාතිකයන් බඳවා ගැනීම පිළිබඳව රජය විසින් දෙන ලද පොරාන්දු ඉටු කර නැත. දෙමළ ජනයා බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්කවල බඳවා ගැනීම් පිළිබඳව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඉන්පසු අවලංගු කරන ලද චක්‍රලේඛ පිළිබඳ සිද්ධි දීර්ඝ වශයෙන් මෙතැනදී කතා කිරීමට බැරි තරම් නින්දිතය.

10. දිස්ත්‍රික් සංවර්ධන සභාවල විධායක සභාවල සුළුතර ජාතිකයන් බහුතර බලය ලබා ගැනීම වැළැක්වීමට මන්නාරම, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල විධායක කමිටුවල සාමාජිකයන් සංඛ්‍යාව තුන් දෙනෙකුට සීමා කිරීමට ගන්නා ලද එකඟතාව සහ ඉන්පසුව වවුනියාවේ විධායක කමිටුවට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු පත් කිරීම, එහිදී නීතියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වුණු බව දක්වා සිටිය විට ඔහු ඉල්ලා අස් වීම, ඉන්පසු එම පුද්ගලයා ම යළිත් නම් කිරීම ආදී දේ රජය සිය පොරොන්දු ඉටු කළ ආකාරය විදහා දැක්වීමට කදිම නිදසුන් ය.

මා අන්තර් පාක්ෂික කමිටුවේදී එකඟතාවට පැමිණි කාරණා අතරින් කිහිපයක් දක්වා ඇත්තේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ ආණ්ඩුව අතර ද්විපාර්ශික සාකච්ඡා නිරර්ථක බව අප සිතන්නේ ඇයිද කියා පැහැදිලි කිරීමටයි. ඔබතුමා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සාකච්ඡාවලට අප සහභාගි නොවූයේ මන්දැයි අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අපෙන් ප්‍රශ්න කළේය. අනෙකුත් පක්ෂ එම ඇරියුමට ප්‍රතිචාර දක්වා නොතිබෙන අවස්ථාවකදී, මෙම සර්ව පාක්ෂික සමුළුවත්, මා ඉහතින් දැක්වූ ප්‍රතිඵල සහිතව අවුරුද්දකට වැඩි කාලයක් අප පැවැත්වූ අන්තර් පාක්ෂික සාකච්ඡාවලම දිගුවක් පමණක් විය හැකිව තිබිණ. මුල් සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණි කරුණුවලින් සියයට 90ක්ම කිසිදා ක්‍රියාත්මක නොවී තිබියදී අපත්, ආණ්ඩුවත් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පලක් ඇතැයි අප නොසිතන බව පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කීමට නොකැමැත්තෙන් වුව මට සිදු විය.


දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ හයවැනි ව්‍යවස්ථා සංශෝධනය

හමුදා සාමාජිකයන් යාපනයේ වැසියන්ට වෙඩි තැබීම් සහ මරා දැමීම්ද, සමහර තරුණයන් ඇතැම් හමුදා සාමාජිකයන් සහ ඇතැම් සිවිල් පුද්ගලයන් ඝාතනය කිරීම්ද අවුරුදු කිහිපයක් තිස්සේ සිදු වෙයි. අප කොතරම් පිළිගැනීමට අකමැති වුවත් මෙම තත්ත්වය යාපනයේ යතාර්ථයෙන් කොටසක් බවට පත් ව තිබේ. සන්නද්ධ හමුදා සාමාජිකයන් ඔවුන් ගමන් ගන්නා ට්‍රක් රථ සහ ජීප් රථවල පටවාගෙන යන යකඩ පොලු සහ දිගු පොලුවලින් පදිකයන්ට, පාපැදිකරුවන්ට සහ මෝටර්සයිකල්කරුවන්ට පහර දීම, එසේත් නැතිනම් පුද්ගලයන්ට තුවාල සිදු කිරීම හෝ වාහනවල වින්ඩ්ස්ක්‍රීනයට, වීදුරුවලට පහර දීම හෝ නිවෙස්වල ජනේල වීදුරුවලට ගල් කැටවලින් පහර දීම යාපනයේ දෛනික සිදුවීම් බවට පත්ව තිබේ. පලිගැනීම්වලට ලක් වීමේ අවදානම පිළිබඳ බිය නිසා මෙවැනි සිද්ධි අපට වාර්තා කරන පුද්ගලයන්ගෙන් බහුතරයක් පොලීසියට ගොස් පැමිණිලි කිරීමට පැකිලෙයි. ජූලි 29 වැනිදා හැන්දෑ වරුවේදී මගේ වාහනය පසුකරගෙන ගිය නාවික හමුදා වාහනයකින් ගලකින් ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ නිසා මගේ වින්ඩ්ස්ක්‍රීනය බිඳී හානි සිදු විය. කරෛනගර් නාවික හමුදා කඳවුරේ අණ දෙන නිලධාරියාට මේ ගැන පැමිණිලි කිරීමෙන් පසු ඔහු ඒ ගැන සොයා බැලීමට පොරොන්දු විය. මෙම ප්‍රදේශ අත්පත් කරගෙන සිටින කලෙක මෙන් මේ ආකාරයට හිංසනීය ක්‍රියා, පහර දීම් සහ අවමන් කිරීම් මහජනතාවට අඛණ්ඩව සිදු කරමින් හමුදාවන් හැසිරෙද්දී මෙම හමුදා නිලධාරීන්ට පහර දෙන තරුණයන් වීරයන් සේ දැකීමට මිනිසුන් පෙළඹීම පුදුමයක්ද? මෙම ආකල්පය පිළිබඳ තේරුම් ගැනීමට නම් නිමක් නැති හිරිහැරකිරීම් සිදුවන මෙම පරිසරය තුළ ජීවත් විය යුතුය. මෙම දෛනික ක්‍රියාවන් ඉඳහිට වෙනස් වන්නේ හමුදා නිලධාරියෙකු වෙඩි ප්‍රහාරයකට ලක් වූ විටය. එවිට වහාම අහිංසක ජනතාවගෙන් පලිගැනීම ඇරඹෙයි. මැයි 18 වැනිදා යාපනයේ කන්දර්මඩම් සහ ජූනි 1 වැනිදා වවුනියාවේදී සිදුවූ පරිදි අවට තිබෙන සියලු කඩසාප්පු, වෙළඳසල් ප්‍රහාරයට, කොල්ලකෑමට සහ ගිනිතැබීමට ලක් කෙරෙනු අතර අහිංසක මිනිසුන්ට පහර දී මරා දැමුණි.

මෙවැනි සිදුවීම්වලින් පසු ඉදිරිපත් කෙරෙන සුපුරුදු නිදහසට කාරණය වන්නේ ඇතැම් සන්නද්ධ හමුදා සාමාජිකයන් කැළඹී මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවයි. 1981 වසරට පෙර මෙසේ හැසිරුනේ සිංහල පොලීසියයි. යාපනයේ පොලිස් බලකාය ‘බහුතර දෙමළ ජාතික’ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කළ පසුවය පොලිසියෙන් කරදරයක් සිදු නොවූයේ. දැන් යාපනයේ යුද හමුදා සහ නාවික හමුදාවත්, වවුනියාවේදී යුද හමුදා, ගුවන් හමුදා සහ පොලිස් නිලධාරිනුත්, ත්‍රිකුණාමලයේදී පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා සාමාජිකයන් ඒකාබද්ධවත්, මන්නාරමේදී යුද හමුදා සාමාජිකයනුත් මිනිසුන්ට ප්‍රහාර එල්ල කරති. ජූලි 25 වැනිදා මන්නාරමේදී, තල්ලඩි හමුදා කඳවුරට අයත් හමුදා සාමාජිකයන් පිරිසක් දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිගේ මෝටර් රථයට පහරදී, ඔහුගේ රියැදුරාට සහ ලිපිකරුට පහර දෙන ආකාරය මගේ දෑසින් ම දුටුවෙමි. පොලීසිය සහ හමුදාවෙන් මෙම පුද්ගල සහ දේපළවලට එල්ල කරන ප්‍රහාරවලින් නිදහස ලැබීමට දෙමළ ජනයාට අයිතියක් නැතිද? මෙම අහිංසක වින්දිතයන්ගේ හැඟීම්වලට සවන් දීමට රජය බැඳී නැතිද?

අතිගරු ජනාධිපතිතුමනි, සිංහල දාමරිකයන් සහ ආරක්ෂක හමුදා එක්ව දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අවස්ථාවේදී රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් ජාතිය අමතමින් ඔබ කියා සිටියේ සිංහල ජනතාවගේ ඉල්ලීමට සහ ජාතික හැඟීමට ඇහුම්කන් දීමට සිදුව ඇති බැවින් හය වැනි සංශෝධනය ව්‍යවස්ථාවට හඳුන්වා දෙන බවයි. එහෙත් යුක්තිය වෙනුවෙන් සහ ජීවත් වීමේ අයිතිය සහ දුක්මහන්සියෙන් උපයාගත් දේපළ ආරක්ෂා කරගැනීමේ අයිතිය වෙනුවෙන් හඬ ගෑ දෙමළ ජනයාගේ හඬට සවන් නොදෙන ලදී. දෙමළ ජනතාවට එරෙහිව ඝාතන, ගිනි තැබීම් සහ කොල්ලකෑම් සිදු වන විටෙකදී ආණ්ඩුව කොල්ලකාරී දාමරිකන්ගේ අභිලාෂයන්ට යටත් වී හය වැනි සංශෝධනය බලාත්මක කළේය. අතිගරු ජනාධිපතිතුමනි, ඉතා කාරුණිකව මට මෙහිදී කීමට ඇත්තේ මෙය අපේ ජනතාව වෙතත්, සාමකාමී ලෙස තම දේශපාලන අයිතීන් සහ නිදහස වෙනුවෙන් සටන් කිරීමට ඔවුන්ට ඇති අයිතිය වෙතත් එල්ලවූ සාහසික පහරක් බවයි. මෙම සංශෝධනයෙන් යුක්තිය ඉටු වුණේ නීතිය සිය අතට ගත් දාමරිකයන්ටය. එහිදී අපරාධකරුවා නොව වින්දිතයා - පීඩකයා නොව පීඩිතයා- තවදුරටත් දඬුවමට ලක් කර ඔවුන්ට අවමන් කරන ලදී.

පසුගිය මාස දෙකේදී ඇති වුණු සිද්ධීන්- ත්‍රිකුණාමලය

(1983 ජූලි මාසයේදී) දෙමළ ජනයාට එරෙහි වාර්ගික ප්‍රචණ්ඩත්වය ජූලි 23 වැනිදා රාත්‍රියේදී යාපනයේදී හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පසු එක්වරම පැන නැංගක් නොවීය. එය ඇත්තෙන්ම පටන් ගත්තේ ජූනි 3 වැනිදා ත්‍රිකුණාමලයේ මැන්ෂන් හෝටලයට එල්ල කළ සැලසුම්සහගත ප්‍රහාරයෙනි. සිංහල දාමරිකයන් පහර දෙන්නට පෙර මෙම පරිශ්‍රය සෝදිසි කළ පොලීසිය සහ හමුදාව ද නිසැකවම මේ අපරාධයට සම්බන්ධ අය වෙති. ඔවුන්ට ප්‍රහාරය හෝ ඉන් හෝටලය විනාශ වීම වැළැක්වීමට නොහැකි වූවා පමණක් නොව ඊට වගකිව යුතු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක වීමට ද නොහැකි විය. ජූනි 3 වැනිදා පටන් ගත් එම ප්‍රචණ්ඩත්වය, විටෙක අඩු වෙමින් සහ තවත් විටෙක තීව්‍ර වෙමින් මාස දෙකක් තිස්සේ ඇදී ගොස් අවසන් වූයේ දින දෙකකට පෙරය. මෙම ප්‍රචණ්ඩත්වයේදී එක් සිංහල ජාතිකයෙකු මිය යද්දී දෙමළ ජාතිකයෝ විසි හත් දෙනෙක් මිය ගියහ.

(මතු සම්බන්ධයි)

© JDS