තිස් වසක යුද්ධයේ 'අසම්පූර්ණ තෝම්බු' යළි පෙරළා බැලීම

තමන් විසින් 'ත්‍රස්ත ග්‍රහණයෙන්' මුදාගත්තේ යැයි  කියන 'ප්‍රාණ ඇපකරුවන්ට' ස්වකීය අත්දැකීම් පිළිබඳ කතා කරන්නට තහනමක් පනවා ඇති එකම 'ගැළවුම්කාර' රාජ්‍යය ඇතැම්විට ලංකාව විය හැකි ය. නමුත් සංහාරක යුද්ධයකින් දිවි ගළවාගත්, චිත්තවේගී ප්‍රකම්පනයට ගොදුරු වූ අයෙකුට කතා කිරීමට අවකාශ සැළසීම මූලික මනෝ චිකිත්සක ප්‍රතිකර්මයකි. යාපනය සරසවියේ ලලිත කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තාමෝදරම්පිල්ලෛ සනාදනන් විසින් 2011 දී සම්පාදනය කරන ලද  'අසම්පූර්ණ තෝම්බු' (The Incomplete Thombu) හුදු කලා ව්‍යාපෘතියකට එහා ගිය කාර්යයකි. මහජන ඉඩම් ලේඛනය සඳහා ලන්දේසි බසින් යෙදෙන 'තෝම්බු' වචනය ඇසුරින් නිලධාරීමය ලිපි ලේඛණ ගොණුවක් ලෙස බාහිරින් නිමවා ඇති සනාදනන්ගේ කෘතිය 1983 සට 2009 දක්වා දිවෙන දෙමළ බස කතා කරන ජනයාගේ අවතැන් ජීවිත පිටුපස කැකෑරෙන අහිමිවීම් පිළිබඳ සාමූහික සංවේගයේ සහ පුද්ගල ක්‍ෂතියේ හරස්කඩක් චිත්‍රණය කර පෙන්වයි. අවතැන් වූවන්ගේ ආඛ්‍යාන 80ක් සංගෘහිත කොට සම්පාදනය කරන හෙතෙම මිනිස් ස්මරණය සහ ගෘහ සැළසුම් එකිනෙක මත දෘෂ්‍යමය වශයෙන් අතිපිහිත කරමින් කියවන්නාගේ/නරඹන්නාගේ වික්‍ෂෝභය අවුළුවයි.

'අසම්පූර්ණ තෝම්බු' පදනම් කොටගෙන ආචාර්ය සනාදනන් සමග දෙමළ බසින් කරන ලද වීඩියෝ සාකච්ඡාවක් ඇසුරෙන් සංක්‍ෂිප්තව සිංහල බසින් සකසා ගත් පහත ලිපිය මුල් වරට ජූනි 17 වැනිදා போர் வடு உள்ளவர்களிடம் கதை கேட்பது குற்றமா? මැයෙන් maatram.org වෙබ් අඩවියෙහි පළ වූවකි.

පරිවර්තනය: ප්‍රියදර්ශිනී රත්නසාමි සහ අතුල විතානගේ


යුද්ධය නිමාවූ බව පැවසුවද උතුරු  නැගෙනහිර පළාත් තමත් පවතිනුයේ යුදමය වාතාවරණයක් යටතේ ය. නමුත් යුද්ධය පවතින්නේ වෙනත් ආකාරයකිනි. බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම, සෑම බිම් අඟලකම රජයේ හමුදා අණසක පැතිරීම ආදියත් සමග යුද්ධය තවමත් පවතින බව මගේ හැඟීම යි. එමෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට ද යුද්ධය නිමා වූ බවට හැගීමක් නොමැත.

යුද්ධය අවසන් වී ගෙවා දැමුණු වසර හයක කාලය තුළ කලා ක්‍ෂේත්‍රය තුළ බරපතල වෙනසක් දැක ගැනීමට නොහැකි තරම් ය. එහෙත් කලාව සම්බන්ධයෙන් නොයෙකුත් ක්‍රියාකාරකම් සිදුවෙමින් තිබේ. ඒවා මූලික වශයෙන් දෙයාකාරයක් ගනියි. පළමු වැන්න ලෙස දැක්විය හැක්කේ කෝවිල් වැනි ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පාරම්පරික සම්ප්‍රදායයන් සමග බැඳී සංවිධානය කෙරෙන උත්සව ආදියයි. ඒවා කලින් කල නොකඩවා පැවැත්වෙන අතර ජනතාව ද ඒවා සඳහා ඒකරාශි වනු දැකිය හැක. මේ මගින් යුද්ධයේ සාහසික අත්දැකීම්වලින් සිදුවූ සිත් වේදනාවන් යම්තාක් සමනය කරගැනීමට මෙන්ම හුදකලා නොවී ඒකරාශී වීමේ අවස්ථාවක් හිමි වේ. එහෙත් කලා ප්‍රකාශන ක්‍ෂේත්‍රය සම්බන්ධ ආයතන සහ අංශ තවමත් පවතිනුයේ හමුදා බලපෑම සහ ආණ්ඩුවේ  සෘජු අධීක්‍ෂණය යටතේ ය. එබැවින් නිදහස් ක්‍රියාකාරකම් වෙනුවෙන් තවමත් අවස්ථාව අහිමි කොට තිබේ. තිස් වසරක් පුරාවට රජය අප දෙස දැඩි පරීක්‍ෂාවෙන් සිටියේය. දැන් අපි විසින් අපිටම ස්වයංවාරණයක්  පනවා ගෙන සිටිමු. ඒ වාරණය නොකඩවාම පවතින්නකි. මේ හේතුවෙන්, ඉකුත් කාලය තුළ බරපතල වෙනසක් ඇති වූ  බවට පවසන්නේ නම් එය සත්‍යයෙන් තොර ය.

මුලතිවුහි ළමුන්

රජයේ පරීක්‍ෂාවට ලක් නොවුණු වෙනත් භාෂා වලින් ලියවුනු ඇතැම් පොත් හා ප්‍රකාශන නිකුත් වී තිබුණ ද ඒවා ජනතාව අතර ප්‍රචලිත නොවුණා මෙන්ම ප්‍රමාණවත් සාකච්ඡාවට ලක් වුයේ ද නැත. ඒ නිසාම, මේ වැනි දේ තුළින් යුද්ධයේ සාහසික බලපෑමට ලක්වූ ජනයාට සහනයක් ලැබී යැයි පැවසීම දුෂ්කර ය.

ළමයින් ගැන විශේෂ අධ්‍යාපන වැඩසටහන් වලදී සඳහන් කළ ද ළමයින්ට සෘජුව කථා කිරීමට අවස්ථාවක් ලබා දීම පැහැර හැර තිබේ. ඊට හේතු වී ඇත්තේ මෙවැනි වැඩසටහන් දියත් කරන රජයේ  හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේම න්‍යාය පත්‍ර මත බැවිනි. බොහෝ දුරට මෙහිදී  සිදු වනුයේ ළමයින්ගෙන් සාමාන්‍ය ලෙස කෙරෙන ප්‍රශ්න කිරීම් වැනි දේ වන අතර ඒවා එතරම් සාර්ථක ක්‍රම ලෙස දැක්විය නොහැක. ළමයින් හා සමාජය එක් කොට ඔවුන් යුද්ධයේ බලපෑමට ලක්වූ පිරිසක් ලෙස ක්‍රියාකාරකම් ගොඩනැගීමක් මෙම කිසිදු වැඩ සටහනක නොමැත. හැම බිම් අඟලකම හමුදාව සිය අණසක පතුරුවා ඇති බැවින් එවැනි වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යාමේ අවස්ථා ද විරල බව ඇත්තකි. නිදසුනක් ලෙස මුලතිව් හි  යුද්ධයේ බලපෑමට ලක් වූ ළමයින් සමග කිසිදු වැඩසටහනක් කිරීම දුෂ්කර වනුයේ ඒ පිළිබඳව තොරතුරු ක්‍ෂණිකව හමුදාව වෙත සැපයෙන බැවිනි. මේ නිසාම, ආර්ථික ලාභ අපේක්‍ෂාවෙන් තොරව, ස්වාධීනව ළමයින් පස් දෙනෙක් සමග හෝ වැඩ කිරීමේ හැකියාවක් ඇත්තේ නැත. එසේ උත්සාහ කළහොත්,  වැඩසටහන නිමා වන්නේ දෙපාර්ශවයටම ප්‍රශ්න ඇති කරමිනි.

කතාවලට සවන් දීම

පෞද්ගලික ආයතන හා රජය සමග වැඩ කිරීමේදී ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට එකඟවීම අනිවාර්ය වේ. මේ සම්බන්ධයෙන් මා මුහුණ පෑ පෞද්ගලික අත්දැකීම බොහෝ ය. මෙවැනි වැඩසටහන්වලදී යුද්ධයේ බල පෑමට ලක්වූවන් සමග ඔවුන්ගේ අත්දැකීම් සාකච්ඡා කිරීමේ පිළිවෙත බලධාරීන් අනුමත නොකරන්නකි. යුද්ධයෙන් බලපෑමෙන් මානසිකව ඇතිවූ තුවාල තව දුරටත් පෑරීමක් මේ මගින් සිදුවන බවත්, එවැනි තුවාලයක් නොමැති අයෙකුට වුවද මේ මගින් බලපෑමක් විය හැකි බවත් ඔවුහු තර්ක කරති.

උතුරු  නැගෙනහිර යුද්ධයේ බලපෑමෙන් උන් හිටි තැන අහිමිව සිටින දෙමළ සහ මුස්ලිම් 80 දෙනෙකුගේ අත්දැකීම් මම එකතු කර ගතිමි. මෙහිදී තම යුද අත්දැකීම් කතාවක් ලෙස කියන්නට අවකාශ ලැබීම ඔවුන්ට මානසික සහනයක් ගෙන දෙන කරුණක් විය. අවසානයේ සෑම කෙනෙක්ම කියා සිටියේ කිසිවෙක් තමන්ගේ කතාව ගැන විමසා නොමැති බව ය. යුද සමයේ ඔවුන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරද්දී  උස් හඩින් නැගුණු  වැළපුම්, ඉකි බිඳීම්, ක්‍ෂණිකවම නිහඬ වීම්, නොසන්සුන් වීම් වැනි දෑ මා තුළ ද ඇති කළේ ගැඹුරු කම්පනයකි. එහෙත් ඒ අත්දැකීම් සහිත කථාවලට සවන්දීම හැර ඊට විසඳුම් සෙවීම හෝ වන්දියක් යෝජනා කිරීම මගේ අරමුණ නොවීය. ඇත්තෙන්ම මෙහිදී සිදු කෙරුණේ ඔවුන් මුහුණ දුන් අත්දැකීම් මා හා හුවමාරු කරගැනීම පමණි. අවසානයේදී මා ඔවුන්ගෙන් සමාව ඇයද සිටියේ මෙවන් කුරිරු අත්දැකීම් යළි සිහිගැන්වීම ගැන හටගත් දොම්නසිනි. එහෙත් පෙරළා ඔවුන් කියා සිටියේ ඔවුන්ගේ කතා වලට ඇහුම්කන් දීමට කිසිවෙකු නොපැමිණි බව ය. මේ කතා වලට සවන් දීම අතිශයින් වැදගත් වේ. කලාව වෙනුවෙන් හෝ මේ විපතට පත් ජනයාගේ අත්දැකීම් අසා සිටීම මගින් ඔවුන්ගේ සිත සනසා අස්වසනු වස් යම් මැදිහත්වීමක් කිරීමට හැකිවීම ගැන මට ඇතිවන්නේ ආත්ම තෘප්තියකි.

'සාමය' සහ 'වෙනස'?

මා මගේ ප්‍රකාශනය තුළින් මේ පිළිබඳව සාකච්ජා කළත් ඒවා බොහෝ දුරට සීමා වුයේ බුද්ධිමතුන්ගේ කවයන් තුළ පමණි. සාමාන්‍ය ජනයා අතර ඒ පිළිබඳ මේ දක්වා කතිකාවක් නොවුණු අතර ඊට උනන්දු නොවුයේ ඒ මගින් බොහෝ ප්‍රශ්න වලට මුල පිරීමක් විය හැකි නිසා ය. මෙය රජයට හෝ කිසියම් පුද්ගල කණ්ඩායමකට චෝදනා එල්ල කිරීමේ අරමුණින් කරන ලද්දක් නොවේ. එය සාමන්‍යයෙන් තමන්ට සිදුවුණු දේ පිළිබඳව කථාවකි. තර්ජන වලට මුහුණ දීමට සිදුවීම්, විදේශයන් හි සිට පොත පත රැගෙන එද්දී මුහුණ දුන් ප්‍රශ්න, නිවසේ සුරතලේට ඇති කරනු ලැබූ බලු පැටියා අහිමි වීම, ආදරයෙන් ඇති දැඩි කළ ගසක් අහිමි වීම වැනි දේත් හා බැඳුණු කතාන්දර මා ලියූ පොතෙහි අඩංගු ය. එවැනි දේ පැවසීම පවා අද වන විට සැළකෙනුයේ බලවත් වරදක් ලෙස ය. එසේ නම් 'සාමය' - 'වෙනස' වැනි දේවල සැබෑ අර්ථය කුමක්ද? මේ පිළිබඳව සංවේදී නොවී සාමය ගැන කථා කිරීමේ හැකියාවක් පවතීද? මේ යුද අත්දැකීම් පිළිබඳව නිරන්තර කථා බහක් අවශ්‍ය වේ. සාපේක්‍ෂව නිදහසක් ලබා දී තිබුණ ද ඒ ඔස්සේ සමාජය තුළ යහපත් දෙයක් ක්‍රියාවට නැංවීමේ අවස්ථාව තිබේද යන්න ගැටලුවකි.

වෙනත් කෙනෙකුගේ අත්දැකීම් එකතු කර ඒවා අලෙවි කිරීම මට කළ නොහැකි දෙයකි. එහෙත් යුද්ධයේදී මෙතරම් සාහසික දේ සිදුව තිබේ යන්න පිළිබඳව කතිකාවක් ගොඩ නැගීම අපේ යුතුකමකි. මෙය ජනතාව අතරට රැගෙන යාම ඉතා වැදගත් වන අතර  ඒ සදහා දැනට ලැබී ඇති ඉඩ යොදා ගත යුතු ය.

යුද්ධයේ බලපෑමට ලක්වූවන්   දෙපිරිසකි. එක් පිරිසක් තමන් පිළිබඳව පැවසීමට දක්වන්නේ මැලිකමකි. යුද ගැටුම් උග්‍රව පැවති ප්‍රදේශවල ජනයා තවමත් දිවි ගෙවනුයේ රජයේ ආරක්‍ෂක අංශ වල සෘජු අධීක්‍ෂණය යටතේය. මේ නිසා ඔවුන්ට මතුවන ආරක්‍ෂක හේතු මත සත්‍ය පැවසීමටත්, ලිවීමටත් දක්වන්නේ අකමැත්තකි. එහෙත් ඇතැම් විට ලැබෙන සාකච්ඡා කිරීමේ අවකාශයන් තුළ ඔවුන් නිසඟයෙන්ම තම අත්දැකීම් නොවළහා ප්‍රකාශ කර තිබේ. එසේ අත්දැකීම් එක් කරද්දී ඔවුහු  වැළපෙමින්, තම කතාවේ අගක් හෝ මුලක් නොමැතිව පවසති. එය නියමිත ලෙස නොපිසින ලද වෑන්ජනයක් වැනි ය. නමුත් ඒ වේදනාවන්, හැඟීම් ඒඅයුරින්ම සමාජය වෙත ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැත. ඒ හැඟීම්බර ඇඬුම් හා වැළපුම් ඔවුන් තුළම ස්වයං හැසිරවීමකින් පසුව ජනතාව අතරට ගෙනයාමේ මට්ටමකට රැගෙන ආ හැකි ය. නමුත් ගැටළුව වන්නේ ඊට අවස්ථාව ලබා දී තිබේ ද යන්න ය‍.

විශ්ව විද්‍යාල හා ආයතන මටටමින් වැඩ කටයුතු කිරීමේදී  ඒවායේ බලධාරීන් දේශපාලන බලපෑමට යටත්ව වැඩ කරනු දක්නට ලැබේ. මේ වන විට සියළු දේ  කිරීමට සිදුව ඇත්තේ ඔවුන්ගේ කැමැත්තෙන් හා අපේ අකමැත්තෙනි. යුද්ධය නිමා වී ඇති මොහොතක යළිත් යුද්ධයේ අත්දැකීම් ගැන කථා කිරීම අවශ්‍ය ද යන්න මේ බලධාරීන් වෙතින් නිරන්තරයෙන්ම නැගෙන ප්‍රශ්නයකි. වසර හයක් යනු යුද්ධයේ අත්දැකීම්වලින් මුළුමනින්ම මිදෙන්නට ඉඩ ලැබෙන කාල පරාසයක් නොවේ. නමුත් අඛණ්ඩව මේ පිළිබඳව සිදු කෙරෙන කථිකාවක් තුළින් යළිත් එවන් දේ නොවීමට පසුබිම සකස් වනු ඇත. යුද්ධයේ සාහසික අත්දැකීම් වසන් කිරීමෙන් කිසිදු එලක් ඇතැයි මම නොසිතමි.☐

© JDS