අදහස් වාරණය, කලාව සහ භාවිතය ගැන යළි විමසා බැලීමක්

විසි නව අවුරුද්දකට කලින් කොළඹ එල්ෆින්ස්ටන් ශාලාවේ ප්‍රදර්ශනයට සූදානම් කළ බර්ග්මාන් සිනමා උළෙලට ඇතුළත්ව තිබූ 'ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්' සිනමාපටයේ ලිංගික දර්ශන කපා දමන්නට, 'සිංහල බෞද්ධයා' පත්‍රයේ කර්තෘ ධූරයත් - රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ධූරයත් දැරූ නීතීඥ ආර්. පල්ලේවෙලට ඕනෑ විය. උළෙල සංවිධායක තිස්ස අබේසේකර ඒ වාරණයට යටත් නොවී, ඒ චිත්‍රපටය අතහැර සෙසු චිත්‍රපට කොළඹ දී ප්‍රදර්ශණය කළේය. ඉක්බිති, පල්ලේවෙලගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්  'දිවයින' පත්‍රය, 'සිනමා පට වාරණය කිරීමට තරම් සිනමාව ගැන ඔබට ඇති දැනුම කුමක්දැ'යි ඔහුගෙන් විමසා තිබිණ. එහෙම දැනුමක් තිබුණේ නම් මේ රස්සාව කරන්නට හම්බවෙන්නේ නැතැයි පල්ලේවෙල කීවේය. ඒ ජයවර්ධන - ප්‍රේමදාස යුගයේ වික්‍රම ය.

මංජුල වෙඩිවර්ධන ලියූ 'මේරි නම් මරියා' කෘතියෙන් කිතු දහම ගළවාගන්නට නිල කතෝලික පල්ලියත්, ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'පුරහඳ කළුවරෙන්' හමුදාවේ 'මොරාල්' එක බේරාගන්නට සරත් අමුණුගම ඇමතිවරයාත්, අශෝක හඳගමගේ 'අක්ෂරය' චිත්‍රපටයෙන් ළමා සංහතිය බේරාගන්නට ලේඛක සේන තෝරදෙණිය හා චිත්‍රපට සංස්ථාව භාර අශෝක සේරසිංහත්, විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' චිත්‍රපටයෙන් සිංහල ජාතියේ කීර්ති නාමය බේරාගන්නට සිවිල් ආරක්ෂක බලකාය භාර සරත් වීරසේකරත් සදා මතකයේ රැඳෙන වික්‍රමාන්විත මැදිහත්වීම් සිදුකරන ලද්දේ එයින් පසු කාලයේ ය.

දැන් යහපාලන වාරණ සමයකි. සංස්කෘතික ඇමතිවරයාගේ 'හැට්‍රික්' වාරණය එහි ප්‍රතිඵලයකි.  කේ. කේ. ශ්‍රීනාත් චතුරංගගේ 'බුදුන්ගේ රස්තියාදුව' කෘතියත්, අසංක සායක්කාරගේ 'මං කෙළින් මිනිහෙක්' වේදිකා නාට්‍යයත්, මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය මාලාවකුත් වාරණය කිරීම ගැන පුවත් හා විරෝධයන් ඉකුත් දෙසතිය තුළ මතුව ආවේ ඒ අනුව ය.

'වාරණ බලධාරීන් හා මානසික රෝගීන් යන දෙගොල්ලන්ම පෙළෙන්නේ යථාර්ථය, මායාව සමග පටලවා ගැනීමේ අසනීපයෙන් යැයි කීවේ 'ක්‍රෑෂ්' සහ 'ද හිස්ටරි ඔෆ් වයලන්ස්' සිනමා පට නිර්මාණය කළ ඩේවිඩ් ක්‍රොනන්බර්ග් ය.

අදහස් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වන කලාවේ මත වාරණය ක‍්‍රියාත්මක වීම හිංසනයකි. එය වනාහී ප්‍රජාතන්ත්‍ර විරෝධී, කලා විරෝධී  හා මානව හිමිකම් විරෝධී ක්‍රියාවකි. නමුත් රජයකට වාරණය අවශ්‍ය වන්නේ ඇයි?

අදහස්  වාරණය ගැන ඓතිහාසික, න්‍යායික හා ප‍්‍රායෝගික පැති විමසා බැලීම කාලීනව වැදගත් වන්නේ ඊට පිළිතුරු සපයාගැනීම පිණිසයැයි ධනංජය කරුණාරත්න කියයි.


වා රණය හෙවත් ‘Censor’ යන වචනය ක‍්‍රි.පූ 443 දී රෝමයේ ස්ථාපිත කළ ආයතනයක නිළයකට 'සෙන්සොරස්' (Censores) නමින් හැඳින්වීමෙන් බිහිව එන්නකි. බදු අය කිරීමේ සිට ජනතාවගේ සදාචාරය දක්වා පරිපාලන කටයුතු රැසක් එදා ඊට ඇතුළත් විය. කෙසේ හෝ ක‍්‍රි.ව 300 වන විට චීනය ප‍්‍රථම අදහස් වාරණ නීතිය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මෙසේ එදා මෙදා තුර රාජ්‍ය විසින් ආයතනික වශයෙන් ක‍්‍රියාත්මක වී අදහස් වාරණය කිරීම විවිධ අයුරින් විවිධ රටවල ක‍්‍රියාත්මක වී ඇත.

ජෝන් මිල්ටන් කවියා ඔහුගේ කෘතිය වාරණය කිරීමට එරෙහිව එවකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කරන ලද ප‍්‍රකාශය එරියොපැජටිකා (Areopagitica) නමින් 1644දී ප‍්‍රසිද්ධියට පත්විය. එය මෙතෙක් වාරණයට එරෙහිව කළ වඩාත්ම ව්‍යක්ත හා බලපෑමක් අතිකරන ලද ප‍්‍රකාශය ලෙසට ඉතිහාසගත වෙයි. මිල්ටන්ගේ අතිශය සිත් බඳනා සුළු එම ප‍්‍රකාශය ආරම්භ වන්නේ අදහස් වාරණයට එරෙහිව අදහස් ප‍්‍රකාශ කළ ආදිම නාට්‍යකරු යුරිපිඞීස්ගේ ප‍්‍රකාශයක් හකුළුවා දක්වමින්ය. ග්‍රීක් රෝම යුගවල සිට සාධක ගෙන එවකට එංගලන්ත වාරණ නීතියට එරෙහිව මිල්ටන් මතුකල ඉතාම වැදගත් කරුණ වන්නේ, කිසියම් කෘතියක් ජනතාව දකින්නටත් පෙර වාරණයට ලක් කිරීම මුලුමනින්ම අදහස එලියට දැමීමට නොදීමක් බවත්, පැරණි ග්‍රීක රෝම යුගවලදී පවා තිබුණේ ප්‍රථමයෙන් කෘතිය ඉදිරිපත් කරන්න ඉඩදී අනතුරුව එහි හානිකර තත්වයක් තිබුණොත් වාරණය කිරීම හෝ දඬුවම් කිරීමත් බව ය.  මිල්ටන්ගේ ඒ ප‍්‍රකාශය පාර්ලිමේන්තුවේ අදහස් වෙනස් කිරීමට සමත් වූ අතර එය එංගලන්තය හරහා බොහෝ රටවලට බලපෑවේය. කෙසේ හෝ 17-18 සියවස්වලට පැමිණීමේදි ඇති වූ බුද්ධි ප‍්‍රබෝධයත්, සම්මතයට හා සම්ප‍්‍රදායට වඩා තර්කය හා ඥානය මත නිගමනවලට පැමිණිමේ උවමනාව මතුවීමත් සමඟ යුරෝපයේ ඇති වූ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය වාරණය පිළිබඳ සම්මත අදහස් වෙනස් කිරීමට බලපෑවේය. වාරණය ඉවත් කළ ප‍්‍රථම රට ලෙසට 1766 දී ස්විඩනය තැබූ පියවර අනතුරුව ඩෙන්මාර්කය, නෝරවේ ආදි රටවල් හරහා බොහෝ  යුරෝපීය රටවල් කරා ව්‍යාප්ත විය. පසුව මේ බොහෝ රටවල් එවැනි ගැටළු ඇති වූ විට විසඳා ගනු ලැබුවේ උසාවිය තුළිනි. එනම් කිසියම් කෘතියක් හානිකර බවට කෙනකු විසින් පැමිණිලි කර නඩු විභාගයකින් තහවුරු කළ යුතු විය. අදහස ජනතාවට දැමීමට පෙර වාරණය නොකෙරේ. එනම් කියන්නට පෙර කිවයුතු හෝ නොකිවයුතු දේ තීරණය නොකෙරේ.

කවර සම්මතයක් නිසාවත් ශිෂ්ටාචාරය මෙතෙක් එක තැනක නැවතී නොමැත. වාරණ සීමාවන් ඉක්මවා ගිය කලා කෘති දිගටම බිහි වූ අතර ඉන් කිහිපයක් පමණක් මෙහිලා සඳහන් කිරීම ඉතිහාසයේ සිදුවූයේ කුමක්ද යන්න තහවුරු කිරීමට ප‍්‍රමාණවත්ය.

වාරණයේ ගමන්මග

නාට්‍ය කලාවේ ආරභම්ක ග‍්‍රීක යුගයේදීම  ඇරිස්ටොපානිස්ගේ  නාට්‍ය ඇතන්ස් ජීවිතය උඩුයටිකුරු කළ අතර ඒවා නිරන්තර අත්හිටුවීම් සහ තහනම් කිරීම්වලට ලක්විය. ලැසිස්ට්‍රාටා (Lysistrata) නාට්‍යය නිසා ඔහුට දඬුවම් පවා විඳීමට සිදුවිය. එදා මෙදා තුර ලෝ ප‍්‍ර‍්‍රකටවූ නාට්‍ය රැසක් ඒවා මුලින්ම කරලිගත වනවිට  වාරණයන්ට ලක්ව ඇත. ශේක්ස්පියර්ගේ නාට්‍ය ප‍්‍රභූ වරුන්ට හා ආගමට අපහාස වන හේතු මත වාරණයට ලක් වූ අතර සමහර අවස්ථාවල රැජින විසින්ම පිටපත ගෙන්වා කොටස් කපා ඇත.  හිට්ලර් විසින් බ්‍රෙශ්ට්ගේ නාට්‍ය සියල්ල තහනම් කොට මරණ ලයිස්තුවට ද නම ඇතුලත් කරන ලදි. වෝල්ට් වයිට්මන්ගේ ලීව්ස් ඔෆ් ග්රාස් (Leaves of Grass)  නම් පෙරලිකාර කවි පෙළ 1881 දී බොස්ටන් නගරයෙන් ඉවත් කිරීම විශේෂ සිදුවීමකි. පසුව මෙම විශිෂ්ට කවි එකතුවම වයිට්මන් ‘නිදහස් පද්‍යයේ පියා’ ලෙස හැඳින්වීමට තරම් හේතුවිය. තහනමට හේතුව අතිශය ලිංගික නිරාවරණීය පද හා අන්තර්ගතයකින් යුක්ත වීමයි.

ජැක් ලන්ඩන්ගේ සුප‍්‍රකට  ද කෝල් ඔෆ් ද වයිල්ඩ් (The Call of the Wild) කෘතිය 1920-1930 කාලය තුළ යුරෝපීය රටවල් රැසක තහනම් කෙරුණු අතර චෙකොස්ලොවැකියාව ඔහුගේ කෘති තහනම් කිරීමට හේතු ලෙස දැක්වූයේ ‘අතිශය රැඩිකල් ‘වීමයි. අද චිත‍්‍රපටවල ඉතා සුලභව භාවිතා කරනු ලබන 'ෆක්' (Fuck) යන වචනය මුලින්ම භාවිතා වූ චිත‍්‍රපටිය වන 1967 දී තිරගත වූ යුලිසීස් (Ulysses), එම හේතුව නිසා බොහෝ රටවල තහනම් කෙරිණ. චිත්‍රපටියට පාදක කරගත් ජෙම්ස් ජොයිස්ගේ එනමින් යුත් අද්විතීය නවකතාව ද විවිධ වාරණයන්ට හා ඉවත් කිරීම්වලට ලක් විය. ලොව වඩාත් ප‍්‍රසිද්ධියටපත් සාහිත්‍ය නඩුව වූයේ 1960 දී එංගලන්තයේ දී ප‍්‍රකාශයට පත් ඞී.එච්. ලෝරන්ස්ගේ ලේඩි චැටර්ලිස් ලවර් (Lady Chatterley's Lover)  නවකතාවට එරෙහි නඩුවයි. ඒ කෘතිය නඩුවෙන් දිනන ලදී. මෙම කෘතිය ඊටත් පෙර 1930 දී ඇමරිකාවේදි විවාදයට අරගෙන තිබුණු අතර එවකට ඇමරිකානු සෙනෙට් රීඩ් ස්මුට් විසින්  ලෝරන්ස්ව හැඳින්වූයේ ‘මුලූ අපායම කලූ කළ හැකි අඳුරු ආත්මයක් හා ලෙඩ වූ මනසක් ඇති පිස්සෙක්’ යනුවෙනි.

මේ අතර චිත‍්‍ර කලාවේ විශිෂ්ට සන්ධිස්ථානයක් ඇති කළ 1863 දී ප‍්‍රදර්ශණය කල එඩුවාඩ් මොනේගේ 'ඔලිම්පියා' චිත‍්‍රය ප‍්‍රථම වරට සමකාලීන ගණිකාවක් සම්පූර්ණයෙන් නිරුවත්කර උත්කර්ශයට පත්කර අඳින ලද චිත‍්‍රය වූ අතර ඒ මොහොතේ දැඩි විරෝධයක් ඊට එල්ල විය. එවකට කාමාවචර කලාව හෙවත් Pornography  ප‍්‍රසාංගික කරලියට පැමිණෙමින් තිබු වකවානුව වූ අතර මොනේගේ මේ චිත‍්‍රය කාමාවචාර හා නිරුවත් කලාව (Nude Art) අතර වෙනස පිළිබඳ ඉතාමත් දාර්ශනික විවාදයක් ඇති කරන ලදී. එම දාර්ශනික විවාදය සභ්‍ය අසභ්‍ය භේදය ගැන අතිශය වැදගත් න්‍යායික ගැටලු රැසක් විසඳා ගැනීමට ප්‍රයෝජනවත් විය. අනතුරුව කැරන් ෆින්ලේ (Karen Finley), ඇනී ස්ප්රින්ක්ලේ (Annie Sprinkle) වැනි පුරෝගාමීන්  කාමාවචර කලාව යොදාගෙන ඉතා විශිෂ්ට ප‍්‍රසාංගික කලා සම්ප‍්‍රදායන්ට පදනම දමන ලදි. 

අද මේ කෘති අප සැලකිල්ලට ගන්නේ ඒවා හුදෙක්  එවකට තිබූ සීමාවන් ඉක්මවා යාම නිසාම නොව, කෘතියක් ලෙසටද සාර්ථක නිසා බව සිහිකොට ගත යුතු ය. එසේම ඇඳුම් සියල්ල ගලවාදමා වේදිකාවට නැග රජයට බැණ හැලුනු පමණින් කලා කෘතියක් සාර්ථක නොවන අතර එවැනි වැඩද ඉතිහාසය පුරා සුලබව  සිදුවී ඇත.

සම්මතය හා සම්ප්‍රදාය  

ඉහතින් සඳහන් කළ කිහිපයට අමතරව තවත් සිය දහසක් විවිධ ක්‍ෂෙත‍්‍රයන්හි බිහි වූ කලා කෘති කාලීන වශයෙන් තිබූ සීමාවන් ඉක්මවා යාම නිසාත් පවතින අධිපති මතවාදයන්ට, සදාචාරයන්ට සහ දේශපාලනයට තර්ජනය වීම නිසාත් ඉතිහාසය පුරා විවිධ නින්දා අපහාසයන්ට හා වාරණයන්ට ලක් විය. එහෙත් ඒ සියල්ල දෙස ඉතිහාසයේ වූයේ කුමක්දැයි විමසා බලන විට අද අපට පසක් වන ඉතා වැදගත් යථාර්ථයක් තිබේ. එනම් ඒ සියලූම කෘති පාහේ මේ වනවිට අපගේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ඒවා වීමයි.

ඩී.එච්. ලෝරන්ස්ට ලෙඩ වූ පිස්සෙක් යැයි කී දේශපාලකයාගේ පටන් එදා ඒ කෘතිවලින් කළ දේ වැරදි බවත්, පවතින අධිපති මතවාදය නිවැරදි බවටත් තර්ක කළ පිරිස ගැන කීමට ඇත්තේ ඔවුන්ට කලාව එහි භාවිතය හා ශිෂ්ටාචාරය තුළ එහි භූමිකාව ගලා යන ආකාරය පිළිබඳ කිසිදු අදහසක් නොතිබුණ බවයි. ඔවුහු දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතිහාසයේ අගතිය වෙනුවෙන් පෙනී සිටියෝ වෙති.

මෙසේ වාරණය වුවත් නැතත් සැමවිටම මෙන් නව සෞන්දර්ය ක‍්‍රමවේද සහ විෂයට නව අර්ථකතන ගෙනාවේ පවත්නා සම්මත සදාචාරය හා දේශපාලන සීමාවන් ඉක්ම වූ කලා කෘති බව ඉතිහාසය පුරා ඉතා පැහැදිලිව පෙන්වන සත්‍යයකි. එම කෘති අපගේ සංවේදීභාවය බුද්ධිය අප කිසි දිනක නොදුටු ඉසවු කරා ගෙන යන ලදි, අප තුළ සැඟව තිබූ සුන්දරත්වයේත් - අසුන්දරත්වයේත් අන්තයන් ස්පර්ශ කරන ලදී; අප තුළ ඇති අසභ්‍යත්වය සභ්‍ය කරන ලදී; කලාවට නව ලලසාවන් රැගෙනවිත් ජීවත්වීමේ ආශ්වාදය අපි තුළ ඇති කරන ලදී.

සම්මත විශ්වාස සහ සම්ප‍්‍රදායන්, ඒවා විසින්ම වන්දනා කරන පරමාදර්ශී ලෝකය ගොඩනගා නැති කොට ඊට එරෙහි යථාර්තයන් සහ ආකෘතීන් ගොඩ නැගීම ඉතිහාසය පුරා පැනනැගි අභිනව කලා ව්‍යාපාරවල ප‍්‍රධාන ලක්ෂණයකි. සරලව, වඩා රැඩිකල් හෝ වාරණයට හසුවිය හැකි කලා කෘතියක් යනු මෙම මාවතේම එම මොහොතේ කිසිසේත් අපේක්ෂා නොකළ අන්තයන් කරා වඩා වේගයෙන් ගිය අවස්ථාවයි. ('රැඩිකල්' යනු අවශ්‍යයෙන්ම සාර්ථකයි යන්න අදහස් නොකෙරේ) මෙහිදී පැරණි - සම්මත ලෝකයෙන් හා අධිපති මතවාදය තුළ වඩාම යැපෙමින් සිටියකු මෙම කම්පිත බිඳීම දැක කඩා වැටීමකට ලක්විය හැකි අතර කෘතියේ රැඩිකල් ප‍්‍රවේශයේ උත්සාහය වන්නේත්  එම කඩා වැටීම ඇති කිරීම ය. මෙය කඩා වැටුන මිනිසාගේ පැත්තෙන් බලන කළ වරදක් ලෙසට පෙනී යා හැකි අතර ඒත් ප්‍රශ්නය බලන්නේ  කාගේ දෘෂ්ටිකෝණයෙන් කාට සේවය කිරීමට ද යන්න මත වාරණයේ අවූල ඇරඹේ. රජය යනු හැම විටම මේ අධිපති මතවාදය රැකගත් කඩාවැටීමට භිය මිනිසා වන අතර වාරණ ආයතනය යනු ඔහු තමාව බේරාගනු වස් අටවන ලද නිල වහන්තරාවයි.

රජයට වාරණය අවශ්‍ය ඇයි?

කෙසේ හෝ කෘතියක ඇති කවරම සීමාව ඉක්මවූ අමුද්‍රව්‍යයක් වේවා ඉන් හානියක් සිදුවිය හැක්කේ එය නිවැරදිව ග‍්‍රහණය කර ගැනීමට හා දරා ගැනීමට නොහැකි කෙනා මත බව පැහැදිලි වී ඇති සත්‍යයකි. වයස සීමාව නිසා හෝ වෙනත් සංස්කෘතික සාමාජීය හෝ අධ්‍යාපනික සීමාවන් ආදි සංකීර්ණ සීමාවන් රැසක් කෘතියක් හා සන්නිවේදනය සම්බන්ධයෙන් බලපෑ හැකි ය. උදාහරණයකට, වරක් කිසිදිනක තොවිලයක් දැක නොතිබුන නාගරික කාන්තාවක් ගමක තොවිලයක් නරඔන්නට ගොස් එහිදී ආතුරයාට පොල් මලෙන් පහරදෙනවා දැක කම්පනයවී කලන්තෙ දමන ලදි. පසුව ඇය සුව වුවද අනවශ්‍ය අභ්‍යන්තර බියක් ඇගේ ජීවිතය තුළ සදහටම ඉතුරු විය. කළ යුත්තේ ඇගේ පැත්තෙන් පමණක් ප‍්‍රශ්ණය බලා තොවිල් තහනම් කිරීමද? නැතහොත් කිසිදිනක තොවිලයක් කර නැති උන් (වාරණ මණ්ඩලය) විසින් යකැදුරන්ට තොවිල් කරන හැටි කියාදීමද? කවර හෝ තොවිල් වාරණයකින් හෝ සංස්කරණයකින්  ජනතාවට සේවය කරනවා යැයි කියනවිට ඉන් අදහස් කරන්නේ තොවිල් රසවිඳ ගත නොහැකි පිරිසට සේවය කිරීමයි. කලාවේදී මේ වූ කලි වෙනකෙක් නොව, රටේ සිටින අවරසිකයායි. විවිධ කලාකෘති නිතරම රසවිඳීමට පුරුදු වී සිටියකු හා පුළුල් රසිකත්වයක්  ඇත්තකුට කවරම කලාවකින්වත් හානි කළ නොහැකි අතර සාමාන්‍යයෙන් කෘතියක වචන, ජවනිකා හෝ අන්තර්ගතයෙන් හානි වනවා යන චෝදනාව කරන්නේ රසවිඳීමේ  විවිධ සීමාවන්ට හිරවූවන් විසිනි.

මෙසේ කලා කෘතියක් කෙනෙකුට ග‍්‍රහණය කර ගැනීමට හෝ දරා ගැනීමට නොහැකිවීම නැතහොත් එමගින්  කිසියම් විශ්වාස පද්ධතියක් (උදා: සිංහල සභ්‍යත්වය?) අපහසුතාවයට පත්වීම කලාවේ විවිධ අවස්ථාවල එය තම නොනවතින පියවර තබනවිට ඇතිවන වැලැක්විය නොහැකි නෛසර්ගික ලක්ෂණයක් වන අතර කළ යුත්තේ ඊට කලබල වී වාරණය කරන්නට යාම නොව, කලාවේ ඇති එම ගතික ලක්ෂණය තේරුම් ගන්නට තරම් පරිණත වීමයි. ඒ සමඟ ගණුදෙනු කළයුතු නව දේශපාලනය හා සෞන්දර්ය සොයා ගැනීමයි. ඊට එකඟ නැත්නම්, විචාරය හරහා කලාවෙ කතිකාව පුලුල් කිරීමයි. එසේ විනා කිසිදු සංස්කරණ වාරණ ක‍්‍රමවේදයකින් මේ ප‍්‍රශ්නය විසඳිය නොහැකි ය. එබැවින් කළ යුත්තේ කලා කෘතියෙන් හානි සිදු වෙනවා යැයි සිතන පිරිසට කලාව රස විඳීමට හේතුවන අධ්‍යාපනික, සාමාජීය, දේශපාලන හා සන්දර්භීය සීමාවන් හඳුනාගෙන හැකි තරම් එම සීමාවන් ජය ගැනීමට අවශ්‍ය පුළුල් සංස්කෘතික හා බුද්ධිමය පරිසරයක් ඇති කිරීමයි. ඔවුන් විශාල වශයෙන් දැනුම් හා තොරතුරු ගැවසෙන පුළුල් සංස්කෘතික පරිසරයක් තුළට ගෙන ඒමයි. මිනිසුන්ට පුළුල් මතයක් හා බුද්ධියක් ඇති වන්නේ විවිධ ශෛලියේ කලා කෘති විවිධ දෘෂ්ටිවාද අදහස් විශාල සංඛ්‍යාවක් ගැවසෙන, ඒ ගැන කතිකාවක් ඇති පරිසරයක ජීවත්වන විට බැවින් තොරතුරු වාරණය හැමවිටම අවසන් වන්නේ මිනිසුන් පටු හා අඩු අත්දැකීමක් ඇති අය බවට පත් කිරීමෙන් ය. රජයකට හැමවිටම වාරණය අවශ්‍යවන්නේ මේ කී පුළුල් බුද්ධිමත් සංස්කෘතික පරිසරයක් ගොඩ නැඟීමට අවශ්‍ය දැනුම නිර්මාණ ශක්තිය හා නිවැරදි ප‍්‍රායෝගික සැලසුමක් නැති වූ විට ය. ඉහත මුලින් සඳහන් කළ රටවල් වාරණය ඉවත් කළේ එවැනි පුළුල් දේශපාලන සැලසුමක් තුළින් යමිනි.

පාසල් සරඹ සහ ගැමි සෙල්ලම්

දියුණු සමාජයකට යන්නේ නම් අපට අවශ්‍ය වන්නේ රැඟුම් පාලනය කිරීමට මණ්ඩලයක් නොව, ප‍්‍රසාංගික කලා කෘතියක් වෙළඳපොළට ගෙනයෑමේදී සාධාරණ සංස්කෘතික පරිභෝජනයක් ලබාදෙනු වස් කෘතියත් පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කිරීමට හා ඊට අදාල සදාචාරය හා සාධාරණත්වය පවත්වා ගැනීමට මැදිහත්වන ආයතන ව්‍යුහයකි. ඒ අනූව කළ යුත්තේ කලා කෘති පාරිභෝගික අර්ථයෙන් වර්ගීකරණයකට ලක් කොට එහි අඩංගු දෑ මොනවාදැයි ආදි පැහැදිලි විස්තරයක් එය වෙළ‍ෙඳ පොලට යොමු කිරීමේදි පාරිභෝගිකයාට ලැබීමට සැලැස්වීමයි. කෘතියක සාර්ථක අසාර්ථභාවය සහ එය රසවිඳීමේ ඇති සංකීර්ණතා ආදිය විමසීම විචාරකයාගේ කටයුත්ත වන අතර, කෘතියක තිබිය යුත්තේ මොනවාද - නොතිබිය යුත්තේ මොනවාද හා ඒවා කෙසේ හසුරවන්නේද, කවර අර්ථයක් මතුකරන්නේද ආදිය නිර්මාණකරුවාගේ කටයුත්ත විනා රජයේ කටයුත්ත නොවේ. වරක් ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පි කුර්බේ කී ලෙස ‘කලාව පිළිබඳ සාමාර්ථයක් රජයකට නොමැත’. කිසියම් කලා කෘතියකින් කිසියම් පුද්ගලයකුට හෝ ජනකොටසකට කිසියම් හානියක් සිදුවී ඇත්නම් එය එසේ වන්නේ කෙසේද යන්න නඩු විභාගයකින් තහවුරු කළ යුතු ය.

එදා මෙදා තුර අපේ රටේ කලාවට මේ රටේ ‘සංස්කෘතියට’ හා පුරුෂාර්ථවලට හානි වූයේ කලා කෘතිවල තිබු වාරණය කළ යුතු යැයි ඔය කියන වචන හෝ ජවනිකා වලින්ද? නැත. දූෂිත තක්කඩි ආණ්ඩු විසින් තම දර දිය ඇදීමට පත්කරන ලද කිසිදු සුදුසුකමක් නැති අමනෝඥ නිලධාරීන් හා පරිපාලකයන් විසින් කරන ලද අධ්‍යාපනික හා සංස්කෘතික ඛාදනය නිසා ය. හොඳ රඟහලක් හැදීමට, හරවත් පොත් දහසක් මුද්‍රණය කිරීමට ඇති වටිනා මුදල් තම අධි සුඛවිහරණය වෙනුවෙන් ද, අර්ථශූන්‍ය ආමිස පූජා වෙනුවෙන් ද, නිමක් නැති ඡන්ද හා දූෂණ අක‍්‍රමිකතා වෙනුවෙන් ද, අවසානයේ නිකමුන් රැසක් ඇමතියන් නමින් නඩත්තු කිරීම වෙනුවෙන් ද නාස්ති කිරීම නිසා ය. එය සිදුවූයේ එසේ නොව, කලාවේ තිබු ලිඟු සහ රමණය දැකීමෙන් යැයි කිසිවකු කියන්නේනම් කරුණාකර එසේ වූ හැටි තාර්කිකව පෙන්වා දෙන්නැයි ඉල්ලමීමට කැමැත්තෙමි. තවමත් මීට අවශ්‍ය බැරැරෑම් දේශපාලන පිළිතුර සොයාගත නොහැකිව කරන දහම් පාසල් සරඹ සහ ලාමක ගැමි සෙල්ලම් වලට මුක්කු ගැසීමට කරන මේ වාරණයෙන් කලාවට සේවය කළ හැකි බවට පුලුවන්නම් ශිෂ්ඨාචාරයේ කැමති තැනකින් උදාහරණ ගෙන පෙන්වන්නැයි මම ඉල්ලමි. කිසිම ලෙසකින් පාලනය කළ නොහැකි, දැන් එලිපත්තටම පැමිණ ඇති දැවැන්ත ගෝලීය තොරතුරු සුනාමියට මුහුණදීමට මීට වඩා බැරෑරුම් ශක්තිමත් දේශපාලන පිළිතුරක් සොයාගෙන පරිණාමය නොවූණහොත් එය අප සංස්කෘතික වශයෙන්ම අතුගා දමනු නියත ය.

අද දවසේ ජනතාවට ආදරය කරනවා නමින් කරනු ලබන කලා වාරණය හා මහා සංස්කෘතික කප්පාදුවට දායකවීමට ඔබට අසීමිත නිදහසක් ලැබී ඇත. නමුත් ඒ නිදහස අපට අපේ අදහස් ප‍්‍රකාශ කරන්නට ලබාදී නැත. වාරණ නිලධාරියකු ලෙසට, ගුරුවරයකු ලෙසට, සංස්කෘතික නිළධාරියකු ලෙසට, විචාරකයකු හෝ කලා විනිසුරුවකු ලෙසට, අවසාන වශයෙන් නාට්‍යකරුවකු ලෙසට වුවද එය ඔබට ගජරාමෙට මේ මොහොතේ කළ හැකිය. සඟවන්නට හැදුවද ඔබට බොහෝ දේවල් ඒ වෙනුවෙන් සෘජුව හෝ වක‍්‍රව ලැබෙනු ඇත. ඒ ලබාගන්නා බොහෝ දේවල් වලින් ගෙන ඔබ  හදන දරුවන්ට කියවීමට එදා ඩී.එච්. ලෝරන්ස්ට පිස්සා කියුවන්ගේ ගොඩටම ඔබෙ නම දුෂ්ඨයකු කොට ඇතුළත් කර දිනෙක ඉතිහාසය නැවත ලියැවෙන බව මතක තබාගැනීම දැනට වැදගත් ය.☐

ධනංජය කරුණාරත්න


© JDS