‘The Thrill Is Gone’: රජ්ජුරුවෝ නික්ම ගියෝ

දින් මම ආරම්භයේදීම ‍මෙසේ පවසමි. ‘The Thrill Is Gone’. 

මන්දයත් රජ්ජුරුවන් නික්ම ගොස් ඇති බැවිනි.

නාඳුනන බරපතල රිද්මයක සැහැල්ලුවෙන්, සිත ලාලසාව රැඳවූ ඒ නාඳුනන මිනිසා ගැන, නන්නාඳුනන වේදනාවකින් හදවත පිරී යයි.  මනසේ නිනද නැඟෙන සකල තත් බිඳී යන්නේ වෙයි.  රජකුගේ මිය යාම කොයි කවරදාවත් මා සිත වේදනාවට පත් කර නැත. ඇතැම් රජකුගේ 'වැටීමෙන්' බොහෝ විට හිත කසලාශ්වාදයක ගිලී ගියා මිසෙක වේදනාවේ අහල ගං හතක ආසන්නයටවත් පැමිණියේ නැත. නමුත් මෙකී රජ්ජුරුවන්ගේ නික්ම යාම මා කාංසාවකට ඇද දමා ඇත.

ඔහු ‘රජ‘ වූයේ උප්පත්තියෙන්ම ය. ඒත් සමාජ පීඩක රාජ පෙළපතකින් නොවේ. මගේ වේදනාවෙහි ප්‍රස්තුත මිනිසා පැවත ආයේ, රාජධි-රාජ පීඩකයන්ගේ ගොදුරු බවට පත්වූ  King නම් ලත් අප්‍රිකානු වහල් පෙළපතිනි. ඇමෙරිකාවේ දකුණේ මිසිසිපි ඩෙල්ටාව ආශ්‍රයේ කපු වගා බිම් මත විලංගු ලෑ අප්‍රිකානු වහල්ලුන්ගේ අධ්‍යාත්මය පතුළතින් නැඟැ ආ බ්ලූස් සංගීත සම්ප්‍රදායේ පාරප්‍රාප්තිකර, රිලේ බී. කිංග් හෙවත් සුප්‍රකට බී.බී. කිංග් අනූවැනි වසර එළිපත්තේදී අපේ දෑස් සසලවා නැඟෙන මැජික් අතැඟිලි වලට ද, අපේ හදවත් ඉරා නැඟෙනා කටහඬ පෞරුෂයට ද සදාකාලික විශ්‍රාම සුව අත්පත් කරගනිමින් නික්ම ගොස් ඇත.

පුද්ගලිකව මා බ්ලූස් හා බැඳුණේ ඉස්කෝල සංස්කෘතියේ ඉංග්‍රිසි ගීත පමණක් විඳගත් අසූව දශකය අගභාගයේදී ය. අප අත්පත් කරගනිමින් තිබුණේ විසල් සම්ප්‍රදායයක්, ඉංග්‍රිසී බ්ලූස් දක්වා විකාශනය වී තිබුණු නිමේෂයක් බව මා එදා දැන සිටියේ නැත. එරික් ක්ලැප්ටන් සංගීත පෞරුෂය ඔස්සේ හදව‍තෙහි තැන්පත් වූ ඒ නිවුණු බ්ලූස් ගිටාර ස්වර, ඛේදවාචයන් ගහණ අතීතයක් වෙත පර්යාලෝකයක් එල්ල කරතැයි මා එ සමයෙහි හිතුවේ නැත. එරික් ක්ලැප්ටන්ට පවා අභාෂයක් වූ  බී.බී. කිංග් හමුවුණේ මෙකී සංගීත සරතැසේ අත්‍යවශ්‍ය  මුද්‍රික පානයක් ලෙසිනි.

නිස්සාර පත්තරකාර ජීවිතය ගෙවමින් සිටියදී හදවතින් අන්තරස්දාන වෙමින් තිබූ ගිටාර තත් බිඳුම් විටින් විට මෙනෙහි වන දෑ සිදු නොවුණා නොවේ.  2008 වසරේ පාන්දර ජාමයක මට, දුරකතන ඇමතුමක් ලැබිණ. නදීක ගුරුගේ මිත්‍ර සංගීත නිර්මාපකයාගෙනි.  වහ වහා කැඳවීමකි. ඒ මොහොතේ ඔහු ලැගැවුන් ගජමිත්‍ර අවකාශයට මා පිවිසෙන විට පාන්දර තුන පමණ වන්නට ඇත. පාන අනුපාන සියල්ල පරයා නැඟැ ආයේ ඔහු විසින් නිර්මිත "ලුහුබඳින්න මා ලුහුබඳින්න" ගීතය යි. මා ලියූ වචන අතර වූ අධ්‍යාත්මික වේදනාව ඔහු සොයා පාදාගෙන තිබිණ. ඔහු ගිටාරයේ තත් බිඳීම අරඹත්ම, ඒ වේදනාවේ සුගම බ්ලූස් ස්වර සංගත නැඟැ ආයේ ය. මා යළිත් බ්ලූස් දැහැනට කැඳවමිනි.  ඉදින් "මම" මා සොයමින් ලැගැ සිටිනා විප්‍රවාසී නිවස්කඩට බී.බී. කිංග් කැඳවූ වාර අපමණ ය. 

බී.බී. කිංග් වරක් මෙසේ පැවසී ය."මට කවමදාවක් ඕනි වුණේ නෑ වෙනත් බ්ලූස් ගායකයෙක්ගෙ අනුකාරකයෙක් වෙන්න. ඔවුන් වාදනය කරන හැටි අහන්න, දකින්න මං කැමැති වෙන්න ඇති, නමුත් මට ඕනි වුණේ වෙන කවුරුත් නොවී 'මං' වෙන්න විතරයි. කිහිපදෙනෙක් හිටියා මටත් ඒ වගේ වාදනය කරන්න පුළුවන් නම් කියල මට ම හිතුණු. නමුත් මං ඒ උත්සාහය ගනිද්දි, ඒක හරි ගියේ නෑ."

කෙසේ හෝ අවසන ඔහු ඔහුව සොයා ගත් බව පිළිගැනීම සමස්ත සමාජයට සිදුවිණ. එසේ පිළිගන්නට මැලිවන්නේ තමා සොයාගැනීමට අල්ප මාත්‍ර ශ්‍රමයකුදු නො වපුරන කුසීතයකු පමණි.

වහල්භාවය හා බ්ලූස් සන්දර්භය

"අපේ සුදු ඥාතීන් අපෙන් ගලාගෙන එන බ්ලූස් විඳිනවා. නමුත් ඒ අය දන්නෑ ඒක එතෙන්ට ආවෙ කොහොමද කියන එක."

ක්ලැසික් බ්ලූස් සම්ප්‍රදායේ රාජිනිය ලෙස සැළකෙන මා රෙයිනීගේ  ඉහත අදහස මේ මොහොතේ බ්ලූස් ලෙසින් හෝ එහි අභාෂය මත පැනැ නැඟුණු සකල සංගීත සම්ප්‍රදායයන්ට අදාළ යැයි මට සිතේ. කෙසේවුවද, බ්ලූස් සංගීත සම්ප්‍රදායේ ආරම්භය ගැන විවිධ මත ඇත. නිදසුනක් ලෙස, ලෝක සංගීත ඉතිහාසය ගැන පර්යේෂණ කළ ලේඛකයකු වූ ජෝසෆ් මැච්ලිස්ට අනුව බ්ලූස් වනාහි ඇමරිකානු දේශජ සංගීත හා පද්‍ය මූලයන් සහිත සංගීත සම්ප්‍රදායයකි. එසේම ඇමෙරිකානූ ජන සංගීත පර්යේෂකයකු, මානව ගන්ධර්වවේදියකු මෙන්ම සංගීතඥයතු වූ ඇලන් ලොමැක්ස් පවසන්නේ ඔහුගේ පර්යේෂණ අතරතුරදී වයඹදිග අප්‍රිකාවේ, ඇතැම් තැන්වලින් අතීත බ්ලූස් මූලයන් මුණගැසුණු බවයි.  මෙම මත කෙසේ නමුත් පොදුවේ ලෝකයට විවර වුණු බ්ලූස් පදනම වහල් වෙළෙඳාම හා කළු ජාතික මිනිසාගේ අනන්ත ඛේදවාචකයන් හරහා ගොඩ නැගි ඇති බව පිළිගැනෙයි. බ්ලූස් වාග් විද්‍යාත්මක වර නැඟෙන්නේ විශාදකර සහ ආතතිකර හැගුම් ගෙන දෙන අර්ථයෙනි. මට අනුව බ්ලූස් යනු, ඉහත හැඟුමන් සංගීතාධ්‍යාත්මයෙන් මේච්චල් කර ගැනීමයි.

දස දහස් සංඛ්‍යාත අප්‍රිකානු වහලුන් ඔවුන්ගේ 'නව ලෝකයට' රැගෙන ආ ඇමෙරිකානුවා මිනිස් ශ්‍රමය අත්‍යවශ්‍ය යැයි ඔවුන් සැළකූ වැවිලි බිම් අතරට ඔවුන් නැව් ගණනින් අත්හැර දැමීය.  17වැනි සියවසේ මුල ඇරඹී 19 වැනි සියවස අග වකවානුව තෙක් දසදහස් සංඛ්‍යාත නීග්‍රෝ ප්‍රජාවක් මෙසේ වහල්ලුන් ලෙස රැගෙන එන්නට ඇත. කෙබඳු පීඩනයක වෙලා තබමින් ඔවුන් වෙනත් භූමියක හිටවන්නට තැත් කළද, ජීවිතය විනිවිඳිමින් ආ සංගීතය ඔවුන්ගේ සන්තානයෙන් වියෝ වූයේ නැත. ඉදින් වහල් ජීවිතය තුළ කටහඬ නාදයක්ව නැඟැ එන්නට විය.

වැඩ බිම් හා වගා බිම්  අධීක්‍ෂකයෝ ඇතැම් විට වහල් ශ්‍රමිකයන්ට ගැයීමට ඉඩ දුන්හ. ඔවුන් සිතුවේ ඉන් වහල්ලුන් පෙලන ඒකාකාරී නීරසභාවය තරමක් හෝ තුනී වීමට ඉඩ හැරිය හැකි බවත්, එනයින් වැඩවේගය රඳවා ගත හැකි බවත් ය.  වහල් "ශ්‍රම ගී" (work songs) බිහිවන්නේ මෙවන් සන්දර්භයක ය. නමුත් වහල් ශ්‍රමිකයෝ මෙය ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කර ගැනීමේ සන්නිවේදන විධික්‍රමයක් ලෙස භාවිතා කරන්නට වූහ. වහල් ශ්‍රම බිම් තුළ ඔවුනොවුන් හා වචනයක් හෝ  කතා කළ හැකි අන් මඟක් නොවුණි. මෙම සම්ප්‍රදාය හරහා පොදුවේ වහල් ශ්‍රමිකයෝ උපක්‍රමිකව තත්කාලීන සිදුවීම්, වෘත්තාන්ත මෙන්ම දේව වචනයද බෙදා හදා ගත්හ. ඇමෙරිකාව පුරා ස්ථානගත කර තිබූ කළු ජාතික ප්‍රජාව ආලෝලනය කර වූ "ශ්‍රම ගී" බ්ලූස් බවට රූපාන්තරණය වෙමින්  සමස්ථ ඇෆ්‍රො-ඇමෙරිකානු සංගීතයටද පදනම් වූ බව පිළිගත යුතු ය.

"ඕසෙ දැමිල්ල" ද (A shout හෝ  ring shout) සංගීතමය පසුබිමක් සහිතව වහල්ලුන් අතර පැවැති අධ්‍යාත්මික භාව ප්‍රකාශනයකි. වහල් ශ්‍රම බිම් වලන පැන නැගුණ "ඕසෙ" ක්‍රමයෙන් පල්ලිය විසින් වහලුන් දෙවියන් වෙතට ළඟා කරනු ලැබීමේ උපක්‍රමයක් ලෙස භාවිත කරන්නට පටන් ගැනුණි. (ලංකාවේ මාදැල් කර්මාන්තයේ ගැයෙන "අම්බාව" පන්නයේ ගැයීමකි.) කකුල් අද්දමින්, පොළවේ ගටමින්, අත්පොළසන් නඟමින් වෘත්තාකාරව චලනය වන මිනිස් වැලකට ගයන්නට සැලැස්සීම සාමූහික විඥානයකට පදනම වැටෙතැයි විශ්වාස කළ පල්ලිය එය උපක්‍රමික ප්‍රවේශයක් කරගත්තේ ය.

මෙවන් මූලාශ්‍ර මත පැනැ නැඟී "ගොස්පල් ගී" ද (Gospel Song),   "නීග්‍රෝ අධ්‍යාත්මික ගී" ද (Negro spirituals)  ඔස්සේ විකාශනය වූ බ්ලූස් මූලිකවම කටහඬ නොහොත් ගැයීම කේන්ද්‍ර කරගෙන පැන නැඟුණු බව කීම තර්කානුකූල ය. ඒත් කිසිවිටෙකත් ඒ ගැන, වහල් ශ්‍රමය හා බැඳුණු වේදනාබර ඉතිහාසයෙන් වියුක්ත කර කතා කළ නොහැකි ය.

බ්ලූස් ඇරඹුම් සමයේ සුප්‍රකට බ්ලූස් ගායකයකු මෙන්ම ගිටාර වාදකයකු වූ සොන් හවුස් ලෙස නම් දැරූ එඩ්වඩ් ජේම්ස් හවුස් මෙසේ පවසයි. "අපි දෛනිකව වැවිලිබිම්වල, ගොවිබ්ම්වල, වැඩබිම්වල ගායනය කළා. ඒවා ගායනාම නෙමෙයි, හඬ ගෑම් වගේ දේවල්. නමුත් අපි ප්‍රතිනිර්මාණය කළේ අපි අත්විඳිමින් උන්නු ජීවිතය. මං හිතන්නෙ එතන තමයි බ්ලූස් පැන නැඟුණ තැන".

නිල් වර්ණය බොහෝ විට වේදනාව සහ පීඩනය නියෝජනය කරයි.  එසේම ඇතැම් තැනක හුදෙකලාභාවය මෙන්ම කාංසාව සංකේතවත් කරයි. මුල් කාලීන බ්ලූස් ගේය පද විමසා බලද්දී පැහැදිලවම පෙනෙන්නේ ඒවායේ ආත්මය ලෙස පවතින්නේ කාංසාව, මනෝ ආතුරභාවය, හුදෙකලාව, ආර්ථික පීඩනය මෙන්ම මේ සියල්ල හා සබඳුණු "ප්‍රේමය හා විරහවයි". ඇතැම් විටෙක ඒවා සමාජ අසාධාරණය, අසමානතාව, දේශපාලන මුග්ධභාවයට එරෙහි නිර්දය විවේචනයක් දක්වා ම විහිදෙන හැටි පෙනේ.

විසිවැනි සියවසේ ඇමරිකානු ජනප්‍රිය සංගීතය පිළිබඳ පර්යේෂණ කරමින් ඒ ගැන ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ ආර්නෝල්ඩ් ෂෝ  ඔහුගේ "අධ්‍යාත්මීය ලෝකය"නම් සුප්‍රකට කෘතියේ මෙසේ ලියයි. "...කෙසේ වෙතත් බ්ලූස් විග්‍රහකෙරෙන්නේ ගෙයක් දොරක් නැති, සල්ලි නැති, ආදරය නැති, ආත්ම ගරුත්වය හා අනන්‍යතාව අහිම කරනු ලැබූ මිනිසුන්ගේ අධ්‍යාත්මික ප්‍රකාශනයක් විදිහට. නමුත් අපට පේනවා මේ සියල්ල අහිමි වුණත් ඔවුන් තුළ ප්‍රාර්ථනාවන් අහිමි වෙලා නෑ. ඔවුන් වේදනාබර සහ උකටලී වෙන්න පුළුවන් නමුත් ඔවුන් තුළ වන විනෝදය අහිමි වෙලා නෑ. ඔවුන් ඉන්නෙ ඉච්ඡා භංගත්වයෙන් වෙන්න පුළුවන්, නමුත් එතන අපේක්‍ෂාව නැති වෙලා නෑ. අපේක්‍ෂා ඵල නොදැරීමෙන් ඔවුන් අපේක්‍ෂා භංගත්වයට පත් වෙලා ඉන්න පුළුවන්, නමුත් අධිෂ්ඨානය සහ ධෛර්යය නැතිවෙලා නෑ. එතන අඛන්ඩ පීඩනය තියෙනවා, නමුත් ඔවුන්ගේ දරාගැනීමේ හයිය නැතිවෙලා නෑ..."

ජීවිතයෙන් පැනැ නැඟුණු සංගීතය

රිලේ බී. කිංග් යනු සශ්‍රීක මිසිසිපි ඩෙල්ටාවේ කපු වැවිලි වපසරියක, අඳ ගොවි පන්නයේ එහෙත් ධෛර්යවන්ත වැවිලි ශ්‍රමිකයන් වූ ඇල්බට් සහ නෝරා නම් වන යුවලගේ සුසංයෝගයේ දරුවෙකු විය. ඔහු උපන්නේ ඇමරිකාව දකුණේ මිසිසිපි ඩෙල්ටාවේ ඉන්දියානෝලා නම් වූ කුඩා නගරය අසබඩ ඉට්ටා බෙනා ගම්මානයේ ය. දෙමාපිය ප්‍රේමය බිඳවැටෙන විට රිලේ කිංග්ගේ වයස  අවුරුදු හතරකි.  කිංග්ගේ ජීවිතය ඉනික්බිති දලු ලා වැඩුණේ ඔහුගේ අත්තම්මා වූ එල්නෝරාගේ සෙවනැල්ල යට ය. ඒත් ගැටවර වියට එළැඹුණ ඔහුට වඩාත් බලපෑ ගුරුවරයා වූ ලූතර් හෙන්සන් ඔහුට මුණගැසෙන්නේ තම ඉස්කෝලෙටම අනුබද්ධ වූ එල්ක්හොන් බැප්ටිස්ට් පල්ලිය හෙවනේ දී ය. බුකර් ටී. වොෂින්ටන්, ෆ්‍රෙඩරික් ඩග්ලස්, මාරි ජේන් මැක්ලෙඔඩ් ආදී කළු ජාතික වීර චරිත, කිංගේ මනසට පිවිසෙන්නේ ගුරුවර හෙන්සන්ගේ ඇසුරෙනි. ඔහු මෙසේ උකහා ගත් පුරුෂාර්ථ ජීවිතය පුරා රඳවා ගැනීමට උත්සුක විය.

දැඩි දේව භක්තික නෝරා සහ එල්නෝරා සමඟ ගීතිකා පුරා කරක් ගැසූ රිලේගේ අධ්‍යාත්මය, ගිටාරයේ රිද්මයේ ගිලී ගියේ පල්ලි පරිශ්‍රයේදී ය. ආචි ෆෙයාර් නම් වූ ගිටාර් වාදකයා කුඩා රිලේ කෙරෙහි වූ නාදමය බලපෑම අපිරිමිත විය. රිලේ හට ස්වර සංගත අතර අතැඟිලි රැගෙන යන්නට පුරුදු කළ ගුරුවරයා වූයේ මෙකී ආචි ෆෙයාරුවන් ය. පල්ලි පරිශ්‍රයේ අවකාශය තැනෙමින් තිබුණේ අනාගතයේ බිහිවන්නට නියමිත ගිටාර වාදන අධ්‍යාත්මික දේශනාකරුවෙකු වෙත ය. නමුත් සමස්ථ මිසිසිපි ඩෙල්ටාව විකසිත වෙමින් තිබුණේ බ්ලූස් රිද්මය මත ය. ලෝක ප්‍රජාවගේ වාසනාවට ඉන් රිලේ ගළවා ගැනීමට තරම් අධ්‍යාත්මික විමුක්ති මාර්ගය ශක්තිමත් වූයේ නැත. රිලේගේ මව - නෝරා- වයස අවුරුදු විසිපහක් තරම් තරුණ වයසින්ම ජීවිතයෙන් සමුගැනීම දස හැවිරිදි වියටවත් නොඑළඹී සිටි රිලේගේ ජීවිතයට දැඩි ලෙස බලපෑ අතර එනිසාවෙන් ම සමාජය කෙරෙන් නැඟ ආ සංගීතය සමඟ ඔහු ඒකාත්මික කරලන්නට සමත් විය. ඩොලර් පහළොවකට මිළ වූ ඔහුගේ පළමු ගිටාරය  සියතට ලැබුණේ මේ අතරතුර ය.  තවත් වසර පහක ඇවෑමෙන් ඔහුගේ ස්නේහයේ භෞතික පදනම වූ එල්නෝරාගේ නික්ම යාම ගැටවර රිලේ හුදෙකලාවේ පතුළතට ඇද දැමීය. එනමුත් ආත්තම්මාගේ කුඩා ගෙපැලේම ජීවිතය දිගහැරලීමට තදින් තීන්දු කළ දහහතර හැවිරිදි වූ අනාගත බ්ලූස්වරයා කපු වැවිල්ලේ ශ්‍රමික බවෙහි ම ගැලුණද එහි අල්ප ආර්ථිකලාභය ජීවිතය පවත්වා ගන්නට තරම් නොවුණි. ගත හැකි එකම තීන්දුව වූයේ නොකැමැත්ත පයින් පාගාගෙන ලෙක්සිංග්ටන්හි සිටි තාත්තා වෙත යාම ය. නමුත් අධ්‍යාත්මික වේදනාවක් බවට පෙරලුණු කිල්මයිකල් ජීවිතයට යළි හැරී යාම ඔහුගේ ප්‍රාර්ථනය විය. ඉදින්, තාත්තාගේ ආශිර්වාදය ද, අනුග්‍රහය ද ඇතුව ඔහු යළි ගමරට බලා ආයේ ය. නවසිය  හතලිස් තුනේ වසන්තය වන විට ඔහු එක විට විශාල වැඩ කොටසක් තමන් වෙත පවරා ගත් අප්‍රතිහත ධෛර්යයෙන් යුතු තරුණයකු බවට රූපාන්තරණය වෙමින් සිටියේ ය. බීර්කෙට් නම් වූ ඥාති සහෝදරයා සමඟ ඔහුගේ කුඩා කාර් රථයේ නැඟි ඉන්දියානෝලා නගරයේ කරක්ගසන්නටත්, සගයන් දෙදෙනෙකු සමඟ එකතු වී "ද ෆේමස් සෙන්ට් ජෝන්ස් ගොස්පල් සිංගර්ස්" නම් "ගොස්පල්ස්"  කණ්ඩායම තනාගන්නටත්, ඉන්දියානෝලා වීදි අතර බ්ලූස් ගයමින් සැරිසරන්නටත් පටන් ගත් රිලේ කිංග් ඊට සමාන්තරව ට්‍රැක්ටර් රියදුරෙක් ලෙස වැඩ කරන්නටත් පටන් ගත්තේ ය. එහෙත් බ්ලූස් වෙනුවෙන්ම හා එහිම බැඳෙමින් රිදුම් දෙන්නට වූ රිලේ කිංග්ගේ අධ්‍යාත්මය බ්ලූස් වලින්ම මිස අන් යමකින් සුවපත් කරන්නට නොහැකි බව ඔහු ප්‍රත්‍යක්ෂ කරගත්තේ ය.

රිලේ කිංග්ගේ ඒකායන ආරම්මනය වූයේ ස්වකීය ඥාතිවරයකු වූ ප්‍රකට බ්ලූස් ගායක බුක්කා වයිට් සොයා යාමයි. තීන්දුවකට එළැඹිණ. ඔහු මෙම්ෆිස් බලා ගිය ගමන අපතේ ගියේ නැත. අවසන බුක්කා හුණගැසුණු බැවිනි. සහජයෙන් හා ඉවෙන් ගිටාරය වයමින් ගැයූ රිලේ කිංග් හට කලාවක් ලෙස බ්ලූස් ප්‍රගුණ කරගන්නට බුක්කා විසින් පදනම දැමුණි. අද අප අත්විඳින බී.බී. කිංග් බ්ලූස් සම්ප්‍රදානය ගොඩනැඟුණේ මෙම පදනම මත ඔහු පවා පිළිගනී. King නමින් වූ පෙළපත් නාමයේ උරුමය යථාර්ථයක් කරලූ  ‘‘King of the Blues’’ නාමය ගොඩ නැඟුණු වේදනාබර කේවල ඈත අතීතයේ සාරාර්ථයත්,

ඔහු මෙකී අතීතය මෙසේ ගොනු කරයි.  "මං ඉපදුණේ වැවිලි බිමක. කිසිම දෙයක් හොඳින් සිද්ධවුණා යැයි කියන්න අමාරුයි. ඇත්තටම, අපිට කිසිම සල්ලියක් තිබුණෙ නෑ. නමුත් හොඳවෙලාවට මං වැඩිහිටි වෙනකල් 'දුප්පත්' කියන වචනෙ ගැන හිතලා තිබුණෙ නෑ."

"ලුසිල්" නම් වූ පියාසලන ප්‍රේමය

කිංග් අතේ වූයේ පියාසලන ගිටාරයකි.  බරැති අතැඟිලි සැහැල්ලුවෙන් එහි ගෙල මතත්, තත් අතරේත් එකෙල මෙකෙල වූයේ අදහාගන්නටත් බැරි ලෙසිනි.  අවසන ඔහු අත වූයේ සුප්‍රකට Gibson සන්නාහ නාමයෙන් නිමැවුණු සුවිශේෂ ගිටාරයකි.   පියාසලන ගිටාරයකට තවදුරටත් අජීවී වස්තුවක් ලෙස ඉන්නට ඉඩ හැරීමට පුළුවන්ද?   එය තවදුරටත්.... කෙසේවත්......අජීවී 'භාණ්ඩයක්' වූයේ නැත.  "එය", 'Lucille' නම් වූ "ඇය" බවට පත් කරගත් කිංග් ඇය ඔහුගේ සදාතනික ප්‍රේමනීය සහකාරිය කර ගත්තේ ය.

"ස්ත්‍රීන් ඈත් වෙලා යන්න පුළුවන්. ඒත් ලුසිල් කිසිදාක මාව දාලා යන්නෙ නෑ." යි ඔහු සැහැල්ලුවෙන් කියයි. සුපුරුදු උත්ප්‍රාසී වචන වලිනි.  පියාසලන සිනහවකිනි. එකී අර්ථය ස්වකීය ජීවිතය තුළම නින්නද නැඟුණක්ද?

ඔහුට ලුසිල් මුණ ගැහුණු හැකි අතිශයින් දීර්ග කතාන්තරයක් වන් ගීතයෙන් ඔහු සහෘදයන් වන අප අතරට ගෙන එයි. මෙකී විශ්ව ප්‍රකට ගියේ නම ‘Lucille’ම ය. නිරංහංකාර රිද්මයක ඇදී යන බ්ලූස් තත්පිරිමැදුම අතරේ කිංග්, ලුසිල් ගැන කතාව කියයි. නමුත් ඔහු ගීතය පටන් ගන්නේ මෙසේ අප අවුලුවමිනි.

ඔබ අසන ඒ හඬ නැඟෙන්නේ
මා ගිටාරෙනි, 'ලුසිල්'එහි නම
ලුසිල් පිළිබඳ බොහෝ උමතුයි මා........

කුමන සන්නාහ නාමය යටතේ නිමැවුණද, කාල වර්ණයෙන්  දිදුළන අනන්‍යතාව ගිටාරය මත්තෙහි ද රඳවා ගැනීමට ඔහුට හැකි විය. එකී අනන්‍යතාවය රැගත් ලුසිල් පිළිබඳ කතාන්තරයේ ඇත්තේ,  පුරාවෘත්තයක බඳු වූ වේදනාබර චමත්කාරයකි.

1949 යි. ආර්කන්සාස් ජනපදේ ට්විස්ට් හි වූ නිශාචරයින්ගේ සමාජ ශාලාවක​ බ්ලූස් වෙනුවෙන් ඕනෑම මොහොතක අවකාශ තිබිණ. බී.බී. එහි ගැයී ය. උමතු සීත සමයෙහි සමාජශාලා නර්ථනාවකාශය මධ්‍යයේ තැබූ බැරලයක අඩක් වන්නට භූමිතෙල් පුරවා ගිනි ඇවිලවීම උණුසුම ලැබීමේ මඟ එකම විය. සියල්ලන් සංගීතයේ උමතුව රඟන්නට වන්නේ මෙම ගින්දරාශ්වාදය මැදි කරගනිමිනි. නමුත් ඒ නිශ්චිත රාත්‍රියේදී ප්‍රේමාතුරයන් දෙදෙනෙක් ගුටි කෙලගන්නට පටන් ගත්තේ කිසිවෙකුත් නොසිතූ මොහොතකය. කාටවත් අතපොවන්නට ඉඩක් නොතබා එකකු ගැසූ පහරකින් විසිවි ගිය අනෙකා ගිනි ඇවිලෙන භූමිතෙල් බැරලය මත පතබෑවුණි.  තෙල් පිරවූ බැරලය පෙරළිණ. ඉන් ඇතිවූ සන්තෑසිය ගිනි ඇවිලී පැතිරී යාමයි. ගඟක් ගලන්නාසේ දැල්වී ආ ගිනි ජාලාවන්ගෙන් බේරි ගත් සියල්ලෝ එළියට පැන ගත්හ. එසේ එළියට පැනගත් බී.බී.ට  එක් වරම  සිහිපත් වූයේ ඔහුගේ ගිටාරයයි. ඔහු ධෛර්යය වඩවාගෙන ගින්න අතරින් ගොස් ගිටාරය අතට ගන්නා විට ඔහු වටා ගින්දර ය. නමුත් ගින්දර යටපත් කළ නොහැකි වූ ගිටාරය හා වන බැඳීම ඔහුව රැක ගත්තේ ය. පසු දින උදැසන ඔහුට ප්‍රේමාතුරයන්ගේ ගැටුමේ මූලය හමුවිය. ඒ ස්ත්‍රියකි. ඇය ලුසිල් නම් වූවා ය. ගින්නෙන් මුදා ගැනුණු ගිටාරය සුරුවමක් බවට පත් වෙතැයි නොදැනම ඔහු එය ‘ලුසිල්‘ ලෙස නම් කළේ යළි එවන් තකතීරුකමක් නම් නොකරන්නේ යැයි තමන්ටම පිළින දෙමිනි. ඉනික්බිති බී.බී. වරින් වර ගිටාරය මාරු කළද ඒ සියල්ලක්ම සෑම ගිටාරයම ලුසිල් වූයේ ය.

බී.බී.ගේ කටහඬ හා ‘ලුසිල්‘ගේ පියාසලන නාදය අතර වූයේ එකක් අනෙකින් වෙන් කළ නොහෙන ඓන්ද්‍රීයභාවයකි. බ්ලූස්වරයකු වශයෙන් මානව කටහඬේ තථ්‍යභාවය උත්කර්ෂයට නැඟෙන හැටි අපි බී.බී.වෙතින් දුටුවෙමු. ඒත් ඔහුම කියනා ලෙස ‘‘මම කටහඬින් ගැයීම නතර කරන මොහොතෙදිම ‘ලුසිල්‘ ගයන්න පටන් ගන්නවා‘‘ යන්න පරම ඇත්තකි. 

ඇත්තනේම ඒ වනාහී විශ්මිත පියාසැලීමකි. කෙතෙක් විඳගත්තද අවසන, විඳ අවසන් නොකෙරෙන භාවයන් ඔහු ඉතිරිකර තබයි. යළිත් ඒ වෙත පිවිසෙන්නට ය. 

බීට්ල්ස්ට් සමඟින් බිඳී ගිය අවදියේ ජෝන් ලෙනන් සිදුකළ ප්‍රකට රෝලින්ස්ටෝන් සංවාදයේදී මාධ්‍යකරුවා ලෙනන්ගේ වාදන හැකියාව ගැන ඔහුගෙන් ප්‍රශ්න කරයි. ඔහුගේ නිරහංකාර පි‍ළිතුර මත අවංකත්වය දිදුළයි. රෝලිංග්ස්ටෝන් ප්‍රශ්නයට පිවිසෙන්නේ ‘ඔබ ගිටාර් වාදකයෙක් විදිහට කොතැනද ඔබව ස්ථානගත කරගන්නෙ?‘‘ යැයි අසමිනි. ලෙනන් පිළිතුරට පිවිසෙන්නේ ''මං තාක්‍ෂණිකව එතරම් හොඳ නෑ. නමුත් මට පුළුවන් ගිටාරෙ හැමින්ණෙන්න සසලකරන්න, මොරගස්සන්න.'' කියමිනි. නමුත් ඔහු යළිත් එම ප්‍රශ්නයට ම පිවිසෙන්නට වෙනස් ප්‍රවේශයක් තනා ගනියි. මෙලෙසිනි.  ''මගේ හිතේ එක පැත්තකින් කියනවා,ඔව්, ඇත්තෙන්ම මට පුළුවන් වාදනය කරන්න කියල. මොකද ඔබ දන්නවා, මට පර්වතයක් වුණත් සසල කරවන්න පුලුවන් බව. නමුත් මගෙ හිත තවත් පැත්තකින් කියනවා  "මට බී.බී. කිංග් වගේ වාදනය කරන්න පුළුවන් නම්..." කියන ප්‍රාර්ථනය. ඔබ මාව බී.බී. කිංග් එක්ක වාදනයට අතෑරියොත් මට මාවම විකාරයක් වගේ දැනේවි.''

බ්ලූස් යනු වේදනාව විතරද?

බී.බී.ගේ හෘදයාංගම කටහඩ ඇත්තෙන්ම ප්‍රාකෘතයි. ප්‍රකෘතිකරයි. ස්වභාවීයයි.​ එනිසාම නෛසර්ගිකයි. එබැවින්ම අවංකයි. සැබැවින්ම අවංකයි. බොහෝ ගායකයෝ, වාදකයෝ, සංගීතඥයෝ, පර්යේෂකයෝ, ලේඛකයෝ, මාධ්‍යකාරයෝ විටින් විට බී.බී. ගැන බොහෝ දේ පවසා ඇත්තා හ. දශක නමයක් පුරා දිගහුරුණු ඒ අපූර්ව ජීවිතය, ජීවිතයේ සෞන්දර්යය, ජීවිතයේ උත්ප්‍රාසය සැකෙවින් ගොනු කළ නොහැකි ය. ඔහු ගයන විට මෙන්ම, වයන විටද ඒ මුහුණ අප්‍රමාණ හැඟුම් කැටි කර පෙන්වයි. ඔහු කිසිවකු සමඟ සංවාද කිරීමේදී මෙන්ම, සංවාදයන්හි අඩංගුවේද ගැඹුරුතර ජීවන දෘෂ්ඨියක් ප්‍රකට කරවයි.

"එක අතකින් බ්ලූස් කියන්නෙ අවනම්බුවට හා නින්දාවට එරෙහිව නැඟුණු භාව ප්‍රකාශනයක්" වරක් කිංග් එසේ පැවසූවේ ය. ඒත් ඔහු කිසිවිටෙකත් බ්ලූස් යන්න වේදනාත්මකභාවය ප්‍රකාශ කිරීමේ සංගීතමය ප්‍රකාශනයක් ලෙස පමණක්  තහවුරු කරන්නට වෙර දැරුවේ නැත. එ පමණක් නොව, එය එසේ නොවන බව මතවාදීව තහවුරු කරන්නට වෙර දැරුයේ ය. ගිටාර් ඩොට් කොම් සමඟ පැවැත් වූ සංවාදයකදී සුපුරුදු උත්ප්‍රාසය කැටුව ඔහු මෙසේ පවසයි.

ගිටා ඩොට් කොම්- බ්ලූස් වාදනයේ මොකක් හරි සැඟවුණු රහසක් තියෙනවද?

බී.බී. කිංග් - පුහුණු වීම. අනිත් ඕනෑම ආකාරයක සංගීතයක් වගේම. ඔබට එය හොඳින් කළයුතු නම් පුහුණු විය යුතුයි.

ගිටා ඩොට් කොම්- බ්ලූස් සංගීතය කියන්නේ නිසැකවම වේදනාව මුසුවුණු සංගීතයක්. එහෙම නේද?

බී.බී. කිංග් - ඔබට ශ්‍රවණය කරන්න ඕනි වේදනාව නම්, ඔබට විඳගන්න ඕනි වේදනාව නම් ඕනෑම සංගීතයක් තුළින් වේදනාව ඇහිඳගන්න පුළුවන්. එහිම විලෝමය ලෙස ඔබේ උවමනාව සංගීතය තුළින් සංතුෂ්ඨිය අහුලගන්න එක නම්, ඒකත් ඒ සංගීතය තුළින්ම ශ්‍රවනය කරන්න - විඳගන්න පුළුවන්. බ්ලූස් සංගීතය ඇරඹුණේ වහල්ලුන්ගෙන්, ඒ හින්දා හැමෝම හිතනවා ඒ සංගීතය තුළ අවශ්‍යයෙන්ම තියෙන්නෙ වේදනාව විතරයි කියලා. නමුත් ඒ ඇතැම් අතීත වහල්ලු පවා ඒ සංගීතයත් එක්ක විනෝදයත් භුක්ති වින්ඳා.

ගිටා ඩොට් කොම් - ඒ කියන්නෙ මේ වාදන අවශ්‍යයෙන්ම වේදනාත්මක විය යුතු නෑ?

බී.බී. කිංන්ග් - ඔව්, නිසැකවම. ඔබ මා වාදනය කරනවා අහලා නැද්ද?

ගිටා ඩොට් කොම්- මං මේ ප්‍රශ්න කිරීමක් කරන්නෙ...

බී.බී.  කිංග්- (සිනහසෙයි) හරි.හරි. ඔබ ඔය ප්‍රශ්නෙ අහන්නෑ,මං වාදනය කරනවා අහල තියෙනවනම්.

ගිටා ඩොට් කොම්- මං අහලා දැකලා තියෙනවා ඔබ වාදනය කරනවා

බී.බී. කිංග්- එහෙනම් ඔබ දන්නවා මං වාදනය කරන හැම දේ තුළම වේදනාව නෑ කියලා

ගිටා ඩොට් කොම් - ඔබ මොනවද කරන්නෙ බ්ලූස් වාදනය නොකරන වෙලාවල?

බී.බී. කිංග්- ඔබ වගේ මිනිස්සු එක්ක (මිනිස්සුන්ට) කතා කරනවා. (සිනහසෙයි)

මම මෙසේ ආරම්භයම අවසානය කර ගනිමි.  ‘The Thrill Is Gone’. 

ඉදින් මිත්‍රවරුනි! සමස්ත ලෝකය පිළිබඳවම වූ සදය උපහාසය කැටි කරගත් සිනහවෙන් ම නික්ම ගොස් ඇත්තේ බ්ලූස් බෝයි කිංග් නම් ලත් ඒ සුන්දර බ්ලූස්මන්වරයා ය.☐

මංජුල වෙඩිවර්ධන


© JDS