'අපි පස් වසරකින් රටවල් හතක් අතුගා දැමීමට සැලසුම් කර ඇත්තෙමු' - ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්

අධිරාජ්‍යවාදී මිලිටරි ව්‍යාප්තවාදය යනු වාමාංශිකයන් විසින් කරපින්නාගත් යල් පිනූ කුමන්ත්‍රණ න්‍යායක්ද? ඊට පිළිතුර  'ඔව්' යැයි සිතන්නෝ ලංකාවේ දේශපාලන, ශාස්ත්‍රාලයීය හා මාධ්‍ය කවවල නම් බොහෝ වෙති. නමුත්, කලක් නේටෝ ආඥාපතිවතිවරයකු වශයෙන් ද ක්‍රියාකළ ඇමරිකානු ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් කරනු ලබන මේ හෙළිදරව්ව, ඒ විශ්වාසයට පටහැනිව යයි. මේ වනාහී, දශකයකින් පසු ලෝකයේ දේශපාලන හැඩගැස්ම පිළිබඳ දශකයකට කලින් ඔහු විසින් සිදුකළ කදිම පුරෝකථනයක් බඳු අනාවරණයකි. ජෙනරාල් ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් 2007 පෙබරවාරි 27වැනි දා කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන පිළිබඳ තියුණු සිහි කැඳවීමක් වන්නේ එබැවිනි.

මෙම සාකච්ඡාව සිදු කෙරෙන මොහොත වන විට එක්සත් ජනපදය හා එහි අතවැසි රාජ්‍යවල මිලිටරි ව්‍යාප්තවාදී සැළසුම් විසින් විනාශ කෙරෙමින් තිබුණේ ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය පමණි. නමුත් එතැන් සිට එළඹෙන වකවානුව තුළ විනාශ කිරීමට නියමිත රාජ්‍යයන් හයක ලැයිස්තුවක් වෙතැයි ජෙනරාල් ක්ලාර්ක් විසින් 11 වසරකට පෙර කළ අනාවරණය 2018 යථාර්ථය හා ගළපා ගනිමින් යළි කියවා බැලීම මහත් වැදගත්කමක් ගනියි.

එක්සත් ජනපද හමුදාවේ තරු හතරේ ජෙනරාල්වරයෙකු වූ වෙස්ලි ක්ලාර්ක්, නේටෝ සංවිධානය විසින් 1999දී යුගෝස්ලාවියාවට එරෙහිව සිදුකළ යුද්ධයේදී එහි උත්තරීතර අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ අතර මේ වනවිට හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ. තේරුම්ගත හැකි පරිද්දෙන්ම, මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කරන අදහස් වෙනුවෙන් පෙනී සිටීම පසු කලෙක දී ඔහු විසින්ම අත්හැර දැමුවේය. 2007 දී ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිධූර අපේක්ෂකත්වයට මුලින් සහාය දුන් හෙතෙම පසුව බැරාක් ඔබාමාට සහාය දුන්නේය.

ඇමරිකානු තෙල් සමාගමක් වන BNK Petroleum හි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීමට අමතරව,  2012 සහ 2015 අතර කාලයේදී  රුමේනියානු ජනාධිපති වික්ටර් පොන්ටාගේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස ද  කටයුතු කළ ජෙනරාල් ක්ලාර්ක් සාම්ප්‍රදායයික යුද ශාස්ත්‍රය පිළිබඳ කෘති ගණනාවක් ලියා පළකර තිබේ.
 
ජෙනරාල් ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් කරන ලද සාකච්ඡාවෙන් පසු  Democracy Now! වෙබ් අඩවිය විසින් පළකළ ඉංග්‍රිසි අනුපත (transcript) ඇසුරෙන් මෙහි පළවන සිංහල පරිවර්තනය සැකසී තිබේ.

පරිවර්තනය: අජිත් සී. හේරත්


පි අද, අපගේ හෝරාව ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ගත කරමු. ඔහු එක්සත් ජනපද හමුදාවේ තරු හතරේ ජනරාල්වරයෙකු වූ අතර දැනට විශ්‍රාමික ය. කොසොවෝ යුද්ධයේදී නෙටෝ සංධානයේ උත්තරීතර අණ දෙන නිලධාරියා වූයේ ද ඔහු ය. 2004 දී ඔහු ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණ නාමයෝජනා ලබා ගැනීමට දරන ලද උත්සාහය  අසාර්ථක විය. මෑත දී ඔහු විසින් ඩ්වයිට් ඩී. අයිසන්හවර්, යුලිසිස් ග්‍රාන්ට් වැනි ජනප්‍රිය එක්සත් ජනපද හමුදා නිලධාරින් පිළිබඳ පොත් පෙළක් සම්පාදනය කරන ලදී. ඉහත දෙදෙනාම හමුදා සේවයෙන් පසුව ජනාධිපතිවරුන් ලෙස තේරී පත් වූ අය වේ.

අඟහරුවාදා (2007 පෙබරවාරි 27)  මම 92 වැනි වීදියේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී විශාල ප්‍රේක්ෂක සමූහයක් මැද ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග  සම්මුඛ සාකච්ඡාවක් සිදු කළෙමි. එහි දී මම ඔහුගේ ජනාධිපති වීමේ අභිලාෂයන් ගැන විමසා සිටියෙමි.

ඒමි ගුඩ්මාන්: ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජෙනරාල්වරුන් ගැන ඔබ මොනවාද සිතන්නේ?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්: මම ඔවුන්ට කමැතියි. එය මීට පෙරත් සිදු වූවක්.

ගුඩ්මාන්: එය නැවතත් සිදු විය හැකිද?

ජෙනරාල් ක්ලාර්ක්: එය සිදුවිය හැකියි.

ගුඩ්මාන්: ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළාද?

ජෙනරාල් ක්ලාර්ක්: මා එසේ නොකරන බව මා විසින් පවසා නැහැ.

ගුඩ්මාන්: ඔබ බලා සිටින්නේ කුමක් අපේක්ෂාවෙන්ද?

ජෙනරාල් ක්ලාර්ක්: මම අපේක්ෂාවෙන් ඉන්නේ විවිධ පූර්ව කොන්දේසි කීපයක් ගැන යි. ඒවා මොනවාදැයි පැවසීමට මට මේ මොහොතේ අවසර නැහැ. නමුත් මට දැනට මේ දෙය ඔබට පැවසිය හැකියි. එනම් මම සෑම දිනෙකම මේ ගැන කල්පනා කරන බවයි.

[ගුඩ්මාන්: හොඳයි, අපි අපගේ වැඩ සටහනේ ඉතුරු කොටස තුළ එක්සත් ජනපදය විසින් ඉරානයට පහර දීමට ඇති ඉඩකඩ ගැන ද, ජනාධිපති බුෂ්ට එරෙහි දෝෂාභියෝගය ගැන ද, පොකුරු බෝම්බ භාවිතය ගැන ද, කොසෝවෝ යුද සමය තුළ ඔහු ප්‍රධාන අණදෙන නිලධාරියාව සිටියදී සර්බියානු ගුවන් විදුලි - රූපවාහිනී මධ්‍යස්ථානයට (Radio Television Serbia) බෝම්බ හෙළීම  ආදිය ගැන ඔහුගේම වචනවලින් සවන් දෙමු.]

ගුඩ්මාන්: අපි ඉරානය ගැන කථා කරමු. ඔබ යුද්ධය නැවැත්වීම සඳහා සම්පූර්ණ වෙබ් අඩවියක්ම කැපකර තිබෙනවා.

ජෙනරාල් ක්ලාර්ක්: ඔව්, www.stopiranwar.com.

ගුඩ්මාන්: ඉරාකයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට ඉදිරිපත් කළ හේතුන්වල, එනම් සමූල සංහාරක අවි පිළිබඳ චෝදනා, ජනමාධ්‍යවල යුදවාදී පෙරහැරට එක්වීම ආදිය විසින් පෙන්නුම් කරන පරිදි පැරණි සිදුවීම්වල ප්‍රතිවාදනයක් ඔබ මෙහිදී දකිනවාද?

ජෙනරාල් ක්ලාර්ක්: ඔව්, එක්තරා අන්දමක සමානාත්මතාවක් දැකිය හැකියි. නමුත් ඔබ දන්නවා ඉතිහාසයේ සිදුවීම් එකම ආකාරයට දෙවතාවක් සිදු නොවන බව. 2002 දී මම කොංග්‍රසය හමුවේ සාක්ෂි දෙන විට මා විසින් අනතුරු ඇඟවූ කරුණ තමයි, ඔබට කිසියම් රාජ්‍යයක් ගැන බියවීමට අවශ්‍ය නම් එය ඉරානය මිසක් ඉරාකය නොවන බව. නමුත් මේ ආණ්ඩුව, අපගේ පරිපාලනය බියවූයේ ඉරාකයටයි, ඉරානයට නොවෙයි.

ඒ ඇයිදැයි මම දැන සිටියා. 9/11 සිදුවීමට සුළු මොහොතකට පසු, එනම් දින 10කට පසු මම පෙන්ටගනය හරහා ගමන් කළා. ලේකම් රම්ස්ෆෙල්ඩ් සහ නියෝජ්‍ය ලේකම් වුල්ෆොවිට්ස් එහි සිටියා. මම පහත මාලයට ගියා ඒකාබද්ධ නිලධාරි මණ්ඩලයේදී මා යටතේ සේවය කළ අයට සුබපැතීමට. එවිට එක් ජෙනරාල්වරයෙකු මට ඇතුළට කථා කළා.

“සර් ඔබට ස්වල්ප වේලාවකට ඇතුළට පැමිණ මා සමග කථා කළ හැකිදැයි", ඔහු විමසුවා.

“හොඳයි. ඔබ මේ මොහොතේ කාර්ය බහුලයි නේද", යැයි මම පැවසුවා.

“නැහැ, නැහැ - අපි මේ ඉරාකයට එරෙහිව යුද්ධ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා", යි ඔහු පැවසුවා. "එය සැප්තැම්බර් 20 වැනිදා හෝ ඒ ආසන්නව සිදු විය හැකියි."

“අපි ඉරාකයට එරෙහිව යුද කිරීමට යනවා! ඒ ඇයි? “ මම ඇසුවා.

“මම දන්නේ නැහැ“ ඔහු පැවසුවා.“ මං හිතනවා වෙන කළ හැකි යමක් ගැන ඔවුන් නොදන්නා බව"යි ඔහු වැඩිදුරටත් පැවසුවා.

“ඔවුන්ට සදාම් හුසේන් සහ අල්කයිඩා අතර සම්බන්ධයක් ගැන තොරතුරු ලැබී තිබෙනවාද?" මම ඇසුවා.

“නැහැ, නැහැ.ඒ ආකාරයේ අලුතෙන් කිසිවක් හමුවී නැහැ. ඔවුන් ඉරාකයට එරෙහිව යුද්ධ කිරීමට නිකම්ම තීරණය කළා", යි ඔහු පැවසුවා.

“මට පේන්නේ ත්‍රස්තවාදීන් ගැන අප විසින් කුමක් කළ යුතුව ඇත්දැයි අප නොදන්නා නමුත් අපට හොඳ හමුදා බලයක් ඇති බැවින්  ආණ්ඩු පෙරළා දැමීමට තීරණය කර ඇති බවයි. ඔබ සතුව ඇති එකම උපකරණය මිටියක් නම් සියළු ප්‍රශ්න ඔබට පෙනෙනු ඇත්තේ ඇණ ලෙසයි", ය ඔහු වැඩි දුරටත් පැවසුවා.

මම සති කීපයකට පසුව ඔහුව නැවත මුණ ගැසීමට පැමිණියා. ඒ වනවිට අපි ඇෆ්ඝනිස්ථානයට බෝම්බ දමමිනුයි සිටියේ. මම ඔහුගෙන් විමසුවා “ඉරාකයට එරෙහිව යුද කිරීමට අපි තවමත් සිතා සිටිනවාද?" යි කියලා.

“ඕහ්, තත්ත්වය ඊටත් වඩා බොහෝම නරකයි,“ යි ඔහු පැවසුවා. ඔහු ඔහුගේ මේසය අසලට ගොස් යම් ලියැවිල්ලක් අතට ගෙන මෙසේ පැවසුවා:

“මට අද මෙය ලැබුණේ උඩ තට්ටුවෙන් - එ් කියන්නේ, ආරක්ෂක ලේකම්වරයාගේ කාර්යාලයෙන් -  මේ සටහනෙන් කියන්නේ අවුරුදු පහක් තුළ රටවල් හතක් ආක්‍රමණය කිරීමට අපේ සැලසුම් පිළිබඳවයි. එනම් ඉරාකයෙන් පටන්ගෙන සිරියාව, ලෙබනනය, ලිබියාව, සෝමාලියාව, සුඩානය යටත් කර අන්තිමට ඉරානයෙන් ඉවර කරන ආකාරයයි."

මම ඇහුවා “එ්ක රහසිගත ලියැවිල්ලක් ද?“කියලා. එවිට 'ඔව්' යැයි ඔහු පැවසූ නිසා එය මට නොපෙන්වන ලෙස මම ඔහුට පැවසුවා. පසුව මෙයට වසරකට පමණ ඔහු හමුවූ අවස්ථාවේ ඔහුට එය මතකදැයි විමසුවා. එවිට ඔහු තමා විසින් එම ලියැවිල්ල මා හට නොපෙන්වන ලද බව මතක තබා ගන්නා ලෙස ඔහු මට අවධාරණය කළා.

ගුඩ්මාන්: මට සමාවන්න, ඔහුගේ නම කුමක් කියාද ඔබ පැවසුවේ?

ජෙනරාල් ක්ලාර්ක්: ඔහුගේ නම ඔබට කියන්නට මට නොහැකියි.

ගුඩ්මාන්: හොඳයි, අපි නැවතත් අර රටවල් ලැයිස්තුව ගැන කථාකරමු.

ජෙනරාල් ක්ලාර්ක්: ඉරාකයෙන් පටන්ගෙන සිරියාව, ඊළඟට ලෙබනනය, ලිබියාව, ඊළඟට සෝමාලියාව, සුඩානය සහ අවසානයේදී ඉරානය ආක්‍රමණය කිරීම ඒ සැලසුමට අයිතියි. ඔබ ඉරානය වෙත අවධානය යොමු කරන විට "එය ප්‍රතිවාදනයක්දැ?" යි ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තෙන්ම එය ප්‍රතිවාදනයක් නොවෙයි. නමුත් ඇත්ත මේකයි:  එක්සත් ජනපද හමුදාව ඉරාකයේ සිටීම  ආරම්භයේ සිටම ඉරානය විසින් සැළකුවේ තමන්ගේ පැවැත්මට තර්ජනයක් මෙන් ම එක්තරා ආකාරයක ආශිර්වාදයක් ද ලෙසයි.  ආශිර්වාදයක් ලෙස සැලකුවේ තමන්ට පාලනය කළ නොහැකි බාත්වාදි (Bathist) සදාම් හුසේන්ගේ ආණ්ඩුව එක්සත් ජනපදය විසින් ඉවත් කිරීම නිසායි. ඉරානය වෙනුවෙන් ඒ දෙය ඉටු කළේ අපි විසින්. එ් වගේම, ඒක තර්ජනයක් විදියට සළකන ලද්දේ එක්සත් ජනපද ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ තමන් බව ඔවුන් දැන සිටීම නිසායි. එ් නිසා ඔවුන් එයට සම්බන්ධවීමට සිදුවුණා. තමන්ට ජීවිත මිලියනයක් පමණ අහිමිවුණ යුද්ධයක් ඔවුන්ට ඉරාකය සමග කිරීමට සිදු වුනා. එමෙන්ම ඔවුන්ට ඉතා දීර්ඝ වූත්, ආරක්ෂා කිරීම අසීරු වූත් දේශසීමාවක් ඉරාකය සමග පවතිනවා. එහෙයින් ඉරාකය තුළට ගැඹුරින් මැදිහත්වීම ඔවුන් හමුවේ මතුව තිබූ  ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට පත්ව තිබුණා. බාත්වාදීන්ට එරෙහිව අප සිදුකළ ප්‍රහාරයන් ඔවුන් ඉවසා සිටියා. එමෙන්ම අපට සදාම් හුසේන් අල්ලාගැනීමට හැකිවීම ගැන ඔවුන් සතුටට පත්වුනා.

නමුත් ඔවුන් ඔවුන්ගේම බලපෑම් ජාලයක් ගොඩනගමින් සිටියා. එය වඩාත් ශක්තිමත් කිරීමට ඔවුන් සෘජු ලෙස සහ වක්‍ර ලෙස මිලිෂියාවට මෙන්ම කැරැළිකරුවන්ටද  මිලිටරි සහයෝගය, උපදෙස් සහ පුහුණුව සැපයුවා. එමෙන්ම ඒ අර්ථයෙන් එය සමාන්තරව සිදුවූවක් නොවෙයි. මක් නිසාද යත් ඉරානයේ අඛණ්ඩ මැදිහත්වීමක් ඉරාකය තුළ සිදුවුන බව මම විශ්වාස කරනවා. සමහර ඒවා නිත්‍යානුකූලයි. සමහර ඒවා නීත්‍යානුකූල නැහැ. මම කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව තිබූ ඉරාක මිනිස්සුන්ට අක්ෂි ශළ්‍යකර්ම සිදුකිරීම වැනි වෛද්‍ය ආධාර සැපයීම් සම්බන්ධව ඉරානයට චෝදනා එල්ලකිරීම ඔබට කළ නොහැකියි. එවැනි දෙයක් ගැන ඔබට ඉරානයට එරෙහිව යුද්ධයට යා නොහැකියි. නමුත් එය නිසැකවම තම බලපෑම් ඉරාකය තුළ තහවුරු කිරීමට ඉරානය විසින් ගත් උත්සාහයක්. ඒ වගේම රජය තමන්ගේ මේ අවබෝධය ගැන ඉරානය සමග සාකච්ඡා කිරීම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කළා. මක්නිසාද යත් තමන්ගේ දක්ෂිණාංශික ජන පදනම් අහිමිකරගැනීමට රජයට අවශ්‍ය නොවීම එක් හේතුවක්. එමෙන්ම තමන් විසින් පෙරළා දැමීමට අදිටන් කර ඇති රජයකට නීත්‍යානුකූල පිළිගැනීමක් ලබාදීමට රජයට අවශ්‍ය නොවීමත් තවත් හේතුවක්. කොහොම වුනත් අප විසින් ඔවුන්ගේ ආණ්ඩුවේ වෙනසක් විය යුතු බව අවධාරණය කිරීමත්, එමෙන්ම අපි විසින් ඉරාන රජය පෙරළා දැමීම සඳහා ඉරානය තුළ පුපුරුවා හැරීම් සිදු කළ ත්‍රස්තවාදීන්ට ආධාර කිරීමට කොංග්‍රස් මණ්ඩලයෙන් ඩොලර් මිලියන 75ක් ඉල්ලා සිටීමත් වැනි දේ හේතුවෙන්,   ඔබ ඉරානය වුනා නම්  ඔබ එක්සත් ජනපදය සමග දැනටමත් යුද්ධයක නිරතව සිටින බව ඔබ විසින් විශ්වාස කිරීමට බොහෝ සෙයින් ඉඩ තියෙනවා. අප විසින් මේ දේවල් එලෙස නොකළා නම් - හොඳයි, අපි එය මේ විදියට කියමු -  අප එය ඉතා දැනුවත්ව දිරිමත් කළා, එහෙයින් අප ඉරානය සමග ගැටුමක් වෙත ගමන් කිරීම පුදුමයක් නොවෙයි.

මම කියන්න හදන්නේ ඉරාන ජාතිකයන් හොඳ මිනිසුන් කියා නොවේ. ඇත්තෙන්ම ඔවුන් හොඳ මිනිසුන් නොවෙයි. නමුත් අවසාන විකල්පය ලෙස මිසෙක ඔබ මිලිටරි බලය යෙදවීමෙන් වැළකිය යුතුයි. අවසන් විකල්පය ලෙස වුව ද එය ඉතා නරක දෙයක්.

ගුඩ්මාන්: සීමොර් හර්ෂ් (Seymour Hersh) විසින් මේ සතියේ නිව්යෝර්කර් සඟරාවට ලියන ලද ලිපියේ ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධව ඔබගේ ප්‍රතිචාරය කුමක්දැයි දැනගැනීමට මම කැමැතියි. පෙන්ටගනය විසින් ඉරානයට බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කිරීමට ඒකාබද්ධ අණදෙන මණ්ලය තුළ විශේෂ සැලසුම් කණ්ඩායමක් පිහිටුවනු ලැබ තියෙන බවට එහි වාර්තා වෙනවා. එයට අනුව සෞදිය විසින් සහයෝගය දෙනු ලබන සුන්නි ඉස්ලාම් නිකාය ශක්තිමත් කරමින් ඉරානයේ සහාය ලබන ෂියා ඉස්ලාම් නිකාය දුර්වල කිරීමේ උත්සාහයක් ලෙස ලෙබනනය, සිරියාව සහ ඉරානය යන රටවල් තුළ ද, පොදුවේ මැද පෙරදිග කලාපය තුළද  විවිධ රහසිගත මෙහෙයුම් සඳහා බුෂ් පරිපාලනය සහ සෞදි අරාබිය විසින් විශාල වශයෙන් මුදල් පොම්ප කරමින් සිටිනවා. සමහර මුදල් ලෙබනනයේ සිටින අල්කයිඩාවට සම්බන්ධ ජිහාඩ් කණ්ඩායම්වලට ලබාදී තියෙනවා.  කොංග්‍රසය විසින් එක්සත් ජනපද මුදල් සැපයීම ප්‍රතික්ෂේප කළ පසුවත් සෞදියේ බැණ්ඩාර් කුමාරයා සමග එක්ව ෂියාවරුන්ට එරෙහිව සටන් කිරීමට  අල්කයිඩාවට සම්බන්ධ සුන්නිවරුන්ට මුදල් සපයා තියෙනවා. 

ජෙනරාල් ක්ලාර්ක්: එය ප්‍රතික්ෂේප කිරීම හෝ තහවුරු කිරීම සඳහා සෘජු තොරතුරු මා සතුව නැහැ. එය සිදුවීමට බොහෝ සෙයින් ඉඩ තියෙනවා. සෞදි අරාබිය වඩාත් ක්‍රියාකාරී භූමිකාවකේ භාරගත්තා.

ගුඩ්මාන්: නමුත් ඔබ මෑතකදී සෞදි අරාබියේ ගිහින් නැවත ආවා විතරයි....?

ජෙනරාල් ක්ලාර්ක්: ඔව්, ඉරාක ප්‍රතිඵලය ලබාගැනීමට තමන් විසින් බොහෝ දේවල් පරදුවට තැබූ බව සෞදි අරාබිය පිළිගන්නවා. මේ ක්‍ෂේත්‍රයේදී එක්සත් ජනපදයේ විනිශ්චයයන් සහ තක්සේරු කිරීම් ගැන විශ්වාසය තැබීමට සෞදි අරාබිය සුදානම් නැහැ. අපි අපේ සාර්ථකත්වය ඉරාකය තුළදී පෙන්වීමට අසමත්ව තිබෙනවා. එහෙයින් සෞදි අරාබිය දේවල් තමන්ගේ අතට ගැනීමට උත්සාහ කරනවා.

සැබෑ අනතුර සහ මෙය මෙතරම් සංකීර්ණ වීමට බලපාන එක් හේතුවක් නම්,  අපි හිතමු , “ඉරාකයෙන් ඉවත් වනු -  අදම වහාම ඉවත් වනු"  යනුවෙන් සමහරුන් පළ කරන අදහස්වලට අනුව අප ඉවත් වීමට තීරණය කළා යැයි කියලා. අපට එය තාක්ෂණිකව කළ හැකියි. නමුත් එය ඉතා අවලස්සන දෙයක් වීමට ඉඩ තියෙනවා. එය මාස තුනක් හෝ හතරක් ගැනීමට ඉඩ ඇති ක්‍රියාවලියක්.  ඔබට පාර දිගට එක බැටෑලියනයකට පසුව තව එකක් ලෙස හමුදාව පෙළගැස්විය හැකියි. එමෙන්ම හම්වී (Humvee) සන්නද්ධ රථවල තුවක්කුකරුවන් යොදවා ඔවුන්ගේ තුවක්කු ලෝඩ් කර ඉරාකයෙන් පිටවනතෙක් පාරදිගට වෙඩි තබමින් ගමන් කළ හැකියි. ඔබට පාර දෙපස බෝම්බ කීපයකටත් මුහුණ දීමට සිදු වනු ඇති. නමුත් ඔබ සෑම දෙනෙකුම පෙළගස්වන්නේ නම් පාර දෙපස බෝම්බ පිපිරීමේ අවදානමකට මුහුණ දීමට සිදු නොවිය හැකියි. සමහරවිට ස්නයිපර් ප්‍රහාර කීපයකට ලක්වීමට සිදු විය හැකියි. ඔබට හෙලිකොප්ටර් මගින් ගුවනින් ආරක්ෂාව සළසාගෙන නිරුපද්‍රිතව ඉරාකයෙන් පිටවී යා හැකිය. නමුත් ඔබ ඉවත්වන්නේ නම් සෞදි අරාබියට ෂියා මුස්ලිම්වරුන් සමග සටනට වෙනත් කවුරුන් හෝ සොයාගැනීමට සිදුවනු ඇති. ඔවුන් විසින් තෝරාගනු ඇත්තේ කවුරුන්ද? අල්කයිඩා සංවිධානයයි, මක් නිසාද යත් ඔවුන් සුන්නි කණ්ඩායමක් නිසා සහ සටන්වැදීමට සුදානම් අන්තවාදි කණ්ඩායමක් නිසායි.

අපි කලින් ඉරාකයෙන් ඉවත්වුවහොත් මතුවන එක් විකාර සහගත නොගැලපීමක් වන්නේ, ඉරාකය පාලනය කිරීමේ  සහ ඉරාන ව්‍යාප්තවාදය වැළැක්වීම සඳහා පාවිච්චි කිරීමේ අරමුණ සහිතව සෞදි අරාබිය විසින් විශාල මුල්‍ය ආධාර සැපයීම මගින් නීත්‍යානුකූල බවක් ලබාදී ඇති  සුපිරි බලගතු සුන්නි අන්තවාදී කණ්ඩායමක් විසින් අපට එරෙහිව එල්ලකරන තර්ජනය තවත් බරපතල වීමේ තත්ත්වයක් මතුවීමයි.

ගුඩ්මාන්: ජෝන් නෙග්‍රොපොන්ටේ  රාජ්‍ය දෙපාර්තුමේන්තුවට යාම සඳහා ජාතිකබුද්ධි අධ්‍යක්ෂ ලෙස තමන් දැරූ  තනතුරෙන් ඉල්ලා අස් වූ දෙවැනි පුද්ගලයායි. සීමොර් හර්ෂ් පවසන්නේ  ආණ්ඩුව විසින් මැදපෙරදිග කලාපයේ සිදු කරන රහසිගත මෙහෙයුම් 1980 දශකයේ ඉරාන - කොන්ට්‍රා ආකාරයේ කුමන්ත්‍රණකාරී ආකාරයක් ගැනීම හේතුවෙන් සහ ඒවාට සම්බන්ධවීමට සිදුවීම නිසා ඔහු අපහසුතාවට පත්වීම මේ ඉල්ලා අස්වීමට හේතුව වූ බවයි.

ජෙනරාල් ක්ලාර්ක්: නැවත රාජ්‍ය දෙපාර්තුමේන්තුවට යාමට ජෝන් හට බලපාන ලද හේතුන් ගණනාවක් තිබුණ බව මට විශ්වාසයි. ජෝන්  හොඳ මනුස්සයෙක්.  ඔබට ඔබගේ රැකියාවට වඩා  පුළුල් සහ ගැඹුරු ලෙස දැකීමට සහ ක්‍රියාකිරීමට නොහැකි නම් ඔබ සිදුවීම්වල පීඩනය විසින් ඔබ විසින් ගත නොයුතු ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන උගුලක ඔබ සිරවෙනවා. ඔහුට ජාතික බුද්ධි අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත්වීමට බලපෑ හේතුව මම දන්නේ නැහැ. ඔහු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ වැඩ බාරගෙන තියෙනවා. සමහර විට නැවත එහි පැමිණ රාජ්‍ය සේවකයෙකු ලෙස සිය සේවා කාලය එහිදී සම්පූර්ණ කිරීමට ඔහු තුළ කැමැත්තක් තිබුණා විය හැකියි.☐

(මතු සම්බන්ධයි)

© JDS

දෙවැනි කොටස: 'ඉරාක යුද්ධය නීති විරෝධී නැහැ, නමුත් අයුක්ති සහගතයි!'