කාර්මික රූපයේ දැනුම: සෞන්දර්යයේ නව යුගයක අවශ්‍යතාවය


ඡා

යාරූපකරණයට අදාළ 'දැනුම' (knowledge) යනු පාඨමාලාවලින් ලැබෙන දැනුමක් නොව, ශිෂ්ටාචාරය තුළ රූපමය මනෝ ලිංගික පැවැත්මට අදාළ දැනුමකි. ආරම්භයක් ලෙස ඕනෑම කලා කෘතියක් අනුභූතික (empirical) දැනුමකට අදාළ වුව ද රූපමය භාෂාව තුළ පවතින විශ්මය වන්නේ මෙකී අනුභූතික දැනුමට වඩා වැඩි යමක් බොහෝ විට ශේෂ කිරීමයි. 'ඡායාරූපමය සත්‍ය' සළකන විට පංචේන්ද්‍රියන්ගෙන් 'ඇස' අනුභූතික අංගයක් ලෙස හැඩතල හා වස්තු සවිඥානික දැනුමක් නිර්මාණය කරන අතර මෙකී හැඩතල හෝ වස්තුවල දෘශ්‍යමය පෙනී සිටීම අභිබවා අපගේ ආත්මය තුළ සංවේදනාවන් ලෙස බිහි කරනා දැනුමක් ද නිෂ්පාදනය කරයි.

ඡායාරූප ශිල්පය හුදු වාර්තාමය ගුණය (recording art) අභිබවා මනෝමය පැවැත්මක් අත්පත් කරගන්නේ මෙකී අනුභූතික දැනුම අභිබවා යන නිර්මාණයකදී ය. මිනිස් විඥානය සතු දැනුම මූලික අරගලයක යෙදී සිටින්නේ තමන්ගේ ආත්මයට අදාල සත්‍යයන් සහ ආත්මයෙන් එපිට, වාස්තවික නොහොත් බාහිර ලෝකයට අදාළ සත්‍යයන් සමග ය. මෙහිදී ඡායාරූපයකට අදාළ කාර්මික පැවැත්ම ඉතා තීරණාත්මක ය. කැමරාව අත දරන්නකුගේ විඥානයේ සීමාව නිරන්තරයෙන් අභිබවා යෑමේ අතිරේක පැවැත්මක් කැමරාව සතු ය. විශේෂයෙන්ම නිර්මාණකරුවාගේ විඥානයට පවා ක්ෂණිකව හසුනොවන මොහොතක් රූපමය සටහනක් ලෙස ඡායාරූපයක වාර්තා විය හැක. මෙය ඡායාරූපකරණය චිත්‍ර කලාවෙන් වෙන්වන තීරණාත්මකම සාධකයකි. චිත්‍ර කලාවේ සීමාව වන්නේ එක්කෝ ඔබගේ පංචේන්ද්‍රියන්ට ග්‍රහණය වන්නා වූ අනුභූතික දැනුමක වාර්තාවකි; නැතහොත් නිර්මාණකරුගේ විඥානමය පරිකල්පනයේ නිර්මාණාත්මක සීමාවකි. නමුත් ඡායාරූප ශිල්පයේ ඛණ්ඩනාත්මක ගුණය වන්නේ මිනිස් විඥානයේ අනුභූතික දැනුම හෝ පරිකල්පනීය දැනුම අබිබවා අතිරේක දැනුමක් නිර්මාණය වීමේ අහම්බය හෝ විකල්පයයි.

සත්තාව අභිබවා යාම

ආතර් කලයිව් බෙන්ෆීල්ඩ්ගේ 'A life history of a splash' (1900) හෝ හැරල්ඩ් යුජින් කෝනෙට්ගේ 'Milk's crowning moment' (1936) ඡායාරූප අනුභූතික මිනිස් දැනුමේ හා පරිකල්පනයේ සීමා ඉර කාර්මික නිෂ්පාදනයක් මත පදනම් වෙමින් නව අපෝහක (dialectic) කලාත්මක දැනුමක් බවට පත්කෙරින. එතැන් පටන් ඡායාරූප ශිල්පීන් විසින් සටහන් කර ගන්නා 'කාලය' අනුභූතික හෝ ප්‍රාග්අනුභූතික කාලය නොව, නිර්මාණ ශිල්පියා වුව ද අත් නොවිඳිනා කාලයකි. චිත්‍ර ශිල්පයට හෝ අනෙකුත් කලාවන්ට වෙනස්ව තමන් නොදන්නා මොහොතක් අනාවරණය කර ගැනීමේ කාර්යයකට ඡායාරූප ශිල්පියා ඇතුළු විය. එවිට සිය නිර්මාණය, ශිල්පියාගේ සත්තාව ද (being) අභිබවාගිය පැවැත්මකි (existence).

ඡායාරූප ශිල්පයේ ආරම්භක අඩසියවසකට ආසන්න කාලය සලකන විට ඉහත විග්‍රහ කරන ලද අනුභූතික දැනුම හා පරිකල්පනයන්ට අදාල ප්‍රාග් - අනුභූතික දැනුම (a priori knowledge) නිර්මාණය කිරීමේ අරගලය නිරීක්ෂණය කළ හැක. හිපොලිත් බෙයාඩ් නම් ප්‍රංශ ජාතික ශිල්පියාගේ 'Self-portrait as a drowned man' (1840) ඡායාරූපය බැලූ බැල්මට විරෝධාකල්ප ඡායාරූපයක් ලෙස දිස් වුව ද එය අනුභූතික හෝ තාර්කික නොවන කලාත්මක දැනුමකි. බෙයාර්ඩ්ට සිය සමකාලීනයන් සමඟ තිබූ තාක්ෂණික අරගලයේ විරෝධාකල්පය ඔහු ප්‍රකාශයට පත් කළේ සංකේතීය මරණයක් ලෙසිනි. ඡායාරූපයක් හුදු අනුභූතික දැනුම අභිබවා සංකල්පීයමය දැනුමක් හුවමාරුකර ගැනීමේ කලාත්මක ඥානයක් බවට පත් කිරීමේ අභ්‍යාසය බෙයාර්ඩ් ආරම්භ කළේය. මෙහිදී ජලයේ ගිලී සියදිවි හානිකර ගැනීමේ ස්වපීඩක (masochist) වේදනාවක විරුද්ධාභාසී (paradoxical) ශාන්ත ඉරියව්වක් ද සහිතව නරඹන්නියට අභිමුඛ වේ. මරණය අර්ථයක් ලෙස නොව, අර්ථය කෙළවර වීමක් ලෙස සලකතොත් එය දැනුමේ විරුද්ධාභාසයකි. ඡායාරූප ශිල්පය ක්‍රමයෙන් පුද්ගලයාගේ ආත්මීය දැනුම අභිබවා ආත්මීය සීමාවෙන් ඔබ්බෙහි වූ උත්තරානුභූතික (transcendent) පැවැත්මක් කාර්මික රූපයට ආරෝපණය වී ඇත.

ජර්මානු දාර්ශනික ඉමැනුවෙල් කාන්ට් සලකුණු කරන විශ්ලේෂී ප්‍රාග් අනුභූතික දැනුමක් (analytical a priori) චිත්‍ර කලාවේ ඒ වනවිටත් ඉතා සංකීර්ණ රූපමය අර්ථයකින් නිර්මාණය කර තිබිණ. විශේෂයෙන් ස්වභාවික දර්ශනයක් ඊනියා අනුභූතික යථාර්ථවාදයෙන් ඔබ්බට යමින් මිනිස් විඥානයේ මැදිහත්වීම සහිත දැක්මක් ප්‍රතිනිර්මාණය ආරම්භය, උපස්ථිතිකවාදී (impressionist) චිත්‍ර කලා භාවිතයේ ආරම්භය ලෙස සැලකිය හැක. නමුත් කැමරාවක් භාවිතයෙන් එවන් පරිකල්පනීය රූප රටාවක් නිර්මාණය කිරීමේ හැකියාව ඒ වන විට ඡායාරූප ශිල්පය සතු නොවූව ද, ඡායාරූපයක් චිත්‍රයකට වඩා සත්‍යය ලෝකය නියෝජනයක් ලෙස සලකන ප්‍රවාදය බහුගුණ කරමින් ඡායාරූප ශිල්පීන් කාර්මික රූපය තුළ ද මිනිස් ආත්මයේ සලකුණක ආරෝපණය කිරීම 'සංකල්පීය ඡායාරූප' කලාවේ (conceptual photography) සමාරම්භයයි. ඡායාරූපයක් නරඹන්නියව භෞතික වස්තුමය නිරූපණය අභිබවා ගිය ආත්මීය ආචරණයකට ලක්කිරීම අපට ඡායාරූප කලාවේ ආරම්භය ලෙස සලකුණු කළ හැක. නමුත් ඒවා කිසිසේත්ම තාර්කික සංකල්ප නොවේ. ඒවා කතිකාමය සංකල්ප ය. නැතහොත් ආත්මීය අර්ථයකි. ආත්මීය දැනුමකි. මෙකි සෞන්දර්ය දැනුම පොදු දැනුමක් නොවේ. කාන්ට් අනුව නම් ඊට පවතින්නේ ආත්මීය සාර්වත්‍රිකභාවයකි (subjective universal). එනම් අත්විඳීන්නාට අනුව එය පොදු හැඟීමකි.

විඥානය සහ කැමරාව අතර දෝලනය

'කලාත්මක දැනුම ආත්මීය සාර්වත්‍රික දැනුමකැ'යි යන කාන්ටියානු ප්‍රවාදය කලාත්මක දැනුම සම්බන්ධ පළමු ආත්මීය දාර්ශනික සලකුණු කිරීමයි. මේ අනුව කාර්මික රූපය සමග කලාත්මක දැනුම මිනිස් විඥානයත් කැමරාවත් අතර දෝලනයක් ආරම්භ කළා යැයි කිව හැකි ය. තවත් ලෙසකින් කිවතොත්, දැනුම මිනිස් විඥානය කේන්ද්‍ර විණි නම් ඡායාරූපයත් සමඟ මිනිස් විඥානයට වඩා වූ දැනුමක්,නැතහොත් තමාට උත්පාද කළ නොහැකි දැනුමක් කරා කලාව ගමන් අරඹා ඇත.

ලී මිලර්ගේ 'Portrait of space' (1934) ඡායාරූපය චිත්‍ර ශිල්පීන්ගේ අතිසත්වාදී (surreal) සම්ප්‍රදායට වෙනස්ව, රූපමය වශයෙන් ස්වාභාවිකවාදය තුළ තාර්කික හෝ ප්‍රාග් අනුභූතික දැනුම අභිබවා යන උත්තරානුභූතික අවකාශයක් ඉඟි කරයි. මිලර්ගේ රූපයේ පසුබිමෙහි පවතින අනන්තය කරා යන අවකාශයත් ඊට සියුම්ව බාධාකාරී ලෙස පෙර බිමේ පවතින සිදුරක් සහිත දැලත්, සාම්ප්‍රදායික මිනිස් හෝ සත්ව රූප විරහිතව මිනිස් හැඟීමක් ඉස්මතු කරලීමටත් උත්සාහ කර ඇත. රූපයක් විසින් මෙසේ වචනයට ගෙන ආ නොහැකි, එසේම නරඹන්නියට ද නිශ්චිතව රූපික හෝ උපමාත්මක - කලාත්මක අර්ථකථනයක් සංවිධානය කරගත නොහැකි 'මොකක්දෝ හැඟීමක්' උද්දීපනය කරන කලාත්මක ගුණය අපට උත්තරානුභූතික කලාවක් ලෙස හඳුනාගත හැක. ඒ අර්ථයෙන් බැලූ බැල්මට මුල්කාලීන ඡායාරූප ශිල්පීන්ගේ අජීවී වස්තු වාර්තාකරණයට බෙහෙවින් සමාන මුහුණුවරක් විසිවන සියවස මැද ඡායාරූප ශිල්පීන් රූපමය වශයෙන් ගොඩනැඟුව ද ඒ වන විට ගොඩනැංවී තිබූ සාන්දෘෂ්ටික කතිකාව තුළ ඡායාරූපයට ස්වභාවිකත්වය අභිබවා යන, ස්වභාවිකත්වයට ප්‍රක්ෂේපණය වූ ආත්මයක අවශ්‍යතාවක් පැන නැගී තිබිණ. මෙය කාන්ටියානු සෞන්දර්ය කතිකාවේ හිනිපෙත්තයි.

මෙම භාවිතය වෙනත් අර්ථයකින් ලී මිලර් මෙන්ම හෙන්රි කාටියර් බ්‍රෙසොන් වැනි ඡායාරූප ශිල්පීන් නව ශානරයක් ලෙස අභ්‍යාස කළහ. විශේෂයෙන් එඩ්වඩ් වෙස්ටන් මිනිස් සිරුරේ හැඩ තල හා ස්වභාවික වස්තූන්ගේ හැඩතල සම්මිශ්‍රණය කරන විපරීත (pervert) රූප භාවිතය අපට සළකන්නට සිදු වන්නේ අනුභූතික දැනුමක් සහිත ඡායාරූප භාවිතාවක් ලෙස නොව, අවිඥානික දැනුමක් නිෂ්පාදනය කෙරෙන ලුබ්ධි (libidanal) ඡායාරූප ලෙසයි.

නව පරිභෝජන විමුක්තිකාමයෙන් ඔබ්බට

ෂාක් අන්ද්‍රේ බොයිෆාඩ්ගේ 'Big Toe' හෝ බ්‍රෙසෝන්ගේ 'Peper #30' වැනි ඡායාරූපයක ද අජීවී වස්තුවක් නරඹන්නන්ගේ අවිඥානයට ආමන්ත්‍රණය කරන ලුබ්ධි හැඩතල බවට පරිවර්තනය කරයි. ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණයේ සිහින විශ්ලේෂණය තුළ මෙවන් අජීවී වස්තු කෙරෙහි මනෝලිංගික ලුබ්ධි ආර්ථිකය ආයෝජනයක් සාකච්ඡා කරයි. නැතහොත් අසීමිත ලිංගික ශක්තියක් කැටි වූ වස්තුවක් ලෙස අවිඥානික මනෝලිංගික ප්‍රාර්ථනයක් වස්තු මත ආයෝජනය කෙරේ. ඡායාරූපයක් මිනිසුන්ගේ සවිඥානික දැනුම් පද්ධතිය සමඟ පමණක් නොව, අවිඥානික දැනුම ආමන්ත්‍රණය කරන කලාත්මක නිෂ්පාදනයක් බවට ද පත් වී ඇත. ග්‍රෙගරි කෘසන්ගේ '(ophelia)' (2001) ඡායාරූපය ද මෙම ශානරයේ වර්ධනීය නිෂ්පාදනයකි. එය සෘජුවම ශේක්ස්පියර්ගේ හැම්ලට්'හි ඔෆීලියාගේ පීතෘ රූපික අසාර්ථකත්වයේ හිස්ටරික ෆැන්ටසිය ප්‍රතිනිර්මාණයකි. ෆ්‍රොඩියානු සිහින විශ්ලේෂණයේ සාකච්ඡාවට ගැනෙන අවිඥානයේ අනුශයික (latent) ප්‍රාර්ථනා උපරි අහම මගින් පිරිපහදු කොට සිහිනයක නිරූපණය වන විසම්බන්ධිත තර්කනය ග්‍රෙගරි ඡායාරූප ගත කර ඇත. නැවතත් ග්‍රෙගරි නිෂ්පාදනය කරන්නේ ඡායාරූපයට අදාළ අවිඥානික දැනුමකි.


දැනුමේ මාදිලීන් ඡායාරූප සෞන්දර්යේ දේශපාලනය සමඟ ඓතිහාසික වර්ධනයක් අත්පත් කොට ගෙන ඇත. නිශ්චිතවම පවසතොත් වාර්තා කලාවක් ලෙස ආරම්භ වූ ඡායාරූපය මිනිස් විඥානයට සම්බන්ධ ප්‍රජානන (cognition) ආකෘතීන් සමඟ සංකීර්ණ අභ්‍යාසයක් කරමින් සිටී. එක් අතකින් ධනේශ්වර වෙළඳපළ තුළ දැන්වීම්කරණයේ තීරක සාධකයක් ලෙස මෙකී ආකෘතීන් ප්‍රාග්ධන සමුච්ඡනයට අදාළව සංවිධානය වේ. ඒ ඡායාරූපයේ සවිඥානික දැනුමේ මාදිලින්ගේ පමණක් නොව, අවිඥානික තලයක දෘෂ්ටිවාදී කාර්යභාරයක් ද ඉෂ්ට කරමිනි. සමකාලීන සංකල්පීය ඡායාරූප කලාවේ විවිධ ශානරයන් ලෙස වියුක්තවාදය (abstract), අතිසත්වාදය වැනි ඕනෑම ශෛලියක අභියෝගය වන්නේ ධනවාදය තුළ මිනිස් ආත්මයේ කාංසාවන් දෘෂ්ටිවාදී යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වීමේ විරුද්ධාභාෂයන් රූපගත කිරීමයි. ඡායාරූප කලාවේ සෞන්දර්ය නිර්ණායක සියල්ල වාෂ්ප වී ගිය ප්‍රති - සෞන්දර්යවාදී (anti - aesthatic) භාවිතාවන් උත්කර්ෂයට නැංවී ඇති පශ්චාත්-නූතන ඡායාරූප කතිකාව අද වන විට එහි පරිසමාප්ති හිනිපෙත්තට ළඟාවී ඇත.

ඡායාරූපයක් තවදුරටත් නරඹන්නියකගේ අනුභූතික දැනුම අභිබවා ආත්මීය සාරාර්ථයක් ආමන්ත්‍රණය කරනවා'ය යන භාවිතයට ඇති අර්ථය කුමක්ද? සමකාලීන ධනවාදී සංස්කෘතික නිෂ්පාදන විසින් යෝජනා කරන නව පරිභෝජන විමුක්තිකාමයේ පුද්ගලවාදී ආධ්‍යාත්මය ප්‍රතිනිර්මාණය කරන සෞන්දර්යමය උපාංග ඡායාරූප කලාවේ නව අධිපති සම්භාව්‍යවාදයද? තවදුරටත් පුනරාවර්තනය කළ නොහැකි විසිවන සියවසේ පෙරටුගාමී (avant garde) ඡායාරූප කලාව, සාමූහික විමුක්තියේ කලාත්මක අනාගත කැඩපතක් ලෙස ද භාරගත හැකිද? අර්චනකාමි වෙළඳ දැන්වීම් ඡායාරූප කලාව විසින් අරක්ගෙන සිටින අවිඥනික දැනුමත්, ධනේශ්වර පුද්ගලවාදී විමුක්තිකාමයේ උත්තරානුභූතික විමුක්තිකාමයත් විසංයෝජනය කරනා සෞන්දර්යයේ නව යුගයක් අප ප්‍රාර්ථනා කළ යුතුව ඇත.☐

බූපති නලින් වික්‍රමගේ


© JDS