දෙමළ මාධ්‍ය මර්දනය: ප්‍රීති වෙසක් ද? කළු මැයි මහක් ද?

ක්සත් ජනතා නිදහස් සන්ධාන රාජපක්‍ෂ පාලන සමයේදී මාධ්‍ය වෙත බරපතල මර්දනයක් එල්ල කෙරුණු  මාසය ලෙසින් දකුණේ දී  සැලකෙනුයේ ජනවාරිය යි. මේ නිසාම දකුණේ මාධ්‍ය සංවිධාන විසින් ජනවාරි මාසය 'කළු ජනවාරිය'ලෙසින් නම් කෙරුණි. එහෙත් මේ 'කළු ජනවාරිය' ට හේතු වන  සිදුවීම් සියල්ලම පාහේ දකුණට අදාළ වූ විශේෂයෙන්ම කොළඹ කේන්ද්‍රීය මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කොට දියත් කෙරුණු ප්‍රහාරයන් ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය , ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම, සිරස හා සන්ඩේ ලීඩර් ආයතන වලට ගිනි තැබීමට අමතරව කොළඹ දී ප්‍රකාශයට පත් කෙරෙන “සුඩරෝලි”  පුවත් පතේ ත්‍රිකුණාමල වාර්තාකරු සුගීතරාජන් ගේ ඝාතනය  මීට හේතු කාරණා වශයෙන් දැක්වේ.

අනෙක් අතින් මැයි  හෙවත් වෙසක් මාසය ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ බෞද්ධයන්ට සුවිශේෂී සමයකි. නමුත් මෑතකාලීනව සමූල සංහාරයන් කිරිබත් කා සමරන ලද්දේ බුදු තෙමඟුල යෙදෙන බව  කියන මේ වෙසක් මාසයේදීම ය.  අනෙක් අතින්, සංඛ්‍යා ලේඛණ ඇසුරින් පිරික්සා බැලූ විට දෙමළ ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් වැඩි දෙනෙක් මරා දමා ඇත්තේද මේ කියන වෙසක් සමයේදී වීම විශේෂත්වයකි. මෙසේ මරා දැමුණු සියල්ලම උතුරු-නැගෙනහිර පළාත්වල ක්‍රියාකාරී මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ය.

සිදුවීම් ඇසුරින් මේ කරුණු විමසා බැලීම වඩාත් පහසු ය.

මඩකළපුවේ මාධ්‍ය භීෂණය

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ පටන්ම සිංහල ජනපදකරණය සඳහා යොදාගත් නැගෙනහිර පළාත දෙමළ ඊලාම් විමුක්ති අරගලය මර්දනය කිරීම සඳහාද සෑම රජයක්ම යොදාගත් දඩබිමකි. 2004 වසර වන විට සටන් විරාම ගිවිසුම යම් අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දෙමින් පැවති අතර පළාත පුරා රජයේ හමුදා අණසක මෙන්ම හමුදා අනුග්‍රහය නිබඳ ලබන සන්නද්ධ කණ්ඩායම් රැසක් ද ක්‍රියාත්මක වූහ. සටන් විරාම ගිවිසුම විසින් නිර්මාණය කළ වාතාවරණය යොදාගනිමින් දෙමළ විමුක්ති කොටි සංවිධානය කැබලි කිරීම සඳහා තමන් අනුගමනය කළේ යැයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් පසුකාලීනව අනාවරණය කළ සැළසුම් සැළකිය යුතු සාර්ථකත්වයක් ලැබුවේ කොටි සංවිධානයේ නැගෙනහිර සෙන්පති වශයෙන් ක්‍රියාකළ කරුණා අම්මාන් ඉන් බිඳී යාමත් සමග ය. කරුණා පාර්ශවය අතුරු හමුදාවක් ලෙසින් රජයේ හමුදා අනුග්‍රහ ලබමින් ක්‍රියාකළේ ඉක්බිතිව ය.

ඒ වන විටත් අතුරු හමුදා කණ්ඩායමක් ලෙස රාජ්‍ය අනුග්‍ර‍හ ලබමින් ප්ලොට් මෝහන් යටතේ ක්‍රියාත්මක වූ කල්ලියේ හා හමුවේ සෘජු තර්ජන හේතුවෙන් ප්‍රදේශයේ වීරකේසරී වාර්තාකරු ලෙස කටයුතු කළ නිත්ත්‍යා, ඉන් ඉවත්ව විදේශගත විය. වීරකේසරී පත්‍රයේ ඔහුගේ අනුප්‍රාප්තික වාර්තාකරුවා වු කුමාරගුරු ද රජයේ හමුදා වෙතින් එල්ල වූ තර්ජන හේතුවෙන් ප්‍රදේශය හැර දමා විදේශ ගතවූයේ එයින් පසුව ය. අනතුරුව මඩකලපුව වීරකේසරී වාර්තාකරු වුයේ අයියාතුරේ නඩේසන් ය. යාපනේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ උපන් නඩේසන් අදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරියෙකි. යාපන සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු වූ ඔහු කලක් උතුරු - නැගෙනහිර පළාත් සභාවේ මාධ්‍ය නිලධාරියා ලෙසද කටයුතු කළේය. මැයි මාසයේ දී මරා දැමුණවුන් අතරට ඔහුගේ නම ඇතුළත් වූයේ මෙයින් වසර 12කට කලිනි.

2004 මැයි මස 31 වැනිදා උදෑසන රැකියාව වෙත යමින් සිටියදී රජයේ හමුදා මුර පොළක් සමීපයේ ඔහු පැමිණෙන තෙක් බලා සිටි කරුණා පාර්ශවයේ ඝාතකයෝ ඔහුට වෙඩි තබා මරා දැමුහ. දරුවන් සිව් දෙනෙකුගේ පියෙකු වූ නඩේසන් මඩකළපුව කෙරෙහි වූ අපමණ බැඳීම හේතුවෙන්ම, කෙතරම් තර්ජන එල්ල වුවද මඩකලපුව හැරදමා යෑමට කැමැත්තක් නොදැක්වූ බව ඔහුගේ සමකාලීන මාධ්‍ය සගයෙකු වූ ශන් තවරාජා පවසයි. නැගෙනහිර ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා වශයෙන් කලක් ක්‍රියා කළ ශන් තවරාජා JDS සමග නඩේසන් පිළිබඳ ආවර්ජනයේ යෙදුණේ කම්පාවෙනි.

''නඩේසන් මඩකළපුවට එන්නේ වර්ධරාජා පෙරුමාල් මහ ඇමති වෙලා හිටපු උතුරු නැගෙනහිර පළාත් සභාවේ මාධ්‍ය නිලධාරියා විදිහටයි. ඔහුගේ සරසවි මිතුරෙක් තමයි පළාත් සභාවේ සහානායක වුණේ. එයාගේ ඇරයුම අනුවයි නඩේසන් මාධ්‍ය නිලධාරි තනතුර බාර ගත්තේ. ඒ වෙන කොට එයා මාධ්‍යම කඳුකරයේ පාසැල් ගුරුවරයෙක් විදිහට වැඩ කරමිනුයි හිටියේ. පස්සේ ප්‍රේමදාස ආණ්ඩුව පළාත් සභාව විසුරුවා දැමීමෙන් පස්සේ නඩේසන් නැවතත් කඳුකරයේ පාසැල් රැකියාවට ගියත් ටික කාලයකින් නැවතත් මඩකළපුවට ආවා. ඒ ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරියෙක් විදිහටයි. යාපනයේදී කොමියුනිස්ට් පක්‍ෂ දේශපාලනයට නැඹුරු වෙලා හිටිය නඩේසන්ට මඩකළපුවේ දෙමළ - මුස්ලිම් මිනිස්සුන්ගේ ගැටළු දේශපාලනිකව අවබෝධ කරගන්න හැකියාවක් තිබුණා. අනෙක් අතින් දෙමළ මාධ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වගේම නැගෙනහිර ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමය ගොඩ නගන්නත් නඩේසන් පුරෝගාමී වුණා,'' ඔහු කියයි.

දෙමළ - මුස්ලිම් මෙන්ම දෙමළ - සිංහල සහයෝගිතාවය වෙනුවෙන් නිරන්තරව පෙනී සිටි නඩේසන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මකව මැදිහත් විය. ඒ පිළිබඳව ශන් තවරාජාට ඇත්තේ මකා දැමිය නොහැකි මතකය කි. ''සටන් විරාම කාලේ නැගෙනහිර ලංකා  ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හැටියට අපි සංවිධානය කළා සංචාරයක් වන්නිය හා යාපනයට.  ප්‍රදේශයේ දෙමළ - මුස්ලිම් මාධ්‍යවේදීන් තිස්පස් දෙනෙක් විතර ඒකට එක් වුණා. මේ වැඩේට පුරෝගාමී වුනේ නඩේසන්. ඒ වගේම 'හිරු' කණ්ඩායම කොළඹ සංවිධානය කරපු සිංහල - දෙමළ කළා උළෙලට නඩේසන් එයාගේ දායකත්වය ලබා දුන්නා. පෞද්ගලික දුෂ්කරතාවක් නිසා මට ඒකට  යන්න බැරි වුණා. කොළඹ ඉඳන් නඩේසන් මට ටෙලිෆෝන් කරලා කිව්වේ සිංහල උරුමයේ කට්ටිය හා දිවයින පත්තරේට සම්බන්ධ පිරිසක් එකතුවෙලා ඒකට පහර දෙන්න ආවා,  ඒත් වැඩේ ඉවරවෙලා මිසක් එන්නේ නැහැ කියලා.''

නඩේසන් විසින් දෙමළ ජනයාගේ ස්වයං නීරණ අයිතිය අරඹයා ලියන ලද කෘතිය ඔහුගේ දේශපාලන අවබෝධය පිලිබඳ කදිම සාක්ෂියක් සේ බොහෝදෙනා සළකති.  ඔහු සම්මත ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ රාමුවෙන් ඔබ්බට ගොස් කටයුතු කළ බවට මෙම කෘතිය මගින් ද පෙන්නුම් කරතැයි කියා සිටිනුයේ ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ එවකට සභාපතිවරයා වූ රාජ්කුමාර් සුබ්‍රමනියම් ය.
 
''ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නිතරම ලියන සංවර්ධන පුවත් වාර්තාවලට නඩේසන් සීමා වුනේ නැහැ. ඒ සීමාවන් බිඳ දමා විශේෂයෙන් නැගෙනහිර පළාතේ මිනිස්සු යුද්ධයෙන් විඳින පීඩාව එළියට අරන් ආව ප්‍ර‍මුඛයෙක් තමයි නඩේසන්. දේශපාලන සහ මාධ්‍ය ක්‍රියාධරයෙක් වුණු නඩේසන්ට ජාතික ප්‍රශ්නය ගැන ගැඹුරු අවබෝධයක් තිබුණා. ඒ වගේම දෙමළ මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටළු විසඳා ගන්න නම් එකාවන්ව සමගිව සංවිධානය වීම ගැන අවධාරනය කරපු ඔහු ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. කණගාටුවට කරුණ තමයි, අද සංහිඳියාව ගැන කථා කරන මේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ උදව්කරුවන් නඩේසන්ලා මරා දැමීම ගැන සොයා බලා යුක්තිය ඉටුකිරීමට ප්‍රමාණවත් උනන්දුවක් නොපෙන්වීම,'' ඔහු කියයි.


නඩේසන්ට ගෞරව ප්‍රණාම පුද කිරීමට ඔහුගේ සිරුර පළමුව කිලිනොච්චිය කරාත්, පසුව ඔහු උපන් නෙල්ලිඅඩි හි  මහජන ක්‍රීඩාංගනය වෙතත් ගෙනයනු ලැබූ අතර දහස් ගණන් ජනයාගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු කෙරුණේ ඊලාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ (EPRLF) නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙනි. නඩේසන් ඝාතනය විසින් තීව්‍ර‍කළ රාජ්‍ය ත්‍ර‍ස්තය සමග මඩකලපුවේ මාධ්‍ය සංවිධාන කෙමෙන් බිඳ වැටෙන්නට විය. ඔහු සමඟ එක්ව වැඩ කළවුන් අතර ඉදිරියෙන්ම සිටි ශන්තවරාජා, තුරෛරත්නම්, වේදනායගම් හා චන්ද්‍රකුමාර් ආදී ප්‍ර‍මුඛ මාධ්‍යකරුවන් රටින් පිටුවහල් වන්නට තීරණය කළහ. තවත් බොහෝවුන් මඩකලපුව අත්හැර කොළඹට පැමිණීමට තීරණය කළ අතර සෙස්සෝ නිහඬ වූහ.

'උදයන්' ප්‍රහාරය

යාපනයේ පලකෙරෙන උදයන් පුවත්පතට එල්ල කෙරුණු ප්‍රහාරයන් අතරින් 2006 මැයි මස 03 වැනිදා රාත්‍රියේදී එල්ල වූ බිහිසුණු ප්‍රහාරයෙන් එහි බෙදාහැරීම් කළමණාකරු ඇතුළු මාධ්‍ය සේවකයෙක් ඝාතනයට ලක්විය. එවකට රජයේ හමුදා සෘජු අණසකට යටත් යාපන නගරය  තුළ පිහිටි  උදයන් කාර්‍යාලයට යතුරු පැදි වලින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් සිව් දෙනෙකු 'උදයන්' ප්‍රවෘත්ති සංස්කාරක කුගනාදන් ගැන විමසමින් එල්ල කළ වෙඩි හා බෝම්බ ප්‍රහාරයන්ට මැදිව බැස්ටියන් ජෝර්ජ් සගයදාස් නොහොත් සුරේෂ් (බෙදාහැරීම් කළමණාකරු- දිනපතා උදයන්) හා රාජරත්නම් රන්ජිත් කුමාර් (බෙදාහැරීම් අධීක්‍ෂණ) මරුමුවට පත්වූහ. ප්‍රහාරයෙන් උදයන් කාර්‍යාලයේ පරිඝණක අංශය විනාශයට පත්වූයේ ඊට අමතර වශයෙනි.  

මෙම ප්‍රහාරයට මේ වන විට පුරා වසර දහයක් ඉක්ම ගොස් ය. ඉන් වසර කිහිපයකට පසු මහමඟ දී එල්ල කෙරුණු මාරාන්තික ප්‍රහාරයකින් යාන්තමින් දිවි ගලවාගත් ඥාණසුන්දරම් කුගනාදන් ඉක්බිතිව රටින් පිටුවහල් විය. ජීවිතයේ සන්ධ්‍යා සමය නුහුරු බිමෙක පිටුවහලේ හුදකලාව ගෙවන කුගනාදන්, තමා සොයමින් පැමිණි ඝාතකයන්ගේ ප්‍රහාරයට ලක්ව මියැදුනු සිය මාධ්‍ය සේවක සගයන් ගැන සිහිපත් කරනුයේ අත් හල නොහැකි වේදනාවෙනි.

“එදා රාත්‍රී හතට විතර ආයුධ ඇතිව මෝටර් බයිසිකල් වලින් ආපු හතර දෙනෙක් මං ගැන විමසමින් ඔෆීස් එකට ඇතුල් වුණා. ඒ වෙලාවේ සිකියුරිටි එකෙන් පොලිසියට කෝල් කරන්න හදන කොට එක් අයෙක් දුරකථන ජාලයට වෙඩි තියලා ඒක  අක්‍රීය  කරා. එතනින් උන් ඇතුල් වුණේ බෙදා හැරීම් අංශයට. ඒ වෙනකොට සුරේෂ් කාට හෝ කෝල් කරමින් හිටියේ - ඒ එක්කම උන් සුරේෂ් ට වෙඩි තිබ්බා. ඒ වෙලාවේ මම එඩිටෝරියල් එකේ හිටියත් කවුරුත් කිව්වේ මම ආවේ නැහැ කියල. එඩිටෝරියල් එකට ආපු උන් හැම දෙනාම දණගස්වා මාව හොයන්න ගත්තා. ඇත්තටම එතකොට මම ඔෆිස් එක අස්සේ තිබුණු පොඩි කාමරයක හැංගිලා හිටියේ. ඊට පස්සේ මුන් කොම්පියුටර් සෙක්ෂන් එකට වෙඩි තියලා ඒක විනාශ කරා. සර්කියුලේෂන් එකේ රන්ජිත්ටත් වෙඩි තියල තිබුණා.”

ලෝක ජන මාධ්‍ය දිනයේදී එල්ල වූ මේ ප්‍රහාරයෙන් මරා දැමුණු බැස්ටියන් ජෝර්ජ් සගයදාස් කොළඹ පදිංචිකරුවෙකි. බෙදාහැරීම් කළමනාකරු ලෙසින් යාපනයේ නේවාසිකව සිටි ඔහු මරා දැමෙන විට කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. යාපනේ කයිතඩි වාසියෙකු වූ රන්ජිත් කුමාර් වෙඩි ප්‍රහාරයට ලක්ව මිය යන විට ඔහු විවාහ දිවියට එක්ව දින තුනක් ඉක්ම ගියා පමණි. උදයන් කාර්යාලයට මේ මාරාන්තික ප්‍රහාරය එල්ල වන මොහොත වන විට 'ලෝක ජනමාධ්‍ය දිනය' පිළිබඳ සැමරුමක් ජනමාධ්‍යවේදීන් හා දෙස් විදෙස් මාධ්‍ය ක්‍රියාධරයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී මුළු දෙමින් තිබුණි. ඒ යුනෙස්කෝවේ මැදිහත්වීමෙනි.

''මේ ප්‍රහාරය එල්ල වෙලා සුළු මොහොතකින් අපිට ඒ ගැන දැන ගන්න ලැබුණා. ඒ වෙනකොට අපි ඔක්කොම හිටියේ ලෝක ජනමාධ්‍ය දිනය සමරන්න ලංකාවට ආපු විදේශීය නියෝජිතයන්ට ආණ්ඩුව මගින් සංවිධානය කරලා තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහයේ. සිද්ධිය දැන ගත්ත ගමන් අපි කීප දෙනෙක් විරෝධය පෑමක් ලෙසින් සාදය වර්ජනය කරමින් නැගිටලා ආවා'', දස වසකරට පසු උදයන් ප්‍ර‍හාරය ආවර්ජනය කරමින් එවකට ශ්‍රීලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම්වරයාව සිටි පෝද්දල ජයන්ත පවසයි.

''සනත් බාලසුරිය, මංජුල වෙඩිවර්ධන, කසුන් යාපා කරුණාරත්න, සුනන්ද දේශප්‍රිය, ලක්ෂ්මන් ගුණසේකර, කුරුළු කාරියකරවනට අමතරව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ එවකට සභාපතිව සිටි ක්‍රිස්ටෝපර් වොරන් ද  අපිත් එක්ක නැගිටලා ආවා. අද සංහිඳියාව, මාධ්‍ය නිදහස ගැන කථා කරන සමහර පිරිස් එදා මේ අතිශය සුළු විරෝධය දැක්වීමටවත් එක් නොවී අපිට අවලාද නගමින් හිටියා” ඔහු කියයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ රාජ්‍ය හමුදාවන්ගේ අනුග්‍රහය ලබමින් ක්‍රියාත්මක අතුරු හමුදාවක් වන ඊළම් ජනතා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක‍්ෂය (EPDP) ට ය. රජයේ හමුදා පාලනය යටතේ පැවති යාපන නගරය තුළ සිදු වූ මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් පිළිබඳව උදයන් පත්‍රයේ කළමනාකාරිත්වය විසින් සාක්ෂි සහිතව පොලිසියට පැමිණිලි කළ ද විධිමත් පරීක්ෂණයකින් වැරදිකරුවන්ට දඩුවම් පැමිණවීමට මේ දක්වාම සමත් වී නොමැති වීම කවර නම් හාස්‍යයක්ද? ඒ පිළිබඳව ඥානසුන්දරම් කුගනාදන්ට ඇත්තේ ගැඹුරු කළකිරීමකි.

''මේ ඝාතකයෝ ආපු මෝටර් බයික්වල නොම්මර පවා පොලිසියට දුන්නත් කිසිම දෙයක් වුනේ නැහැ. මේ ප්‍රහාරය විතරක් නොවේ, උදයන් එකට එල්ල කරපු 30 කට ආසන්න ප්‍රහාර සම්බන්ධයෙන් කිසිම විධිමත් පරීක්ෂණයක් අද වනතෙක් පවත්වා නැහැ. රාජපක්ෂ ආණ්ඩුව වගේම යහපාලන ආණ්ඩුවත් මේවා ගැන කිසිම පරීක්ෂණයක් කිරීමේ අවජක උවමනාවක් පෙන්නුම් කරන්නේ නැහැ. උදයන් පුවත්පත් ආයතනයේ අධිපතිතුමාත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. මේ යහපාලන ආණ්ඩුවට මේ විස්තර ලිඛිතවම දීලා ඉල්ලා හිටියා මේ සිද්ධීන් ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණු ඔහුටත් යුක්තිය ඉටු කරවා ගන්න බැරි නම් සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද?''

'ශක්ති' වාර්තාකරු ඝාතනය

අ‍ඳුරු මැයි මාසයේ ඝාතන වැල එතෙකින් නොනවතී.

යාපනය මාධ්‍යවේදීන් පවසන ආකාරයට යාපනය ශක්ති රූපවාහිනී කාර්යාල ප්‍රධානියා මෙන්ම වාර්තාකරු වූ පනියරූපසිංහම් දේවකුමාර්ට කිහිපවතාවක්ම හමුදා බුද්ධි අංශ මගින් තර්ජන එල්ල කර තිබිණි. ඒ යාපන අර්ධද්වීපයට අදාළ ඔහු ඉදිරිපත් කරන වාර්තාවන් සම්බන්ධයෙනි. පුද්ගල අත්අඩංගුවට ගැනීම්, අතුරු දහන් කිරීම්, උන්හිටි තැන් අහිමි වීම්, අධි ආරක්‍ෂක කළාප හරහා  බලහත්කාරයෙන් දේපළ අත්පත් කරගැනීම් ආදිය ඔහුගේ බොහෝ වාර්තාවන්ට හසු විය. ඒ වන විටත් යාපන අර්ධද්වීපය පුරා වාඩිලා සිටි රජයේ හමුදා වන්නිය ඉලක්ක කොට 'මානුෂික මෙහෙයුම්' දියත් කරන්නට අර අඳිමින් සිටි සිය රාජකාරි නිමාවී කාකතිව් පිහිටි නිවෙස බලා යමින් සිටියදී  අතරමග වට්ටුකෝට්ටෙයි ප්‍රදේශයේ හමුදා මුරපොලක් ආසන්නයේදී ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් විසින් ඔහුව කපා කොටා ඝාතනය කර තිබිණි. ඒ 2008 මැයි 28 වැනිදා ය.

දේවකුමාර් මරා දැමෙන විට ඔහු එක් දරු පියෙකි.

කෙසේ වුවද දේවකුමාර් වැන්නන් බිලිගන්නා විට යම් තාක් දුරකට සැඟවුණු භීෂණයක් ලෙස පැවති දෙමළ මාධ්‍යකරුවන්ට එරෙහි තර්ජනයන්, යුද්ධයේ 'මානුෂීය මෙහෙයුම්' තීව්‍ර‍ කිරීමට සමාන්තරව විවෘත රාජ්‍ය ත්‍ර‍ස්තයක් බවට පෙරළුණි. වන්නියේ සිට පළ කළ පුවත්පත් හා වාර සඟරා මෙන්ම, ගුවන් විදුලි විකාශයන් ඉලක්ක කොට එල්ල කළ ප්‍ර‍හාර උත්සන්න කරන ලද්දේ ඒ යටතේ ය.

'ඊළනාදම්' මර්දනය

මරණය සමග නිරන්තර අරගලයක යෙදෙමින් තැනින් තැනට අවතැන්ව අවසන් මොහොත දක්වාම වන්නියේ මෙන්ම ඉන් පිටස්තර ජනතාවටත් තොරතුරු සැපයීමට කැප වී ක්‍රියාකළ 'ඊළනාදම්' පුවත් පත හා 'කොටි හඬ' ගුවන් විදුලිය හා සම්බන්ධව සේවය කළ පූර්ණ කාලීන වෘත්තීය මාධ්‍යකරුවන් මුහුණ දුන් සැහැසි යථාර්ථය හෙළිකරන්නේ මේ යටපත්ව ඇති කතාව ය. 2009 මැයි 18 වැනිදා වන විට සම්පූර්ණ කළ ජන සංහාරයට අමතරව  ඊළනාදම්, කොටිහඬ ගුවන්විදුලිය මෙන්ම නිදර්ශනම් රුපවාහිනිය ද වන්නියේදී නිහඬ කෙරිණ.

‘ඊළනාදම්’ මාධ්‍යවේදී මාරියප්පු අන්තෝනි කුමාර් සමග මාධ්‍ය සේවකයෙකු වූ දර්ශන් තුරෛසිංහම් අත්‍යවශය වාර්තාකරණය වෙනුවෙන් රැකවරණ ගෙන සිටි බංකරයෙන් පිටතට ආවේ එයින් දින හතරකට කලිනි. එහෙත් නිමේෂයකින් ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් නොනවත්වා එල්ල කෙරුණු ෂෙල් ප්‍රහාර හමුවේ අන්තෝනි සහ දර්ශන් ඇදවැටිණි. ඔවුන්ගේ සිරුරු වෙත ළඟා වීමටවත් කිසිවෙකුට අවකාශ නොදෙමින් ෂෙල් වෙඩි වර්ෂා ඇද හැළිණ.

තුශ්‍යන්තන් පරමනාදන් වනාහී ඒ බිහිසුණු අත්දැකීම් ඇසින් දැක දිවි ගලවා ගත් අයගෙන් කෙනෙකි. 'ඊළනාදම්' පුවත්පතේ උප කතුවරයෙකු වශයෙන් සේවය කළ ඔහු අන්තෝනි හා දර්ශන්ගේ සමකාලින මාධ්‍යකරුවෙකි. ඒ සාහසික මතකයන් හත් වසරකට පසු යළි ආවර්ජනය කරන තුශ්‍යන්තන්  කතා කරන්නේ නොතිත් වේදනාවකිනි.

'ෂෙල් ප්‍රහාරයෙන් මිය යද්දී අන්තෝනිට වයස අවුරුදු විසි පහයි. දර්ශන්ට  විසි හතරයි. ඒ වෙනකොට අපිට පත්තරේ ලියන කියන දේවල්වලට අමතරව පත්තරේ මුද්‍රණය කරලා බෙදාහැරීම දක්වාම හැම දෙයක්ම කිරීමට සිද්ධ වෙලායි තිබුණේ. හැම කෙනෙක්ම තමන්ගේ නිල වගකීම් සීමාවන් ඉක්මවා ගිහින් සාමුහිකව වැඩ කළා. අන්තෝනි වුණත් වාර්තාකරණයට විතරක් සීමා වෙලා හිටියේ නැහැ. මුද්‍රණ, බෙදාහැරීම් වගේ ඒ හැම දෙයක්ම කෙළා. දර්ශන් වුණත් එහෙමයි. මැයි 17 වැනිදා වෙනකොට අපිට කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුනේ නැහැ,” ඔහු කියයි.

'කොටි හඬ' නිහඬ කිරීම

කිලිනොච්චිය කේන්ද්‍ර කරගෙන තිබු 'කොටි හඬ' ගුවන් විදුලි මධ්‍යස්ථානයට මුල්ම විනාශකාරී ගුවන් ප්‍රහාරය එල්ල වුනේ 2007 නොවැම්බර් 27 වැනිදා දහවල් කාලයේදී ය. කටුනායකින් ගුවන් ගත ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා පෙරළා කඳවුරු කරා පැමිණියේ කොටිහඬ ගුවන් විදුලියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙක් ඇතුළු තවත් සිවිල් වැසියන් කිහිප දෙනෙකුට මරු කැඳවීමෙන් පසුව ය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙන්ම බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙම ගුවන් ප්‍රහාරය හෙළා දකින්නට කටයුතු කළහ. 'මාධ්‍යවේදීන් මරා දමමින් සංහිඳියාවක් ඇතිකළ නොහැකි බව' ප්‍රහාරය හෙළා දකිමින් නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දී තිබූ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂක කොයිචිරෝ මස්ට්සුරා  කියා සිටියේ 'ඒ මගින් සිදුවන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හා මානව හිමිකම් වලට බාධා එල්ල වීම පමණක්' බව ය.

බොහෝ දෙස් විදෙස් මාධ්‍යන්ට වැදගත් ප්‍රාථමික ප්‍ර‍වෘත්ති මුලාශ්‍රයක් වූ කොටි හඬ ගුවන් විදුලිය දෙමළ, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යන් ඔස්සේ ප්‍රවෘත්ති හා වැඩසටහන් විසුරුවා හරින ලද අතර ගුවන් ප්‍රහාරයෙන් බරපතල හානි සිදුවුව ද 2009 මැයි 17 වැනිදා තෙක් අපමණ දුෂ්කරතා මැද විකාශන කටයුතු පවත්වාගෙන යාමට ක්‍රියා කළේය. ඒ දුෂ්කර මාධ්‍ය ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට පිටුබල දුන් ශක්තිය වුයේ වුයේ තිරුකුලසිංහම් තවපාලන් ය. 1994 දී කොටි හඬ ගුවන් විදුලියට ආධුනික නිවේදකයෙකු ලෙස සම්බන්ධ වූ හෙතෙම පියවරෙන් පියවර එහි ප්‍රධාන පදවිය දක්වාම ගමන් කළේ ඔහු සතු අප්‍ර‍තිහත කැපවීම හේතුවෙනි.

1983 ජුලියේ දෙමළ විරෝධී ප්‍ර‍චණ්ඩ ක්‍රියාවන්ගෙන් වසර කිහිපයකට පසු තවපාලන්ගේ පවුලේ සියල්ලන් යාපනය අත් හැර ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචියට ගිය අතර තවපාලන් සිය මුලික අධ්‍යාපන කටයුතු අවසන් කරන ලද්දේ ඉන්දියාවේදී ය. දස වසරක් ඇවෑමෙන් 1993දී පෙරළා යාපනයට පැමිණි තවපාලන් සිය වැඩිදුර අධ්‍යාපන කටයුතු ඇරඹූ අතර ඉක්බිතිව මුලින් මානුෂීය ආධාර සංවිධානයකට රැකියාව කළේය. 1995 දී රැකියාවෙන් ඉවත්ව, කොටි හඬ ගුවන් විදුලියට එක්වන්නට තීරණය කළ ඔහු එවකට පැවති චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ රිවිරැස මෙහෙයුමෙන් අවතැන් වූ සිය පවුලේ සාමාජිකයන් ද කැටුව වන්නියට පසුබසින මහා ජන ගංගාවට එක් විය.

උදයන් පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති සංස්කාරක ඥාණසුන්දරම් කුගනාදන්ට අනුව තවපාලන් දක්ෂ ගුවන් විදුලි ශිල්පියෙකු මෙන්ම හොඳ ප්‍ර‍වෘත්ති ගවේෂණයෙහි ලා මනා ඉවක් තිබු අයෙකි. විශිෂ්ට ජායාරූප ශිල්පියෙක් වශයෙන්ද තවබාලන් හඳුනන්නෝ බහුල වෙති. වන්නියේ හා ඉන් පිටස්තර මාධ්‍යන්හි ඔහුගේ ජායාරූප විශාල වශයෙන් පළ කෙරිණි. යුද්ධය අවසන් වකවානුවේ දී තවපාලන් විසින් ගනු ලැබූ ජායාරුප සියල්ලම 'පුදිනම්' හා  tamilvision වෙබ් අඩවි ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇත.

තම බාල සොහොයුරාගේ මරණයත් සමග දෙමළ ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයට ක්‍රියාත්මක මැදිහත් වීමට තීරණය කළ තවපාලන්ගේ වැඩිමහල් සොහොයුරු  තිරුකුලසිංහම් තිරුජෝති ඔහු පිළිබඳ මතකය ආවර්ජනය කිරීම වෙහෙසකර එකකි. ''මම ලංකාවෙන් එනකොට මගේ මල්ලිට  අවුරුදු අටක් විතර ඇති. ඒ කියන්නේ 1979 දී. ඇත්තටම ඊට පස්සේ මට එයත් එක්ක යම් හෝ ගත කරන්න ලැබුණේ එයින් අවුරුදු 24කට පස්සෙයි. එයා සාම සාකච්ජා වාර්තා කරන්න ලෝකය වටේ යන කොට 2003 දී විතර එයා ප්‍රංශය ට ඇවිත් මගෙත් එක්ක සතියක් විතර ගත කළා. එයින් පස්සේ මගෙත් එක්ක නිතරම දුරකතනයෙන් කතාකරන්න පුරුදුව හිටියා. අවසන් වරට මම එයාට කතා කළේ මැයි 17 වැනිදා හවස 4 ට විතර. ඒ වෙනකොට එයාගේ දරුවොයි බිරිඳයි  හමුදාව හිටිය මුල්ලිවයිකාල් පැත්තට පිටත් කරලා තිබුණේ. ඒ කෙටි කථා බහෙන් පස්සේ එයාගෙන් තොරතුරක් ලැබුණේ නැහැ. පස්සේ තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් දැන ගන්න ලැබුණා එයා ඕමන්තේ හමුදා මුරපොළේ තියාගෙන හිටියා කියලා. කොහොම වුණත් හමුදාව මල්ලිව හැම කෑම්ප් එකකම සොයමින් සිටි බව මම පසුව දැනගත්තා. හමුදාව ඒ වෙලාවේ කියා තිබුණේ ‘කොටි හඬේ තවපාලන්  අල්ලා ගත්තොත් ඉස්සෙල්ලම මිනිහගේ දිව කපනවා' කියල.''

තවපාලන්ගේ අවසන් ඉරණම කුමක් වීදැයි අදටත් තිරුජෝති නොදනී. නමුත් යුද්ධයේ අවසානය නිල වශයෙන් නිවේදනය කොට වසර කිහිපයකට පසුව තවපාලන්ගේ බිරිඳ විසින් මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබුනේ ඔහු හමුදාවට බාර වූ බවත් ඉන් පසු කිසිදු තොරතුරක් නොමැති බවත් ය. මැයි මාසයේ ඝාතනයට ලක් වූ හෝ අතුරුදහන් වීමට ගොදුරු වූ මාධ්‍යවේදී ලැයිස්තුවට තවපාලන්ගේ නම එක් වන්නේ ඒ අනුව ය.

ඉසෙයි ප්‍රියා

ශෝභනා ශ්‍රී රාම් නොහොත් ඉසෙයි ප්‍රියාගේ ඛේදනීය මරණය දැන් අන්තර්ජාතික වශයෙන්ද ප්‍ර‍කට එකකි. දෙස් විදෙස්  දෙමළ ජනයා අතර ජනප්‍රියව සිටි කලාකාරිනියක් හා මාධ්‍යවේදිනියක් වූ ඇයගේ සාහසික මරණය වෙඩි හුවමාරුවක දී සිදු වූ බව ආණ්ඩුව මුලින් පුන පුනා ප්‍ර‍කාශ කළේය.  නමුත් පසුව හෙළිදරව් වූ ඡායාරූප සහ වීඩියෝ සාක්‍ෂි සම්භාරයත්, රජයේ ආරක්‍ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ ඇයගේ මරණය පිළිබඳව පළ වූ ප්‍ර‍වෘත්තියත් එකිනෙකට සම්බන්ධ කොට පූර්වාපර සන්ධී ගැළපූ විට අනාවරණය වී ඇත්තේ 2009 මැයි මාසයේ දී 17 වැනිදා මුල්ලිවක්කාල් ආසන්නයේදී මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ 53 වැනි සේනාංකය මගින් ඇය අත්අඩංගුවට ගෙන පසුව  මරා දමා ඇති බව ය. උපතේ සිට ඇය පෙළුණු හදවත් රෝගී තත්වයන් හේතුවෙන් සටන් මෙහෙයවීම වැනි බරෑරුම් කාර්යන්ට  උර දීමට ඇයට හැකියාවක් නොතිබුණු බව ඉසෛ ප්‍රියාගේ පවුලේ සාමාජිකයෝ පවසති.

1982 මැයි 02 වැනිදා යාපනයේ උපන් ශෝභනා, 1995 දී සිය මව්පියන් හා බාල සොයුරියන් තිදෙනා සමගින් යාපනය හැර දමා වන්නියේ මල්ලාවියට පැමිණෙන්නේ උන් හිටි තැන අහිමිවූවන් ලෙසිනි. මල්ලාවියෙදී සිය අධ්‍යාපන කටයුතු යළි අරඹන ශෝභනා සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු වන්නියේ සිට විකාශණය කෙරුණු TTN රුපවාහිනියට එක් වන්නේ 1999දී ය. ප්‍රවෘත්ති නිවේදිකාවක, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසින් පමණක් නොව රංගන, නර්තන හා ගායන ශිල්පිනියක් ලෙසින් ඇය වඩාත් ජනප්‍රිය වන්නට වුයේ ඉසෛ ප්‍රියා නමිනි.

''නිවේදනයට , ගායනයට, වාදනයට, නර්තනයට වගේම රංගනයටත් එක වගේම දක්ෂකම් තිබුණු ඉසෛ ප්‍රියා විධිමත් පුහුණුවක් නොලැබුණත්, ප්‍රවීණයන් සේ සැළකුණු අයට වඩා දක්ෂ ලෙස මේ සෑම අංශයකින්ම දස්කම් පෙන්නුවා. ඒ හැකියාවන් ඇයට සහජයෙන්ම පිහිටලා තිබුණා,''  ඉසෛ ප්‍රියාගේ දක්ෂතා පිළිබඳ කතා කරමින් උදයන් පුවත් පතේ ප්‍රවෘත්ති සංස්කාරක ඥාණසුන්දරම් කුගනාදන් කියයි.

ඇය රංගනයෙන් දායක වූ  'වීලි' නමැති ජනප්‍රිය කෙටි චිත්‍රපටයට අමතරව වන්නියේ නිපදවූ 'ඉරුදි' ඇතුළු බොහෝ වෘත්තාන්ත චිත්‍රපටවල ද  ඇගේ රංගනයන් දැක ගත හැකිය. බලවත්ව මතුවෙමින් ආ වන්නි සිනමාවේ ජනප්‍රිය තාරකාවක් බවට ඉසෛප්‍රියා පත්වූයේ ඒ අනුව ය.

2008 වසරේදී  ඇගේ පෙම්වතා වූ  ශ්‍රී රාම් සමග විවාහ වූ  ඇය, රජයේ ආරක්ෂක හමුදාවන් අවසන් සංහාරක මෙහෙයුම් හමුවේ අවතැන් වෙමින්, ෂෙල් වෙඩි මැදින් දිවි ගලවාගනිමින් පලා යන ජන ගංගාව හා මුලතිවු දක්වාම ගමන් කළාය. මුල්ලිවයික්කාල් දෙසට පලා යන දස දහස් සංඛ්‍යාත ජනයා අතර ඉසෛ ප්‍රියා සිය කුඩා දියණිය වන සිව් මස් වියැති ඉක්මවූ ආකල්ජා බිළිඳිය ද කැටුව ගියාය. නිසි ඖෂධ හෝ වෛද්‍ය ප්‍ර‍තිකාර නොමැතිව, අව් වැසි සුළං ප්‍ර‍හාරයන්ට නිරාවරණය වීමෙන් ඔත්පළ වූ සිඟිති ආකල්ජා, දින කිහිපයක් පුරා උන රෝගයෙන් පෙළෙමින් හිඳ අවසානයේ දෑස් පියා ගත්තාය. ඒ 2009 සිංහල අවුරුදු සමය උදාව මුව විට ය. ඒ වනවිටත් රජයේ අවසන් මෙහෙයුම් උච්ඡාවස්ථාව කරා ළඟා වෙමින් තිබිණි.

ස්වකීය රැකවරණය සඳහා ඉසෛ ප්‍රියාට ඉතිරිව සිටි ඇගේ සැමියා ද මැයි 16 වැනිදා වන විට අහිමි වන්නේ ඔහු රජයේ හමුදා ග්‍රහණයට නතු වීමත් සමග ය. ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා ලොව දියත්කළ දැවැන්තම සහ සාර්ථකම ක්‍රියාන්විතය ලෙස දකුණේ සිංහල මාධ්‍ය මගින් උත්කර්ෂයට නංවන ලද 'අවසන් මානුෂික මෙහෙයුම' ට ගොදුරුව දහසක් වධ බන්ධන මැද ඉසෛ ප්‍රියා මරණයට පත්වන්නේ එයින් දිනක් ඇවෑමෙනි.

ඇතැම් විට දකුණේ මාධ්‍යයන්ට ජනවාරිය කළු එකක් වන්නේ මැයි මාසයේ මරා දැමුණු සියල්ලන්ම පාහේ දෙමළ මාධ්‍යකරුවන් නිසා විය හැකි ය. නමුත් 2004 සිට 2009 දක්වා වූ පස් වසර තුළ උදා වූ 'වෙසක් සමය'න්හි දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු යටතේ අවම වශයෙන් මාධ්‍ය සේවකයන් අට දෙනෙකු ඝාතනය වී යැයි නොතකා හැරීම යළි සළකා බැලිය යුත්තකි. පශ්චාත් යුද කාලීන වාර්ගික සංහිඳියාව පිළිබඳ දකුණේ මුළුදෙන ව්‍යාජ සාද සම්භාෂණ විසින් අමතක කොට දැමෙන බොහෝ දේ අතර, මෙසේ ඝාතනය වූවන්ට හිමි යුක්තිය පිළිබඳ ගැටළුව ද වේ.

කළු මැයි මාසය දෙමළුන්ගේ උරුමයක් සේ සළකන සම්ප්‍ර‍දාය නිමා වන්නේ කවදාද?

අතුල විතානගේ


© JDS