සිත් ගුහාවේ මිදෙන කවි තුහින: ‘අප දෙදෙන මැද මහ මුහුද’

සිත් ගුහාවේ මුළු වැදුණූ ඇතැම් ගුස් සිතිවිලි කළු අඳුර කපාගෙන එළිපෙහෙළි වන ඒ නිමේෂය කවියකුට නිසි ආරම්මණයක් සලසයි. එකී සිතිවිලි හෝ වේදයිතයන් ඒ අඳුරු ගුහාවෙන් නික්මී ඈත අහසේ පාවී අනන්තය තෙක් දිව යන අවස්ථා අත්විඳිය හැක්කේ ද කවියෙකුට පමණි. තව විටෙක ඒ අභ්‍යන්තර මනෝභාවයන් මල් රොනක තැවරී, ගිරි හිසෙක නැවතී, විල් දියෙහි කැලතී හෝ කටු අකුලක පැටලීගෙන අලූත් කවියකට පද පුරයි. මේ ඇතැම් හැඟීම් පොළොවේ මුල් ඇද පැළ වෙද්දී සිත් ගුහාවේම සිර වී කුමක්දෝ අනවරත අරගලයකට මැදි වෙන සිතිවිලි ද ඒ අතර වේ. ඒ කවියා සිය ඇත්මය හා ගැටෙන, ළත වෙන මොහොතයි. අපගේ ප‍්‍රමුඛ කවි ආරියවංශ රණවීරයන්ට අනුව එබඳු කවි ‘ගුහා කවි’ වේ. පොළොවේ පැළ වී වැඩි අතු ඉති විහිදා සමාජ, දේශපාලනික අරුත් දෙන කවි ‘එළිමහන් කවි’ ලෙස හැඳින් වේ.

මේ අනුව ‘අප දෙදෙන මැද මහ මුහුද’ නමින් එළිදැක්වී ඇති ඉසුරු චාමර සෝමවීරගේ තෙවන කාව්‍ය සංග‍්‍රහයේ එන කවි බහුතරය කවියාගේ සිත් ගුහාවේ සරන සිතිවිලිය. ඒ කවි, කවියාගේ ආත්මාවලෝකනයට වඩ වඩාත් නැඹුරු වූ කවි ලෙස හඳුනා ගත හැකි ය. කවියා සිය ඇතුළු හදවතටම නැමුණු එකී ‘අන්තර්වර්තී’ ගුණය ඉසුරුගේ කවියේ දැකිය හැකි මුඛ්‍ය ලක්ෂණය ද වේ. මෙබඳු කවි විඳ ගැනීම පමණටම විචාරය පහසු නොවන්නේ කවියාගේ අත්දැකීම හෙවත් එම වේදයිතයන් නිවැරදිව හඳුනා ගැනීම එක්තරා දුෂ්කර අභ්‍යාසයක් වන නිසා ය. එහෙත් කවි රස වින්දනයෙහි ඉසියුම් ඉවක් ඇත්තෙකුට කවියාගේ ආත්මය හා සමපාත වීමට මේ නම් කදිම අවස්ථාවක් වනු නියත ය. ඉසුරුගේ කවි අරභයා එය තවදුරටත් සුවිශේෂී වනුයේ කවියාගේ විෂය තේමාව හා වේදයිත වඩාත් සංකීර්ණ වන නිසා ය.

‘සුදු’ කාව්‍ය සංග‍්‍රහයෙන් පටන් ගෙන මේ තරුණ කවියා ආ මඟ නිහඬව විමසා බලන්නෙකුට අද මේ වන විට ඔහුගේ කවිය කිසියම් පැහැදිලි කඩ ඉමක් දක්වා ප‍්‍රවේශ වී ඇති බැව් පෙනේ. ඔහුගේ මේ නවතම කාව්‍ය කෘතිය ඊට හැම අතින්ම දෙස් දෙයි. ‘කොක් සුද පෙනෙන්නේ ඉගිලෙන කොට’යැයි  කීවාක් මෙන් ඉසුරු චාමරගේ කවියේ හැඩතල, අත්දැකීම් පරාසය, ස්වරය හෙවත් ‘තානය’ කැපී පෙනෙන්නේ මේ දැන් ය. ඔහුගේ පෞද්ගලික අනුභූතීන්, චිත්ත චෛතසික විපර්යාස, තර්ක විතර්ක, ස්වයං විර්ශන ඔස්සේ ඔහු දැනුවත්ම හෝ නොදැනුවත්වම කවියේ මං ඉම් වෙනස් වී තිබීම ඊට හේතුවයි. සියුම් නිර්මාණ භාවිතාව ඔස්සේ කවියා ළඟා වී ඇති ‘ආත්මාවේක්ෂණය’ නිසාම ඔහුගේ අභ්‍යාසය තවදුරටත් තීව‍්‍ර වී ඇත්තේ මේ කවි එකතුවෙනැයි හැඟේ. ‘මලක් කතා කරයි’ නමින් අපගේ අවධානයට ලක් වූ කවියාගේ කෙටි කතා නිර්මාණ ද ඊට නිසි පන්නරයක් ම වූ බැව් පැහැදිලි ය.

ඉසුරුගේ කවි අත්‍යන්තයෙන් ම ආත්ම බද්ධ ය. චිත්තාභ්‍යන්තරය කලඹා පාදා ගත් කවි ඉසුරෙන් ඔහු අපට සංග‍්‍රහ කරනුයේ ද කවි විඳින අප හා කිසියම් භාවාත්මක ගනුදෙනුවක පැටලීගෙන ය. සහෘද අභ්‍යන්තරය පවා කලඹා මතු කර ගත් යම් භාවමය කම්පනයකින් ඔහු කවි කියවන අප ද එකී කාව්‍ය ව්‍යායාමයට නතු කර ගනියි. එතැන් පටන් අපි එහි අක්මුල් සොයමින් කවියාගේ අභ්‍යන්තරයේ ගිලෙමින් කවියේ වැසි අරුත්, නෙක අරුත් සොයන්නෙමු. එනයින්ම මෙහි ඇතැම් කවි හාරා පාරා බැලීම කෙනෙකුට වෙහෙසකර ව්‍යායාමයක් විය හැකි ය. එහෙත් එකී ව්‍යායාමයම කවියාගේ ආත්ම ප‍්‍රකාශනය සොයා පාදා ගැනීමේ ඉසුයම් වින්දනයක්ම වේ. කවියා හා සහෘද කාව්‍ය රසිකයාගේ ලෝකය එකිනෙකට සමපාත වන ගැඹුරුම තැන මේයැයි අපි විශ්වාස කරමු. එහිදි අප අපට මතු නොව කවියට ද අවංක විය යුතු ය. විවෘත මනසින් කවියාගේ ආධ්‍යාත්මයට පිවිස කොන්දේසි විරහිතව කවියාගේ අත්දැකීම් හා බද්ධ වූ කල මෙ’කව් විඳ ගැනීම පහසු වේ. සාම්ප‍්‍රදායික සම්මතයෙන් හෝ සීමාවන්ගෙන් දුරස්ථව හුදෙක් තම සහෘදයාගේ හදවතට ළං වීම මේ කවි විඳ ගැනීමේ නිසි ප‍්‍රවේශය වේ. ඉසුරුගේ කවියෙන් නැගෙන හඬ සැබවින්ම නිර්ව්‍යාජය. අවිහිංසකය. නිහඬවම ඔහු කිසියම් විකල්ප විෂය තේමාවක් සිංහල කවියට විවර කර දී තිබේ. ඒ හුදෙක් ව්‍යාජ සම්මුතින් ඈඳා ගත් ව්‍යාපාරයක් හෝ ප‍්‍රවර්ධනයක් හෝ නොව, තම ආධ්‍යාත්මයෙන්ම නඟන හඬකි. සම්මත සමාජයේ අදටත් පිළිගැනීමට ලක් නොවන විශේෂ මානව සබඳතාවක හෙවත් සමලිංගික අනන්‍යතාවේ යථා ස්වරූපය කෙරෙහි ඉසුරු අපගේ අවධානය යොමු කරවයි. කවියා ආත්ම වංචාවකින් තොරව සිය කවිය හරහා ඒ ගැන කතා කරයි. අප සමඟ ජීවත් වන අනෙකා දෙස ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් බැලීමට අප පොළොඹවයි. ඔහු ඔහුගේ සියුම් කවිත්වය ඒ සඳහා නොමසුරුව කැප කරයි. ‘සුදු අක්කේ’, උස සුදු කොල්ලෙක්ට’, ‘හිතක් - සිරුරක් - රහසක්’ සහ ‘පොඩි හේරත්’ වැනි කවි බොහොමයක යට සැඟවුණූ ඒ මානුෂීය සබඳතා මෙන්ම සංකීර්ණ මනෝභාවයන් අපට නොවැටහෙනවාම නොවේ. පූර්ව විනිශ්චයන්ගෙන් තොරව අනෙකා දෙස දයාර්ද බැල්මක් හෙළන්නට කවියාට, කවි රසිකයාට හැකි විය යුතු ය. එසේනම් ඉසුරු චාමරගේ කවියෙන් නැගෙන මේ සංලාපය වඩාත් පුළුල් දැක්මෙන් විමසා බැලීම අපගේ කාර්යයකි.

"ආදරේ කියන්නේ කළුවර ද?
ආදරේ කියන්නේ සීතල ද?
ආදරේ කියන්නේ ලූණූ රහ ද?
කළුවරේ මිසක් එන්නම බැරිද?"
- (උස සුදු කොල්ලෙකුට)

රාගයෙන්, කායික බැඳීමෙන්, කඳුළෙන්, වේදනාවෙන් තොර ආදරයක් නොතිබිය හැකිදැයි මෙහිදී කවියා ප‍්‍රශ්න කරයි. මනුෂ්‍ය සබඳතා කවරාකාරදැයි කාටනම් නිශ්චය කළ හැකි ද? මානව සබඳතා කායික හා ආධ්‍යාත්මික වශයෙන් නිරාවරණය වන හැඟීම්, බැඳීම් සමුදායක සංකීර්ණ පටලැවිලි ය. ජීව විද්‍යාත්මකව හා මනෝ විද්‍යාත්මකව ‘ලිංගික අනන්‍යතාව’ පිළිබඳ ප‍්‍රශ්නයේදී එය නිවැරදිව වටහා ගැනීම දුෂ්කර බැවින් අපි හුදු ‘කළු - සුදු’ සම්මතයේම ගැලී එකි යථාර්ථය කුහක ලෙස මඟ හරිමු. එහෙත් මෙවන් අභ්‍යාසයක් තුළ අපේම තරුණ කවියෙකු අද ඒ වෙනුවෙන් නඟන ඉසියුම් හඬ, ධ්වනිය අප හදවත් පවා කම්පනයට ලක් කරමින් අප අපවම සියුම් තර්කනයකට හසු කරවයි. මෙබඳු සංකීර්ණ මානුෂීය ගැටලූ පිළිබඳ පුද්ගල බද්ධ නොවී සාධාරණව සිතා බැලීමට ඉසුරුගේ කවිය අද අප පොළඹවන ආකාරය මෙහිලා විචාරකයින්ගේ අවධානයට ලක් විය යුතු ය. කවියා ද කිසිදු පැකිලීමකින් තොරව සියුම් කාව්‍ය ව්‍යායාමයක පිහිටා ඒ වෙනුවෙන් නඟන හඬ මෙහිදී අපට ප‍්‍රතික්ෂේප කළ නොහැකි ය. මනුෂ්‍යයාගෙන් මනුෂ්‍යයාට, හදවතින් හදවතට වෙනස් වන මානව ගති සොබා ලක්ෂණ, ලිංගික ආශයන් හා වෙනත් අනන්‍යතා ගැඹුරින් විමසා බැලිය යුතු අතිශය සංකීර්ණ මෙන්ම අධිසංවේදී මානුෂීය ගැටලූ බැව් අප වටහා ගන්නේ කවදා ද? නොයෙක් නාමකරණයන් ඔස්සේ එබඳු පුද්ගලයින් හංවඩු ගසන අපේ සමාජයේ අද බොහොමයක් ලිංගික ගැටලූ, වාර්ගික අර්බුද මෙන්ම සමාජයම ගැටලූ උග‍්‍ර වී ඇත්තේ මේවාට නිසි තැනින්, නිසි ප‍්‍රවේශයකින් සංවේදී නොවීම නිසා නොවේ ද? ඒවා විශ්ලේෂණය විය යුත්තේ මනුෂ්‍යයා තවත් මානුෂීය හදවතකට, තවත් පුද්ගල අනන්‍යතාවකට ගරු කරන සංවේදී ප‍්‍රවේශයකිනැයි ඉසුරු අපට මතක් කර දෙයි. ඉසුරුගේ කාව්‍යමය ශක්‍යතා ඔස්සේ මේ පිළිබඳ ලියැවෙන කවියෙන් ඔහු අප භාවමය ප‍්‍රකම්පනයකට හසු කර ගන්නේ අමුතු ආයාසයකින්නම් නොවේ.

"සෙවණැලි සසල පටු මඟ
කර වටා අත දැමූ මිතුරෙකි
තවමත් රහ දැනෙන
මාරුවට කෑ දිවුල් ගැටයකි"
- (හිතක්, සිරුරක්, රහසක්)

කවියා නිරන්තරයෙන්ම හද පත්ළේ ඇනුණ උලක් ඇත්තෙකැයි යන කියුම කවි ලියන අප ප‍්‍රත්‍යක්ෂයෙන්ම දන්නා සත්‍යයකි.  

"අපේ ලේ නං නෙමේ ඔය
ගානවා දැලි පවුලේ නම්බුවෙ...”
උන් ඇන්න පොඩි කට්ට
හිතේ පතුලේ ඇනී
කහ සැරව එකතු වී
විෂර ගෙඩියක් නැගී"
- (හිතක්, සිරුරක්, රහසක්)

‘සුදු අක්කේ’ බඳු කවියක් සංක්ෂිප්තව ලියැවුණු, මැනැවින් රූපණය වූ තවත් වෙනස් අත්දැකීමකි. අසම්මත පෙමක් ගැන කිසිවක් සඳහන් නොකරන කවියා ‘කුසුම්සිරි අයියා’, ‘සුදු අක්කා’ සහ ‘කථකයා’ යන චරිත ත‍්‍රිත්වය එකිනෙකාට සම්බන්ධ වන ආකාරය ප‍්‍රබල ධ්වනියකින් රූපණය  කරයි.  

"අඩෝ තෝ මරනව’
කියා මට ගැහුවනං
ඒ තියා එකම එක
වචනෙකින් බැන්නනං
මේ තරං දුකක් නෑ"
- (සුදු අක්කා)

ඉසුරුගේ කවි අතර දෝලනය වන ආත්ම ප‍්‍රකාශනයෙන් ඔබ්බට ගිය ඔහුගේම සහජ කවිත්වයෙන් ඔප් නැංවුණු ‘පොඩි හේරත් වෙත’ නම් නිර්මාණයෙන් ධ්වනිත වන අර්ථය ද ප‍්‍රබල ය. එකම අත්දැකීම විවිධ ස්වරූපයෙන් ප‍්‍රකාශ වූ කවි කීපය අතර මේ කවිය විශේෂ වන හේතු කිහිපයකි. කවියේ ආකෘතිය, යොදා ගත් බස සහ සංඥා නාම, රුපක මෙන්ම කවියේ එන චරිත හා තානය ද නිසා මේ කවිය මේ පොතෙහි එන විශිෂ්ට ගණයේ කවියකි. අප නොදැනුවත්වම අප හදවත් එක තැන ගල් ගැසෙන ස්වරයක්, රිද්මයක් මේ කව යටින් ගලා යතැයි හැඟේ. අතීතය හා වර්තමානය අතර වචනයට නැඟිය නොහැකි චිත්ත චෛතසිකයට මැදි වෙන කවියේ කථකයා මෙ’කව තුළින් හුදු පුද්ගලානුභූතියෙන් ඔබ්බට ගිය උස් තැනෙකට යට කී සංකීර්ණ මානසිකත්වය ඔසවා තබයි. ‘කහටගස්දිගිලියේ පොඩි හේරත්’ගේ ඒ ලිපිය පවා අප හද අභ්‍යන්තරය අමතන සානුකම්පිත ස්වරයකි.

"මගෙන් උත්තර නැතත්
ලියනවා උඹ තාමත්
බලන්නෙම නෑ කියා හිතුවත්
බැලෙනවා උඹෙ ලියුං හේරත්"
- (පොඩි හේරත් වෙත)

කවියා කිසිදු ආයාසයකින් තොරව පද ගළපන ආකාරය ද මෙහිලා ඇගයිය යුතු ලක්ෂණයකි. ඉසුරු චාමර සෝමවීර තරුණ කවියා ඔහු අනෙකකු නොවී ඔහු ඔහුම වි ලියූ මේ කවි ඔහුගේම හද අභ්‍යන්තරයේ මිදුණු හිම කැටි මෙන් අප හද බිතු මත ද කැටි ගැසෙයි. පාවෙන අයිස් තට්ටුව යටින් ගැඹූරු මුහුදේ අප නොදකින අයිස් ස්ථර උණු වී දියව වැගිර යන්නාක් මෙන් ඉසුරුගේ කවියක අප නොදකින ඛේදනීය අත්දැකීම්, වේදනාත්මක හැඟීම්, ආත්ම සංවේදනා බොහෝ ය. කවියාගේ හද දවන ගිනි කන්ද මතු පිටින් පෙනෙන ‘හිම කන්දට’ වඩා දරුණු ය. එහෙත් ඉසුරුගේ මෙබඳු කවියක ඒ ගල් ගැසුණු රළු සීතල සේම දිය වී උණුව වැගිරෙන ගිනියම් උණුසුම ද සැඟවී තිබේ.  

"උඹ එවපු ඔක්කොම ලියුං ටික
කුණු ගොඩේ දවන්නං
ආයෙමත් ලියන්නට එපා මට
මං උඹට වඳින්නං"
- (පොඩි හේරත් වෙත)

කවියාට අතිශය සමීප පෞද්ගලික අත්දැකීම් පුද්ගලානුබද්ධ නොවී කවියේ ආත්මයට හානියක් නොවන සේ ගළපා ගනුයේ කෙසේදැයි යන්න කවි ලියන අප වැන්නවුන් වෙසෙසින් විමසා බැලිය යුතු කරුණෙකි. මෑත පළ වූ පොතක දෙකක ද, වැඩි ඉඩක් සහිත ඇතැම් පත්තර කවි පිටුවල ද පෞද්ගලික අනුභූතීන් අමු අමුවේ කවි ලෙස වමාරන තැන් අපි බොහෝ විට අත් වින්දෙමු. තම තමන්ගේ නොවැදගත් ආත්මාලාප,  ඕපාදූප හෝ සංවාද කවියැයි කියා පළ කරන කවීන්ට ඉසුරුගෙන් උගත හැකි වැදගත්ම පාඩම නම් එබඳු සමීප අත්දැකීම් වුව කවි බසෙක බහා පොදු අනුභූතියක් ලෙස හැඩ ගන්වා කවි ලෙස ඉදිරිපත් කරන්නට ඔහු පෑ නිසඟ ප‍්‍රතිභාවයි. මී විතෙන් මත් වූ මොහොතක කවට ළං කර ගත් මෙලෝ වැඩක් නැති කට ගැස්මක් සේ කවියැයි කියා ලියන පල් හෑලි, අමු ප‍්‍රලාප, සංලාපවලට වඩා ඉසුරුගේ මේ අවංක ප‍්‍රයත්නය තුළ ඔහුගේ ම ස්වාධීන ප‍්‍රකාශනයක්, පරිකල්පනයක් හා අභ්‍යාසයක් පෙනෙන්නට තිබීම සතුටකි. ‘මේවා කවි දැ’යි ප‍්‍රශ්න කරන්නෙකුට පවා ‘කුහක සදාචාරය’ පසෙක තබා මේ කවි, ‘කවි’ ලෙස විඳ ගන්නට ඉසුරු සලසන අවකාශයට ‘පොඩි හේරත් වෙත’ වැනි කවියක් වුව කදිම නිදසුනකි.

ඉසුරුගේ සිත් ගුහාවේ අඳුරු අහුමුළු තුළින් එබී පිටත එළිමහනේ පැළ වූ ඇතැම් කවි අතර ‘අප දෙදෙන මැද මහ මුහුද’ නම් කව ප‍්‍රශස්ත කවි ලකුණු රැගත් නිර්මාණයකැයි අපි සිතමු. ඔහුගේ අභ්‍යන්තර අරගලයෙන් ඔබ්බට ගිය මේ කවියේ ආකෘතිය, භාෂාව හා සංකල්ප රූප කවියේ නූතනම ලකුණු පෙන්වන බව අපගේ හැඟීමයි.

"මම
ගල් මල් අතර
නිල් රතු මාළු පීනන
පොඩි මුහුදකින් වට වුණ
පොල් ගස් කොදෙව්වේ
සුදුවට හිනා වෙන
ඔබේ කළු කොල්ලා මං
..........
ඔබ
මා නිවන දල්වන ළා නිල් ඇස්
අත ගා බලනු බැරි රන්වන් කෙස්
වැඩිපුර නොතේරෙන අමුතු බස්
ඔබය නිදි නැති මහ අහස හිස්"
- (අප දෙදෙන මැද මහ මුහුද)

පෙරදිග අපරදිග ලෝක දෙකක දෙපසට වි සිටින ඔහු සහ ඇය අතරමැද තිබෙන මහ මුහුද ගැන තවත් අටුවා ටිකා ටිප්පණි කවියකට කුමකටද? ඉන් නැගෙන ඉඟි අරුත්, ධ්වනිතාර්ථ විමසා බලා කවියේ විශේෂත්වය වටහා ගැනීම සහෘද - විචාරක දෙපාර්ශවයට හිමි කටයුත්තකි.  

‘මගේ අම්මා’, ‘තාත්තාට පඩි දාට’, ‘ජින්නෝ’, ‘වදන් නැති කවි’, ‘හතළිස් වියැති මනාලිය’ බඳු සෙසු කවි ද මේ කාව්‍ය කෘතියේ එන තවත් සුවිශේෂී කවි නිමැවුම් කිහිපයකි. ඉනිඳු ‘මගේ අම්මා’ කවි පෙළ අපගේ වැඩි අවධානයට ලක් විය යුතු කවියකි. කවියා සිය අනන්‍යතාව මොනවට කියා පාන මෙබඳු කවියකින් දෙකකින් වුව කවිය පමණක් නොව, කවියාට උරුම හැඩය සහ ස්වරය ද මැනවින් හඳුනා ගත හැකි ය. ‘මගේ අම්මා’ බඳු කවියක දී පවා ඉසුරු ‘රූපණය’ කවියේ ජීවය මතු කර ගැනීමේ ප‍්‍රබල උපක‍්‍රමයක් ලෙස යොදා ගනී.  

මෙනයින් ගත් කල ඉසුරු චාමරගේ මේ කවි ගොනුව කොයි ආකාරයෙන් ගත්ත ද අපගේ විචාරක්‍ෂියට යොමු විය යුතු කෘතියකි. මේ කාව්‍ය ව්‍යායාමයෙන් මතු වන තේමාත්මක විකල්පය, අනන්‍ය ස්වරය, අව්‍යාජත්වය අපට නොසලකා හැරිය නොහැකි ය. සිය හද තුළට නැමුණු ඇසින්ම කවියා ලොව දකින දයාර්ද මානසිකත්වය මේ කවි සිරුරු යට නොඅඩුව තැවරී තිබේ. හුදෙක් මතවාද වැපිරීමේ අරමුණින් නොව, සිය මනෝභාවයන්, චිත්ත චෛතසික ආරම්මණයන් හුදෙක් සිය කවියෙන්ම මුදා හැරිමට කවියා ගත් මඟ අප ඉවසීමෙන් විමසා බැලිය යුතු ය. දැන් දැන් එක පෙළට නිකුත් වන නවක කවි කිවිඳි පොත් මතු නොව, ප‍්‍රවීණයන්ගේ පතපොත පවා ප‍්‍රචාරයෙන් හෝ සම්මානාධ්‍යාශයෙන් හෝ එකිනෙකා පරයා තරඟයට වැටෙතත් ඉසුරු එබඳු ආයාසයකින් හෝ පෙර සූදානමකින් සිය කවි පොත සකස් කර නොමැත. ඉසුරු තමාට ලියැවුණු කවි ගොනු කර ඇත්තේ ද තවදුරටත් උහුලා සිටිනු බැරි බරක් බිමින් තබන්නාක් වැනි හැඟීමකින් යැයි පොත කියවන අපට ද හැඟේ.  

මේ කවිවල ආකෘතිය, බස හා විරිත ද උචිතාර්ථයෙන්ම ගැළපී ඇතැම් තැන යට කී රූපණයෙන් ඒ කවි මැනවින් ඉදිරිපත් වී තිබේ. ‘තාත්තාට පඩි දාට’, ‘මගේ අම්මා’, දෙදෙනෙක් දෙවිදිහක්’ වැනි කවියක ‘කවියේ රූපය’ ද කවියට ආලෝකයක්ම වනුයේ එබැවිනි.  

කවියාගේ කාව්‍යමය තේමා පුද්ගලානුභූතීය මත පදනම් වුව ද ඉන් මතු කරන ආත්ම සංලාපය අප විමසා බැලිය යුතු කිසියම් විකල්පයකි. එහෙත් කවියා එකම අත්දැකීම කවි කිහිපයකින් ප‍්‍රකාශ කිරීමට යාමේ දී ඔහු එකී විෂය සීමාව තුළ අනවශ්‍ය ලෙස සිර වූ බව අපගේ හැඟීමයි. ‘ආත්මාවේක්ෂණය’ තුළින් ‘අන්තරාවලෝකනය’ කළ යුතු මෙබඳු සංකීර්ණ අත්දැකීම් පමණට වඩා ප‍්‍රකාශ කරන්නට යෑමේදී කවියා මතු නොව, කවි කියවන පාඨක ප‍්‍රජාව ද ව්‍යාකූල විය හැකි ය. තවද සිය කවිත්වය විහිදුවා විවිධ අත්දැකීම් පරාසයන් ඔස්සේ වැඩි දුරක් ගමන් කිරිමට ඉඩ තිබූ දක්ෂ කවියෙකු එක තැන සිර වීම කවියා සිය අවකාශය සීමා කර ගැනීමකි. මේ නිසාම මේ කවි ගොනුවේ විවිධ අත්දැකීම් කරා යා හැකි මං ඉම් කවියාට අහිමි වී තිබේ. ඔහු ආත්ම කේන්ද්‍රීය වටපිටාවක සිය කවිකම් උරගා බලයි. ඇතැම් කවියක දෙකක සමාජමය ප‍්‍රතිවිරෝධතා ජනප‍්‍රිය ආගමික, සංස්කෘතික ආකල්ප කවියාට විෂය වී ඇතත් ඒ ආරේ කවි මං ඇහිරී ඇත්තේ කවියා සිය කවියේ පරම නිෂ්ටාව සිය ආත්මය ප‍්‍රකාශයට පත් කරනු පිණිස මෙහෙයවාලීම නිසා ය. මෙය කවියා සිතාමතා සැලසුම් නොකළ ද, පොතට කවි ගොනු වී ඇත්තේ ද ඒ අනුවම ය. එහෙත් මේ කවි හරහා කාව්‍ය රචකයාගේ ‘මානව ගුණය’ මෙන්ම තමා ජීවත් වන සමාජ සංස්කෘතික වටපිටාව කෙරෙහි ඔහු දක්වන ‘සූක්ෂ්මාත්මතාව’ නිතැතින්ම මතු වේ.

ඒ නිසාම මේ මෑත පළ වූ නවතම කවි පොත් අතර ‘අප දෙදෙන මැද මහ මුහුද’ සාහිත්‍යමය වශයෙන් පමණක් නොව, සමාජීය වශයෙන් ද වැදගත්, කාගේත් කතා බහට ලක් විය යුත, නව කවියට විකල්පමය මං ඉසව් විවර කළ ‘නූතනම කාව්‍ය සංග‍්‍රහයක්’ බැව් මෙහිලා අවධාරණය කරමි.☐

විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි


© JDS