ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්: "වෙනත් රටවල ආණ්ඩු වෙනස් කිරීම අප නොකඩවා කරන වැරැද්දක්!"


පළමු කොටස: 'අපි පස් වසරකින් රටවල් හතක් අතුගා දැමීමට සැලසුම් කර ඇත්තෙමු'
දෙවැනි කොටස: 'ඉරාක යුද්ධය නීති විරෝධී නැහැ, නමුත් අයුක්ති සහගතයි!'

Democracy Now! වෙබ් අඩවිය වෙනුවෙන් ඒමි ගුඩ්මාන් විසින් එක්සත් ජනපද හමුදාවේ තරු හතරේ ජෙනරාල්වරයෙකු වූ වෙස්ලි ක්ලාර්ක් සමග කරන ලද සාකච්ඡාවේ අවසාන කොටස පහත පළ වේ. අධිරාජ්‍යවාදය වනාහී හුදු හාන්සි පුටු න්‍යායික නිමිත්තකට වඩා, ව්‍යාප්තවාදී හා විනාශකාරී ප්‍රායෝගික යුද - දේශපාලන හා ආර්ථික සැලැස්මක් බව යළි යළිත් ඔප්පු කර පෙන්වීමට ජෙනරාල් ක්ලාර්ක්ගේ සාකච්ඡාව හොඳින් මග පාදා දෙයි. යුගොස්ලාවියානු යුද්ධයේ සිට අද දවසේ ඇෆ්ඝනිස්ථානයේ හා මැද පෙරදිග දක්වා ඇවිළ යන සියළු යුද ගිනි පූර්වයෙන් සැළසුම් කළ ව්‍යසනයන් බව පිළිගැනීමට මැලිවන අයකු වෙතොත්, හිටපු නේටෝ ආඥාපතිවරයාගේ මෙහි පළවන අදහස් ප්‍රවේශමින් කියවා බැලීම වටියි.

පරිවර්තනය: අජිත් සී. හේරත්


මි ගුඩ්මාන්: බුෂ් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුතු යැයි ඔබ සිතනවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්: මම හිතන්නේ අපි විසින් පළමුව කළ යුතුව ඇති දේ පළමුව කළ යුතුයි. එනම් කොංග්‍රසය විසින් ආරම්භ කරන ලද ඉරාක යුද්ධය පිළිබඳ පරීක්ෂණයට අදාළ කටයුතු සම්පූර්ණ කළ යුතුයි. ඔබට මතකද සෙනේට් මණ්ඩලය විසින් අධ්‍යයන වාර්තාවක් නිකුත් කිරීමට සුදානමින් සිටියා. මෙම අධ්‍යයන වාර්තාව මගින් නිගමනය කළ යුතුව තිබුණේ එක්සත් ජනපද ආණ්ඩුව විසින් ඉරාකය ආක්‍රමණය කිරීමේ සිය අරමුණ වෙත සෙනේට් අනුමැතිය ලබාගැනීම සඳහා බුද්ධි සේවා අංශ විසින් සපයන ලද තොරතුරු දැනුවත්ව විකෘති කිරීමකට ලක් කර ඇති ද යන්නයි. මේ අධ්‍යයන වාර්තාව සකස් කළ සෙනේට් බුද්ධි කමිටුවේ  ප්‍රධානියා ලෙස කටයුතු කළේ අයෝවා හෝ කැන්සාස් නියෝජනය කළ රිපබ්ලිකන් පාක්ෂික සෙනේට් සභිකයෙක්.  සත්තකින්ම මං ඒ අධ්‍යයන වාර්තාව කිසිදිනක දුටුවේ නැහැ. මම කැමැතියි දැනගන්න ඒ වාර්තාව දැන් කොහේද තියෙන්නේ කියලා.  අපේ රට ඉරාකය සමග යුද්ධයට ගියේ ඇයි කියලා සොයා බැලිය යුතුව තිබියදී ඇයි අපි ස්කූටර් ලිබී ගැන වසර තුනක් තිස්සේ පරීක්ෂණ කරමින් සිටියේ කියලා මම දැනගන්න කැමැතියි.

ගුඩ්මාන්: ව්‍යවස්ථාපිත අයිතීන් සඳහා වන මධ්‍යස්ථානය විසින් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, ජෙනරාල් මිලර් සහ තවත් අයට එරෙහිව ජර්මන් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකොට තිබෙනවා, ඒ ඔවුන්ට විශ්වීය අධිකරණමය බලතල ඇති හෙයින්. ඔබ හිතනවාද ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ට එරෙහිව යුද අපරාධ චෝදනා නැගිය යුතුයි කියලා?

ජෙනරාල්  ක්ලාර්ක්: හොඳයි, මම දැනගන්න කැමැතියි රම්ස්ෆෙල්ඩ්ට විරුද්ධව ඇති සාක්ෂි මොනවාදැයි කියා.  මම මේ දේ දන්නවා, ඒ කියන්නේ හමුදා නිල ඇඳුම් ලා ගත් ගැහැණුන් සහ මිනිසුන් වෙත දැඩි පීඩනයක් එල්ල කර තිබුනා බුද්ධි තොරතුරු සපයන ලෙස. මට මතකයි, එක් වරක් එක්කෝ ජෙනරාල් සාන්චෙස් (2003 ජූනි සිට 2004 ජූනි දක්වා වූ වසර තුළ ඉරාකයේ එක්සත් ජනපද හමුදා ආඥාපතිවරයා වශයෙන් ක්‍රියාකළ ලුතිනන් ජෙනරාල් රිකාඩෝ සාන්චේස් - පරිවර්තක) හෝ නැතිනම් ජෙනරාල් අභිසායිඩ් (එක්සත් ජනපද මධ්‍යම ආඥාවේ ඒකාබද්ධ ආඥාපතිවරයා ලෙස 2003 සිට 2007 දක්වා කටයුතු කළ ජෝන් අභිසායිඩ් - පරිවර්තක) පවසා සිටියා, "අපට අවශ්‍ය තවතවත් සෙබළුන් නොව, බුද්ධි තොරතුරුයි. අපට ඇත්තටම අවශ්‍ය හොඳ බුද්ධි තොරතුරුයි," යනුවෙන්. ඒ 2003 සරත් සමයේදීයි.  අපට අවශ්‍ය හොඳ බුද්ධි තොරතුරුයි යනුවෙන් කෙරෙන මෙම අවධාරණය මට හිතෙන විදියට තෙත රෙදි කැබැලි මිනිසුන්ගේ මුහුණේ දවටා ඔවුන්ගේ හුස්ම හිර කර තොරතුරු ගැනීමට ගන්නා වෑයම  හැඳින්වීමට යොදන ලද සමාන සංඥා වචනයක්.

ඉහත අදියරේ සිට අබු ග්‍රායිබ් වැනි ස්ථානවල සිදු වූ සියළු ආකාරයේ අමානුෂික සැළැකීම් දක්වා ගමන් කිරීමට ඇත්තේ කෙටි පියවරක් පමණයි. අපි දන්නවා අල් ගොන්සාලේස් (එක්සත් ජනපද නීතිපතිවරයා ලෙස ක්‍රියාකළ ඇල්බර්ටෝ ගොන්සාලේස්) විසින් ලියන ලදුව ඔහුගේ මිනිසුන් විසින් බලාත්මක කරන ලද හෝ ඔහුගේ මිනිසුන් විසින් බලාත්මක කරන ලදුව ඔහු විසින් අනුමත කරන ලද නිල වාර්තා සටහන් කීපයක් මගින් වධ බන්ධන පැමිණවීම යනු ප්‍රධාන ශරීර ඉන්ද්‍රියයක් හෝ අවයවයක් අහිමි වන පරිදි යම් පුද්ගලයෙකුහට වේදනාවක් ඇති කිරීම යනුවෙන් අර්ථ ගන්වා තිබුණා. මෙය වධ බන්ධන පිළිබඳව පූර්ණ අර්ථකතනයක් නොවෙයි. මෙම වාර්තා බොහෝ දෙනාගේ විරෝධයට ලක්වුණා. අපි දන්නවා යම් කිසි දුරකට ඔහු විසින් බලහත්කාරී ක්‍රමවේදයන් අනුමත කර තිබුණා. එමෙන්ම (සිරකරුවන්ගෙන් තොරතුරු ගනුවස් බලකරනු සඳහා) අවශ්‍ය වන ඕනෑම ක්‍රමවේදයක් අනුගමනය කිරීමට බලය පවරන 2005 මිලිටරි රැඳවුම්කරුවන් පිළිබඳ පනතට අත්සන් තැබීමෙන් තමන්ද මෙම වධබන්ධන පැමිණවීමේ ක්‍රියාවලට හවුල්ව ඇති බව ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින්ම පිළිගෙන තිබෙනවා. මෙම සමහර ක්‍රියාවන් සඳහා නිල වශයෙන් සමාව දීම් සිදුව තිබෙනවා.

මම හිතනවා එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් මෙන්ම ඇමෙරිකානු නීතිය ද උල්ලංඝණය කිරීමක් බව. එපමණක් නොව, එය යහපාලනය පිළිබඳ ඇමෙරිකානු මූලධර්ම ද උල්ලංඝණය කර තිබෙනවා. සිරකරුවන්ට අයෝග්‍ය අයුරින් සැළකීම පිළිබඳ බොහෝ සාක්ෂි තිබෙනවා. ඉතිහාසය තුළ සියළුම හමුදාවන් විසින් එය සිදුකරන්නට ඇති. නමුත් එය නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස අපේ රට විසින් කවදාවත් ක්‍රියාත්මක කර නැහැ. හේසියන්වරුන් (ඇමරිකානු විප්ලවය මැඩලීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් යොදාගත් 30,000ක ජර්මානු සේනාංක - පරිවර්තක) අල්ලාගනු ලැබූ වෙලාවේ ඔවුන්ට වධ බන්ධන පැමිණවීමට හෝ මරාදැමීමට හමුදාවට අවශ්‍ය වුනත් ජෝර්ජ් වොෂින්ටන් පැවසුවේ ඔවුන්ට යහපත් අයුරින් සළකන ලෙසයි. "ඔවුන් අපේ පැත්තට එකතු වේවි," යි ඔහු කීවා. ඇත්තෙන්ම ඔවුන්ගෙන් බොහෝ දෙනකු එකතුවුණා. එය බුද්ධිමත් ප්‍රතිපත්තියක්. අත්අඩංගුවට පත් සතුරාට යහපත් ලෙස සැළකීම,  කළ යුතු නිවැරදි දෙය පමණක් නොවෙයි, එය ඉතා බුද්ධිමත් ප්‍රතිපත්තියක්. ලෝකයේ මේ කලාපය තුළ මිනිසුන්ට අපි විසින් සළකන ලද ආකාරය සහ ඔවුන් නොසළකා හැරීම නිසා අප විසින් ගණන් කළ නොහැකි තරම් සතුරන් ප්‍රමාණයක් ඇති කරගෙන තියෙනවා. එය ඉතා නරක ප්‍රතිපත්තියක්.

ගුඩ්මාන්: මට දැනගැනීමට අවශ්‍යයි ඔබ ෆොක්ස් නිව්ස් චැනලයේ වැඩ සටහන්වලට දායකවනවාද යන්න?

ජෙනරාල් ක්ලාර්ක්: ඔව්, අවම වශයෙන්.

ගුඩ්මාන්: මට ඔබෙන් අසන්නට අවශ්‍යයි වෙස්ට්පොයින්ට් මිලිටරි ඇකඩමියේ උපකුලපති, බ්‍රිගේඩියර් ජෙනරාල් පැට්‍රික් ෆිනගන්, හමුදාවේ ප්‍රශ්න කිරීම් කටයුතුවල නිරත වූවෙකු වූ  වන ටෝනි ලාගෝරානිස් සහ හියුමන් රයිට්ස් ෆස්ට් කණ්ඩායම විසින් මේ වනවිට ජනප්‍රියතාවයේ ඉහළටම පැමිණ තිබෙන 24 නම්  ක්‍රියාන්විත ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධානීන් හමුවී ඔවුන් මේ නාට්‍ය වැඩසටහන තුළින් කරන්නේ වධබන්ධන උත්කර්ෂයට පැමිණවීම බවත් එමගින් තරුණ තරුණියන්ට ඉරාකයට ගොස් එහි සොල්දාදුවන්ට වධබන්ධන පැමිණවීම දිරිගැන්වීම බවත් පැහැදිලි කර දී එය නැවැත්වීමට යාම ගැන ඔබ හිතන්නේ කුමක්ද කියලා?

ජෙනරාල් ක්ලාර්ක්: එ් විතරක් නොවෙයි. නමුත් එය සාර්ථක වන්නේ නැහැ. ඔව්, පැට් ෆිනගන් මගේ වීරයෙක්.

ගුඩ්මාන්: හොඳයි, ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

ජෙනරාල් ක්ලාර්ක්: මම හිතනවා එය ඉතා ශ්‍රේෂ්ඨ වැඩක් කියලා.

ගුඩ්මාන්: 24 වැඩ සටහන නැවැත්වීම අරමුණු කොටගෙන එය විකාශනය කළ ෆොක්ස් නිව්ස් ආයතනයේ පැවැත්වූ අභ්‍යන්තර සංවාදයට ඔබගේ සම්බන්ධයක් තිබුණාද?

ජෙනරාල් ක්ලාර්ක්: මම දන්න තරමින් නම් සිදුවූයේ මෙයයි. ඔවුන් හොලිවුඩ් හි සිටින සියළු ලේඛකයන්ට ඇමතුම් ගත්තා. මගේ පුතාත් ලේඛකයෙක්. ඔහුත් එම ඇමතුම ලද අය අතර සිටියා. වධ බන්ධන ගැන කතා කිරීම නවත්වන ලෙස ඔවුන් හැම දෙනාටම පවසා තිබුනා.  එය හරි ගියේ නැහැ. මම හිතන්නේ පැට් ෆිනගන්ගේ මැදිහත්වීම ප්‍රතිඵලදායකයි කියලා.

ගුඩ්මාන්: හොඳයි, ඔබ එයට සහාය දෙනවා?

ජෙනරාල් ක්ලාර්ක්: ඇත්ත වශයෙන්ම.

[ගුඩ්මාන්: (කථනය) ජෙනාරාල් වෙස්ලි ක්ලාර්ක් විසින් ජනප්‍රිය ඇමෙරිකන් ජෙනරාල්වරුන් වන ග්‍රාන්ට්, ලෙ මේ, පැටන් සහ අයිසන්හවර් ගැන පොත් ගණනාවක් මෑතදී  සංස්කරණය කරනු ලැබුවා. අයිසන්හවර් සිය  ජනාධිපති තනතුරේ කටයුතු කළ ආකාරය ගැන මම ජෙනරාල් ක්ලාර්ක්ගෙන් විමසා සිටියා.]

ගුඩ්මාන්: 1953 අදට බෙහෙවින් සමානකම් දක්වනවා. ටෙඩි රූස්වෙල්ට්ගේ මුණුපුරා වූ කර්මිට් රූස්වෙල්ට්, අයිසන්හවර් යටතේ ඉරානයට ගොස් මොහමඩ් මොසාදෙග් ගේ රජයට එරෙහිව කුමන්ත්‍රණයක් මෙහෙයවූවා.

ජෙනරාල් ක්ලාර්ක්: මිනිසුන් අතින් වැරදි සිදුවෙනවා. එක්සත් ජනපදය විසින් නොකඩවා සිදුකළ වැරැද්දක් නම් වෙනත් රටවලට මැදිහත් වී ඒවායේ මහජන ආණ්ඩු කෙසේ හෝ තමන්ට අවශ්‍ය ආකාරයට සැකසීමට කටයුතු කිරීමයි. විශේෂයෙන්ම මැද පෙරදිග කළාපය තුළ. මම දන්නේ නෑ අපිට එහෙම හිතෙන්නේ මොකද කියලා. ඔබට ලතින් ඇමෙරිකාව තේරුම්ගත හැකියි. මොකද ලතින් ඇමෙරිකාවේ ඉන්න මිනිස්සු නිතරම ඇමෙරිකාවට ඇවිත් කියනවා "ඔබ අපට උදවු කළ යුතුයි. අර යක්කු මංකොල්ල කාරයෝ. උන් කිසි දෙයක් දන්නේ නැහැ. ඔබ දන්නවා ඔවුන්ට ආණ්ඩුවක් නැහැ. කරුණාකර මැදිහත් වී අපේ දේපොළ ආරක්ෂා කර දෙන්න" කියලා. එක්සත් ජනපදය විසින් එය 1920 ගණන්වල නිතරම සිදුකළා. අයිසන්හවර් කියන්නේ ඒ සංස්කෘතියේම කොටසක්. ඔහු එය දැක්කා.

නමුත් මැද පෙරදිග තත්ත්වය වෙනස්. අපි කවදාවත් එහි සිටියේ නැහැ. දෙවන ලෝක යුද්‍ධ සමයේදී අපි ජර්මානුවන් ඉරානයෙන් පළවාහැරීම සඳහා සම්බන්ධතාවන් ගොඩ නගාගත්තා . අපි බ්‍රිතාන්‍ය සහ සෝවියට් සංගමය සමග සන්ධානයක් ගොඩ නැගුවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සෝවියට්වරුන්ට ඉරානයෙන් ඉවත්වීමට අවශ්‍ය වුනේ නැහැ. ටෘමන් විසින් ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අභියෝග කළා. අයිසන්හවර් මේ සියල්ල දැන සිටියා. කෙසේ හෝ ඉරානය අමෙරිකානු ආරක්ෂක වළල්ල සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළැඹුණා. ඔහුගේ දර්ශනය වූයේ එයයි. කොමියුනිස්ට්වරුන්ට සියල්ල බාරදී නිහඬව සිටීමට අපිට හැකියාවක් නැහැ.

ගුඩ්මාන්: එයට අමතරව මෙහිදී  බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම බලපෑවේ නැද්ද?

ජෙනරාල් ක්ලාර්ක්: ඒවා ඉතිං හැමදාම එහෙම තමා. හැම තිස්සේම යම් යම් අවශ්‍යතාවන් සහ අරමුණු පවතිනවා. මැද පෙරදිගට අදාළ ඇත්ත මෙයයි.  එහේ තෙල් තිබ්බේ නැත්නම් එය අප්‍රිකාවට වඩා වෙනස් ආකාරයක අවධානයක් හිමිකරගැනීමට සමත්වන්නේ නැහැ. එහෙම නම් කවුරුවත් අප්‍රිකාවට මැදිහත් වන බවට තර්ජනය කරන්නේ නැහැ. ප්‍රශ්නය මෙයට ප්‍රතිවිරුද්ධ දෙයයි. අපි දිගටම ඉල්ලා සිටිනවා මිනිස්සු වෙනුවෙන් එහෙට මැදිහත් වෙන්න කියලා.  සුපිරි බලවතුන් මැද පෙරදිග කලාපයට මැදිහත්වීමට උනන්දු වන්නේ  එහි පෙට්‍රෝලියම් තිබීම හේතුවෙන් යන්න අවිවාදිතයි. කුමන්ත්‍රණය සඳහා පෙළැඹීමට එය විශේෂිත හේතුවක් දැයි මට ඔබ වෙත නිශ්චිතව පැවසිය නොහැකියි. නමුත් අපි මේ කලාපයට කවර ආකාරයකින් හෝ මැදිහත් වී බලය යෙදීම සිදු කළ යුතු බවට වන ආකල්පය නම් අප තුළ සැමදාම පැවතුණ බව කිව හැකියි. මම හිතන්නේ ඒක තමයි ඇත්ත.

අප විසින් සෝවියට්වරුන් ඇෆ්ඝනිස්ථානයෙන් පළවා හැරීම සඳහා  ඔවුන්ට එරෙහිව මුජහිඩීන්වරුන් නිර්මාණය කර සන්නද්ධ කළ බව මඳකට සිහිපත් කරගන්න! අපට එලෙස කළ හැකි බව අපි හිතුවේ ඇයි? නමුත් අපි එය කළා. මා විසින් මෙයින් ඉගෙනගත් පාඩම නම් අපි විසින් බලය යොදන සෑම විටෙකම එය විසින් අනපේක්ෂිත ප්‍රතිඵල ද ලබා දෙන බවයි. එහෙයින් ඔබ විසින් බලය යෙදිය යුත්තේ අවසාන විකල්පය ලෙසයි. බලය යෙදීම සිදුවන්නේ විවෘතව හෝ රහසිගත වුවද එය විසින් ඔබට අනන්ත වූ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති.

ගුඩ්මාන්: ජීමි කාටර් විසින් ලියන ලද “Peace, Not Apartheid“ නම් පොත පිළිබඳව ඔබ සිතන්නේ කුමක් දැයි දැනගැනීමට කැමැතියි.

ජෙනරාල් ක්ලාර්ක්: එම පොත කියැවීමට මට අවස්ථාවක් නොවූ බව මා කණගාටුවෙන් වුවත් ඔබට පැවසිය යුතුයි. මා විසින් කියැවිය යුතු යැයි සිතා සිටින පොත් අතරින් එය ද එකක්. මා විසින් ඔබට මෙයත් පැවසිය යුතුයි. ඊශ්‍රායෙලය සම්බන්ධව අපගේ ස්ථාවරය  ඉතාම දුෂ්කර එකක්. මම "අපි" කියන වචනය පාවිච්චි කළේ සෑම ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුම බැඳී සිටිනවා ඊශ්‍රායෙලයේ ආරක්ෂාව සහ එහි පැවැත්ම තහවුරු කර දීමට. මම හිතනවා එය නිවැරදියි කියලා. මට එලෙස හැ‍ඟෙනවා. එ් වගේම මම ඊශ්‍රායෙලයේ දැඩි ආධාරකරුවෙක්.

නමුත් අපි කෙසේ හෝ පලස්තීනුවන් සමග සාකච්ඡා ඇණ හිට ඇති මේ වත්මන් තත්ත්වයෙන් ඔබ්බට ගමන් කළ යුතුයි. එමෙන්ම මේ ආණ්ඩුව (බුෂ් පරිපාලනය) අසමත්ව තිබෙනවා එයට නායකත්වය දීමට. ඔවුන් මූලික වශයෙන් ක්ලින්ටන් ආණ්ඩුව විසින් සිදු කළ කිසිවක් ඉදිරියට ගෙන නොයාමට තීරණය කර තිබෙනවා. මම හිතන්නේ එය තමයි මූලික ප්‍රතිපත්තිය. මේ අනුව අපි විසින් ඊශ්‍රායෙලය සහ පලස්තීනුවන් අතර අසීමාන්තික හිංසනයක් පැතිර යාමට ඉඩ සලසා තියෙනවා, එක්සත් ජනපද ආණ්ඩුව විසින් එය නැවැත්වීමට දැරෙන කිසිදු උත්සාහයකින් තොරවම. දැනටමත් එය බෙහෙවින් ප්‍රමාද වැඩියි. පසුගිය දිනෙක කොන්ඩි (රාජ්‍ය ලේකම් කොන්ඩෝලීසා රයිස්) එහි ගොස් සිටියා. නමුත් තමන් විසින් ඉටු කර ගැනීමට අපේක්ෂා කළ කිසිවක් ඉටු කර ගැනීමට ඇය අසමත්වුණා. ඒ වාගේම මිනිස්සුන්ට අවශ්‍යයි සෞදි අරාබියට වරද පැටවීමට. නමුත් අඩු තරමින් සෞදිවරුන් මක්කමේදී උත්සාහයක් දැරුවා එක්සත් රාජ්‍යයක් පිහිටුවීමට. එහෙයින් මම දොස් පවරන්නේ ඇමෙරිකන් ආණ්ඩුවටයි.

ජිමී කාටර් බොහෝ දෙනාගේ විවේචනයට ලක්වුණා. ඔහු මේ පොතේ කියන්නේ කුමක්දැයි මම හරියටම දන්නේ නැහැ. නමුත් මේ රටේ මිනිස්සු ගොඩාක් සංවේදීයි ඊශ්‍රායෙලය ගැන. මට එය තේරුම් ගත හැකියි. මගේ බොහෝ මිතුරන් විසින් මා හට එය පැහැදිලි කර දී තිබෙනවා. ඒ වාගේම දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ දේවල් වළකාළීමට ප්‍රමාණවත් තරම් විරෝධය දැක්වීමට තමන් අසමත්වූවායැයි යන හැඟීම ඇති මිනිසුන්ගේ මානසිකත්වය ගැන ද ඔවුන් මට පවසා තිබෙනවා. එය නැවත වතාවක් සිදුවන්නේ නැහැ.

ගුඩ්මාන්: ජෙනරාල් ක්ලාර්ක්, ජනමාධ්‍යවේදීන් ගැන මට ඔබෙන් දැඩි ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍යයි.

ජෙනරාල් ක්ලාර්ක්: හොඳයි, එය ඔබ අද මගෙන් අසන පළමු දැඩි ප්‍රශ්නය වනු ඇතැයි මම සිතනවා.

ගුඩ්මාන්: ඉරාකය තුළදි ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය වෘත්තිකයන් 100කට වැඩි සංඛ්‍යාවක් ඝාතනයට ලක්වී තිබෙනවා. වැඩිපුරම ඝාතනය වී ඇත්තේ අරාබි ජනමාධ්‍යවේදීනුයි. එක්සත් ජනපද හමුදාවල ෂෙල් ප්‍රහාරය අල්ජසීරාවට එල්ලවන විට එහි සිටි අල්ජසීරා වාර්තාකරු තරීක් අයුබ් මරණයට පත්වුනා. පලස්තීන හෝටලයට ප්‍රහාර එල්ලවූ අවස්ථාවේ එහි සිටි රොයිටර් ඡායාරූප ශිල්පියා සහ  ස්පාඤ්ඤ ටෙලිසින්කෝ මාධ්‍ය ආයතනයේ යෝසේ කෝසෝ මාධ්‍යවේදියා මරණයට පත්වුණා. බොහෝ අරාබි ජනමාධ්‍යවේදීන් තුළ හැඟීමක් තියෙනවා, ඔවුන්ව සැලසුම් සහගතවම ඉලක්ක කොට ඇති බවට. එහි අදහස පණිවිඩය ගෙන එනු ලබන පුද්ගලයාට වෙඩි තැබීමයි.  මේ ප්‍රශ්නය, ඔබ නේටෝ සංවිධානයේ යුගෝස්ලාවියා ආක්‍රමණයේදී එහි සුපිරි අණදෙන නිලධාරියාව සිටියදී සර්බියානු රේඩියෝ ටෙලිවිෂන් ආයතනයට බෝම්බ දැමීම දක්වා ඈතටද විහිද යනවා. ඔබ සිදු කළ දේවල් ගැන ඔබ පසුතැවිලි වෙනවාද?

ජෙනරාල් ක්ලාර්ක්: ඒ ගැන මා තුළ කිසිදු පසුතැවිල්ලක් නැහැ. එය සර්බියානු අණදෙන සහ පාලන ජාලයේ කොටසක්. ඒ විතරක් නොවෙයි, ඒ රූපවාහිනි මධ්‍යස්ථානය විනාශ කර දමන ලෙස බොහෝ දේශපාලන නායකයන් මගෙන් ඉල්ලා සිටියා. එය විනාශ කරදැමීමට පෙර අපි විසින් එය විනාශකර දැමීමට යන බවට මම දෙවරක්  සර්බියානුවන්ට අනතුරු ඇඟවූවා. පෙන්ටගනයේ පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අපි යමෙකු ලවා  සැලසුම් කරන ලද ප්‍රශ්නයක් මතු කරනු ලැබුවා මෙම රූපවාහිනියට පහරදීමට අපි කටයුතු කරන්නේ දැයි අපෙන්ම අස්සවාගන්න. අපි එය කළේ අපි එයට පහරදීමට යන බවට සර්බියානුවන්ගේ අවධානය යොමු කිරීමටයි.

ගුඩ්මාන්: RTS (Radio Television of Serbia)?

ජෙනරාල් ක්ලාර්ක්: ඔව්. මිලෙසොවික් ඒ අනතුරු ඇඟවීම වටහාගත්තා. ඒ රාත්‍රියේදී ඔහු විසින් විශේෂ අනිවාර්ය සාදයක් සියලු විදේශ ජනමාධ්‍යවේදීන් සඳහා RTS ආයතනය තුළ පැවැත්වූවා. ඒ රාත්‍රියේදී අපි එයට බෝම්බ දැම්මේ නැහැ. අපි දෙවරක්ම අනතුරු ඇඟවූවා අපි එයට පහර දීමට පෙර.

ගුඩ්මාන්:  ඒ වනවිට එහි සිටි CNN වාර්තාකරුවන්ට ඉවත්වන ලෙස ඔබ විසින් දැනුම් දෙනු ලැබුවාද?

ජෙනරාල් ක්ලාර්ක්: පෙන්ටගන්හි පැවැත්වුණ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මම CNN පාවිච්චි කළා, පහර දෙන බවට වන ප්‍රවෘත්තිය පැළ කරන්න. නමුත් අපි කිසිවෙකුට විශේෂයෙන් දැනුම්දුන්නේ  නැහැ ඉවත්වන ලෙස. අපි ඔවුන්ට කිව්වේ එය (RTS ආයතනය) අපගේ ඉලක්කයක් බවයි. අපි පහරදෙනු ලැබුවහොත්  අපි ලවා කිසිවෙකු හෝ මරණයට පත්කරවීම සඳහා මධ්‍යම රාත්‍රියේදී  මිනිසුන්ව එහි තබා ගැනීමට තීරණය කළේ මිලොසොවික් විසින්. අපි පහරදුන්නේ කිසිවෙකු හෝ සාමාන්‍යයෙන් එහි නොසිටින රාත්‍රියේදීයි.

ගුඩ්මාන්: නමුත් ඔබ විසින් සාමාන්‍ය වැසියන් මරාදැමුවා?

ජෙනරාල් ක්ලාර්ක්: හය දෙනකු මරණයට පත්වුණා.

ගුඩ්මාන්: 16 දෙනෙක් මරණයට පත්වුණා. එහි සිටියේ මාධ්‍යවේදීන්, අංගරචනා ශිල්පීන් සහ තාක්ෂණික ශිල්පීන් ආදි අයයි. එය සිවිල් ඉලක්කයක්.

ජෙනරාල් ක්ලාර්ක්: ඔව්. ඔවුන්ට එහි රැඳී සිටිනා ලෙස මිලෙසොවික් නියෝග දී තිබුණා.

ගුඩ්මාන්: නමුත් එය සිවිල් ඉලක්කයක්?

ජෙනරාල් ක්ලාර්ක්: එය සිවිල් ඉලක්කයක් නොවේ. එය සර්බියානු ආඥා සහ පාලක ජාලයේ එක් කොටසක්.

ගුඩ්මාන්: ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් එය යුද අපරාධයක් ලෙස නම් කිරීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ජෙනරාල් ක්ලාර්ක්: ඒත් යුගොස්ලාවියාවේ අන්තර් ජාතික අපරාධ අධිකරණය විසින් එම සිදුවීම ගැන පරීක්ෂණයක් සිදු කළා. ඔවුන්ගේ තීන්දුව වුණේ එය නීත්‍යානුකූල ඉලක්කයක් බවයි. ඇම්නෙස්ටි සංවිධානය විසින් ඔවුන් විසින් පැවසිය යුතුව ඇති දේ පැවසීම සම්පූර්ණයෙන්ම නිවැරදි බව මම හිතනවා. නමුත් අපි කළ සියල්ල නීතිඥයන් විසින් අනුමත කළා. සෑම ඉලක්කයක්ම ආශීර්වාදයට ලක්වූවා. අපි යුද අපරාධ සිදු කළේ නැහැ.

ගුඩ්මාන්: RTS ආයතනය සේවය කළ, ඝාතනයට ලක්වුණු  පුද්ගලයන් බොහෝ අය තරුණ අය. මියගිය පුද්ගලයන් කවුරුන්දැයි  අපි අද දන්නා තත්ත්වයක් තුළ මෙම සිදුවීම දෙස නැවත බලන විට පෙනී යන දෙය නම්,  ඔබ ද  පැවසූ පරිදි ඔවුන් කර ඇත්තේ ඔවුන්ට එහි නතරව සිටින ලෙස මිලොසොවික් විසින් දුන්  නියෝග පිළිපැදීම පමණයි.

ජෙනරාල් ක්ලාර්ක්: ඔව්. එය ඛේදවාචකයක්. නමුත් මම ඔබට යමක් කියන්නම්. ඔබට ඛේදවාචකයක් ගැන කතා කිරීමට අවශ්‍ය නම් මේ සිදුවීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?  අපි වරක් කොසෝවෝවල සර්බියානු පොලිස් ස්ථානයක් ලෙස සිතන ලද ඉලක්කයකට බෝම්බ දැමුවා. අපි සර්බියානු වාහන දැක්කා. අපි නියමුවන් රහිත විමර්ශන ගුවන්යානා එයට ඉහළින් යැව්වා. එය හඳුනාගැනීම සඳහා අපට කළ හැකි සියල්ලම අපි සිදු කළා. ඒ රාත්‍රියේදී සර්බියානු පොලිස් වාහන එහි නතර කර ඇති බව අපි දැක්කා. ඉතින් අපි F-16 ගුවන් යානාවක් යවා රාත්තල් 500ක් බර ලේසර් නියාමක බෝම්බ දෙකක් ඒ මත අතහැරියා. එහිදී අප අතින්  සර්බියානුවන්ගේ අත්අඩංගුවේ සිටි අල්බේනියානුවන් 80 දෙනෙකු ද මරණයට පත්වුණා. ඔවුන් පළා යෑමට උත්සාහ කරන විට සර්බියානුවන් විසින් ඔවුන්ව එම ගොවිපොළ ගොඩනැගිල්ල තුළ රඳවා වාහනවලින් වට කර තිබුණා. මියගිය සෑම අහිංසක අයකු වෙනුවෙන්ම මම පසුතැවිලි වෙනවා. එමෙන්ම මම සෑම රාත්‍රියකම යාඥා කරනවා මියගිය අය අතර අහිංසකයන් සිටින්නට එපා කියා. ඒත් මේ නිසා තමයි මම කියන්නේ බලය යෙදවීම සෑම විටෙකම අවසාන විකල්පය ලෙස සිදු කළ යුතු බව.

මම මේ කථාව මීට කලින් උසස් විද්‍යාල සිසු සිසුවියන් සමග පවසා තියෙනවා. නමුත් එය නැවත නැවතත් කියන්න සිදුවෙනවා. වරක් අපේ (ගුවන් යානාවක) පොකුරු බෝම්බ ඒකකයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ග්‍රෙනේඩ් බෝම්බ කීපයක් නිෂ්වලදී පාසල් බිමකට ඇදවැටුනා. ළමයි කීපදෙනෙකු, මම හිතන්නේ තුන්දෙනෙක් මැරුණා. සති දෙකකට පසුව මට ලියුමක් එවා තිබුණා අර මැරුණ සර්බියානු ළමයෙකුගේ සීයා කෙනෙක් විසින්. ඔහු ලියා තිබුණා "උඹ මගේ මිණිබිරීව මරා දැම්මා! මම උඹට වෛර කරනවා. මම උඹව මරනවා!" කියලා. මට මේ ලිපිය හමුවුණේ යුද්ධය මැද දී. එයින් මා බොහෝ ශෝකයට පත් වුණා. නිශ්චිතව අපි කිසිවෙකුට එවැනි දෙයක් කිරීමේ උවමනාවක් තිබුණේ නැහැ. නමුත් යුද්ධයකදී අනතුරු සිදුවෙනවා. ඒ නිසයි අනෙකුත් සියළු විකල්ප ක්‍රියාමාර්ග ඵල රහිත වන්නේ නම් පමණක්  යුද්ධ ක්‍රියාමාර්ගවලට එළැඹිය යුත්තේ. මන්ද කියතොත් අහිංසක මිනිසුන් මරණයට පත්වෙන නිසා. මම හිතන්නේ එක්සත් ජනපද හමුදාව කොසොවෝවලදී ඉතා පරිස්සමින් සහ මානුෂික ලෙස කටයුතු කළා කියලා. නමුත් එවැනි තත්ත්වයක දී පවා සාමාන්‍ය වැසියන් මරණයට පත්වෙනවා. මම ඒ ගැන නිතරම පසුතැවිලි වෙනවා.

ගුඩ්මාන්: පොකුරු බෝම්බ තහනම් කළ යුතු යැයි ඔබ සිතනවාද?

ජෙනරාල් ක්ලාර්ක්: ඔබ දන්නවා, අපි භාවිතා කළා පොකුරු බෝම්බ 1400කට වැඩි සංඛ්‍යාවක්.  සමහර වෙලාවට අපි සතුව ඇති එකම යෝග්‍ය සහ වඩාත් මානුෂික ආයුධය පොකුරු බෝම්බ නම් අපට ඒ අවස්ථාවලදී පොකුරු බෝම්බ පාවිච්චි කරන්න සිදු වෙනවා. ඒවා භාවිතය ඉතා පරිස්සමින් සහ සැළකිළිමත් ලෙස කළ යුතු දෙයක්. මම හිතන්නේ අපි යුගොස්ලාවියාවේදී ඉතා පරිස්සමින් එය සිදු කළා.

ගුඩ්මාන්: පොකුරු බෝම්බ තහනම සඳහා වන ජාත්‍යන්තර ඉල්ලීම එක්සත් ජනපදය විසින් මේ වනවිට ප්‍රතික්ෂේප කර තියෙනවා. පසුගිය සිකුරාදා (2007 පෙබරවාරි 23) රටවල් 46ක් ඔස්ලෝහිදී රැස්වී නව අන්තර්ජාතික එකඟතාවක් කෙටුම්පත් කළා, 2008 සිට පොකුරු බෝම්බ භාවිතය තහනම් කිරීම සඳහා. ඔබ එයට සහයෝගය දෙනවාද?

ජෙනරාල් ක්ලාර්ක්:  ඔබ දන්නවා සමහර යුද විරෝධී කොටස් තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි යුද්ධයට භාවිතා කරන ආයුධවල නීත්‍යානුකූලභාවය අහිමි කිරීමට කටයුතු කිරීම. මමත් එවැනි සමහර දේවලට සහභාගි වී තිබෙනවා. මම කැමැතියි බිම්බෝම්බ තහනම් කිරීමට. මම සහභාගිවුණා ලේසර් භාවිතා කරමින් මිනිසුන් අන්ධකිරීමට යොදාගන්නා ආයුධ තහනම් කිරීමට. ඒ වාගේම  එම දෘෂ්ටි හානි කාරක ලේසර් ආයුධ තහනම් කිරීමේ ගිවිසුම සකස්කිරීමට සහභාගි වූ කණ්ඩායමේ කෙනෙක් මම. මම කැමැතියි න්‍යෂ්ටික ආයුධ සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබීමට. නමුත් මට එකඟ වන්න බැහැ ජාත්‍යන්තර කටයුතුවලදී බලය භාවිතා කිරීම අවශ්‍යවන්නේ නැතැයි කියන කණ්ඩායම් සමග. මේ රටට එය අවශ්‍යයි. මම කැමැතියි මේ රටට එය අවශ්‍ය නොවන තත්ත්වයක් ගොඩනැගීමට වැඩකිරීමට. නමුත් ඇත්ත තත්ත්වය නම් දැනට අපිට එය අවශ්‍යයි. ඒ නිසා අපේ සෙබළුන්ට සහ සෙබළියන්ට යුද බිමේදී කාර්යක්ෂ්ම ලෙසත්, ඔවුන්ට සිදුවන හානිය අවම වන පරිදිත් සටන්කිරීමට අවශ්‍ය කරන  සුදුසු ආයුධ ලබාදීමට එරෙහිව කටයුතු කිරීමට මට බැහැ.

ගුඩ්මාන්:  අපට මේ සාකච්ඡාව මෙතැනින් නිමා කිරීමට සිදුවනවා. ඔබට ස්තූතියි ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්.

ජෙනරාල් ක්ලාර්ක්: ස්තුතියි ඔබට.

[ගුඩ්මාන්: (කථනය) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්. මා විසින් ඔහු සමග නිව්යොක්හි Y වීදියේ අංක  92 දරණ සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙම සංවාදය සිදු කරනු ලැබුවේ ඔහු විසින් පළ කරන   ග්‍රාන්ට්, ලමේ , සැටන් සහ අයිසන්හවර්  වැනි ජෙනරාල්වරුන් ගේ චරිතපාදාන පිළිබඳ පොත්මාලාව සම්බන්ධයෙනි.]☐

© JDS