ඒ තුච්ඡ සතිය II: 'එක් අයෙකු පාරේ ඇද වැටුණු තැනම ආදාහනය කෙරුණි.'


1 කොටස: ඒ තුච්ඡ සතිය: සියැසින් දුටු සාක්ෂිකරුවකුගේ සටහනක්

මෙහි පළකෙරෙන ලිපිය මුල්වරට පළ වූයේ, 2018 වසරේ ජනවාරි මාසයේ සිය දිවිසැරිය නිමකළ කෘතහස්ත විද්වතකු වූ අම්බලවානර් සිවානන්දන්ගේ සංස්කරණයෙන් පළ කෙරුණු සුවිශිෂ්ඨ වාරික ප්‍රකාශනයක් වන Race & Class සඟරාවේ 1984 ගිම්හාන කලාපයේ ය. ඒ, Sri Lanka's week of shame: an eye witness account මැයෙනි.

ආරක්ෂාව පිළිබඳ හේතූන් මත නිර්නාමිකව පළකෙරුණු මෙම ලිපිය, 1983 ජූලි 23 වැනි සිකුරදා සිට අගෝස්තු 3 වැනි බදාදා දක්වා දින දහයක් පුරා දිවි ගළවාගත් දෙමළ ජාතිකයකු විසින් තබන ලද අසම්පූර්ණ දින සටහන් එකතුවකි.

කළු ජූලි සංහාරයට හතළිස් වසරක් ‍සම්පූර්ණ වන මේ ජූලි මාසයේදී ජන නාශක වර්ගතාන්ත්‍රික රාජ්‍යයක වසන් කළ ඉතිහාස පිටු තව දුරටත් කියවා බැලීමට මෙම සටහන් පිටුබල සපයනු ඇතැයි අපි විශ්වාස කරමු.

පරිවර්තනය: ඉඳුනිල් උස්ගොඩආරච්චි


අඟහරුවාදා

රැය පහන් වූ විගස නිවස බලා පිටත් වූ අප යන අතර මග දුටුවේ ගිනිගත් දෙමළ නිවෙස් දෙකෙහි දැවී අළු වූ නටබුන්ය. නැවතත් අප අතර විවාදය වූයේ අප ආරක්ෂිත ස්ථාන වෙත යා යුතුද යන්න ය. උදෑසන දහය වන විට සිංහල මිතුරන් මෝටර් රථයකින් පැමිණි අතර අප පිටත්ව යෑමට තීරණය කළෙමු. අපේ පවුලේ සාමාජිකයෝ නිවෙස් දෙකක් වෙත යෑමට වෙන්වූහ. කර්මාන්තශාලා කීපයක් මෙන්ම නිවාස කීපයක් ද ගිනිගෙන තිබූ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් වන රත්මලානේ පිහිටි සිංහල මිතුරකුගේ නිවසක් වෙත මමත් බෑණා කෙනෙකුත් ගියෙමු. මගේ මිතුරා විසින් දමිළ පුද්ගලයන්ට නවාතැන් දෙන බවට අන් පුද්ගලයන්ට නොදැනෙන ලෙස හැසිරීමට එහි දී මට සිදුවිය.

දමිළ ජනයා තමන්ගේ දේපළවලට හා පුද්ගලයන්ට විශාල හානියක් සිදු කළ ස්වෝත්තමවාදී හා සාපරාධී සිංහල කණ්ඩායම්වලට කිසිදිනක සමාව නොදෙන බව ඇත්තක් සේ ම, විශාල අවදානමක් තමන් වෙත තිබිය දී දමිළ ජනයා විශාල සංඛ්‍යාවකට නවාතැන් දීමට නිර්භීත වූ යහපත් හදවත් සහිත සිංහලයන්ට ආචාර කරන බව හා ඔවුන් කිසිදිනක අමතක නොකරන බව ද ඇත්තකි. මා නවාතැන් ගත්තේ ද එවැන්නකු සමග ය.

අප තවමත් සිටියේ පෙර දින පැනවූ ඇඳිරි නීතිය යටතේය. ඇත්ත වශයෙන්ම, අප ඔවුන්ගේ මොටර් රථවලින් රැගෙන ගිය මිතුරන්ට පොලීසියෙන් නිකුත් කළ ඇඳිරිනීති බලපත්‍ර තිබිය යුතු විය. නමුත් සත්‍ය වූයේ ඇඳිරි නීතිය පනවා තිබුණත් ආරක්ෂාව නොමැති වීම ය. පොලීසිය සහ හමුදාව තමන්ට එරෙහිව ක්‍රියා නොකරන බවට කොල්ලකරුවන් සහ වර්ගවාදී කල්ලි තුළ ඒ වන විට විශ්වාසය ගොඩනැගී තිබුණි. මේ වන විට රජයේ සියලු අරමුණු සහ අභිප්‍රායන් වෙතින් යුද හමුදාවේ පාලනය ගිලිහී ඇති බැව් බොහෝදෙනා විවෘතව මිමිණූහ. විශ්වාසය තැබිය හැකි වූයේ 'ත්‍රස්තවාදීන්ගෙන්' හානියක් සිදුව නොතිබුණු නාවික හමුදාව කෙරෙහි පමණි. ඇත්ත වශයෙන්ම හානියට පත් වූ ස්ථාන නැරඹීමට අගමැතිවරයා කොළඹ සංචාරය කළ අවස්ථාවේ ඔහු සමග ගියේ ද නාවික හමුදාපතිවරයාය.

බදාදා

බදාදා රැය පහන් වන විටත් අතරින් පතර සිදුවීම් සැළවින. ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා උදෑසන ඇඳිරි නීතිය ඉවත් කෙරුණි. නමුත් ආහාර හිඟය රටට බලපෑවේය. තොග හිඟයක් නොවූ නමුත් බෙදා හැරීමේ පද්ධති බිඳවැටී තිබුණි. ඉන්දියානු ආධිපත්‍ය දැරූ සහල් තොග වෙළඳාම පැවති කොළඹ වෙළඳ කේන්ද්‍රය වූ පිටකොටුවේ තුන්වැනි හා හතරවැනි හරස් වීදි වැසී ගොස් තිබුණි. කොළඹ සහ ඒ අවට බොහෝ සිල්ලර වෙළඳසැල් අයත්ව තිබුණේ ඉන්දියානුවන්ට හෝ දමිළ ප්‍රජාවට ය. ඔවුන්ට අත් වූ හානිය සමග ක්ෂණික ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති විය. කුඩා ප්‍රමාණවලින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තිබුණ ද දුම්වැටි වැනි බොහෝ දේ ලබා ගත නොහැකි විය. හාල්, පාන් සහ සීනි සඳහා ජනයා පෝලිම් ගැසිණ.

වැලිකඩ බන්ධනාගාරය තුළ දමිළ රැඳවියන් තිස්පස් දෙනෙකු ඝාතනය පිළිබඳ භයංකර ප්‍රවෘත්තිය දිවා කාලය වන විට මට අසන්නට ලැබුණි. එය දමිළ සහ සිංහල සියල්ලන්ම භීතියට පත් කළ දරුණු කම්පනයක් විය. හඳුනා නොගැනුණු කල්ලි විසින් කොල්ලකෑම සහ ගිනිතැබීම සහ පසුව අතුරුදන්වීම යනු එක් දෙයකි; එහෙත් අධිකරණය විසින් සිරගත කිරීමට නියම කළ සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු බන්ධනාගාර නිලධාරීන්ගේ යටතේ සිටියදී රැඳවියන් අමු අමුවේ ඝාතනය කිරීම යනු සම්පූරණයෙන්ම වෙනත් කාරණයකි. මෙම ඝාතන සිදුවූයේ බන්ධනාගාරය තුළ ඇති වූ කෝලාහලයකින් යැයි යන කතාන්දරය විශ්වාස කළේ ඉතා සුළු පිරිසක් පමණි. අනෙක් රැඳවියන් සිරමැදිරි වලින් පිටතට පැමිණියේ කෙසේ ද? ඔවුන් ආයුධ ලබා ගත්තේ කොහෙන් ද? වඩාත්ම වැදගත් කරුණ, අයි.ආර්.සී සිරකරුවන් දේශපාලන රැඳවියන් හා එකම ගොඩනැගිල්ලක රඳවන ලද්දේ කවුරුන් විසින්ද? කවදා සිටද? පළමු ඝාතනයන් නොසලකා හැරිය ද පසු දින තවත් දමිළ ජාතික රැඳවියන් දහහත්දෙනෙකු ඝාතනයක කිරීම පැහැදිලි කරනුයේ කෙසේද? පැය විසිහතරක් පුරා බන්ධනාගාර බලධාරීන් කරමින් සිටියේ කුමක් ද? ඔවුන් දමිළ රැඳවියන් ආරක්ෂිත ස්ථානයකට නොයවන ලද්දේ ඇයි? බන්ධනාගාරයක් තුළ රඳවාසිටිය දී ගණන් බලා සිදුකළ මෙම ඝෝර ඝාතනවල කැළල ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කිසිකලෙක මකාලිය නොහැකි කැළලක් වනු ඇත. බන්ධනාගාර මෘත ශරීරාගාරයට ගොස් තිබූ හමුදා නිලධාරියෙකු මා සමග පැවසුවේ රැඳවියන්ට පොලු මුගුරුවලින් හා පිහිවලින් පහර දෙන්නට ඇති බව ය. කුට්ටිමණි දරුණු කැපුම් ප්‍රහාරයන්ට ලක්ව තිබුණි. මීට ඉහත වූ ජාතිභේදවාදී ගැටුමක දී වතුකරයෙන් පලා ගිය ඉන්දීය සම්භවයක් සහිත සරණාගතයන් නැවත පදිංචි කරවීම සඳහා ඉමහත් සේවයක් ඉටුකළ වවුනියාවේ පදනම්ව තිබූ ගාන්ධියම් ව්‍යාපාරයේ ගෞරවනීය නායක දොස්තර රාජසුන්දරම්ද ඝාතනයට ලක්වූ දෙවන දෙමළ රැඳවියන් කණ්ඩායම අතර විය. මම නවාතැන් ගෙන සිටි නිවසේ මගේ සිංහල මිතුරා බන්ධනාගාරයේ සිදුවීමෙන් පැහැදිලිව දැකිය හැකි ලෙසම සංවේගයට පත්ව සිටියේය. ඔහු ඩබ්.එච්. ඕඩන් විසින් යීට්ස්ගේ මරණය නිමිතිකොට ලියන ලද පහත නිසඳැස් කොටස උපුටා දැක්වීය.

බුද්ධිමය ගර්හාව
හැම මිනිස් මුවකින්ම එබෙයි
සානුකම්පාවේ කඳුළැලි
සෑම ඇසකම සිර වී මිදෙයි

ඔහු තම කඳුළු සිරකර නොතිබූ බැවින් මා බලා සිටිය දීම ඒවා ඔහුගේ දෙනෙතින් කඩා හැලිණ.


බ්‍රහස්පතින්දා

ඉන්දීය ආක්‍රමණයක් සිදුවීමට ඇති හැකියාව සහ ඒ වන විටත් ඉන්දීය හමුදා යාපනයට ගොඩබැස ඇති බවටත් ඉතා වේගයෙන් කටකතා පැතිර යන්නට විය. ඒ, ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ පැවති පැය තුනක විවාදයකට ප්‍රතිචාරයක් ලෙස හා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ජනාධිපති ජයවර්ධන සමග කළ දුරකථන සංවාදයට ප්‍රතිචාරයක් ලෙස කරුණු සොයා බැලීමේ දූත මෙහෙයක් සඳහා ශ්‍රී ලංකාවට එවන ඉන්දීය විදේශ අමාත්‍ය නරසිංහ රාඕ පිළිගන්නා ලෙස ඇය ඉල්ලා තිබුණාය.

කඩින් කඩ සිදුවීම් වාර්තා වූ අතර ආහාර හිඟය ද උග්‍ර අතට හැරුණි. තවත් සිංහල මිතුරෙකු මට සහල් සහ පාන් පිටි ගෙනැවිත් දුන්නේය. කොළඹ ප්‍රධාන දුම්රිය ධාවන කේන්ද්‍රස්ථානය වන කොළඹ කොටුව දුම්රියපොළ විනාශ කිරීමේ අරමුණින් සුළු අවි සහ බෝම්බ රැගෙන යමින් සිටි බවට පැවසෙන සැකකරුවන් හත්දෙනෙකු ඝාතනයට ලක්වූ බව වාර්තා විය.

රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් රූපවාහිනියෙන් බොහෝ ප්‍රමාද වූ කතාවක් කළේය. ඔහු වේලාසනින් ජාතිය නොඇමතුවේ ඇයි දැයි සියලුදෙනා පුදුමයට පත්ව සිටියෝය. කෙතරම් කණගාටුදායක රංගනයක්ද! සිදුවූ වාර්ගික ප්‍රචණ්ඩත්වය හෙළා දැකීමක් නොවීය; දමිළ ජනතාව මරා දැමීම හෝ බන්ධනාගාරය තුළ වූ ඝාතන පිළිබඳ සඳහනක් හෝ නැත. ඔහුගේ කතාව සිංහල මැර පිරිස් විසින් කළ ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරන්නක් වූ අතරම ඒ හා සමාන තවත් සිදුවීම් සඳහා ඇරයුමක් ද විය. ඔහු පවසා සිටියේ සිංහලයන්ගේ මෙම ක්‍රියාවන් දමිළ ජනයාගේ වෙන්වීමේ ඉල්ලීමට ප්‍රතිචාරයක් බව ය. ඔහු කතා කළේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස නොව, සිංහල ජනාධිපතිවරයෙකු ලෙස ය. වෙන්වීම වෙනුවෙන් පෙනී සිටින සියලුම පක්ෂ සහ ව්‍යාපාර තහනම් කරන බවත්, එවැනි පක්ෂවල සාමාජිකයන්ගේ වෘත්තීන් හි යෙදීමේ අයිතිය අහිමි කිරීමත්, සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීමත් ඇතුළු දැඩි දඬුවම් පමුණුවන බවටත් ඔහු සිය කතාව අතරතුර නිවේදනය කළේය.

මා ඒ රැයේ නින්දට ගියේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා යනු හුදෙක් සුළු දරුවන් පමණක් නොව, අත්හැර දැමූ දරුවන්ය යන හැඟීමෙනි. ඉන්දීය විදේශ අමාත්‍ය නරසිංහ රාඕ පසු දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව සමස්ත ඉන්දීය ගුවන් විදුලිය නිවේදනය කළේය.

සිකුරාදා

කලින් දිනයේ නිවසට ගිය මගේ දියණිය සහ බෑණා නිවස අවට ප්‍රදේශය තරමක් සන්සුන් බැව් වාර්තා කළහ. නමුත් එදිනම නිවසට යෑමට ප්‍රවාහන පහසුකම් සොයාගැනීමට මට නොහැකි විය. මේ වන විටත් පෙට්‍රල් හිඟ විය. කෙසේ වෙතත්, උදෑසන ආහාරයෙන් පසු මිතුරෙකු පැමිණ මා නිවස වෙත කැටුව ගියේය. ඇත්ත වශයෙන්ම මග දිගට වූයේ ගිනිබත් වෙළඳසැල් හා නිවාසවල සෝබර දසුන්ය. සෑම තැනකම පෝලිම්ය. මගේ දුරකථනය ක්‍රියාකරමින් තිබුණ ද මගේ පැමිණීමෙන් පැයකට ආසන්න කාලයක් ඇතුළත එය නැවත ක්‍රියා විරහිත විය. මධ්‍යහ්නයට මොහොතකට පෙර ඔබ මොබ දුවමින් කොල්ලකන ජනයාගෙන් වීදි පිරෙමින් නැවත ගැහැට අලුත්වීම පිළිබඳ කටකතා අපට සැළ විය. සිදුව තිබුණේ මෙයයි: පිටකොටුව ගෑස් පහ හන්දියේ ගොඩනැගිල්ලක ඉහළ සිට යම් අයකු විසින් සොල්දාදුවන් වෙතට බෝම්බයක් විසිකර තිබේ. සොල්දාදුවන් විසින් ප්‍රතිප්‍රහාර එල්ලකර දෙදෙනෙකු මරා දමා ඇත. දෙදෙනාම සිංහලයන් ය. සොල්දාදුවෙකු අත්වැරදීමෙන් තමාටම වෙඩි තබාගෙන තිබුණි. 'උතුරේ ත්‍රස්තවාදීන් කොළඹට පැමිණ හමුදාවට ප්‍රහාර එල්ල කරමින් සිටි බව'ට කටකතාව පැතිර ගියේ ඉන් පසු ය. මිනිත්තු කීපයකින් මාර්ග ජනයාගෙන් පිරී ගියේය. ඇතැමෙක් 'ත්‍රස්තවාදීන්ගෙන්' පලා ගිය අතර ඇතැමෙක් ඔවුන් සමග සටන් කිරීමට සූදානම් වූහ. සුළු මොහොතකින් භූමිකාවන් ආපසු හැරී, දෙමළ කොටි යැයි කියනු ලබන අයගෙන් සිංහලයන් පලා යමින් සිටියහ. කලබලය අතරතුර දෙමළ ජාතිකයන් කීපදෙනෙකු ඝාතනයට ලක්විය. ඔවුන්ගෙන් එක් අයෙකු පාරේ ඇද වැටුණු තැනම ආදාහනය කෙරුණි. පෙනෙන ආකාරයට, සියලුම පසු කාලීන වාර්තාවලට අනුව සිකුරාදා වීදිවල සිදුවූ ප්‍රචණ්ඩත්වය ඉතා බරපතල එකක් විය. පස්වරු 2ට ඇඳිරිනීතිය පැනවූ අතර සති අන්තය පුරා ද එය බලපැවැත්වුණි.

සන්සුන්භාවය ප්‍රතිස්ථාපනයට පෙර රාජ්‍ය ගුවන්වි දුලිය විවෘතවම කටකතා නොවැදගත් කොට සළකා ක්‍රියාකළේය. නමුත් මීට පෙර පැතිර ගිය වෙනත් කටකතා නොසන්සුන්තා හා අවුල්ජාලා ඇති කිරීමට යොදාගනු ලැබුණි: යාපනය පලාලි ගුවන්තොටුපොළ කොටි ග්‍රහණයට පත්ව ඇති බවත්, යාපනය යුද හමුදා රෝහලට ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, යාපනයට ඔබ්බෙහි පිහිටි දූපතක් වූ නාගදීප බෞද්ධ විහාරයේ මහ නායක හිමි ඝාතනය කර ඇති බවත් (ඔහු ජීවතුන් අතර බවත් පෞද්ගලික කටයුත්තක් සඳහා දකුණේ ඔහුගේ ගමේ පන්සලට ගොස් ඇති අතර එහි හොඳින් සිටින බවත් පසුව සොයා ගැනුණි.), විදෙස් හමුදා (ඉන්දීය යන හැඟවුමින්) උතුරට ගොඩ බැස ඇති බවත්, උතුරේ දී යුද හමුදාවට බරපතල හානි සිදුව ඇති බව සහ (ඇතැම් වාර්තාවලට අනුව) හමුදා වවුනියාවට පසුබැස ඇති බවත් එවැනි කටකතා ය. මෙම සියලු කටකතා රාජ්‍ය ප්‍රකාශකයෙකු විසින් ගුවන්විදුලිය හරහා නිලවශයෙන් බැහැර කෙරිණ.

පළමු වතාවට හමුදාව කොල්ලකරුවන් කිහිපදෙනෙකුට වෙඩිතබා මරා දමනු ලැබ තිබුණි - ගුවන්විදුලි වාර්තාවලට අනුව පහළොස්දෙනෙකි. මෙම ගැටලුව ආරම්භ වූ මුල් දිනයේම රජය මෙවැනි දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් සිදුවීම්වල අංකුරයෙන්ම සිඳලීමට හැකිව තිබුණි.


විශේෂ ගුවන් යානයකින් පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති, අගමැති හා කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සමග සාකච්ඡා පවත්වා තිබුණි. ඔහු කඳුකරයේ අගනුවර වන මහනුවරට ද හෙලිකොප්ටර් යානාවකින් ගොස් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද හමුවිය. ඔහු ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම ආකාරයක උදව් උපකාර ප්‍රදානය කිරීමටත්, විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය සහ වෛද්‍ය සැපයුම් ප්‍රදානය කිරීමටත් එකඟ වී තිබේ. එමෙන්ම සරණාගත කඳවුරුවල සිටින ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් උතුරේ යාපනයට ප්‍රවාහනය කිරීමට ඉන්දියාව නෞකාවක් එවීමට එකඟවූ බව ද පෙනෙන්නට තිබේ. සමස්ත ඉන්දීය ගුවන් විදුලිය විසින් එ් බව වාර්තා කරන ලදී.

මේ වන විට සරණාගත කඳවුරු දහයකට ආසන්න සංඛ්‍යාවක් කොළඹ නගරයේ පිහිටුවා තිබුණේ නිවාස අහිමි වූ දමිළ ජනයා සඳහා ය. සංඛ්‍යා දින කීපයක් තුළ 20,000 සිට 50,000 දක්වා ඉහළ ගිය අතර පසුව 79,000 දක්වා වර්ධනය විය. කඳවුරුවල තත්ත්වය ඉතාම අයහපත් හා ප්‍රාථමික තත්ත්වයේ විය. 800කට නවාතැන් සඳහා සූදානම් කර තිබූ රත්මලාන ගුවන්තොටුපොළේ වූ මධ්‍යස්ථානයේ 8000ක් නවාතැන් ගැනුණි. එහි සිටි අයෙකුට අනුව, එහි ඉඩ තිබුණේ යාන්තමින් හිටගෙන සිටීමට පමණි. 2000කට අධික ළදරුවන් සංඛ්‍යාවක් සහ 500කට අධික වැඩිහිටියන් සංඛ්‍යාවක් සිටි අතර ඔවුනට අවශ්‍ය සේවා සැපයීමට සිටියේ එක් වෛද්‍යවරයකු පමණි. ජලය හිඟ වූ අතර ප්‍රමාණවත් ආහාර නොවීය. බරපතල සිදුවීම් වාර්තා වූ මහනුවර, මාතලේ සහ බදුල්ල ආදී ප්‍රදේශවල ද මෙවැනිම කඳවුරු පිහිටුවා තිබුණි. සරණාගතයන් රැකබලා ගැනීම සඳහා සහන සේවා සංවිධාන කීපයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

සන්ධ්‍යාවේ, අගමැතිවරයා රූපවාහිනිය හා ගුවන්විදුලිය හරහා කතා කළේය. වාර්ගික ප්‍රචණ්ඩත්වයේ වගකීම හා එහි වරද රජයට විරුද්ධ අය මත පැටවීමට රජය උත්සාහ කරන බවට ප්‍රථම වතාවට එමගින් පැහදිලි විය. කිසිදු පක්ෂයක් හෝ සංවිධානයක් නම් නොකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරණයේ දී හා ජනමත විචාරණයේ දී පරාජයට පත් වූ සහ තම රජය යටතේ සිදුකරමින් තිබෙන ආර්ථික වර්ධනයට ඊර්ෂ්‍යා කරන බලවේග විසින් රජය පෙරළීමේ උත්සාහයක් ලෙස මෙය සිදුකළ බව ය .

සෙනසුරාදා

සිකුරාදා පස්වරුවේ පැනවූ ඇඳිරි නීතිය සෙනසුරාදා හා ඉරිදා දක්වා දීර්ඝ කෙරුණි. කොල්ලකරුවන් 600ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් කොල්ලකෑම් හෝ ඝාතනයන් සම්බන්ධයෙන් වරදකරුවන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දෙන බවටත් ගුවන්විදුලිය ඔස්සේ නිවේදනය කෙරුණි. සොරකම් කරන ලද දේපළ විකිණීම, මිලදී ගැනීම හෝ ළඟ තබා ගැනීම සඳහා දඬුවම දස වසරක හෝ විසි වසරක සිර දඬුවමක් වනු ඇතැයි කියැවිණ. උඩරට සිංහල ගොවීන් විසින් ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරුවන්ට පහරදීමටත්, වතුකම්කරුවන් පෙරළා ප්‍රතිචාර දැක්වීමටත් සූදානම් වෙමින් සිටි බවට වූ කටකතාවක් ද ගුවන් විදුලිය ඔස්සේ බැහැර කෙරුණි.

රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් රූපවාහිනිය සහ ගුවන්විදුලියේ පෙනීසිට හඟවන ලද්දේ සිදුව ඇත්තේ හුදෙක් සිංහල/දෙමළ ජාතිභේදවාදී ගැටුමක් පමණක් ම නොව, ආණ්ඩුව පෙරළීමේ මුල් බැසගත් සැලැස්මක් බව ය. හොඳින් සැලසුම් කර දියත් කළ මෙම මෙහෙයුමෙහි මහ මොළකරු ලෙස නම් නොකළ ජගත් බලවතකු ක්‍රියා කර ඇති බවට ද ඔහු චෝදනා කළේය. උතුරේ ත්‍රස්තවාදීන් සමග රහස් සම්බන්ධතා පැවැත්වූ ඇතැම් දේශපාලන පක්‍ෂ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස සිටින බවට පළමුවරට මෙහිදී හඟවනු ලැබුණි. නමුත් තවමත් කිසිවකු නම්කිරීමක් සිදු නොවුණි.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කෝලාහලය පිටුපස සිටි බවත්, හදිසි නීතිය බලපවත්වන කාලසීමාව තුළ එම පක්ෂ තහනම් කෙරෙන බවටත්, එම තහනම් කරන ලද පක්ෂ සමග සම්බන්ධතා පවත්වා හෝ ඔවුන් පිළිබඳ වාර්තා කිරීමට අපොහොසත් වන අයට මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම්ද, ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමද ඇතුළු දැඩි දඬුවම් පමුණුවන බවට ගුවන්විදුලිය මගින් නිවේදනය කිරීමත් සමග මෙම චෝදනා එල්ල වූ පක්ෂවල අනන්‍යතාවය ඉක්මනින් හෙළි වූයේය. මෙම චෝදනාව හාස්‍යජනක බව ශ්‍රී ලංකාවේ ඕනෑම බුද්ධිමත් දේශපාලන නිරීක්ෂකයෙකුට පෙනි යා යුතු ය.

1964 දී බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රථම සභාග ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු එළඹි කෙටි කාලයක් හැරුණුකොට නව සම සමාජ පක්ෂය* සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කිසිවිටෙක වර්ගවාදී දේශපාලන ආකල්ප මත කටයුතු කර නැත. ජවිපෙය 1971 නැගිටීම සමයේ දී විවෘතවම ඉන්දියානු දෙමළ විරෝධී වූ නමුත් එතැන් සිට එම ස්ථාවරය අත්හැර දැමූ අතර එය නැවත පුනර්ජීවනය නොකළේය. වාර්ගික ප්‍රචණ්ඩත්වයේ 'මහ මොළය' වූයේ සෝවියට් සංගමය සහ ඇතැම් නැගෙනහිර යුරෝපීය රටවල්ය යන න්‍යාය සඳහා විශ්වාසය ගොඩනැගීමට සෝවියට සංගමය සමග සමීප සබඳතා තිබූ ජවිපෙ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊට ඈඳූ බවට කිසිදු සැකයක් නැත.


නමුත් එම කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකට කැබිනට් ඇමතිවරු දෙදෙනෙකුට විශේෂ පක්ෂපාතීත්වයක් තිබූ එක්සත් ජාතික පක්ෂයේම අය බවට කොල්ලකෑම් හා ගිනි තැබීම් ඇසින් දුටු බොහෝ දෙනා හඳුනාගෙන තිබුණි. - ඉන් එක් අයෙකු එයින් මාසයකට පෙර නැගෙනහිර ත්‍රිකුණාමලයේ වරායේ සිදු වූ ජාතිභේදවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස ක්‍රියාත්මක වූ බලවේගය ලෙස හෙළිව තිබුණි. ඇමතිවරුන් යටතේ සිටින ඇතැම් සංස්ථා සේවකයන් සහ එක් ඇමතිවරයෙක් විසින් සභාපතිත්වය දරණ එජාප හිතවාදී වෘත්තීය සමිතියේ සාමාජිකයන් මෙම කෝලාහලවලදී ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බව පෙනේ.

එමෙන්ම අමාත්‍ය සිරිල් මැතිව් විසින්  "සිහළුනි, බුදුසසුන බේරාගනිව්" මැයෙන් සිංහල භාෂාවෙන් රචිත දෙමළ විරෝධී ග්‍රන්ථය ද කලක සිට සංසරණය වෙමින් පැවතීමත් විශේෂිත ය. එය බෙදා හරින ලද්දේ නොමිලයේ ය. මීටඅමතරව, රටපුරා ඇති වූ කැළඹීම් ජවිපෙ, නව සම සමාජ පකෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ හේතුවෙන් ඇති වූ ඒවා යැයි ජනතාව විශ්වාස කිරීම රජයේ අවශ්‍යතාවය නම් එම පක්ෂ සැබවින්ම බලවත් පක්ෂ විය යුතුය!

මියගිය සොල්දාදුවන් දහතුන් දෙනාගේ අවසන් කටයුතු 25 වන දා උදෑසන කනත්තේ දී සිදුකරන බවට ප්‍රකාශයට පත් කිරීම මගින් රජය විසින්ම ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම සිදුකළ බව පහසුවෙන් අමතක කර දමා තිබුණි. ජාතිභේදවාදී ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කරන ලද්දේ එතැන රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිස් විසිනි.

ඉරිදා

ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කර නොමැති බවත්, සරණාගත කඳවුරුවල තත්ත්වය සතුටුදායක නොවන බවත් නැවත නවදිල්ලිය වෙත ගිය ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දිරා ගාන්ධි වෙත වාර්තා කළ බව සමස්ත ඉන්දීය ගුවන්විදුලිය නිවේදනය කළේය. ඉල්ලීමක් ලැබුණහොත් තත්ත්වය පාලනයකට ගෙන ඒමට ශ්‍රී ලංකාවට ආරක්ෂක හමුදා එවීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බවට ද නිවේදනය කළේය.

අඟහරුවාදා එයාර් ලංකා තුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට ගිය දෙමළ ජාතිකයන් දෙදෙනකු ගුවන්යානය වෙත ගමන් කරමින් සිටිය දී ගුවන් හමුදා ආරක්ෂකයින් විසින් වෙඩි තැබීමෙන් මිය ගිය බව මට අසන්නට ලැබුණි. මෙම සිදුවීම එම ගුවන් යානයේම සිටි ස්විස් ජාතික මගියෙකු ද දැක තිබුණි.

සමස්ත ඉන්දීය ගුවන්විදුලිය විසින් තමිල්නාඩු ප්‍රාන්තය පැතිරෙන විරෝධතා හා පෙළපාලි පිළිබඳ වාර්තා කරමින් තිබුණි. බොම්බායේ සහ දිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා කිහිපයක් පැවති අතර ඊට පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු ද සහභාගී වී තිබුණි. ශ්‍රී ලංකාවේ වූ සිදුවීම් පිළිබඳව ඉන්දීය අගමැතිවරයාගේ අවධානය යොමුකරවීම සඳහා තමිල්නාඩුවේ සිට නවදිල්ලි වෙත ගිය සර්ව පාක්ෂික නියෝජිත පිරිසකට තමිල්නාඩු මහ ඇමති, එම්.ජී. රාමචන්ද්‍රන් නායකත්වය දී තිබුණි.

සවස ගාමිණී දිසානායක ඇමතිවරයා තම කැබිනට් සගයාගේ පෙර දින තර්කය නැවත ප්‍රකාශ කිරීමට තුවන් විදුලිය හා රූපවාහිනිය ඔස්සේ කතා කළේය.

දිවා කාලය මා ගත කළේ මගේ දෙමළ ඥාතීන්ට හා මිතුරන්ට දුරකථන ඇමතුම් දෙමිනි. මට පිළිතුරු ලැබුණේ අවස්ථා දෙකක දී හෝ තුනක දී පමණි. අනෙකුත් අය එක්කෝ ආරක්ෂක ස්ථාන වෙත ගොස් තිබුණි, නැතහොත් සරණාගත කඳවුරුවලට ගාල්ව සිටියහ. මගේ සහෝදරයන්ගෙන් එක් අයෙක් ජීවත් වූයේ ජාතිවාදී ගිනිදැල්වලින් බේරී තිබූ එක් ප්‍රදේශයක වූ නමුත් මගේ බාල සහෝදරයාට මැර පිරිසක් පහර දී රුපියල් 900 ක මුදලක් කොල්ලකා තිබුණි.- ඔහුගේ නිවස ගින්නෙන් බේරා ගෙන තිබුණේ සිංහල ජාතික නිවෙස් හිමියා විසිනි. මගේ බෑණාගේ මව සහ ඔහුගේ වැඩිමල් සහෝදරයාගේ පවුල කන්ද උඩරට නගරයක අසීරු කාලයක් ගෙවා අවසානයේ සරණාගත කඳවරක් වෙත ගොස් තිබුණි. අලුතින්ම සාදන ලද ඔවුන්ගේ නිවස ගිනිබත් ව තිබුණි. මගේ ඥාති සොහොයුරන් කීප දෙනෙකුගේ ම නිවාසවලට ගිනි තබා තිබුණි.

සඳුදා

මගේ ආරක්ෂාව ගැන විමසීමට මගේ සිංහල සහෝදරයන් කීපදෙනෙක් මට කතා කළෝය. එය මා කම්පනයට පත් කළේය. ඔවුන්ගෙන් ඇතැමෙක් මා වෙත සහල්, පිටි, සීනි, විස්කෝතු ආදී ආහාර ද්‍රව්‍ය රැගෙන ආහ. කාරුණික හදවත් සහිත සිංහල මිතුරන්ගේ ත්‍යාගශීලීභාවය ඉස්මතුව පෙනෙන්නට තිබුණි. සෙස්සන්ගේ වරදකාරීත්වයට සමාව ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූවාක් වැනිය.

මට ත්‍රිකුණාමලයේ මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබුණු අතර, ඔහු පැවසුවේ කොළඹ සිදුවීම්වලින් පසුව ප්‍රදේශයේ බොහෝ දෙමළ ජනයාට උන්හිටි තැන් අහිමි කළ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවල අලුත් පිපිරීමක් ඇති වූ බව ය. ඔවුන් නිලාවෙලි හෝ මුතූර් හි රැකවරණ සපයාගෙන තිබුණි. හමුදාව සහ ත්‍රස්තවාදීන් අතර දරුණු සටන් පැවති බවට පැතිර යන කටකතාවලට පරස්පරව යාපනයෙන් මා වෙත ලැබුණු දුරකථන ඇමතුමෙන් කියැවුණේ කිසිවක් සිදුව නොමැති බව ය.

කුඩා කඳුකර නගරයක් වූ මාතලේ සරණාගතයන් සංඛ්‍යාව 8,000 දක්වා ඉහළ ගොස් ඇතැයි යන කණගාටුදායක පුවත මට දැන ගැනීමට ලැබුණි. ඒ අතර මගේ බෑණනුවන්ගේ මව සහ ඔහුගේ වැඩිමල් සහෝදරයාගේ පවුලේ අයද වූහ. තොරතුරු කිසිවක් දැනගැනීමට නොතිබුණ ද බදුල්ල, නුවරඑළිය, දෙනියාය වැනි වතුකරයේ නගරවල සිදුවීම් සිදුව ඇති බව පෙනෙන්නට තිබුණි. මහනුවර සරණාගතයන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ගොස් තිබුණි. පේරාදෙණිය සරසවියේ පමණක් සරණාගතයන් 8,000ක් සිටියහ.


ශ්‍රී ලංකාවේ දමිළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය දක්වමින් දෙමළ ජාතිකයන් විසින් ගිනි තබාගෙන දිවි නසාගැනීමේ ක්‍රියාවන් පිළිබඳ දකුණු ඉන්දියාවෙන් වාර්තා විය. ජනාධිපති ජයවර්ධනගේ - 'ශ්‍රී ලංකාවේ ඝාතකයාගේ' -ඔක්තෝබර් බ්‍රිතාන්‍ය සංචාරය අවලංගු කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දහහත්දෙනෙකු පමණ අග්‍රාමාත්‍යවරයාට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවට ද වාර්තා පළ විය. ශ්‍රී ලාංකික දමිළ ජනයාට එරෙහි වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරෝධය පළ කරමින් දෙදහසකගෙන් පමණ යුත් ශක්තිමත් පෙළපාලියක් පිළිබඳවද ලන්ඩනයෙන් වාර්තා විය. ලන්ඩනයේ ලංකා මහ කොමසාරිස්වරයාගේ නිවසට ද පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ මැද පෙරදිග රූපවාහිනී නාලිකාවල පවා ගිනිබත් ලංකාවේ රූප රාමු පෙනවමින් තිබුණි. පෙනී යන ආකාරයට, ප්‍රචණ්ඩත්වය පුපුරා ගිය අවස්ථාවේ දී ශ්‍රී ලංකාව තුළ සිටවිදේශිකයන්ට කොල්ලකෑම් හා ගිනිතැබීම් ඡායාරූපකරණයට හෝ රූ ගත කිරීමට බාධාවක් නොවීය. ඒ දැක චිත්තාපරවූවන්ගේ දුරකතන ඇමතුම් ලොව නන් දෙසින් ගලාඑන්නට විය. මේ අතර පාරාදීසයේ තිත්ත රස විඳි බොහෝ විදේශිකයෝ රංචු පිටින් පිටවෙමින් සිටි අතර ශ්‍රී ලංකාවෙන් පිටවීමට ඇති සෑම ගුවන් යානයක්ම පිරීයන්නට විය. විදෙස් විනිමය උපයන දෙවැනි විශාලතම කර්මාන්තය වූ සංචාරක කර්මාන්තය (තේවලට පසුව) නැවත යථා තත්ත්වයට පත් වේ දැයි සැක සහිත තරම් බරපතල හානියකට ලක්විය.

අඟහරුවාදා

ගෙන ආ හැකි මොනයම් හෝ ආහාර ද්‍රව්‍ය රැගෙන තවදුරටත් අපේ නිවසට එන සිංහල මිතුරන් පෙරහැරක් අද දුටිමි. දහවල වන විට අපට ඕනෑවටත් වඩා කළමණා ගබඩා වී තිබුණි. වාතාවරණය නැවත යථා තත්ත්වයට පත් වෙමින් පැවති බවට වාර්තා විය. ඇඳිරි නීතිය ලිහිල් කළ අතර ජනයා ඔවුන්ට ගත හැකි කුමක් හෝ ආහාර ද්‍රව්‍යයක් ගැනීමට පිටතට ගියෝය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත් ක්‍රියාවලට විරෝධය පළ කරමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව පුරා පූර්ණ එක්දින වැඩවර්ජනයක් සහ හර්තාලයක් දියත්ව තිබුණි. ඊට ප්‍රාන්තයේ සිටි මධ්‍යම ආණ්ඩුවේ සේවකයෝ ද එක් වූහ. ප්‍රථම වතාවට මධ්‍යම රජය, ප්‍රාන්ත රජය සහ තමිල්නාඩුවේ සියලුම දේශපාලන පක්ෂවල සහාය සහිතව වැඩවර්ජනයක් සිදුවිය. උපවාස, රැස්වීම් හා පෙළපාලි සෑම තැනම පැවති අතර බොහෝ නගරවල ජනාධිපති ජයවර්ධනගේ අනුරූ පුළුස්සනු ලැබිණි.

ඉන්දීය විදේශ අමාත්‍ය නරසංහ රාඕ පසුගිය දා ඔහු ශ්‍රී ලංකාවේ කළ සංචාරය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාවේ ප්‍රධානීන් සමග ඔහු කළ සාකච්ඡා සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාව සහ ලෝක් සභාව යන සභා දෙකටම කරුණු වාර්තා කළේය. ශ්‍රී ලංකාව විදේශ බලවේගවලින් ආධාර ඉල්ලා ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවල යම් ඇත්තක් ඇති බවට ඔහු පාර්ලිමේන්තුවට පවසා සිටියේය. නමුත් ඔහු පැවසුවේ ඉන්දියාවට එරෙහිව මෙම සහාය ඉල්ලා සිටියේ යැයි සඳහන් කිරීම ද්වේශ සහගත බව ය. එම ප්‍රවෘතිය ප්‍රතික්ෂේප කරමින් නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කර තිබුණි. එම පුවත වාර්තා කළ UPI ප්‍රවෘත්ති සේවයේ ඇමරිකානු වාර්තාකරුවෙකු ද ශ්‍රී ලංකා රජය විසින් නෙරපා හරිනු ලැබීය.

සාපේක්ෂ සන්සුන් බව යළි ස්ථාපනය වීමත් සමගම ශ්‍රී ලංකාවේ දකුණේ දමිළ ජනයාගේ අනාගතය පිළිබඳව ගැටලුව මතුව ආවේය. දැනටමත් කඳවුරුවල සිටි ඇතැම් සරණාගතයෝ යාපනය බලා නෞකාවෙන් යමින් සිටියහ. තවත් නෞකා සූදානම් කරමින් තිබුණි. සරණාගතයන් දකුණෙන් උතුරට ප්‍රවාහනය කිරීම සඳහා ඉන්දියාව ද නෞකා තුනක් එවනු ලැබ තිබුණි. ඔවුන්ගේ අනාගතය පිළිබඳ කුමක් කිව හැකිද? ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර, වෘත්තීන් හෝ රැකියා සඳහා නැවත පැමිණිය හැකිද? බොහෝ දෙනාගේ ගේ දොර විනාශව තිබුණි. ඔවුන්ට යා හැකි තැනක් නොවීය. ඔවුන්ට නැවත සිංහලයන් අතර ජීවත් විය හැකිද? ඔවුන්ට කළ හැක්කේ කුමක්ද? ඔවුන් සියලුදෙනාට යාපනයට යා නොහැකි වූයේ සියල්ලන්ටම සරිලන ආර්ථිකයක් එහි නොවූ බැවිනි. එබැවින් වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරු වැනි වෘත්තිකයන් විදෙස් රැකියා බලාපොරොත්තුවන බවට අනුමාන කළ හැකිය. කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ දමිළ ජාතික වෘත්තිකයන්ට එම රටවලට ඇතුලුවීමේ සීමා ලිහිල් කරනු ඇතැයි ද ඒ වනවිටත් වාර්තා විය. හැකි සියලුදෙනා ශ්‍රී ලංකාව හැර යනු ඇත. බහුතරය වන අනෙකුත් අයට සිදුවන්නේ කුමක් ද? එය කිව හැක්කේ අනාගතයට පමණි. ජීවත්විය යුතු නම් ගෞරවාන්විතව ජීවත්විය යුතුය. එසේ නොමැති නම් ජීවිතය නොවටිනා එකකි.

තහනම් කරනලද පක්ෂවලින් අත්අඩංගුවට ගැනීමට නියමිත ලැයිස්තුවේ තිස් එක්දෙනෙකු සිටිය ද දැනට රඳවාගෙන සිටින්නේ දහඅටදෙනෙකු පමණක් බව ගුවන්විදුලිය වාර්තා කළේය. අනෙකුත් පුද්ගලයන් රහසිගත දිවියකට ගොස් තිබේ. ඒ අතර ජවිපෙ සහ නසසප නායකයෝ ද වූහ. ඔවුන්ට රැකවරණය ලබා දෙන හෝ ඔවුන් දුටු විට ඒ පිළිබඳ වාර්තා කිරීමට අපොහොසත් වන ඔනෑම අයෙකුට දැඩි දඬුවම් නියම වන බවට නිවේදනය කරන ලදී.

බදාදා

නිවස ළඟටම පාන් සැපයීම නැවත ආරම්භ විය. එය නැවත යථා තත්ත්වයට පැමිණ ඇති බවට සළකුණකි. කාර්යාල නැවත විවෘත විය. නමුත් කිසිදු දෙමළ වැසියකු රැකියා සඳහා වාර්තා කළේ නැත.

වෙන්වීම වෙනුවෙන් පෙනී සිටින සියලු පාර්ශවයන් තහනම් කර සාමාජිකයන්ට දැඩි දඬුවම් පැමිණවීමට හැකි වනු ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුව කැඳවන බවට රජය නිවේදනය කළේය. නිශ්චිතවම මින් අදහස් වන්නේ පාර්ලිමේන්තුවේ ආසන දාහතක් සහිත දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (එහි නායකයා විපක්ෂ නායකයාය) තහනම් කරනු ලබන බව ය. මෙය සරලවම අමන ක්‍රියාවක් වන්නේ ඉන් ආණ්ඩුවට සාකච්ඡා කිරීමට කිසිවෙකු නොමැති වන නිසා ය.

ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කරන ලද කතාවක් ගුවන්විදුලිය හවස් වරුවේ විකාශනය කළේය. ජූලි 20 වැනිදා දේශපාලන පක්ෂවල පළමු වට මේස සාකච්ඡාව කැඳවූ අවස්ථාවේ දී සංවර්ධන සභාවල වැඩි බලතල ලබාදීම, ත්‍රස්තවාදය වළැක්වීමේ පනත ඉවත් කර ගැනීම, ඒ යටතේ අත්අඩංගුවට ගෙන ඇති සියලුදෙනාට පොදු සමාව දීම (කෙසේ වෙතත් දිවි ගලවා ගෙන ඇත්තේ සුළු පිරිසකි) සහ උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම ඇතුළු දෙමළ ප්‍රශ්නයට විසඳුමක් සාකච්ඡා කිරීමට ඔහු අදහස් කර සිටි බවට අපූරු කතාන්දරයක් ඔහු ගෙනහැර පෑවේය. එහෙත් සියලු පක්ෂ සාකච්ඡාව වර්ජනය කළ බවත් ඒ හේතුවෙන් ගැටලුව විසඳීම සඳහා ඔහුගේ යෝජනා සාකච්ඡා කිරීම වැළකුණු බවටත් ඔහු මැසිවිලි නැඟුවේය.

මීටත් වඩා විශාල දේශපාලන බොරුවක් තවත් තිබිය නොහැකිය! එය ජනාධිපතිවරයාගේ දේශපාලන අවංකභාවය ප්‍රශ්න කරන්නකි. තම රජය බලයට පත් වී වසර හයක් ගතව ඇති බවත්, මෙම දීර්ඝ කාලය තුළ දී (මැතිවරණ පොරොන්දු තිබුණ ද) තව තවත් මර්දනය කිරීම මිස ‍දෙමළ ගැටලුවට විසඳුමක් ගෙන ඒමට ඔහු කිසිවක් නොකළ බවත් ඔහුට අමතකව ඇති බව පෙනෙයි. එමෙන්ම සමුළුව පැවැත්වූයේ උතුරේ ත්‍රස්තවාදය මර්දනය කිරීම සම්බන්ධ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට පමණක් බවත් එහි දී යාපනයේ දෙමළ ජනයාගේ මතය පිළිබඳ සැළකිල්ලක් නොදැක්වූ බවත් සති කීපයකට පෙර ඩේලි ටෙලිග්‍රාෆ් සමග කරන ලද ඔහුගේම සම්මුඛ සාකච්ඡාව පහසුවෙන් නොසළකා හැර ඇති බව පෙනී යයි. පැහැදිලිවම ජාත්‍යන්තර හෙළාදැකීම්වලින් ගැලවීම සඳහා ජනාධිපතිවරයාට මෙවැනි අමූලික බොරු ඉදිරිපත් කිරීමට සිදුවිය. ලෝකය ඉදිරියේ ලංකාවේ ප්‍රතිරූපය ඇත්ත වශයෙන්ම පහත වැටී තිබුණි. මීට දින කීපයකට පෙර ලන්ඩනයේ සිට නැවත පැමිණි සිංහල ජාතික විශේෂඥ වෛද්‍යවරයෙකු පැවසුවේ විදේශගතව සිටිය දී තමන් සිංහලයෙකු යැයි හඳුන්වාදීමට ලැජ්ජා වූ බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හයවැනි සංශෝධනය (වගන්ති දෙකක් හැරුණුකොට) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට අද තීන්දු කළ බව ගුවන්විදුලිය නිවේදනය කළේය. හෙට එය ප්‍රාර්ලිමේන්තුවේ දී සම්මත වන බවට සැකයක් නැත. ඊට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහභාගිවේ යැයි සිතිය නොහැකිය. සිරකරුවන් ඝාතනය කළ හැකි නම් මන්ත්‍රීවරුන්ට ද ඕනෑම දෙයක් සිදුවිය හැකිය.☐

© JDS