ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්: 'ඉරාක යුද්ධය නීති විරෝධී නැහැ, නමුත් අයුක්ති සහගතයි!'


පළමු කොටස: 'අපි පස් වසරකින් රටවල් හතක් අතුගා දැමීමට සැලසුම් කර ඇත්තෙමු'

කලක් නේටෝ ආඥාපතිවරයකු වශයෙන් ක්‍රියාකළ ඇමරිකානු ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් අධිරාජ්‍යවාදී පිළිවෙත් 'විධිමත් කිරීම මගින් ඊට සුජාතභාවය දිනාගැනීම' සඳහා පෙනී සිටින්නෙකි. නමුත් ඔහු විසින් කරනු ලබන මේ හෙළිදරව්ව, අධිරාජ්‍යවාදී මිලිටරි ව්‍යාප්තවාදය යනු වාමාංශිකයන් විසින් කරපින්නාගත් යල් පිනූ කුමන්ත්‍රණ න්‍යායකැයි පතුරුවනු ලැබ ඇති දක්ෂිණාංශික ඇදහිල්ලට පටහැනිව යයි. දශකයකින් පසු ලෝකයේ දේශපාලන හැඩගැස්ම පිළිබඳ දශකයකට කලින් සිදුකළ පුරෝකථනයක් බඳු මෙහි පළකෙරෙන අදහස්, ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන පිළිබඳ තියුණු සිහි කැඳවීමක් සේ සැලකිය හැකි ය.

එක්සත් ජනපද හමුදාවේ තරු හතරේ ජෙනරාල්වරයෙකු වූ වෙස්ලි ක්ලාර්ක්, නේටෝ සංවිධානය විසින් 1999දී යුගෝස්ලාවියාවට එරෙහිව සිදුකළ යුද්ධයේදී එහි උත්තරීතර අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ අතර මේ වනවිට හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ. තේරුම්ගත හැකි පරිද්දෙන්ම, මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කරන අදහස් වෙනුවෙන් පෙනී සිටීම පසු කලෙක දී  අත්හළ ජෙනරාල් ක්ලාර්ක්, සාම්ප්‍රදායයික යුද ශාස්ත්‍රය පිළිබඳ කෘති ගණනාවක් සම්පාදනය කර තිබේ.

Democracy Now! වෙබ් අඩවිය වෙනුවෙන් ඒමි ගුඩ්මාන් විසින් කරන ලද සාකච්ඡාව සිංහලට පෙරළා ඇත්තේ එහි ඉංග්‍රිසි අනුපත (transcript) ඇසුරෙනි.

පරිවර්තනය: අජිත් සී. හේරත්


මි ගුඩ්මාන්: එක්සත් ජනපදය විසින් ඉරානයට පහරදුනහොත් ඉල්ලා අස්වන බවට තර්ජනය කළ හමුදා ජෙනරාල්වරුන් ගැන ඔබට යමක් පැවසිය හැකිද? ඔබ ඔවුන් ගැන දන්නවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්: නැහැ, මම දන්නේ නැහැ. එය දැනගැනීමේ උවමනාවකුත් මට නැහැ.

ගුඩ්මාන්: ඔබ ඔවුන් සමග එකඟ වෙනවාද?

ජෙනරාල් ක්ලාර්ක්: හොඳයි, මම ඒක මෙහෙම ඉදිරිපත් කරන්නම්. 1994 කම්කරු දිනය යෙදී තිබුණු සති අන්ත සෙනසුරාදා උදයක  මම පෙන්ටගනයේ  කාර්යාලයේ සිටිය දී ඒකාබද්ධ නිලධාරි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා වූ වෝල්ට් ක්‍රොස්  ද කාර්යාලයේ සිටියා. ඒ වාගේම මම හිතන හැටියට  ඒ දිනවල J3වල (එනම් එක්සත් ජනපද ආඥා ව්‍යුහයේ තුන්වැනි තලය වන 'මෙහෙයුම්' අංශය - පරිවර්තක) සේවය කළේ හොවල් එස්ටස් හෝ ජැක් ෂීහාන්. ජැක්, ඒ දිනවල සිය රැකියාවේ අවසන් දින කීපය සේවය කරමිනුයි සිටියේ. මම තරු තුනේ ජෙනරාල්වරයෙකු ලෙස  J5 (ආඥා ව්‍යුහයේ පස්වැනි තලය වන 'සැළසුම්' අංශය - පරිවර්තක) වෙත අනුයුක්තව සිටියා. උදේ 11ට පමණ අපි තුන්දෙනාම ෂලිකාෂ්විලිගේ කාර්යාලයේ සිටියා (ජෝන් ෂලිකාෂ්විලි යනු 1993 සිට 1997 දක්වා කාලයේ එක්සත් ජනපදයේ හමුදා ආඥාපතිවරුන්ගේ මාණ්ඩලික ප්‍රධානියා ය. - පරිවර්තක). ෂලිකාෂ්විලි ඒ වනවිට ධවල මන්දිරයේ පැවැති රැස්වීමකින් පසු නැවත පැමිණියා. ඔහු කිසියම් කාර්යයක් ආරම්භකර ඇති බව ඔහුගේ විලාසයෙන් පෙනී ගියා.

“හොඳයි, අපි බලමු මේ සති අන්තෙදි කවුද නියම සොල්දාදුවෝ කියලා! ගොඩක් වැඩ කරන්න තියෙනවා. හයිටියේ මෙහෙයුම සම්පූර්ණ කළ යුතුව තිබෙනවා! සැලසුම් කිරීම් නිවැරදිව සිදුවිය යුතුයි, ඒ වාගේම එය මෙම සති අන්තයේදී නිම කළ යුතුයි. හොඳයි, අපි බලමු කවුද නියම සොල්දාදුවෝ කියලා!"

එවිට දුරකතනය නාදවුණා. ෂලිකාෂ්විලි ඒ ඇමතුම ගැනීමට අප සිව් දෙනා වාඩි වි සිටි වටමේස සාකච්ඡාවෙන් නැගිට්ටා. අපි එකිනෙකාගේ මුහුණු දෙස බලා ගත්තා.

“මේ කෝල් එක ආවේ කොහෙන්ද" කියලා අපි කතාවුණා.

පැයක් හෝ කෙටිකාලයක් තුළ මෙම කාර්යාලයෙන් පිටතට යාමට සිදුවෙතැයි සිතූ අපි, අප අපගේ පණිවුඩ සහ ලියැවිලි කටයුතු ඉක්මණට ඉවර කළා. සෑම සති අන්ත සෙනසුරාදාවකම අප එක්ව හමුවීමට පුරුදුව සිටියේ සෑම සෙනසුරාදාවකම කිසියම් ගැටළුවක් හෙවත්, “ සෙනසුරාදා අර්බුදයක්“ වෙත මුහුණ පෑමට අපට සිදු ව තිබූ නිසායි.

දුරකතන ඇමතුමෙන් පසු ෂලිකාෂ්විලි නැවත අප වෙත පැමිණි විට මම මෙහෙම කිව්වා:

“හොඳයි සර්, අපි කට්ටිය මේ ගැන කතා කරමින් හිටියේ. අපි මේ සම්පූර්ණ සති අන්තයම වැඩකරලා මේ හැම වැඩක්ම සම්පූර්ණ කරන්න කැමැතියි, නමුත් මේ අපි හයිටි වල කරන්න යන්නේ හමුදා අභ්‍යාසයක් විතරයි නේද?"

ඔහු මා දෙස බලමින් මෙලෙස පැවසුවා.

“වෙස් ('වෙස්ලි' යන්නට කෙටි නාමයක්), මේක හමුදා අභ්‍යාසයක් නෙවෙයි, ඔබ වෙත මේ ගැන කියන්න මට අවසර නැහැ. නමුත් තීරණයක් දැනටමත් අරන් තියෙන්නේ. එක්සත් ජනපදය හයිටිය ආක්‍රමණය කරන්න නියමිතයි. දිනය 20 වැනිදා , මම හිතන්නේ සැප්තැම්බර් 20 වැනිදා. අදාළ සැලසුම් මේ දැන් වහාම අවසන් කළ යුතුයි. ඔබලාගේ කවුරු හරි මේ තීරණයට විරුද්ධ නම් දැන්ම ඉවත්විය හැකියි.“

මම ජැක් සහ වොල්ට් දිහා බැලුවා. ඔවුන් මා දිහා බැලුවා. මම හිතන්නේ අපි උරහිස් හැකිලීම වැනි අංගචලන  සන්නිවේදන අදහස් හුවමාරුවකට පසුව  මෙලෙස පැවසුවා:

“හොඳයි, ඔබට හයිටි ආක්‍රමණය කිරීමට ම අවශ්‍ය නම්, මම අදහස් කරන්නේ  එය නීති විරෝධී නැතිනම්, අපි ආක්‍රමණය කිරීමට ගොඩක් කැමැති රට මේක නොවුනත්, හයිටියෙන් පැන නැගිය හැකි විරෝධතාව සන්නද්ධ රථ කීපයකට පමණක් සීමාවන නිසාත්, විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් ඒ සඳහා නියෝග කර ඇති හෙයිනුත්, අපි හිතන්නේ නැහැ මේ ගැන ඉල්ලා අස්වීමට තරම් හේතුවක් ඇති කියලා“.

ඉතින් අපි ඉල්ලා අස්වුණේ නැහැ. කවුරුවත් ඉල්ලා අස්වුණේ නැහැ.

නමුත් ෂලිකාෂ්විලි ඉතා බුද්ධිමත් අයෙක්, තමන් තමන්ගේ රැකියාවට වඩා දැවැන්තයෙකු බව ඔහු දැන සිටියා.  ඒ වගේම පළමුව තමන්  විසින් තමන්ගෙන්ම නීතිමය සහ සදාචාරාත්මක ගැටළු පිළිබඳ විමසා සිටිය යුතු බවත් ඔහු දැනගෙන සිටියා. ඒ නිසා මේ සමහර ජෙනරාල්වරුන් විසින් මේ දේවල් ඉරානය ගැන පැවැසීම විසින් මාව දිරිගැන්වූවා. ඔවුන් මේ ප්‍රශ්න පළමුව තමන්ගෙන්ම විමසා සිටිය යුතුයි.

ගුඩ්මාන්: යුද්ධ කිරීම සඳහා ඉරාකයට යාම ප්‍රතික්ෂේප කරන සොල්දාදුවන් ගැන ඔබ සිතන්නේ මොකක්ද?

ජෙනරාල් ක්ලාර්ක්: ඉරාකය?

ගුඩ්මාන්: ඉරාකය වෙත යාම ප්‍රතික්ෂේප කරන අය. පළමු ලුතිනන් ඒරන් වටාඩා වැනි අය. යුද්ධයට අනුයුක්ත වීම ප්‍රතික්ෂේප කළ පළමු කොමිෂන් ලත් නිලධාරියා  ඔහුයි. ඔවුන් ඔහුට එරෙහිව හමුදා අධිකරණය හමුවේ පැවරූ නඩුවේ අක්‍රමිකතාවක් ඇති බව ප්‍රකාශ කර තියෙනවා. ඔහු තව සති කීපයකින් නැවතත් හමුදා අධිකරණය හමුවේ පවරන තවත් නඩුවකට මුහුණ දීමට නියමිතයි. යුද්ධයට යාම ප්‍රතික්ෂේප කරන මෙම තරුණ සෙබළුන් සහ සෙබළියන් ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔවුන් දැනටමත් සංඛ්‍යාවෙන් දහස් ගණනාවක්. උදාහරණයක් ලෙස ඒරන් වටාඩා  පවසන්නේ ඔහුගේ හැඟීම අනුව මෙම යුද්ධය වැරදි බවත් එය නීතිවිරෝධී සහ සහ සදාචාර විරෝධී එකක් බවත්, ඒ නිසාම එම යුද්ධය වෙත ගැහැණුන් සහ පුරුෂයන් යොමු කිරීමට ඔහුට අවශ්‍ය නැති බවත්.

ජෙනරාල් ක්ලාර්ක්: හොඳයි, මම හිතන්නේ, ඔබ දන්නවා ඔහු ඉතාමත් නිර්භීත ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ වගේම ඔහුට ඒ වෙනුවෙන් දරුණු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවෙනවා.

ගුඩ්මාන්: ඔබ හිතනවාද, ඔහු කළ දෙය වෙනුවෙන් ඔහුව හිරගෙට දැමිය යුතුයි කියා?

ජෙනරාල් ක්ලාර්ක්: මම හිතන්නේ අපට කාර්යක්ෂම සහ විනයගරුක හමුදාවක් තිබිය යුතුයි කියලයි. ඒ වාගේම මම හිතන්නේ නැහැ යුද්ධයට යා යුත්තේ කොතැනටද යන්න තීරණය කිරීම හමුදාවේ සිටින මිනිසුන් සහ ගැහැණුන්ට අයිති දෙයක් ලෙස. මක් නිසාද යත් යුද්ධයක් කිරීම අවශ්‍යම මොහොතක ඒ ගැන වෙනත් විදියකට සිතන කිසියම්  පිරිසක්ද නිශ්චිත ලෙසම හමුදාව තුළ සිටිය හැකියි. ඒ නිසා යුද්ධයට යාමට විරුද්ධ වීමට ඔහුට ඇති අයිතිය මම පිළිගන්නා අතරම ඔහුට එරෙහිව චෝදනා කිරීමට රජය ගන්නා උත්සාහයටද මම සහාය දෙනවා. ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ඒ විදියටයි.

ෂලිකාෂ්විලි ගැන මම විස්තර කළ සිදුවීම හා මෙහි ඇති වෙනස නම්,  යුද්ධයට යාමට ගත් තීරණයට අපි විරුද්ධ නම් අපට ඉල්ලා අස්වීමට හෝ විශ්‍රාම යෑමට ඔහු විසින් අවස්ථාව ලබා දීමයි. සමහර විට අපට තරු තුනේ ජෙනරාල්වරුන් ලෙස විශ්‍රාම යෑමේ අවස්ථාව නොලැබිමට ඉඩ තිබුණා විය හැකියි. මක් නිසාද යත් අපි අපගේ රාජකාරිය ඉටුකිරීම ප්‍රතික්ෂේප කළ නිසා. නමුත් ඒරන් වටාඩා මුහුණ පෑ තත්ත්වයට වඩා අප මුහුණ දුන් තත්ත්වය වෙනස්. ඒ් නිසා අපට එරෙහිව අනිවාර්යයෙන්ම චෝදනා ගෙන එන තත්ත්වයක් තිබුණේ නැහැ.

නමුත් සන්නද්ධ හමුදාවක විනයක් පැවතිය යුතුයි. එය  ස්වේච්ඡාවෙන් සම්බන්ධ විය හැකි සංවිධානයක්. නමුත් එය (යුද්ධය)  නීති විරෝධී නොවන්නේ නම්,  එය (එනම් යුද්ධයෙන් ඉවත් වීමට කටයුතු කිරීම)  ස්වේච්ඡාමය දෙයක් නෙ‍ෙවයි. ඉරාක යුද්ධය නීති විරෝධී එකක් නොවෙයි. එ්ක එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය විසිනුත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසිනුත් අනුමත කර තිබුනා. එය අයුක්ති සහගත යුද්ධයක් නමුත් නීති විරෝධී යුද්ධයක් නොවෙයි.

ගුඩ්මාන්: ඔබ හිතනවාද එ්ක වැරදියි කියලා?

ජෙනරාල් ක්ලාර්ක්: ඉරාකයට එරෙහිව සටන් කිරීම වැරදියි කියලද? මම හිතන්නේ එය අත්වැරැද්දක් සහ නරක උපායමාර්ගයක් කියලා. එය විසින් අප වෙත බොහෝ දුක් වේදනාවන් ගෙන ආ බව මම හිතනවා. මම හිතන්නේ එය ත්‍රස්තයට විරුද්ධ යුද්ධය වෙතින් විශාල වශයෙන් ඉවතට ගමන් කිරීමක් විදියටත්, අපගේ (මිලිටරි) සම්පත් වෙනත් කටයුතු සඳහා යොදාගැනීමක් ලෙසත්, ඒ වගේම සතුරා ශක්තිමත් කිරීමට බලපෑ ක්‍රියාමාර්ගයක් ලෙසත්. ඒ වාගේම ඔහු (ඒරන් වටාඩා)ගේ ප්‍රශ්නය නීතිමය එකක් නොවෙයි, සදාචාරමය එකක් ලෙසත් මම දකිනවා.  ඔබ මේ ආකාරයෙන් හෘදය සාක්ෂියට අනුකූලව සදාචාරාත්මකව විරෝධය පාන්නෙකු බවට පත්වීමට තීරණය කරන විට එහි ඇති ප්‍රශංසනීය දෙයනම් ඔබ විසින් ඔබ අනුයන මූලධර්ම අනුව ස්ථාවරයක් ගෙන ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන මිල  ගෙවා දමන බවයි.  ඔබ ගන්නා ස්ථාවරයක් වෙනුවෙන්  කිසිදු මිලක් ගෙවීමට සිදු නොවන්නේ නම් එය ඔබගේ ධෛර්යය පිළිබඳ සාක්ෂියක් ද වෙන්නේ නැහැ. ඔහු විසින් පුද්ගලිකව ඉතා නිර්භීත සහ දිරිමත් ස්ථාවරයක් ගෙන තියෙනවා. ඒ වාගේම ඔබ විසින් පිළිගත යුතු දෙයක් වෙන්නේ සන්නද්ධ හමුදාවන්ට එහි  ක්‍රියාකාරිත්වයන් පවත්වාගෙන යාමේ හැකියාවත් පැවතිය යුතුය යන්නයි.

පළමු ලෝක යුද්ධයේදී ප්‍රංශය විසින් ඉතා අයහපත් ලෙස සැලසුම් කරන ලද ආක්‍රමණ ගණනාවක් දියත් කළා. මේ හැම ප්‍රහාරයක්ම ඉතා විනාශකාරී පරාජයක් අත් කර දුන්නා. ඔවුන් නැවතත් මිනිසුන් බලයෙන් හමුදාවට බඳවාගෙන ආක්‍රමණ දියත් කළා. ප්‍රතිඵලය එයමයි. අවසානයේදී එක් බළ ඇණියක සෙබළුන් හමුදා නායකත්වයට එරෙහිව යමින් තම බලකාය තවදුරටත් මෙයට සහභාගි නොවන බව ප්‍රකාශ කළා. එය වැරදියි! ඔබ දන්නවාද, ප්‍රංශ හමුදාව සිදු කළේ මොකක්ද කියලා? ඔවුහු එම කැරැළි ගැසූ බලකාය පෙළ ගස්වා සෑම දසදෙනෙකුටම එක් අයෙකු තෝරාගෙන වෙඩිතබා මරා දැමුවා. එම ඝාතන සිදුකිරීමට නියෝග කළ ජෙනරාල්වරයාට පසුව සදාචාරාත්මක සහ පුද්ගලික ප්‍රතිවිපාකයන්ට මුහුණපෑමට සිදු වුණා. නමුත් එයින් පසුව ප්‍රංශ සොල්දාදුවන් තවදුරටත් ඉහළින් ලැබෙන නියෝග පැහැර හැරීම සිදු කළේ නැහැ. ඒ අවස්ථාවේ ප්‍රංශ හමුදාව කැරැළි ගසා විසිරිලා ගියා නම් ජර්මනිය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීමට ඉඩ තිබුනා. ඔබ බලය භාවිතා කිරීමට යන්නේ නම් සන්නද්ධ හමුදාවන් තුළ  අනිවාරණීය බව පිලිබඳ මූලධර්මයක් පවතින බව මතක තබා ගත යුතුයි.

ගුඩ්මාන්: ඒත්, දේශපාලනඥයන් විසින් එය නතර කරනු ලබන්නේ නැතිනම්? ඔබ සඳහන් කළ ආකාරයට  ඩිමොක්‍රටික් පක්ෂය, රිපබ්ලිකන් පක්ෂය සමග එකතුවී යුද්ධය අනුමත කළා. ඔබ ජෙනරාල්වරයෙකු ලෙස පවසනවා ඒරන් වටාඩා නිර්භීත ක්‍රියාමාර්ගයක් ගත්තා කියා. එහෙම නම් යුද්ධය එපා යැයි කීමට මැදිහත් විය යුත්තේ යුද්ධය සඳහා යවන ජනතාව බව පැහැදිලියි නේද?

ජෙනරාල් ක්ලාර්ක්:  ඔව්, නමුත් අපට අවශ්‍ය කරන ධෛර්යය, ඔහුගේ (වටාඩාගේ) ධෛර්යය ආකාරයේ එකක් නෙවෙයි. අපිට අවශ්‍ය එක්සත් ජනපද ආණ්ඩුවේ නායකයන්ගේ ධෛර්යයි. ප්‍රතිපත්ති වෙනස් කිරීමේ හැකියාවක් සහිත ජෙනරාල්වරුන්ගේ ධෛර්යයි. ජනාධිපතිවරයාට සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලකිරීමේ හැකියාව ඇති කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන්ගේ ධෛර්යයි. මාවත ඒකයි. අපිට අවශ්‍ය ඒ ආකාරයේ ධෛර්යයකුයි.

ගුඩ්මාන්: ඔවුන්ට එය කළ හැක්කේ කොහොමද?

ජෙනරාල් ක්ලාර්ක්: (ජනාධිපතිවරයා විසින් කොංග්‍රසය මගින් යම් පනතක් අනුමත කරවාගැනීමේදී සිදුවන්නේ මෙයයි.) ඔහු මුලින්ම කොංග්‍රසය වෙත වගකීමට බැඳී නැති යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කරනවා. ඊළඟට එය අනුමත වන තත්ත්වයක් ක්‍රමයෙන් ගොඩ නගනවා. ඔහු විසින් එය අඛණ්ඩව පෙරට තල්ලු කළ යුතුව පවතිනවා.

කොංග්‍රසය සතුව මූලික බල ප්‍රභේද 03ක් තියෙනවා. එනම් පත් කිරීමේ බලය, පරීක්ෂා කිරීමේ බලය සහ මුදල් අනුමත කිරීමේ බලය යනාදි වශයෙන්. ඔහුට මේ සියලු ත්‍රිවිධ බලයන් පිටුපස හඹා යාමට සිද්ධවෙනවා. මෙම පෙරමුණු තුනේදී ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ මොනවාදැයි ඔබ විසින් සොයාගත යුතුයි. ඔහු විසින් මේ කරුණ බැරෑරුම්ව සැළකිල්ලට ගනු ලබන තෙක් ඔබ විසින් එය සිදු කළ යුතුයි. අපට සැත්කම් පිහියක් භාවිතා කරන ආකාරයට "හොඳයි, අපි මුල්‍ය ප්‍රතිපාදන සපයනවා, නමුත් අපට උද්ගමනයන් සඳහා මුදල් සැපයීමට නොහැකියි" කියා පැවසීම කළ නොහැකියි. මක් නිසාද යත් ඒ සඳහා කොංග්‍රසයට කළ නොහැකි මට්ටමක ක්ෂුද්‍ර කළමණාකරණයක් අවශ්‍ය වන බැවින්.

නමුත් ඔබට ජනාධිපතිවරයා වෙත ප්‍රමාණවත් තරමේ පීඩනයක් එල්ලකළ හැකියි. ඒවිට ඔහුට අවසානයේදී මෙසේ පැවසීමට සිදුවෙනවා:

“හොඳයි, හොඳයි, මොනවාද මගෙන් වෙන්න ඕනේ? මට ධවල මන්දිර වියදම් අනුමත කරලා දෙන්න, මට ෆෙඩරල් විනිශ්චයකාරවරුන් 30ක් පත් කරන්න අවශ්‍යයි."

කොංග්‍රසය  ඒවා අනුමත කරනවා.ඊළඟට ජනාධිපති මෙහෙම කියන්න පුළුවන්:

“මට මේ ‍ෆෙඩරල් නීතිපතිවරුන් පත්කරන්න අවශ්‍යයි. ඔබ දන්නවා මම ඔවුන්ට ඉල්ලා අස්වෙන්න බල කළේ මට දේවල් පාලනය කිරීමට පහසු වෙන්නයි. ඔවුන් වෙන තැනකට පත් කළ යුතුයි. මේ දේවල් කරගන්න නම් මගෙන් මොනවාද ඔහේලට වෙන්න ඕනේ?" 

මම කියන්නේ මේ ආකාරයට යම් යම් දේවල් කිරීමට ජනාධිපතිවරයාට බල කළ හැකියි.  එය දැඩි විශ්වාසයෙන් යුතු ආණ්ඩුවක්.

ගුඩ්මාන්: ඔබ හිතනවාද යුද්ධයට අරමුදල් සැපයීම කොංග්‍රසය විසින් නැවැත් විය යුතු බව?

ජෙනරාල් ක්ලාර්ක්: මම හිතන්නේ උපායමාර්ගික වෙනස්කම් ඇති කිරීම සඳහා කොංග්‍රසය විසින් ශක්තිමත් ස්ථාවරයක් ගත යුතු බවයි. මම හිතන්නේ නැහැ මේ මොහොතේ දී යුද්ධයට සැපයෙන අරමුදල් කපාහැරීම එක්සත් ජනපද අවශ්‍යතාවන් වෙනුවෙන් යහපතක් කරයි කියලා. හුදෙක් අරමුදල් නතරකර “මාස හයක් ඇතුළත ඇමෙරිකානු හමුදා ඉවත් කරගනු" යි ප්‍රකාශ කිරීම මගින් කිසිවක් ඉටුවන්නේ නැහැ. එය විසින් ඉරාකයේ ඛේදවාචකය  අවසන් වන්නේ නැහැ. එය විසින් අහිමි වූ ජීවිත නැවත ලබා දෙන්නේත් නැහැ. එය විසින් කළාපය තුළ පසුව මතුවිය හැකි තර්ජනයන් වළකාලීමේ හැකියාව අපට ලබා දෙන්නේත් නැහැ. අප විසින් කළ යුත්තේ ඇමෙරිකානු බලයේ සියළු මුලාංගයන්, එනම් රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික, නීතිමය සහ මිලිටරිමය ආදි සියල්ල භාවිතාවන උපායමාර්ගයක් සැකසීමයි. මම නම් කරන්නේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් වහාම අදාළ කළාපයට යවන එකයි. ඉරානය සහ සිරියාව සමග සාකච්ඡාවලදී මම කිසිම සීමාවක් හෝ පූර්ව කොන්දේසියක් පනවන්නේ නැහැ. අවශ්‍ය වුනොත් තව 50,000ක් සෙබළුන් ඉරාකයට යැවීමට හෝ ඉරාකයේ සිටින 150,000ක් වන සියළු සෙබළුන් ඉවත් කරගැනීම දක්වා වන සියළු උපක්‍රම මගේ මල්ලේ තියෙන බව මම ඔවුන්ට දැනගන්නට හරිනවා. කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වය ඇති කළ හැකි මූලධර්ම සහිත ප්‍රකාශනයක් මත පදනම් වූ එකඟතාවකට අපි ළඟා විය යුතුයි. හොඳයි, අපි වාඩි වෙලා කතා කරමු. නිවැරදි පරිපාලනයක් යටතේ එය දැන් කළ හැකියි. නමුත් එය තාම සිදු වී නැහැ.

එක්තරා රාත්‍රියක අත්ලාන්තික් සාගරය හරහා පැදවෙන නෞකාවක් මත ඔබ සිටිනවා යැයි සිතන්න. එය අළුත් නෞකාවක්. ඔබ නැවේ ඉදිරිපසට වී ඈත සිතිජයේ කොටසක් දෙස  බලාගෙන සිටිනවා. එය තරු සහිත ඉතා අලංකාරවත් රාත්‍රියක්. එක්වරම ඔබ විසින් හඳුනාගන්නවා සිතිජය තුළ තාරකාවන් දක්නට නැති අඳුරු කොටසක්. නෞකාවේ වේගය පැයට නාවික සැතැපුම් 30ක් විතර.  අර තාරකාවන් දක්නට නැති අඳුරු කළාපය ක්‍රමයෙන් විශාල වෙනවා. අවසානයේ ඔබ තේරුම් ගන්නවා නෞකාවේ ගමන් පථය මත ඈතින් සිතිජයේ තාරකා එළිය අවහිර කරන අයිස් කන්දක් වැනි කිසියම් විශාල දෙයක්  ඇති බව. ඉතින් ඔබ දිව යනවා කපිතාන් ළඟට:

“කැප්ටන්, කැප්ටන්, ඉස්සරහා අයිස් කන්දක් තියෙනවා. අප ඒකේ හැපෙන්නයි යන්නේ.“

එවිට කැප්ටන් කියනවා. "මේ බලනවා, මට දැන් අයිස් කඳු ගැන හිතන්න වෙලාවක් නැහැ. අපි මෙතැන ලොකු වාදයක්, නැව් තට්ටුවේ ඉදිරි පස හා පසුපස  මත තැබිය හැකි  පුටු ගණන ගැන. “

එවිට ඔබ “ඒත් නැව අයිස් කන්දේ හැපෙන්නයි යන්නේ?“ යැයි නැවතත් කියනවා.

“මට ඒ ගැන කණගාටුයි, දැන් මෙතැනින් වහාම පිටවෙනවා," යි කැප්ටන් කියනවා.

ඉතින් ඔබ පළමු නිලධාරියා වෙත දිවගොස් සිද්ධිය සැළ කර සිටිනවා. එතකොට ඔහු මෙහෙම කියනවා:

“මට දැන් ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ. මම ඩෙක් එක උඩ තියන පුටු ගාන ගැන කැප්ටන් එක්ක ලොකු වාදයක්“.

ඔබ දන්නවා, මැද පෙරදිග පිළිබඳ අපේ ප්‍රතිපත්තියේ අයිස් කන්දක් වෙත අප ගමන් කරමින් සිටිනවා. නමුත් එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලය සහ ජනාධිපති වරයා ලොකු වාදයක පැටළී සිටිනවා ඉරාකයේ සිටිය යුතු සෙබළුන් සංඛ්‍යාව ගැන. මෙතන ඇති ගැටළුව සෙබළුන් ගාන නොවෙයි, අපගේ සමස්ත උපාය මාර්ගය පිළිබඳ ගැටළුවකුයි තියෙන්නේ.

ගුඩ්මාන්: ජෙනරාල් කලාර්ක්, ග්වාන්තනාමෝ කඳවුර වසා දැමිය යුතු යැයි ඔබ සිතනවාද?

ජෙනරාල් ක්ලාර්ක්: සත්තකින්ම!

ගුඩ්මාන්: එ් බන්ධනාගාරයට සැපයෙන ප්‍රතිපාදන කොංග්‍රසය විසින් කපා හැරියොත් එය වසා දැමීමට සිද්ධ වෙනවා. ඔවුන් එහෙම කළ යුතුද?

ජෙනරාල් ක්ලාර්ක්: මම හිතන විදියට කොංග්‍රසය පළමුවෙන්ම කළ යුත්තේ  හමුදා කොමිෂන් පනත අවලංගු කිරීමයි. තොරතුරු ලබාගැනීම සඳහා වධ බන්ධන පැමිණවීමට බලය ලබාදෙන  නීති දැනුවත්ව හෝ නොදැනුවත්ව පැනවීමට කටයුතු කිරීම  පිළිබඳව රටේ ඉහළම ආයතනය වෙත විශාල පිරිසක් චෝදනා නගන තත්ත්වයක් ඇතිව තිබීම ගැන මම කලකිරී සිටිනවා. මම ප්‍රාර්ථනා කරන්නේ  එවැනි ඇමෙරිකාවක් නොවෙයි. ඒ වාගේම මම ප්‍රාර්ථනා කරන ඇමෙරිකාවක් තුළ චෝදනා විරහිතව කාල නියමයකින් තොරව මිනිසුන්  රඳවා තැබීම සිදු නොවිය යුතුයි. එ් නිසා මම පටන්ගන්නේ මිලිටරි කොමිෂන් පනත වෙනස් කිරීමෙන්.

ඊට පස්සේ මම කරන්නේ නෙටෝ සන්ධානයේ රටවල් එයට එක්කර ගැනීමයි. ඔවුන් පවසා තිබෙනවා ඔවුනුත් ග්වාන්තනාමෝ බන්ධනාගාරයට අකැමැති බව. මම කැමැතියි ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවන්න. මිලිටරි කොමිෂන්වලින් සමන්විත කැන්ගරු උසාවියක් නොවෙයි. සාක්ෂි අනුව නැවත විමර්ශන කටයුතු කරන්න. එහි රඳවා ඇති මේ මිනිස්සු කවුද? ඔවුන් එහි රඳවා ඇත්තේ කුමන වරදකටද? නිදහස් කළ හැකි අය කවුද? උසාවියට ඉදිරිපත් කර දඬුවම් පැමිණවිය යුත්තේ කාටද? ආදිය සැලසුම් කළ යුතුයි.

මිලිටරි බලය යොදා ත්‍රස්තයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ නොහැකියි. එය මූලිකවම අදහස් පිළිබඳ යුද්ධයක්. දෙවනුව එය නීතිය ක්‍රියාත්මක කිරීමේ වෑයමක් සහ ජාතීන් අතර සහයෝගය ඇතිකිරීමේ වෑයමක්. මිලිටරි බලය යෙදිය යුත්තේ අවසන් විකල්පය ලෙස විතරයි. මේ ජනාධිපතිවරයා එක්සත් ජනපද හමුදාවේ ශක්‍යතා විකෘති කොට තියෙනවා. ඔහු විසින් ග්වාන්තනාමෝවල දී  නිල ඇඳුම් ලාගත් අපේ මිනිසුන් සහ ගැහැණුන්ව ඉතාම නුසුදුසු ලෙස  අපගේ මිලිටරි සම්ප්‍රදායන්ට නොගැලපෙන දේවල් කිරීමටත්, එමගින් අපි ඇමෙරිකානුවන් ලෙස පෙනී සිටින්නා වූ වටිනාකම්වලට එරෙහිවත් යොදවා තිබෙනවා.☐

(මතු සම්බන්ධයි)

© JDS

තෙවැනි කොටස: 'වෙනත් රටවල ආණ්ඩු වෙනස් කිරීම අප නොකඩවා කරන වැරැද්දක්!'