මධුවිතක් වන්නට ආශා උපද්දන නිරාෂගේ ‘සුදුකත’

වියෙක් යැයි නම් කළ හැකි කවර පංචස්කන්ධයක් පිළිගත්තේ වුව නොපිළිගත්තේ වුව කවියෝ වනාහී පට්ට සටකපට්ටෝ ය. දඩ කෙළියේද දූ කෙළියේද දක්ෂයෝ ය. මධු ගුදමකට ගෙල දී ධෛර්යය පුප්පාගෙන සිටින විටෙක කෙලින්ම කියන්නට ගට ආවා මෙන් සිංහලෙන්ම කියමි. සැබැවින්ම කවියෝ වනාහී ‘අම්බ ගේම්කාරයෝ’ ය.

ඉස්තරම්ම රතු වයින් නිපදවෙන භූමි වපසරියක කරක්ගසන්නේ වුව මම මෙතෙක් ඉස්තරම් ම රතුවයින් නම් තොලගා නොමැත. ඒත් විප්‍රවාසී මිනිසුන්ට මධුවිත අත්හැරිය හැකි ද? ප්‍රංශුවෝ එය නොදන්නාහුද? දන්නාහු ය. ඔවුහු අපටද ගැලපෙන වයින් මවති. ඉදින් මොන වයින් වුණත් අපට නම් ඉස්තරම් ය.

අතේ ඇති බෝදෝ විතෙන් හිත මුදෝ ගන්නේ මොකටද? සුළඟක් හමයි. මා අතේ ඇති පොතේ පිටු පෙරලෙයි.

සුළං හමන්නේ සුසුදු වටොරෙහි හැපෙමිනි.

සුළඟින් එසැවී ආ මේපල් පතක් පොත මැද පිටුවක නතර වේ. මම එය පොත් සලකුණක් ලෙස තබා ගොස් රතු වයින් බෝතලය ගෙන ළඟින් තබා ගමි. දැන් ඉතින් නැඟිට යා නොහැකි ය. පොත් ලකුණ අතට ගෙන එකී පිටුවට ඇස පොවමි.

පුටු කකුල් අතරින් රිංගා
යට සායවල් අස්සෙන් එබෙමින
සුදු කකුල් වල තැවරී
හීන් හීගඩු නංවන
දඟකාර මඳ සුළඟ

(සුදුකතක් හා මදු විතක් - පිටුව 53)

මෙන්න මේ සුළඟ කැටුව එන්නේ නිරාෂගේ ප්‍රකෘතිමය අධ්‍යාත්මික ආවේශය බව මම ආරම්භයේදීම පවසමි. නමුත් අනුක්‍රමයෙන් කවිය පිවිසෙන්නේ කවියාගේ මැඩ ගත් චිත්ත සන්තානයේ සාටෝපකාරී භාවිතය පිළිබිඹු කරනු පිණිස ය. වෘත්තීමය ජීවිතය, මැද පාංතික ඕලාරික අනන්‍යතාව, කුටුම්භීය සිපිරි වේදනාව ඈ වූ බාහිර ඇවතුම් පැවතුම් විසින් හික්මනු ලැබූ කාව්‍යාධ්‍යාත්මයක සත්තාව මෙතරම් රමණීය ලෙස පිළිබිඹු කෙරෙන කවක් කෘතියෙහි නාමකරණය ඉසිලීම අතිශයින් වැදගත් ප්‍රවේශයකි. ඉදින් ඇත්ත ආශාවට තරවටු කරමින් වේවැල අතින් ගෙන ඔහු ඉදිරියට පිවිසෙන්නේ සුසාදිත ජීවන විලාසිතාවයි. මහත් ආයාසකරව කපා ඔපමට්ටම් කළ ‘පිළිවෙලයි’. එය නිශ්චිතව දනවන්නට ඔහුට අනායසකර භාවිතයක් ඇත. කපා ඔප මට්ටම් කළ සුගම කවිය යි. එය සාටෝපයෙන් තොර ය. එනමුත් එය සාඩම්බරීය වෙයි. කවියා, අර තරම් නොහික්මුණු සෙල්ලක්කාර සුළඟ මෙසේ අණවයි.

වෙන වැඩක් නැත්නම්
පිසදානවද අප අවට
මේපල් පතින් හැඩිවුණ
මෑ කැමති නෑ ඕවට

(එම)

කවියකු වීමට පෙරුම් පුරන නිදහස්කාමී මිනිසකුගේ අභ්‍යන්තරික අධ්‍යාත්මික අරගලය අනන්තකර හැඟුම් දනවන මීවිතකට කැටිකළ කව වන්නේ කෘතියට ශීර්ෂය සපයන මේකී කවියයි. මෙකී කවිය සමස්ත කෘතියේම කේන්ද්‍රය බවට පත් කෙරෙනුයේ අතිශයින් සවිඥානිකව බව මම ඔබට යළි පවසමි. මෙය සහමුලින්ම නිරාෂගේ දැනුවත් ප්‍රවේශයකි. කවිය වනාහී අත්‍යන්තයෙන්ම ආත්ම ප්‍රකාශන මාධ්‍යයක් බව මම අදහන්නේ වෙමි. කිසියම් ප්‍රස්තුතයක්, වස්තුවක්, ප්ලොටයක් කිසියම් කවියකු අතපත් වන්නේ ම ඔහුගේ අධ්‍යාත්මය යම් පමණකට හෝ හොළවන්නට එකී ප්ලොටය සමත් වන්නේ නම් පමණි. එකී සෙළවීම අන් සන්තානයක් තුළ ප්‍රක්ෂේපණය කරන්නට ඔහු හෝ ඇය උත්සුක වන්නේ මෙනිසාය. ප්‍රස්තුත කවිය ‘නිරාෂගේ සමස්තය’ පිළිබිඹු කරන කැටපතක් බවට පත්වන්නේ එනිසා ය.

බලන්න! මේ උපචාරානුකූල හෙවත් ෆෝමල් හමුවීම තුළ කවියා විඳින වේදනාව. ඉන්ෆෝමල් හෙවත් අනූපචාරාත්මකවූත්, අනාකෘතිකවූත් ජීවිතයක් ඉල්ලා සිටින කාව්‍යාත්මයකට මෙම ආකෘතික වූ නිමේශ මොන තරම් කරදරකාරීද?

ඉස්තරම් රතු වයින් පමණද
තොල් තෙමාලන්නට නියමිත

(එම)

අතීත සුරංගනා කතා විසින් මනසේ ශේෂ කැරුණු හිස් අවකාශ, භෞතික ලෙසම පිරෙමින් පවතින ඔස්ට්‍රේලියානු මොහොත, බිම පෙරළගන්නට තරම් හිතෙන ‘ස්නෝ වයිට්’ පන්නයේ සුද්දියක හා මේපල් පත් ඇදහැලෙන එළිමහන් අවන්හල් මේසයක දෙපස හිඳිමින් සියලු හැඟුම් මැඩගෙන කුරුමිට්ටකු සේ විඳවන විඳවිල්ල පිස්සු හැදෙන සුළු ය. හිත සනසා ගත හැකි එකම මඟ වන්නේ, මේසය මත අවුළුපතක් වේශයෙන් ඇති ඔලිව් තැටියේ වන ඔලිව් ගෙඩියක හික්මුණු කහට රස ගෙන එන සියුම් මිහිරියාව විනිවිදිමින් අතීතයේ කෑ වෙරළු ගෙඩියක නොහික්මුණු ඇඹුලට මනසින් ඉව ඇල්ලීම පමණකි.

නමුත් අතීතය ‍ළඟ ළඟම වර්තමානය තුළ ප්‍රතිනිර්මාණය විය හැකි බව නොහැඟවෙන්නේ ද? ඒ වනාහී කවියාගේ තථ්‍ය ලෝකයයි. උපවිඥානය තුළ හික්මවනු ලැබූ අවිඥානයයි. කෙසේ වුවද කවියා අවසානයේ විසඳා ගත යුතු ගැටළුවක් සහෘදයාට අභිමුඛ කරයි. කවීන් වනාහි ගේම්කාරයන් බව මා කලින්ම කීයේ මෙවැනි හිස් අවකාශ තැබීමට ඔවුන් දක්වන ආසක්තභාවය නිසා ය. නිරාෂ සහෘදයා අල්ලා හොලවන්නේ මෙලෙසිනි.

ඒ වුණත් මම
අවන්හල ළඟ පහන් කනුවට
කියන්නම් කෝ ඇස්වහන්නට
බමන දෑසින් තවත් ලංවී
මගේ ඇස් වල කවි හොයනකොට
උහුලන්න බැරි එකම දේ මට
දැනී නොදැනී මාව රිදවන
ලැවැන්දර මල් සුවඳ පමණිය....!

(එම)

සුද්දිය පෙරළා ගැනීමට ප්‍රවේශයක් හදා ගන්නට බැරිකමක් නැත. ලැවැන්දර සුවඳම ඊට මඟ සකසයි. එසේ නම් ලැවැන්දර සුවඳ ඔහු රිදවන්නේ ඇයි? නිරාෂගේ ගේම මතුවන්නේ මෙන්න මෙයාකරව ය.

ඉදින් අප කවියේ සමස්තාර්ථයට මෙන්ම කවියාගේ සමස්තාර්ථයට ළං වන්නට නම් ලැවැන්දර සුවඳ කවියෙන් ලිහා බැලිය යුතු ය.

බොහෝ සංකේතාර්ථ අතරින් එක දෙකක් පමණක් ගෙන මම අනවසරයෙන් මේ කවිය තුළ රඳවමි. අතීතය පුරාම ලැවැන්දර සුවඳ ගැල්වුණ මුඛ්‍ය කාරණාව වූයේ විරුද්ධ ලිංගිකාකර්ෂණයයි. සුද්දිය කෙරෙන් එසේ හමන සුවඳක් ඇය ඉදිරිපිට සිටින්නා බාරගත යුත්තේ කෙසේද?

ඒත් කවියා පීඩා විඳින්නේ එය ඉක්මවා යන වෙනත් සංකේත අර්ථයකිනි. ඒ පාරිශුද්ධභාවය පිළිබඳ විචිකිච්චාවයි. මහද්වීපයක් තුළ ස්ථානගත වුණු කුඩා මේසයකදී වුව අප කවියාගේ කොදෙව් මනස ගිගුම් දෙන්නට අරගනී. පුනරුද සමයේ බඹසර රකිනු ලැබීමේ සුගන්ධ සංකේතය වූයේ ලැවැන්දර බව ඔහු දනී. ලැවැන්දරයන්, කන්‍ය මරියාවන්ගේ පහසට කැමැත්තේ මෙකී පදනමිනි. එබැවින්ම කන්‍යාපටලය පෙරටු කොටගෙන නිර්මලත්වය හා ශ්‍රැද්ධාවද ලැවැන්දර සුවඳ කැටුව එයි. මෙවන් මොහොතක ‘මානව ප්‍රකෘතිය’ කෙතරම් බරපතල මානසික අරගලයකට නතුවන්නේදැයි මෙනෙහි කරලමින්, ලැවැන්දර සුවඳ නැහැපුඩු හරහා ගලන්නට සලස්සන කවියා සහෘද ලෝකය ඥානනය කරයි.

මධු ලෝලී කවි සිත

නිරාෂ කොදෙව්වක සිට විතැන් වන්නේ එකවිට රටකට සහ මහද්වීපයකට ය. චිත්ත සන්තානය මිහිකෙරෙන තාක් ඇවිද යාමට විප්‍රවාසයට අවකාශ ඇති රටවල මාවත් සපයා දී ඇත. එවන් මාවත් ඇසට පෙන්නේ නැති නම් සොයා පහදා ගත යුතු ය. විප්‍රවාසියා මායාවට ඇදවැටුණු විගසම ස්වකීය විතැන් ජීවිතය ගෙන ගොස් හිටවන්නේ තුංමංසලක් මධ්‍යයේය. කොදෙව් ජීවිතයේ බැමි ලිහා ගන්නට ලෝකයට පපුව විවර කරන්නන්ට සිදුවන්නේ කවර හෝ නන්නාඳුනන පොළොවක ඇති මෙකී තුංමං හන්දියේ ය. විතැන් වූවන්ගෙන් අතලොස්සක් හැරුණු විට අන් සියල්ලන්ටම පොදු මෙකී යථාර්ථය පිළිගන්නට ඇතැමෙකු මැලි වන්නට පිළිවන. එහි අවුලක් නැත. එය ශුද්ධවූ අයිතියක් ලෙස සලකන්න.

මගේ ප්‍රවාදය තුළ විවර වන මායාමය මාවත් තුන මෙ බඳු ය. පළමුවැන්න ‘සුරාසොඬ’ මාවතයි. ලංකාවේ සිටියදී අප ‘රටබීම’ ලෙස හැඳින්වූ සියල්ල මාවතේ දෙපස ගොඩගසා ඇත. දෙවැන්න ‘නුරාසොඬ’ මාවතයි. රතු වීදියකි. තමන් කැමති වස්තුව, පොදු වස්තුවක් ලෙස හෝ පුද්ගලික වස්තුවක් ලෙස හෝ පෙනුණද ගැලවීමක් නම් නැත. තුන්වැන්න ‘ජරාසොඬ’ මාවතයි. අපි ජරාව කියන්නේ සල්ලි වලට ය. සෙසු මාවත් දෙකට සාපේක්ෂව බරපතලම මර උගුල් ඇත්තේ මෙකී මාවත මැද මෙන්ම දෙපස ය. සියලු පුරුෂාර්ථ කෙළවර වන මඟ මෙයයි.

අපේ කවියා විතැන් ජීවිතයේ මායාමය මාවත ලෙස තෝරා ගත්තේ සුරාලෝලී මාවතයි. ඇල්කොහොල් සෞන්දර්යයේ අතරංව සිටි කවියා එකී අතීත ප්‍රේමය අතිශයින් රමණීය කාව්‍යාලංකාර වලින් සරසයි. පොත පුරා පලින් පල කර්ණරසායනීය ‘මධු බඳුන් එකිනෙක ගැටෙන හඬ’ ඇසේ.

මධු විතක් පිදුවා තමයි
නමුදු ඒ හිතකින් ම මැයි
රිදී - පෑරී ඉසියුම් කවි සිත
බීර පෙණ සේ උතුරන්න
මධු විතක් පිදුවා තමයි.

(මධු විත - පිට 93)

අදින දුම් උගුරක් පාසා
පපුව කලතා හද දවන
අරින බෝතලයක් ගානේ
ඇහේ රතවී නුඹ මැවෙන...

(පසෙක ලූ කවිය - පිට 75)

හිස් අහසෙ තරු නිවුණු රැයකි
ලිස්සගෙන ආ පුරුදු රුවකි
දිස්වුණේ අත රැඳුණු විතකි
විස්කි මදයෙන් සැලෙන තොලකි...

(අමුතු මිතුරෙක් - පිට 92)

හිස් විතට කවි ටිකක් වත්කරන්
මුව විටෙහි සිහිලසෙක හාදුවෙන්
දුරුත්තේ හීතලක
උණුහුමට කෙටිම මඟ සොයන්නම්...

(දිවි මහරු සතුට - පිට 71 )

තැන තැන තැබෑරුම් වල
ගී නදක් වී හදෙහි රිදවුම
ටෙකිලා විතෙන් ඇහැරී
හරවෙ නැටුමක් නැටුණිද...?

(ෆ්‍රීඩා - පිට 95)

පුද්ගලිකව මට නම් නිරාෂගේ ‘සුදුකත’ මධුවිතක්ව දියැවී යන්නට තරම් ආශා උපද්දයි. ඒ ඔහුගේ සාඩම්බරීය බස නිසා ය. ඔහු කවියක් තුළ බස සකසන්නේ ජීවිතකාලයක් පුරා දැකගන්නට පෙරුම් පුරමින් සිටි අලුත් මිනිසකුට පැරණි වළව්වකට එන්නට ඇරියුම් කර ඔහුට සලකන්නට ඇල්කොහොල්මය කනප්පුවක් සකස් කරලන තරම් සංයමයකිනි. කනප්පුවේ වන්නේ කකුල් තුනක් බැවින් හරි පරිස්සම් ය. කැටයම් දැමූ කනප්පුවෙන් ඇහැට පෙනෙන්නේ වක්ව නැමී පොළවට හා වුණු අලංකාරී කකුල් තුන ය. වෘත්තාකාර පෘෂ්ඨය වසා එල්ලී හැලෙන සිත්තම් මුද්‍රිත පටු මේස රෙද්දකි. ඒ මත වන විස්කි බෝතලයේ මූඩිය ලිහා බෝතලය පාමුල තබා ඇත. ක්ලබ් හස්ති සෝඩා බෝතලය බුබුළමින් තිබේ. පසෙක කැබැලිති අයිස් පිරවූ බඳුන ය. අලුත් මිනිසා කැමති අවුළු පත් නම් යහමිනි. දිලිහෙන්නට මදින ලද බරසාර නූස් වීදුරු දෙක අත ළඟ ය. දැන් ඉතින් තියෙන්නේ අරඹන්නට ය. විස්කි වඩිය විඳගන්නටත්, වෙරි වන්නටත් අවශ්‍ය සියල්ල අඩුම කුඩුම තිබේ. නමුත් මධු පානය හරවත්ම ප්‍රවේශය ගන්නේ කොතැනකදැයි නිස්කාරණේ බීමෙන් නැති කළ අවදියට බැණ අඬගසන නිරාෂට යළි කිව යුතු නොවේ. නිරාෂගේ කවියත් අන්න එහෙම ය. සියල්ල අතර හිස්කමක් ඇත. මා තර්ක කරන්නේ මේකී හිස්කම නිරාෂගේ අතිශය දැනුවත් ප්‍රවේශයක් බව ය.

වවුලා සහ සඳ

‘මධු’ නිදසුන් වෙන වෙනම විග්‍රහ කිරීමට නොවෙහෙසෙමි. මොකටද? ඔබේ වෙරිවුණු හදවතේ රිද්මය බිඳ දැමීම ආනන්තරීය පාපකර්මය විය හැකි ය. එබැවින් මමකවියාගේ විසංවාදී හදවත දිගහැරුමට සොඳුරු නිමැවුම් දෙකක් ලුහුබැඳ යන්නට තීන්දු කරමි. මෙකී නිදසුන් දෙකම ඔහු කවිය තුළ පණ පිහිටුවයි. අඩුවක් නැත.

වෘත්තීමය කවීන් බිහි කෙරෙන සමාජයක් ‘ජමේට’ බිහිවේ යැයි හිතාගන්නට බැරි පොළොවක බිහිවන කවීන්ට කවිය වනාහී පිටස්තර දෙයක් මිස ජීවිතයේ අනවරත ප්‍රකාශනය නොවේ. කවියකු විය යුතු මිනිසකුව, වෙනත් වෘත්තීමය ජීවිතයක් විසින් මේච්චල් කරන කල්හි බිහිවන කවියේ ස්වභාවයෙන්ම පිහිටන විසංවාදීබව නිරාෂගේ කවියේ හරස්කඩ වන්නේ යැයි මා ප්‍රවාදගත කරන්නේ එබැවිනි. එය ආත්ම ගවේෂණය පිණිස අතිශයින්ම වැදගත් මාර්ගයකි. ජීවිතයේ යථ සෙවීම යනු සියල්ල මෙසේ නිරාවරණය කිරීමයි. නිරාෂ දේශපාලනික වන්නේ දේශපාලනික දෑ නොලියන හින්දා ම ය. ඔහු ලියන්නේ තමන් තුළ වන විසංවාදයයි. එය සමාජ අර්බුදයක් බව පෙනෙන්නේ එබැවිනි. සමාජය ඥානනය කිරීමට නිරාෂ අතිමහත් ලෙස දායක වන්නේ යැයි මා පවසන්නේ මෙකී අර්ථයෙනි.

ඒකී විසංවාදය හකුළා දක්වන කවි දෙපදයක් වුව සෑහේ ය. මම මෙතනින් අරඹමි. කෘතියේ අවසාන කවියෙනි. ඒ අහම්බෙන් දකින හසඟනක් ලුහුබැඳ යන ඇත්ත මිනිසා විනිවිදිමිනි. කවියා ස්වකීය සාඩම්බර වාග් කෝෂය සියුම් ලෙස ආණ්ඩුමට්ටු කරමින් නිශාචර අත්දැකීමක් හික්මවාලයි. කවිය රමණීය වන්නේ එබැවිනි.

ඇබින්දක් සඳ එළියෙ නුඹේ නෙත කියවගමි
කාන්තිය ඇතුළ ඇති කුමක්දෝ අහුලගමි
කාන්සිය සරතැසට පිනි පොදක තෙත සොයමි
පාන්දර පමා වී උදා වෙන්නැයි පතමි.

(ස්වොන්ස්ටන් වීදියේ දී දුටු යුවතිය - පිට 123)

මන්දාලෝකී සඳ එළියක වුව තමන්ගේ ඉෂ්ඨාර්ථ කියවගත හැකි කවියකු අපට සිටී. ඒත් ඒ කවියාම සඳ එළිය දෝරෙ ගලන මොහොතක වවුලකුට බැණ අඩගසයි.

නිශා අහසේ සරන
හුදෙකලා තනිකඩ වවුලකුට
අබැටකුදු වටනේද
පුර හඳෙන් බේරෙන සඳ දිය...?

(වවුලා, සඳ සහ මම - පිට 51)

දැන් ඔහු ම ස්වෝන්ස්ටන් වීදියේ සුද්දිය ලුහුබඳින වවුලු හදවතේ විලෝමය අප අබියසට ගෙනෙයි. මෙහිදී වවුලා පිටස්තරයකු වී ‘මම’ වඩා වැදගත් ලෙස ඉදිරියට එයි. ඒ එසේ වන්නේ වුව ‘වවුලාට’ අනෙකෙකු වන එකී ආකෘතිගත ‘වැදගත් ආත්මය’ අවම වශයෙන් සංකේතීය ලෙස හෝ තෘෂ්ණාව අත්හළ යුතු යැයි කවියාම යෝජනා කරන තෘෂ්ණාවේ ගැලේ. මෙයයි ඔහු අපට පෙන්වන සන්තානමය විසංවාද ය. නොස්ට්‍රැල්ජීයානු නිර්මාණාවේශයකින් අඳුරේ අතපත ගානා විප්‍රවාසී වෑයිම් කිරීම් මිස මෙතරම් සංයමයෙන් මෙකී අන්තර්භාෂණය සිංහලෙන් ගෙන එන්නට නිරාෂට තරම් අන් කවියකුට හැකි වී නැතැයි මම පවසිමි. නිරාෂගේ කවිය, වඩා වඩා කියවිය යුතු වන්නේද, එය හැදෑරිය යුතු වන්නේ ද එබැවිනි. ඉදින් ඔහු ඇත්ත වශයෙන්ම කවියෙකු බව පැවසීමට අවසර කුමටද?

යළි මුල සිට

දැන් මම ඔබට මෙසේ යෝජනා කරමි. යළි නිරාෂගේ කවි පොත අරින්න. ඔහු ස්වකීය පළමු කවියේ සිටම නිර්මාණාත්මක වාග් කෝෂය දිග හරින්නේ ය. අභ්‍යන්තරික සංවාදය අපට ඇසේ. ඔහු බිය නැත. මෙකී අන්තර්භාෂාණය අපට ඇහෙන්නට ඉඩ සලස්සන්නේ මෙම නිර්භීතභාවයයි. ඔහු ආරම්භයේදී ම ‘දෙලොවක්’ මැයෙන් ස්වකීය ළය පළා හදවත පෙන්වයි.

එහි ඇරඹුමම මෙලෙසිනි. අන්තීම රමණීය විලසිනි.

දෑසේ නොතැවරුණි නම් නුඹ
රෑ සිහින තිප්පොළවල
වවුල් හප මඟහැර හැර
උඩිනු’ඩින් අඩි තිය තියා
මගේ ලෝකේ මම තව...

අන්තර්ගතය සුපැහැදිලි බැවින් එය යළි විග්‍රහ කටයුතු නොවේ. මගේ ප්‍රවාදය ඔහු සමස්ත ජීවන ගවේෂණය ගැන ය. ඇරඹුම් කාව්‍ය ඛන්ඩයේම පෙන්වන මෙකී සාඩම්බරීය භාෂා ලාලිත්‍ය ස්වකීය බහුතර කවි තුළ විශද කෙරේ. භාෂා ඖචිත්‍යය කදිමය. තර්කයක් නැත. රසජනනීය වන්නේ වෙයි. ඔබට ඒ බැව් විමසා බැලිය හැකිය. මෙහි වන දුහුනු ලකුණු දනවන කවි හැරුණු කල සෙසු සියල්ලෙහි සන්තානීය තානය සහ භාෂාමය තානය යහමින් සම්මිශ්‍රණය වී පදම් වී ඇත.

නිදසුන් ලෙස, පළමු කවිය අගනේ ය. දෙවැන්න දුහුනු වන්නේ වෙයි. තෙවැන්න මරු ය. සිව්වැන්න යළි ආධුනික මං සොයයි. මෙයාදී ලෙස ය. මේ ප්‍රවාදයට එදිරිව ඔබේ කියවීම පිහිටන්නේ නම් අපට සංවාද කළ හැකිය.

පළමුවැන්නේ රසභාව මම දැක්වීමි. දෙවැන්න මඟ හරිමි. දැන් තෙවැන්න ය. ඇරඹෙන්නේ මෙපරිද්දෙනි. විමසන්න! මොන තරම් රමණීය වේදනාවක්ද යන්න.

හැරී අන්තිම වතාවට
ගිහින් එන්නම්වත් නොකියාම
ශේෂ කර ගිය නුහුරු සිනහව
තත්පරෙන් එක් බිඳකි
උහුලගනු බැරි මහා බරකි...

(ආපසු ඇවිත් -පිට 30)

සමෝධානය

නිරාෂ ගුණසේකර කවියාට රත්න ශ්‍රී විජේසිංහ යනු එක විට අඩයාලමීය පීතෘවරයා සේම ඥාන පීතෘවරයා ද වන්නේ වෙයි. එබැවින් රත්න ශ්‍රීන් පවසන දෑ කවරාකාරයෙන් ගත්තද අර්ථාන්විත වන්නේ වෙයි. නිරාශගේ කවිය ගැන හොඳින් ම දන්නා රත්න ශ්‍රී කවීන්ද්‍රයා ‘සුදුකත’ තුළම පැවසෙන්නට ඉඩ හරින ඡේදයක් උපුටා අපට දෑත පිසදා ගත හැකිය.

ඡේදය නම් මෙසේ ය.

‘නිරාශගේ ඇතැම් කවි අනවශ්‍ය දිගු කිරීම් වලට නතු වී සංක්ෂිප්ත ගුණ පතන ඒවා ය. ඇතැම් කවි විරාමයක් නොගෙනම ළඟ ළඟ ම ලියූ බැවින් භාෂා ව්‍යවහාරයෙන් එක් බඳු හැඩ රුවක් හිමිකරගෙන තිබේ. එමෙන් ම ආකෘතික වශයෙන් ඒක තානමය රිද්ම නඟන රචනා ද මේ අතර වේ. එය ද සිදුවන්නේ නිර්මාණකරණයේදී විරාමයකට ඉඩ නොතැබීම නිසා ය.මේ හේතූන් ඔහු ගේ කවි වඩා ත් ප්‍රශස්තභාවයට පත්වීමට බාධා කරයි’

දැන් ඉතින් මට ඔහුගේ සමස්ත කාව්‍ය පෞරුෂයේ අගුණ ගැන කියන්නට දෙයක් නැත. එය කියැවී ඉවර ය. ඥාන පීතෘ හෙවත් පඤ්ඤා බඳු ලෙංගතු හඬකිනි. මට කියන්නට ඉතිරිව ඇත්තේ කවියාගේ ජීවන පෞරුෂය ගැන ය. ඒත් ඒ කවිය මඟ හැර නොවේ. කවිය ඔස්සේ මය. මධුවිත ඔස්සේ ම ය. සුදු කත ඔස්සේ ම ය.

සැබැවින්ම මේ කවියා පළා ගොස් සිටී. ජීවිතයට ය. එය ස්ථිරසාර වශයෙන්ම මට කිව හැකි ය. කලකට කලියෙන්ද ඔහුට මා කියන මෙකී ජීවිතය තිබුණේ යැයි අතීතය අවලෝකනය කිරීමෙන් සොයා පහදා ගත හැකි ය. එබැවින් මෙකී මෙල්බෝර්නියානු පළා යාම පුනාරාගමනයක් ලෙසද සැලකීමේ වැරැද්දක් නැතැයි මට හිතෙයි. අවකාශයේ පාවෙමින් සිටි කවියා දැන් නිශ්චිත වශයෙන්ම හිටගෙන සිටින්නේ ජීවිතය තුළ ය. එහෙත් ඔහු තවමත් මහපොළොව මත හිටගෙන ඉන්නේද කියා කියන්නට තරම් අමුද්‍රව්‍ය ‘සුදුකත’ තුළින් සොයා ගැනීම උගහට ය. එබැවින් ඔහු මහපොළොව මත හිටගෙන සිටිනා කවියෙකු බව මම තවම නොකියමි. එසේ කීමට තරම් කල් වැඩි ය.

එබැවින් මම ඔහුට ඔහුවම උපුටනය කර පෙන්වමි. මෙලෙසින් ය.

පුරවමි තවත් මධු විත
නොරිදා රිදවෙන්න කවි සිත
ඉඩහරිමි නොලියවුණු කවියට
පුරවමි තව තවත් මධුවිත...☐

මංජුල වෙඩිවර්ධන


© JDS